බිඳුණු හෘදයක් නිසා ඔබ මිය යා හැකිද?
කනගාටුවට කරුණක් නම්, එය ඉතා පොදු සිදුවීමක් වීමයි: පෙනුමෙන් ශක්තිමත් මෙන්ම, වියපත් වූ පුද්ගලයෙක් මෑතකදී තම සහකාරිය මරණයෙන් අහිමි වීමෙන් පසු, දින හෝ සති කිහිපයකින් ඔහු මරණයට පත් වෙයි. මරණයට හේතුව? “බිඳුණු හෘදයක්,” යනුවෙන් මිතුරෝ පවසති.
මෙය නිකම්ම උපමාලංකාරයකට වඩා වැඩි යමක් විය හැකිය. දැඩි පීඩනයට විසඳුමක් නැත්නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් අක්‍රමවත් හෘද ස්පන්දනයක් හෝ වලිප්පු පවා සිදුවීමට සැලැස්විය හැකි රසායනික ද්‍රව්‍ය රාශියක් හෘදයට පිවිසෙන බව පර්යේෂකයන් බොහෝ කල් සිට දන්නා කරුණකි. එහෙත් මෙම ක්‍රියාවලිය මොළයෙන් ආරම්භ වන්නේ කෙසේදැයි යන්න අභිරහසක්ව පවතී.
අමෙරිකා එක්සත් ජනපදයේ, මේරිලන්ඩ්, බෝල්ටිමෝර්හි පිහිටි ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වෛද්‍ය පාසැලේ ස්නායු වෛද්‍ය ස්ටීවන් එම්. ඔපන්හයිමර්, හෘදය චිත්තවේගයන් සමඟ සම්බන්ධ කරන්නාවූ මොළයේ කොටසක් තමා හඳුනාගෙන ඇති බව විශ්වාස කරයි. ආශ්වාස කිරීම සහ හෘද ස්පන්දනය වැනි ක්‍රියාවලීන් පාලනය කරන ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය කෝපය, බිය සහ ප්‍රීතිය වැනි චිත්තවේගයන් සමඟ කටයුතු කරන ලිම්බික් පද්ධතිය හා සමඟ සම්බන්ධ වන මොළයේ කුඩා කොටසකි, පරිවාරක මස්තිෂ්ක බාහිකය. ක්ෂණික හෘත් තන්තුකායනයේදී මනුෂ්‍යයන්ගේ හෘද පේශිවල සිදු වන හානියට සමාන හානියක් මීයන්ගේ පරිවාරක මස්තිෂ්ක බාහිකය උත්තේජනය කිරීමෙන් ප්‍රතිඵල වූ බව වෛද්‍ය ඔපන්හයිමර් සොයාගත්තේය. මනුෂ්‍යයන්ගේ මස්තිෂ්ක බාහිකය උත්තේජනය කිරීම හෘද අගයේ හා රුධිර පීඩනයේ වෙනස්කම්වලට තුඩු දෙන බවද පෙනී ගොස් තිබේ. ඇත්තෙන්ම බිඳුණු හෘදයකින් මිය යා හැකි බව මෙම සොයාගැනීම් යෝජනා කරයි.
‘නින්දාවෙන් මගේ සිත බිඳුණේය; තුවාලය සුව කළ නොහැකිය,’ යනුවෙන් අනාගතවාක්‍ය පවසන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයට හේතු වූයේ බිඳුණු හෘදයක් බව සමහරු පවසති. (ගීතාවලිය 69:20) මෙම වචන වචනානුසාරයෙන්ම තේරුම්ගත යුතුද? යේසුස්වහන්සේගේ මරණයට පෙර පැය ගණන ශාරීරිකව පමණක් නොව චිත්තවේගීයවද වේදනාකාරී වූ නිසා, සමහරවිට එසේ විය හැක. (මතෙව් 27:46; ලූක් 22:44; හෙබ්‍රෙව් 5:7) තවදුරටත්, යේසුස්වහන්සේගේ මරණයට මදක් පසුව හෙල්ලයකින් පහර ගසන ලද තුවාලයකින් “ලේත් වතුරත්” ගැලුයේ මන්දැයි පැහැදිලි කිරීමට බිඳුණු හෘදයක් උත්තරය විය හැකිය. හෘදය නැතහොත් ප්‍රධාන රුධිර වාහිනියක් පැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් පපු කුහරය තුළට නැතහොත් හෘදය ලිහිල්ව ආවරණය කරන පටලයක් වන හෘත්පර්යාවරණය තුළට රුධිරය නිකුත් කළ හැකිය. මින් ඕනෑම තැනක සිදුරු කිරීමක් කළොත්, “ලේත් වතුරත්” ලෙස පෙනිය හැකි ගැලීමකට එය හේතු විය හැක.—යොහන් 19:34.
ඇත්තෙන්ම, උන්වහන්සේව වද කණුවේ එල්ලනු ලැබූ ආකාරය සහ එයට පෙර උන්වහන්සේ විඳදරාගත් පීඩා ඇතුළත්ව අනිකුත් හේතූන් යේසුස්වහන්සේගේ ඉක්මන් මරණයට සාපේක්ෂ වශයෙන් සම්බන්ධ වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙතරම් ප්‍රබල තත්වයන් යටතේ යේසුස්වහන්සේ සිය පක්ෂපාතකම පවත්වාගැනීම වෙනුවෙන් අපිකොතරම් කෘතඥපූර්වක වන්නෙමුද! ප්‍රතිඵලයක් වශයෙන්, උන්වහන්සේ සිය පියාණන් වන යෙහෝවඃවහන්සේ විසින් ඉමහත් සේ උසස් කරනු ලැබූසේක. (පිලිප්පි 2:8-11) එපමණක්ද නොව, පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත්වීමේ හැකියාවද අපහට ලබා දුන්සේක.—යොහන් 17:3; එළිදරව් 21:3, 4.