පොඩි මහත්මයා කළු ඇඳුමෙන් සැරසී
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
උතුරු එංගලන්තයේ විශාල වශයෙන් වැලිමීයන් සිටින නමුත්, ගොවි යායේ කඩුල්ලෙන් ඔබ්බට තණපිටිය සිසාරා බැලූ මට දකින්ට ලැබුණේ මා පෙර කෙදිනකවත් දැක නොතිබුණු වැලිමී තුඹස් කන්දරාවකි. අලුත හෑරූ කුඩා පස් ගොඩැලිවලින් තණපිටිය වැසී තිබේ. වැලිමීයා මොන වගේ සතෙක්ද, ඌ ජීවත් වන්නේ කොහොමද කියා ඔබ දන්නවාද?
වැලිමීයන් තම ජීවිතයෙන් වැඩි කොටසක් ගත කරන්නේ පොළොව යට බැවින්, කෙදිනක හෝ උන්ගේ තුඹසක් දැක තිබෙන්නේ ස්වල්පදෙනෙකි. ඌ අඟල් පහමාරක් පමණ දිග සතෙකි. පිරිමි සතෙකුගේ බර අවුන්ස හතරකට වඩා ස්වල්පයක් අඩුයි. බ්‍රිතාන්‍ය වැලිමීයෙකුට කළු පාටට හුරු තද අළු පාට ලෝම කබායක් තිබෙන අතර සාමාන්‍යයෙන්ම, ආදරේට වාගේ පවසන්නේ කළු වෙල්වට් ඇඳුමෙන් සැරසුණු පොඩි මහත්මයා කියායි.
වැලිමීයාගේ ලෝම කබායේ ලෝම නැමී නැත; එසේ වීමට හේතුව, ඒවා සමෙන් කෙළින් අතට පිටතට එන නිසායි. එබැවින් වැලිමීයා පොළොවේ කොයි අතට පෙරළුණත්, හැරුණත් ඌට එය පහසුවෙන් කළ හැකියි. වසර ගණනාවකට පෙර වැලිමීයන් අල්ලන්නන්, ඇඳුම් සෑදීම සඳහා සම විකුණුවත්, “කබායක් මහන්න වැලිමී සම් සෑහෙන තොගයක් ඕනෙ,” යයි වැලිමීයන් අල්ලන්නෙක් පැවසුවේ අකමැත්තෙනි.
වැලිමීයාගේ ශරීරය විශේෂයෙන්ම නිර්මාණය වී තිබෙන්නේ උගේ හෑරීමේ වැඩය සඳහායි. උගේ පෙර ගාත්රා ශරීරයේ ඉදිරියටම වෙන්න පිහිටා තිබෙන්නේ ඒවායේ අල්ලවල් පිටතට නෙරමින්ය. ඇඟිලි පහ සහ අඩ සඳ හැඩැති අතිරේක ඇටකටුව කාර්යක්ෂම ඉස්කෝප්ප හැඳි දෙකක් සාදයි. වැලිමීයාගේ කුඩා පස්සා ගාත්රා ශක්තියෙන් හීන වන්නේ සාපේක්ෂ වශයෙන් උගේ ශක්තිමත් පෙර ගාත්රාවලට පමණක් වන අතර ඌට ඉතා වේගයෙන් දිවීමට ඒවා උපකාර කරයි. මෘදු පස් ගොඩක් මත වැලිමීයෙකු තැබුවොත්, තත්පර පහකින් ඌ භූමිය තුළට අතුරුදහන් වේ! ඌට අඳුරු, ගුල් තුළින්ද නැතහොත් භූමිය මතුපිටින්ද, පැයට කිලෝමීටර් තුනක වේගයකින් ගමන් කළ හැකි බවට තක්සේරු කර තිබේ.
අසාමාන්‍ය දැනීම්
සමහර අය සිතන පරිදි වැලිමීයා සම්පූර්ණයෙන්ම අන්ධ නැති නමුත් ලොම් සහිත සමේ සැඟවී තිබෙන උගේ පුංචි ඇස්, ඌට අඳුරෙන් ආලෝකය වෙන් කර හඳුනාගැනීමට හරියටම ප්‍රමාණවත් පෙනීම ලබා දෙයි. වැලිමීයා පස හාරාගෙන යන විට, උගේ ඇස් ආරක්ෂා කරගැනීම සඳහා, ඒවා හරහා දිගු රෝම ඇදී ඇත. කෙසේවුවද, පෙනීමට වඩා වැදගත් වන්නේ වැලිමීයාගේ තියුණු ගඳ සුවඳ දැනීම සහ උගේ ස්පර්ශයේ දැනීමයි.
