පාමන් රෝගය—වේදනාව සමඟ සාර්ථකව කටයුතු කිරීම
“මගේ ඇස පිටුපස දැඩි වේදනාව මා බියගැන්වූවා,” ඇන් සිහිපත් කරන්නීය “මොළයේ ගෙඩියක් ඇතිවෙනවා කියා මම කනස්සලු වුණා.”
“මම නැඟිටින විට, මගේ බඩේ එක් පැත්තක අසාමාන්‍ය වේදනාවක් තිබුණ නිසා, එය උණ්ඩුක පුච්ඡ ප්රදාහයයයි මම හිතුවා,” ජීන් මතක් කළාය.
“මීට ඉස්සර මට දද හට ගෙන තිබුණා,” දිලිප් විස්තර කරයි “මෙය මේ තරම් දරුණු ලෙස මාගේ සම යටින් වේදනාව ගෙන දෙන්නේ මන්දැයි මම කල්පනා කළා.”
නිශ්චිතවම පාමන් රෝගය යනු කුමක්ද? මෙම රෝගය සඳහා වෘත්තීයමය නොවන නම පැහැදිලිවම පැමිණෙන්නේ, ලතින් භාෂාවෙන් බඳ පටිය යන අර්ථය ඇති කිංගුලුම් යන වචනයෙන් ලබාගත්, සෙංගල්ස් (තේරුම “බඳ පටිය” හෝ “පටිය”) නමැති පරණ ඉංග්‍රීසි වචනයෙනි. මෙම වචනය වහල සෙවිලි කිරීමට ගන්නා ලී පතුරු දක්වන ෂිංගල්ස් යන ඉංග්‍රීසි වචනය හා කිසි සම්බන්ධයක් නැත.
වෛද්‍යමය ලෙස මෙය හඳුන්වන්නේ හර්පීස් සොස්ටර් යනුවෙනි. (හර්ʹපො නමැති ග්‍රීක් වචනයෙන් පැමිණි හර්ʹපීස් යන්නෙහි අර්ථය “රහසින් ක්‍රමානුකූලව ගමන් කිරීමය,” සහ සො·ස්ටර්ʹ යන වචනයේ අර්ථය “වට”). පාමන් රෝගයට හේතුවන හර්පීස් වෛරසය එහි නමට ගැළපෙන ලෙස රහසින් මෙන් ක්‍රමානුකූලව ඉන්ද්රිය ස්නායු දිගේ ගමන් කොට, වේදනාකාරි පහරදීම් ඇති කරමින් සර්පිලාකාරව බොහෝවිට කඳ වටා ගමන් කරයි. ඉදිමී තිබෙන ස්නායුවේ නිතර ඇතිවන බලවත් වේදනාව ඉවසිය නොහැකි තරම් ප්‍රබල විය හැක, එබැවින් මේ සඳහා “අත්‍යන්ත වේදනාව” යන වචනය සමහර වෛද්‍යවරු භාවිත කරති.
පාමන් රෝගයේ මුල් රෝග ලක්ෂණ වන උණ, සීතලය සහ සාමාන්‍යයෙන් ඇති අසනීප ගතිය, බොහෝවිට උණ සෑදෙන විට ඇති ලක්ෂණවලට සමාන වෙතත්, මෙය හෘදයාබාධ, මොළයේ ගෙඩියක් හෝ බෝවෙන යම් බරපතළ තත්වයක් ලෙස වරදවා තේරුම්ගත හැක. පාමන් රෝගයෙන් පීඩා විඳින්නන්ගේ වඩාත්ම පොදු පැමිණිලි අතර, හිරි වැටුණු ගතිය, සම මතුපිට පුපුරුගැසීම සහ බලවත් දැවිල්ල හෝ කැසීමක් බලවත් දරුණු වේදනාවක් ඇතිවීම දක්නට ලැබේ.
