“දඟලන්නේ නැතුව හොඳට අහගන්නකෝ!”
ඌන අවධාන අධික්‍රියාශීලී අක්රමිකතාව සමඟ ජීවත්වීම
“ජිම් හැමදාම කිව්වේ, කැල්ව ඕනෑවට වැඩිය නරක් කරල තියෙන හින්දා, අපි—ඒ කියන්නේ මම, එයාට හරි විදිහට හික්මවීම දුන්නොත්, එයා හොඳට හැදෙයි කියලයි. දැං, මේ දොස්තර කියනවා, ඒක මගේවත් අපේවත් කැල්ගේ ගුරුවරුන්ගේවත් වරද නෙමේලු; අපේ පැංචට මොකක් හරි අමාරුවක් තියෙනවා.”
කැල් ඌන අවධාන අධික්‍රියාශීලී අක්රමිකතාවෙන් [ADHD (Attention Deficit Hyperactivity Disorder)] පෙළෙනවා. මෙම තත්වය, අවධානය නොදීම, ආවේගකර හැසිරීම සහ අධික්‍රියාශීලී වීම වැනි ගතිලක්ෂණ විදහාපෙන්වනවා. මෙම අක්රමිකතාව, සියලුම පාසැල් වයසේ ළමුන්ගෙන් සියයට 3-5ක් දක්වා ප්‍රමාණයකට බලපා තියෙන බවට තක්සේරු කර තියෙනවා. ඉගෙනීමේ විෂය පිළිබඳ විශේෂඥ ප්‍රිසිලා එල්. වේල් කියන්නේ මෙහෙමයි: “ඔවුන්ගේ මනස් හරියටම දෝෂ සහිත චැනල මාරු කරන උපකරණ ඇති රූපවාහිනී යන්ත්‍ර වගෙයි. එක අදහසක් තව එකකට මඟ පෙන්වනවා; ඒවාට කිසිම සැකැස්මක්වත් හික්මවීමක්වත් නැහැ.”
ADHDහි ප්‍රධාන රෝග ලක්ෂණ තුනක් අපි කෙටියෙන් සලකා බලමු.
අවධානය නොදීම: ADHDවලින් පෙළෙන දරුවෙකුට, නොවැදගත් දෙය පෙරා ඉවත් කරන්නවත් එක මාතෘකාවකට සිත යොමු කර තබන්නවත් පුළුවන්කමක් නැහැ. එබැවින්, බාහිර දසුන්, ශබ්ද සහ ගඳ සුවඳ නිසා ඔහුගේ අවධානය පහසුවෙන්ම වෙනතකට යොමු වෙනවා.a ඔහු අවධානය යොමු කරනවා. නමුත් ඔහු වටා ඇති කිසිම දෙයක් කැපීපෙනෙන්නේ නැහැ. ඔහුගේ මුල් අවධානය යොමු විය යුත්තේ මොන කාරණයටද කියා නිශ්චය කරගැනීමට ඔහුට පුළුවන්කමක් නැහැ.
ආවේගකර හැසිරීම: ADHDවලින් පෙළෙන දරුවා සිතීමට කලින් ක්‍රියා කරන අතර, ඵලවිපාක ගැන ඔහු සලකන්නේ නැහැ. ඔහු සැලසුම් කරන විදිහත් තීරණවලට එළඹෙන විදිහත් දුර්වලයි; සමහර වෙලාවට ඔහුගේ ක්‍රියාත් භයානකයි. වෛද්‍ය පෝල් වෙන්ඩ’ ලියන්නේ මෙහෙමයි: “ඔහු වේගයෙන් පාරට දුවනවා, ජනේලය උඩට නඟිනවා, ගහක් උඩට නඟිනවා. ප්‍රතිඵලයක් හැටියට ඔහුට හිමි කැපීම්, තැලීම්, සීරීම් සහ දොස්තර ගාවට යෑම් වැනි ඔහුගේ සාමාන්‍ය පංගුවට වඩා වැඩියෙන් ඔහු ලබාගන්නවා.”
අධික්‍රියාශීලී වීම: අධික්‍රියාශීලී ළමුන් නිතරම ඉන්නේ දඟල දඟල. ඒ අයට එක තැනක ඉන්න බැහැ. ආචාර්ය ගෝඩ්න් ස’ෆොන්ටයින් තමාගේ ද හිඩ්න් හැන්ඩිකැප් (සැඟවුණු බාධාව) කියන පොතේ මෙහෙම ලියනවා: “වැඩිහිටියන් වුණායින් පස්සේ පවා, පරෙස්සමින් නිරීක්ෂණය කළොත් ඔවුන්ගේ පාද, අත්, බාහු, දෙතොල් සහ දිව යන අංගවල නිරන්තර චලනයන් සිදු වන බව පෙනී යනවා.”