යුරෝපීය වැලිමීයාගේ රෝස පැහැති හොම්බෙ කෙළවර කුඩා නෙරීම් දාහක් විතර තිබෙන අතර ඒ සෑම එකකටම, ස්පර්ශ වීමත් සමඟම සංවේදීතාව දනවන රෝමයක්ද තිබේ. එමෙන්ම උගේ හිසේ විවිධ කොටස්වල සහ වලිගයේ කොණෙහි සංවේදනීය අතිරේක රෝම තිබේ. වැලිමීයා උගේ ගුල දිගේ යන විට ඇතිවන පීඩන තරංග ඌට දැනේ. මේ ආකාරයට විශාල ගල් හෝ ගොදුරු අල්ලා කන්නන් වැනි බාධාවන් පවා තිබෙන තැන් සොයාගැනීමට සහ ඒවා මඟහැරීමට ඌට හැකිකම ලැබේ.
වැලිමීයාට තිබෙන්නේ ඉතා කුඩා කන් නමුත්, උගේ ඇසීම ඉතා තියුණුයි. භූමිය තුළින් පැමිණෙන කම්පනයන් තේරුම්ගැනීමටද, ඒවා අනුව ක්‍රියා කිරීමටද ඌට හැකියාව තිබේ. චක්‍ර පිධාන පේශි මගින් වැලිමීයාගේ කන් වැසිය හැකියි, මෙය කනේ සිහින් කුහර තුළින් පස් කැට ඇතුළුවීමෙන් වැළකීමට හැකි කරවන බවක් පෙන්වයි.
ආහාර සහ කැදැල්ල
තණපිටිය හරහා ඉතා ඕනෑකමින් බලද්දී, වැලිමීයන් නිතර ගැවසුණු පොළොව යට මාර්ගය අඳුනාගැනීමට මට හැකි විය. පොළෝ මතුපිටට යන්තම් යටින් මාර්ගය දිවගිය අතර යන්තම් ඉස්සී තිබිණ. වැලිමීයන් අලුත හාරන ලද පස් ඉවතට තල්ලු කරන විට සෑදුණු අලුත් පස් ගොඩැලිද පැහැදිලිව පෙනෙන්ට තිබිණ. මෙම පස් පෙරළීම, පසෙහි ජලය පෙරී එහි සරුභාවය පවත්වාගැනීමට උපකාර කරමින් සීසෑමක ආකාරයක් ගනී.
වැලිමීයාගේ ප්‍රධාන ආහාරය ගැඩවිලන් වන අතර ගුල් හෑරීම සඳහා හේතුව මෙයයි. ගැඩවිලන් පසෙහි ගමන් කරන විට වැලිමීයා සාදා තිබෙන ගමන් මාර්ගවලට ඇතුල් වේ. එවිට වැලිමීයා අඳුරු කුහර තුළින් දුවැවිත් වැඩි වේලාවක් යෑමට පෙර උගේ ආහාරය සොයාගනියි. එහෙත් ඌ පොතු බරියන් සහ කම්බි පණුවන් ඇතුළු කෘමීන්වද කා දමයි. වැලිමීයෙකුට සෑම පැය දෙකකට සැරයක් කන්න වුවමනායි, නැතහොත් ඌ මියයයි.
වැලිමීයාගේ කුඩා පස්ගොඩැලි උගේ කැදැල්ල සමඟ පටලවා නොගත යුතුයි. අඩියක් පමණ උස හා අඩි තුනක් පමණ පළල මෙය ඉතා විශාලයි. එය සාමාන්‍යයෙන් දකින්ට ලැබෙන්නේ තණකොළ, අතුරිකිලි සහ කොළ වැනි කැදැල්ලට අවශ්‍ය ද්‍රව්‍ය පහසුවෙන් සොයාගත හැකි ගහක් හෝ බඩවැටියක සෙවනකට සමීපයෙනි.
වසන්ත සමයේ මුල් භාගයේදී බහුජායී වැලිමීයෙකුට පැටව් හතක් පමණ ඉපදේ. උත්පත්තියේදී අන්ධව සහ ශරීර වැස්මක් නැතුව සිටින වැලිමී පැටවුන්ගේ බර ග්‍රෑම් තුනකටත් වඩා අඩුයි. සති පහකින් පසු ජීවිකා වෘත්තිය සපයාගැනීමට ප්‍රමාණවත් වයසක සිටින උන් එහාට මෙහාට යන අතර, සමහරවිට කිලෝමීටර් 1.5ක් පමණ යයි. මාස නවයකට පසු උන් පැටව් බිහි කිරීමට සූදානම්ව සිටී. වැලිමීයෙකුගේ සාමාන්‍ය ජීවිත කාලය වසර තුනකි. කෙසේවුවද, ගොදුරු අල්ලා කන්නන් ඊට පෙර උන්ගෙන් බොහොමයක් මරා දමයි.
මනා ලෙස සකස් කර තිබෙන තණපිටියක් යට හෝ පිළියෙළ කරන ලද ගොල්ෆ් පිටියක වැලිමීයෙකු ආහාර සොයා ගුල් හාරන විට ඌ ගැටලු ඇති කළ හැකියි, නමුත් කළු වෙල්වට් ඇඳුමෙන් සැරසුණු අපේ පොඩි මහත්මයා ගම්බද ජීවිතයේ කුතුහලයේ කොටසක් බවට පත්ව සිටී. g95 2/22