යෞවන අය අසති . . .
මා හැර අන් සැම විවාහ වන්නේ මන්ද?
“මා විවාහ වුණා නම් කොච්චර හොඳද. එතකොට මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්.”—ෂෙරිල්.a
විවාහ වීමට කැමැත්තක් දැක්වීම ඉඳුරාම ස්වාභාවික දෙයකි. දෙවියන්වහන්සේ පුරුෂයා සහ ස්ත්‍රියට, එකිනෙකා කෙරෙහි ස්වාභාවික ආකර්ෂණයක් දානය කළසේක. තවද උන්වහන්සේ පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතර කල්පවතින සබඳතාවක් හැටියට විවාහය ස්ථාපිත කළසේක.—උත්පත්ති 1:27, 28; 2:21-24.
විශේෂයෙන්ම ඔබගේ තුල්‍යයන්ගෙන් බොහෝදෙනෙක් දැනටමත් විවාහ ජීවිතයට ඇතුල් වී සිටින අතර, ඔබ තවමත් විවාහ වී නොමැති නම්, ඔබට අධෛර්යය වීමක් එසේ නැත්නම් අත්හරිනු ලැබ සිටින බවක් හැඟී යා හැකි බව තේරුම්ගත හැකිය. හොඳ හිතින් කටයුතු කරන මිතුරන්ට පීඩනය තවත් වැඩි කළ හැක. “මට වයස අවුරුදු 24ක් වන අතර මා තවමත් අවිවාහකයි, තවද මා දැනට කිසිම කෙනෙකු හා පෙම් බැඳ නැහැ,” කියා ටීනා පවසයි. “මගේ අවිවාහක තත්වය සෑම කෙනෙකුගේම ඉමහත් සැලකිල්ලට භාජන වීම නිසා, එය මට තදින් බලපාන බවක් පේනවා. විවාහ වීමට නොහැකි වූ මහලු ස්ත්‍රියක් ලෙස හෝ මගේ යම්කිසි දෝෂයක් තිබෙනවා සේ හැඟෙන්ට හෝ ඔවුන් සලස්වනවා.”
ඇතැම් පුද්ගලයන්ට තනිකඩභාවය, සන්තෝෂය ලබාගැනීමෙන් ඔවුන්ව වෙන් කර තබන, ජයගැනීමට නොහැකි බාධකයක් නොහොත් තාප්පයක් සේ පෙනෙන්ට පටන්ගත හැක. පසුවන සෑම අවුරුද්දක් පාසාම එම තාප්පය මත තවත් ගඩොල් තට්ටුවක් තබනවා සේ හැඟී යා හැක. යෞවනයෙකුට, ඔහු හෝ ඈ ප්‍රියකරු නොවන බව හෝ අප්‍රසන්න බව හෝ හැඟීමට පටන්ගත හැක. රොසානා නම් යෞවන ඉතාලි ජාතික ස්ත්‍රියක් මෙසේ පවසයි: “නිතරම මට තනිකමක් හා නිෂ්ඵල බවක් හැඟෙනවා; විවාහ වීමට මට අවස්ථාවක් නැතුවා වගේ පේන්නේ.” යෞවන පුරුෂයන්ටද මෙයාකාර හැඟීම් ඇති විය හැක. නිදසුනක් වශයෙන්, ෆ්රෑන්ක්ට හැඟුණේ ඔහුගේ මිතුරන් සියලුදෙනාම විවාහ වීමෙන් පසුව වඩා සිත්ගන්නාසුලු සහ නවීන පන්නයේ අදහස් ඇති අය වූ බවය. විවාහය තමාටත් එලෙසම කරාවිද කියා සිතන්ට ඔහු පටන්ගත්තේය.
ඔබත් එයාකාරයෙන්ම සිතන බව ඔබට තේරී ගොස් තිබෙනවාද? ඔබ අවිවාහක නම්, ඔබට යම් ගැටලුවක් තිබෙනවා කියා හෝ එසේ නැතහොත් ඔබට හැමදාටම අවිවාහකව සිටීමට සිදු වේවි කියා හෝ ඔබ සමහර අවස්ථාවලදී කල්පනා කරන්නෙහිද?
