මුදලට ප්‍රේමය නපුරු දේවල් බොහොමයක මුලක්ය
මුළු පොළෝ තලයෙහිම අතිශයින් ප්‍රිය කරනු ලබන එම ද්‍රව්‍යය—එනම් මුදල්—සඳහා වූ විශාලතම ගවේෂණය තමන් දැක තිබෙන බව සෑම පරම්පරාවකටම තර්ක කළ හැකිය! වස්තුව සහ ධනය අත්කර ගැනීම සඳහා ඔවුන් සටන් කළා වූ යුද්ධවලට යොමු දැක්වීමට සෑම පරම්පරාවකටම හැකිය, එම යුද්ධ පැවති කාලය බොහෝ විට තීරණය කරනු ලැබුවේ, මුදල් පැවති කාලය මගිනි.
මුදල් නිසා, ලොවපුරා මිනිසුන් මිලියන ගණන්වලින් මරුමුවට පත් කර තිබේ. පොහොසත් දෙමව්පියන්ගේ දරුවන් ඔවුන්ගෙන් උදුරාගනු ලැබ මිදීමේ මිලයක් ලබාගැනීම පිණිස—එනම් දරුවන් සුරක්ෂිතව නැවත ලබාගැනීම පිණිස දෙමව්පියන් ගෙවන මුදල සඳහා—දරුවන් ඔවුන්ගෙන් වෙන්කර තබා තිබේ. අසරණ අය, කපටි වංචාකාරයන්ගේ ගොදුරට හසු වී සිය ජීවිත කාලය පුරා ඉතිරි කළ මුදල් අහිමි කරගෙන ඇත්තාහ. මුදල් ලබාගැනීම සඳහා මිනිසුන්ගේ නිවෙස් අස්සක් මුල්ලක් නෑර සොයා සොරකම් කරනු ලැබ තිබේ. “පොදු ජනයාගේ නොම්මර එකේ සතුරා” යනුවෙන් සාහසික මිනිසුන්ට නම් තබා තිබෙන්නේ ඔවුන් තුවක්කුවක් අතැතිව බැංකු සොරකමක් සිදු කළ හෙයිනි. මෙම ලැජ්ජා සහිත ක්‍රියාවන් අද්දැක තිබෙන්නේ තමන් පමණක් බව කිසි පරම්පරාවකට කියා සිටිය නොහැකිය. නිදසුනක් වශයෙන්, රිදී කැබලි 30ක වටිනාකමක් ඇති මුදල්වලට, තමාගේ හොඳම මිත්‍රයා වූ, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාව පාවා දුන් නීචකොට සැලකීමට වටින වැරදි කාරයා දුටු පරම්පරාවට වඩා මුදල් පසුපස ගිජු ලෙස ලුහුබැඳ යෑමක් වෙනත් කිසිම පරම්පරාවක් විසින් දැක නැත.
කෙසේවෙතත්, එක් අමෙරිකානු ලේඛකයෙකු විසින් “සර්වබලධාරී ඩොලරය, සර්වලෝක භක්තිය ලබන උතුම් වස්තුව” යනුවෙන් විස්තර කරනු ලැබූ, අත්කරගැනීමට දුෂ්කර මෙම විනිම මාධ්‍යය සඳහා වූ ලුහුබැඳ යෑම, මෙම පරම්පරාවේ අවසාන භාගයේදී, වඩාත් පහත් තත්ත්වයකට පත් වී ඇත. මීටත් වඩා නිර්භීත බැංකු සොරකම් වෙනත් කිසිම පරම්පරාවක් විසින් අද්දැක නැත—තුවක්කුවක් අතැති සොරුන් විසින්, බැංකුවේ මුදල් මාරු කරන්නන්ගෙන් රුපියල් මිලියන ගණනක් උදුරාගෙන තිබේ, ඇරත් හුදෙක් පුරුෂයන් සහ ස්ත්‍රීන් විසින් පමණක් නොව, නමුත් යෞවනයන් විසින්ද එසේ කරනු ලැබ තිබේ. එබඳු සොරකම් දැන් කොතරම් බහුලව පවතීද කිවහොත් ප්රවෘත්ති මාධ්‍යයේ ඒවාට වැඩි අවධානයක් ලැබෙන්නේවත් නැත. ගිජු හිමිකරුවන් ඔවුන්ගේම පෞද්ගලික භාවිතය සඳහා නීති විරෝධී ලෙස තැන්පත්කරුවන්ගේ මුදල්වලින් මිලියන ගණන් භාවිතා කිරීමෙන්, බැංකු වත්කම් සම්පූර්ණයෙන්ම හිස් කර, බොහෝ තැන්පත්කරුවන්ව සම්පූර්ණයෙන්ම හිඟ තත්ත්වයකට පත් කර තිබෙන නිසා, මූල්‍යමය ආයතන බොහොමයක් අසාර්ථක වී ඇත.
