2026 ජූනි 29–ජූලි 5
ගීතිකාව 131 ‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’
ඔය දෙන්නාගේ යාළුකම දිගටම රැකගන්න
“සහෝදරයෙක්ට වඩා විශ්වාසවන්ත යාළුවොත් ඉන්නවා.”—හිතෝ. 18:24.
ලිපියේ අරමුණ
යුවළක් පවුල් ජීවිතේ සතුටින් ගත කරන්න නම් යෙහෝවා ගැන එයාලට තියෙන ආදරේ වැඩි කරගන්න ඕනෙ වගේම ඒ දෙන්නා අතර තියෙන යාළුකමත් ශක්තිමත් කරගන්න ඕනේ.
1. හොඳ යාළුවෝ යෙහෝවාගෙන් ලැබුණ තෑග්ගක් කියන්නේ ඇයි?
හොඳ යාළුවෝ යෙහෝවාගෙන් ලැබුණ තෑග්ගක්. (යාකො. 1:17) එයාලා දෙවියන්ට ආදරෙයි, අපිටත් ආදරෙයි. අපි සතුටු වෙද්දී එයාලත් අපිත් එක්ක සතුටු වෙනවා. අපි වැටිලා ඉද්දී එයාලා අපිට හයියක් වෙනවා. අපිව නිවැරදි කරන්න ඕනෙ වෙද්දී එයාලා ඒක අවංකව කරනවා. එයාලා අපි ළඟින්ම ඉන්නවා. එයාලව විශ්වාස කරන්න අපිට පුළුවන්. ඒ වගේ යාළුවෝ නිසා අපේ “හිතට සතුටක් දැනෙනවා.”—හිතෝ. 27:9.
2. විවාහ වෙලා ඉන්න දෙන්නෙක් එයාලාගේ යාළුකම දිගටම ශක්තිමත් කරගන්න එක වැදගත් ඇයි? (මතෙව් 19:6)
2 සැමියායි, බිරිඳයි හොඳම යාළුවෝ වෙන එක හරිම වැදගත්. හැබැයි ඒ යාළුකම ඉබේ ශක්තිමත් වෙන්නේ නැහැ. ඒකට ඒ දෙන්නාම මහන්සි වෙන්න ඕනේ. එහෙම කළේ නැත්නම් ඒ දෙන්නාටම තනිකමක්, කලකිරීමක් සමහරවිට කේන්තියක් වුණත් දැනෙන්න පුළුවන්. හැබැයි එයාලාගේ යාළුකම තව තව වැඩි කරගද්දී එයාලට පුළුවන් වෙනවා මිනිස්සු දෙන්නෙක් අතර තියෙන්න පුළුවන් කිට්ටුම බැඳීම ඇති කරගන්න. (මතෙව් 19:6 කියවන්න.) විවාහක යුවළකට එයාලාගේ යාළුකම තව වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. හැබැයි ඊට කලින් අපි බලමු තනිකඩ කෙනෙක්ට ජීවිත කාලේ පුරාම එයා ළඟින්ම ඉන්න හොඳම යාළුවාව තෝරගන්න පුළුවන් කොහොමද කියලා.
ඔයාගේ හොඳම යාළුවාව තෝරගන්නේ කොහොමද?
3-4. හොඳ සහකරුවෙක්ව තෝරගන්න උදව් වෙන්නේ මොකක්ද? (හිතෝපදේශ 18:22)
3 ජීවිතේ ඕනෙම වැදගත් තීරණයක් ගන්න කලින් ඒකෙන් මොන වගේ ප්‍රතිඵල ලැබෙයිද කියලා අපි කලින්ම හිතන්න ඕනේ. මොකද ඒ වගේ තීරණ අපේ ජීවිත කාලෙටම බලපානවා.
