පාඩම් ලිපිය 46
ගීතිකාව 17 “මා කැමතියි”
යේසුස් අපිව තේරුම්ගන්න උත්තම පූජකයෙක්
“අපිට ඉන්නේ අපේ දුර්වලකම් තේරුම්ගන්න බැරි උත්තම පූජකයෙක් නෙමෙයි.”—හෙබ්‍රෙ. 4:15.
ලිපියේ අරමුණ
අපිට ඉන්න පුළුවන් හොඳම උත්තම පූජකයා යේසුස් කියන්නේ ඇයි? එයා අද අපිට උදව් කරන්නේ කොහොමද?
1-2. (අ) යෙහෝවා ඔහුගේ පුතාව පොළොවට එව්වේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (හෙබ්‍රෙව් 5:7-9)
මීට අවුරුදු 2,000කට විතර කලින් යෙහෝවා ඔහුගේ ආදරණීය පුතාව පොළොවට එව්වා. ඔහු එහෙම කරපු එක හේතුවක් තමයි මිනිස්සුන්ව පාපයෙන් සහ මරණයෙන් බේරගෙන සාතන් නිසා ඇති වෙලා තියෙන හැම ප්‍රශ්නයක්ම අයින් කරලා දාන්න. (යොහ. 3:16; 1 යොහ. 3:8) ඒ වගේම යේසුස් මිනිසෙක් විදිහට ලබන අද්දැකීම් මිනිස්සුන්ව තව හොඳින් තේරුම්ගන්නත් අනුකම්පාවෙන්, දයාවෙන් පිරුණු කෙනෙක් වෙන්නත් යේසුස්ට උදව් වෙනවා කියලා යෙහෝවා දැනගෙන හිටියා. යේසුස් උත්තම පූජකයා විදිහට සේවේ කරන්න පටන්ගත්තේ ක්‍රි.ව. 29 එයාගේ බව්තීස්මයත් එක්කමයි.a
2 යේසුස් මිනිසෙක් විදිහට ලබපු අද්දැකීම් අනුකම්පාවෙන් පිරුණු උත්තම පූජකයෙක් වෙන්න එයාට උදව් වුණේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. අපි ඒක තේරුම්ගන්න එක හරිම වැදගත්. මොකද ඒක අපිට උදව් වෙනවා විශේෂයෙන්ම අපේ දුර්වලකම් නිසා අපි අතින් වරදක් වෙලා අපි දුකෙන් ඉද්දී හිතේ බයක් නැතුව යෙහෝවාට යාච්ඤා කරලා ඔහුට ළං වෙන්න.—හෙබ්‍රෙව් 5:7-9 කියවන්න.
දෙවියන්ගේ ආදරණීය පුතා පොළොවට ආවා
3-4. යේසුස් පොළොවට ආවාම එයා අද්දැක්කේ මොන වගේ වෙනස්කම්ද?
3 අපෙන් හුඟදෙනෙක් වෙනස්කම්වලට මූණ දීලා ඇති. සමහරවිට අපි ආසාවෙන් ජීවත් වුණ ගේදොර අත්හැරලා පවුලේ අයව, යාළුවන්ව දාලා වෙන පැත්තකට යන්න වෙලා ඇති. ඒ වගේ වෙනස්කම් වෙද්දී ලේසි නැහැ. හැබැයි අපි කවුරුත් යේසුස් මූණ දුන්නා වගේ වෙනස්කම්වලට නම් මූණ දීලා නැහැ. යේසුස් තමයි යෙහෝවා මුලින්ම නිර්මාණය කරපු ස්වර්ගයේ හිටපු ප්‍රධානම දේවදූතයා වුණේ. යෙහෝවාගේ ආදරේ යේසුස්ට කිසිම අඩුවක් නැතුව ලැබුණා. එයා හැම දවසක්ම ගත කළේ හරිම සතුටින්. මොකද එයා හිටියේ දෙවියන්ගේ “දකුණු පැත්තේ.” (ගීතා. 16:11; හිතෝ. 8:30) ඒත් ෆිලිප්පි 2:7 කියනවා එයා කැමැත්තෙන්ම “තමන්ට තිබුණ හැම දේම අතහැරලා” පාපය උරුම කරගත්ත මිනිස්සු එක්ක ජීවත් වෙන්න පොළොවට ආවා කියලා.
