ඔබේ ජීවිතය තුළට හාස්‍ය රසය මුසු කරගන්න
එය ශීත දවසක් වූ අතර, අයිස්වලින් පියගැට පෙළ වැසී තිබුණි. පියගැට පෙළෙන් බසින්නට උත්සාහ කළ පළමු තැනැත්තා වැටී නොවැටුණු තරම්ය. පෝළිමේ සිටි ඊළඟ තැනැත්තා මෙසේ නිවේදනය කළේය: “දැන් එය කළ යුත්තේ මේ ආකාරයටයි!” ඔහුගේ කටෙන් වචන පිටවනවාත් සමඟම—ඔහු රූටා ගොස් උඩුබැලි අතට වැටී සිටියේය. ක්ෂණයකින් පැමිණි නිශ්ශබ්දතාව බිඳී ගියේ ඔහුට හානියක් නොවූ බව දැකීමෙන් පසු ළඟ සිටි අයගේ සිනා හඬ පැතිර ගිය විටය.
“සිනාසෙන්ට කාලයක්” තිබේ. වර්ෂ තුන්දාහකට පමණ පෙර එසේ නිරීක්ෂණය කළේ ප්‍රඥාවන්ත මිනිසා සාලමොන්ය. (දේශනාකාරයා 3:4) අදදිනද එහි සැබෑව අඩුවී නැත. සිනාසීමට හැකියාව දෙවියන්වහන්සේ දුන් විශේෂ ලක්ෂණයකි, එනම් බයිබලයේ “ශුභාන්විත [සන්තෝෂවත්, NW ] දෙවියන්වහන්සේ” වශයෙන් විස්තර කර ඇති තැනැත්තාණන්ගෙන් ලද ත්‍යාගයකි.—1 තිමෝති 1:11.
මැවිල්ල හාස්‍යමය දේවලින් පිරී තිබේ—එනම් හාස්‍යජනක උසුළු විසුළු දක්වන පූස් පැටවුන් හා බලු පැටවුන්, සිය මවගෙන් පහර ලබන තෙක්ම ඇගේ වලිගය විකන සිංහ පැටවෙකු, අතුවලින් පනිමින් එකිනෙකාව එලවන වඳුරු පැටවුන් දැකීම පුදුමයක් නොවේ. නිරීක්ෂණය කිරීමටත් අගය කිරීමටත් බලා සිටින හාස්‍යය අප සියල්ලන් වටා තිබේ.
සියලු දෙනාම එකම දේවල් කෙරෙහි සිනාසෙන බව පවසනවා නොවේ. ඊට වෙනස්ව, සිනා උපදවන දෙය බොහෝ විට රඳා පවතින්නේ කෙනෙකුගේ සංස්කෘතිය, පෞද්ගලිකත්වය, පසුබිම හා මනෝ ස්වභාවය මෙන්ම වෙනත් හේතු සාධක මතය. එහෙත්, සැබවින්ම සෑම දෙනාම වාගේ, යම් දෙයකට—එනම් විකට කතන්දරයකට, ප්‍රසන්න පුදුමවීමකට, විහිළුවකට, යෙදුමක හෝ වචනයක ගැබ්ව ඇති අදහස් දක්ෂ ලෙස හැසිරවීමකට—සිනාවකින් ප්‍රතිචාරය දක්වති.