4 ජීවිත කාලේ පුරාම ඔයාගේ ළඟම ඉන්න යාළුවා ඒ කියන්නේ ඔයාගේ විවාහ සහකරුව තෝරගන්න එක ඔයා ජීවිතේ ගන්න වැදගත්ම තීරණවලින් එකක්. විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා නිසා සහකරුවෙක්ව තෝරගද්දී ඔහු දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලන එක තමයි හොඳම දේ. පුරුෂයෙක් හොඳ බිරිඳක් හොයාගන්නවා දකින්නත් කාන්තාවක් හොඳ සැමියෙක්ව හොයාගන්නවා දකින්නත් යෙහෝවා කැමතියි. ඔහු තමයි අපිට ඕනෙ හොඳම දේ දන්නේ. (හිතෝපදේශ 18:22 කියවන්න; යෙසා. 48:17, 18) බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට පුළුවන් හොඳ විවාහ සහකරුවෙක්ව හොයාගන්න ඔයාට උදව් කරන්න.
5. විවාහ වෙන්න බව්තීස්ම වුණ කෙනෙක්ව තෝරගන්න එක වැදගත් ඇයි?
5 ඔයා බව්තීස්ම වෙද්දී යෙහෝවාගේ යාළුවෙක් වෙනවා. (ගීතා. 25:14) ඉතින් ඔයා විවාහ වෙන්න කැමති නම් ඔයා තෝරගන්න ඕනෙ යෙහෝවාගේ යාළුවෙක්ව. (1 කොරි. 7:39) එහෙම කරන එකෙන් ඔයා පෙන්නන්නේ යෙහෝවාගේ ප්‍රමිති ඔයා අගය කරනවා කියලයි. ඒ වගේම ඔයා විවාහ වෙන කෙනා යෙහෝවාගෙන් ලැබෙන තෑග්ගක් විදිහට දකිනවා කියලයි. (හිතෝ. 19:14) ඒ විතරක් නෙවෙයි ඔයා එහෙම කරද්දී “දෙවියන්ට සේවය කරන්නේ නැති අය එක්ක බැඳීම් ඇති කරගන්න” එකෙන් එන ප්‍රශ්නවලින් බේරෙන්නත් ඔයාට පුළුවන් වෙනවා. (2 කොරි. 6:14) එහෙමනම් ‘මට ගැළපෙන කෙනෙක් සභාවේ නෑ,’ ‘පිට කෙනෙක් එක්ක යාළු වුණොත් එයාවත් සත්‍යයට ගන්න පුළුවන්’ වගේ හේතු මවලා යෙහෝවාට සේවේ කරන්නේ නැති කෙනෙක් එක්ක යාළු වෙන එක මොන තරම් මෝඩද!
6-7. යාළු වෙලා ඉන්න කාලේ ඔයා හිතලා බලන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?
6 බව්තීස්ම වුණ ඕනෙම කෙනෙක් විවාහ වෙන්න ඔයාට ගැළපෙනවා කියලා හිතන්න එපා. ඔයාට කෙනෙක් ගැන කැමැත්තක් තියෙනවා නම් මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘එයා එයාගේ පවුලේ අයට සලකන්නේ කොහොමද? එයා අනිත් අය ගැන හිතන, අනිත් අයට ගෞරව කරන කෙනෙක්ද? එයාට ඉන්නේ මොන වගේ යාළුවෝද? කෙනෙක් එයා කියන දේට එකඟ වෙන්නේ නැති වෙද්දී එයා වැඩ කරන්නේ කොහොමද? බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැති තැන්වලදී අනිත් අයගේ අදහස් පිළිගන්න එයා කැමතිද? නැත්නම් එයා හැම තිස්සේම කරන්නේ එයාට ඕනෙ දේමද? එයා සල්ලිවලට දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද?’
7 ඔයාට මෙහෙමත් හිතලා බලන්න පුළුවන්. ‘මං කැමැත්තෙන් ඉන්න මේ කෙනාට යෙහෝවා ගැන ලොකු ආදරයක් තියෙනවාද? එයා “අලුත් පෞද්ගලිකත්වය” පැලඳගන්න දිගටම මහන්සි වෙනවාද? යෙහෝවාට තව හොඳට සේවේ කරන්න එයා මට උදව් කරයිද? සේවේ පැත්තෙන් එයාටයි, මටයි තියෙන්නේ එකම ඉලක්කද? නිකම්ම යාළුවෝ නෙවෙයි හොඳම යාළුවෝ වෙන්න අපිට පුළුවන්ද?’ (කොලො. 3:9, 10) ඔයා සහෝදරියක් නම් ඔයා යාළු වෙලා ඉන්න සහෝදරයා ඔයාට හොඳ යාළුවෙක් වෙයිද, පවුලට හොඳ මූලිකයෙක් වෙයිද කියලා හිතන්න. (1 කොරි. 11:3) ඔයා සහෝදරයෙක් නම් ඔයා යාළු වෙලා ඉන්න සහෝදරිය ඔයාගේ අතින් අඩුපාඩු වුණත් ඔයා ගන්න තීරණවලට ගරු කරලා ඒවාට සහයෝගය දෙයිද කියලා හිතන්න. ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න කාලයක් යයි. ඒ නිසා එයාව අඳුරගන්න යාළු වෙලා ඉන්න කාලේ හොඳට පාවිච්චි කරන්න.
