කෙසෙල් ගෙඩිය අපූරු පලතුරක්
හොන්ඩුරාස්හි පිබිදෙව්! වාර්තාකරු විසිනි
ග්‍රීක්වරුන් සහ අරාබිවරුන් එය හැඳින්වූයේ “අපූරු පලතුරු ගසක්” හැටියටයි. පොදු යුගයට පෙර 327දී, මහ ඇලෙක්සැන්ඩර්ගේ යුද හමුදාවන් විසින් ඉන්දියාවේ එය සොයා ගන්නා ලදි. පරණ කථාන්තරයකට අනුව, ඉන්දියාවේ මුනිවරු එහි සෙවනේ විවේක ගෙන එහි ඵල අනුභව කළහ. එමනිසා “ප්‍රඥාවන්ත මිනිසුන්ගේ ඵලය” යනුවෙන් එය හඳුන්වා තිබේ. එය කුමක්ද? ඇයි, කෙසෙල් ගෙඩිය!
එහෙත් ආසියාවේ කැරිබියානු පෙදෙසට කෙසෙල් ගෙඩිය ගියේ කෙසේද? හොඳයි, ආදි අරාබි වෙළෙන්දෝ ආසියාවෙන් අප්‍රිකානු වෙරළබඩ ප්‍රදේශයට කෙසෙල් ගසේ මුල් ගෙන ගියහ. වර්ෂ 1482දී, කෙසෙල් ගස එහි වැඩෙනවා දුටු පෘතුගීසි ගවේෂකයෝ එහි මුල් ස්වල්පයක්ද බනානා වන එහි අප්‍රිකානු නාමයද කනේරි දූපත්වල පෘතුගීසි ජනාවාස වෙතට ගෙන ගියහ. ඊළඟ පියවර වූයේ අත්ලාන්තික් සාගරය හරහා නව ලෝකය වෙතට ගමනකි. එය සිදු වූයේ 1516දීය, කොලොම්බස්ගේ මුහුදු ගමන්වලට වසර ස්වල්පයකට පසුවය. ස්පාඤ්ඤ ජාතික මිෂනාරිවරු කැරිබියන් මුහුදේ දූපත්වලටද නිවර්තනීය මාබිමටද කෙසෙල් පැල රැගෙන ගියහ. එහෙයින්, මෙම අපූරු පලතුරු ගසට, මධ්‍යම සහ දකුණු අමෙරිකාව දක්වා යෑම සඳහා ලොව වටා අර්ධ වටයක් ගමන් කිරීමට සිදු විය.
වාර්තා වී ඇති පරිදි, මුල් වරට කැරිබියානු දූපත් සිට නව එංගලන්තයට කෙසෙල් ගෙන යනු ලැබූවේ 1690දීය. පියුරිටන්වරුන් මෙම අමුතු ගෙඩිය තැම්බූ අතර ඊට කැමැත්තක් දැක්වූයේ නැත. කෙසේවෙතත්, දකුණු සහ මධ්‍යම අමෙරිකානු රටවල මෙන්ම, වෙනත් නිවර්තනීය දේශයන්හි, මිලියන ගණන් මනුෂ්‍යයෝ අමු කෙසෙල් ගෙඩි තම්බා එය සතුටින් අනුභව කරති.
කෙසෙල් වතු
වර්ෂ 1870 සහ 1880 අතර කාලයේදී, කෙසෙල් ගෙඩි අපනයනය කිරීමේ අදහස විවිධ යුරෝපියානු මෙන්ම උතුරු අමෙරිකානු වෙළෙන්දන්හට උනන්දුවක් ඇති කළේය. ඔවුහු සමාගම් සාදා ෆිංකා යනුවෙන් හඳුන්වනු ලැබූ කෙසෙල් වතු පිහිටුවා ගත්හ. මේ උදෙසා, වැඩකරුවන්ටත් ඉන්ජිනේරුවන්ටත් කැලෑ එළිපෙහෙළි කර, පාරවල් සාදා දුම්රිය මාර්ග සහ ජන සන්නිවේදන මාධ්‍යයන් පිහිටුවීමට අවශ්‍ය විය. වැඩකරුවන් සහ ඔවුන්ගේ පවුල්වලට නිවාස, පාසල් සහ රෝහල් පවා ඇති ගම්මාන ගොඩනගනු ලැබීය. ලොව වටා කෙසෙල් ගෙඩි ගෙන යෑම සඳහා දුම් නැව් ගමන් සකස් කරන ලදි. කර්මාන්තය දියුණු වූවාත් සමඟම, කෙසෙල්-වැවෙන රටවල වැඩි බිම් ප්‍රමාණයක් සමාගම් මගින් මිලට ගනු ලැබීය.
