කදිම පුංචි ගෘහ සේවකයෝ
දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
අප්‍රිකානු වර්ෂා වනාන්තරවල තිබෙන හිදැස් බොහෝ විට බාටීරියා යනුවෙන් හඳුන්වනු ලබන කුහරය සහිත අතු ඇති ගසකින් පුරවනු ලබයි. එහි උපරිම උස දක්වා වැඩීමට නම්, කැලෑ වියන දක්වා වැඩීමට සටන් කරන වෙනත් ගස් සමඟ එම ගසට තරඟ වැදිය යුතු වේ. මෙම සටනේ සාර්ථක වීමට නම්, බාටීරියා ගස හිරකර මරා දැමීමට සමත් වැල්වලින්ද, පත්‍රවලට ආලෝකය ලැබීම වළක්වන පාසිවලින්ද තමාව නිදහස් කරගැනීමට එම ගසට උපකාරය අවශ්‍ය වේ. කලු පැහැති විදින කුහුඹුවෝ, ගෘහ සේවකයෝ වශයෙන් වැදගත් කාර්ය භාරයක් දරන්නේ මෙතැනදීය. ෆිල් ඇග්ලන්ඩ් සහ මයිකල් රොසන්බර්ග් විසින් නිෂ්පාදිත, ඇෆ්රිකන් රේන් ෆොරස්ට්: කොරුප්, නමැති රූපවාහිනි (වාර්තා වැඩසටහනක), කැමරූන්හි පිහිටි වර්ෂා වනාන්තරයක් වන කොරුප්හිදී කුහුඹුවා සහ ගස අතර සම්බන්ධය චිත්‍රගත කරනු ලැබීය.
එම වාර්තා වැඩසටහනේ, බාටීරියා ගසක් සොයා යන අලුත් කුහුඹු රැජිනක් දැක්වේ. බාටීරියා ගසේ තිබෙන කුහරය සහිත අතු ඇගේ ගණාවාසය පිහිටුවා ගැනීමට නියම ස්ථානය බව සහජයෙන්ම ඇය දැන සිටියි. අත්තක සිදුරක් විදීමෙන් පසුව, ඇය එහි බිත්තර දමයි. එම කුහරය සහිත අතු, ගසේ යුෂයෙන් පෝෂණය වන ඉතා කුඩා ශල්කීය කෘමීන්ටත් වාසස්ථානය වෙයි. කුහුඹුවන් මෙම කෘමීන්ට සලකන්නේ මනුෂ්‍යයන් ඇති කරන සතුන්ව සලකන ආකාරයට වන අතර, කුහුඹුවෝ පෝෂණදායක බීමක් ලබාගැනීම සඳහා උන්ගෙන් ද්‍රවයක් දොවා ගනිති.
කුහුඹු ගණාවාසය විශාලත්වයෙන් ප්‍රමාණවත් වූ විගස, ගසේ සිටින වෙනත් වාසීන්ව පලවා හැරීමෙන් ගස පිරිසිදු කිරීමට උන් පටන් ගනිති. අතිදක්ෂ වූ මෙම පුංචි ගෘහ සේවකයන්ව නිරීක්ෂණය කිරීම මොනතරම් මවිතකර අද්දැකීමක්ද! උන්ගෙන් සමහරු ගසේ පහළ කොටසට බැස, ගස හිරකර මරා දැමීමට තර්ජනයක් එල්ල කරන වැල්වලට පහර දෙත්. වැලේ දණ්ඩ හරහා විකා කමින් උන් වැල් මරා දමති. තවත් කුහුඹුවන් පත්‍ර මත තිබෙන කසළ, පාසි සහ ලයිකන වැනි දේවල් ඉවත් කරනවා දැකගැනීමට හැකි වේ. පත්‍රයක යටි පැත්තේ සැඟවී සිටින දළඹුවෙක් පවා පළවා හරිනු ලබයි.
“කුහුඹුවෝ ඉතා පරීක්ෂාකාරීව සෑම කසළ කැබැල්ලක්ම ඉවත් කර දමති,” යනුවෙන් එම රූපවාහිනි වාර්තා වැඩසටහනේ පැහැදිලි කෙරේ. සියලු ආකාර හානිකර කෘමීන් සහ වැල් ඉවත් කිරීමෙන් පසුව, කුහුඹුවන් මගින් ආරක්ෂා කරනු ලැබූ බාටීරියා ගසට දැන් වෙනත් ගස් සමඟ සාර්ථකව තරඟ වැදීමට හැකි වේ. විපාකයක් වශයෙන්, කුහුඹුවන්ට තමුන්ගේ ශල්කීය කෘමීන් බලාගැනීමටත්—එනම් කුහුඹුවන්ට ආහාර ලැබෙන එකම ක්‍රමය වන—උන්ගේ පැටවුන් ඇති දැඩි කිරීමටත් බාටීරියා ගසේ කුහරය සහිත අතු භාවිතා කිරීමට හැක.”
මෙම කුහුඹුවන් මොනතරම් කඩිසර වැඩකරුවන්ද! පැරණි හිතෝපදේශයක් මෙසේ පවසයි: “අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙයන්න.”—හිතෝපදේශ 6:6. g94 5/8