4 යේසුස් ඉපදිලා ගත වුණ මුල් අවුරුදු කීපය ගැන හිතන්න. එයා ඉපදුණේ දුප්පත් පවුලක. යේසුස් ඉපදුණාට පස්සේ එයාගේ දෙමාපියන් ඔප්පු කරපු පූජාවෙන් ඒක තේරෙනවා. (ලෙවී. 12:8; ලූක් 2:24) යේසුස්ගේ උපත ගැන ආරංචි වුණාම දුෂ්ට හෙරොද් රජ යේසුස්ව මරන්න හැදුවා. ඒ නිසා යේසුස්ගේ පවුලේ අයට සිද්ධ වුණා හෙරොද්ගෙන් බේරිලා ඊජිප්තුවට පලා යන්න. (මතෙ. 2:13, 15) ඒක ස්වර්ගයේ යේසුස් ගත කරපු ජීවිතේට වඩා කොච්චර වෙනස්ද!
5. පොළොවේදී යේසුස් දැක්කේ මොනවාද? ඒ ලබපු අද්දැකීම් උත්තම පූජකයා විදිහට සේවේ කරන්න එයාට උදව් වුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
5 පොළොවේ හිටපු කාලේ යේසුස් දැක්කා මිනිස්සු කොච්චර දුක් විඳිනවාද කියලා. කිසිම සැකයක් නැහැ එයා ආදරේ කරපු අයගේ මරණය නිසා ඇති වුණ දුකත් එයාට දරාගන්න වුණා කියලා. ඒ අය අතර එයාව හදා වඩා ගත්ත තාත්තා යෝසෙපුත් ඉන්න ඇති. යේසුස් සේවේ කරපු කාලේදී ලාදුරු රෝගීන්ව, අංශභාග රෝගීන්ව, අන්ධ අයව, දරුවන්ගේ මරණය නිසා දුකින් හිටපු දෙමාපියන්ව එයාට හම්බ වුණා. (මතෙ. 9:2, 6; 15:30; 20:34; මාක් 1:40, 41; ලූක් 7:13) ඇත්ත, ස්වර්ගයේ ඉද්දීත් යේසුස් මිනිස්සු විඳින මේ දුක දැක්කා. හැබැයි මිනිසෙක් විදිහට එයාලා එක්කම ජීවත් වෙද්දී යේසුස්ට එයාලා විඳින දුක, වේදනාව තව හොඳට දැනුණා. (යෙසා. 53:4) එක එක තත්වයන්වලදී මිනිස්සුන්ට හැඟෙන දැනෙන විදිහ, එක එක අමාරුකම් නිසා එයාලා දුක් විඳින විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න යේසුස්ට පුළුවන් වුණා. සාමාන්‍ය මිනිස්සු අද්දකින මහන්සිය, පීඩනය, දුක වගේ දේවල් යේසුත් අද්දැක්කා.
දුක් වේදනා විඳින මිනිස්සු ගැන යේසුස්ට ලොකු අනුකම්පාවක් දැනුණා (5 ඡේදය බලන්න)
යේසුස් මිනිස්සුන්ට ලොකු අනුකම්පාවක් පෙන්නුවා
6. යේසුස් මිනිස්සුන්ට අනුකම්පාව පෙන්නන විදිහ ගැන යෙසායා කියපු අනාවැකියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (යෙසායා 42:3)
6 යේසුස් සේවේ කරපු කාලේ පුරාම අසරණ, අනිත් අයගෙන් හිරිහැර විඳපු අයට ලොකු අනුකම්පාවක් පෙන්නුවා. ඒකෙන් එයා අනාවැකියකුත් ඉටු කළා. සමහර වෙලාවට හෙබ්‍රෙව් ලියවිලිවල සාර්ථක, ශක්තිමත් අයව හොඳට වතුර ලැබෙන උයනකට නැත්නම් විශාල ගස්වලට සමාන කරලා තියෙනවා. (ගීතා. 92:12; යෙසා. 61:3; යෙරෙ. 31:12) හැබැයි පීඩා විඳපු දුප්පත් අයව සමාන කරලා තිබුණේ කාටවත් ප්‍රයෝජනයක් නැති තැළුණු බට ගහකට නැත්නම් නිවීගෙන යන පහන් තිරයකට. (යෙසායා 42:3 කියවන්න) යෙසායා මාර්ගයෙන් යෙහෝවා ඒ වගේ ලස්සන උදාහරණ පාවිච්චි කළේ ඇයි? ඒ, අනිත් අය ඒ තරම් වැඩක් නැහැ කියලා සලකන දුප්පත්, අසරණ අයට යේසුස් කොයි තරම් ආදරයක්, අනුකම්පාවක් පෙන්නනවාද කියලා පැහැදිලි කරන්නයි.
