දෙවියන්වහන්සේ තුළ ඇදහිල්ල තැබීමෙන් ආරක්ෂා වී
එය 1945 මැයි මාසය වූ අතර යුරෝපයේ IIවන ලෝක යුද්ධය අවසන් වූවා පමණි. ඊට දින දෙකකට පමණක් පෙර, පෝලන්තයේ කොයිනීට්සෙහි නිවසට මා පැමිණ සිටියා. මට ඇවිදින්නට සිදු වූ නිසාත්, එමෙන්ම නොයෙක් දෙනා බැහැදැකීමට මා අතරමගදී කීප වතාවක්ම නැවතුණු නිසාත්, ගමනට මාස දෙකක්ම වාගේ ගත වී තිබුණා. මගේ පෙර වසර දෙක ගතකර තිබුණේ ඩැන්සිග් (දැන් ගඩාන්ස්කි) අසල පිහිටා ඇති ශ්ටූට්හෝෆ් වධක සිරකඳවුරෙයි.
සාලේ ඉඳගෙන සිටි මව, මගේ සහෝදරියන් දෙදෙනා හා මා, මගේ පැමිණීමේ ප්‍රීතිය භුක්තිවිඳිමින් සිටියා. ඉදිරි දොරට තට්ටු කරනවා ඇසී, මගේ ඉලේන් අක්කා, කවුද කියා බැලීමට එහි ගියා. අපට ඇගේ කෑගැසීම ඇසෙන තුරු අප ඒ දෙස වැඩි අවධානයක් යොමු කළේ නෑ. මා විගස පුටුවෙන් පැන දොර වෙත ගියා. මා පසුගිය වතාවේදී ඔවුන් දුටු පසු මියගොස් ඇතැයි සිතූ සෙසු ක්‍රිස්තියානින් දෙදෙනා වන විල්හෙල්ම් ශයිඩර් සහ මාන්ෆ්රේට් ලිච්නිර්ස්කි එහි සිටගෙන සිටියා.
අදහාගත නොහැකිව මා කට ඇරගෙන ටික වේලාවක් ඔවුන් දෙස පුදුමයෙන් බලා සිටියායින් පසු, මා ඔවුන්ව ඇතුළට කැඳවනවාදැයි සහෝදර ශයිඩර් ඇසුවා. අප සිරභාරයේ සිටි අවධියේදී යෙහෝවඃ දෙවියන්වහන්සේ අපව ආරක්ෂා කර තිබුණු අයුරු ගැන නැවත මතක්කරමින් හා යළි මිත්‍රත්වය ගොඩනගමින් එම සැඳෑවේ රෑබෝවන තුරුම අප කාලය ගත කළා. මෙම අද්දැකීම්වලින් සමහරක් ඔබ සමඟ බෙදාගැනීමට පෙර, මා වධක කඳවුරට පැමිණි අයුරු පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න.
බාල කාලේදී ඇදහිල්ල පරීක්ෂාවට භාජන වී
මා ඉපදුණ කාලයේ එනම් 1923දී පමණ, මගේ දෙමව්පියන් (යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් එවකට හැඳින්වූ පරිදි) බයිබල් ශිෂ්‍යයන් බවට පත්වුණා. දෙවන ලෝක යුද්ධය කරා ඇදෙමින් තිබුණු අවුරුදු සාක්ෂිකරුවන්ට පහසු වුණේ නෑ. පාසලේ කතෝලික ආගම ඉගැන්වූ අතර, සාක්ෂිකරුවන්ට පරුෂ අයුරින් සලකනු ලැබුවා. අනෙක් ළමුන් නිරතුරුවම මට හිරිහැර කළ අතර, ගුරුවරයා නොසැලී මට විරුද්ධව ළමුන්ගේ පැත්ත ගත්තා. දේශනා වැඩයත් අසීරුව තිබුණා. වතාවක අප කාම්යෙන්හි අසල නගරයක දේශනා කරමින් සිටියදී, අඩුම තරමින් නගරවැසියන් සිය දෙනෙකු පමණ, සාක්ෂිකරුවන් 20දෙනෙකු පමණ වූ අපව වටකර ගත්තා. අපව එම කලහකාරි පිරිසෙන් බේරාගැනීමට පෝලන්ත සොල්දාදුවන් නියම වේලාවට එතැනට පැමිණියා.