හාස්‍යය ඉටු කරන්නේ කුමන අරමුණක්ද? අඩුම තරමින්, එය අන්‍යයන් සමඟ පෑහී කටයුතු කිරීමේ වඩා හොඳ මාධ්‍යයකි. එක විස්තරයක සිනහව හැඳින්වූයේ “දෙදෙනෙකු අතර කෙටිම දුර” කියාය. ඇත්තෙන්ම, විවාහ අනුරූපතාව මැනීමේ උපකරණයක් වශයෙන් හාස්‍යය යොදාගත හැකි බව ඇතැම් අය විශ්වාස කරති. හාස්‍යය සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයක් සොයාගත්තේ හාස්‍ය රසය සම්බන්ධයෙන් එතරම් සමානකමක් නැති අයට වඩා හාස්‍යය උපදවන දේ සම්බන්ධයෙන් වඩාත් එකඟවන යුවළයන් එකිනෙකාට කැමතිවීමට, ආදරය කිරීමට හා එකිනෙකාව විවාහ කරගැනීමට වුවමනා වීමේ වැඩි නැඹුරුවාවක් දක්වන බවය. මන්ද? හාස්‍යය බොහෝ දේවල් අඟවන්නක්වන බැවිනි: සාරධර්ම, උනන්දුව දක්වන දේවල්, සිත යොමුවී තිබෙන වෙනත් දේ, බුද්ධි මහිමයන්, පරිකල්පනා හා අවශ්‍යතා යන දේවල්ය. එක්සත් ජනපද සංස්ථා දහසක් සම්බන්ධයෙන් 1985දී කරන ලද සමීක්ෂණයක් හෙළි කළේ “හාස්යබව ඇති ජනයා වැඩි නිර්මාණාත්මකබවකට නැඹුරුවාවක් දක්වන අතර, දැඩිබවෙන් අඩු, අලුත් අදහස් හා ක්‍රම විමසීමට හා වැළඳ ගැනීමට වැඩි කැමැත්තක් දක්වන,” බවය.
සිනාසිය යුතුද, නොයුතුද
යමක් සිනා උපදවන යමක් කරන්නේ කුමක් මගින්දැයි කිසිවෙකු හරියටම දන්නේ නැත. හාස්‍යයේ හරය වනාහි අසමතාවයි—එනම් අසමාන යයි පෙනෙන ද්‍රව්‍ය ධාතූන් දෙකක් එකතු කිරීමයි කියා ඇතැම්හු විශ්වාස කරති. සර්කස් දක්වන විකටයෙකු ලෙස හැඳ පැළඳ ගත් වැඩුණු මිනිසෙකු දැකීමෙන් කුඩා දරුවෙකුහට ඉබේම සිනා පහළ වීමට සලස්වයි. කෙසේවුවද, වඩා වැඩි ජීවිත අද්දැකීමකින් හා උසස් ඥානාත්මක දක්ෂතා ඇති වැඩිහිටියෙක් තවදුරටත් විගඩම් විහිළුවලින් ආස්වාදයක් නොලබන්නට පුළුවනි. ශාරීරික මට්ටමකට වඩා, වාචික අසමතාවෙන් ප්‍රයෝජන ගන්නා—තේරුම් දෙකක් ඇති වචන, යෙදුමක හෝ වචනයක ගැබ්ව ඇති අදහස් දක්ෂ ලෙස හැසිරවීම හෝ විහිළු—වැනි හාස්‍යය සම්බන්ධ වැඩි මානසික ආකාරයන් තුළ සතුට ලබාගැනීමට ඔහුට පුළුවනි.
හිරකරගෙන තබාගත් චිත්තවේගීය ශක්තිය මුදාහැරීමෙන් හාස්‍යය ඇතිවිය හැකි බවට ඇතැම් පර්යේෂකයෝ විශ්වාස කරති. ආතතිය හා වේදනාව සැඟවීමට හාස්‍යය උපකාරවත් විය හැක. බයිබලය මෙසේ පවසයි: “සිනාසීමේදී පවා සිතේ [හෘදයේ, NW ] කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.”—හිතෝපදේශ 14:13.
හාස්‍යයේ බොහෝ අංගයන්වලට විකාර රඟපෑම් ඇතුළත් වේ. මිනිසෙක් ලිස්සා වැටෙයි, නැතහොත් වතුරෙන් හොඳින් නහවනු ලැබේ. හොඳට හිනාවෙන්න පුළුවන්, එසේ නොවේද? සමහරවිට, කිසිවෙකුට සැබවින්ම තුවාල නොවේ නම්.