7-8. යේසුස් යෙසායාගේ අනාවැකි ඉටු කළේ කොහොමද?
7 යෙසායාගේ අනාවැකිය යේසුස් ඉටු කළා කියලා මතෙව් පෙන්නුවා. යේසුස් “තැළුණු බට ගහක් පොඩි කරන්නෙවත් නිවීගෙන යන පහන් තිරයක් නිවලා දාන්නෙවත් නැහැ” කියලා එයා කිව්වේ ඒ නිසයි. (මතෙ. 12:20) තැළුණු බට ගහක් වගේ, නිවීගෙන යන පහන් තිරයක් වගේ කියලා දැනුණ අය වෙනුවෙන් යේසුස් ගොඩක් ආශ්චර්යයන් කළා. යේසුස්ට හම්බ වුණ ලාදුරු රෝගියා ගැන හිතන්න. එයාගේ අසනීපේ හොඳ වෙයි කියලත් එයාගේ යාළුවෝ, පවුලේ අයත් එක්ක ආයෙත් එකට කාලේ ගත කරන්න පුළුවන් වෙයි කියලත් එයා කවදාවත් හිතන්න නැතුව ඇති. (ලූක් 5:12, 13) ඒ වගේම යේසුස් ළඟට ආපු බිහිරි, හරියට කතා කරන්න බැරි මනුස්සයා ගැන හිතන්න. අනිත් අය අත පය හොල්ලලා, අංග චලන දාලා කතා කරනවා දැක්කත් ඒ කිසිම දෙයක් තේරුම්ගන්න බැරි වෙද්දී එයාට කොහොම දැනෙන්න ඇද්ද?—මාක් 7:32, 33.
8 යේසුස්ගේ කාලේ හිටපු හුඟක් යුදෙව්වන් විශ්වාස කරපු දෙයක් තමයි අසනීපෙන් ඉන්න, ආබාධිත තත්වෙන් ඉන්න අයට එහෙම වෙලා තියෙන්නේ එයාලා හරි එයාලාගේ දෙමාපියන් හරි කරපු වැරදි නිසා කියලා. (යොහ. 9:2) ඒ වගේ වැරදි විශ්වාසයන් නිසා ඒ අය අනිත් අයගෙන් ගොඩක් හිරිහැර වින්දා. තමන්ගේ කිසිම වටිනාකමක් නැහැ කියලා එයාලා හිතුවා. ඒත් යේසුස් එයාලව සුව කළා. දෙවියන් එයාලා ගැන ගොඩක් හිතනවා කියලා තේරුම්ගන්න එයාලට උදව් කළා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
9. අපේ උත්තම පූජකයා පාපය උරුම කරගත්ත මිනිස්සුන්ට අනුකම්පාවෙන් සලකනවා කියලා හෙබ්‍රෙව් 4:15, 16 පැහැදිලි වෙන්නේ කොහොමද?
9 හෙබ්‍රෙව් 4:15, 16 කියවන්න. යේසුස් අපිවත් තේරුම් අරන් අපිට අනුකම්පාවෙන් සලකයි කියලා කිසිම සැකයක් නැහැ. “තේරුම්ගන්නවා,” “අනුකම්පාවක් දැනෙනවා” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනෙන් අදහස් කරන්නේ අනිත් අයගේ දුක, වේදනාව දැනෙනවා කියන එකයි. හෙබ්‍රෙව් 10:34 පාවුල් පාවිච්චි කරලා තියෙන්නෙත් ඒ ග්‍රීක වචනෙමයි. යේසුස් අනිත් අයව සුව කරපු අවස්ථා ගැන තියෙන වාර්තා කියවද්දී අපිට තේරෙනවා යේසුස්ට ඒ අය ගැන කොච්චර අනුකම්පාවක්, ආදරයක් දැනුණාද කියලා. යේසුස් එයාලව සුව කළේ නිකම්ම රාජකාරියක් කරන විදිහට නෙවෙයි. එයාලා ගැන යේසුස්ට