වර්ෂ 1939 සැප්තැම්බර්වලදී ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළ විට පීඩාව තවතවත් තීව්ර වුණා. අවසානයේදී, ජර්මන් හමුදාවට සේවය කිරීමට ප්‍රතික්ෂේප කළ නිසා, 1943දී, ගෙස්ටාපෝ (නාට්සි රහස්‍ය පොලීසිය) විසින් මාව අත්අඩංගුවට ගනු ලැබුවා. මා අත්අඩංගුවේ සිටියදී, ප්‍රදේශයේ සිටින වෙනත් සාක්ෂිකරුවන්ගේ නම් මගෙන් දැනගැනීමට ගෙස්ටාපෝ වෑයම් කරමින් මගෙන් ප්‍රශ්න කරන්නට වුණා. මා ප්‍රතික්ෂේප කළ විට, මා වධක සිරකඳවුරක සමහර විට මැරී යයි කියා ගෙස්ටාපෝ නියෝජිතයා මට පැවසුවා.
පළමුව, මාව කොයිනීට්සෙ බන්ධනාගාරයට යවනු ලැබුවා, එහිදී ජේලර්වරු දෙදෙනෙක් මට රබර් පොල්ලකින් තලා, යෙහෝවඃවහන්සේට පක්ෂව සිටීමට තිබූ මගේ අධිෂ්ඨානය කඩ කිරීමට මට බල කිරීමට වෑයම් කළා. මෙම පහර දීම විනාඩි 15ක හෝ 20ක කාලයක් පුරා පැවතුණු අතර මෙම මුළු කාලයේදීම මා ඉතා උනන්දුවෙන් යාච්ඤා කරමින් සිටියා. පහර දීම අවසාන වන විට, ජේලර්වරු දෙදෙනාගෙන් එක්කෙනෙක්, මා වෙහෙසට පත්වන්නට පෙර තමාහට වෙහෙසට පත්වන්නට වීම ගැන දොස් පැවරුවා.
එය පුදුමයක් යයි පෙනිය හැකි වුවත්, පළමු පහර කීපයෙන් පසු, මට ඇත්තෙන්ම තවදුරටත් ඉන්පසු ඒවා දැනුණේ නෑ. ඒ වෙනුවට, ඉතා දුරකින් බෙරයකට ගහනවා වැනි හඬක් මෙන් පමණක් මට එය ඇසෙන්නට වුණා. ඒකාන්තයෙන්ම යෙහෝවඃවහන්සේ මාව ආරක්ෂා කර, මගේ යාච්ඤාවලට සවන් දුන්නා. පහර දීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තිය බන්ධනාගාරය පුරා විගස පැතිර ගිය අතර සමහරු මට “දෙවියන්වහන්සේගේ මිනිසෙක්” යන නමින් කථා කරන්නට පටන් ගත්තා. ඉන් ටික කලකට පසු මාව ඩැන්සිග්හි ගෙස්ටාපෝ මූලස්ථානයට යවනු ලැබුවා. මාසයකට පසු මාව ශ්ටූට්හෝෆ් වධක සිරකඳවුරට ගනු ලැබුවා.
ශ්ටූට්හෝෆ්හි ජීවිතය
එහි පැමිණෙද්දී බැරැක්කය ඉදිරියේ පෙළ ගැසෙන්න යයි අපට පවසනු ලැබුවා. කාපොකෙනේ (අනෙක් සිරකරුවන් බලා ගැනීමට පත් කළ සිරකරුවෙක්) ආදාහන ස්ථානයක ඇති විශාල දුම්නළ තුනක් පෙන්වා, තව දින තුනකින් අප අපගේ දෙවියන්වහන්සේ සමඟ ස්වර්ගයේ සිටිනු ඇතැයි අපට පැවසුවා. කොයිනීට්සෙහි අපගේ සභාවේ සහෝදර බෘස්කි, ශ්ටූට්හෝෆ් වෙත යැවූ බව මා දැන සිටි බැවින්, ඔහුව සොයා ගැනීමට මා වෑයම් කළා. කෙසේවුවත්, ඔහු මාසයකට පමණ පෙර මියගිය බව සෙසු සිරකරුවෙක් මට සැල කළා. මා කෙතරම් කම්පනයට පත්ව සිටියාද කිවහොත් මා ඇත්තෙන්ම බිම ඇදවැටුණා. ශාරීරිකව හා ආත්මිකව ශක්තිමත් ක්‍රිස්තියානියෙකු වූ සහෝදර බෘස්කි මියගියා නම්, නිසැකවම මාත් මරණයට පත්වෙයි කියා මට හැඟුණා.
නැවත බැරැක්කයට යෑමට අනිත් සිරකරුවන් මට උපකාර කළ අතර, සහෝදර ශයිඩර්ව මට ප්‍රථමයෙන්ම මුණ ගැසුණේ එවිටයි. යුද්ධයට පෙර ඔහු පෝලන්තයේ ශාඛා අවේක්ෂකව සිටි බව මා පසුව දැනගත්තා. මා යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල අහිමි කරගතහොත්, මා මියයනු ඇතැයි පැහැදිලි කරමින් ඔහු මා සමඟ සෑහෙන වේලාවක් කථා කළා! මාව ශක්තිමත් කිරීමට යෙහෝවඃවහන්සේ ඔහුව එවා තිබුණා යයි මට හැඟුණා. සැබවින්ම, ‘සහෝදරයෙක් ඉපද සිටින්නේ විපත්තියේදී පිහිටවීමටය,’ යනුවෙන් පවසන හිතෝපදේශය කෙතරම් සැබෑද!—හිතෝපදේශ 17:17.
ඒ අවස්ථාවේදී මගේ ඇදහිල්ල දුර්වල වී තිබුණා, එමෙන්ම සහෝදර ශයිඩර් මගේ අවධානය හෙබ්‍රෙව් 12:1 වෙත යොමු කළා. පහසුවෙන්ම තමන්ව හසු කරගන්නා පාපයෙන්, එනම් ඇදහිල්ල හිඟකමෙන් ප්‍රවේසම් වන ලෙස එහි ක්‍රිස්තියානින්ට පවසා තිබෙනවා. හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ පවසා ඇති ඇදහිලිවන්තයන් සිහිකර ගැනීමට හා ඔවුන්ගේ ඇදහිල්ල සමඟ මගේ ඇදහිල්ල සසඳා බැලීමට ඔහු මට උපකාර කළා. ඒ වේලාවේ සිට මා සහෝදර ශයිඩර්ට හැකි තරම් සමීපයෙන් සිටියා, ඇරත් ඔහු මට වඩා අවුරුදු 20කින් වැඩිමල් වුවත්, අප ඉතා සමීප මිතුරන් බවට පත්වුණා.
එක් අවස්ථාවක කොල ත්‍රිකෝණයක් පැළඳ සිටි ලොකු හාදයෙක් (ඉන් අදහස් වුණේ ඔහු අපරාධකාරයෙක් බවයි) මේසයට නැඟ, යෙහෝවඃවහන්සේ ගැන සිරකරුවන්ට දේශනා කරන්න යයි මට පැවසුවා. මා එසේ කරන්නට පටන් ගත් විට, අනිත් සිරකරුවන් මට සරදම් කරන්නට පටන් ගත්තා. එහෙත් එම ලොකු හාදයා ගොස් ඔවුන්ව නිශ්ශබ්ද කළා—සෑම දෙනාම ඔහුට භයෙනුයි සිටියේ. සතියේ ඉතිරි දිනවල දහවලේ හා සවස්වරුවේ කෑම සඳහා අප එක්රැස්වූ විට, මෙම ලොකු හාදයා මට මේසය මත නැඟී දේශනා කරන්නට සැලැස්සුවා.
