පාඩම් ලිපිය 11
ගීතිකාව 57 සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ
යේසුස් වගේ උද්‍යෝගයෙන් දේශනා කරන්න
‘ස්වාමීන් එයාලව දෙන්නා ගාණේ පිටත් කරලා යැව්වා. ඔහු යන්න හිටිය හැම නගරයකටම සහ ප්‍රදේශයකටම ඔහු යන්න කලින් එයාලව යැව්වා.’—ලූක් 10:1.
ලිපියේ අරමුණ
යේසුස්ට තිබුණ උද්‍යෝගය ඔයාට ආදර්ශයට ගන්න පුළුවන් පැති හතරක් බලමු.
1. අනිත් ක්‍රිස්තියානීන්ට වඩා යෙහෝවාගේ සෙනඟ වෙනස් වෙන්නේ කොහොමද?
යෙහෝවාගේ සෙනඟ හරිම උද්‍යෝගයෙන්a ශුභාරංචිය දේශනා කරනවා. ඒක එයාලා අනිත් ක්‍රිස්තියානීන්ට වඩා වෙනස් වෙන්න එක හේතුවක්. (තීත. 2:14) හැබැයි සමහර වෙලාවට අපේ උද්‍යෝගය අඩු වෙන්න පුළුවන්. මහන්සි වෙලා තමන්ගේ පැවරුම කරන වැඩිමහල්ලෙක් කියනවා “සමහර දවස්වලට සේවේ යන්න හිතෙන්නෙම නෑ” කියලා. සමහරවිට ඔයාටත් එහෙම දැනෙනවා ඇති.
2. උද්‍යෝගයෙන් දිගටම සේවේ කරන්න අමාරු ඇයි?
2 සමහර වෙලාවට අපි ශුභාරංචිය දේශනා කරන්න යනවාට වඩා ආසයි යෙහෝවාට වෙනත් විදිවලින් සේවේ කරන්න. ඒ ඇයි? අපි නමස්කාරයට සම්බන්ධ ගොඩනැඟිලි ඉදි කිරීම්වලට හවුල් වෙද්දී, සහන සේවා වැඩවලට හවුල් වෙද්දී, සහෝදරයන්ව දිරිගන්වද්දී ඒකේ ප්‍රතිඵල අපි ඉක්මනින්ම දකිනවා. සහෝදරයෝ එක්ක ආශ්‍රය කරද්දී අපි ආදරේ, සමාදානය අද්දකිනවා. අපි දන්නවා එයාලා අපිව ගොඩක් අගය කරනවා කියලා. හැබැයි සේවේ යන එක ඊට වඩා වෙනස්. සමහර වෙලාවට අපි අවුරුදු ගාණක් තිස්සේ යන්නේ එකම පැත්තේ. අපේ පණිවිඩේ අහන්නෙත් එක් කෙනායි, දෙන්නායි. තවත් අය අහනවා තියා අපි දිහා බලන්නෙවත් නැහැ. අවසානය ළඟ ළඟම එන නිසා අපිට ගොඩක් විරුද්ධවාදිකම් එනවා කියලත් අපි දන්නවා. (මතෙ. 10:22) ඒ වගේ දේවලට මූණ දෙද්දී උද්‍යෝගය දිගටම තියාගන්න, ඒක වැඩි කරගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
3. ලූක් 13:6-9 තියෙන උදාහරණෙන් යේසුස් ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
3 දිගටම උද්‍යෝගයෙන් දේශනා කරන්න අපිට යේසුස්ගෙන් දෙයක් ඉගෙනගන්න පුළුවන්. යේසුස් මේ පොළොවේ සේවේ කරද්දී කවදාවත් උද්‍යෝගය අඩු කරගත්තේ නැහැ. කාලේ යන්න යන්න ඔහුගේ සේවේ ඔහු තවත් වැඩි කළා. (ලූක් 13:6-9 කියවන්න.) මිදිවත්තක් ගැන යේසුස් කියපු උදාහරණේ හිටපු කෙනා අවුරුදු තුනක් තිස්සේ මහන්සි වෙලා අත්තික්කා ගහට සාත්තු කළත් ඒකේ එක ගෙඩියක්වත් ආවේ නැහැ. ඒ වගේ යේසුත් අවුරුදු තුනක් තිස්සේ යුදෙව්වන්ට දේශනා කළත් එයාලාගෙන් හුඟදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් වුණේ නැහැ. හැබැයි ඒ මිදිවත්තේ වැඩ කරපු කෙනා වගේම යේසුත් බලාපොරොත්තු අත්හැරියෙවත් සේවේ අඩු කළේවත් නැහැ. ඒ වෙනුවට මිනිස්සුන්ගේ හදවතට කාවදින විදිහට පණිවිඩේ කියන්න ඔහු තවත් මහන්සි වුණා.