රෝග ලක්ෂණ මතුවීමෙන් සතියකට පමණ පසු, සම මතුපිට කසන්නාක් මෙන් දැනෙන රතු බිබිලි, වෛරසයෙන් පහර ලැබූ ස්නායු ඉන්ද්රිය ජාලය දිගේ රේඛාවක් සේ විහිදෙයි, මෙය සාමාන්‍යයෙන් ඉණට උඩින් ශරීරයේ එක් පැත්තක පමණක් දිස්වේ. මේවා සාමාන්‍යයෙන් හටගන්නේ ඉළ ඇට කූඩුව, පිටේ පහත කොටස, පපුව, බෙල්ල, නළල හෝ ඇස් යනාදි ස්ථානවලයි. පිහිටීම ස්නායු ගැංග්ලියාවට බලපෑ ආකාරය මත රඳා පවතී. විෂ ඉත්තවැලක් ස්පර්ශ වීමෙන් ඇතිවන පලු වැනි රැවටිලි සහිත පෙනුමක් ඇති කරන මෙම දද කබොලු රැසක් හෝ දිය බුබුළු බවට වර්ධනය වේ. දින දහයක් ඇතුළත මේවා කබොලුවලින් වටවී ගැලවී වැටීමට පටන්ගන්නේ, බොහෝ අවස්ථාවලදී පාමන් රෝගය සමඟ පොරබැඳු කෙනෙකුට මතක සටහන් ලෙස කැලැල් හා කල්පවතින වේදනාව පවතින්ට සැලැස්වීමෙනි.
හේතුන්, ව්‍යාප්තිය හා සාධ්යාසාධ්යය
යමෙකුට පාමන් රෝගය වැළඳෙන්නේ කෙසේද? රෝගියා විසින්ම මෙම රෝගය බෝ කරගැනීමට ඉඩ කඩ තිබේ. පාමන් රෝගය හටගන්වන හර්පීස් වෛරසය (වැරිසෙල්ලා සොස්ටර්) පැපොල හටගන්වන, වහා බෝවන වෛරසයම බව, වෛද්‍ය පර්යේෂණ නිසැකවම පාහේ සනාථ කර තිබේ. පාමන් රෝගය වැළඳී ඇති කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැපොල (පොදුවේ කුඩා ළමයෙකුට) වැළඳිය හැක්කේ මන්දැයි මෙය පැහැදිලි කරයි. කෙසේවුවද පාමන් රෝගය වැළඳීමට නම් කෙනෙකුට පළමුවෙන් පැපොල වැළඳී තිබිය යුතුයි.
සාමාන්‍යයෙන් ළමා කාලයේ මුල් අවධියේදී, පැපොල සෑදී යම් කාලපරිච්ඡේදයකට පසුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරිසෙල්ලා සොස්ටර් වෛරසයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් නොවේ. මෙය හුදෙකලාව පිහිටා තිබෙන ස්නායු මධ්‍යස්ථානයට ගමන් කර (පර්යේෂකයන් සිතන්නේ මෙය කොඳු ඇටය හෝ හිස් කබල ආශ්රිත ප්‍රදේශය විය යුතු බවය), නැවතත් සමහරවිට වසර ගණනකට පසුව මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල තත්වයකට නැඹුරුව පවතින විට පහර දීමට, සතුටුදායක අවස්ථාවක් සොයාගන්නා තෙක් එහි ක්‍රියාවිරහිතව පවතී.
සාමාන්‍ය ජනගහනයෙන් සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයකට පාමන් රෝගය ජීවිත කාලයේදී කවදා හෝ වැළඳිය හැකි අතර, බොහෝදුරට ගොදුරු වන්නේ, වයස අවුරුදු 50ට වැඩි අයටයි. වයස අවුරුදු 85 ලබන්නාවූ අයගෙන් අඩකට පමණ මෙය වැළඳී ඇති බව පර්යේෂකයෝ තක්සේරු කරති. පිරිමි හා ගැහැනු යන දෙපක්ෂයම එක සමානව මෙයින් බලපෑම් ලැබ සිටිති. මෙම රෝගය නැවත නැවත පැමිණිය හැකි අතර, සියයට 2ත් 4ත් දක්වා ප්‍රමාණයක් පමණක් මෙම නැවත පහර දීමට යටත් වන බව දැනගැනීම යම් සහනයකට කරුණකි.
