යෞවනයන් අසති . . .
මට බර අඩුකර ගත හැක්කේ කෙසේද?
“නහඹර පිරිමි ළමයෙකුගේ ජීවිතයේදී සිදුවිය හැකි ඉතාමත්ම පිළිකුල් එක් දෙයක් වන්නේ මහතව සිටීමය.” එසේ කනගාටු වූයේ ජඩ් නමැති නහඹර පිරිමි ළමයෙකි. ඔබේ බර වැඩි නම්, ඔහුට හැඟෙන ආකාරය ඔබට ඇත්තෙන්ම දැනගන්නට පුළුවනි.
කෙසේවුවද, ඔබේ පෙනුම නිකම්ම අඩු කරනවාට වඩා යම් හානියක් කිරීමට ශරීරයේ අතිරේක මේදයට හැක. සෞඛ්‍ය අනතුරු ගණනාවක් ඇතිවීමේ අවදානමකට ඔබව දැමීමට ස්ථූලභාවයට හැක—හන්දිපත්වල ගැටලු, ශ්වසන ආබාධ හා දියවැඩියාවද, එමෙන්ම ජීවිතයේ පසුකාලයක ඔබට බලපෑ හැකි හෘද රෝගය, මහාන්ත්‍ර පිළිකාව වැනි මරණය ගෙනදෙන රෝගද ඇති විය හැක.a
සැබවින්ම, ඔබ සුළු වශයෙන් තරබාරු කෙනෙකු නම්, ඔබ බර අඩු කරගත යුතු යයි මින් අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ නැත. අපගෙන් සමහරුන්හට උරුමයෙන්ම තරබාරු ශරීරයක් ලැබී ඇත; අපට යෝග්‍යයම බරක් තිබෙන විට පවා අප කැමති වනවාට වඩා අපේ බර වැඩිවී පෙනෙයි.b එහෙත් සෞඛ්‍යසම්පන්න බවට වඩා ඔබට ශරීරයේ මේද වැඩියෙන් තිබේ යයි ඔබේ වෛද්‍යවරයා තීරණය කර තිබේ නම්, වෙනත් හේතු සාධක ගණනාවක් ඇතුළත්වී තිබිය හැක. ද හෙල්ති ඇඩොලෙසන්ට් පොත මෙසේ පවසයි: “අග්න්‍යාශය (ඇලදිව), තයිරොයිඩය සහ අධිවෘක්ක ග්‍රන්ථි වැනි අන්තරා-සර්ග ග්‍රන්ථිවල අක්‍රමවත් ක්‍රියාකාරිත්වය . . . සමහර අයගේ ස්ථූලභාවය හෙවත් මහතබව සමඟ සම්බන්ධ වී ඇත.”
ප්‍රමාණය ඉක්මවා කෑම, අඩු ව්‍යායාමය
බොහෝ දෙනෙකුහට, ස්ථූලභාවය ඇති වන්නේ දුර්වල පෝෂ්‍යදායී පුරුදු හා ව්‍යායාමය හිඟකමේ හේතුව නිසාමය. යෞවන ජඩ් මෙසේ සිහිපත් කරයි: “අපව නඩත්තු කිරීම සඳහා මගේ මවට වැඩට යන්න සිද්ධ වුණ නිසා, මගේ සහෝදරයා හා මා . . . අපවම පෝෂණය කරගත්තා. අපි චොක්ලට් පැකට්ටු ගණනක් කා, ලීටර්-දෙකේ [සෝඩා] බෝතල් දෙකක්ම බිව්වා.” නිතර අසන්නට ලැබෙන දෙයක් නේද?
එහෙත්, වෙනත් යෞවනයන්, ආහාර ගන්නේ කුසගින්න නිවා ගැනීමටම නොව, රැකබලා ගැනීම හා සැනසීම සඳහා අවශ්‍යතාවක් තෘප්තිමත් කරගැනීම සඳහාය. එම යෞවනයන් දෙමව්පිය දික්කසාදය, ප්‍රේමනීයයෙකුගේ මරණය හෝ වෙනත් යම් ඛේදවාචකයක් වැනි ශෝකයක් සැහැල්ලු කරගැනීම සඳහා නොමඟ ගිය වෑයමකින් වුවමනාවට වඩා ආහාර ගන්නට ඉඩ තිබේ.
