අපේ ග්‍රහයා බේරාගැනීමට සටන
ස්පාඤ්ඤයෙහි පිබිදෙව්! වාර්තාකරු විසිනි
කාරාබාෂ් නමැති රුසියානු නගරයේ දිවි ගෙවන යූරිට, දරුවෝ දෙදෙනෙක් සිටින අතර, ඔවුහු දෙදෙනාම රෝගීව සිටිති. කනස්සල්ලෙන් සිටින මුත්, ඔහු ඒ ගැන පුදුම නොවන්නේය. “මෙහේ නිරෝගී දරුවන් නැහැ,” කියමින් ඔහු තත්වය පැහැදිලි කරයි. කාරාබාෂ්හි ජනයා විෂ කිරීමකට ලක්වෙමින් සිටිත්. ඒ ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලාවක්, හැම වසරකම වාතයට දූෂ්‍ය ද්‍රව්‍ය ටොන් 1,62,000ක් පිට කරයි—එනම් එහි වසන සෑම පුරුෂයෙකුට ස්ත්‍රියකට හා දරුවෙකුට ටොන් 9ක් බැගිනි. ආක්ටික් වෘත්තයට උතුරින් කෝලා අර්ධද්වීපයේ නීකෙල් හා මොන්චගෝර්ස්ක්හි පිහිටි, “ලෝකයේ විශාලතම හා පැරණිතම නිකල් විරුවුම් යන්ත්‍රවලින් දෙකක් . . . රුසියාවේ ඊට සමාන කිසිදු කර්මාන්ත ශාලාවකට වඩා බැර ලෝහ හා සල්ෆර් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වසරක් වසරක් පාසා පිට කරයි.”—ද නිව් යෝර්ක් ටයිම්ස්.
මෙක්සිකෝ නගරයෙහි වාතය ඊට වඩා හොඳ තත්වයක තිබෙනවා නොවේ. නගරයේ ධනවතුන් සිටින ප්‍රදේශයක පවා දවස් 5කින් 4කම දරුවන් රෝගීව සිටි බව, වෛද්‍ය මාර්ගාරීටා කාස්ටීල්‍යෙහොස් විසින් පවත්වන ලද සමීක්ෂණයකදී හෙළි විය. “ඔවුන්ට රෝගීව සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා,” යන්න ඇගේ නිරීක්ෂණය විය. නගරයේ වීථිවල වාහන තදබදයට හේතු වන වාහන දහස් ගණනක් පිට කරන, හාත්පස පැතිර පවතින දුම ප්‍රධාන හේතුකාරකවලින් එකක් බව ඈ පවසයි. වාතයේ ඕසෝන් සාන්ද්‍රණය, ජගත් සෞඛ්‍ය සංවිධානයේ උපරිම සීමාව මෙන් සිව් ගුණයකි.
ඕස්ට්‍රේලියාවේ අන්තරාය නොපෙනෙන එකක් වුවද, ඊට සමාන ආකාරයකින් මාරාන්තිකය. ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරන දරුවන්ට දැන් තොප්පි පැළඳීමට සිදු වේ. දක්ෂිණාර්ධගෝලයේ පිහිටි ආරක්ෂාව සපයන ඕසෝන් වියන බොහෝදුරට විනාශ වීම හේතුකොටගෙන, සූර්යයා මිතුරෙකු හැටියට නොව සතුරෙකු හැටියට සැලකීමට ඕස්ට්‍රේලියානුවන්හට සලස්වා තිබේ. දැනටමත් සමේ පිළිකාවෙහි තුන් ගුණයක වැඩිවීමක් ඔවුන් අද්දැක තිබේ.
ලෝකයේ වෙනත් තැන්වල, ප්‍රමාණවත් ජලය සෙවීම දෛනික සටනකි. ආමාල්‍යාට අවුරුදු 13ක් වූ විට, මෝසැම්බික් රට නියඟයකට ගොදුරු විය. පළමු වර්ෂයට යන්තමින් ජලය ප්‍රමාණවත් වුවද, ඊළඟ වර්ෂයට ජලය නොතිබූ තරම්ය. එළවළු අස්වැන්න පාළු වී විනාශ වූයේය. කැලෑ පලතුරු කෑමටත්, සෙවිය හැකි වටිනා ජලය ලබාගැනීමට වැලිවලින් පිරුණු ගං පතුල් හැරීමටත් ආමාල්‍යාටත්, ඇගේ පවුලටත් සිදු විය.