4. යේසුස්ගේ ආදර්ශයෙන් අපි බලන්න යන දේවල් හතර මොකක්ද?
4 අපි මේ ලිපියෙන් බලනවා යේසුස් සේවේ කරපු අන්තිම මාස හයේදී ඔහු කොහොමද උද්‍යෝගයෙන් ඒක කළේ කියලා. ඔහු උගන්නපු දේවල්වලින් ඉගෙනගන්න එකෙන්, ඔහු කරපු දේවල් ආදර්ශයට ගන්න එකෙන් අපිටත් පුළුවන් දිගටම උද්‍යෝගය තියාගන්න. ඒ නිසා අපි යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් පැති හතරක් බලමු. (1) යේසුස් දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දුන්නා. (2) ඔහු බයිබල් අනාවැකි ගැන අවධානයෙන් හිටියා. (3) යෙහෝවා උදව් කරයි කියලා යේසුස් විශ්වාස කළා. (4) කීපදෙනෙක් හරි ශුභාරංචිය අහයි කියලා ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා.
ඔහු යෙහෝවාගේ කැමැත්තට මුල් තැන දුන්නා
5. යෙහෝවාගේ කැමැත්තට මුල් තැන දුන්නා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?
5 යේසුස් හරිම උද්‍යෝගයෙන් “දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කළා. මොකද ඔහු දැනන් හිටියා යෙහෝවා ඒක ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා කියලා. (ලූක් 4:43) දේශනා සේවේ තමයි යේසුස්ගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ. ඔහු පොළොවේ හිටපු අන්තිම මාස කීපයේදීත් “නගරයෙන් නගරයටත් ගමින් ගමටත්” ගිහිල්ලා අනිත් අයට ඉගැන්නුවා. (ලූක් 13:22) ඒ වගේම ඔහුත් එක්ක සේවේ කරන්න ඔහු තව ගෝලයන්වත් පුහුණු කළා.—ලූක් 10:1.
6. අපිට කරන්න තව පැවරුම් තිබුණත් දේශනා සේවේ අපි කොහොම සලකයි කියලද යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ? (පින්තූරයත් බලන්න.)
6 අදත් අපිට තියෙන ප්‍රධානම වැඩේ තමයි දේශනා සේවේ හවුල් වෙන එක. ඒක යෙහෝවායි, යේසුයි අපෙන් බලාපොරොත්තු වෙනවා. (මතෙ. 24:14; 28:19, 20) දෙවියන්ගේ සංවිධානයේ අපි කරන ඕනම පැවරුමක් දේශනා කරන එකත් එක්ක බැඳිලා තියෙනවා. උදාහරණෙකට සංවිධානයේ ගොඩනැඟිල්ලක් ඉදි කරද්දී, බෙතෙල් එකේ සේවේ කරද්දී ඒ කරන පැවරුම දේශනා සේවෙට උදව් වෙනවා. අපි සහන සේවා සපයද්දී සහෝදරයන්ට ඕන කරන දේවල් දෙනවා විතරක් නෙවෙයි එයාලට නමස්කාරයේ දේවල් ආයේ පටන්ගන්නත් අපි උදව් කරනවා. ඒකට දේශනා සේවෙත් ඇතුළත්. යෙහෝවා අපිට දීලා තියෙන ප්‍රධානම වැඩේ දේශනා කරන එකයි කියලා අපි මතක තියාගන්නවා නම් වරද්දන්නේ නැතුව සේවේ හවුල් වෙන්න අපි පෙලඹෙනවා. හංගේරියාවේ ඉන්න වැඩිමහල්ලෙක් වන යානෝෂ් මෙහෙම කියනවා. “මං හැම තිස්සේම මතක් කරගන්නවා වෙන පැවරුමක් නිසා දේශනා සේවේ නොකර ඉන්න මට බෑ කියලා. ඒක තමයි අපිට තියෙන ප්‍රධානම පැවරුම.”