ව්‍යායාමය අඩුකමෙන්, ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමේ ගැටලුව බොහෝ විට උග්‍රවේ. ඒ පේරන්ට්’ස් ගයිඩ් ටු ඊටිං ඩිසෝර්ඩර්ස් ඇන්ඩ් ඔබීසටි මෙසේ නිරීක්ෂණය කරයි: “රූපවාහිනියට ශාරීරික අක්‍රියාකාරිත්වය අවශ්‍ය වනවා පමණක් නොව නමුත් එහි වැඩසටහනෙහි පිරී තිබෙන නිවේදනද . . . ආහාර ගන්න . . . ආහාර වැඩියෙන් ගන්න, කියා ආහාර ගැනීම වැඩිදියුණු කරයි.”
ආහාර ඉතා අඩුවෙන් ගැනීමේ උගුල
සෑම අමෙරිකානුවන් 4දෙනෙකුගෙන්ම 1කෙනෙකු යම් ආකාරයක ආහාර සීමා කිරීමක යෙදී සිටින බව සමහරු කියා සිටිති. එහෙත්, ආහාර පාලනයකොට කෑමෙන් බර අඩු කරගත් ජනයාගෙන් සියයට 90කට වඩා යළිත් බර වැඩි වෙයි. වැරදෙන තැන කොතැනද?
ඔබේ ශරීරය උදුනක් වැනිය; ඔබේ මොළය උෂ්ණත්ව පාලකයකි. ඔබ ආහාර ගන්නා විට, එහි ශක්තිය මුදාහැරීමට ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය ආහාර දවා දමයි. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉන්ධන ගෙන තිබෙන විට, එය මේදය වශයෙන් එකතුවේ. දැන්, බර අඩු කරගැනීමට ඔබ ඔබවම කුසගින්නේ තැබුවොත්, ප්‍රථමයෙන්ම ඔබේ බර අඩු වෙනු ඇත. එහෙත් ඔබේ ශරීරය ‘අර්බුදකාරි පිළිවෙළකට’ විගස වෙනස්වන අතර ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ප්‍රමාද කිරීම මගින් ඔබේ උෂ්ණත්ව පාලකය පහත හෙලයි. ඔබ ආහාර ඉතා අඩුකර ගත්තත්, ඔබ ගන්නා ආහාරවලින් වැඩි කොටසක් මේදය වශයෙන් එකතුවන බැවින්, යළිත් ඔබේ බර වැඩි වන්නට පටන් ගනියි. ඔබේ අඩුවූ සෑම රාත්තලක්ම යළි ලැබී, ඊටත් වඩා වැඩියෙන් ලැබේ. කලකිරී, ඔබ තවත් ආහාර සීමාකොට කයි. එහෙත් ඔබේ බර අඩුවෙන තරමටම—ඔබේ බර වැඩිවේ.
එබැවින් ආහාර සීමාකර කෑමේ පරිපාටිය ඇත්තෙන්ම ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ඔබට දැකිය හැක. ආහාර රුචිය නැති කරන පෙති යම් කලකට ඔබේ ආහාර රුචිය මැඩපැවැත්විය හැකි නමුත්, ශරීරය විගස ඒවාට අනුව හැඩගැසෙන අතර ඔබේ ආහාර රුචිය යළි පැමිණේ. නැතහොත් ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය අඩුවී යන අතර කෙසේ නමුත් ඔබේ බර වැඩිවේ. සමහරෙකු අද්දැක තිබෙන හිසේ කැරකැවිල්ල, අධි රුධිර පීඩනය, කාන්සාව ඇති කරන තත්ත්වයන් සහ ඇබ්බැහිවීම වැනි අතුරු ආබාධද සඳහන් කළ යුතුය. ජලය ඉවත් කරන හෝ ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කරන පෙති ගැනද පැවසිය හැක්කේ එම දෙයමයි. වෛද්‍ය. ලෝරන්ස් ලෑම්බ් කෙළින්ම කාරණය ගැන මෙසේ පවසයි: “ශරීරයේ මේද ඉවත් කිරීමට ඔබට සලසන ආරක්ෂිත, ප්‍රතිඵලදායී පෙත්තක් වැනි දෙයක් නොමැත.”