විවාහය—ඒ පිළිබඳ මිථ්‍යාව හා සත්‍යතාව
විවාහය නිරායාසයෙන්ම සන්තෝෂයට මාර්ගය විවෘත කරන බවට වූ ප්‍රසිද්ධ විශ්වාසය අපි පළමුවෙන්ම පරීක්ෂා කර බලමු. කෙනෙකුගේ සන්තෝෂයට විවාහය දායක විය හැකි අතර, එය බොහෝවිට එසේ වන බව සැබෑය. කෙසේවෙතත් විවාහ වූ පමණින්ම එය කෙනෙකුව සන්තෝෂයට පත් කරන්නේද නැත. ඉතා සාර්ථක විවාහ පවා “මාංසයෙහි දුක්” යම් ප්‍රමාණයකින් හෝ ඇති කරයි. (1 කොරින්ති 7:28) විවාහක සන්තෝෂය ඇති වන්නේ නිරන්තරයෙන්ම ආත්ම පරිත්‍යාගි වීම තුළින් සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පමණි. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තනිකඩව සිටි බව සිත්ගන්නා කරුණකි. උන්වහන්සේ සතුටින් නොසිටි බව කවරෙකුවත් පවසනු ඇද්ද? කිසිසේත් නැත! උන්වහන්සේගේ ප්‍රීතිය යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීම තුළින් පැමිණියේය.—යොහන් 4:34.
විවාහය තනිකම නැති කිරීමට නිශ්චිත පිළියමක් වීම තවත් මිථ්‍යාවකි. එය එසේ නොවේ! එක් විවාහක ක්‍රිස්තියානි පුරුෂයෙක් කනගාටුවෙන් මෙසේ ප්‍රකාශ කළේය: “මගේ බිරිඳ කිසිදිනකවත් මා සමඟ විශ්වාසයෙන් කාරණා කතා කර නොතිබුණු අතර, කිසිදිනක මා සමඟ අර්ථවත් ලෙස කතා කර තිබුණේවත් නැහැ!” එයාකාරයෙන්ම, තමන්ගේ ස්වාමිපුරුෂයන් අදහස් හුවමාරු කිරීමට අසමත් වන බව හෝ තමන්ට වඩා ඔවුන්ගේ රැකියාවන් ගැන හෝ මිතුරන් ගැන හෝ වැඩි සැලකිල්ලක් දක්වන බව ඇතැම් ක්‍රිස්තියානි භාර්යාවෝ චෝදනා කර ඇත්තාහ. විවාහ වී සිටියත්, තනි වී සිටීම ඉතාම පොදු දෙයක් වීම කනගාටුවට කාරණයකි.
එමෙන්ම විවාහය පවුලේ ගැටලුවලින් මිදීමේ මාර්ගයක් ලෙස සලකන අයද සිටිති. විවාහ වූ යෞවන ස්ත්‍රියක් මෙසේ පවසයි: “මගේ දෙමාපියන් මට වැඩීමට අවස්ථාවක් දෙන්න තිබුණායයි මම සිතනවා. නමුත් පිරිමි යහළුවෙක් සමඟ ආශ්‍රය කිරීමටවත්, මිත්‍රයන් සමඟ ගමන් යෑමටවත් ඔවුන් මට ඉඩ දුන්නේ නැහැ . . . මගේ දෙමාපියන් මට අවස්ථාවක් දී තිබුණා නම්, මා අවුරුදු 16දී විවාහ වන එකක් නැහැ කියා සිතනවා. නමුත් මා මේරූ බව ඔවුන්ට පෙන්වන්ට මට ඕනෑ වුණා.”
නිවසේ ජීවිතයට බොහෝ සීමාවන් තිබෙන බව ඔබට හැඟී යා හැකිය. එහෙත් කෙනෙකුගේ පෞද්ගලික නිදහස බෙහෙවින් සීමා කළ හැකි වගකීම් සම්භාරයක් විවාහය ඇති කරයි. රැකියාවක් කිරීමේදී, බිල්පත් ගෙවීමේදී, නිවස සහ වාහනය අලුත් වැඩියා කිරීමේදී, ආහාර පිසීමේදී, පිරිසිදු කිරීමේදී, රෙදි සේදීමේදී සහ සමහරවිට දරුවන් ඇති දැඩි කිරීමේදී පවා ඇතුළත් වන්නේ කුමක්ද කියා කල්පනා කර බලන්න! (හිතෝපදේශ 31:10-31; එපීස 6:4; 1 තිමෝති 5:8) මෙම වැඩිහිටි වගකීම්වලට මුහුණ දීමට සිදු වූ විට බොහෝ යෞවනයෝ මානසිකව පීඩා විඳිති.