පාමන් රෝගයෙන් පහර දීමක් බොහෝදුරට පැමිණෙන්නේ, කෙනෙකුගේ ජීවිතයේ ඇතිවන බරපතළ රෝගයකින්, අසාමාන්‍ය වෙහෙසින්, දිගු කලක් පවතින විඩාවෙන් හෝ ක්ෂතියෙන් පසුවය. රසායන චිකිත්සාව, විකිරණ චිකිත්සාව හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උපද්‍රව පමුණුවන නැතහොත් දුර්වල කරවන වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට පසුව මෙය ඇති විය හැක. පැපොල වෛරසය මගින් ඇති කරනු ලබන දෙවන පහර දීම පැපොල යළි වැළඳීමක් නොව, නමුත් පැපොල රෝගයේ සමාන ලක්ෂණ සමහරක් ඇති පාමන් රෝගය වැළඳීමට හේතු වේ. මෙම රෝග ලක්ෂණවලට දද, දිය පට්ට හෝ කබොලු වැනි අවධි ඇතුළත් වන නමුත්, පාමන් රෝගය වෙනම රෝගයකි.
පාමන් රෝගය කොතරම් බරපතළද, තවද පහර දීමක් කොපමණ කලක් පවතීද? පාමන් රෝගය බොහෝදුරට ඉතා අප්‍රසන්න යමක් වුවත්, මෙම රෝගය ජීවිතයට තර්ජනය කරන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් ඔබට වැළඳීමෙන් පසු, මෙම වෛරස් ආසාදනය ප්රබලව ඉස්මතු වීම සමඟ කටයුතු කිරීමට ශරීරය ආරක්ෂාව සැපයීම සඳහා ශක්තිය ගොඩනඟන අතර, සති කිහිපයක් පවතින නිරන්තර වේදනාව විඳදරාගැනීමටද සුදානම් වන්න. බොහෝ අවස්ථාවල මෙම රෝගය පවතින කාලය දින හත සිට දහය දක්වා විය හැක, කෙසේනමුත් දිය පට්ට පිපිරී සුව වීමට සති හතරක පමණ කාලයක් අවශ්‍ය වේ. දිය පට්ට සුව වීමෙන් පසු සති ගණනක් හෝ සමහරවිට මාස ගණනක් පශ්චාත් හර්පීස් ස්නාසාර්දනය නමින් හැඳින්වෙන ස්නායු වේදනාවකින් පාමන් රෝගීන් වේදනා විඳීම අසාමාන්‍ය නොවේ.
මෙම ආසාදනය ඇසකට පැතුරුණහොත් බරපතළ ලෙස ඇසට බලපෑ හැකි අතර, අන්ධභාවයටද හේතු විය හැක. බලපෑ ප්‍රදේශය මුහුණේ නම් වහාම අක්ෂි විශේෂඥයෙකු හමුවීම සුදුසු වේ. ඉක්මන් ප්රතිකාරවලින් බොහෝදුරට බරපතළ අක්ෂි රෝග වැළැක්විය හැකිය.
ප්‍රතිකාර
පාමන් රෝගයට කාර්ය සාධක අන්දමින් ප්‍රතිකාර කිරීමට කුමක් කළ හැකිද? පුරාණයේ සිට අද දක්වා බොහෝ පිළියම් අත්හදා බලා තිබුණද, අවංක පිළිතුර වන්නේ, මේ වන තෙක් වෛද්‍ය විද්‍යාව ප්‍රතිකාරයක් සොයාගෙන නැති අතර, ඔවුන්ට කළ හැකි වී තිබෙන්නේ, රෝගය ස්වභාවයෙන්ම නවතින තුරු ඇති වන බලපෑම්වලට යම් වෙනසක් කිරීමට සහ වේදනාව පාලනය කිරීමටය.
විවිධ හර්පීස් ආසාදනයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෑතකදී සොයාගන්නා ලද ප්‍රතිවයිරස ඖෂධ පාවිච්චිය, පාමන් රෝගය සඳහාද ප්‍රතිකාර කිරීම බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵල නිපදවා තිබේ. එක් උදාහරණයකට ඇසික්ලොවිර්, වෛරසයේ අඩුවැඩි කිරීම සමහර රෝගීන්ගේ රෝගයේ පැවැත්ම හා වේදනාව අඩු කිරීමට ආධාර වේ, කෙසේවෙතත් මෙය සුවය දෙන්නක් නොවන බව පිළිගත යුතුය. හොඳම ප්‍රතිඵල සඳහා ප්‍රතිකාර කිරීම මුලින්ම පටන්ගත යුතු බව පර්යේෂකයෝ පවසති.