අදදින ධනවතුන්ගේ සහ ප්‍රසිද්ධ අයගේ ජීවිත-රටා රස බැලීමට වෙර දරන, තමන්ගේ ස්වාමිවරුන්ගෙන් වංචාවෙන් රුපියල් මිලියන ගණනක් පැහැර ගන්නා කාර්යාලීය රැකියාවල නියැලී සිටින අය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? පසුකරගෙන යන අයගේ අත්බෑගවල හෝ පසුම්බිවල අඩංගු දෑ සොරකම් කිරීම සඳහා අඳුරු වීදිවල ගැවසෙන අය ගැන බොහෝ විස්තර ලිවිය හැකිය. තවද දහවල් කාලයේදී බොහෝ දෙනෙක් බලා සිටිද්දීම වස්තු පැහැර ගැනීම මෙන්ම ඊට ගොදුරු වූවන් මරා දමා ඔවුන්ගේ සාක්කු හිස් කිරීම සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? ඇතැම් නාගරික අසල්වැසි පෙදෙස්වල ජීවත්වන අය මෙසේ ශෝකය පළ කරති: “ගැටලුව වෙන්නේ මගේ වීදියේදී මා සොරකමකට අසු වේද යන්න නොව නමුත් එය කොපමණ වරක් සිදුවේද යන්නයි.” සොරාව සතුටු කිරීම සඳහා ඇතැමෙක් ‘සොරාගේ සල්ලි’ රැගෙන යති, මෙමගින් ඇතැම්විට ඔහු ඔවුන්ගේ ජීවිතවලට හානි නොකර සිටිය හැකිය. විසිවන ශතවර්ෂයේ අවසානය දකින මෙම පරම්පරාව මේ තාක් කල් ලෝකය දුටුවා වූ වඩාත්ම අනුකම්පා රහිත මුදල් ලුහුබැඳීම අද්දකිමින් සිටීම, අවාසනාවන්ත කාරණයකි.
පවුල තුළ මුදල්වල බලය
මුදල් නිසා ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් අතර ඇතිවන දෛනික ආරාවුල් දෙස බලන්න. “අපගේ ජීවිත තුළට හැම ආකාර නිෂ්ඵලකමක්ම ඇදගන්න කාන්දම නම් මුදල්,” යනුවෙන් එක් පර්යේෂිකාවක් ලීවාය. “ඔබ මුදල් සම්බන්ධයෙන් රණ්ඩු කිරීම නතර කරන්නට යනවා නම්, ඔබ සහ ඔබගේ කලත්‍රයා එය සලකන ආකාරයත්, භාවිතා කරන ආකාරයත්, ඔබ වටහා ගත යුතුයි,” යයි ඈ පැවසුවාය. පවුල් පොහොසත් වුවත් දුප්පත් වුවත් නැතිනම් ඒ අතර සිටියත්, යුවළයන් වැඩියෙන්ම රණ්ඩු කරන්නේ මුදල් සම්බන්ධයෙන් බව බොහෝ ප්‍රවීණයන් පිළිගන්නා කරුණකි. “මුදල් වැය කිරීම හෝ මුදල් ඉතිරි කිරීම යන කරුණ බොහෝ රණ්ඩු සරුවල් ඇති වීමට කොතරම් තුඩු දෙනවාද යන්න මට පුදුමසහගතය,” යනුවෙන් තවත් පර්යේෂකයෙක් ලීවේය. නිදසුනක් වශයෙන්, අතිශයින් පොහොසත් වූ අය සැලකිල්ලට ගන්න. බොහෝ විට සැකසුරුවම් සහිත වූ කලත්‍රයා ඔහුගේ හෝ ඇයගේ මුදල් ඉතිරි කිරීමට වෙර දරන නමුත්, අත දිගහැර වියදම් කරන තැනැත්තා එය වැය කිරීමට තැත් කරයි. කොතරම් ධනය තිබෙන නමුත්, ආරාවුල් හටගනියි—එසේ වන්නේ මුදල් හිඟය නිසා නොව නමුත් එහි බහුලත්වය නිසාය. මුදල් නිසා විවාහ වී, සිහිනයෙන්වත් නොසිතූ ජීවිත-රටා භුක්ති විඳ අන්තිමේදී විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම උදෙසා දික්කසාද වන අයද සිටිත්.
