සමහර දරුවන් ඇති දැඩි කිරීම එතරම් අමාරුවීමට හේතුව
“ප්රවේණී බලපෑම්, මොළයේ රසායනය සහ ස්නායුවේදීය වර්ධනය යනාදිය, අප දරුවන් ලෙස කෙබඳු අයව සිටින්ට යනවාද සහ වැඩිහිටි වියේදී කවුරුන් වන්ට යනවාද යන්නට බොහෝ සේ දායක වෙයි.”—ස්ටැන්ලි ටුරෙකී, වෛද්‍ය උපාධිධාරියෙක්
සෑම දරුවෙක්ම ඔහුට හෝ ඇයට සීමා වූ විශේෂිත ආකාරයකින් හැදී වැඩෙයි. සහජයෙන්ම උරුම වූ බවට පෙනෙන්ට තිබෙන ගති සහ ස්වභාවයන් රැසක් දරුවෝ විදහා පෙන්වති—දෙමව්පියන්ට මේ ගති සුළු වශයෙන් පාලනය කිරීමට හැකියාව තිබීමට හෝ කොහෙත්ම නොතිබීමට ඉඩ ඇත. දඟකාර, නොසන්සුන් මෙන්ම, කලබලකාරි දරුවන් හැමවිටම සිට ඇති බව සැබෑවකි. හොඳම දෙමව්පියන්ට පවා ඇති දැඩි කිරීමට අමාරු දරුවෙකු සිටිය හැක.
එහෙත් ඇතැම් දරුවන් ඇති දැඩි කිරීම එතරම් අමාරු දෙයක් මෙන්ම, අභියෝගයක් වන්නේ මන්ද? බරපතළ චර්යා ගැටලුවලට මුහුණ දෙන දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතියි. සියලු දරුවන් අතරින් සියයට 5 සිට 10ක ප්‍රමාණයක් අධික නොසන්සුන්කම විදහා පෙන්වන බවත්, මෙම දරුවන්ට අවධානය යොමු කිරීමට, මනස ඒකාග්රව තබාගැනීමට, නීති අනුව ක්‍රියා කිරීමට සහ ක්ෂණික ආවේගයන් පාලනය කිරීමට තිබෙන නොහැකියාව, ඔවුන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත්, ඔවුන්ගේ ගුරුවරුන්ට සහ ඔවුන්ගේ තුල්යයන්ටත්, දුෂ්කරතා රැසක් ඇති කරන බව චිකිත්සකයෝ හා පර්යේෂකයෝ පිළිගනිති.
යේල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග හා ස්නායුවේදය සම්බන්ධ විශාරදයෙකු වන වෛද්‍ය බෙනට් ශේවිට්ස් ප්‍රධාන ගැටලුවක් විය හැකි යමකට අවධානය යොමු කරයි: මොළයේ සෛල ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරන මෙන්ම, මොළය මගින් චර්යාව ක්‍රමවත් කරන ආකාරයට පහසුකම් සපයන “මොළයේ ස්නායු සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතැම් රසායනවල උරුම වූ ආබාධ,” යනුවෙන් ඔහු එය හඳුන්වයි. දරුවා ඇති දැඩි කිරීම කුමකින් හෝ අමාරු කාර්යක් බවට පත් කළත්, දෙමව්පියන්ගේ ප්‍රමුඛත්වය විය යුත්තේ, තරුණයාගේ චර්යාව බලපෑමෙන් යුක්තව හැසිරවීමට තමන්වම සකස් කරගැනීමය, ඔවුන් සැපයිය යුත්තේ විවේචනය හා අප්‍රසාදය නොව, නමුත් දිරිගැන්වීම හා උපකාරයයි.
