ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 නොවැම්බර් 22-27 පි.
  • ඔයා ගොඩක් වටින කෙනෙක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා ගොඩක් වටින කෙනෙක්!
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වටිනාකම තේරුම්ගන්න යේසුස් උදව් කළා
  • යෙහෝවා බලන විදිහට බලන්න
  • “මං ස්වාමීන්ව දැක්කා!”
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ගේ සෙනෙහස ඔයාට දැනෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවස් 40න් ඉගෙනගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 නොවැම්බර් 22-27 පි.

පාඩම් ලිපිය 47

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

ඔයා ගොඩක් වටින කෙනෙක්!

“දෙවියන්ට ඔයාව ගොඩක් වටිනවා.”—දානි. 9:23.

ලිපියේ අරමුණ

තමන් වටින්නේ නැහැ කියලා හිතන අයට යෙහෝවාට ඇත්තටම එයාලව වටිනවා කියලා තේරුම්ගන්න මේ ලිපිය උදව් කරනවා.

1-2. යෙහෝවාට අපිව හුඟක් වටිනවා කියලා ස්ථිර කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

යෙහෝවාගේ සෙනඟ අතරේ ඉන්න සමහරුන්ට හිතෙනවා එයාලා වැදගත් නැහැ, එයාලා වටින්නේ නැහැ කියලා. සමහරවිට එයාලට එහෙම හිතෙනවා ඇත්තේ එයාලට අනිත් අය නරක විදිහට සලකලා තියෙන හින්දා වෙන්න ඇති. ඔයාටත් හිතෙනවාද ඔයා වටින්නේ නැහැ කියලා? එහෙමනම් යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා කියලා ස්ථිර කරගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?

2 යෙහෝවා කැමති අපි මිනිස්සුන්ට කොයි විදිහට සලකනවා දකින්නද කියලා පෙන්නන බයිබල් වාර්තා බලන එක ඒක කරන්න ඔයාට උදව් වෙයි. යෙහෝවාගේ පුතා වන යේසුස් මිනිස්සුන්ට සැලකුවේ ආදරෙන්, ගෞරවෙන්. ඒකෙන් ඔහු පෙන්නුවා ඔහුටත් ඔහුගේ තාත්තාටත් තමන් ගැන අඩුවෙන් හිතන, නිහතමානී අයව කොච්චර වටිනවාද කියලා. (යොහ. 5:19; හෙබ්‍රෙ. 1:3) ඉතින් අපි මේ ලිපියෙන් මේ ප්‍රශ්න දෙකට උත්තර බලමු. (1) යේසුස් කොහොමද මිනිස්සුන්ට උදව් කළේ එයාලා දෙවියන්ට වටිනවා කියලා තේරුම්ගන්න? (2) යෙහෝවාට අපිව වටිනවා කියලා අපිටම ස්ථිර කරගන්න පුළුවන් කොහොමද?—හග්. 2:7.

වටිනාකම තේරුම්ගන්න යේසුස් උදව් කළා

3. යේසුස්ගේ උදව් ඉල්ලන් ආපු ගලීලයේ අයට ඔහු සැලකුවේ කොහොමද?

3 ගලීලයේ සේවේ කරද්දී යේසුස්ට ඇහුම්කන් දෙන්න, ඔහුගෙන් සුවයක් ලබන්න හුඟක් අය ඔහු ළඟට ආවා. යේසුස් තේරුම්ගත්තා එයාලා ‘එඬේරෙක් නැති බැටළුවෝ වගේ දරුණු විදිහට හිරිහැර විඳිනවා’ කියලා. “එයාලව අත්හැරලා දාලා කියලත්” ඔහු දැක්කා. (මතෙ. 9:36) ආගමික නායකයන් එයාලව සත පහකට ගණන් ගත්තේ නැහැ. කොච්චරද කියනවා නම් එයාලා ඒ මිනිස්සුන්ට කිව්වේ “කිසි වැඩකට නැති” අය කියලා. (යොහ. 7:47-49) හැබැයි යේසුස් එයාලට උගන්නන්න, එයාලාගේ ලෙඩ සුව කරන්න කාලේ ගත්ත එකෙන් ඔහුට එයාලව කොච්චර වටිනවාද, ඔහු එයාලට කොච්චර ආදරෙයිද කියලා පෙන්නුවා. (මතෙ. 9:35) ඒ වගේම තව හුඟදෙනෙක්ට උදව් කරන්න ඕනෙ නිසා දේශනා කරන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව පුහුණු කළා. ලෙඩ සුව කරන්න එයාලට බලයත් දුන්නා.—මතෙ. 10:5-8.