රාජස්ථාන් යන ඉන්දියානු ප්‍රාන්තයෙහි, ඉක්මනින් අභාවයට පත් වන්නේ, තණ බිම්ය. සංචාරක ගෝත්‍රිකයෙක් වන ෆාගූ, ප්‍රාදේශීය ගොවීන් සමඟ නිතරම වාද කරයි. එළු බැටළුවන්ගෙන් සමන්විත සිය රැළට තණ බිම් ඔහුට සොයාගත නොහැක. සරුසාර බිම්වල තදබල හිඟයක් තිබීම හේතුකොටගෙන, ගොවීන් හා සංචාරක ගෝත්‍රිකයන් අතර සියවස් ගණනාවක් පුරා පැවති සාමකාමී සහජීවනය බිඳ වැටී තිබේ.
අප්‍රිකාවේ සහරාවේ දකුණු දිග මායිමේ පිහිටි පුළුල් අර්ධ ශුෂ්ක කලාපයක් වන සාහෙල්හි තත්වය ඊටත් වඩා දරුණුය. වන නාශනය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ නියඟ හේතුකොටගෙන, සත්ව රැළවල් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ආක්‍රමණශීලී වැලි කතරට කුඩා බිම් පෙදෙස් ගොදුරු වී තිබේ. සිය මිලට් බෝග වගාව සත්වන වරටත් අසාර්ථක වනවා දුටු නයිජර්හි ෆුලානි ගෝත්‍රික ගොවියෙක්, “මම නැවතත් බෝග වගා කරන්නේ නැහැ,” කියා පොරොන්දු වූයේය. තණ බිම්වල හිඟය නිසා ඔහුගේ ගවයන් ඒ වන විටත් මියගොස් තිබිණ.
වර්ධනය වන තර්ජනය
මෑතක ඇති වූ නියඟ, පාළු වූ අස්වනු හා නගර විශාල සංඛ්‍යාවකට මහත් අසීරුතා ඇති කරන දූෂිත වාතය පිටුපස යම් අශුභ රටාවක් තිබේ. ඒවා වනාහි, රෝගාතුර වූ ග්‍රහයෙකුගේ, එනම් මිනිසා එල්ල කරන පීඩන සියල්ල සමඟ සාර්ථකව කටයුතු කිරීමට තවදුරටත් අසමත් වන ග්‍රහයෙකුගේ රෝග ලක්ෂණ වේ.
අප හුස්මගන්නා වාතය, අනුභව කරන ආහාරය හා පානය කරන ජලය තරම් අපේ අඛණ්ඩ පැවැත්මට වැදගත් යමක් මිහිපිට නැත. ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය වන මේ දේවල් මිනිසා විසින්ම හිතක් පපුවක් නැතුව දූෂිත කරනු ලැබේ, එසේ නැතහොත් කෙමෙන් කෙමෙන් විනාශ කරනු ලැබේ. ඇතැම් රටවල පරිසරයේ තත්වය දැනටමත් ජීවිතයට තර්ජනය ගෙනදෙන තත්වයක පවතී. හිටපු සෝවියට් ජනාධිපති මිහයිල් ගොර්බචොෆ් තත්වය විචිත්‍ර ලෙස විස්තර කළ පරිදි, “පරිසරය අපව බෙල්ලෙන්ම අල්ලාගෙන තිබේ.”
මෙම තර්ජනය සුළු කොට තැකිය යුතු යමක් නොවේ. ලෝක ජනගහනය අඛණ්ඩව වැඩි වර්ධනය වන අතර, සීමිත සම්පත් සම්බන්ධයෙන් තිබෙන ඉල්ලුම දෙගුණ තෙගුණ වේ. “අපේ අනාගතයට තිබෙන දරාගත නොහැකි තර්ජනය වන්නේ අවි සන්නද්ධ සටන් නොව, නමුත් අපේ ග්‍රහයාගේ පාරිසරික පිරිහීම” බව වර්ල්ඩ්වොච් ආයතනයේ සභාපති ලෙස්ටර් බ්‍රවුන් මෑතකදී ප්‍රකාශ කළේය. ඛේදවාචකයක් මඟ හැරීමට ප්‍රමාණවත් පියවර ගනු ලැබේද?