බයිබල් කාලවලදී, තම දරුවන්ගේ අධ්‍යාපනය හා පුහුණුවට වගකිව යුතුව සිටියේ දෙමව්පියන්ය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවලට අනුව තමන්ගේ දරුවන්ට හික්මවීමත්, උපදෙස් දීමත්, ඔවුන්ව ප්‍රඥාවන්ත කරනු ඇති බව දෙමව්පියෝ දැන සිටියහ. (ද්විතීය කථාව 6:6, 7; 2 තිමෝති 3:15) එනිසා කාර්ය බහුල කාලසටහන් මධ්‍යයෙහි පවා, දරුවෙකුගේ අවශ්‍යතා සැපයීම සඳහා හැකි තරම් වෑයමක් දැරීම, දෙමව්පියන් දෙවියන්වහන්සේගෙන් ලත් වගකීමකි, තවද විශේෂයෙන් එතරම් ප්‍රසන්න නොවන හැසිරීම සම්බන්ධව පවා, ඒකාන්ත ආකාරයකින් ප්‍රතිචාරය දැක්වීම වැදගත් වේ. අදදින ළමා ප්‍රතිකාරයේදී දක්නට තිබෙන චර්යා ගැටලු බොහොමයකට, අතිසක්රිය දරුවන්, ක්ෂණික ආවේගයන් ඇති දරුවන් හෝ අවධානය යොමු කිරීමට නොහැකි දරුවන් ඇතුළත් වන හෙයින්, ඇති-දැඩි-කිරීමට අමාරු දරුවන්ට ADD සහ ADHD හේතු සාධක වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් උපකාරවත් විය හැක.a
එක්දහස් නවසිය පනස්ගණන්වල මෙම අක්රමිකතාවන් “මොළයේ අවම දුෂ්කෘත්‍යය” යනුවෙන් හඳුන්වන ලදි. ළමා රෝග පිළිබඳ ස්නායුවේදී වෛද්‍ය ජෑන් මැතීසන්ට අනුව, “ADD යනු කිසිසේත් මොළයට හානිවීමක් නොවන” බව සොයාගැනීම්වලින් පැහැදිලි වූ විට, එම පරිභාෂාවේ භාවිතය නතර විය. වෛද්‍ය මැතීසන් මෙසේ පවසයි: “ADD යනු මොළයේ ඇතැම් ස්ථානවල පෙනෙන්ට තිබෙන දෝෂයකි. ඊට සම්බන්ධ වන නියත ස්නායු රසායන ගැටලු කුමක්ද කියා තවමත් ස්ථිර නැහැ, නමුත් මොළයේ තිබෙන ඩෝපමීන් යනුවෙන් හඳුන්වනු ලබන රසායන ද්‍රව්‍යයකට මීට සම්බන්ධයක් තිබෙන බව අපට හැඟෙනවා.” මෙම ගැටලුවට ඩෝපමීන් පාලනයේ සම්බන්ධයක් තිබෙන බව ඔහු විශ්වාස කරයි. “ඇතැම්විට එය එකම රසායනයක් නොවිය හැක, නමුත් රසායනයන් කිහිපයක් අතර සම්බන්ධයක් විය හැකියි,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.
ADD ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් පිළිතුරු නොලත් ප්‍රශ්න බොහොමයක් තවමත් තිබෙන නමුත්, දීර්ඝ කාලයක් පුරා පවතින අවධානය හා හදිසි ආවේග පාලනය කිරීමේ දුෂ්කරතාව සහ චාලක ක්‍රියාකාරිත්වයේ දුෂ්කරතාව යනාදියට ස්නායුවේදීය මූලාරම්භයක් තිබෙන බවට සාමාන්‍යයෙන් වෛද්‍ය මැතීසන් සමඟ පර්යේෂකයෝද එකඟ වෙත්. එක්සත් ජනපදයේ, ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය ඇලන් සැමට්කින් සහ පර්යේෂකයන් විසින් පවත්වන ලද අධ්‍යයනයකදී, මොළයේ විශේෂිත පරිවෘත්තීය අසාමාන්‍යතාවක් සඳහා ADD හේතු වූ බවට ප්‍රථම වරට සොයාගන්නා ලදි, කෙසේවෙතත් “වඩාත් නියත පිළිතුරු ලබාගැනීමට නම්, තවත් බොහෝ සෙයින් පර්යේෂණ පැවැත්විය යුතු” බව පිළිගන්නා ලදි.