8-9. යාළු වෙලා ඉන්න කෙනෙක්ට විවාහය ගැන හොඳ තීරණයක් ගන්න උදව් වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
8 යාළු වෙලා ඉන්න කාලේ එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කළොත් ඔයාට හොඳ තීරණයක් ගන්න පුළුවන් වෙයි. අනිත් අය එයාව දකින්නේ කොයි වගේ කෙනෙක් විදිහටද කියලා හොයලා බලන්න. එයා අනිත් අය අතරේ දිනාගෙන තියෙන්නේ මොන වගේ නමක්ද, එයාට තියෙන්නේ මොන වගේ ගුණාංගද කියලා අහලා බලන්නත් ඔයාට පුළුවන්. උදාහරණෙකට එයා නිහතමානී, ආදරෙන් වැඩ කරන, සාධාරණ කෙනෙක් විදිහටද අනිත් අය එයාව දකින්නේ? ප්‍රංශ ගයනාවේ ඉන්න සාරා විවාහ වුණේ ඩැනියෙල් කියන සහෝදරයා එක්ක. සාරා මෙහෙම කියනවා. “මං ඩැනියෙල් ගැන එයාත් එක්ක එකට පුරෝගාමි කරපු, එයාව හරිම කිට්ටුවෙන් ආශ්‍රය කරපු සහෝදරයෙක්ගෙන් ඇහුවා. ඩැනියෙල්ගේ සභාවේ වැඩිමහල්ලෙක්ගෙන්, ඒ සභාවේ සහෝදරියන්ගෙන් වගේම එයාවයි, මාවයි හොඳට අඳුරන අයගෙනුත් එයා ගැන ඇහුවා.” ඔයා කරන්න ඕනෙ තව වැදගත් දෙයක් තියෙනවා. ඔයා විවාහ වෙන්න හිතාගෙන ඉන්න කෙනාගෙන් අහන්න ඔයා දැනගන්නම ඕනෙ දෙයක් එයාගේ ජීවිතේ අතීතයේදී වෙලා තියෙනවාද නැත්නම් දැන් වෙනවාද කියලා. ඒ දේවල් ගැන ඔයා දැනගන්න එක වැදගත්. මොකද සමහර පුරුදු, ගති නිසා ඉස්සරහට ඔයාගේ විවාහ ජීවිතේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
9 සමහරවිට එයා හොඳ සැමියෙක්, බිරිඳක් වෙයිද කියලා ඔයාගේ හිතේ සැකයක් ඇති වෙයි. එහෙම නැත්නම් අවබෝධයෙන් වැඩ කරන සහෝදර සහෝදරියන් එයා ගැන කියන සමහර දේවල් එච්චර හොඳ නැති වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් සැහැල්ලුවට ගන්න එපා. මොකද යාළු වෙලා ඉන්න කෙනාව බඳිනවාද නැද්ද කියන වැදගත් තීරණේ ගන්න ඒ දේවල් ඔයාට උදව් වෙනවා.a දැන් අපි මෙතන ඉඳන් කතා කරන්නේ විවාහ වෙලා ඉන්න යුවළයන්ට.
යාළු වෙලා ඉන්න කාලේ අනිත් කෙනා මොන වගේ කෙනෙක්ද කියලා හොඳට තේරුම්ගන්න උත්සාහ කරන්න (8-9 ඡේද බලන්න)
යාළුකම වැඩි කරගන්න
10. සැමියායි, බිරිඳයි එකට කාලේ ගත කරන එක වැදගත් ඇයි?