අදදින, උතුරු අමෙරිකාවේ අනුභව කරනු ලබන කෙසෙල් ප්‍රමාණයෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් ලතින්-අමෙරිකානු දේශවලින් සපයනු ලැබේ. අපනයනය කරන ප්‍රධාන රට බ්‍රසීලය වේ. වාර්ෂිකව කෙසෙල් ගෙඩි බිලියන දෙකකටත් වඩා වැඩියෙන් අපනයනය කරන හොන්ඩුරාස්, ලැයිස්තුවේ හයවෙනි ස්ථානය ගනියි.
කෙසෙල් වැවෙන ආකාරය
කෙසෙල් ශාකය ගසක් නොවෙයි. එයට කාෂ්ඨමය තන්තු නොමැත. ඒ වෙනුවට, එය වනාහි තාල වර්ගයේ ගසක් මෙන් පෙනෙන්ට තිබෙන යෝධ පැළෑටියකි. ශාකයේ වර්ධනයට සහ විශාලත්වයට බලපාන්නේ දේශගුණය සහ පසයි. කෙසෙල් ගස් හොඳින් වැවෙන්නේ තෙතමනය ඇති උණුසුම් දේශගුණ සහිත ප්රදේශවලය, එමෙන්ම ඒවා සරුවට වැවෙන්නේ හොඳ ජලවහනය තිබෙන සාරවත්, වැලි සහිත ලොම් පසේය. වර්ධනයේ උපරිමය අත්කර ගැනීමට නම්, ඕනෑම කාල පරිච්ඡේදයකට උෂ්ණත්වය ෆැරන්හයින්ට් අංශක 70ට වඩා අඩු වීම සුදුසු නැත.
බෝගයක් ආරම්භ කිරීමට, මේරූ ශාකවල භූගත කඳෙන් කපා ගනු ලැබූ මොටෙයියන් යනුවෙන් හඳුන්වනු ලබන කුඩා පැළ සිටවිය යුතුය. අඩියක් ගැඹුරු මෙන්ම එකිනෙකට අඩි 18ක් ඈතින් වළවල් හාරනු ලැබේ. සති තුනකින් හෝ හතරකින් කොළ පැහැති දළු මතු වෙන අතර, තදින් ඇඹරුණු මෙම කොළ පැහැති කොළ, පැළ වැවෙන විට දිග ඇරේ. කෙසෙල් පැළ දිනකට අඟලක පමණ වේගයකින්, ශීඝ්‍රයෙන් වැඩේ. මාස දහයකට පසුව, පැළයක් සම්පූර්ණයෙන්-වැඩී තිබෙන අතර දැන් තාල ගසක හැඩය සහිතව දිස් වේ, එහි උස අඩි 10 සිට 20ක් පමණ වේ.
සම්පූර්ණයෙන්-වැඩුණු පැළයක, එකට එතුණු කොළවලින් සකස් වූ, කුඩා දම් පැහැති කොළ සහිත විශාල මොට්ටුවක් (කෙහෙල් මුව) වැඩෙයි. පසුව කුඩා මල් පොකුරු මතු වෙයි. එක ශාකයකින් ලැබෙන්නේ එක කෙසෙල් කැනක් පමණි, මෙය බරින් රාත්තල් 60 සිට 100ක් දක්වා වේ, මීට කෙසෙල් ඇවරි 9 සිට 16ක් දක්වා තිබේ. සෑම ඇවරියකම කෙසෙල් ගෙඩි 10 සිට 20ක් දක්වා තිබේ.
කෙසෙල් ගෙඩි මුලින්ම බිමට නැමී වැඩෙන අතර පසුව සුප්‍රසිද්ධ කෙසෙල් නැම්ම ඇති කරමින්, පිටටත් ඉහළටත් වැඩේ. වැඩෙන කාලයේදී පෝෂණය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? කල්යත්ම ශාකයෙන් ලැබෙන සම්පූර්ණ ශක්ති ප්‍රමාණයම කෙසෙල් ගෙඩිවලට ලැබීම සඳහා වැඩකරුවෙක් විසින් කෙහෙල් මුව අයින් කරනු ලැබෙයි. පසුව කෘමීන් වළක්වා ගැනීම සඳහා, ඔහු ඉටි මල්ලකින් ගෙඩි වසා දමයි. කෙසෙල් ගෙඩි ඉහළ අතට වැඩී අතිශයින් බර අධික වන හෙයින්, සුළං හෝ ගෙඩිවල බරට ඇද වැටීම වැළැක්වීම සඳහා එම ශාකය ළඟ ඇති වෙනත් ශාකවල අඩියට ගැට ගසනු ලබයි. අවසාන වශයෙන්, ගෙඩි කපාගැනීම සඳහා සූදානම් වන කාලය ඇඟවීමට විවිධ පැහැති පටියක් වැස්මට ගැටගසනු ලැබේ.
සෑමදාම, ශාකවල කොළවලට බෙහෙත් ඉසීම සඳහා වගාවට ඉහළින් ගුවන් යානා ගමන් කරයි. මෙමගින් ප්‍රධාන රෝග තුනකින් එම ශාක ආරක්ෂා වේ. එකක් වනුයේ පැනමා රෝගයයි, මෙහිදී සමහර ශාක, දිලීර මගින් වැනසේ. එහෙත් එම රෝගයට එරෙහිව සටන් කළ හැකි ශාක වර්ග එම ශාක වෙනුවට පැළ කරනු ලැබේ. තවත් රෝගයක් වනුයේ මාකො රෝගයයි, මෙය බැක්ටීරියා හේතුවෙන් ඇති වෙයි. එය පාලනය කරනු ලබන්නේ ඇතැම් රෝග-පතුරුවන කෘමීන් ආකර්ෂණය කරන රෝගයෙන් බලපානු ලැබූ ශාක හෝ මල් ඉවත් කිරීමෙනි. තවත් රෝගයක් වනුයේ සිගටෝකා රෝගයයි, මෙය ශාකයේ පත්‍ර විනාශ කරන නමුත්, කල් ඇතිව රසායනවලින් ඉහිනු ලැබුවා නම් එය කෙසෙල් ගෙඩිවලට බලපාන්නේ නැත. කෙසෙල්වලට ජල සම්පාදනය සහ අධික-පීඩන ඉහින ක්‍රමවලින් සපයනු ලබන විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. වතුවල තණකොළ සහ වල් පැළෑටි නොතිබීමේ අවශ්‍යතාව ගැනද සඳහන් කළ හැකිය.
වතුවලින් ඔබගේ මේසය දක්වා
කෙසෙල් කැන් කැපීමට කාලය පැමිණ තිබෙන බව පටියේ පැහැයෙන් අඟවන විට, ඒවා කැපීමට නියම ප්‍රමාණයේ තිබෙනවාද යන්න සහතික කිරීම සඳහා මුලින් ඒවා මනිනු ලැබේ. සැලකිය යුතු තවත් කරුණක් වනුයේ, දේශීය භාවිතය සඳහා වුවත්, කෙසෙල් ගෙඩි ඉදෙන තුරු ශාකය මත තබන්නේ නැති බවය. ඒ මන්ද? මන්දයත් ඒවායේ රස නැති වන හෙයිනි. බෝගයක් කපා ගන්නේ කවදාද යන්න තීරණය කිරීමට පෙර, අපනයනය කරන දුර ප්‍රමාණය සහ උපයෝගි කරන ප්‍රවාහන ක්‍රමය සැලකිල්ලට ගත යුතුවේ. පසුව වැඩකරුවෙකු මන්නයකින් කෙසෙල් කැන් ටික කපන අතර, ඒවා ඇහුරුම් ස්ථානයට යවනු ලැබේ. කෙසෙල් කැන් කපා ඉවත් කිරීමෙන් පසුව කෙසෙල් ශාකයට කුමක් කරනු ලැබේද? ඒ වෙනුවට වැඩෙන්ට යන අලුත් පැළවලට පොහොර වශයෙන් එය කපා දමනු ලැබේ.
ඇහුරුම් ස්ථානයේ දී, කෙසෙල් ගෙඩි සෝදනු ලැබේ, එමෙන්ම වැඩකරුවන් සහ ඔවුන්ගේ පවුලේ අය විසින් අනුභව කිරීම සඳහා තැළුණු ගෙඩි ඉවත් කරනු ලැබේ. කුඩා කෙසෙල් ගෙඩි රසගැන්වීම සහ ළදරු ආහාර සඳහා භාවිතා කෙරේ. හොඳම කෙසෙල් ගෙඩි පෙට්ටියකට රාත්තල් 40 බැගින් අහුරා ශීත කරනු ලැබූ දුම්රියවල් සහ නැව් මගින් විදේශ රටවලට යවනු ලැබේ.