පහත් හෝ කෲර හාස්‍ය රසය සඳහා රුචියක් වර්ධනය නොකිරීමට ක්‍රිස්තියානියෙක් දැඩි වෑයමක් දරයි. මන්දයත්, ප්‍රේමය “අධර්මිෂ්ඨකමට ප්‍රීති නො[වේ].” (1 කොරින්ති 13:6) යම් ජාතියක් හෝ වර්ණයක් පහත් කරන අමනාපය ඇතිකරන විහිළුවලින්ද ක්‍රිස්තියානියෙක් වළකියි. ‘අන්‍යයන් ගැන හැඟීම’ ඔහු සිය හාස්යබවට මුසු කරගනියි. (1 පේතෘස් 3:8, NW ) උදාහරණයක් වශයෙන්, වැටි වැටී ඇවිදින දරුවෙක් අත්හදාබලන්නාක් මෙන් පියවර කීපයක් තබා, ඉන්පසු අමුතු ආකාරයකට එකපාරටම වැටෙනවා බලාසිටීමත් සතුටුදායක සිනා උපදවන දෙයක් වන්නට පුළුවනි. එහෙත් වැඩිහිටියෙකු හෝ ආබාධිත පුද්ගලයෙකු වැටෙනවා නම්, යෝග්‍ය ප්‍රතිචාරය වනුයේ සිනාසීම නොව, නමුත් විගස ඔහුගේ සහායට යෑමය.
හාස්‍යය හා ඔබේ සෞඛ්‍යය
සුදුසු ලෙස යොදාගැනෙන හාස්‍යයේ බොහෝ වටිනාකමක් තිබේ. ඇරත්, ප්‍රතිකාර කිරීමේ උපකරණයක් වශයෙන් පවා මෙහෙයක් ඉටු කිරීමට සිනාවට හැකි බවට වූ සාක්ෂි කෙමෙන් කෙමෙන් එකතුවෙමින් පවතියි. සිනාසීමේ ක්‍රියාව යමෙකුගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන්වලට සනීපදායී සම්බාහනයක් දෙන බව දන්නා කරුණකි. තවදුරටත්, අමෙරිකන් හෙල්ත් සඟරාවට අනුව, “ප්‍රතිශක්ති පද්ධතියට බලය දීමට සිනාවට පුළුවනි” යයි ඇතැම් “පර්යේෂකයෝ සිතති.” ප්‍රතිශක්තිවේදී ලී එස්. බර්ක් පැවසූ දෙය උපුටා දක්වමින් සඟරාව ඊළඟට මෙසේ සඳහන් කරයි: “ප්‍රතිශක්ති පද්ධතිය මෙහෙයවීමට නිෂේධාත්මක චිත්තවේගයන්ට හැකි අතර, ඒකාන්ත ඒවාට එවැනිම යමක් කළ හැකි බවට දැන් පෙනෙන්නට තිබේ.” මෙය, [හෘදය, NW ] “තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි;” යන බයිබලයේ ඇති වචනවල ප්‍රඥාව අවධාරණය කරයි.—හිතෝපදේශ 17:22.
හාස්‍යයේ සුවවීමේ බලය යොදාගැනීමේ බලාපොරොත්තුවෙන්, ඇතැම් රෝහල්, රෝගීන්ට සෙල්ලම්වල යෙදිය හැකි, විහිළු චිත්‍රපටි නැරඹිය හැකි, විහිළුවලට සවන් දිය හැකි හෝ හුදෙක් නෑදෑයන් සමඟ වඩා ප්‍රියජනක වාතාවරණයක ඇවිදීමට යා හැකි සිනාසීමේ කාමර ලෙස හඳුන්වන කාමර සාදා තිබේ. ඔබටම හාස්‍යය ක්‍රියාත්මක කිරීමට යොදවාගත හැකිද? ඔබේ අසනීප මිත්‍රයෙකු හෝ නෑයෙකු රෝහලේ සිටිනවා යයි කියමු. යෝග්‍ය අවස්ථාවේදී, ඔහුට හෝ ඇයට හාස්‍යජනක පොතක් හෝ විහිළු කාඩ් පතක් දීමෙන් අසනීපයෙන් පසුවෙන එම තැනැත්තාගේ ස්වාභාවය දීප්තිමත් නොකරන්නේ මන්ද?