පාසැල නියම අභියෝගයක් ඉදිරිපත් කරයි
නිතරම පාහේ අවධානය යොමු කිරීමට දුෂ්කරතාවක් අද්දකින, පහසුවෙන් සිත වෙනතකට යොමු කරන, ක්ෂණික ආවේග ඇති හෝ පමණට වඩා වැඩියෙන් ක්‍රියාශීලී දරුවන්ට, පාසැල වනාහි බොහෝවිට ඉතා දුෂ්කර එකකි, මන්දයත් පන්ති කාමරයේදී අවධානය යොමු කිරීම හා සන්සුන්ව සිටීම සඳහා වූ අවශ්‍යතාව ඉතා අධික සේ වැඩිවන හෙයිනි. ඕනෑම දෙයක් කෙරෙහි සෑහෙන වේලාවකට අවධානය යොමු කරගෙන සිටීමට එබඳු දරුවන්ට ඉතා දුෂ්කර වන නිසා, ඉතා අධික ලෙස ක්‍රියාශීලී වීම හැර, ඔවුන්ට කළ හැක්කේ වෙන කුමක්ද? සමහරුන්ට, අවධානය යොමු කිරීමට තිබෙන නොහැකියාව කොතරම් බරපතළද කිවහොත්, ඔවුන්ට නිවසේවත්, පාසැලේවත් සාමාන්‍ය එදිනෙදා ඉගෙනගැනීම කරගෙන යෑමට පවා නොහැකි වේ. පන්තියේ චණ්ඩියා හෝ පන්තියේ විකටයා වීම නිසා ඔවුන්ව හික්මවනු ලැබීම අසාමාන්‍ය දෙයක් නොවෙයි, මන්දයත් තමන්ගේ හැසිරීම පාලනය කිරීම හා ක්‍රියාවල ප්‍රතිඵලය තක්සේරු කිරීම ඔවුන්ට අසීරු දෙයක් වන හෙයිනි.
අවසානයේදී, ඔවුහු තමන් ගැනම පහත් මානසික චිත්‍රයක් වර්ධනය කරගෙන, තමන්ටම “නපුරු” හෝ “මෝඩ” යන ලේබලය ඇතැම්විට නියම කරමින් ඊට අනුකූලව ක්‍රියා කරති. කොතරම් වෙරදැරුවත් අසමත්වීමේ ලකුණු ලබන මෙම දරුවන්, තමන් නිදන්ගත අසමර්ථයන් යයි හැමවිටම කල්පනා කිරීමට ඉක්මනින් නැඹුරු විය හැකිය.
වික්ෂිප්තයට පත්වූ දෙමව්පියෝ, තමන්ගේ දරුවාගේ අවුල්සහගත චර්යාව ගැන අධික කාන්සාවෙන් හා කලබලයෙන් පසුවෙති. එක් එක් දෙමව්පියා එම තත්වයට අනිත් තැනැත්තා මත වරද තැබීම නිසා, ඇතැම් අවස්ථාවලදී විවාහය තුළ එකඟ නොවීම් හටගනියි. බොහෝ දෙමව්පියන් සෑහෙන කාලයක් ගත කරන්නේ හොඳ අමතක කොට, නරක දේවල් ගැන නැවත නැවත කෝපයෙන් සිහිගැන්වීමෙනි. එබැවින්, නිෂේධාත්මක චර්යාවන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරය, තව තවත් අධික නිෂේධාත්මක අන්‍යොන්‍ය ප්‍රතික්‍රියාව ඇති කරයි. එනිසා පවුලත්, යම් දුරකට දරුවා සමඟ අන්‍යොන්‍ය සබඳතා පවත්වන අන් අයත්, බලය අත්කරගැනීමේ සටනක අසුවී සිටිත්, එය වනාහි ඇති දැඩි කිරීමට අමාරු දරුවෙකු වටහා නොගැනීමෙත්, ඔහුගේ හැසිරීම පාලනය කිරීමට නොහැකිවීමෙත්, ප්‍රතිඵලය වෙයි—එනම් ඌන අවධාන අක්රමිකතාව ඇති හෝ නැති දරුවෙක්ය.
රොනි සමඟ මවකගේ පෞද්ගලික අද්දැකීම
“රොනි ඉපදුණු මොහොතේ සිට කවදාවත් සන්තෝෂයෙන් හිටියේ නැහැ, ඔහු හැමවෙලේම වහා කිපෙන ස්වභාවයක් දක්වමින් අඬමින් සිටියා. අසාත්මික වූ ඔහුට, සමේ බිබිලි දැම්මා, කනේ ආසාදන හටගත්තා, එමෙන්ම ඔහුට නිතරම අතීසාරය ඇති වුණා.