ඊළඟ සතියේදී මා ඇතුළු සිරකරුවන්ගෙන් සමහරෙකු වෙනත් බැරැක්කයකට යවනු ලැබුවා. කොල ත්‍රිකෝණයක් ඇති තවත් සිරකරුවෙක් මා වෙත ඇවිත්, මගේ දෙවියන්වහන්සේ මාව මෙම “අපායට” එවා තිබෙන්නේ මන්දැයි මගෙන් ඇසුවා. එසේ කර තිබෙන්නේ සිරකරුවන්ට දේශනා කරන්ටත්, මගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමට උපකාර වීමටත් යයි මා පිළිතුරු දුන්නා. මේ සිරකරුවන් සමඟ සිටිද්දී, ඔවුන් ඉදිරියේ සිටගෙන, සති දෙකක් පුරා සෑම රාත්‍රියකම දේශනා කිරීමට මට ඉඩ හරිනු ලැබුවා.
දිනක් කාපෝවරයෙක් මට පහර දෙන්න යයි සෙසු සිරකරුවෙකුට පැවසුවා. ඔහු තමාම පහර ලැබීමේ අවදානමට ලක්වෙමින්, එසේ කිරීමට ප්‍රතික්ෂේප කළා. ඔහු මට පහර නොදුන්නේ මන්දැයි මා ඔහුගෙන් ඇසූ විට, ඔහු සිය පණ නසා ගැනීමට සැලසුම් කරගෙන සිටි නමුත් මගේ කථාවකට සවන් දී ඇති ඔහුට තම මනස වෙනස් කරගැනීමට එය උපකාරවත් වූ බව මට පැවසුවා. මා ඔහුගේ ජීවිතය බේරා ඇති බැවින් එසේ කර තිබෙන කෙනෙකුට පහර දීමට ඔහුට නොහැකි වූ බවට ඔහු නිගමනය කළා.
සීමාන්තයටම ඇදහිල්ල පරීක්ෂා වී
වර්ෂ 1944 ශීත ඍතුවේදී, රුසියන් හමුදාව ශ්ටූට්හෝෆ් වෙත ළඟා වුණා. රුසියන් ජාතිකයන් පැමිණෙන්නට පෙර සිරකරුවන්ව වෙන තැනකට ගෙන යන්නට ජර්මන් කඳවුරේ නිලධාරීන් තීරණය කළා. අප සිරකරුවන් 1,900ක් පමණ ශ්ලුප්ස්ක් වෙත පෙළට ගමන් කරවන්නට ජර්මන් නිලධාරියෝ පටන් ගත්තා. අප භාගයක් දුර ගිය විට, අපගෙන් 800දෙනෙකු පමණයි ඉතිරිව සිටියේ. මුළු පා ගමන අතරතුරේදීම අපට බොහෝ වෙඩි හඬවල් ඇසුණු බැවින්, පෙනෙනාකාරයට අනෙක් අයට වෙඩි තබා හෝ ඔවුන් පැන ගොස් හෝ තිබුණා විය හැකියි.
දීර්ඝ ගමනේ ආරම්භයේදීම, අප සෑම කෙනෙකුටම පාන් රාත්තලක් හා මාජරින් රාත්තල් භාගයක් බැගින් දෙනු ලැබුවා. බොහෝ දෙනෙක් ඔවුනට දී තිබුණු සියල්ලම විගස කෑවා. කෙසේවුවත්, ගමනට සති දෙකක් පමණ ගත වෙයි කියා දැන සිටි මා, මට හැකි පමණින් ඉතුරු කරගත්තා. සිරකරුවන් අතරේ සාක්ෂිකරුවන් සිටියේ දහදෙනෙකු පමණක් වන අතර, සහෝදර ශයිඩර් සහ මා එකට සිටියා.
