Manuel Reino Berengui/DeFodi Images via Getty Images
සෝදිසියෙන් ඉන්න!
ලෝක කුසලානය ලෝකය එක්සත් කරයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
මේ අවුරුද්දේ ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය 2022 නොවැම්බර් 20වෙනිදා ඉඳලා දෙසැම්බර් 18වෙනිදා වෙන කල් පවත්වනවා. ගණන් බලලා තියෙන විදිහට ලොව දස දෙසින් බිලියන පහක විතර ප්‍රේක්ෂකයන් පිරිසක් මේ තරඟාවලිය නරඹනවා.
“ක්‍රීඩාවට මුළු ලෝකයක් වෙනස් කරන්න තරම් බලයක් තියෙනවා. ඒකට පුළුවන් එක්සත් වෙලා ලෝකෙට යහපතක් කරන්න අපිව පොලඹවන්න. ඒ වගේ දෙයක් වෙන කිසිම දේකින් වෙන්නේ නැහැ.”—නෙල්සන් මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්.
“එකම බලාපොරොත්තුවක්, එකම සතුටක්, එකම ජවයක්, එකම හද ගැස්මක්! ඔව්, ෆුට්බෝල්වලට පුළුවන් ඒ හැම විදිහකින්ම ලෝකේ හතර කොනේ ඉන්න මිනිස්සුන්ව එක තැනකට ගේන්න.”—ජියානි ඉන්ෆැන්ටිනෝ, ෆීෆාවල සභාපති.a
ඇත්තටම ලෝක කුසලානය ඇතුළු ඕන ක්‍රීඩාවකට එච්චර දෙයක් කරන්න පුළුවන්ද? සැබෑ සාමය සහ එක්සත්කම ගැන බලාපොරොත්තුවක් තියාගන්න එක නිකම්ම හීනයක් විතරද?
ඇත්තටම එක්සත් කරයිද?
මේ සැරේ මිනිස්සුන්ගේ අවධානය ඇදගත්තේ ෆීෆා ලෝක කුසලානය විතරක් නෙවෙයි. ඒ වෙනුවට මේ තරඟාවලිය ගැන කතා කරද්දී මානව අයිතිවාසිකම් ගැන, ජාතිවාදය ගැන, උස් පහත් භේදය ගැන, ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැති එක ගැන හුඟක් අයගේ කතාබහට ලක් වුණා.
මේ වගේ ලෝක කුසලාන තරඟාවලි නිසා මිනිස්සුන්ට එකට එකතු වෙලා ලොකු විනෝදයක් ලබන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඒ එක්සත්කම හරිම තාවකාලිකයි. මොකද බයිබලේ කියනවා “අවසාන කාලයේ” ජීවත් වෙන මිනිස්සු අතර කිසිම එකඟත්වයක් නැහැ, එයාලා ඉන්නේ හැම අතින්ම බෙදිලා කියලා. (2 තිමෝති 3:1-5) ඒක කොච්චර ඇත්තද කියලා මිනිස්සු අද කියන කරන දේවල්වලින් පැහැදිලිවම පේනවා.
ලෝකයම එක්සත් වෙන දවසක්!
සැබෑ එක්සත්කම ගැන විශ්වාස කරන්න පුළුවන් පොරොන්දුවක් දීලා තියෙන්නේ බයිබලේ විතරයි. ඒකේ කියනවා මුළු ලෝකෙම එක්සත් වෙන දවසක් එනවා කියලා. ඒක කරන්න යන්නේ “දෙවිගේ රාජ්‍යය” කියලා හඳුන්වන ස්වර්ගයේ පිහිටවලා තියෙන ආණ්ඩුවෙන්.—ලූක් 4:43; මතෙව් 6:10.
ඒ ආණ්ඩුවේ රජ තමයි යේසුස් ක්‍රිස්තුස්. ඔහු පොරොන්දු වෙනවා එදාට මේ ලෝකේ අස්සක් මුල්ලක් නෑර හැම තැනක්ම සාමයෙන් පුරවනවා කියලා.
‘ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. ඔවුන්ට බොහෝ සමාදානය තිබෙන්නේය.’—ගීතාවලිය 72:7.
‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.’—ගීතාවලිය 72:12, 14.
අද වුණත් යේසුස්ගේ ඉගැන්වීම් නිසා රටවල් සහ ප්‍රදේශ 239ක ඉන්න මිලියන ගාණක් සෙනඟ එක්සත් වෙලා ඉන්නවා. හිතේ තියෙන වෛරය අයින් කරලා හැමෝටම ආදරේ කරන්න එයාලා ඉගෙනගෙන තියෙනවා. ඒ ගැන තවත් විස්තර දැනගන්න “වෛරයේ ගිනිදලු නිවලා දාමු!” කියන සඟරාවේ ලිපි බලන්න.
a අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆීෆා).