වඩා වැඩි දේ අවශ්‍ය වන විට
පෙර ලිපිවල අඩංගු යෝජනා බොහොමයක් ඉතාමත්ම ප්‍රයෝජනවත් විය හැකි වුවත්, ඇතැම්විට විශේෂිත තත්වයන් යටතේදී වැඩි උපකාරයක් අවශ්‍ය වේ. නිදසුනක් වශයෙන්, ක්ෂණික ආවේග තිබීම පමණක් නොව, නමුත් ඉතා භයානකද වන දරුවෝ සම්බන්ධ වාර්තාවලට එබඳු අය ඇතුළත් වෙත්. මෙම දරුවෝ, ප්‍රේමනීය පවුල්වල සැලකිල්ල ලැබුවත්, දේවල් කුඩුපට්ටම් කිරීමෙන්, මිනිසුන්ට බැණවැදීමෙන්, ගිනි තැබීමෙන්, වෙඩි තැබීමෙන්, (ලබාගත හැකි වුණොත්) පිහිවලින් ඇනීමෙන්, තවත් ඔවුන්ට හිතුණොත් සතුන්ට, මිනිසුන්ට හෝ තමන්ටම රිදවීමෙන් ඔවුන්ගේ විනාශකාරි චර්යාව විදහා පෙන්වති. සාරාංශයක් වශයෙන් කියනවා නම්, ඔවුහු ව්‍යාකූලභාවය නිදර්ශනය කරති.
තම දරුවාට වඩාත්ම හොඳ සැලකිල්ල ලබා දීම සඳහා, වෛද්‍යමය උපකාරය ලබනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයකි. හිතෝපදේශ 22:6හි දෙමව්පියන්ට දී තිබෙන සහනය ගෙන දෙන සහතිකය හිතේ තබාගෙන, සෑම පවුලක්ම තම දරුවාගේ විශේෂ පෞද්ගලික අවශ්‍යතා සපයන්නේ කෙසේද කියා තීරණය කළ යුතුය.
දැනට තිබෙන ප්‍රතිකාර ක්‍රම අතර වැඩිම මතභේද ඇති කරන එක් ක්‍රමයක් වනුයේ, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ කාරණයයි. වඩාත් බහුලව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන මත්ද්‍රව්‍ය වන රිටැලින්වලට මිශ්‍ර ප්‍රතිඵල තිබී ඇත. රිටැලින් හෝ ක්‍රියාකාරිත්වය-සීමා කරන වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේදී, තම දරුවා දක්වා තිබෙන දියුණුව ගැන පවුල් බොහොමයක් සතුටට පත්වී ඇත. කෙසේවෙතත්, මෙම මත්ද්‍රව්‍යවල ප්‍රයෝජනය ගැන පමණක් නොව, නමුත් ඒවා පමණට වඩා වැඩියෙන් නිර්දේශ කිරීම සම්බන්ධයෙන්ද දැනට මතභේද තිබේ. නිදසුනක් හැටියට දීර්ඝ කාලපරිච්ඡේදවලට රිටැලින් භාවිත කිරීම හා සම්බන්ධව හානිදායක අතුරු ආබාධ තිබිය හැකි බව ප්‍රකාශ කරමින්, ඇතැම් වෛද්‍යවරු ඇත්තවශයෙන්ම ඒවායේ වටිනාකම සම්පූර්ණයෙන්ම අභියෝගයට ලක් කරති. කෙසේවෙතත්, දියුණු වූ චර්යාව සහ විද්‍යාලීය ප්‍රගතිය සමඟ අතුරු ආබාධ ස්වල්පයක් පමණක් බොහෝ පවුල් සහ වෛද්‍යවරුන් සඳහන් කරන බව, නැවත අවධාරණය කළ යුතුය. ADD තිබෙන බවට රෝග නිර්ණය කර තිබෙන එමෙන්ම දැනට ප්‍රතිකාර ලබමින් සිටින වැඩිහිටියන් බොහෝදෙනෙක්ද ප්‍රතිඵල ගැන සතුටු වීම සිත්ගන්නා කරුණකි. එමනිසා, වෛද්‍ය ප්‍රතිකාරය වනාහි, පරෙස්සමින් පරීක්ෂා කිරීම හා තක්සේරු කර බැලීම මත පදනම් වූ පෞද්ගලික තීරණයකි.
වෛද්‍ය ප්‍රතිකාරගැනීමට තැත් කළ නමුත් අඩු ප්‍රතිඵල ලැබූ අයට, විකල්ප ප්‍රතිකාර ක්‍රම තිබේ. විටමින මෙන්ම ඖෂධීය පැළෑටිවලින් හෝ දෙකම කලවම් කිරීමෙන් කරන ප්‍රතිකාරයෙන් වාර්තා වී තිබෙන හොඳ ප්‍රතිඵල ගැන බොහෝ පවුල්වලට කියවන්ට ලැබී ඇත. කලින් සඳහන් කළ පරිදි, ඇතැම් අවස්ථාවලදී මොළයේ යම් ජීව රසායන අසමබරතාවන් ADD/ADHDට හේතු විය හැකිය, මෙම ප්‍රතිකාර ක්‍රමවලට ඒවා හරිගැස්වීමට හැකි බව විශ්වාස කෙරේ.