ගමනේ දෙවනි දිනයේදී, සහෝදර ශයිඩර් අසනීප වුණා. අප නැවතුණහොත්, අපට වෙඩි තබනු ඇති බැවින්, එතැන් පටන් ඔහුව උස්සගෙන වගේ යෑමට සිදුවුණා. සහාය වීමට ඔහු ළඟ මා සිටීමට සැලැස්වීමෙන් යෙහෝවඃවහන්සේ ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දී ඇතැයි සහෝදර ශයිඩර් මට පැවසුවා. පස්වෙනි දවසේදී, මා කෙතරම් වෙහෙසව හා කුසගින්නෙන් සිටියාද කිවහොත් සහෝදර ශයිඩර්වත් උස්සගෙන යන්නත් වෙලා තිබුණ නිසා තව එක අඩියක්වත් යන්නට නොහැකි යයි මට හැඟුණා. ආහාර හිඟකම නිසා ඔහුද තව තවත් දුර්වල වෙමින් සිටියා.
එම උදේ වරුවේදී, සහෝදර ශයිඩර්ට මුත්‍රා කිරීමට යන්න ඕනේ යයි ඔහු මට පැවසුවා, එනිසා මා ඔහුව ගහක් ළඟට උස්සගෙන ගියා. ජර්මන් ආරක්ෂක භටයන්ගේ නෙතට අප අසු නොවේදැයි සහතික වීමට මා වටාපිටාව ගැන සෝදිසියෙන් සිටියා. විනාඩියකට පමණ පසු, සහෝදර ශයිඩර් පාන් රාත්තලකුත් අතැතිව හැරුණා. “ඔබට ඕක ලැබුණේ කොහෙන්ද?” යයි මා ඇසුවා. “එය ගහේ හෝ යමක එල්ලෙමින් තිබුණාද?”
මා පිටුපස හැරී සිටි අතරතුරේදී, මිනිසෙක් ඔහු වෙත පැමිණ, ඔහුට පාන් රාත්තල දුන් බව ඔහු පැවසුවා. මා කිසිවෙකු නොදුටු බැවින් එය මට අමතක නොවන දෙයක් වුණා. අප බෙහෙවින් කුසගින්නෙන් සිටි එම අවස්ථාවේදී එය ලැබුණේ කෙසේදැයි අප ප්‍රශ්න කළේ නෑ. එහෙත් අපට දවස්පතා භෝජනය දෙන්න යයි ඉල්ලීමට යේසුස්වහන්සේ අපට ඉගැන්වූ දේ ඉන්පසුව මට වඩාත් අර්ථවත් වුණා. (මතෙව් 6:11) එම පාන් නොතිබුණා නම් අපට තව දිනකට ජීවත්වීමට නොහැකි වන්නට තිබුණා. මා ගීතිකාකරුගේ වචන ගැනද සිතුවා: “ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.”—ගීතාවලිය 37:25.
සතියකට පමණ පසු, ශ්ලුප්ස්ක්වලට යන්නට තිබූ දුරෙන් භාගයක් පමණ ගියායින් පසු, අප හිල්ටර් යොවුන් කඳවුරක නැවතුණා. එහිදී වෙනත් කඳවුරුවල සිරකරුවන්ව මුණ ගැසීමට අපට හැකි වුණා. සහෝදර ලිච්නිර්ස්කිහට උණසන්නිපාතය වැළඳී තිබුණු අතර රෝගී වෙනත් සිරකරුවන් සමඟ විශේෂ බැරැක්කයකට දමා තිබුණා. සෑම සැන්දෑවකදීම මා සහෝදර ලිච්නිර්ස්කි වෙත මගේ බැරැක්කයෙන් හොරෙන් යන්නට වුණා. මාව අහුවුණා නම්, මට වෙඩි කන්නට සිදුව තිබුණ නමුත් ඔහුගේ උණ බස්සන්නට මට කළ හැකි දෙයක් කිරීම මට වැදගත්ව තිබුණා. මා රෙදි කෑල්ලක් තෙමා, ඔහු ළඟ වාඩිවී ඔහුගේ නළල පිස දමනවා. ඉන්පසු මා හොරෙන්ම නැවත මගේ බැරැක්කය වෙත යනවා. සහෝදර ශයිඩර්ටද උණසන්නිපාතය වැළඳුණු අතර සහෝදර ලිච්නිර්ස්කි සිටි බැරැක්කයටම ඔහුව දැමුවා.
