කිඹුල්ලු විරලයි, සුදුයි, එමෙන්ම නිල්-ඇස් සහිතයි!
ඕඩබන් ආයතනය සඳහා කුර්ට් බර්නෙට් විසින් සූදානම් කරන ලද පහත ප්රචාරයේ විශේෂ සුදු කිඹුල්ලුන් ගැන කතන්දරය පවසයි.
“සුදු-සමැති, නිල්-ඇස් ඇති කිඹුල්ලුන් අමෙරිකානු කිඹුල්ලුන්ගේ ජාන විකෘතියක් වන අතර වෙනස් විශේෂයක් නොවේ. මෙම විකෘතිය හඳුන්වන්නේ ලූසිසම් ලෙසිනි, එබැවින් මොවුන් “ලූකිස්ටික්” කිඹුල්ලුන්ය. ඇළි කිඹුල්ලුන්ට සුදු සමක් හා රෝස පැහැ ගැන්වුණු-කහපාටකින් යුත් ඇස් ඇත. “ලූකිස්ටික්” සත්ත්වයන්ට වර්ණවත් ඇස් ඇත. ඇළි සත්තු විරලය, ලූසිසම් වර්ගය ඊටත් වඩා විරලය. වෙනත් සත්ත්ව විශේෂ ස්වල්පයක ලූසිසම් වර්ගය සිටිනවා වුවත්, ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධ සුදු කිඹුල්ලුන් වූයේ ලූකිස්ටික් කිඹුල්ලුන්ය.
“සුදු කිඹුල්ලුන් 18ක්ම 1987 අගෝස්තු අගභාගයේදී එකම කැදැල් ස්ථානයකදී සොයාගනු ලැබුණි. කේජන් ජාතික ධීවරයන් තිදෙනෙකුට නිරිතදිග නිව් ඔර්ලියන්ස්, ලුවීසියානා හෞමා අසලදී උන් සම්බවිය. එක්දාස් නවසිය අසූ හතේ සැප්තැම්බර් 5දා ප්‍රථම උන් ඕඩබන් සත්වෝද්‍යානයට ගෙනා විට උන්ට සති 1-2ක්ම වාගේ සම්පූර්ණ වී තිබුණි. ඊට අමතරව සුදු උන් 18ක්ද, සාමාන්‍ය වර්ණයෙන් යුත් 7දෙනෙක්ද අල්ලාගනු ලැබූ අතර, සාමාන්‍ය ප්‍රමාණයේ උන්ගෙන් අවිනිශ්චිත සංඛ්‍යාවක් බේරී ගියෝය. උන් රැස්වන ස්ථානය තිබුණේ ලුවීසියානා ඉඩම් හා ගවේෂණ සමාගමට (LL&E) අයිති ඉඩමකය. උන් බිත්තර දමන ස්ථානය සෝදිසියෙන් බලා සිට, බිත්තර එකතු කර, රැක්කුවත්, තවත් සුදු කිඹුල්ලුන් එතෙක් සිට සොයාගත නොහැකි විය.
“සුදු කිඹුල්ලුන් 18දෙනාම හා උන්ගේ සාමාන්‍ය කුඩා උන් 7දෙනාම පිරිමි සතුන්ය. මෙසේ සිදුවිය හැක්කේ, කිඹුල් පැටවකුගේ ලිංගය තීරණය වන්නේ කැදැල්ලේ උෂ්ණත්වය මගින් වන බැවින්, මෙන්ම සියල්ලන්ම පිරිමි, සියල්ලන්ම ගැහැණු හෝ මිශ්‍රව දෙගොල්ලන්ම සිටිය හැකි බැවින්ය. මෙය ලියන අවස්ථාවේදී, කිඹුල්ලු ලිංගික මේරූභාවයට පැමිණෙමින් සිටිති (වර්ෂ 5-6දීය). දහඅටදෙනාගේ ප්‍රමාණය අඩි 5යි, රාත්තල් 50-60 සිට අඩි 8යි, රාත්තල් 250කටද අතර වෙනස් වේ. මෙය වෙනස්වන පාලන තාක්ෂණයක ප්රතිඵලයකි. කිඹුල්ලු ඇති කරන LL&E සමාගමේදී කිඹුල්ලුන් ශීඝ්‍රයෙන් වැඩිවේ.
“කිඹුල්ලු ඇති කරන LL&E සමාගමට සුදු කිඹුල්ලු 14ක් හිමි වී තිබෙන අතර කරුණාබරිතව 4දෙනෙකු ඕඩබන් ආයතනයට පරිත්‍යාග කරන ලදි. මෙම ආයතනය දැනට ඕඩබන් සත්වෝද්‍යානයේදී උන්ගෙන් දෙදෙනෙක්ද, අමෙරිකාවල මත්ස්යාගාරයේදී දෙදෙනෙක්ද ප්‍රදර්ශනය කෙරේ. කිඹුල්ලු දෙදෙනෙකු වෙනත් සත්වෝද්‍යානවලට හා මත්ස්යාගාරවලට වරින් වරට ණයට දෙනු ලබන අතර එක්සත් ජනපදයේ එවන් ස්ථාන ගණනාවකට හා ජපානයේ එකකට දැනටමත් ගොස් ඇත.