4. තමන්ව වටින්නේ නැහැ කියලා හිතුණ අයට යේසුස් සලකපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

4 සමාජයෙන් පහත් කරලා සලකපු අයට ආදරෙන්, ගෞරවෙන් සලකලා යේසුස් පෙන්නුවා ඔහුටයි, ඔහුගේ තාත්තාටයි එයාලව කොච්චර වටිනවාද කියලා. යෙහෝවාට සේවේ කළත් ඔයා වටින්නේ නැහැ කියලා ඔයාටත් හිතෙනවාද? එහෙමනම් යේසුස් ළඟට ආපු නිහතමානී අයට ඔහු සලකපු විදිහ මතක් කරගන්න. ඒක ඔයාට උදව් වෙයි යෙහෝවාට ඔයාව කොච්චර වටිනවාද කියලා තේරුම්ගන්න.

5. ගලීලයේදී යේසුස්ට හම්බ වුණ කාන්තාව ගැන අපි දන්නේ මොනවාද?

5 යේසුස් ඉගැන්නුවේ ලොකු පිරිසකට විතරක් නෙවෙයි, ඔහු තනි තනි අයටත් අවධානය දුන්නා. ගලීලයේ ඉද්දී යේසුස්ට අසාමාන්‍ය ලෙඩක් තිබුණ කාන්තාවක්ව හම්බ වුණා. එයා අවුරුදු 12ක් තිස්සේ ලේ ගැලීමක් නිසා පීඩා විඳපු කෙනෙක්. (මාක් 5:25) එයාගේ අසනීපේ නිසා නීතියට අනුව එයාව සැලකුවේ අපවිත්‍ර කෙනෙක් විදිහට. එයාව අල්ලන අයත් අපවිත්‍ර වෙනවා. ඒ නිසා එයා හුඟක් වෙලාවට හිටියේ අනිත් අයගෙන් වෙන් වෙලා, තනියම. එයාට දෙවියන්ගේ සෙනඟ එක්ක එකතු වෙලා නමස්කාරයේ දේවලට හවුල් වෙන්න, උත්සවවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. (ලෙවී. 15:19, 25) ඒ දේවලින් පේනවා එයා ශාරීරිකව වගේම මානසිකවත් ගොඩක් දුක් වින්දා කියලා.—මාක් 5:26.

6. සනීප වෙන්න ඒ කාන්තාව කළේ මොකක්ද?

6 පීඩා විඳපු මේ කාන්තාවට ඕනෙ වුණා යේසුස්ගෙන් සුවය ලබන්න. හැබැයි එයා කෙළින්ම යේසුස්ට ගිහින් කිව්වේ නැහැ “මාව සුව කරන්න” කියලා. සමහරවිට එයාට තිබුණ අසනීපේ ගැන යේසුස්ට කියන්න එයාට ලැජ්ජා හිතෙන්න ඇති. එහෙම නැත්නම් එයා අපවිත්‍ර නිසා මිනිස්සු ළඟට ගිය එක ගැන යේසුස් එයාට බණියි කියලා එයාට හිතෙන්න ඇති. ඉතින් එයා හිමීට යේසුස්ගේ ඇඳුම අල්ලනවා. මොකද එයාට ලොකු විශ්වාසයක් තිබ්බා එහෙම කළොත් එයා සුව වෙයි කියලා. (මාක් 5:27, 28) එයා හිතපු දේ හරි. එයාගේ විශ්වාසෙට ආශීර්වාද ලැබුණා. එයා සුව වුණා. ඊටපස්සේ යේසුස් ඇහුවා “මාව ඇල්ලුවේ කවුද” කියලා. ඒ වෙලාවේ වෙච්ච හැම දෙයක්ම එයා යේසුස්ට කිව්වා. ඒක ඇහුවාම යේසුස් මොනවාද කළේ?