මුදල්-පිස්සුව ඇති මෙම දේවල පිළිවෙළ තුළ, මුදල් වනාහි බලය සහ ආත්ම-අභිමානය සඳහා වූ රූපකයකි. මෙම හේතුව නිසා භාර්යාවක් ඇගේ කලත්‍රයාට වඩා වැඩියෙන් උපයාගන්නවා නම් බොහෝ විට නුරුස්නා ස්වභාවයක් හට ගනියි. ඇය එසේ උපයන විට, තමාගේ බලයත් ආත්ම-අභිමානයත් අහිමි වන බව ඇගේ ස්වාමිපුරුෂයාට හැඟීමට ඉඩ තිබේ. ඊර්ෂ්‍යාව තමාගේ අප්‍රසන්න හිස ඔසවයි—ඇරත් අතරමැදිවන යම් රහසිගත පුද්ගලයෙකු නිසා නොව—නමුත් ඔවුන් දෙදෙනා අතර භේද ඇති කිරීමට නිර්භීත වී තිබෙන, අධික සේ ආශා කරන ලද එම සර්වබලධාරී ඩොලරය නිසාය. මුදල් සහ ප්‍රේමය අතර සටනේදී, නිතරම පාහේ මුදල් පහසුවෙන් ජයග්‍රහණය අත්කර ගනියි.
තත්ත්වය දිගටම එසේ පවතියි. සැබවින්ම, “මුදලට ප්‍රේමය සියලු ආකාර හානිකර දේවල මුලක්ය.” (1 තිමෝති 6:10) එසේ වුවත්, මුදල්වල ඌනතාව එය පසුපස ලුහුබැඳ යන අයට ගොදුරුවන්නන්ට බලවත් පීඩාව සහ දුක් වේදනා ගෙනදී ඇත.
මුදල්, සෑම තැනම මුදල්
මුදල් උපයාගැනීමට මුදල් අවශ්‍ය බව බොහෝ විට කියැවේ. දැන්වීම් පළ කරන්නන් විසින් අධික බලකිරීමක් සහිතව ඉදිරිපත් කරනු ලබන නිෂ්පාදන ද්‍රව්‍ය මිලදී ගැනීමට සාප්පු යා හැකි අයව ආකර්ෂණය කිරීම සඳහා වැයවන ලක්ෂ ගණනාවක් වැනි අතිවිශාල මුදල් ප්‍රමාණ නිරීක්ෂණය කරන්න. ඔබට පැමිණෙන තැපෑල පරීක්ෂා කර බලන්න—ඇතැම්විට “කෝටියක්” දිනාගන්නා ඊළඟ තැනැත්තා ඔබ විය හැකිය. යම් හදිසි ලාභයක් තමන්ට අහිමි විය හැකිය යන බියෙන්, විශාල පිරිසක් තමන්ට වුවමනා නැති, එමෙන්ම ඇතැම්විට කවදාවත් කියවන්නට යන්නේ නැති සඟරාවලට දායක වෙති. “ජයග්‍රහණය අත්කර ගැනීමට සුදුසුකම් ලැබීම සඳහා මිලදී ගැනීමට ඔබට අවශ්‍ය නැත,” යන නිවේදිත පොරොන්දුව බොහෝ දෙනෙක් සැක කරති.