පෘථිවි ග්‍රහයා ආරක්ෂා කිරීමට වූ සටන
තමාට බීමත්කම සම්බන්ධව ගැටලුවක් නැතැයි තරයේ විශ්වාස කරන මත්ලෝලියෙකුට උපකාර කිරීම දුෂ්කරය. ඒ හා සමානව, පෘථිවි ග්‍රහයාගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීමට ගත යුතු මුල් පියවර නම්, රෝගයේ තරම තේරුම්ගැනීමය. මෑත වර්ෂවලදී පාරිසරික අතින් ලබා තිබෙන වඩාත් කැපීපෙනෙන සාර්ථක ප්‍රතිඵලය, දැනුවත් කිරීම විය හැක. අපේ පොළොව අභාවයට පත් වෙමින් දූෂණයට ලක් වන බවත්, ඒ ගැන යම්කිසි දෙයක් කළ යුතු බවත් අදදින බොහෝ ජනයා හොඳින් දැන සිටිත්. දැන් න්‍යෂ්ටික යුද්ධයක තර්ජනයට වඩා පරිසරය වැනසී යෑමේ තර්ජනය වැඩිය.
මේ හා සම්බන්ධ ගැටලු ලෝක නායකයන් නොදන්නවා නොවේ. වර්ෂ 1992දී, වායුගෝලය ආරක්ෂා කිරීමටත්, පොළොවේ පිරිහෙමින් පවතින සම්පත් රැකගැනීමටත් පියවර කිහිපයක් ඉදිරියට ගත්, පෘථිවි සම්මේලනයට ආණ්ඩු නායකයෝ 118දෙනෙක් පමණ පැමිණියහ. රටවල් බහුතරයක් දේශගුණික ගිවිසුමකට අත්සන් තැබූ අතර, නුදුරු අනාගතයේදී, කාබන් නිපැයුම මුළුමනින්ම නතර කිරීමේ ඉලක්කය පෙරදැරි කරගනිමින්, එහිදී කාබන් පිට වන මට්ටමේ වෙනස්වීම් වාර්තා කරන පද්ධතියක් පිහිටුවීමට ඔවුහු එකඟ වූහ. අපේ ග්‍රහයාගේ ජෛව විවිධත්වය, එනම් ශාක හා සත්ව විශේෂවල මුළු සංඛ්‍යාව රැකගැනීමේ මාර්ගද ඔවුන්ගේ සැලකිල්ලට භාජන විය. ලෝකයේ වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යම් සමථයකට එළඹීමට නොහැකි වුවද, රටවලට “දැරිය හැකි සංවර්ධනයක්” අත් කරගත හැකි අන්දම පැහැදිලි කළ මාර්ගදර්ශක අන්තර්ගත ලේඛන දෙකක්—එනම් “රියෝ ප්‍රකාශය” හා “21වන න්‍යාය පත්‍රය” සම්මේලනය මගින් නිකුත් කරන ලදි.
පරිසර විද්‍යාඥ ඇලන් හැමන්ඩ් පැහැදිලි කරන පරිදි, “රියෝහි කළ ගිවිසුම්වලට එකඟව කටයුතු සිදු වේවිද, නිර්භීත ලෙස ප්‍රකාශ කළ වදන් ඉදිරි මාස හා අවුරුදුවලදී, ක්‍රියාත්මක වේවිද යන්න තීරණාත්මක පරීක්ෂණයක් වේවි.”