සිනාසීම මගින් කෝපය සන්සිඳුවාලීමටද හැක. වෛද්‍ය. ආර්. බී. විලියම්ස් කිනිෂ්ඨ මෙසේ පවසයි: “කෝපයෙන් සිටීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි.” සමානව, බයිබලය මෙසේ පවසයි: “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය [හෘදයක්ය, NW ]; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.” (හිතෝපදේශ 14:30) වෛද්‍ය. විලියම්ස් මෙසේ සටහන් කරයි: “ඔබ සිනාසෙන විට කේන්තියෙන් සිටීම අසීරු දෙයකි.” එසේය, යම් තත්ත්වයකදී හාස්‍යය දැකීම කෝපය හැසිරවීමේ වඩාත්ම වැඩදායක මාර්ගවලින් එකකි.
පවුල් කවය තුළ
නිවස තුළ හාස්‍යය ක්‍රියාත්මක වීමට යෙදවිය හැක. එක් ස්වාමිපුරුෂයෙක් මෙසේ පවසයි: “විවිධ සේවාවන්ට යොදාගත හැකි උපකරණයක් මෝටර් රථ කාර්මිකයෙකුට ප්‍රයෝජනදායක වන්නාක් මෙන්ම, හාස්‍යය මගින් බොහෝ දේවල් කරන බැවින් මටද එය ප්‍රයෝජනදායකය. එය ආරක්ෂා කරයි, දිරිගන්වයි, ඵලදායී සංවාද විවෘත කරයි, කලින් ඇති කරගත් අදහස් බිඳ දමයි, එමෙන්ම කරදරකාරි වචන සාධාරණ හා සැලකිය යුතු ඒවා බවට හරවයි.”
හිරිහැරදායක පුරුදු මගින්, සබඳතා දුර්වල කිරීමේ තර්ජනයක් එල්ල වන විට විශේෂයෙන්ම හාස්‍යරසයක් උපකාරවත් වේ. සෙල්ලම් බඩු අස්කර දමන්න යයි නැවත නැවත අවවාද කළත්, ඔබේ පුතා එසේ කිරීමට අමතක කරයි. ඔබේ සැමියා සිය කිළිටි ඇඳුම් නාන කාමරයේ බිම මත තබායයි. ඔබේ බිරිඳ රාත්‍රි කෑම කර කරන්නීය. වැරදි සෙවීම, අවනම්බු කිරීම, දොස් පැවරීම, කෑගැසීම හෝ බෙරිහන් දීම මගින් සිදුවන්නේ කාරණා තවත් දරුණු කිරීම පමණකි. එක් සෞඛ්‍ය පර්යේෂකයෙක් රෙඩ්බුක් සඟරාවේ උපුටා දැක්වූ පරිදි, මෙසේ සටහන් කළේය: “ඔබ පුද්ගලයෙකුගේ මූණට කියනවා නම් හෝ ඔහුව සමච්චලයට ලක්කරනවා නම්, ඔහු විරුද්ධත්වයපානු ඇත. තම හැසිරීම දෙස දුර තියා බලා—එය වෙනස් කරන්න යයි හාස්‍යය මගින් ජනයාට ආරාධනා කරයි.”
නොවිමසා ක්‍රියා කිරීමේ වරද ඇති පුද්ගලයාව සමච්චලයට ලක් කිරීම මින් අදහස් නොකරයි. එය සාමාන්‍යයෙන්ම සිනාව නොව, වේදනාව ගෙන එයි. ඔබේ හාස්‍යජනක බව, පවතින තත්ත්වය වෙතම යොමු කිරීමට වෑයම් කරන්න. හොඳ සිනාවක් මගින් ආතතිය සැහැල්ලු කිරීමට මහත් දෙයක් කළ හැක. එක් බිරිඳක් මෙසේ පවසන්නීය: “මට කේන්ති යන්න ඔන්න මෙන්න යයි මගේ සැමියා දකින අවස්ථා තිබෙන අතර, යම් හාස්‍යජනක ප්රකාශනයකින් හෝ ක්‍රියාවකින් ඔහු එය අඩු කරනවා. මට තේරෙන්නත් ඉස්සෙල්ලා සිනා යනවා. ඇත්තෙන්ම එය එතරම් බරපතළ දෙයක් නොවූ බව එවිට මට වැටහෙනවා.”