කොලරාඩෝ විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යා පාසැලෙහි අධ්‍යයනයක් අනුව අස්වැසුම සඳහා යම් ඖෂධයක් ලබාගත් අයට වඩා, දිනකට පස් වරක් බැගින් දින දහයකට ඇසික්ලොවිර් මිලිග්‍රෑම් 800ක් ලබාගත් අය, තුවාල සෑදීම, කබොලු ඇති වීම සහ වේදනාව අද්දුටුවේ සැලකිය යුතු ප්‍රමාණයකට අඩුවෙනි. පශ්චාත් හර්පීස් ස්නාසර්දනයේ බරපතළකම අඩු කිරීමට ඇසික්ලොවිර් ක්‍රියා කරනවාදැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂකයෝ බෙදී සිටිති. විඩාබින් නම් තවත් ප්‍රතිවයිරස ඖෂධයක් පාමන් රෝගයට ප්‍රතිකාර කිරීමේදී යම් සාර්ථකබවක් නෙළාගෙන තිබේ. එන්නතක් සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වමින් සිටියත්, එය තවදුරටත් පරීක්ෂණාත්මක අවධියේ පවතී.
පාමන් රෝගය වැළඳුනු බොහෝදෙනෙකු කියා සිටින්නේ වේදනාව මෙතරම් නිරන්තර එකක්ව නොතිබුණොත්, එය දරා සිටීම වඩාත් පහසු වන බවය. දිවා රාත්‍රි දෙකේම නොනැවතී පැවතීමෙන් එය රෝගියාව මානසිකව මෙන්ම ශාරීරිකවද, අතිශයින් වෙහෙසට පත් කරයි.
රෝගියාගේ වේදනාවේ මට්ටම ඉතා අධිකව පවතින දවස්වලදී, නුසුදුසු අතුරු ආබාධ ඇති වීමට නැඹුරුවාවක් තිබුණත්, දින කිහිපයකට ප්‍රබල වේදනාව වළක්වන්නාවූ ඖෂධ දීමට වෛද්‍යවරුන් නැඹුරුවිය හැක. රෝගියාට එය දරාගත හැකි නම්, ශීත තෙත් රෙදි කඩකින් තැවීමෙන් වේදනාව සමනය කළ හැක. සියයට 1ක සාන්ද්‍රණය ඇති සිල්වර් සල්ෆඩයසින් සමඟ දිනකට කිහිප වරක් ක්‍රීම් ආලේප කිරීම සමහරුන්ට උපකාරී වී තිබේ. දිය බුබුළු කැසීම හෝ පටියකින් වෙළීම නොකර නිදහසේ පවතින්ට ඉඩහරින්න.
රතු වූ තැන් ක්‍රමක්‍රමයෙන් සනීප වුවත්, දෙවැනි වර පාමන් රෝගයෙන් පහර දී, වේදනා විඳින බොහෝදෙනෙකුට වේදනාවෙන් සහනය ලබාගත නොහැක. පශ්චාත් හර්පීස් ස්නාසාර්දනය ශරීරයට බලපෑම් ඇති කිරීමට ආරම්භ කරන්නේ, විශේෂයෙන්ම මහලු හා ප්‍රතිශක්තිකරණය මර්ධනය වූ රෝගීන්ව බෙලහීන කරවමිනි. මෙම ගැහෙන, දැවිල්ල ඇති කරන වේදනාව දරාගැනීමට අපහසුය. අධිවෘක්ක බාහිකයෙන් ලබාගන්නා න්‍යාසර්ග අත්හදා බලා තිබෙන අතර, මෙම බලගතු ඖෂධවල කාර්යසාධක බව හා ආරක්ෂා සහිතබව පිළිබඳ වෛද්‍ය දත්ත අවිනිශ්ච්තව තිබේ. සමහරවිට, වෛද්‍යවරුන් දීර්ඝ වේදනාව තිබෙන අවස්ථාවලදී අවපීඩනය නැති කිරීමට ඇමිට්රිප්ටිලින් නම් ඖෂධය නියම කළද, මෙය විශේෂයෙන් දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමෙන් ප්රශ්නය සංකීර්ණ කළ හැක.