“කෙසේවුවත්, රොනිගේ ආරම්භක චාලක ක්රියාකාරිත්වයන් හොඳින් සකස් වුණා, ඒ නිසා කෙළින් වාඩිවීමට, හිටගැනීමට ඒ වගේම පසුව ඇවිදීමට—වඩාත් සුදුසු ලෙස පවසනවා නම්, දුවන්නට—ඔහු ඉතා ඉක්මන් වුණා. ඔහු නිදන වෙලේ මගේ නිවසේ කටයුතු සියල්ල ඉක්මනින් කර නිම කිරීමට මම කටයුතු කළා, මන්දයත් මගේ කුඩා ‘වසයා’ ඇහැරුණ විට, හැම තැනම දුව දුව, ඔහුගේ සිතට අල්ලන ඕනෑම දෙයකට අත දැමීමෙන්—ගොඩාක් දේවලට ඔහුගේ සිත ඇදී ගියා—ඔහුටත් නිවසටත් හානි සිදු කිරීමෙන් ඔහුව වැළැක්වීමෙහි මම නියැලී සිටිනු ඇත!
“ඔහුට අවධානය යොමු කළ හැකි කාල සීමාව ඉතා කෙටි එකක් වුණා. ඔහුට කිසිම දෙයක බොහෝ වේලාවක් රැඳී සිටීමට හැකි වුණේ නැහැ. නිශ්ශබ්දව වාඩිවී සිටීමට ඔහු අතිශය අකමැත්තක් දැක්වුවා. ඇත්තවශයෙන්ම, නිශ්ශබ්දව වාඩිවී සිටීමට වුවමනා ඕනෑම තැනකට අප ඔහුව ගෙනගිය විට—විශේෂයෙන් සභා රැස්වීම්වලට—මෙය ගැටලුවක් වුණා. සන්සුන්ව වාඩිවී සිටීමට නොහැකි නිසා, ඔහුට තැලීමෙන් ඵලක් වුණේ නැහැ. ඔහුට එසේ කිරීමට කොහෙත්ම නොහැකි වුණා. අපේ ශුභසිද්ධිය ගැන සිතූ බොහෝදෙනෙක් පැමිණිලි කළා, එසේත් නැතහොත් අපට අවවාද කළා, නමුත් එයින්ද ඵලක් වුණේ නැහැ.
“රොනි දක්ෂ ළමයෙක්, එනිසා ඔහුට අවුරුදු තුනක් පමණ වූ විට, ඔහු සමඟ දිනපතාම කියවීමේ කෙටි-කාලීන වැඩසටහනක් අප ආරම්භ කළා. ඔහුට අවුරුදු පහක් වූ විට, බොහෝදුරට හොඳට කියවීමට හැකිවුණා. පසුව ඔහු පාසැලට ගියා. මසකට පමණ පසුව, ගුරුතුමිය හමුවන්න යයි මගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඇය මට පැවසුවේ, රොනිව ඇය දුටු පළමු වතාවේදී ඔහු සුරදූතයෙක් මෙන් පෙනී සිටි නමුත්, ඇගේ පන්තියේ ඔහුව මාසයක් තබාගැනීමෙන් පසුව, ඔහු අනික් ලොවේ කෙනෙක් යයි ඇය දැන් කල්පනා කරන බවයි! ඔහු හැමවෙලේම උඩ පැන පැන සිටි බවත්, අනිත් ළමුන් වැටෙන්ට සලස්වමින් හෝ ඔවුන් අදිමින් හිරිහැර කළ බවත්, ඇය මට කියා සිටියා. ඔහු නිශ්ශබ්දව සිටියේවත්, සන්සුන්ව වාඩිවී සිටියේවත් නැහැ, ඔහු මුළු පන්තියටම කරදර කළා. ඔහුට ආත්ම-දමනයේ ඌනතාවක් තිබුණා. තවද කැරලිකාර ස්වභාවයක් වර්ධනය වෙමින් තිබූ බවද ඇය සඳහන් කළා. ඔහුව විශේෂ අධ්‍යාපන පන්තියකට යොමු කිරීමටත්, ඔහුව සන්සුන් කිරීම සඳහා බෙහෙතකට නිර්දේශයක් ලබාගැනීමට ඔහුව වෛද්‍යවරයෙකු වෙතට ගෙනයෑමටත්, අපට උපදෙස් ලැබුණා. අපගේ බලාපොරොත්තු සුන්වුණා!