යෞවනයෙකු වශයෙන්, සෑම දිනකම ඔබේ ශරීරයට තරමක් විශාල කැලරි ප්‍රමාණයක් හා පෝෂ්‍යපදාර්ථ අවශ්‍යය. ඔබේ වැඩීම වචනානුසාරයෙන්ම වැළැක්වීමට ඉතා අඩුවෙන් ගන්නා ආහාර වේලකට හැක. පළමු සාමුවෙල් 28:20හි සාවුල් රජ ගැන බයිබලය පවසන දේ ගැනත් සලකාබලන්න: “ඔහු එදා මුළු දවාලෙහිවත් රාත්‍රියෙහිවත් කෑම නොකෑ නිසා ඔහු තුළ කිසි ශක්තියක් නොතිබුණේය.” එලෙසම, එක් වෛද්‍යවරයෙකු පවසන පරිදි, තමන්වම නිරාහාරව තබාගැනීමට වෑයම් කරන යෞවනයන් “විඩාවෙන්, . . . විෂාදයෙන්, ශීතලය දැනීමෙන්, පාසැල් කටයුතුවල දුර්වලකම දැක්වීමෙන්, මලබද්ධයෙන්, කාන්සාවෙන්, අනාර්තවයෙන් [ආර්තව චක්‍රයේ අසාමාන්‍ය යටපත්වීම හෝ ඇණහිටීම] සහ මානසික අලසකමෙන් වේදනා විඳිය හැක.”
බර අඩු කරගැනීමේ ආරක්ෂිත ක්‍රමය
බර අඩු කරගැනීමට ආරක්ෂිත මඟ ඇරඹෙන්නේ ඔබේ පවුලේ වෛද්‍යවරයා විසින් කරන සර්ව සම්පූර්ණ පරීක්ෂණයක් සමඟිනි. ආහාර අඩුකොට කෑමේ සරල සැලැස්මක් පරාජය කළ හැකි යම් සෞඛ්‍ය ගැටලු තිබේදැයි කියා පරීක්ෂා කිරීමට ඔහුට හැක. බර අඩු කරගැනීමේ සාධාරණ ඉලක්කයක් තබාගැනීමටද, සාධාරණ කාල පරිච්ඡේදයක් තුළදී එම ඉලක්කය ඉටු කරගැනීමට දක්ෂ උපායක් සැලසුම් කිරීමටද ඔබට උපකාර කිරීමටත් ඔහුට හැක.
බයිබලය මෙසේ පවසයි: “කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත.” (දේශනාකාරයා 2:24) එබැවින් ආහාර ගැනීමේ ප්‍රීතිය ඔබෙන් පැහැර ගන්නා ආහාරයක් දිගුකාලීන සාර්ථකත්වයක් ගෙන නොදෙනවා විය හැක. මීට අමතරව, බයිබලය මගින් හෙළාදකිනු ලබන්නේ ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමකි. (හිතෝපදේශ 23:20, 21) එසේ නම්, ඔබ ආහාර ගැනීමේදී “ප්‍රමාණවත් පුරුදු” පවත්වාගැනීමට ඔබට උපකාර කිරීමට යෝජනා ස්වල්පයක් මෙන්න.—1 තිමෝති 3:11.
උදේ ආහාර වේල අතපසු නොකරන්න! “කුසගින්න හා වැළකී සිටීමේ හැඟීමක් ඔබව සම්පූර්ණයෙන්ම යටපත් කර දමයි,” යයි ද නිව් ටීන්ඒජ් බොඩි බුක් අනතුරු අඟවයි. “දවසේ අග භාගයේදී වුවමනාවට වඩා ආහාර—සහ කැලරි—ගැනීමට ඔබ පෙලඹේ.”
සෑම ආහාර වේලකටම පෙර ලොකු වතුර වීදුරුවක් බොන්න. මෙයින් ඔබේ කුස පිරේ. සෑහෙන පමණ වතුර බීම ශරීරයේ-මේද තැන්පත්වීම අඩු කිරීමේ කාර්යභාරයක් ඉටු කරන බවද පෙනෙන්නට තිබේ. අඩුම තරමින් දිනකට වතුර වීදුරු අටක්වත් බොන ලෙසට වෛද්‍යවරු නිර්දේශ කරති.