10 කරන්න මොන තරම් වැඩ තිබුණත් සැමියායි, බිරිඳයි එකිනෙකා වෙනුවෙන් කාලේ දෙද්දී එයාලාගේ යාළුකම තව වැඩි වෙනවා, විවාහ බැඳීම තව ශක්තිමත් වෙනවා. එකට කාලේ ගත කරද්දී එයාලට පුළුවන් දවසේ වෙච්ච දේවල් ගැන, එයාලට හැඟෙන දැනෙන විදිහ ගැන කතා කරන්න. එකිනෙකාට ආදරේ පෙන්නන්නත් සතුටක් දැනෙන දේවල් එකට කරන්නත් එයාලට පුළුවන් වෙනවා.
11. සැමියායි, බිරිඳයි අතර තියෙන යාළුකමට හානියක් වෙන්න පුළුවන් මොකක් නිසාද?
11 කිට්ටු යාළුකමක් තියෙන සැමියෙක් සහ බිරිඳක් කැමති වෙන් වෙලා ඉන්න නෙවෙයි, කොයි වෙලෙත් එකට ඉන්න. ඇත්ත, හැම වෙලාවෙම දෙන්නාට එකටම ඉන්න බැහැ. හැබැයි ලොකු කාලයක් වෙන් වෙලා ඉන්න එක නම් භයානකයි. උදාහරණෙකට සමහරු රට රස්සාවලට යනවා. ඒකෙන් වෙන්නේ එයා පවුලේ අයගෙන් ලොකු කාලෙකට වෙන් වෙලා ඉන්න එක. සල්ලි නම් හම්බ කරන්න පුළුවන් වෙයි. හැබැයි දෙන්නා ලොකු කාලයක් වෙන් වෙලා ඉන්න නිසා පවුල් ජීවිතේට නම් වෙන්නේ හිතාගන්න බැරි තරම් හානියක්!
12-13. (අ) වැඩි කාලයක් එකට ගත කරන්න සමහර යුවළයන් කරලා තියෙන්නේ මොනවාද? (පින්තූරයත් බලන්න.) (ආ) ඔයාගේ සහකරුට ඔයාගේ ජීවිතේ ඔයා දෙන්න ඕනෙ තැන මොකක්ද? (“මගේ සහකරු මට කොච්චර වැදගත්ද?” කියන කොටුව බලන්න.)
12 නිතරම එකට කාලේ ගත කරන්න සමහර යුවළයන් කරලා තියෙන්නේ මොන වගේ දේවල්ද? ගුවාම්වල ඉන්න ලියා මෙහෙම කියනවා. “මගේ මහත්තයායි, මායි එකට දේවල් කරලා ලොකු සතුටක් ලබනවා. පාටි, ට්‍රිප් වගේ දේවලට අපි දෙන්නා වෙන වෙනම යන්නේ හරිම අඩුවෙන්.” එක්සත් ජනපදයේ රොක්ස්ඈන් මෙහෙම කියනවා. “අපිට කරන්න ගොඩක් වැඩ තියෙන නිසා අපි දෙන්නාට එකට කාලේ ගත කරන්න පුළුවන් කොයි වෙලාවෙද කියලා අපි කලින්ම සැලසුම් කරනවා. අනිත් වැදගත් දේවල් වෙනුවෙන් අපි කාලේ වෙන් කරන්නෙත් ඒ විදිහටනේ.” (ආමො. 3:3) “මට තේරුණා නෝනා කරන්න ආස දේවලට මාත් ආසාවක් ඇති කරගන්න ඕනෙ කියලා. ඉතිං අපි දෙන්නාම අනිත් කෙනා ආස දේ කරන්න උත්සාහ කළා” කියලා ප්‍රංශයේ ඉන්න ඩේමියන් කියනවා. (මතෙ. 7:12) එක්සත් ජනපදයේ කේටි මෙහෙම කියනවා. “අපි දෙන්නා එකට ගත කරන කාලෙට බාධා වෙන්නේ නැති වෙන්න අපි සමහර වෙලාවට අපේ ෆෝන් පැත්තකින් තියනවා.”