“සුදු කිඹුල්ලුන් ලොව වටා ප්‍රසිද්ධියට හා ජනප්‍රියත්වයට පත්වී ඇත. උන්ගේ සොයාගැනීම CNN ප්රවෘත්ති මගින් ප්‍රචාරය කෙරිණ. ටුඩේ ෂෝ, නෑෂ්වවිල් නෙට්වර්ක්, ටුනයිට් ෂෝ, CBS උදෑසන ප්රවෘත්ති, ලේට් නයිට් විත් ඩේවිඩ් ලෙටර්මන්, ක්‍රිස්ටියන් බ්‍රෝඩ්කාස්ට් නෙට්වර්ක්, MTV හා විවිධ විදේශීය ප්රවෘත්ති හා උදෑසන වැඩසටහන් මගින් උන් රූපවාහිනි දර්ශනවල පෙනී සිට ඇත. ලොවපුරා ප්රවෘත්ති පත්‍ර හා සඟරා ලිපිවල විටින් විට උන් ගැන ලිපි පළවෙයි. වර්ෂ කීපයකට පෙර ප්‍රංශ සඟරාවක් මගින් උන්ගේ පින්තූර සහිතව ලිපියක් මුද්‍රණය කළ අතර මහජන ප්‍රතිචාරය කෙතරම් සුදුසුව තිබුණාද කිවහොත් උන් ගැන ලිපි පෙළක් පළවිය.
“සුදු කිඹුල්ලුන් එතරම් ටික දෙනෙක් සිටින්නෙත්, මීට පෙර උන්ව කිසිවෙකු නොදැක්කෙත් කෙසේද? විරල විකෘතිවීම් වෙනවාට අමතරව, ලූකිස්ටික් හා ඇළි කිඹුල්ලු, සාමාන්‍ය කිඹුල්ලුන්ට වඩා නිශ්චිත මෙන්ම භයානක අවාසිදායක තත්ත්වයක සිටිති. කිඹුල් පැටවෙකු බිත්තරයෙන් එලියට එන විට උගේ දිග අඟල් 8-10 පමණි. කිඹුල් මව යම් කලකට බිත්තර දමන ස්ථානය රැකගෙන සිටින නමුත් වැඩිකල් නොගොස් කුඩා කිඹුල් පැටවු තනිවම කටයුතු කරන්නට පටන් ගනිති. බිත්තරයෙන් පිටතට එන සාමාන්‍ය කිඹුල් පැටවුන් කහ සහ කලු ඉරිවලින් යුක්තවන අතර, උන් වටාපිටාවේ වර්ණයන් සමඟ හොඳින් ගැළපේ. කටුවෙන් පිටතට එන සුදු පැටවුන්ව පහසුවෙන්ම දැකගත හැකි අතර බොහෝ විවිධ ගොදුරු අල්ලන සතුන්ගේ ගොදුරු බවට පත්වේ.
“සුදු කිඹුල්ලුන් සම්බන්ධයෙන් සිත්ගන්නා හා අසාමාන්‍ය අවසාන කාරණා දෙකක් නම්: උන්ගේ කලු පුල්ලි හා උන්ගේ වෙනස්වන ගතියයි. කලු පුල්ලි සහිතව පිටතට පැමිණියේ සුදු කිඹුල් පැටවුන් ස්වල්ප දෙනෙකු පමණි. වැඩි දෙනෙකුට එකක්වත් තිබුණේ නැත. කෙසේවුවද, ඔවුන් වැඩුණාම, වැඩි දෙනෙකුගේ තැනින් තැන කලුපාට ඇතිවෙන්නට පටන් ගැනිණ. පුල්ලි සියල්ලම පාහේ ඇති වූයේ හිස සහ බෙල්ල වටා පමණි. සමහරෙකුට කොහෙත්ම පුල්ලි ඇති වී නොතුබුණා වුවත්, උන් එකිනෙකාව අඳුනාගැනීමට එය වඩා පහසු කරවා ඇත.
“තවද අවසානයේදී, සුදු කිඹුල්ලුන් සමඟ වැඩ කර තිබෙන සෑම දෙනාම එකඟ වී තිබෙන්නේ උන් සාමාන්‍ය කිඹුල්ලුන්ට වඩා බෙහෙවින් කලහාකාරි හා වෙනස්වන ගති ඇති උන් බවය. මෙසේ වන්නේ මන්දැයි කිසිවෙකුට ස්ථිර වශයෙන් කිව නොහැකි නමුත්, උන්ව සලකනු ලබන්නේ සාපේක්ෂ වශයෙන් සෙමින් හා වැඩි කලබලයක් නැති කිඹුල්ලුන්ට වඩා ක්‍රියාශීලීව මෙන්ම ඉක්මනින්-කෝපයට පත්වී සිටි කිඹුල්ලුන්ට මෙන්ය. ගොහොරුවල සිටින මෙම සුදු චමත්කාර සත්ත්වයන් වටා ඇති බොහෝ පුදුමවලින් තවත් එකකි මෙය!”—ඕඩබන් ආයතනයේ කුර්ට් බර්නෙට් විසිනි. g94 5/22
[16 පිටුවෙහි හිමිකම් වගන්තිය]
Photos: Audubon Zoo, New Orleans