7. දුක් විඳපු ඒ කාන්තාවට යේසුස් සැලකුවේ කොහොමද? (මාක් 5:34)

7 යේසුස් ඒ කාන්තාවට හරිම ආදරෙන්, ගෞරවෙන් සැලකුවා. ඔහු දැක්කා එයා ඉන්නේ “බයෙන් වෙවුල වෙවුල” කියලා. (මාක් 5:33) එයාගේ හැඟීම් තේරුම්ගත්ත නිසා යේසුස් එයාට කතා කළේ කාරුණිකව, දිරිගැන්වෙන විදිහට. යේසුස් එයාට “දුවේ” කියලා කිව්වා. ඒක නිකම්ම ගෞරවේ පෙන්නන්න කියන දෙයක් නෙවෙයි, ආදරෙන් පෙලඹිලා කියන දෙයක්. (මාක් 5:34 කියවන්න.) බයිබල් වාර්තාවල පෙන්නන විදිහට යේසුස් කාන්තාවකට “දුවේ” කියලා කියපු එකම අවස්ථාව මේක. සමහරවිට යේසුස් එහෙම කිව්වේ එයා ගොඩක් බයෙන් හිටපු නිසා වෙන්න ඇති. චුට්ටක් හිතන්න, ඒ වචන ඇහෙද්දී ඒ කාන්තාවට කොහොම දැනෙන්න ඇද්ද කියලා. හැබැයි යේසුස් එයාව දිරිගැන්වෙන විදිහට කතා කළේ නැත්නම් මොනවා වෙන්න තිබුණාද? එයා සනීප වුණත් එයා ගෙදර යන්නේ ලොකු බරක් හිතේ තියාගෙන. හැබැයි යේසුස් එහෙම වෙන්න දුන්නේ නැහැ. ඔහු ඒ කාන්තාවට පෙන්නුවා ස්වර්ගයේ ඉන්න එයාගේ තාත්තා එයාව සලකන්නේ ගොඩක් වටින දුවෙක් විදිහට කියලා.

8. බ්‍රසීලයේ හිටපු සහෝදරියකට තිබ්බේ මොන වගේ අභියෝගද?

8 අසනීප නිසා අදත් සමහර දෙවියන්ගේ සේවකයන්ට දැනෙනවා එයාලා කිසිම වටිනාකමක් නැති අය කියලා. බ්‍රසීලයේ පුරෝගාමි කරන සහෝදරි මරියාa ඒ වගේ කෙනෙක්. එයා ඉපදුණේම කකුල් දෙකයි, වම් අතයි නැතුව. එයා මෙහෙම කියනවා. “මගේ මේ ආබාධය නිසා ඉස්කෝලෙන් මට හරියට කරදර ආවා. එක එක නම් කියලා ළමයි මට විහිළු කරා. මගේම පවුලේ අය මට සැලකුවේ මං කිසිම වැඩකට නැති කෙනෙක් ගාණට.”

9. යෙහෝවාට මරියාව ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න එයාට උදව් වුණේ මොකක්ද?

9 ඒ තත්වෙන් ගොඩ එන්න මරියාට උදව් වුණේ මොකක්ද? එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණාට පස්සේ සහෝදරයන් එයාව ගොඩක් සැනසුවා. එයාලා එයාට උදව් කළා යෙහෝවා එයා දිහා බලන විදිහට බලන්න. මරියා මෙහෙම කියනවා. “කීදෙනෙක් මට උදව් කරාද කියනවා නං එයාලාගේ නම් ලියන්න ගියොත් මගේ පොතේ ඉඩත් නැති වෙයි. මේ වගේ පවුලක් දුන්න එකට යෙහෝවාට මං අනේක වාරයක් ස්තුති කරනවා.” සහෝදර සහෝදරියන් මරියාට උදව් කළා යෙහෝවාට එයාව ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න.

10. මරියා මග්දලේනා මූණ දුන්නේ මොන වගේ දේවලටද? ඒක එයාට බලපෑවේ කොහොමද? (පින්තූරත් බලන්න.)

