සන්තෝෂය සහතික කිරීමට ද්‍රව්‍යමය සමෘද්ධියට හැකිද?
“සිසුන් 50දෙනෙකු පමණ සිටි අපේ පාසැලේ, සපත්තු ඇඳ සිටියේ එක්කෙනෙක් හෝ දෙදෙනෙක් පමණි,” යනුවෙන් 1950ගණන්වල දකුණු තායිවානයේ ඇති දැඩි වූ අවුරුදු 45ක් වයසැති බෝචිං සිහියට නංවයි. “අපට ඒවා මිල දී ගැනීමට නොහැකි වුණා. එහෙත්, අපි දුප්පත් කියා අපි කවදාවත් හිතුවේ නැහැ. අවශ්‍ය සෑම දෙයක්ම අපට තිබුණා.”
මෙය වසර 40කට පමණ පෙරය. එවක් පටන්, බෝචිංටත් එම දූපතේ සිටින මිලියන 20ක පමණ ජනයාටත් විස්මිත ආකාරයකින් ජීවිතය වෙනස් වී ඇත. ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්—ද රිපබ්ලික් ඔෆ් චයිනා ඔන් ටායිවාන් නමැති පොතේ පැහැදිලි කරන පරිදි, “තායිවානය කෘෂිකාර්මික සමාජයක සිට ප්‍රාණවත් කාර්මික සමාජයක් බවට පරිවර්තනය කරනු ලැබීය.” එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගය පමණ වූ විට, තායිවානය “ස්ථාවර, සමෘද්ධිමත් සමාජයක්” ලෙස සලකනු ලැබීය.
ඇත්තවශයෙන්ම, තායිවානයේ සමෘද්ධියට සෑම තැනකම සාක්ෂි දැකගැනීමට හැකි වේ. දිවයින පුරා ක්ෂණයකින් මෙන් ඇතිවී තිබෙන අතිනූතන ඉතා උස් වූ කාර්යාල සංකීර්ණ පටන්, ආනයනය කරන ලද මිල අධික මෝටර් රථවලින් ගහණ මහමාර්ග දක්වා, තායිවානයේ ද්‍රව්‍යමය සමෘද්ධිය, සංවර්ධනය වෙමින් පවතින වෙනත් රටවල ඊර්ෂ්‍යාවට හේතුවක් වනු ඇත. අදදින “තායිවානයේ ජනයා චීන ඉතිහාසයේ වඩාත්ම උසස් ජීවන මට්ටමක් භුක්තිවිඳිමින් සිටින” බව තායිවානයේ ප්‍රධාන ඉංග්‍රීසි-භාෂා පුවත්පත වන චයිනා පෝස්ට් ආඩම්බරයෙන් කියා සිටී.
‘ඉතා දුෂ්කර ගැටලු රාශියක්’
මෙතරම් ද්‍රව්‍යමය සමෘද්ධිය ජනයාහට සැබෑ සන්තෝෂය හා තෘප්තිය ගෙනැවිත් තිබේද? තායිවානයේ ජනයාට ආඩම්බර වීමට බොහෝ දේ තිබීම ගැන සැකයක් නැති නමුත්, සාර්ථකත්වයේ මෙම කතන්දරයට තවත් පැත්තක්ද තිබේ. චයිනා පෝස්ට් තවදුරටත් මෙසේ සඳහන් කරයි: “සමෘද්ධියේ මෙම ඉහළ මට්ටමත් සමඟ සංකීර්ණ සහ ඉතා දුෂ්කර ගැටලු රාශියක්ද මතු වී තිබේ.” තායිවානයේ ද්‍රව්‍යමය සමෘද්ධිය යම් අහිතකර ප්‍රතිඵලවලින් තොරව පැමිණ නැත.
වරක් සාපේක්ෂ වශයෙන් අපරාධවලින්-නිදහස් වූ මෙම දූපතට මුහුණ දීමට තිබෙන “සංකීර්ණ සහ ඉතා දුෂ්කර ගැටලු” ගැන චයිනා පෝස්ට් මෙසේ නිරීක්ෂණය කරයි: “මෑත වසරවල අපගේ ධනවත් සමාජය තුළ අපරාධ හා අපිළිවෙළ තැතිගන්වන ආකාරයකින් වැඩි වී තිබේ, මෙය සියලුම නීති-ගරුක පුරවැසියන්ගේ ජීවිත හා දේපොළවලට වැඩි වැඩියෙන් තර්ජනයක් එල්ල කරයි.” “ධනය තායිවානය කාමාධික දේශයක් බවට හරවයි” යන මැයින් යුත් ලිපියක, වේගයෙන් වැඩිවෙන “කාමුක හැසිරීමට අත දෙන ආපන ශාලා හා මත්පැන් හල්” මෙන්ම, බාබර් සාප්පු මෙන් පිටින් පෙනෙන නමුත්, නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන ගණිකා නිවාස පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් පෝස්ට් පුවත්පත දොස් නඟමින් කතා කරයි. වන්දි මුදලක් ලබාගැනීමේ අටියෙන් බියගන්වා අය කිරීම හා පැහැරගැනීම තවත් ගැටලුවක් බවට පත්ව ඇත. දරුවන් පැහැරගැනීම සම්බන්ධයෙන් එක් වාර්තාවක් කියන්නේ එය “තායිවානයේ ඉතා වේගවත්ව ප්‍රසිද්ධ වන නවතම ව්‍යාපාරය” බවය. බොහෝදෙනෙකු එබඳු අපරාධ වෙතට ඇදී යන්නේ සූදු කෙළීමෙන් ඇති වූ ණය හෝ වෙනත් මූල්‍යමය පාඩු පියවීමටය.