13 වැදගත්ම දේ තමයි යෙහෝවා වෙනුවෙන් කරන දේවල් දෙන්නා එකට කරන එක. ප්‍රංශයේ ඉන්න මරියිම් මෙහෙම කියනවා. “අපි දවස පටන්ගන්නේ බයිබලේ කියවලා. ඒ කියවපු කොටසේ අපේ හිතට ගිය දේවල්, අපිට අදාළ කරගන්න පුළුවන් දේවල් අපි දෙන්නා කතා කරනවා. දෙන්නා එකට ගත කරන ඒ වගේ වෙලාවල්වලට මං හරිම ආසයි. අපි දෙන්නා එකට යාච්ඤා කරන වෙලාවටත් මං හරිම කැමතියි. මහත්තයාගේ හිතේ යෙහෝවා ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා ඒ වෙලාවලදී මට දැනෙනවා.” කලින් කතා කරපු කේටි මෙහෙම කියනවා. “අපි දෙන්නා වැඩියෙන්ම ආස එකට සේවේ යන වෙලාවලට. අනිත් කෙනා යෙහෝවා ගැන කතා කරනවා අහන් ඉද්දී දෙන්නාට දෙන්නා තව ළං වෙනවා කියලා දැනෙනවා. අපි දෙන්නාම එකිනෙකාගෙන් අලුත් දේවලුත් ඉගෙනගන්නවා.”—හිතෝ. 27:17.
නිතරම වගේ එකට කාලේ ගත කරලා ඔය දෙන්නාගේ යාළුකම තව ශක්තිමත් කරගන්න (12-13 ඡේද බලන්න)
ප්‍රශ්න එද්දී වෙන් වෙන්න හිතන්න එපා!
14-15. පවුල් ජීවිතේ ඇති වෙන ප්‍රශ්න විසඳගන්න යුවළක් එයාලට කරන්න පුළුවන් හැම දේම කරන්න ඕනෙ ඇයි? උදාහරණයක් කියන්න.
14 අපි හැමෝම පාපය උරුම කරගත්ත අය නිසා විවාහ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙයි කියලා හිතන්න බැහැ. බයිබලෙත් කියන්නේ “විවාහ වෙන අයට ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා” කියලා. (1 කොරි. 7:28) එතන “ප්‍රශ්න” කියද්දී ඒකෙන් අදහස් කළේ පවුල් ජීවිතේ ඇති වෙන ප්‍රශ්නයි. පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙද්දී දෙන්නා එකටම ඉඳලා ඒවායින් ගොඩ එන්න කරන්න පුළුවන් හැම දේම කරන එක වැදගත් ඇයි?
15 මේ උදාහරණේ ගැන හිතන්න. පෞරාණික ගොඩනැඟිල්ලකට නැත්නම් වටින චිත්‍රයකට හානියක් වුණොත් ඒකේ අයිතිකරු ඒක ආයෙත් තිබුණ තත්වෙට ගේන්න දෙපාරක් හිතන්නේ නැහැ. එයා ඒකට ලොකු මුදලක්, කාලයක් වැය කරයි. ඒක තිබුණ තත්වෙට ගේන්න අවුරුදු ගාණක් වුණත් යන්න පුළුවන්. අයිතිකරු ඒක වෙනුවෙන් එච්චර දෙයක් කරන්නේ ඒක එයාට ගොඩක් වටින නිසයි. ඒ වගේ තමයි හැම විවාහයක්ම ගොඩක් වටිනවා. සතුටින්ම ඉන්න යුවළයන් අතර වුණත් ප්‍රශ්න ඇති වෙනවා. හානි වුණ ගොඩනැඟිල්ල, චිත්‍රය ආයෙත් තිබුණ තත්වෙට ගන්න පුළුවන් වගේ පලුදු වුණ විවාහ බැඳීමක් වුණත් කලින් තත්වෙට ගන්න පුළුවන්. ඒත් ඒකට කාලයක් යනවා වගේම දෙන්නාගෙම පැත්තෙන් මහන්සියක් දරන්නත් ඕනේ. යුවළක් එයාලාගේ බැඳීම ශක්තිමත් කරගෙන වෙන් නොවී ඉන්න ගන්න මහන්සිය දැක්කාම යෙහෝවා ගොඩක් සතුටු වෙනවා. (මලා. 2:16) එහෙම කරද්දී යුවළක් එකිනෙකාට විතරක් නෙවෙයි විවාහයේ නිර්මාතෘ වන යෙහෝවාටත් ආදරය, ගෞරවය පෙන්නනවා.