10 යේසුස් උදව් කරපු තව කෙනෙක් තමයි මරියා මග්දලේනා. එයා භූතයෝ හත්දෙනෙක් නිසා පීඩා විඳපු කෙනෙක්. (ලූක් 8:2) එයා මූණ දුන්න ඒ තත්වේ නිසා එයා හැසිරෙන්න ඇත්තේ හරිම අමුතු විදිහට. ඉතින් මිනිස්සු එයා ළඟට යන්නවත් කැමති නැති වෙන්න ඇති. මේ අමාරු කාලේ පුරාම මරියාට හිතෙන්න ඇති කවුරුත් එයාව ගණන් ගන්නේ නැහැ කියලා. එයා අසරණ වෙලා, තනි වෙලා කියලා එයාට දැනෙන්න ඇති. යේසුස් ඒ භූතයන්ව එළවලා දැම්මාට පස්සේ මරියා යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා. යෙහෝවාට මරියාව ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න යේසුස් උදව් කළේ තව මොන විදිවලින්ද?

පින්තූරවල අදහස: 1. අඳුරු තැනක දණ ගහගෙන දුකින් ඉන්න මරියා මග්දලේනා දිහා යේසුස් බලාගෙන ඉන්නවා. 2. යේසුස් සහ එයාගේ ගෝලයෝ එක්ක මරියා මග්දලේනා සතුටින් ඇවිදගෙන යනවා.

යෙහෝවාට මරියා මග්දලේනාව ගොඩක් වටිනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (10-11 ඡේද බලන්න)


11. මරියා මග්දලේනාව යෙහෝවාට ගොඩක් වටිනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (පින්තූරත් බලන්න.)

11 යේසුස් ගමින් ගමට දේශනා කරන්න යද්දී ඔහුත් එක්ක එන්න මරියා මග්දලේනාටත් අවස්ථාව දුන්නා.b ඒ නිසා එයාට පුළුවන් වුණා යේසුස් අනිත් අයට උගන්නද්දී ඒවාට ඇහුම්කන් දෙන්න. ඒ වගේම යේසුස් නැවත නැඟිට්ට දවසෙත් මරියා ඉස්සරහා පෙනී හිටියා. ඇත්තටම එදා යේසුස් මුලින්ම කතා කරපු ගෝලයන්ගෙන් කෙනෙක් තමයි මරියා. ඒ විතරක් නෙවෙයි යේසුස් නැවත නැඟිට්ටාම ඒ ගැන ගිහින් ගෝලයන්ට කියන්න කියලා කිව්වෙත් මරියාට. ඒ විදිවලින් යේසුස් එයාට පෙන්නුවා යෙහෝවාට එයාව ගොඩක් වටිනවා කියලා.—යොහ. 20:11-18.

12. තමන් වටින්නේ නැහැ කියලා ලිඩියාට දැනුණේ ඇයි?

12 මරියා මග්දලේනා වගේම අදත් සමහර අයට දැනෙන්නේ එයාලව කාටවත් වටින්නේ නැහැ කියලා. ස්පාඤ්ඤයේ ඉන්න සහෝදරි ලිඩියා ඒ වගේ කෙනෙක්. එයා ඉපදෙන්න කලින්ම එයාගේ අම්මාට ඕනෙ වුණා එයාව ගබ්සා කරන්න. පොඩි කාලේ ඉඳන්ම අම්මා එයාව පැත්තකට දාලා තියෙනවා කියලා එයාට දැනුණා. අම්මා එයාට කතා කළේ හරිම නපුරු විදිහට. එයා මෙහෙම කියනවා. “මගේ ජීවිතේ එකම ඉලක්කය වුණේ අනිත් අය මාව පිළිගන්නවා දකින එක. එයාලාගේ ආදරේ ලබන කෙනෙක් වෙන එක. මට ලොකු බයක් තිබුණා කවුරුත් මට ආදරේ කරන එකක් නෑ කියලා. මොකද පොඩි කාලේ ඉඳන්ම මාව නරක කෙනෙක් ගාණට දාලා තමයි අම්මා මට සැලකුවේ.”

13. යෙහෝවාට ලිඩියාව වටිනවා කියලා තේරුම්ගන්න එයාට උදව් වුණේ මොකක්ද?

