ප්‍රශ්න පෙට්ටිය
◼ දුරකථනය ඔස්සේ සභා රැස්වීම්වලට සම්බන්ධ කිරීමේදී කුමක් ගැන සැලකිලිමත් විය යුතුද?
අසනීපයක් නිසා හෝ වැළැක්විය නොහැකි වෙනත් හේතුවක් නිසා හෝ රාජ්‍ය ශාලාවට පැමිණීමට නොහැකි අයට නිවසේ සිට දුරකථනයෙන් සවන් දීමට ඇතැම් අවස්ථාවල සභාවන් මගින් සැලසුම් යොදා තිබෙනවා. මෙම ප්‍රේමණීය සැපයුමෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමටවත් රැස්වීම්වලට පැමිණීමට නොහැකි අයද නැද්ද කියා මුලින්ම සලකා බැලිය යුතුයි. ඉන්පසු සුදුසු සැලසුම් යෙදිය හැකියි. මෙවැනි දෙයක් සැලසුම් කරනවාද නැද්ද එය කරන්නේ කෙසේද කියා කල්පනා කරන වැඩිමහල්ලන් ‘සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු කරනවා.’—1 කොරි. 14:40.
මෙවැනි සැලසුමක් යෙදිය යුතුද නැද්ද කියා තීරණය කරන්නේ වැඩිමහල්ලන් විසිනුයි. ඔවුන් මුලින්ම සලකා බලන්නේ බරපතළ අසනීපයකින් පෙළෙන හෝ නිවසෙන් පිටට යා නොහැකි ප්‍රචාරකයන් ගැනයි. ඒ වගේම තාවකාලිකව එක්තැන් වන තරමටම අසනීප වී සිටින ප්‍රචාරකයෙකුට හෝ එවැනි තත්වයක සිටින දියුණුවක් ලබා ඇති බයිබල් ශිෂ්‍යයෙකුට හෝ මෙම සැලැස්මෙන් ප්‍රයෝජන ගත හැකියි. ඔවුන්ව රැස්වීම්වලට පැමිණි සංඛ්‍යාවටද ඇතුළත් කරනු ලබනවා. අවශ්‍යතාව ඇති අයව දුරකථනය ඔස්සේ සම්බන්ධ කිරීමේ පහසුකම් නැති අවස්ථාවල රැස්වීම් පටිගත කර ඔවුන්ට ලබා දිය හැකියි.
කෙසේවෙතත් රැස්වීමකට පැමිණ ලබන ප්‍රයෝජනය වෙන කිසි ක්‍රමයකින් ලබාගන්න බැහැ. සහෝදර සහෝදරියන්ව මුණගැසී ඇසුරු කිරීමට ලැබීමෙන් ‘එකිනෙකා අතරේ අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්’ ඇති වන අතර නවකයන්ටත් රැස්වීම්වලට පැමිණීමේ අවශ්‍යතාව වඩාත් හොඳින් අවබෝධ කරගන්න එය උපකාරයක් වෙනවා. රැස්වීම්වලට පැමිණීමෙන් නිරූපණවලින් නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන අතර වැඩිමහල්ලන්ගෙන් පෞද්ගලික උපකාර ලබාගන්නත් පුළුවන්. ඒ වගේම සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමය අද්දකින්නත් අපිට පුළුවන්. මෙය සත්‍යයක් බව වයසක සහෝදරියකගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. රාජ්‍ය ශාලාවෙන් පිටත්ව යද්දී කෙනෙක් එම සහෝදරියව වැලඳගත් අවස්ථාවේ ඇය පැවසුවේ මෙලෙසයි. “මේක දුරකථනයෙන් ලබාගන්න බැරි දෙයක්!”—රෝම 1:11, 12.
‘එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා දේවමාලිගාවට පැමිණි’ ආනා මෙන් අද දින අපේ වයසක සහෝදරයන්ගෙන් බොහෝදෙනෙක් තම සෞඛ්‍ය තත්වය හොඳට තිබෙන විට නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙනවා. (ලූක් 2:36, 37) අත්‍යවශ්‍ය අවස්ථාවලදී දුරකථනයෙන් රැස්වීම්වලට සවන් දුන්නත් එය රැස්වීම් පවත්වන ස්ථානයට පැමිණෙනවා වෙනුවට යොදාගත හැකි පහසු ක්‍රමයක් නොවෙයි. එම සහෝදරයන්ගේ යහපත් ආදර්ශය අනුකරණය කරමින් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා අපේ රැස්වීම්වලට පැමිණීමට අපි සෑම වෑයමක්ම දරමු.—ගීතා. 95:1-3, 6; 122:1.