එහෙත් සමහර ළමුන්, නොසැලකිලිමත්, ආවේගකර ළමුන් වුණත් ඔවුන් අධික්‍රියාශීලී අය නෙමෙයි. ඔවුන්ගේ අක්රමිකතාව සමහර වෙලාවට සරලව හඳුන්වන්නේ, ඌන අවධාන අක්රමිකතාව නැත්නම් ADD (Attention Deficit Disorder) කියලයි. වෛද්‍ය රොනල්ඩ් ගෝල්ඩ්බ’ග් ADD ගැන පැහැදිලි කරන්නේ, “අධික්රියාශීලිත්වයක් කොහෙත්ම නැතුව එය ඇති විය හැකි” බවයි. “එහෙමත් නැත්නම් අධික්රියාශීලිත්වය එහි ඕනෑම අවධියකදී එළි දැකිය හැකියි—ඒ කියන්නේ, කොහොමටවත් දකින්න නැති, මදක් දකින්න තියෙන, කෝපයට හේතු වන හෝ සෑහෙන්න ආබාධිත අධික්රියාශීලිත්වයක් ඇතුව ඇති වෙන්නත් පුළුවන්.”
ADHD ඇතිවීමට හේතු?
පසුගිය අවුරුදු ගණනාව තුළ, අවධානය දීමට බැරිවීම හා සම්බන්ධ ගැටලුවලට, දෙමාපියන්ගෙන් හොඳ මඟ පෙන්වීමක් නොලැබීම සහ ෆ්ලොරසන්ට් ආලෝකයේ බලපෑම වැනි දේවල් වගකිව යුතු බව කියා තියෙනවා. ADHD මොළයේ යම් ක්‍රියාකාරිත්වයන්හි බාධාවන් හා සම්බන්ධ බව දැන් සිතනවා. වර්ෂ 1990දී, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ADHD රෝග ලක්ෂණවලින් පෙළෙන වැඩිහිටියන් 25දෙනෙකුව පරීක්ෂණයට භාජන කරද්දී, මොළයේ චලනය සහ අවධානය පාලනය වන තැන්වලම, ග්ලූකෝස් වෙනත් ධාතුවලට හැරීමේ ක්‍රියාවලිය, ඔවුන්ගේ වඩා සෙමින් සිදු වන බව සොයාගත්තා. ADHDවලට ගොදුරුවූවන්ගෙන් සියයට 40කගේම, ප්රවේණි සැකැස්ම යම් කාර්යභාරයක් ඉටු කරන බව පෙනෙන්න තියෙනවා. ද හයිපරැක්ටිව් චයිල්ඩ් බුක් (අධික්‍රියාශීලී දරුවා පිළිබඳ පොත) කියන විදිහට, මව ගර්භිණී සමයේදී මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ඊයම් විසවීම සහ ඉතා කලාතුරකින්, දරුවගේ ආහාර වේල යන කාරණා ADHD හා සමඟ සම්බන්ධව පවතින අනිත් කාරණා වෙයි.
ADHD නහඹරයා සහ වැඩිහිටියා
ADHD කියන්නේ, නිකම් ළමා කාලයේ ඇති වන තත්වයක් නොවන බව මෑතකදී වෛද්‍යවරුන් සොයාගනු ලැබුවා. වෛද්‍ය ලැරි සිල්ව’ කියන්නේ, “දෙමාපියෙක් දරුවෙකුට වෙදකං කරගන්න ඇවිල්ල සුපුරුදු විදිහට කියන්නේ: ‘මමත් පුංචි කාලෙ මේ වගේම තමයි’ කියලයි. පෝලිම්වල ඉඳීමේදී, රැස්වීම්වල එක තැන ඉඳගෙන ඉඳීමේදී, යම් වැඩක් අවසන් කිරීමේදී මේ ගැටලුව තවමත් ඔවුන්ට තියෙන බව ඊට පසුව ඔවුන් පිළිගන්නවා.” ADHD දරුවන්ගෙන් භාගයක් විතර අඩුම තරමින් රෝග ලක්ෂණ කිහිපයක්වත්, නහඹරවිය සහ වැඩිහිටිභාවය දක්වා ගෙනයන බව දැන් විශ්වාස කරනවා.
නහඹරවියේදී, ADHDවලින් පෙළෙන්නන්, අවදානම් සහිත හැසිරීමේ සිට අපචාරි හැසිරීම දක්වා වෙනස් විය හැකියි. “එයාට ඉස්කෝලෙ යන්න බැරුවයයි කියල මම ඉස්සර කරදර වෙන්න පුරුදු වෙලා හිටියා; ඒත් දැං මම යාච්ඤා කරන්නේ, එයා හිරේට නොගිහිං ඉන්න පුළුවන් වෙන්න කියලයි” කියා ADHDවලින් පෙළෙන නහඹරයෙකුගේ මවක් කියනවා. අධික්‍රියාශීලී තරුණයන් 103දෙනෙකුව සාමාන්‍ය ළමුන් 100දෙනෙක් සමඟ කළ සන්සන්දනයකදී මෙවන් බියක් සාධාරණ විය හැකියි. නියුස්වීක් වාර්තා කරන්නේ මෙහෙමයි: “අධික්‍රියාශීලී කණ්ඩායම්වල ළමුන්, තම විසිගණන්වලට පා තබද්දී අනිත් ළමුන්ට වඩා දෙගුණයක් අත්අඩංගුවට ගැනීමේ වාර්තාවලද, පස්ගුණයක් බරපතළ අපරාධ සඳහා වැරදිකරුවන් ගොඩටද, නවගුණයක් හිරබත් කෑමටද සම්බන්ධ වී සිටිනවා.”
වැඩිහිටියෙකුට, ADHD විශේෂිත වූ ගැටලු සම්භාරයක් ඇති කරවනවා. වෛද්‍ය එඩ්නා කෝප්ලන්ඩ් කියන්නේ, “අධික්‍රියාශීලී කොලුවෙක් වැඩිහිටියෙක් බවට පත් වුණාම, නිතර නිතර රැකියාව වෙනස් කරනවා, බොහෝවිට රැකියාවෙන් අස් කරනවා, දවස කකා ඔහේ දඟල දඟල ඉන්නවා” කියලයි. මේ තත්වයට හේතුව තේරුම් නොගත්තොත් විවාහයට පීඩනයක් ගෙන ඒමට මෙම රෝග ලක්ෂණවලට හැකියි. ADHDවලින් පෙළෙන පුරුෂයෙක්ගේ භාර්යාවක් කියන්නේ, “පුංචි සාකච්ඡාවකදී වුණත්, මං කියන හැම දෙයක්ම එයා අහගෙන ඉන්නෙ නැහැ. ඒක නිකං හරියට මේ ඉන්නවා, ඊටපස්සේ, වෙන තැනක ඉන්නවා වගේ වැඩක්” කියලයි.
ඇත්තවශයෙන්ම, යම් ප්‍රමාණයකටවත් මේ ලක්ෂණ හැම මිනිසෙකුටම පොදුයි. ආචාර්ය ජෝජ් ඩොරී පවසන විදිහට, “රෝග ලක්ෂණ සැමවිටම තිබුණාද කියා ඔබම අසාගන්න ඕනෙ.” උදාහරණයක් හැටියට, “මිනිසෙකුට අමතක වෙන්නේ, ඔහුගේ රස්සාව නැතුව ගියාට පස්සෙ, එහෙමත් නැත්නම් තමන්ගේ බිරිඳ දරුවෙකු බිහි කළාට පස්සේ නම්, ඒක අක්‍රමිකතාවක් නෙමේ” කියා ඔහු සඳහන් කරනවා.
තවදුරටත් යමෙකුට ඇත්තටම ADHD තියෙනවා නම්, එහි රෝග ලක්ෂණ පැතිර තියෙනවා; ඒ කියන්නේ ඒවා ඔහුගේ ජීවිතයේ සෑම අංගයකටම වගේ බලපානවා. බුද්ධිමත්, ක්‍රියාශීලී මිනිසෙකු වූ තිස්අට හැවිරිදි ගැරීගේ තත්වයත් එසේමයි. සිත වෙනතකට යොමු නොකර කිසිම වැඩක් අවසන් කරන්න ඔහුට බැරි වුණා. ඒ වන විට ඔහු රැකියා 120ක නිරත වෙලයි හිටියේ. ඔහු මෙහෙම කිව්වා: “කිසිම දෙයක් ඉවර කරගන්න මට කොහොමටවත් බැරි බව මං පිළි අරගෙනයි තිබුණේ.” නමුත් ගැරී ඇතුළු වෙනත් බොහෝ ළමුන්ට, නහඹරයන්ට සහ වැඩිහිටියන්ට ADHDවලින් ජයගන්න උපකාර ලැබිල තියෙනවා. ඒ කොහොමද?
[පාදසටහන]
a ගැහැනුන්ට වඩා පිරිමින්ට මෙය බලපාන හින්දා, මින් පෙළෙන්නාව පුරුෂ ලිංගයෙන් හඳුන්වමු.