13 සත්‍යය ඉගෙනගත්තාට පස්සේ යාච්ඤාව, බයිබල් අධ්‍යයනය, සහෝදරයන් ආදරෙන් කරපු කියපු දේවල් ලිඩියාට උදව් වුණා යෙහෝවාට එයාව කොච්චර වටිනවාද කියලා තේරුම්ගන්න. එයා මෙහෙම කියනවා. “මගේ මහත්තයා නිතරම මට කියනවා එයා මට කොච්චර ආදරෙයිද කියලා. එයා හැම වෙලේම මගේ හොඳ පැති කියලා මාව අගය කරනවා. මගේ යාළුවොත් එහෙමයි.” තමන්ව යෙහෝවාට ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න උදව් ඕනෙ කෙනෙක්ව ඔයාටත් මතක් වෙනවාද?

යෙහෝවා බලන විදිහට බලන්න

14. යෙහෝවා මිනිස්සු දිහා බලන විදිහ තේරුම්ගන්න 1 සාමුවෙල් 16:7 අපිට උදව් වෙන්නේ කොහොමද? (“යෙහෝවාට ඔහුගේ සෙනඟව වටින්නේ ඇයි?” කියන කොටුවත් බලන්න.)

14 මිනිස්සු ඔයා දිහා බලන විදිහට නෙවෙයි යෙහෝවා ඔයා දිහා බලන්නේ කියලා මතක තියාගන්න. (1 සාමුවෙල් 16:7 කියවන්න.) ඔයාගේ පෙනුම, ඔයාට සමාජයේ තියෙන තත්වේ, ඔයා ලබපු අධ්‍යාපනය දිහා බලලා නෙවෙයි යෙහෝවා ඔයාගේ වටිනාකම මනින්නේ. (යෙසා. 55:8, 9) ඒ නිසා මේ ලෝකේ මිනිස්සු ඔයා දිහා බලන විදිහට නෙවෙයි, යෙහෝවා ඔයා දිහා බලන විදිහට බලන්න උත්සාහ කරන්න. ඒකට, තමන් වටින්නේ නැහැ කියලා හිතුණත් යෙහෝවා එයාලව වටින අය විදිහට සැලකුවා කියලා පෙන්නන වාර්තා බයිබලෙන් අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්. ඒ වගේ කීපදෙනෙක් තමයි එලියා, නායොමි සහ හන්නා. ඒ වගේම යෙහෝවා ඔයාට ආදරෙයි කියලත් ඔහුට ඔයාව වටිනවා කියලත් ඔයාට දැනුණ අවස්ථා ගැන පොතක ලියන එකත් ඔයාට උදව් වෙයි. ඊට අමතරව මේ විෂය ගැන තොරතුරු අපේ ප්‍රකාශනවලින් හොයලා බලන්නත් ඔයාට පුළුවන්.c

යෙහෝවාට ඔහුගේ සෙනඟව වටින්නේ ඇයි?

යෙහෝවා මිනිස්සුන්ව නිර්මාණය කළේ සතුන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට. ඔහු අපිව නිර්මාණය කරපු විදිහ නිසා අපිට ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඔහුගේ යාළුවෝ වෙන්න පුළුවන්. (උත්. 1:27; ගීතා. 8:5; 25:14; යෙසා. 41:8) ඒකම ඇති යෙහෝවාට අපිව හුඟක් වටිනවා කියලා තේරුම්ගන්න. හැබැයි එහෙම කියන්න ඊට වඩා වැදගත් හේතුවක් තියෙනවා. අපි යෙහෝවාට ළං වෙන්න, ඔහුට කීකරු වෙන්න, අපේ ජීවිත ඔහුට කැප කරන්න තීරණේ කළොත් අපේ දෙවියන් සහ නිර්මාතෘ විදිහට යෙහෝවා ඉස්සරහා අපි තවත් වටින අය වෙනවා.—යෙසා. 49:15.