ජර්මන් ජාතිකයන් අපව බෝල්ටික් මුහුද වෙත ගෙන ගොස් බෝට්ටුවක පටවා, අපව ඩෙන්මාර්ක් වෙත ගෙන යෑමට සැලසුම් කර තිබෙන බව අපට පැවසුවා. කෙසේවුවත්, රුසියන් ජාතිකයන් ක්‍රමක්‍රමයෙන් ළඟාවෙමින් සිටියා. ජර්මන් ජාතිකයන් බිය වී පලා යෑමට පටන් ගත් විට, සිරකරුවන් පැන යෑමට ප්‍රස්තාව සොයා ගත්තා. ජර්මන් ජාතිකයන් මට පිට වී යෑමට අණ කළත්, සහෝදර ශයිඩර් සහ සහෝදර ලිච්නිර්ස්කි ගමන් කිරීමට නොහැකි තරමටම අසනීපව සිටි නිසාත්, ඔවුන්ව උස්සගෙන යෑමට මට නොහැකි නිසාත්, කුමක් කරන්නදැයි මා දැන සිටියේ නෑ. එමනිසා මෙම දයාබර මිතුරන් දෙදෙනාව රැකබලාගන්න යයි යෙහෝවඃවහන්සේට යාච්ඤා කරමින් මම පිටත්ව ගියා.
මා පිට වී පැය භාගයකට පමණ පසු, රුසියන් ජාතිකයන් කඳවුරට ඇතුළු වුණා. සොල්දාදුවෙකුට සහෝදර ශයිඩර්ව හා සහෝදර ලිච්නිර්ස්කිව සම්බ වූ අතර ඔවුන් සුවවන තෙක් සෑම දිනකම ඔවුන්ව කුකුල් සුප්වලින් පෝෂණය කරන්න යයි අසල ගොවි පොළක ජීවත්වූ ජර්මන් ජාතික ස්ත්‍රියකට අණ කළා. ජර්මන් ජාතිකයන් ඇගේ සියලු කුකුළන් ගත් බව ඇය පැවසුවා. කොහොම හරි ඇය මෙම මිනිසුන්ව පෝෂණය නොකළහොත්, ඔහු ඇයව මරනවා යයි ඔහු එවිට ඇයට පැවසුවා. ඇය විගස කුකුල් පැටවුන් කීප දෙනෙකු සොයාගත් අතර, මගේ දයාබර සහෝදරයන් දෙදෙනා සුවවීමට පටන්ගත් බව අමුතුවෙන් කිවයුතු නොවේ!
නොකඩවාම ඇදහිල්ලේ ශෝධනයට ලක්වී
මගේ මවගේ සාලයේ සිටියදී, අප මේවා ගැන සහ වෙනත් අද්දැකීම් ගැන පාන්දර යාමය වන තෙක් කථා කරමින් සිටියා. සහෝදරයන් දින කීපයක් නැවතී සිට, පසුව ඔවුන්ගේ ගෙවල්වලට ගියා. පෝලන්තයේ දේශනා වැඩය යළි සංවිධානය කිරීමට යෙහෝවඃවහන්සේ සහෝදර ශයිඩර්ව බලවත්සේ යෙදෙව්වා, මේ සඳහා ඔහු සිය පෙර වගකීම් බොහොමයක් යළි ඉසිලුවා. කෙසේවුවත්, කොමියුනිස්ට් වාදීන් විසින් පවරා ගැනීම නිසා, දේශනා වැඩය ඉතා අසීරු තත්ත්වයට පත්වුණා.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කිරීම නිසා නිතර නිතර සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගනු ලැබුවා. බොහෝ විට මා මොවුන් අතර සිටියා, එමෙන්ම මාව නාට්සින්ගෙන් නිදහස් කළ අයම මගෙන් ප්‍රශ්න කරන්නට වුණා. අපගේ දේශනා වැඩ සම්බන්ධයෙන් බලධාරීන් මෙතරම් හොඳින් දන්නේ මන්දැයි අපට වැටහුණා. අප ගැන සෙවිල්ලෙන් සිටීමට කොමියුනිස්ට් වාදීන් විසින් සංවිධානය තුළම ඔත්තුකාරයන් පිහිටුවා තිබුණා. සංවිධානය තුළට ඔවුන්ගේ කාන්දුවීම කෙතරම් සාර්ථක වුණාද කිවහොත් 1950දී, එක් රාත්‍රියකින් සාක්ෂිකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගනු ලැබුවා.