පුදුම ලෙස, වේදනාව මර්දනය කිරීමේදී, බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵල කැප්සෙයිසින් අඩංගු ආලේපනයක් සමඟ සොයාගෙන ඇති අතර, මෙය මිරිස් කුඩු සෑදීමට ගන්නා රතු ගම්මිරිස්වලින් ලබාගනී. එහෙත් බිබිලි සුව වන තෙක්, මෙය ආලේප කල නොහැක. පාමන් රෝගයේ බරපතළ වැළඳීමක් සමඟ සටන් කළ, ආරම්භයේදී සඳහන් කළ ජීන් පවසන්නේ ඇය සහනය ලබාගත්තේ සති කිහිපයකට දිවා රාත්‍රි දෙකම අවිස්උ (අන්තර් චර්මීය විදුලි ස්නායු උත්තේජන) ඒකකයක් පැළඳීමෙනි. කුඩා විද්‍යුත් ආවේග මගින් අධිකතර අභ්‍යන්තර වේදනාව නොදැනීමට සැලැස්වූ අතර, ඇයට එහා මෙහා යෑමේ නිදහස සලසා දුන්නේය.
නිවාස ප්‍රතිකාර ලැයිස්තුව දීර්ඝ වුවත්, බොහොමයක් අංග සම්පූර්ණ (ආර්ගිනයින් අඩු) ආහාර වේලක් සහ විටමින් B, C හා L -ලයිසින් ඇතුළත් අතිරේකයන් හා සම්බන්ධව පවතී. සමහරු බාහිරින් ඇපල් සුරා පානයකට මුහුන් දමා සාදාගත් විනාකිරි ආලේප කිරීමෙන් ප්‍රයෝජන ලැබෙන බව කියා සිටිති. තවත් සමහරු සමේ පිපිරීයෑම් සුව කිරීමට උපකාරයක් ලෙස විටමින් E පාවිච්චි කරති.
ඔබට පාමන් රෝගය වැළඳුණොත්, පෙනෙන හැටියට ඉක්මනින්ම ළඟ හා දුර යහළුවන් විශේෂ ඉල්ලීමක් නොමැතිව ඔවුන්ගේ ප්‍රියතම නිවාස ප්‍රතිකාර ඔබට ලැබෙන්ට සැලැස්වීමට තිබෙන ඉඩ කඩ වැඩිය. සමහර යෝජනාවන් ප්‍රයෝජනවත් විය හැකි අතර, බොහොමයක් උපකාරවත් නොවේ. ඒවා අඩුම තරමින් ඔබේ වේදනාව මැද සිනහවක් ගෙන දිය හැක. යහළුවෝ සැලකිල්ල දැක්වූහ, තවද මෙය දැනසිටීම ඔවුන්ගේ ප්‍රතිකාරවලට වඩා ඔබට ප්‍රයෝජනවත් විය හැක.
එනිසා පාමන් රෝගය සමඟ සාර්ථකව කටයුතු කරන විට, රෝගියා සහ ඔහුගේ වෛද්‍යවරයා, ප්‍රහාරයේ බරපතළකම අඩු කිරීමට හා වේදනාව අවම කිරීමට සමහර දේවල් කළ හැක. එහෙත් ඔබගේ වෛද්‍යවරයා “ඔබට පාමන් රෝගය සමඟ පොර බැදීමක් තිබෙන බව පෙනේ කියා පැවසුවොත්,” ඔහු සාමාන්‍යයෙන් පවසන්නේ, මැවුම්කරුවාණන් අපගේ ශරීරය තුළට ඇතුළත් කළ ප්‍රතිශක්තිකරණ හැකියාව මගින් රෝගය පාලනය කිරීමේ තත්වය පැමිණෙන තුරු, ඉවසීමට හා විඳදරාගැනීමට වෑයම් කිරීම හොඳම දෙය බවය. g95 4/22