යෙහෝවායි, යේසුයි අද අපිට දීලා තියෙන ප්‍රධානම වැඩේ තමයි ශුභාරංචිය දේශනා කරන එක (6 ඡේදය බලන්න)
7. අපි දිගටම දේශනා සේවේ හවුල් වෙනවා දකින්න යෙහෝවා කැමති ඇයි? (1 තිමෝති 2:3, 4)
7 යෙහෝවාට මිනිස්සු ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න එකෙනුත් සේවේ උද්‍යෝගය වැඩි කරගන්න අපිට පුළුවන්. යෙහෝවා කැමති පුළුවන් තරම් දෙනෙක් ශුභාරංචිය පිළිගන්නවා දකින්න. (1 තිමෝති 2:3, 4 කියවන්න.) ඒ නිසයි මේ ජීවිත ගලවන පණිවිඩේ මිනිස්සුන්ගේ හදවතට කාවදින විදිහට කියන්න යෙහෝවා අපිව පුහුණු කරන්නේ. උදාහරණෙකට ‘ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු’ කියන සඟරාව අපිට උදව් වෙනවා මිනිස්සු එක්ක කතාබහක් පටන්ගන්න. එතකොට කාලෙත් එක්ක එයාලා බයිබලේ පාඩම් කරලා යේසුස්ගේ ගෝලයන් වෙයි. මිනිස්සු අපේ පණිවිඩේ දැන් පිළි නොගත්තත් සමහරවිට එයාලට අවස්ථාව ලැබෙයි මහත් පීඩාව ඉවර වෙන්න කලින් ඒක පිළිගන්න. අපි දැන් එයාලට කියන දේවල් එදාට එයාලට මතක් වෙලා එයාලා යෙහෝවාට සේවේ කරන්න කැමති වෙයි. ඒත් ඒක වෙන්න නම් දැන් අපි අත්නෑර දේශනා කරන්න ඕනේ.
ඔහු බයිබල් අනාවැකිවලට අවධානය දුන්නා
8. කාලය හොඳින් පාවිච්චි කරන්න යේසුස්ට උදව් වුණ බයිබල් අනාවැකි මොනවාද?
8 බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ යේසුස් හරියටම තේරුම් අරන් හිටියා. ඔහු දැනන් හිටියා ඔහු පොළොවේ සේවේ කරන්නේ අවුරුදු තුනහමාරයි කියලා. (දානි. 9:26, 27) ඔහු මැරෙන්නේ කොහොමද, කවදාද කියලත් අනාවැකිවලින් ඔහු තේරුම්ගත්තා. (ලූක් 18:31-34) අනාවැකි ගැන ඔහුට තිබුණ මේ අවබෝධය නිසා ඔහු කාලය හොඳින් පාවිච්චි කළා. ඔහුට භාර දුන්න වැඩේ සම්පූර්ණ කරන්න ඔහු උද්‍යෝගයෙන් දේශනා කළා.
9. උද්‍යෝගයෙන් දේශනා කරන්න බයිබල් අනාවැකි අපිට උදව් වෙන්නේ කොහොමද?