ජයග්‍රාහකයන් සඳහා ඩොලර් මිලියන ගණනාවක් දක්වා ඉහළ වටිනාකමක් සහිත දීමනා ඇති ලොතරැයි තිබෙන අමෙරිකාවේ ජනපදයන් දෙස බලන්න! මිලියන ස්වල්ප ගණනක් “අල්පයක්” සේ සැලකේ. මේ දවස්වල, එකම ඇදීමකින් මිලියන 50 සිට මිලියන 100 දක්වා දිනා ගත හැකිය. වාසනා සල්ලි මල්ල සඳහා ලබා ගත හැකි මුදල්වලට නිමක් නැති තරම්ය. බොහෝ රටවල, ජාතික ලොතරැයි පරම්පරා ගණනාවක් පුරා පැවත ඇත. මුදල් සම්භාරයක් දිනාගැනීම සඳහා වූ එකම අවස්ථාවක් උදෙසා ඇතැම් මනුෂ්‍යයන් විසින් මුළු සතියක වැටුප් වියදම් කොට තිබේ. පවුල්වලට ප්‍රමාණවත් ආහාර සහ ඇඳුම් පැළඳුම් නොමැතිව සිටීමට සිදු වී ඇත—ඒ වෙනුවට එම මුදල් “වාසනාවේ දේවතාවී” වෙනුවෙන් පරිත්‍යාග කෙරේ.—යෙසායා 65:11, නව අනුවාදය.
සූදු කෙළීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් දිනාගැනීම සම්බන්ධයෙන් සිහින මවන මිලියන සංඛ්‍යාතයන් සැලකිල්ලට ගන්න. ලොව වටා ඇති සූදු කෙළීමේ කැසිනෝවල තමන්ගේ මනඃකල්පිත සිහිනයන් අත්කරගැනීමට බලන අය සලකා බලන්න. දාදු කැටය වරක් දැමීමෙන්, එක කාඩ්පතක් ඇදීමෙන්, වාසනා යන්ත්‍රය වරක් ක්‍රියාත්මක කිරීමෙන්, තම සිහිනයන් ඉටු කරගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති. කෙසේවෙතත්, හැමවිටම වාගේ, එබඳු අයට අතේ තෙල් රඳවා තැබීම අපහසු වන්නා සේම එයද අපහසු කාර්යයක් වේ.
එයාකාරයෙන් හැමවිටම අතින් බේරී යන ඩොලරය සඳහා වූ කෙළවරක් රහිත ලුහුබැඳයෑම ඉතා වේගයෙන් සිදුවේ, හරියට සුළඟ ඇල්ලීමට කරන උත්සාහයක් බඳුය. ඇතැම් අය විසින් විශාල මුදල් සම්භාරයක් රැස් කොට තිබිය හැකි නමුත්, හිටි හැටියේම, බලාපොරොත්තු නොවූ එක මොහොතක් තුළදී, එය අහිමි වී තිබෙන බව ඔවුන් විසින් අද්දැක තිබේ. එසේ නම් ප්‍රඥාවන්ත සාලමොන් රජුගේ වදන් ඔවුන්ට පැහැදිලි අර්ථයක් ලබා දිය යුතුය: “ඔබගේ මුදල් ක්ෂණයකින් නැතිවිය හැකිය, හරියට එය පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී ගියාක් මෙන්ය.”—හිතෝපදේශ 23:5, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.
චිත්රයේ අනෙක් පැත්ත සසඳා බැලීම
සූදු කෙළීම සඳහා තමන්ගේ අන්තිම ඩොලරය වියදම් කිරීමෙන් තමන්ටත් තමන්ගේ පවුල්වලටත් අධික දුක් වේදනා ලබාදී තිබෙන අය සිටින බවට වූ සත්‍යය ප්‍රතික්ෂේප කිරීමට නොහැක. බොහෝ විට ඔවුන් දුප්පත්ය, වත්කමක් නැති අයය, ප්‍රමාණවත් නොවන ජීවනෝපායක් උපයා ගන්නා අයය. තවත් සමහරු කම්මැලි වෙති, එමනිසා වෙහෙස මහන්සියෙන් තොරව ලබා ගැනීමට මාන බලන ඩොලරය සඳහා සූදුවේ නියැලීමට වැඩි කැමැත්තක් දක්වති. කෙසේවෙතත්, අදදින, ලෝකයේ සිටින දිළිඳු අය අතර බොහෝ දෙනෙක් ඔවුන්ගේ පාලනය ඉක්මවන තත්ත්වයන්ට ගොදුරු වූ අයය. තමන්ගේම නම් ලිවීමට පවා ප්‍රමාණවත් අධ්‍යාපනයක් නැති අසංඛ්‍යාත මිලියන ගණනාවක් සිටිති. තවත් අසංඛ්‍යාත පිරිසක් සම්බන්ධයෙන් නම්, අසාර්ථක වෙමින් පවතින සාමාන්‍ය ආර්ථික තත්ත්වයන් ඔවුන් උපයා ගන්නා මුදල් ප්‍රමාණය දිළිඳුන්ගේ ජීවන මට්ටම දක්වා පහත් කර ඇත. විද්‍යාලීය උපාධිධාරීන්ට පවා රැකියාවක් සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කරන විට ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීම දැකීමට සිදු වී තිබේ. විශාල සංස්ථාවල නිෂ්පාදන ප්‍රමාණය ඉල්ලුමට වඩා වැඩි වන හෙයින් ඔවුන් නිෂ්පාදනය අඩු කරන විට, තවත් දහස් ගණන් පිරිසකට තමන්ට රැකියා අහිමි වී තිබෙන බව දැනගැනීමට ලැබෙයි. ඔවුන් මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද?