විවාහය වනාහි ජනප්රියභාවය ලබාගැනීමට මාර්ගයක් වන බවද සමහරු විශ්වාස කරති. එහෙත් ඔබ විවාහ වූ පමණින්ම ඔබගේ හෝ ඔබගේ කලත්‍රයාගේ හෝ ඇසුරට අනුන් ඉමහත් කැමැත්තක් දක්වයි කියා සහතිකයක් නොමැත. ඔබ විවාහ වුවත් නැතත්, ඔබ කරුණාවන්ත, ත්‍යාගශීලී සහ පරාර්ථකාමී පුද්ගලයෙකු නම්, මිනිසුන් ඔබට කැමති වනු ඇත. (හිතෝපදේශ 11:25) තවද යුවළක් වීමෙන් විවාහ වූ මිත්‍රයන් සමඟ පෑහීමට වඩාත් පහසු දෙයක් වුවත්, ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක “එක මාංසයක්” බව මතක තබාගත යුතුය. (උත්පත්ති 2:24) ඔවුන් තම මිතුරන් සමඟ නොව, නමුත් එකිනෙකා සමඟ කල් ගෙවන ආකාරය කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කළ යුතුය.
විවාහයට සූදානම්ද?
ඇත්තවශයෙන්ම, මෙම කරුණුවල යුක්තිසහගතභාවය ඔබ දැක්කත්, සමහර අවස්ථාවලදී තවමත් අධෛර්යය වී ඇති බවක් ඔබට හැඟී යා හැක. එක් පුරාණ හිතෝපදේශයක් කාරණය මෙලෙස දැක්වීය: “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය.” (හිතෝපදේශ 13:12) නිදසුනක් වශයෙන්, තමා අවිවාහකව සිටි බැවින් තමා විෂාදයට ආසන්න තත්වයක සිටි බව යෞවන ටෝනිට තේරිණ. තමා ඕනෑම කෙනෙකු සමඟ විවාහ වීමට සූදානම්ව සිටි බව ඔහුට හැඟීමට පටන්ගත්තේය. එමෙන්ම, ප්‍රේම බන්ධනයක් වර්ධනය වන බව දැනගැනීමට ලැබෙන සෑම අවස්ථාවකදීම, සැන්ඩ්‍රා නම් යෞවනියක් අධෛර්යයට පත් වූවාය; තවද ඇයගේ වාරය කෙදිනක පැමිණෙනු ඇද්ද කියා ඈ කල්පනා කරන්ට වූවාය.
කලකිරුණු තත්වයකට වැටීමට ඔබව ඉඩහැරීමට පෙර, ‘මා ඇත්තටම විවාහයට සූදානම්ද?’ කියා ඔබගෙන්ම අසාගන්න. අවංකව කියතොත්, ඔබ නහඹරවියේ පසුවන කෙනෙක් වන්නේ නම්, පිළිතුර බොහෝදුරට පැහැදිලිව නැත යන්න වීමට ඉඩ කඩ වැඩිය! එක්සත් ජනපදයේ, නහඹරයන් අතර විවාහයන් බොහොමයක්ම අවුරුදු පහක් ඇතුළත අසාර්ථක වේ.b තම වයස අනුව කැපීපෙනෙන මේරූභාවයක් දක්වන ඇතැම් යෞවනයන්ට විවාහයක් සාර්ථක කරගැනීමට පුළුවන් විය හැක. එහෙත් ඔබ අනිවාර්යයෙන්ම විවාහ විය යුතු බව ඉන් අදහස් නොකෙරේ. විවාහයේ වගකීම් ඉසිලීමට ඔබ සූදානමින් සිටිනවාද යන්න ඔබ අවංකවම කල්පනා කර තිබේද?