රූපවාහිනිය නරඹන අතර ආහාර නොගන්න. වෛද්‍ය. සීමෝර් අයිසන්බර්ග් මෙසේ පවසයි: “ඔබ රූපවාහිනිය නැරඹීමේ නිරතවී සිටින්නෙහි නම් . . . , ඔබ යන්ත්‍රයක් මෙන් ආහාර ගැනීමට පටන් [ගන්නට] පුළුවනි.”
ඔබ ආහාර ගැනීමට පෙර යාච්ඤා කරන්න. මතක තබාගන්න: “දෙවියන්වහන්සේ [කෑම] මැවූයේ, සත්‍යය දැනගත් සැදැහැවතුන් ස්තුති පූර්වක ව ඒවා භුක්ති විඳින පිණිස ය.” (1 තිමෝති 4:3, නව අනුවාදය) මැවුම්කරුවාණන් සමඟ ඇති සිය කිට්ටු සබඳතාව මනසෙහි තබාගෙන, දේව බියැති යෞවනයෙකුහට, සිතුවිල්ලෙන් හා ක්‍රියාවෙන් තමන්වම අලස කරගන්නා තරමටම ආහාර අධික ලෙස භුක්තිවිඳීමට වුවමනා නොවනු ඇත. ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමට ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කිරීමට යාච්ඤාවට හැකිය.
සෙමින් ආහාර ගන්න. කුස පිරී ඇතැයි මොළයට සංඥා කිරීමට විනාඩි 20ක් පමණ ගතවේ. මෙබැවින් සෙමින් ආහාර ගැනීමෙන් වැඩියෙන් නොව නමුත්, “තෘප්තියට පැමිණෙනතෙක් [කෑමට],” ඔබට උපකාර කරයි!—ලෙවී කථාව 25:19.
ආහාර ගැනීමට ඵලදායී විකල්ප සොයාගන්න—විශේෂයෙන්ම ඔබ නිරසව, ආතතියෙන්, හුදකලාව හෝ කලකිරීමෙන් පසුවෙන ඕනෑම අවස්ථාවකදී ආහාර ගැනීමේ පුරුද්දක් ඔබට තිබේ නම් මෙය යෝග්‍යය. විශ්වාසය තැබිය හැකි කෙනෙකුහට කථාකරන්න. ඇවිදින්නට යන්න, නැතහොත් ව්‍යායාමයේ යෙදෙන්න. විනෝදාංශයක නියැලෙන්න. සංගීතයට සවන්දෙන්න. ඔබේ ආත්මික රුචිය තෘප්තිමත් කිරීමට වෑයම් කිරීම ඊටත් වඩා හොඳය. (1 පේතෘස් 2:2) කෙසේ නමුත්, ආහාර මගින් ඇදහිල්ල ගොඩනගන්නේ නැත. (හෙබ්‍රෙව් 13:9 සසඳන්න.) එහෙත් බයිබලය කියවීමෙන් එය සිදුවන අතර, ඔබේ රුචියෙන් ඔබේ මනස ඉවත්කර තබාගැනීමට මෙය උපකාරවත් විය හැක.
ඔබේ ආහාර සහ ඔබේ ජීවන-රටාව වෙනස් කිරීම
ඔබ ආහාරයට ගනිමින් සිටි දෙයෙහි වෙනස්කම් කිරීමටද සිදුවිය හැක. මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් මේදය ආහාරයට ගැනීම තහනම් කරනු ලැබීය. (ලෙවී කථාව 3:16, 17) මෙය ආගමික හේතු නිසා වුවත්, චීස්බර්ගර් හෝ තෙලෙන් බැද්ද ආහාර වැනි මේද සහිත ආහාරවලින් වැළකීම, හොඳ ආහාර පාලක ක්‍රමයකි. එමෙන්ම පැණිරස සිසිල් බීමවල හා පේස්ට්‍රි වැනි පිටිවලින් සෑදූ කෑමවල පෝෂ්‍ය ගුණය අඩුය, එමෙන්ම කැලරි ප්‍රමාණය වැඩිය. තවද සිහින් මස් කැබැල්ලක් මත බොහෝ ලුණු දැමීමෙන් ඉමහත් රසක් තිබුණත්, ඔබේ ශරීරයේ වතුර රඳා සිටීමට එය සලසයි.
