අප්‍රියෙල් 15, බදාදා
“එකිනෙකාට ආදරේ කරන්න.”—යොහ. 15:12.
යෙහෝවාගේ සෙනඟ එකිනෙකාට උදව් කරන්න හරිම කැමතියි. (2 කොරි. 8:4) සමහර වෙලාවලදී ඒකට ධෛර්යය ඕනේ. උදාහරණෙකට යුද්ධයක් ඇති වුණාම ඒ පැතිවල ඉන්න සහෝදර සහෝදරියන්ට දිරිගැන්වීම්, සහනය ඕනෙ කියලා වැඩිමහල්ලන් දන්නවා. එයාලට බයිබල්, අපේ ප්‍රකාශන, කෑම බීම, ඉන්න හිටින්න තැන් ඕනෙ කියලත් වැඩිමහල්ලන් දන්නවා. බැටළුවන්ට තියෙන ආදරේ නිසා වැඩිමහල්ලන් ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව සහෝදරයන්ට උදව් කරන්න ගොඩක් මහන්සි වෙනවා. අමාරු කාලවලදී අපි අතර එක්සත්කම තියෙන්න ඕනේ. ඒ නිසා ශාඛා කාර්යාලයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. (හෙබ්‍රෙ. 13:17) විපතකදී කරන්න ඕන දේවල් ගැන සභාවෙන් දාලා තියෙන සැලසුම් සහ සංවිධානයෙන් දීලා තියෙන මඟ පෙන්වීම් වැඩිමහල්ලන් නිතරම සෝදිසි කරලා බලන්න ඕනේ. (1 කොරි. 14:33, 40) එඩිතර වෙන්නත් ඕනේ. හැබැයි පරෙස්සමින්. (හිතෝ. 22:3) දෙයක් කරන්න කලින් හොඳට හිතන්න. අනවශ්‍ය විදිහට ජීවිතේ අනතුරේ දාගන්න එපා. යෙහෝවා මත රැඳිලා ඉන්න. පරෙස්සමින් දේවල් කරන්න ඔහු උදව් කරයි. w24.07 4 8¶; 5 11¶
අප්‍රියෙල් 16, බ්‍රහස්පතින්දා
‘මගේ විපතේදී මම යෙහෝවාට හඬගැසුවා. මම උදව් ඉල්ලන හඬ ඔහුගේ දෙසවනට වැටුණා.’—ගීතා. 18:6.
දාවිත් යෙහෝවාව හොඳට දැනන් හිටියා. ඔහු මත රඳා හිටියා. සාවුල් ඇතුළු සතුරන් එයා පස්සේ පන්නද්දී දාවිත් යාච්ඤාවෙන් යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. දෙවියන් එයාගේ යාච්ඤාවට ඇහුම්කන් දීලා එයාව ආරක්ෂා කළාට පස්සේ එයා කිව්වා “යෙහෝවා දෙවි ජීවමානයි” කියලා. (ගීතා. 18:46) ඒකෙන් දාවිත් අදහස් කළේ දෙවියන් කියලා කෙනෙක් නිකම්ම ඉන්නවා කියලා විතරක් නෙවෙයි. එක පොතක කියනවා දාවිත් එතන කාවද්දන්න හැදුවේ “තමන්ගේ සෙනඟට උදව් කරන්න ලෑස්ති පිට ඉන්න දෙවියන් සැබෑ කෙනෙක්” කියලා. දාවිත් අද්දැකීමෙන්ම දැනන් හිටියා එයා මූණ දෙන හැම දෙයක්ම යෙහෝවා දකිනවා, ඔහු එයාට උදව් කරන්න ලෑස්තියි කියලා. යෙහෝවාට දිගටම සේවේ කරන්න ඒක දාවිත්ට ලොකු ශක්තියක් වුණා. (ගීතා. 18:28, 29, 49) යෙහෝවා ජීවමානයි කියලා අපිට ස්ථිර වෙද්දී ඔහුට උද්‍යෝගයෙන් සේවේ කරන්න අපිට පුළුවන්. ඒකෙන් ඕනම පීඩාවක් විඳදරාගන්න ඕන කරන ශක්තිය වගේම යෙහෝවාට උපරිමෙන් සේවේ කරන්න තල්ලුවකුත් ලැබෙනවා. දිගටම යෙහෝවාට ළං වෙලා ඉන්න අපිට තියෙන අධිෂ්ඨානයත් තව වැඩි වෙනවා. w24.06 20-21 3-4¶
අප්‍රියෙල් 17, සිකුරාදා
“කොයිම විදිහකින්වත් ඔයාලව රවට්ටන්න කාටවත් ඉඩ දෙන්න එපා.”—2 තෙස. 2:3.
හිතන්න, බයිබලේට එකඟ නැති අදහාගන්න බැරි දෙයක් ගැන ඔයාට ආරංචි වෙනවා. ඒක අහපු ගමන්ම විශ්වාස කරන්නේ නැතුව ‘ඒ දේ මං මෙච්චර කල් බයිබලෙන් ඉගෙනගත්ත සත්‍යයට එකඟද’ කියලා හිතන්න. සෝවියට් පාලන කාලේදී සතුරන් අපේ සහෝදරයන්ට ලියුමක් යැව්වා. බැලූ බැල්මට පේන්න තිබුණේ ඒක ලෝක මූලස්ථානයෙන් ලැබුණ එකක් වගේමයි. ඒකේ සමහර සහෝදරයන්ට කියලා තිබුණා පොඩි පොඩි කණ්ඩායම් හදාගන්න කියලා. හැබැයි අපේ විශ්වාසවන්ත සහෝදරයන් නම් ඒකට රැවටුණේ නැහැ. එයාලට තේරුණා මේ ලියුමේ තියෙන දේවල් එයාලා මෙච්චර කල් බයිබලෙන් ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම්වලට එකඟ නැහැ කියලා. අදත් සතුරන් නවීන තාක්ෂණය පාවිච්චි කරලා අපේ මනස අවුල් කරන්න, අපි අතර බෙදීම් ඇති කරන්න උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවට ‘ඉක්මනින් ක්‍රියා කරලා මනස අවුල් කරගන්න එපා.’ ඒ වෙනුවට ‘මං මේ අහන, කියවන දේ මං මෙච්චර කල් ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම්වලට එකඟයිද නැද්ද’ කියලා කල්පනා කරලා බලමු.—2 තෙස. 2:2; 1 යොහ. 4:1. w24.07 12 14-15¶