තිබුණ ආදරේ නිසා එයාලට උදව් කරන්න යේසුස්ට ලොකු වුවමනාවක් තිබුණා. උදාහරණෙකට ලාදුරු රෝගියාව සුව කරන්න යේසුස්ට එයාව අල්ලන්නම ඕනෙ නැහැ. ඈත ඉඳන්ම එයාව සුව කරන්න තිබුණා. සමහරවිට කෙනෙක් මේ ලාදුරු රෝගියාව ඇල්ලුවේ අවුරුදු ගාණකට පස්සේ වෙන්න ඇති. යේසුස් බිහිරි කෙනාව සුව කළේ එයාට පහසුවක් දැනෙන විදිහට එයාව මිනිස්සුන්ගෙන් ටිකක් ඈතට අරන් ගිහින් වැඩිය සද්ද බද්ද නැති තැනක ඉඳලයි. නරක ජීවිතයක් ගත කරලා පසුතැවුණ කාන්තාවක් යේසුස් ළඟට ඇවිත් එයාගේ කඳුළුවලින් යේසුස්ගේ කකුල් තෙමලා එයාගේ කොණ්ඩෙන් කකුල් පිහදාද්දී පරිසිවරු එයාට බැන්නා. හැබැයි යේසුස් ඒ කාන්තාව වෙනුවෙන් කතා කළා. (මතෙ. 8:3; මාක් 7:33; ලූක් 7:44) ඉතින් යේසුස් අසනීප තිබුණ අයව, බරපතළ වැරදි කරපු අයව මඟහැරියේ නැහැ කියලා ඒ දේවලින් අපිට පේනවා. ඒ වෙනුවට යේසුස් එයාලට එයා ළඟට එන්න ඉඩහැරලා එයාලට ආදරෙන් සැලකුවා. යේසුස් අපිටත් ඒ විදිහටම සලකයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.
උත්තම පූජකයාව ආදර්ශයට ගන්න විදි
10. අන්ධ බිහිරි අයට උදව් කරන්න අපිට තියෙන්නේ මොන වගේ දේවල්ද? (පින්තූරත් බලන්න.)
10 යේසුස්ගේ අනුගාමිකයන් විදිහට යේසුස් පෙන්නුවා වගේ ආදරයක්, අනුකම්පාවක් මිනිස්සුන්ට පෙන්නන්න අපිත් උත්සාහ කරනවා. (1 පේතෘ. 2:21; 3:8) ඇත්ත, අන්ධ බිහිරි අයව සුව කරන්න අපිට බැහැ. ඒත් යෙහෝවා ගැන ඉගෙනගෙන ඔහුට ළං වෙන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන්. උදාහරණෙකට බයිබලය ගැන තියෙන ප්‍රකාශන සංඥා භාෂා 100කට වඩා වැඩි ගාණකින් දැන් තියෙනවා. අන්ධ අයට භාෂා 60කට වඩා වැඩි ගාණකින් බ්‍රේල් ප්‍රකාශන තියෙනවා. ඒ වගේම එයාලට උදව්වක් විදිහට භාෂා 100කට වඩා වැඩි ගාණකින් අපේ වීඩියෝවල තියෙන දේවල් ඕඩියෝ මාධ්‍යයෙන් විස්තර කරනවා. මේ හැම සැපයුමක්ම දීලා තියෙන්නේ අන්ධ බිහිරි අයට යෙහෝවාටයි, ඔහුගේ පුතාටයි තව ළං වෙන්න උදව් කරන්නයි.
අපේ ප්‍රකාශන භාෂා 1,000කට වඩා වැඩි ගාණකින් තියෙනවා
වම: සංඥා භාෂා 100කට වඩා
දකුණ: භාෂා 60කට වඩා බ්‍රේල්වලින්
(10 ඡේදය බලන්න)
11. හැම පසුබිමකම ඉන්න අයට යේසුස් පෙන්නපු ආදරේ යෙහෝවාගේ සංවිධානෙත් පෙන්නන්නේ කොහොමද? (ක්‍රියා 2:5-7, 33) (පින්තූරත් බලන්න.)