කල්යත්ම මගේ භාර්යාව වන හෙලේනා සහ අපගේ වැඩිවන පවුල එක්සත් ජනපදයට පදිංචියට යෑම සඳහා තීරණය කළා. අපි 1966දී එහි පැමුණුණා. නිව් යෝර්ක්, බෘක්ලින් වෙත ගිය විට, කොමියුනිස්ට් වාදීන් විසින් සංවිධානය තුළ පිහිටුවා සිටින අය කවුරුන්දැයි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සිටින වගකිවයුත්තන්ට නිශ්චය කිරීමට උපකාරවත්වන තොරතුරු දැන්වීමට මට හැකි වුණා.—ක්‍රියා 20:29 සසඳන්න.
මා දැන් 70වියේ පසුවන අතර කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙනවා, එහි පිහිටි සභාවක මා වැඩිමහල්ලෙකු ලෙස සේවය කරනවා. සෞඛ්‍යය දුර්වලවීමේ හේතුවෙන්, මට තවදුරටත් මා කලක කළ දේවල් දැන් කිරීමට නොහැකියි. කෙසේවුවද, මා තවමත් යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ගැන ජනයාට කථා කිරීමෙන් බොහෝ සතුටක් ලබනවා. බාල අය සමඟ දේශනා සේවයේ යෙදෙන විට, ඔවුන්ගේ ජීවන ගමනේ කුමන විපතක් පැමිණියත්, යෙහෝවඃවහන්සේ කෙරෙහි සම්පූර්ණ ඇදහිල්ල තබන අය වෙනුවෙන් උන්වහන්සේගේ ශක්තිය සැපයීමට සැමවිට උන්වහන්සේ සිටින බව වටහාගැනීම සඳහා ඔවුනට උපකාර කිරීමට ඇති ප්රස්තාවෙන්ද මා ප්‍රයෝජන ගන්නවා.
මගේ ජීවිතය ගැන මා නැවත හැරී බලන විට, යෙහෝවඃවහන්සේ මාවත්, මගේ මිතුරන්වත් උපද්‍රව සහිත තත්ත්වයන්ගෙන් ගැළවීම ගැන මා අගය කරනවා. මෙම සිද්ධීන්, උන්වහන්සේගේ ආරක්ෂා සහිත රැකවරණය කෙරෙහි මගේ ඇදහිල්ල ස්ථිරයෙන්ම වඩා ශක්තිමත් කරවනවා. ශීඝ්‍රයෙන් ළඟාවන “මහත් පීඩාවේදී” මෙම දේවල පිළිවෙළ විගස නිමාවන බවටත්, ඉන් බේරෙන අයට මෙම පොළොව, සමස්ත ලෝක පාරාදීසයක් ලෙස යළි ගොඩනැගීමේ මහඟු අපේක්ෂාව තිබෙන බවටත් මට කිසි සැකයක් නැහැ.—එළිදරව් 7:14; 21:3, 4; යොහන් 3:16; 2 පේතෘස් 3:13.
පොළොව පාරාදීස තත්ත්වයකට පත් කරන මෙම මහඟු යළි ගොඩනැගීමෙහි හවුල්වීමට මා ආශාවෙන් බලා සිටින අතර, ඔබට හැකි උපරිමයෙන් ඔබ යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කරනවා නම්, එමෙන්ම උන්වහන්සේ කෙරෙහි තම ඇදහිල්ල තබන අයව ආරක්ෂා කිරීමට උන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබනවා නම් ඔබටත් එසේ හැකි වෙයි.—ෆේලික්ස් බොරිස් පැවසූ පරිදි. g94 2/22
[26 පිටුවෙහි ඇති පින්තූරය]
වධක කඳවුරෙන් පිටවී වසරකට පසු
[29 පිටුවෙහි ඇති පින්තූරය]
මගේ භාර්යාවවන හෙලේනා සමඟ