අවංක ආත්ම සෝදිසියක් කිරීම තුළින් බොහෝ දේවල් එළිදරව් විය හැක. නිදසුනක් වශයෙන්, ඔබේ මේරූභාවය හා වගකීම් දැරීමට හැකියාව කෙලෙසද? ඔබට මුදල් ඉතිරි කිරීමට හැකිද, එසේ නැතහොත් ඔබ එය ලැබුණු විගසින්ම වියදම් කරන්නෙහිද? ඔබ ඔබගේ බිල්පත් නියම වේලාවට ගෙවන්නෙහිද? රැකියාවක් කිරීමට හෝ නිවසක් පාලනය කිරීමට ඔබ සමත්ද? රැකියා ස්ථානයේ හවුල්වැඩකාරයන් සහ දෙමාපියන් වැනි අය සමඟ ඔබට හොඳින් කල් ගෙවිය හැකිද, එසේ නැතහොත් ඔබට ඔවුන් සමඟ නිතරම ගැටුම් තිබෙනවාද? තත්වය එසේනම්, විවාහක කලත්‍රයෙකු සමඟ කල් ගෙවීම ඉතා දුෂ්කර දෙයක් බව ඔබට පෙනී යා හැක.
ඔබ තවමත් නහඹරයෙක් නම්, ඔබට හොඳ ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක බිහි වීමට අවශ්‍ය මේරූකම සහ ස්ථාවරභාවය අත් කරගැනීම සඳහා, තව අවුරුදු කිහිපයක අද්දැකීමක් අවශ්‍ය බව පෙනී යා හැක. මෙම කාරණය අවබෝධ කරගැනීම තුළින් ඔබගේ අපේක්ෂා නැවත සකස් කරගැනීමට සහ විවාහය අනාගතයේදී කළ හැක්කක් වශයෙන් සිතීමට ඔබට උපකාර ලැබෙනු ඇත. ටික කාලයකට හෝ ඔබගේ තනිකඩ තත්වය සම්බන්ධයෙන් වඩාත් ‘ස්ථිර සිතින් යුක්තවීමට’ මෙය ඔබට උපකාර කළ හැක.—1 කොරින්ති 7:37.
නිසි සූදානම
ඔබ “යෞවනයේ මල් පූදින විය පසු කර” [NW ] සිටින බවත්, ඔබ විවාහ වීමට සූදානම් බවත් හැඟෙනවා නම් කුමක්ද? විවාහ වීමට සුදුසු කලත්‍රයන් අඩු නම් හෝ ඔබ කෙනෙකුට කැමැත්ත ප්‍රකාශ කරන සෑම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කරනු ලැබේ නම් හෝ එය අධෛර්යය කරවන දෙයක් විය හැකිය. එහෙත් ඔබ අප්‍රසන්න බව මින් අනිවාර්යයෙන්ම අදහස් කරයිද? කිසිසේත් නැත. යෞවනියක සමඟ ප්‍රේමයෙන් බැඳී සිටි සාලමොන් රජට ඇගේ ආදරය දිනාගැනීමට නොහැකි විය—තවද ඔහු ජීවත්ව සිටි ධනවත්ම, ප්‍රඥාවන්තම පුද්ගලයන්ගෙන් කෙනෙක් වූයේය! මෙහි ගැටලුව කුමක්වීද? ඔහු කෙරෙහි ආදරවන්ත හැඟීම් ඇති කරගැනීමට තරම් එම යෞවනියගේ හෘදය ඔහු සම්බන්ධයෙන් පෙලඹුණේ නැත. (සාලමොන්ගේ ගීතිකාව 2:7) එයාකාරයෙන්ම, ඔබටම සුදුසු කෙනෙකු ඔබට තවම මුණ ගැසී නොතිබෙනවා විය හැකිය.
අන්‍යයන්ගේ සිත ඇදගැනීමට තරම් ඔබ අවලස්සන බව ඔබට හැඟෙනවාද? හොඳ පෙනුමක් ඇතුව සිටීමේ වාසි තිබෙන බව සැබෑ වුවත් වැදගත්ම දෙය එය නොවේ. ඔබ දැන හඳුනන විවාහ වූ යුවළයන් ගැන ඔබ කල්පනා කරන විට, ඔවුන් අතරේ විවිධ උස, හැඩ සහ ප්රියංකරභාවයේ මට්ටම්වල අය සිටින බව සැබෑ නොවේද? ඇරත්, සැබවින්ම දේවභය ඇති කෙනෙකු ඔබගේ “සිතේ ඇතුල් මනුෂ්‍යයා” කොයි ආකාරද කියා ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වනු ඇත.—1 පේතෘස් 3:4.