11 යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ පෙන්තකොස්ත උත්සවය දවසේ වෙච්ච දේ මතකද? එදා යේසුස් දෙවියන්ගේ බලය එයාගේ ගෝලයන්ට දුන්නා. ඒ නිසා රැස් වෙලා හිටපු හැමෝටම ඒ එක් එක් කෙනාට ‘තේරෙන භාෂාවෙන්’ ශුභාරංචිය කියන්න එයාලට පුළුවන් වුණා. (ක්‍රියා 2:5-7, 33 කියවන්න.) අදත් යේසුස්ගේ මඟ පෙන්වීමෙන් දෙවියන්ගේ සංවිධානය භාෂා 1,000කට වඩා වැඩි ගාණකින් බයිබලේ ගැන තියෙන ප්‍රකාශන මුදාහරිනවා. ඒවායින් සමහර භාෂා කතා කරන්නේ හරිම පොඩි පිරිසක් විතරයි. උදාහරණෙකට උතුරු සහ දකුණු ඇමරිකාවේ තියෙන සමහර භාෂා ගැන හිතන්න. ඒවා කතා කරන්නේ හරිම ටිකදෙනෙක් වුණත් ඒ වගේ භාෂා 160කට වඩා වැඩි ගාණකින් අපේ ප්‍රකාශන තියෙන නිසා ශුභාරංචිය ගැන දැනගන්න ඒ අයට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. රෝමනි භාෂා 20කට වැඩි ගාණකිනුත් අපේ ප්‍රකාශන තියෙනවා. ඒ භාෂා කතා කරන දහස් ගාණකටත් අවස්ථාව ලැබිලා තියෙනවා සත්‍යයට එන්න.
වම: උතුරු සහ දකුණු ඇමරිකාවේ තියෙන භාෂා 160කට වඩා
දකුණ: රෝමනි භාෂා 20කට වඩා
(11 ඡේදය බලන්න)
12. යෙහෝවාගේ සංවිධානය අනිත් අයට උදව් කරන තවත් විදි මොනවාද?
12 ශුභාරංචිය ගැන දැනගන්න උදව් කරනවාට අමතරව යෙහෝවාගේ සංවිධානෙන් ස්වාභාවික විපත් නිසා අසරණ වුණ අයට සහන සේවාත් ලබා දෙනවා. ඒ වගේ අයට උදව් කරන්න සහෝදර සහෝදරියන් දහස් ගාණක් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එකට එකතු වෙලා යෙහෝවාගේ ආදරේ ගැන ඉගෙනගන්න උදව් වෙන චාම් නමස්කාර මධ්‍යස්ථානත් යෙහෝවාගේ සංවිධානෙන් හදනවා.
අපේ උත්තම පූජකයාට පුළුවන් ඔයාට උදව් කරන්න
13. යේසුස් අපිට උදව් කරන්නේ මොන වගේ විදිවලින්ද?
13 උතුම් එඬේරා විදිහට යේසුස් අපිට යෙහෝවාට ළං වෙලා ඉන්න ඕන කරන හැම දේම ලැබෙනවාද කියලා හොයලා බලනවා. (යොහ. 10:14; එෆී. 4:7) අපි ජීවිතේ මූණ දෙන දේවල් නිසා සමහරවිට අපිටත් දැනෙන්නේ අපි නිවීගෙන යන පහන් තිරයක් වගේ, තැළුණු බට ගහක් වගේ කියලයි. සමහර වෙලාවට අපිට තියෙන බරපතළ අසනීපයක් නිසා, අපි අතින් වුණ වරදක් නිසා, සහෝදරයෙක් එක්ක ඇති වුණ ප්‍රශ්නයක් නිසා අපිත් ඉන්නේ මානසිකව වැටිලා වෙන්න ඇති. ඒ වගේ වෙලාවට අපේ ප්‍රශ්න අමතක කරලා යෙහෝවාගේ පොරොන්දුව ගැන හිතන්න අපිට අමාරුයි. හැබැයි මතක තියාගන්න යේසුස් අපි මූණ දෙන හැම දෙයක්ම දකිනවා, අපිට දැනෙන විදිහ ඔහු තේරුම්ගන්නවා. යේසුස්ගේ හිතේ අපි ගැන තියෙන අනුකම්පාව එයාව පොලඹවනවා අපිට උදව් කරන්න. උදාහරණෙකට අපි දුර්වල වෙලා ඉද්දී අපිව ශක්තිමත් කරන්න යේසුස් දෙවියන්ගේ බලය අපිට දෙනවා. (යොහ. 16:7; තීත. 3:6) ඊට අමතරව අපිට උදව් කරන්න, අපිව දිරිගන්වන්න ‘තෑගි විදිහට දුන්න පුරුෂයන්ව’ සහ අනිත් සහෝදරයන්ව යේසුස් පාවිච්චි කරනවා.—එෆී. 4:8.
14. අධෛර්යය වුණ වෙලාවලදී අපිට කරන්න පුළුවන් මොකක්ද?