9 බයිබල් අනාවැකි ගැන තියෙන අවබෝධය අපිව පොලඹවනවා උද්‍යෝගයෙන් දේශනා සේවේ කරන්න. අපි දන්නවා මේ සමාජයට ඉතුරු වෙලා තියෙන්නේ හරිම පොඩි කාලයක් කියලා. අද සිද්ධ වෙන දේවලින්, මිනිස්සුන්ගේ ගතිගුණවලින් පේනවා බයිබලේ කියන විදිහට අපි ඉන්නේ අන්තිම කාලේ කියලා. ඒ වගේම බයිබලේ කියනවා “අවසාන කාලයේදී” දකුණේ රජයි, උතුරේ රජයි ගැටෙනවා කියලා. අපි තේරුම් අරන් තියෙනවා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ලෝක බලයයි, රුසියාව සහ ඒකට සහය දෙන රටවලුයි මාර්ගයෙන් ඒ අනාවැකිය දැන් ඉටු වෙනවා කියලා. (දානි. 11:40) දානියෙල් 2:43-45 තියෙන රූපයේ කකුල්වල යට කොටසෙන් නියෝජනය වෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ලෝක අධිරාජ්‍යය කියලත් අපි දන්නවා. ඉතින් අපිට විශ්වාසයි ඒ අනාවැකියේ කියන විදිහට ළඟදීම දේවරාජ්‍යය මේ පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම විනාශ කරනවා කියලා. කාල රේඛාවේ අපි ඉන්න තැන ඒ අනාවැකිවලින් තේරෙනවා. ඒක අපිට උදව් වෙනවා ඉතුරු වෙලා තියෙන මේ කෙටි කාලේදී පුළුවන් තරම් උද්‍යෝගයෙන් දේශනා කරන්න.
10. බයිබල් අනාවැකි අපේ උද්‍යෝගය වැඩි කරන්නේ තව මොන විදිවලින්ද?
10 බයිබල් අනාවැකි ගැන හිතන එක ඒ සත්‍යයන් අනිත් අය එක්ක බෙදාගන්න අපිව පොලඹවනවා. බලන්න ඩොමිනිකන් ජනරජයේ ඉන්න සහෝදරි කේරි කියන දේ. “ලස්සන අනාගතයක් ගැන යෙහෝවා දීලා තියෙන පොරොන්දු ගැන හිතද්දී මං පෙලඹුණා අනිත් අයට ඒවා ගැන කියන්න. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන හිතද්දී මට තේරුණා මේ පොරොන්දු යෙහෝවා දීලා තියෙන්නේ මට විතරක් නෙවෙයි, මේවා මං අනිත් අයටත් කියන්න ඕනෙ කියලා.” බයිබල් අනාවැකිවලින් පේනවා දේශනා සේවේ පිටිපස්සේ යෙහෝවා ඉන්නවා කියලා. ඒකත් සේවේ උද්‍යෝගයෙන් කරන්න අපිව පොලඹනවා. හංගේරියාවේ ඉන්න ලේලා මෙහෙම කියනවා. “යෙසායා 11:6-9 මට උදව් වුණා පණිවිඩේ අහන එකක් නෑ කියලා හිතෙන කෙනෙක් එක්ක වුණත් ඒක බෙදාගන්න. මං දන්නවා යෙහෝවාට පුළුවන් ඕනම කෙනෙක්ට වෙනස් වෙන්න උදව් කරන්න.” සැම්බියාවේ ඉන්න සහෝදර ක්‍රිස්ටෝෆර් මෙහෙම කියනවා. “මාක් 13:10 තියෙන අනාවැකියේ කියනවා ශුභාරංචිය මුළු පොළොව පුරාම ව්‍යාප්ත වෙනවා කියලා. ඒ අනාවැකිය ඉටු කරන්න හවුල් වෙන්න ලැබෙන එක මට ලොකු ගෞරවයක්.” සේවේ උද්‍යෝගයෙන් කරන්න ඔයාව පෙලඹුවේ මොන බයිබල් අනාවැකිද?
යෙහෝවා උදව් කරයි කියලා ඔහු විශ්වාස කළා
11. දිගටම උද්‍යෝගයෙන් දේශනා කරන්න යේසුස් යෙහෝවා මත රැඳෙන එක වැදගත් වුණේ ඇයි? (ලූක් 12:49, 53)
11 දිගටම උද්‍යෝගයෙන් දේශනා කරන්න යෙහෝවා උදව් කරනවා කියලා යේසුස්ට ලොකු විශ්වාසයක් තිබ්බා. සේවේදී යේසුස් මිනිස්සුන්ට ගෞරව කළත් ඔහු දැනන් හිටියා ශුභාරංචිය නිසා මිනිස්සු අතර භේද ඇති වෙයි, විරුද්ධවාදිකම් එයි කියලා. (ලූක් 12:49, 53 කියවන්න.) දේශනා කරපු නිසා ආගමික නායකයන් සැරෙන් සැරේ යේසුස්ව මරන්නත් හැදුවා. (යොහ. 8:59; 10:31, 39) ඒත් ඔහු දිගටම සේවේ කළා. ඔහු දැනන් හිටියා යෙහෝවා ඔහුත් එක්ක ඉන්නවා කියලා. ඒ නිසයි ඔහු මෙහෙම කිව්වේ. ‘මම ඉන්නේ තනියම නෙවෙයි. මාව එවපු පියාණන් එක්කයි. මං හැම වෙලේම ඔහු සතුටු වෙන දේවල් කරන නිසා ඔහු මාව තනි කරන්නේ නැහැ.’—යොහ. 8:16, 29.