නෞකා තටාකයේ දී, ගෙඩිවල ගුණය පරීක්ෂා කරනු ලබන අතර, උෂ්ණත්වයද මණිනු ලැබේ. ශාකයෙන් කපා ඉවත් කිරීමෙන් පසුව, වෙළෙඳ පොළ දක්වා යන තෙක් ගෙඩි අමුවෙන් තිබිය යුතුය. කෙසෙල් නරක්වනසුලු ගෙඩි වර්ගයක් වන හෙයින්, දින 10 සිට 20ක් ඇතුළත එය ශාකයෙන් කපා, නැව්ගත කර වෙළෙඳසැල්වල විකිණිය යුතුවේ. ගෙඩි ඉදීම වැළැක්වීම සඳහා ෆැරන්හයිට් අංශක 53 සිට 56ක් දක්වා ශීත ප්‍රමාණයක තබනු ලැබේ. නවීන ප්‍රවාහන පහසුකම් නිසා, කිසිම ගැටලුවක් නොමැතිව මධ්‍යම සහ දකුණු අමෙරිකාවෙන් කැනඩාව සහ යුරෝපය දක්වා ඈත පෙදෙස්වලට කෙසෙල් ගෙඩි එවීමට හැකි වේ.
ප්‍රායෝගික වටිනාකම සහ පෝෂණය
කෙසෙල් වර්ග සියයක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් තිබේ. කුරු කෙසෙල් ගෙඩි වර්ගය සුලභ වර්ගයකි, මෙය ප්‍රධාන වශයෙන් යුරෝපය, කැනඩාව සහ එක්සත් ජනපදයට අපනයනය කරනු ලබයි. අපනයනය කිරීම පිණිස සුදුසු නොවන ඉතා සිහින් ලෙල්ලක් සහිත වඩා කුඩා කෙසෙල් වර්ග, හොන්ඩුරාස්හි බහුල වශයෙන් දැකිය හැකිය. මේවා මන්සානා (ඇපල්) සහ රතු ජැමෙයිකා යනුවෙන් හඳුන්වනු ලැබේ.
කෙසෙල් කොළවල ප්‍රයෝජනවත් කෙඳි අඩංගු වන අතර නිවර්තනීය රටවල විවිධ ප්‍රයෝජන සඳහා ඒවා භාවිතා වේ. පොළකට යන විට, බොහෝ දේශයන්හි ඉතා ජනප්‍රිය ආහාරයක් වන ටමාලේ එතීම සඳහා එම කොළ වීදිවල ගොඩගසා විකිණීමට තිබීම කෙනෙකුට දැක ගැනීමට හැකිවේ.
හොන්ඩුරාස්හි සිටින බොහෝ දෙනෙක් තමන්ගේ ආහාර වේල සමඟ කෙසෙල් ගෙඩිද අනුභව කිරීමට කැමැත්තක් දක්වති. හොන්ඩුරාස්වල උතුරු වෙරළබඩ ප්‍රදේශයේ ඉතා රසවත් කෑම වර්ගයක් මචුකා යනුවෙන් හඳුන්වනු ලැබේ. එය පිළියෙළ කිරීම සඳහා, නොඉදුණු කෙසෙල් ගෙඩි වංගෙඩියක තලා, කුළුබඩු එකතු කර, එම මිශ්‍රණය කකුළුවන් සමඟ පොල් තෙල්වල පිසගනු ලැබෙයි.
එක්සත් ජනපදයේ වාර්ෂිකව කෙසෙල් ගෙඩි බිලියන 11ක් පමණ අනුභව කරනු ලැබේ. විශාල ප්‍රමාණයක් කැනඩාවටත් බ්‍රිතාන්‍යයටත් යුරෝපයේ වෙනත් රටවලටත් යවනු ලැබේ. මෙම පලතුර අනුභව කිරීමෙන් ලැබෙන පෝෂ්‍යදායක ප්‍රයෝජන මොනවාද? කෙසෙල් ගෙඩිවල විටමින් A සහ C, කාබෝහයිඩ්රේට, පොස්පරස් සහ පොටෑසියම් බහුල වශයෙන් අඩංගු වේ.
කෙසෙල් ගෙඩි භාවිතා කළ හැකි ක්‍රම මොනතරම්ද! සුළු කෑම වර්ගවල, සලාදවල, කේක්වල, අයිස්ක්‍රීම් සමඟ ආදි අතුරුපසවල භාවිතා කිරීම ඇතුළුව ඊට ප්‍රයෝජන රැසක් තිබේ. එහෙත් ඔබ ඉදුණු කෙසෙල් ගෙඩියක් කන ඊළඟ වතාවේදී, එහි විශිෂ්ට ගුණාංග ගැන කල්පනා කරන්න. මෙම ගෙඩියට විශේෂිත වූ ඇහුරුමක් තිබේ. විටමින සහ ඛනිජ ද්‍රව්‍යවලින් සඵල වේ. එසේය, ඔබගේ මේසයට පැමිණීමට කෙසෙල් ගෙඩිය ඇතැම්විට ලොව වටා අර්ධ ගෝලයක දුරක් ගමන් කරන්නටත් සිදුවනවා ඇත. g94 4/8