එහෙත්, පරෙස්සම් වීමට වචන ස්වල්පයක් මෙන්න. යම් තත්ත්වයකදී සන්සුන්ව හෝ දයානුකම්පාවෙන් සිටීමට අවශ්‍යවන විට හාස්‍යය ඉපදවීමට වෑයම් කිරීමෙන් වළකින්න. හිතෝපදේශ 25:20 [නව අනුවාදය] සැලකිල්ලට ගන්න: “දුකින් පෙළෙන කෙනෙකුට මියුරු ගීයක් ගැයීම තුවාලයක් මත විනාකිරි දැමීමත් සීත දවසක ඔහුගේ කබාය ගැලවීමත් සමාන ය.” හාස්‍යය යොදාගත යුත්තේ චිත්තවේගීයව හෝ ශාරීරිකව අනතුරු නොකරන ලෙස යෝග්‍ය මනාප තත්ත්වයකදීය. කිසිවිටකත් හාස්‍යයට අපවිත්රවීමට හෝ අගෞරවනීය වීමට ඉඩ නොහරින්න. වැඩිමල් දරුවන් සිය බාල සහෝදර සහෝදරියන්ව නිරතුරු උපහාසයට ලක්වන තැනැත්තන් කිරීමට ඉඩහැරීම මෙමගින් වළක්වයි. සිත නොරිදවන විහිළුවක් කිරීම එක් දෙයකි, පරුෂ අදහස් දැක්වීම සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. විවාහ කලත්රයන්ද විවේචනයේ ආයුධයක් වශයෙන් හෝ පහත් කිරීමේ ආයුධයක් වශයෙන් හාස්‍යය යොදානොගෙන, එය සීමා තුළ තබාගැනීමට වෙර දැරිය යුතුය.
ලැංස්ටන් හියූස් නමැති කාව්‍යයා වතාවක මෙසේ ලීවේය: “ඕනෑකමින් බලාසිටින ග්‍රීෂ්ම වැසි මෙන්, පොළොව, වාතය සහ ඔබව හදිසියේ පිරිසිදු කිරීමට හා සිසිල් කිරීමට හාස්‍යයට හැක.” සැබවින්ම, අපගේ ජීවිත තුළ වැදගත් කොටසක් ඉටු කිරීමට හාස්‍යයට පුළුවනි. අප ගැනම වුවමනාවට වඩා සිතීමෙන් වැළැක්වීමට එයට හැක. අපට ප්‍රීතියෙන් හා පහසුවෙන් සිටින්නට උපකාර කිරීමට එයට හැක. අනෙක් අය සමඟ සබඳතා ප්‍රිය උපදවන ඒවා කිරීමට එයට හැක. එදිරිවාදිකම්වලට සාර්ථකව මුහුණදී ජය ගැනීමට අපට උපකාර කිරීමට එයට හැක. අපගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට පවා එයට හැක.
එබැවින් ඔබේ ජීවිතය තුළට හාස්‍ය රසය එකතු කරගන්න. එය සොයා දැනගන්න. එය රැකගන්න. එය වර්ධනය කරගන්න. ඔබ සඳහා සහ ඔබ අවට සිටින්නන් සඳහා පුදුම දේවල් කිරීමට එයට හැකිවෙනවා නිසැකය! g94 5/22
[26 පිටුවෙහි ඇති පින්තූරය]
ගෙදර දොරේ අත්වැරදි බරපතළ ලෙස ගණන් නොගැනීමට උපකාර කිරීමට හාස්‍යයට හැකියි