16. 1 කොරින්ති 13:4-8අ කියන විදිහට විවාහ ජීවිතේ බරපතළ ප්‍රශ්න තියෙන අයට උදව් වෙන්නේ මොකක්ද? (පින්තූරය සහ “යාළුකම ශක්තිමත් කරගන්න උදව්!” කියන කොටුව බලන්න.)
16 පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙද්දී වෙන් වෙන්න ඕනෙ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. (1 කොරි. 7:10, 11) ඒ වෙනුවට ‘අපි දෙන්නාගේ යාළුකම ශක්තිමත් කරගන්න මට තව මොනවාද කරන්න පුළුවන්’ කියලා හිතන්න. ආදරේ පෙන්නන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා අධ්‍යයනය කරන්න. 1 කොරින්ති 13:4-8අ කියලා තියෙන විදිවලින් මට තව වැඩියෙන් එයාට ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. (කියවන්න.) එකිනෙකාගෙන් වෙන් වෙන්න පුළුවන් විදි ගැන හිතනවා වෙනුවට ආයෙත් එකිනෙකාගේ හිත්වලට ඇතුල් වෙන්න පුළුවන් කොහොමද කියලා බලන්න. බිඳුණු බැඳීම ආයේ හදාගන්න එයාට කරන්න පුළුවන් දේ නෙවෙයි ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. ඔයාට උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. අපේ ප්‍රකාශනවල, වීඩියෝවල තියෙන තොරතුරුවලින් ප්‍රයෝජන ගන්න. වැඩිමහල්ලන්ගෙන්, අවබෝධයෙන් වැඩ කරන සහෝදර සහෝදරියන්ගෙන් උදව් ගන්න. “තුන්පට ලණුවේ” තුන්වෙනි වගේම ශක්තිමත්ම පොට වන යෙහෝවා මත රැඳිලා හිටියොත් ඔයාගේ විවාහය ‘ලේසියෙන් දෙකට කැඩෙන්නේ නැහැ.’—දේශ. 4:12.
පවුල් ජීවිතේ ප්‍රශ්න එද්දී වෙන් නොවී ඉන්න පුළුවන් හැම දේම කරන්න (16 ඡේදය බලන්න)
17. විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට, විවාහ වුණ අයට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
17 විවාහ වෙන්න හිතාගෙන ඉන්න අය, විවාහ වෙලා ඉන්න අය ඇතුළු යෙහෝවාගේ හැම සේවකයෙක්ම සතුටින් ඉන්නවා දකින්නයි ඔහු කැමති. ඉතින් ඔයා විවාහ වෙන්න කැමැත්තෙන් ඉන්න, තනිකඩ කෙනෙක් නම් ජීවිත කාලෙම ඔයා ළඟ ඉන්න යාළුවාව හොඳට හිතලා බලලා තෝරගන්න. ඔයා විවාහ වෙලා නම් දිගටම ඔය දෙන්නා අතර තියෙන යාළුකම ශක්තිමත් කරගන්න. යෙහෝවාගේ උදව් අරගෙන විවාහ ජීවිතේ එන ප්‍රශ්න දෙන්නා එකතු වෙලා විසඳගන්න. එහෙම කරනවා නම් ඔයාගේ හොඳම යාළුවත් එක්ක “සතුටින් කල් ගෙවන්න” ඔයාට පුළුවන්.—දේශ. 9:9.
ගීතිකාව 132 අප දැන් එක් කෙනෙකු මෙන් වේ
a දෙන්නාට දෙන්නා තව හොඳට අඳුරගන්න පුළුවන් විදි ගැන දැනගන්න 2024 මැයි ‘මුරටැඹ’ සඟරාවේ “බඳිනවාද නැද්ද කියලා හොඳ තීරණයක් ගන්න නම් . . . ” කියන ලිපියේ “හොඳට අඳුරගන්න” කියන උපමාතෘකාව යටතේ තියෙන තොරතුරු බලන්න.