අප ගමන් කරමින් සිටින්නේ කොයිබටද?
මින් පෙර කෙදිනකවත් දැක නැති ප්‍රදේශයකින් ඔබ ගමන් කරනවායයි සිතන්න. මේ වන විට ඔබ ඔබේ ගමනාන්තයට පැමිණ තිබිය යුතු වුවත්, වීදි සලකුණු, නගරවල නම් සහ මායිම් සලකුණු ඔබ අපේක්ෂා කළ ඒවා නොවේ. ‘මා ඉන්නෙ කොතැනද?’ ඔබ කල්පනා කරයි. ‘මා ගමන් කරමින් සිටින්නේ හරි දිශාවටද?’
අදදින ලෝකය එවැනිම අසීරු තත්වයක පවතියි. පෙර කිසිදා නොදුටු පරිමාණයකට පිරිහෙමින් තිබෙන සමාජය නිරීක්ෂණය කරන මිනිසා සිටින්නේ නුහුරු පරිසරයකය. විද්‍යාවේ සහ තාක්ෂණයේ සියලු දියුණු වීම් සමඟින් පෙනෙන්ට තිබෙනු ඇත්තේ, මේ වන විට අප වඩාත් හොඳ ලෝකයක සිටිය යුතු බවය. ග්‍රේට් ඒජස් ඔෆ් මෑන් නම් පොතෙහි සංස්කාරක රසල් බෝඅන් සඳහන් කරන්නේ “සමස්ත ලෝක සහෝදරත්වයක් පිළිබඳ පැරණි කල්පිතය සැබවින්ම සිදුවිය හැක්කක් බවට පත්වී තිබෙන්නේ” 20වන ශතවර්ෂයේ පමණකි කියාය.
එහෙත්, එම ගමනාන්තය, එනම් “සමස්ත ලෝක සහෝදරත්වයක්” කරා ළඟාවීමට නොහැකි වී තිබේ. ආර්ථික සුරක්ෂිතය, ප්‍රමාණවත් ආහාර, වැඩිදියුණු කළ සෞඛ්‍යය සහ සන්තෝෂවත් පවුල් ජීවිතය කොතැනකවත් සොයාගැනීමට නැත. “විද්‍යාත්මක දියුණුව බොහෝ මාර්ගවලින් විනාශයට හා කෲරත්වයට යොදවා තිබේ” යයි මයිල්ස්ටෝන්ස් ඔෆ් හිස්ට්‍රි යන පොත සඳහන් කරයි.
එසේය, මෙම ශතවර්ෂයේ මුලදී සිතූ පරිදි සාමය සහ සුරක්ෂිතය ලැබීමේ මාර්ගයෙන් බොහෝ ඈත් වී, මිනිස්වර්ගයා අදදින නුහුරු ප්‍රදේශයක අතරමං වී ඇත. මෙබැවින්, අදදින බොහෝදෙනා මඟ පෙන්වීම් සොයති: “අප මෙම තත්වයට පත්වූයේ කෙසේද? මෙම ලෝකය ගමන් කරන්නේ කොතැනකටද? අප ජීවත් වන්නේ අන්තිම දවස්වලද?”
අප සිටින්නේ කොතැනකදැයි සොයාගැනීමට, අප දැන් සිටින්නේ කිනම් ස්ථානයකදැයි අප ප්‍රථමයෙන්ම නිශ්චය කරගත යුතුය. අප නව ලෝක පිළිවෙළක එලිපත්තෙහි සිටින්නේයයි සමහරු පවසති; අන් අය පවසන්නේ, අප විනාශයේ අද්දර සිටින බවය. අප සිටින්නේ කොතැනද, එමෙන්ම අප ගමන් කරමින් සිටින්නේ කොයිබටද කියා නියම වශයෙන්ම දැනගැනීමට මාර්ග සිතියමක් මෙන් බයිබලය අපට උපකාර කරයි.
ඔබ ගමන් කරන විට, ඔබ යායුතු ස්ථානය හඳුන්වන සලකුණු දෙස බැලීම වැදගත්. එලෙසම, “අන්තිම දවස්” ලෙසින් නම් කෙරෙන ඉතිහාසයේ කාලපරිච්ඡේදයක් පෙන්නුම් කරන ලක්ෂණ—එනම් ලෝක තත්වයන් සහ ආකල්ප—ගැන බයිබලය විස්තර කරයි. (2 තිමෝති 3:1-5) “අන්තිම දවස්” යන මෙම ප්‍රකාශය, භෞතික අහස සහ පොළොව කෙළවර වීමකට යොමු දක්වන්නේ නැත. ඒ වෙනුවට, එක් බයිබල් පරිවර්තනයක පවසන පරිදි එය “දේවල පිළිවෙළේ සමාප්තිය,” හෝ “යුගයේ අවසානය” අඟවයි.—මතෙව් 24:3; ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.
“අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල් ඇති වන්නේය,” යයි ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ලීවේය. (2 තිමෝති 3:1) මෙය ඉතිහාසයේ වෙනත් කාලපරිච්ඡේදවලට අදාළ වේයයි පෙනෙන්ට තිබිය හැකි බව සැබෑය. ඇත්තෙන්ම, සෑම යුගයකටම ඊට ආවේනික වූ වේදනාකාරි අවස්ථා තිබී ඇත.
එසේනම්, මෙම වචන හුවා දක්වන්නේ, අපගේ දවස්වලටයයි විශ්වාස කිරීමට තිබෙන්නේ කිනම් හේතුවද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Tom Haley/Sipa Press