සෝදිසියෙන් ඉන්න!
දේශපාලනය මිනිස්සුන්ව බෙදන්නේ ඇයි? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
දේශපාලනය නිසා හැමෝම බෙදිලා. ඒක හරියට වසංගතයක් වගේ මුළු ලෝකෙම වෙළාගෙන තියෙනවා. 2022දී කරපු එක සමීක්ෂණයක මෙහෙම වාර්තා කරනවා. “අපි මේ සමීක්ෂණයට රටවල් 19ක් සම්බන්ධ කරගත්තා. ඒකට සහභාගි වුණ පුරවැසියන් 65%කට වඩා කිව්වේ එයාලාගේ රටේ දේශපාලනික දැඩි මත නිසා මිනිස්සු හොඳටම බෙදිලා කියලා.”—Pew Research Center.
දේශපාලනික බෙදීම් නිසා ඔයා ඉන්න පැත්තේ අයගේ සමඟියත් එන්න එන්නම නැති වෙනවාද? ඒකට හේතුව මොකක් කියලාද ඔයා හිතන්නේ? ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවාද? බලමු බයිබලේ ඒ ගැන මොකක්ද කියන්නේ කියලා.
බෙදෙන්න හේතු වෙන ආකල්ප
බයිබලේ කියන විදිහට අපි මේ ජීවත් වෙන්නේ “අවසාන කාලයේ.” මිනිස්සුන්ට කවදාවත් එකමුතුව ඉන්න බැරි එයාලාගේ ගුණාංග එන්න එන්නම පිරිහෙන නිසයි කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා.
‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙනවා. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, කිසිම දෙයක් ගැන එකඟ නොවන අය වෙනවා.’—2 තිමෝති 3:1-3.
සාර්ථක පාලනයක් ගේන්න මිනිස්සු කොච්චර උත්සාහ කළත් ඒක නිකම්ම නිකම් හීනයක් විතරයි. දේශපාලනික පක්ෂ අතර තියෙන කඹ ඇදිල්ල නිසා කවදාවත් ප්‍රශ්නවලට විසඳුමක් නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි අවුරුදු දහස් ගාණකට කලින් බයිබලේ මෙහෙම කියලා තියෙන්නේ.
“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.
හැබැයි ඒකට විසඳුමක් තියෙනවාද? ඔව්, බයිබලේ කියනවා මේ හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම විසඳන්න පුළුවන් පාලකයෙක් ඉන්නවා කියලා.
ජන හද හඳුනන පාලකයෙක්!
කිසිම මනුස්සයෙක්ට නැති විශේෂ සුදුසුකම් තියෙන ඒ පාලකයා තමයි යේසුස් ක්‍රිස්තුස්. ඔහුට බලය, අධිකාරිය විතරක් නෙවෙයි මුළු ලෝකෙම සාමයෙන්, සෞභාග්‍යයෙන් පුරවන්න හිතේ ලොකු ආසාවකුත් තියෙනවා.
“ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය.”—ගීතාවලිය 72:7.
“සියලු ජාතීහු ඔහුට සේවය කරන්නෝය.”—ගීතාවලිය 72:11.
යේසුස් මිනිස්සු ගැන ගොඩක් සැලකිලිමත්. එයාලට උදව් කරන්න ඔහු හැම වෙලේම ලෑස්තියි. විශේෂයෙන්ම අසාධාරණකම් නිසා තැළුණු, අසරණ අයට. ඒ නිසා යේසුස් අපිට ඉන්න පුළුවන් හොඳම පාලකයෙක් කියලා කියන්න පුළුවන්.
“උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.”—ගීතාවලිය 72:12-14.
යේසුස් පාලනය කරන ආණ්ඩුව ගැන, ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන සහ ඒකට සහයෝගය දෙන්න පුළුවන් කොහොමද කියන එක ගැන තව තොරතුරු දැනගන්න . . .
‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.
“දේවරාජ්‍යය - අල්ලස් හා දූෂණය නැති ආණ්ඩුවක්!” කියන ලිපිය බලන්න.