අපරාධවලට ගොදුරුවන දරුවෝ, අහිංසකයෝ පමණක්ම නොවෙත්. ඔවුහු අපරාධ සිදු කිරීමෙහි වැඩි වැඩියෙන් සම්බන්ධ වී සිටිති. වර්ෂ 1989දී පමණක්ම, බාලයන් විසින් සිදු කරනු ලැබූ අපරාධ සියයට 30කින් වැඩි වූ බව වාර්තා පෙන්වයි. ඇතමෙක් මෙම වැඩිවීමට හේතුව වශයෙන් යොමු දක්වන්නේ පවුල් බිඳ වැටීමටය, ඇරත් සංඛ්‍යා ලේඛනද ඊට අනුබල දෙන බවක් පෙනේ. නිදසුනක් වශයෙන්, 1977 සිට 1987 දක්වා, විවාහ වූ තායිවාන ජාතික යුවළයන්ගේ සංඛ්‍යාව පහත වැටීගිය නමුත්, දික්කසාද අනුපාතය දෙගුණයකටත් වඩා වැඩි විය. ස්ථිර සමාජයක පවුලේ වැදගත්කම සම්ප්‍රදායානුකූලව චීන සංස්කෘතිය මගින් අවධාරණය කරනු ලබන හෙයින්, වඩ වඩාත් උග්‍ර වෙමින් පවතින තත්වයන් සම්බන්ධයෙන් බොහෝදෙනෙකු ඉතා සැලකිලිමත් වීම පුදුමයක් නොවේ.
ගැටලුවේ මුල
සමෘද්ධිමත් සමාජයක සමාජීය පිළිවෙළේ පිරිහීමට හේතුව නිශ්චය කරගැනීම සඳහා වෑයමක් වශයෙන් විවිධ පහදාදීම් ඉදිරිපත් කොට තිබේ. ඉතා සන්සුන්ව ප්‍රතික්‍රියා කරන ඇතමෙක්, මෙය හුදෙක් සාර්ථකත්වය වෙනුවෙන් ගෙවන වන්දිය බව පවසත්. එහෙත් සාර්ථකත්වය හෝ සමෘද්ධිය මත වරද තැබීම වනාහි, ගිජුකමට ආහාර මත වරද තැබීම වැනි දෙයකි. ආහාර අනුභව කරන සියල්ලෝම ගිජු අය නොවෙත්, එමෙන්ම සමෘද්ධිමත් වන ඕනෑම කෙනෙක් ද්‍රව්‍යවාදී කෙනෙක් හෝ අපරාධකරුවෙක් හෝ නොවෙති. ද්‍රව්‍යමය සමෘද්ධිය, අපරාධ සහ සමාජයේ අවුල්සහගතභාවයට තනි හේතුවක් නොවේ.
චයිනා පෝස්ට්හි කතුවැකියක් දායක වන ප්‍රධාන හේතුවකට යොමු දැක්වීය. එහි මෙසේ සඳහන් විය: “දශක ගණනාව පුරා අපි ද්‍රව්‍යමය සංවර්ධනය කෙරෙහි වුවමනාවට වඩා වැඩි අවධාරණයක් කොට ඇත්තෙමු. අදදින අපගේ සමාජය තුළ සදාචාර සහ ආත්මික සාරධර්මවල පිරිහීමට හේතුව මෙයයි.” (ඇල අකුරු අපේය.) එසේය, ද්‍රව්‍යමය දේවල් ලුහුබැඳ යෑම ප්‍රමාණයට වඩා වැඩියෙන් අවධාරණය කිරීම, ද්‍රව්‍යවාදයේ සහ ගිජුකමේ ස්වභාවයකට මඟ පාදයි. එය ආත්මාර්ථකාමිත්වයට අනුබල දෙයි. පවුල් බිඳවැටීමටත්, සමාජීය ආපදාවල ක්රමානුකූල වැඩිවීමටත්, මඟ පාදන්නේ සැබවින්ම එබඳු ස්වභාවයකි. වසර 2,000කට ඉහතදී බයිබලය පැවසූ දෙය තවමත් සැබෑ වේ: “[මුදල්ම නොව] මුදලට ප්‍රේමවීම සියලු ආකාර නපුරේ මුලක්ය.”—1 තිමෝති 6:10, NW.