15. “ඔයාව ගොඩක් වටිනවා” කියලා දෙවියන් දානියෙල්ට කිව්වේ ඇයි? (දානියෙල් 9:23)

15 ඔයාගේ විශ්වාසවන්තකම නිසා යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න. පේන විදිහට අවුරුදු 100ට කිට්ටු වෙලා ඉද්දී දානියෙල්ට ‘ලොකු මහන්සියක්’ දැනුණා. එයා හොඳටම අධෛර්යය වුණා. (දානි. 9:20, 21) යෙහෝවා එයාව ශක්තිමත් කළේ කොහොමද? ගාබ්‍රියෙල් දේවදූතයාව එවලා දානියෙල්ව “ගොඩක් වටිනවා” කියලා දෙවියන් එයාට මතක් කළා. එයාගේ යාච්ඤාවලට ඔහු ඇහුම්කන් දෙනවා කියලත් කිව්වා. (දානියෙල් 9:23 කියවන්න.) යෙහෝවාට දානියෙල්ව එච්චර වටින කෙනෙක් වුණේ ඇයි? දානියෙල්ට තිබ්බ අනිත් ලස්සන ගුණාංගවලට අමතරව එයා හරි දේ කරන්න කැමති, විශ්වාසවන්ත කෙනෙක් නිසයි යෙහෝවා එයාට ගොඩක් ආදරේ කළේ. (එස. 14:14) යෙහෝවා එයාගේ ජීවිත කතාව බයිබලේට ඇතුළත් කළේ අපිව සනසන්න. (රෝම 15:4) යෙහෝවා ඔයාගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙනවා. හරි දේ කරන්න ඔයාට තියෙන කැමැත්ත නිසා, ඔයාගේ විශ්වාසවන්තකම නිසා යෙහෝවාට ඔයාවත් ගොඩක් වටිනවා.—මීකා 6:8, පාදසටහන්; හෙබ්‍රෙ. 6:10.

16. යෙහෝවාව ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකින්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?

16 ඔයාට ආදරේ කරන තාත්තා කෙනෙක් විදිහට යෙහෝවාව දකින්න. ඔහුට ඕනෙ ඔයාගේ ඇදයක් හොයන්න නෙවෙයි, ඔයාට උදව් කරන්න. (ගීතා. 130:3; මතෙ. 7:11; ලූක් 12:6, 7) ඒ ගැන හිතන එක හුඟක් අයට උදව් වෙලා තියෙනවා තමන් වටින්නේ නැහැ කියන හැඟීම්වලින් ගොඩ එන්න. උදාහරණෙකට ස්පාඤ්ඤයේ ඉන්න සහෝදරි එලියානාගේ අද්දැකීම බලන්න. අවුරුදු ගාණක් තිස්සේ එයාගේ මහත්තයා එයාගේ හිත රිදෙන විදිහට එයාව පහත් කරලා කතා කරපු නිසා එයාට දැනුණේ එයාගේ කිසිම වටිනාකමක් නැහැ කියලා. එයා මෙහෙම කියනවා. “මගෙන් වැඩක් නෑ කියලා හිතුණ හැම වෙලාවකම යෙහෝවා මාව වඩාගෙන යන විදිහ, ඔහු මට ආදරේ පෙන්නලා මාව බලාගන්න විදිහ මං හිතින් මවාගත්තා.” (ගීතා. 28:9) දකුණු අප්‍රිකාවේ ඉන්න සහෝදරි ලෝරන් මෙහෙම කියනවා. “ආදරේ කියන රැහැන්වලින් යෙහෝවා මාව ඇදලා ගත්තා නං, ඔහු අවුරුදු ගාණක් තිස්සේ මාව ඔහු ළඟ තියං ඉන්නවා නං, අනිත් අයට ඔහු ගැන උගන්නන්න ඔහු මාව පාවිච්චි කරනවා නං ඔහුට මාව වටින්නේ නෑ කියලා මං හිතන්නේ කොහොමද?”—හොෂෙ. 11:4.

17. යෙහෝවාගේ අනුමැතිය ඔයාට තියෙනවා කියලා ස්ථිර කරගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? (ගීතාවලිය 5:12) (පින්තූරයත් බලන්න.)