ඊට අමතරව, ADD/ADHD සමඟ සම්බන්ධ ගැටලු බොහොමයකට මුලපුරන වෙනත් සාධක තිබෙන බව ඇතමෙක් විශ්වාස කරත්. “ඇතැම් දරුවන්ට කොටසක් වශයෙන් හෝ ප්‍රධාන වශයෙන් අසාත්මිකතාවලට හෝ පරිසරයේ යම් දෙයකට අනාවරණය වීමට සම්බන්ධ, කායික අසනීප සහ⁄හෝ චිත්තවේගීය, මානව චර්යා සහ ඉගෙනගැනීමේ ගැටලු තිබෙන බව,” ඉස් දිස් යෝර් චයිල්ඩ්? නමැති තම පොතේ වෛද්‍ය ඩොරිස් රැප් ප්‍රකාශ කරයි. තවද, සායම් වර්ග, සීනි වර්ග සහ මත්ද්‍රව්‍යවලට දක්වන ප්‍රතික්‍රියාව, දරුණු හදිසි කෝපය, මානසික ස්වභාවයේ හදිසි වෙනස්වීම් සහ නිදාගැනීමට අපහසුතාව ආදියෙන් ඇත්තවශයෙන්ම මෙම ගැටලු අනුකරණය කළ හැකිය.
තම දරුවන්ගේ හැසිරීම පාලනය කරන්නේ කෙසේද කියා බොහෝ පවුල් මගින් ඉගෙනගෙන තිබේ, එසේවුවත් මෙම දරුවන්ගේ විද්‍යාලීය හැකියාව වැඩි ගැටලු ඇති කළ හැකිය. ඇතමෙකුට, පෞද්ගලික ගුරුවරු, උපදෙස්, උපකාරක කණ්ඩායම් සහ විශේෂ ගුරුවරුන් ලබා දීම වැනි විශේෂ සේවාවන් උපකාරවත් විය හැකිය. තනිව උගන්වනු ලබන විට මෙම දරුවන් වඩා හොඳින් කටයුතු කිරීමට නැඹුරුවාවක් දක්වන හෙයින්, ඔවුන්ගේ වෛද්‍යවරයාගේ යෝජනාව මත, නේවාසික අධ්‍යාපනය ලබා දීමෙන් සමහරක් පවුල්වලට සාර්ථකත්වය ලැබී ඇත.
දරුවන් අතර පෞද්ගලික අද්විතීයභාවය සහ නානාවිවිධත්වය නිරූපනය කරන වෛද්‍ය මෙල් ලැවර්න්ගේ ස්කූල්ස් එට්‍යූන්ඩ් නමැති වැඩසටහන බඳු නවීන අධ්‍යාපනික වැඩසටහන් බොහොමයක් නොසලකා හැරිය නොහැක. සෑම දරුවෙකුටම ගැළපෙන ආකාරයට සෑම දරුවෙකුගේම අවශ්‍යතා සපුරාලිය හැකි අධ්‍යාපනය ලබා දීමට වෛද්‍ය ලැවර්න්ගේ වැඩසටහනෙන් අනුබලය ලැබෙයි. එක්සත් ජනපදයේ අධ්‍යාපනය සඳහා මෙම නානාවිධ එළඹීම් ක්‍රියාවට නංවා තිබෙන සෑම තැනකම, හොඳ ප්‍රතිඵල ලැබී තිබේ.
අනාගතය
දරුවන් ඇති දැඩි කිරීම වනාහි අලුත් නිවසක් මිලට ගැනීම හා සන්සන්දනය කළ හැකිය. දෙකටම ජීවිත කාලයක ආයෝජනයක් අවශ්‍ය වේ; කෙසේවෙතත්, තමන්ගේ තත්වයන් නිසා, තමන් අදහස් කළ නිවසට වඩා අඩු පහසුකම්වලින් යුත් නිවසක් මිලට ගැනීමෙන් සෑහීමට පත්වීමට නිවෙස් ගැනීමට කල්පනා කරන අයට සිදුවේ. එලෙසම, සාතන්ගේ ලෝකය තුළ අසම්පූර්ණ දරුවන් ඇති දැඩි කරන අසම්පූර්ණ දෙමව්පියන්ට තමන් බලාපොරොත්තු වූ තත්වයට වඩා බාල තත්වයක දරුවන් සමඟ සෑහීමට පත්වීමට බල කෙරේ. අලුතෙන් මිල දී ගත් නිවසට අසාමාන්‍ය හෝ ආශා කළ නොහැකි අංග තිබිය හැක, නමුත් වෙහෙසවීම හා මද මනංකල්පනයක් ඇතිව, දුෂ්කර අංග බොහොමයක් බොහෝදුරට මකා දැමිය හැකි වේ. දුෂ්කර නිර්මාණ කෘත්‍යයක් පවා ඉතා ඉක්මනින් එම නිවසේ අවධානය පැහැරගන්නා අංගයක් බවට පත්විය හැකිය.
ඊට සමාන ආකාරයකින්, තමන්ගේ අසාමාන්‍ය දරුවාගේ පෞද්ගලික අවශ්‍යතාවලට දෙමව්පියන් හැඩගැහෙනවා නම්, ඔහු හෝ ඇය ඔවුන්ගේ ජීවිතවල ඉතා ලස්සන අංගයක් බවට පත්විය හැකිය. සෑම දරුවෙකුවම ඔහුගේම ගතිගුණවලට අගය කළ යුතුය. එමනිසා, ඒකාන්ත දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. දරුවන් හිරකර තැබීම වෙනුවට, එක් එක්කෙනාගේ නිර්මාණ ශක්තියට දිරි දෙන්න, එමෙන්ම ඔහු හෝ ඇය ගෞරවය සහ ප්‍රේමය ලබන්ට වටින ගෞරවනීය පුද්ගලයෙකු බව—එනම් යෙහෝවඃ දෙවියන්වහන්සේගෙන් ලද අගනා තෑග්ගක් බව අගය කරන්න.—ගීතාවලිය 127:3-5. g94 11/22