ලෝක ව්‍යාප්ත ගැටලුවක්
සාමය හා සන්සුන්කම—එමෙන්ම සුරක්ෂිතභාවය—සොයමින්, දහස් සංඛ්‍යාත ජනකායක් තායිවානයේ සිට වෙනත් රටවලට ගොස් ඇත. එනමුත් තායිවානය අද්දකින ගැටලු තායිවානයට පමණක් සීමිත වූ ඒවා නොවෙයි. ඒවා ලෝක ව්‍යාප්තව පවතී.
අමෙරිකා එක්සත් ජනපදයෙහි, කැලිෆෝනියාවේ පිහිටි වඩාත්ම ධනවත් ප්‍රාන්තයට රටේ ඉහළම දික්කසාද අනුපාතය තිබූ බව වසර ස්වල්පයකට පෙර කරනු ලැබූ එක් අධ්‍යයනයක දක්වා තිබුණි. එම ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල නිශ්චල දේපොළ ගනු දෙනු සියල්ලෙන් සියයට 90ක් පමණ කඩාකප්පල් වූ විවාහවලට ප්‍රතිඵලය විය. ජාතික සාමාන්‍යය මෙන් දෙගුණයකටත් වඩා වැඩි සිය දිවි නැසීමේ සංඛ්‍යාවක් වාර්තා කර තිබිණ. මත්පැන්වලට ඇබ්බැහි වීමේ අනුපාතය රටේ ඉහළතම එකක් වූ අතර, එක්සත් ජනපදයේ වෙනත් ඕනෑම තැනකට වඩා එහි එක් පුද්ගලයෙකුට සිටි මනෝචිකිත්සකයන් හා වෙනත් මානසික රෝගවලට ප්‍රතිකාර කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වූ බවට පවසා තිබිණ.
“මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය,” කියා යේසුස්වහන්සේ පැවසූ විට උන්වහන්සේ මූලික සත්‍යයකට යොමු දැක්වූසේක. (මතෙව් 4:4) කොතරම් බහුලව තිබුණත්, ද්‍රව්‍යමය දේවලට පුද්ගලයෙකුගේ සෑම අවශ්‍යතාවක්ම සන්සිඳුවාලිය නොහැක, එමෙන්ම ඒවාට සන්තෝෂය සහතික කිරීමටද නොහැක. ඒ වෙනුවට, එය සෑමවිටම පාහේ මෙම චීන කියමනෙන් දැක්වෙන කාරණයට සමාන වේ: “කෙනෙකු හොඳින් පෝෂණය වී උණුසුම්ව සිටින විට, ඔහුගේ සිතුවිලි තෘෂ්ණාධිකකම් වෙතටත්, මාංසික ආශා වෙතටත් ඇදී යයි.” තායිවානයේ හා වෙනත් සෑම තැනකම සිදුවෙන දෙයින් මෙය පැහැදිලි වෙයි—එනම් තනිකර ද්‍රව්‍යමය සමෘද්ධිය බොහෝවිට සදාචාරමය සහ සමාජීය පිරිහීමටත්, ඊට සම්බන්ධ ගැටලුවලටත්, පෙරනිමිත්තක් බවට පත්වීමයි.
එසේනම්, ද්‍රව්‍යමය සමෘද්ධිය සැබෑ මෙන්ම කල්පවතින සන්තෝෂයේ කොටසක් බවට පත්විය හැකි පරිද්දෙන් අවශ්‍ය වන්නේ කුමක්ද? පිළිතුරක් සඳහා, කරුණාකර ඊළඟ ලිපිය කියවන්න. g94 12/8
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“කෙනෙකු හොඳින් පෝෂණය වී උණුසුම්ව සිටින විට, ඔහුගේ සිතුවිලි තෘෂ්ණාධිකකම් වෙතටත්, මාංසික ආශා වෙතටත්, ඇදී යයි.”—චීන කියමනක්
[5වන පිටුවේ පින්තූරය]
ද්‍රව්‍යමය සමෘද්ධිය මගින් කුඩා නුවරවල්, ජනාකීර්ණ ඝෝෂා සහිත, නියොන් පහන් දැල්වෙන නගර බවට පරිවර්තනය කොට තිබේ