ඔබේ ශාරීරික පෙනුම නොසලකා හැරීම මින් අදහස් නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ; වඩාත්ම චිත්තාකර්ෂණීයව පෙනී සිටීමට වෑයම් කිරීම ඇත්තවශයෙන්ම සාධාරණය. පිළිවෙළක් නැතුව ඇඳ පැළඳ සිටීමෙන් ඔබ සම්බන්ධයෙන් අන්‍යයන්ට වැරදි වැටහීමක් ලබා දිය හැක.c එමෙන්ම, කතා බහ කිරීමෙහි දුර්වල වීම නිසා නැතහොත් ඔබේ පෞද්ගලිකත්වයේ යම් දෝෂ නිසා, ඔබ දැන හඳුනාගැනීමට පෙර අනුන් ඔබට අකමැති විය හැක. මේ සම්බන්ධයෙන් වෙනස්කම් ස්වල්පයක් කිරීම අවශ්‍ය නම්, මේරූ මිතුරෙකුට හෝ දෙමාපියෙකුට හෝ ඒ ගැන ඔබට පැවසිය හැක. සත්‍යය වේදනාකාරි විය හැකිය, නමුත් එය පිළිගැනීම තුළින් සමහරවිට වෙනස්කම් කිරීමට එය ඔබට උපකාර කළ හැකි අතර, එමගින් අන්‍යයන්ට ඔබ වඩාත් සිත්ඇදගන්නාසුලු කෙනෙකු බවට පත් විය හැකිය.—හිතෝපදේශ 27:6.
කෙසේවෙතත් අවසානයේදී, පුද්ගලයෙකු වශයෙන් ඔබගේ වටිනාකම නොහොත් වැදගත්කම නිශ්චය කරනු ලබන්නේ, ඔබ විවාහ වී සිටිනවාද නැද්ද යන්න මත නොවේ. ඇත්තටම වැදගත් වන්නේ දෙවියන්වහන්සේ ඔබව සලකන ආකාරයයි, තවද උන්වහන්සේ “සිත බලනසේක.” (1 සාමුවෙල් 16:7) එබැවින් ඔබේ සැලකිල්ල මූලිකවම යොමු විය යුත්තේ විවාහ වීම මත නොව, යෙහෝවඃවහන්සේගේ අනුමැතිය ලබාගැනීම මතය. විවාහ වීමට වූ ආශාව, ඔබගේ කල්පනා සහ කතා බහ පාලනය කිරීමට ඉඩ නොදීමට උත්සාහ කරන්න. ඔබගේ ආශ්‍රය, තෝරන සංගීතය හා විනෝදාස්වාදය පරෙස්සමින් පාලනය කරන්න.
විවාහ වීමට වූ ආශාව නැති වී යා නොහැකි බව සැබෑය, නමුත් කලබල නොවන්න. ඉවසීම වර්ධනය කරන්න. (දේශනාකාරයා 7:8) ඔබගේ තනිකඩභාවය ශාපයක් ලෙස සලකනවා වෙනුවට, ඉන් ඉදිරිපත් කෙරෙන නිදහසෙන් සහ සිත වෙනතකට යොමු නොකිරීමෙන් දෙවියන්වහන්සේට සේවය කිරීමට එය ඉදිරිපත් කරන ප්‍රස්තාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. (1 කොරින්ති 7:33-35, 38) විවාහය ඔබට සුදුසු වේලාවේදී සිදුවනු ඇත—සමහරවිට ඔබ සිතනවාටත් වඩා ඉක්මනින් එය සිදු විය හැක.
[පාදසටහන්වල]
a ඇතැම් නම් වෙනස් කර තිබේ.
b අපගේ 1995 අගෝස්තු 8 කලාපයේ, “යෞවන අය අසති . . . බාල වයසෙන් විවාහ වී—අපට සාර්ථක විය හැකිද?” යන ලිපිය බලන්න.
c මෙම කාරණා සම්බන්ධයෙන් විශේෂිත යෝජනා සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලද යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොතේ පරිච්ඡේද 10 සහ 11 බලන්න.
[26වන පිටුවේ පින්තූරය]
කෙනෙකුගේ තුල්‍යයන් විවාහ වෙමින් සිටින විට අත්හරිනු ලැබූ බවක් හැඟීම පහසුය