කෙසේවෙතත්, යම් නිශ්චිත කාල සීමාවක් තුළදී ක්ලෝරොෆ්ලෝරොකාබන් (CFC) භාවිතය නතර කිරීමට ගත් අන්තර්ජාතික ගිවිසුමක් හා සම්බන්ධව පැවති 1987 මොන්ට්‍රියල් මූලපත්‍රය, ඉදිරියට ගත් එක් වැදගත් පියවරකි.a මෙතරම් සැලකිල්ලක් මන්ද? මන්දයත් පෘථිවියට ආරක්ෂාව සලසා දෙන ඕසෝන් ස්තරය ශීඝ්‍ර ලෙස තුනීවීමට CFC දායක වන බවට පවසා තිබෙන බැවිනි. සමේ පිළිකාව හා ඇසේ සුදට හේතු විය හැකි, සූර්යයාගේ පාරජම්බුල කිරණ පෙරීමෙහි පොළොවෙහි ඉහළ වායුගෝලයේ තිබෙන ඕසෝන්වලට වැදගත් භූමිකාවක් හිමි වේ. මෙය ඕස්ට්‍රේලියාවේ පමණක් තිබෙන ගැටලුවක් නොවේ. උත්තරාර්ධගෝලයේ ඇතැම් සෞම්‍ය ප්‍රදේශවලට ඉහළින්, ශීත ඍතුවේදී ඕසෝන් සාන්ද්‍රණයේ සියයට 8ක අඩුවීමක් විද්‍යාඥයන් විසින් මෑතකදී සොයාගෙන ඇත. අපරිවර්තී ගෝලය වෙත දැනටමත් CFC ටොන් මිලියන 20ක් ගසාගෙන ගොස් ඇත.
වායුගෝලය මෙලෙස විනාශකාරි අන්දමින් අපවිත්‍ර කිරීම හමුවේ, ලෝකයේ ජාතීහු සිය එකඟ නොවීම් පසෙක තබා තීරණාත්මක ආකාරයකින් ක්‍රියා කළෝය. එමෙන්ම, අන්තරායට ලක් සත්ව විශේෂ ආරක්ෂා කිරීමටත්, ඇන්ටාක්ටිකාව සංරක්ෂණය කිරීමටත්, විෂ සහිත අපද්‍රව්‍ය පරිවහණය කිරීම පාලනය කිරීමටත් වෙනත් අන්තර්ජාතික ක්‍රියාකාරකම් ඉදිරියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
තම ගංගා පිරිසිදු කිරීමටත් (දැන් සැමන් මත්ස්‍යයා යළිත් එංගලන්තයේ තේම්ස් නදියට පිවිස ඇත), වාතය දූෂණය වීම පාලනය කිරීමටත් (එක්සත් ජනපදයේ වඩාත් ඝන දුම් වලාවලින් පිරුණු නගරවල එය සියයට 10කින් අඩු වී තිබේ), පරිසරයට හිතකර බලශක්ති මූලාශ්‍ර ප්‍රයෝජනයට ගැනීමටත් (අයිස්ලන්තයේ නිවාස සියයට 80කට උණුසුම ලැබෙන්නේ භූ උෂ්ණත්ව ශක්තිය භාවිත කිරීමෙනි), සිය ස්වාභාවික උරුමය සංරක්ෂණය කිරීමටත් (කොස්ටා රිකා හා නැමීබියාව, සිය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 12ක් පමණ ජාතික උද්‍යාන බවට මාරු කොට ඇත) බොහෝ රටවල් මගින් පියවර ගනු ලැබේ.
පවතින අන්තරාය මිනිස්වර්ගයා බැරෑරුම් ලෙස සලකන බවට මෙම ඒකාන්ත ලකුණු සාක්ෂියක්ද? අපේ පෘථිවි ග්‍රහයා යළිත් හොඳ සෞඛ්‍ය තත්වයකට පිවිසීමට ගත වන්නේ තව කෙටි කාලයක් පමණද? එම ප්‍රශ්නවලට උත්තර දීමට මතු ලිපිවල උත්සාහ කෙරේ.
[පාදසටහන]
a එයරොසොල ඉසින උපකරණ, ශීතකරණ, වායු සමන ඒකක, ශෝධක ද්‍රව්‍ය හා පෙණ පරිවරණ නිෂ්පාදනයට CFC පුළුල්ව භාවිත කොට ඇත. වර්ෂ 1994 දෙසැම්බර් 22, එවේක්! “වෙන් අවර් ඇට්මොස්ෆියර් ඉස් ඩැමෙජ්ඩ්,” (අපේ වායුගෝලය හානියට ලක් වන විට) බලන්න.