17 යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා කියලා ස්ථිර වෙන්න. (ගීතාවලිය 5:12 කියවන්න.) දාවිත්, යෙහෝවාගේ අනුමැතිය ධර්මිෂ්ඨ අයව ආරක්ෂා කරන “විශාල පලිහකට” සමාන කළා. යෙහෝවාගේ අනුමැතිය, උදව් තියෙනවා කියලා දැනන් ඉන්න එක තමන්ව වටින්නේ නැහැ කියන හැඟීම්වලින් ආරක්ෂා වෙන්න අපිට උදව් වෙනවා. ඒත් යෙහෝවාගේ අනුමැතිය අපිට තියෙනවා කියලා හරියටම දන්නේ කොහොමද? යෙහෝවා ඔහුගේ වචනය මාර්ගයෙන් ඒක සහතික කරනවා. ඊට අමතරව ඔහු වැඩිමහල්ලන්ව, කිට්ටු යාළුවන්ව, තවත් අයව පාවිච්චි කරලා අපිට මතක් කරනවා ඔහුට අපිව කොච්චර වටිනවාද කියලා. ඉතින් අනිත් අය අපේ හොඳ පැති පෙන්නලා අපිව දිරිගන්වද්දී අපි ඒක භාරගන්න ඕනෙ කොහොමද?

සහෝදරියන් දෙන්නෙක් සතුටින් සේවේ යන්න නමස්කාර මධ්‍යස්ථානයෙන් එළියට එනවා. එක සහෝදරියක් අනිත් සහෝදරියගේ කරට අත දාගෙන ඉන්නවා.

යෙහෝවාගේ අනුමැතිය අපිට තියෙනවා කියලා දැනන් ඉන්න එක අපි ගැනම අඩුවෙන් හිතන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙනවා (17 ඡේදය බලන්න)


18. අනිත් අය ඔයාව අගය කරද්දී ඔයා ඒක පිළිගන්න ඕනෙ ඇයි?

18 ඔයාව දන්න, ඔයාට ආදරේ කරන අය ඔයාගේ හොඳ පැති පෙන්නලා ඔයාව අගය කරද්දී ඒක විශ්වාස කරන්න. මොකද යෙහෝවා තමයි එයාලා මාර්ගයෙන් ඔහුට ඔයාව කොච්චර වටිනවාද කියලත් ඔහුගේ අනුමැතිය ඔයාට තියෙනවා කියලත් මතක් කරන්නේ. කලින් කතා කරපු එලියානා මෙහෙම කියනවා. “අනිත් අය ආදරෙන් කියන දේවල් මං ටිකෙන් ටික විශ්වාස කරන්න ඉගෙනගත්තා. ඒක ලේසි නෑ. හැබැයි මං දන්නවා ඒක තමයි යෙහෝවා මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා.” යෙහෝවාගේ ආදරේ තේරුම්ගන්න ආදරණීය එඬේරුන් එලියානාට උදව් කළා. දැන් එයා පුරෝගාමි සේවේ කරනවා. ගෙදර ඉඳන් බෙතෙල් එකටත් උදව් කරනවා.

19. යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා කියලා ඔයාට ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

19 ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපිව කොච්චර වටිනවාද කියලා යේසුස් ආදරෙන් මතක් කරනවා. (ලූක් 12:24) ඒ නිසා ඔයාව යෙහෝවාට වටිනවා කියන එක කවදාවත් අමතක කරන්න එපා. ඒ වගේම පුළුවන් හැම විදිහකින්ම යෙහෝවාට එයාලව ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න අනිත් අයටත් උදව් කරන්න.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවාට එයාලව ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න යේසුස් මිනිස්සුන්ට උදව් කළේ කොහොමද?

  • ලේ ගැලීමක් නිසා දුක් විඳපු කාන්තාවට යේසුස් උදව් කළේ කොහොමද?

  • යෙහෝවා බලන විදිහට අපි දිහා බලන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

ගීතිකාව 139 පාරාදීසය සිතින් මවාගන්න

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b පේන විදිහට යේසුස් එක්ක ගිය කාන්තාවන් අතරේ මරියා මග්දලේනාත් හිටියා. මේ කාන්තාවන් එයාලට තියෙන දේවල් පාවිච්චි කරලා යේසුස්වයි, ඔහුගේ නියෝජිතයන්වයි බලාගත්තා.—මතෙ. 27:55, 56; ලූක් 8:1-3.

c උදාහරණෙකට ‘යෙහෝවාට ළං වෙන්න’ පොතේ 24වෙනි පරිච්ඡේදයත් ‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ පොතේ “සැකයන්” කියන විෂය යටතේ තියෙන බයිබල් පද සහ බයිබල් වාර්තාත් බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න