14 ඔයාටත් දැනෙන්නේ ඔයා නිවීගෙන යන පහන් තිරයක්, තැළුණු බට ගහක් වගේද? එහෙමනම් යේසුස් අපේ උත්තම පූජකයා කියලා මතක් කරගන්න. යෙහෝවා එයාව පොළොවට එව්වේ පූජාවක් විදිහට ජීවිතේ දෙන්න විතරක් නෙවෙයි. පව්කාරයන් වුණ අපි මූණ දෙන ප්‍රශ්න මොනවාද කියලා තව හොඳට තේරුම්ගන්න එයාව පුහුණු කරන්නත් එක්කයි යෙහෝවා යේසුස්ව මේ පොළොවට එව්වේ. ඉතින් අපි අතින් වුණ වැරදි, අපේ දුර්වලකම් නිසා අපිත් ඉන්නේ මනසින් වැටිලා නම් යේසුස් “අපිට උදව් ඕනෙම කරන වෙලාවලදී” උදව් දෙන්න කැමැත්තෙන් වගේම ලෑස්ති පිට ඉන්නවා කියලා අමතක කරන්න එපා.—හෙබ්‍රෙ. 4:15, 16.
15. ආයෙත් යෙහෝවා ළඟට එන්න සහෝදරයෙක්ට උදව් වුණේ මොකක්ද?
15 යෙහෝවාව අත්හැරලා ගිය අයට ආයෙත් සභාවට එන්න උදව් කරන්නත් අපේ උත්තම පූජකයා එයාගේ සෙනඟට මඟ පෙන්නනවා. (මතෙ. 18:12, 13) ස්ටෙෆානෝගේb අද්දැකීම බලන්න. එයාව සභාවෙන් අයින් කරලා අවුරුදු 12කට පස්සේ එයා ආයෙත් රැස්වීමකට ආවා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “කාලෙකට පස්සේ ආයේ එහෙම එන එක ලේසි වුණේ නෑ. හැබැයි මට ඕනෙ වුණා යෙහෝවාගේ පවුලට ආයෙත් එකතු වෙන්න. මාව හම්බ වෙන්න ආපු වැඩිමහල්ලෝ එදා මාව ආදරෙන් පිළිගත්තා. යෙහෝවාව අත්හැරලා ගිය එක ගැන මට ලොකු දුකක් තිබුණා. සමහර වෙලාවට හැම දේම අත්හැරලා දාන්න මට හිතුණා. හැබැයි වැඩිමහල්ලෝ මට මතක් කරා යෙහෝවායි, යේසුයි කැමති මං සභාවේ අයත් එක්ක ඉන්නවා දකින්න කියලා. මාව ආයෙත් සභාවට පිළිගත්තාට පස්සේ සභාවේ හැමෝම මාවයි, මගේ පවුලේ අයවයි ආදරෙන් පිළිගත්තා. පස්සේ මගේ නෝනාත් බයිබලේ පාඩම් කරා. දැන් පවුලක් විදිහට අපි හැමෝම යෙහෝවාට සතුටින් සේවේ කරනවා.” යෙහෝවාව අත්හැරලා ගිය අයට ආයෙත් සභාවට එන්න සභාවේ හැමෝම උදව් කරනවා දකිද්දී අපේ උත්තම පූජකයාට කොච්චර සතුටක් දැනෙනවා ඇද්ද!
16. අනුකම්පාවෙන් පිරුණු උත්තම පූජකයෙක් අපිට ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්නේ ඇයි?
16 යේසුස් මේ පොළොවේ ඉද්දී ගණන් කරන්න බැරි තරම් දෙනෙක්ට උදව් ඕනෙම වෙලාවේදී ඒ උදව් දුන්නා. ඒ නිසා අද අපිටත් ස්ථිර වෙන්න පුළුවන් යේසුස් අපිටත් උදව් ඕනෙම කරන වෙලාවට උදව් දෙයි කියලා. ළඟදීම අලුත් පොළොව ආවාම පව්කාරකමින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න යේසුස් කීකරු මිනිස්සුන්ට උදව් කරනවා. අපිට අනුකම්පාව පෙන්නන, අපිව තේරුම්ගන්න උත්තම පූජකයා විදිහට තමන්ගේ පුතාව පත් කළේ යෙහෝවා අපිට ගොඩක් ආදරේ කරන නිසයි. අපි ඒ ගැන ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!
ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්
a අතීතයේ හිටපු යුදෙව් උත්තම පූජකයාගේ කාර්යය යේසුස් කරන්නේ කොහොමද කියලා දැනගන්න 2023 ඔක්තෝබර් ‘මුරටැඹ’ සඟරාවේ “සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව අගය කරන්න” කියන ලිපියේ 26 පිටුවේ 7-9 ඡේද බලන්න.
b නම වෙනස් කරලා තියෙනවා.