“රොනිට බෙහෙත් යෝග්‍ය තේරීම වුණේ නැහැ, නමුත් ළමා වෛද්‍යවරයා අපට ප්‍රායෝගික යෝජනා සමහරක් දුන්නා. ඔහුගේ අදහස වුණේ රොනි දක්ෂ නමුත්, නීරසභාවයට පත්වූ ළමයෙක් බවයි; එමනිසා රොනිව කාර්ය බහුලව තබාගැනීමටත්, ඔහුට ප්‍රේමය වැඩි වැඩියෙන් දීමටත්, ඉවසිලිවන්ත මෙන්ම ඒකාන්තව ක්‍රියා කිරීමටත්, ඔහු අපට යෝජනා කළා. වැඩීම හා ආහාර වේලේ වෙනසක් සමඟ රොනිගේ කරදරකාරි තත්වය අඩුවිය හැකි බව ඔහු කල්පනා කළා.
“අපේ පුතා සමඟ ප්‍රවේසමින් කටයුතු කළ යුතු බවත්, ඔහුගේ ශක්තිය ඒකාන්ත ආකාරයකට යොමු කිරීමට ඉගෙනගැනීමට ඔහුට උපකාර කළ යුතුව තිබූ බවත්, අපට පැහැදිලි වුණා. මේ සඳහා සෑහෙන වෙලාවක් ගත වනවා ඇති; එනිසා අප අපගේ දිනපතා කාලසටහන් වෙනස් කළා, ඉවසිල්ලෙන් ඔහුට දේවල් උගන්වමින්, පැහැදිලි කරමින්, ඔහු සමඟ පාසැල් වැඩවල පැය ගණනාවක් අප ගත කළා. කල්පනා නොකර ක්‍රියා කිරීම නිසා හෝ දඟ කිරීම නිසා, නිෂේධාත්මක වචන භාවිතා කිරීම හෝ ඔහු මත දොස් පැවරීම අප නතර කළා. අපගේ ඉලක්කය වුණේ ඔහුගේ පහත් ආත්ම අභිමානය ගොඩනැගීමටයි. අණ කිරීම හෝ බලෙන් ඉල්ලා සිටීම වෙනුවට, අප දේවල් සාකච්ඡා කළා. ඔහු සම්බන්ධව යම් තීරණයක්ගැනීමට තිබුණා නම්, අප ඔහුගේ අදහස විමසුවා.
“වෙනත් දරුවන්ට ස්වභාවිකවම කළ හැකි සමහර දේවල් රොනිට පහසුවෙන් කළ හැකි වුණේ නැහැ. නිදසුනක් වශයෙන්, ඉවසිලිවන්තව සිටීමේ, සන්සුන්ව සිටීමේ, නිශ්චලව වාඩිවී සිටීමේ, එමෙන්ම ඔහුගේ අතිශය කායික ක්‍රියාකාරිත්වය පාලනය කිරීමේ ආකාරය ඔහු ඉගෙනගත යුතුව තිබුණා. එහෙත් ඒවා පාලනය කළ හැකි වුණා. සෙමින් කටයුතු කිරීමටත්, ඔහු කරමින් සිටි දෙය, නැතහොත් කරන්ට යන දෙය ගැන කල්පනා කිරීමටත්, තමා දැඩි වෑයමක් දැරිය යුතුව තිබූ බව ඔහු වටහාගත් විට, ඔහුට දේවල් හැඩගස්වාගැනීමට හැකිවුණා. වයස අවුරුදු 13ක්වූ විට, ඔහුගේ චර්යාව සාමාන්‍ය තත්වයට පත්වුණා. එවක් පටන්, සාමාන්‍යයෙන් කැරලිකාර නහඹර වසරවල පවා, සියල්ල කලබලයක් නොමැතිව සිදුවුණා.
“රොනිට බොහෝ ප්‍රේමයෙත්, එමෙන්ම කාලයෙත්, ඉවසිලිවන්තකමෙත් සමාන ප්‍රමාණයන් දීමෙන් ලැබී තිබෙන ලාභය ඉතා මහත්ය!” g94 11/22
[පාදසටහන්වල]
a මෙම ලිපි පුරා ADD යන්න, සම්පූර්ණ අවධානය යොමු කිරීමට නොහැකි වීමේ අක්රමිකතාවටද, ADHD යන්න, අධි ක්‍රියාශීලීත්වය නිසා සම්පූර්ණ අවධානය යොමු කිරීමට නොහැකි වීමේ අක්රමිකතාවටද යොමු දැක්වේ.