වංක ක්‍රමවලින් යම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට තිබෙන ප්රස්තාවලට ඔවුන් ආකර්ෂණය විය හැකිය. එහි අවසාන ප්‍රතිඵලය ඒ සඳහා යොදවන ඕනෑම උත්සාහයකට වටින බව ඔවුන් කාරණා දැක්විය හැකිය. “මගේ පවුලට අවශ්‍ය දෑ සැපයීම සඳහා මම ඕනෑම දෙයක් කරනවා,” යන්න දරුණු මූල්‍යමය දුෂ්කරතාවලට මුහුණ දෙන අය අතර පොදු ආකල්පයකි. වංක මාර්ග බොහොමයක් ඇත, ස්ත්‍රීන් ගණිකා වෘත්තියේ නියැලීම, පුරුෂයන් සොරකම් කිරීම යනාදිය සමහරකි. වංකකම, සොරකම් කිරීම හෝ සූදුවේ නියැලීම—වෑයමකින් තොර උපයාගැනීමට බලන ඩොලරය පසුපස හඹා යෑම—කවදා හෝ යුක්තිසහගත දෙයක් යයි ඔප්පු කොට තිබේද? එසේ කල්පනා කරන අයගෙන් ලෝකය පිරී පවතී.
උදාර මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරන්නෙහිද? උන්වහන්සේගේ උපදෙස් වනුයේ ඔබගේ පීඩාකාරී බර උන්වහන්සේ මත තැබීමටය, එනම් අගහිඟකම් තිබෙන අවස්ථාවලදී උන්වහන්සේගේ උපකාරය මත රැඳී සිටීමටය. වසර 25ක පමණ ක්‍රිස්තියානි අද්දැකීමෙන් පසුව, ප්‍රේරිත පාවුල්ට මෙසේ ලිවීමට හැකි විය: “පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත්කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.” (පිලිප්පි 4:12, 13) පාවුල්ට අවශ්‍ය දෑ හිඟව තිබූ අවස්ථාවේදී ඒවා ලබා ගැනීම සඳහා ඔහු වංක උපක්‍රම උපයෝගි කර නොගත් බව පැහැදිලිය, ඒ වෙනුවට ඔහු යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ අතර, උන්වහන්සේ විසින් උසුලනු ලැබුවේය.
එමනිසා ඔබ දුප්පත් නම්, හිඟයක් ඔබට තිබේ නම්, අයුතු ලාභය සොයා නොයන්න. අවංකව මුදල් උපයා ගැනීම සහතිකවම වැරදි නැත; “වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය” යනුවෙන් යේසුස්වහන්සේම පැවසූ සේක. (ලූක් 10:7) ඇරත් පොහොසත් වීමෙහි කිසි වරදක්ද නැත. එහෙත් ඔබගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා කිසිම දිනක සදාචාර ප්‍රතිපත්ති පාවා නොදෙන්න. ඔබගේ උදාර මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ සබඳතාවක් ගොඩනගාගන්න, එමෙන්ම ජීවිතයේ මතුවන දුෂ්කරතා සහ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට උන්වහන්සේ කෙරෙහි රැඳී සිටින්න. “උන්වහන්සේ ඔබ ගැන සලකන බැවින් ඔබගේ සෑම කාන්සාවක්ම උන්වහන්සේ පිට තබන්න.”—1පේතෘස් 5:6, 7, NW. g94 3⁄22