ඉඳහිට ඔබේ ප්‍රියතම ආහාරවලින් ස්වල්පයක් භුක්තිවිඳීම ඔබට හානියක් වන්නේ නැති බව ආහාර ගැනීම ගැන උපදෙස් දෙන විශේෂඥයෝ එකඟ වෙති. එහෙත් බර අඩු කරගැනීමට ඔබට ඇත්තෙන්ම වුවමනා නම්, පලතුරු, කජු වර්ග, පූර්ණ ධාන්‍ය වර්ග හා එළවලු වැනි වඩා ශක්තිමත් ආහාර වෙනුවෙන් ආශාවක් ඔබ තුළ වර්ධනය කරගත යුතුය. “නිරසකමෙන් මිදීමට විවිධ ආහාර ගන්න,” යයි ආහාර සීමාකොට ගන්න තැනැත්තියක් නිර්දේශ කරන්නීය. ඔබ ඔබේ පවුලේ ඉවුම් පිහුම් නොකරන්නේද? එසේනම් ඔබේ අම්මාට කථාකර ඔබට උපකාර කිරීමට ඇයට හැකිදැයි බලන්න. සැබවින්ම, දිනපතා ආහාර වට්ටෝරුවේ ගුණදායක වෙනස්කම් කළහොත් මුළු පවුලම ප්‍රයෝජන ලබනු ඇත.
සුදුසු ආහාර ගැනීම වැදගත්වන අතරතුරේදීම, ඔබ ඔබේ මොළයේ “උෂ්ණත්ව පාලකය” ක්‍රියා කිරීම වැඩි කරනවා නම් මිසක ඔබේ බර අඩුවන්නේ නෑ. කෙසේද? අඩුම තරමින් සතියකට වාර තුනක්වත් විනාඩි 20ක් පමණ ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාමයෙහි යෙදීමෙනි. (1 තිමෝති 4:8) ඉක්මනින් ගමන් කිරීම හෝ පඩි නැගීම වැනි සරල දෙයක් ප්‍රමාණවත් විය හැක. ඔබේ බර හෝ ශරීරයේ ආකාරය කුමක් වුවත් ඔබව වඩා සිහින්ව හා හැඩැතිව පෙනීමට ව්‍යායාමය උපකාරවත් වේ. එය ඔබේ පරිවෘත්තිය උදුනේ ක්‍රියාකාරිත්වය වැඩි කරන බැවින්, ඔබේ කැලරි දැවෙන අතර, ඔබේ මේදයද දැවී යයි. ව්‍යායාමය මගින් ඔබට ඔබේ ශාරීරික රසායනික ක්‍රියාවලිය සකස් කරගත හැක. ඔබට ඔබේ මාංස පේශි වැඩි කරගත හැකි අතර, ඔබ නිදන විට පවා මාංස පේශි කැලරි දවා දමයි!
අධෛර්ය නොවී උත්සාහ දැරීමෙන් හා අධිෂ්ඨානයෙන්, අතිරේක බරට එරෙහිව ඔබ කරන සටනින් ජය ගැනීමට ඔබට හැක.c රාත්තල් කීපයක් අඩුවීමෙන් ඔබේ සියලු ගැටලු විසඳෙන්නේ නැති නමුත්, ඔබට වඩාත් හොඳ පෙනුමක් හා හොඳ හැඟීමක් ඇති විය හැකි බව පිළිගත හැකියි. ඔබට ඔබ ගැනම වඩා හොඳ හැඟීමක් ඇතිවීමට පවා පටන් ගත හැක. g94 5/8
[පාදසටහන්වල]
a මහත යෞවනයන්ගෙන් සියයට 80ක් පමණ වැඩිහිටියන් වශයෙන්ද මහත්ව සිටිති.
b “යෞවන අය අසති . . . මා මෙතරම් මහත ඇයි?” 1994 සැත්තැම්බර් 8, පිබිදෙව්! කලාපය බලන්න.
c ආහාර ගැනීමේ දරුණු අක්‍රමිකතා ඇති පුද්ගලයන්ට සිය දුෂ්කරතාවට සාර්ථකව මුහුණ දීමට වෛද්‍ය උපකාරය අවශ්‍ය විය හැක.
[19 පිටුවෙහි ඇති පින්තූරය]
ආරක්ෂිතව බර අඩු කරගැනීමට ප්‍රධාන දෑ වන්නේ ව්‍යායාමය හා සමබර පෝෂ්‍යදායී ආහාරවේල්ය