12. විරුද්ධවාදිකම් මැද දිගටම දේශනා කරන්න යේසුස් ගෝලයන්ව සූදානම් කළේ කොහොමද?
12 යේසුස් ගෝලයන්ට මතක් කළා එයාලට ඕනම වෙලාවක යෙහෝවා මත රැඳිලා ඉන්න පුළුවන් කියලා. ඔහු ආයේ ආයේ එයාලට කිව්වා පීඩා ආවත් එයාලාගේ උදව්වට යෙහෝවා ඉන්නවා කියලා. (මතෙ. 10:18-20; ලූක් 12:11, 12) පීඩා එනවා කියලා දැනන් හිටපු නිසා විමසිල්ලෙන් දේවල් කරන්න කියලත් ඔහු කිව්වා. (මතෙ. 10:16; ලූක් 10:3) පණිවිඩේ අහන්න අකමැති අයට ඒක බලෙන් දෙන්න එපා කියලත් යේසුස් කිව්වා. (ලූක් 10:10, 11) විරුද්ධවාදිකම් එද්දී එතනින් පලා යන්න කියලත් ඔහු මඟ පෙන්නුවා. (මතෙ. 10:23) යේසුස් යෙහෝවා මත විශ්වාසේ තියලා උද්‍යෝගයෙන් සේවේ කළත් අනවශ්‍ය විදිහට ඔහුගේ ජීවිතේ අනතුරේ දාන දේවල් කළේ නැහැ.—යොහ. 11:53, 54.
13. යෙහෝවා ඔයාට උදව් කරයි කියලා ස්ථිර ඇයි?
13 අදත් විරුද්ධවාදිකම් තියෙන නිසා දිගටම උද්‍යෝගයෙන් දේශනා කරන්න අපිට යෙහෝවාගේ උදව් ඕනෙමයි. (එළි. 12:17) යෙහෝවා උදව් කරයි කියලා ඔයාට ස්ථිර ඇයි? ඒකට උත්තරේ යොහන් 17 යේසුස් කරපු යාච්ඤාවේ තියෙනවා. ඔහු යෙහෝවාගෙන් ඉල්ලුවා නියෝජිතයන්ව බලාගන්න කියලා. ඒ යාච්ඤාවට යෙහෝවා උත්තර දුන්නා. ක්‍රියා පොත බැලුවාම පේනවා විරුද්ධවාදිකම් මැද උද්‍යෝගයෙන් දේශනා කරන්න යෙහෝවා එයාලට උදව් කළේ කොහොමද කියලා. යේසුස් ඒ යාච්ඤාවේ නියෝජිතයන් කියන පණිවිඩේ ගැන විශ්වාසේ තියන අයව බලාගන්න කියලත් ඉල්ලුවා. ඒ අයට ඔයාත් ඇතුළත්. යෙහෝවා යේසුස්ගේ ඒ යාච්ඤාවට උත්තර දෙන එක අදටත් නවත්තලා නැහැ. ඔහු එදා නියෝජිතයන්ට උදව් කළා වගේ ඔයාටත් අනිවාර්යයෙන්ම උදව් කරනවා.—යොහ. 17:11, 15, 20.
14. දිගටම උද්‍යෝගයෙන් සේවේ කරන්න අපිට පුළුවන් කියලා අපි දන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
14 අවසානය ළං වෙන්න වෙන්න උද්‍යෝගයෙන් දේශනා කරන්න අමාරු වුණත් අපිට ඕන හැම උදව්වක්ම ලැබෙනවා කියලා අපි දන්නවා. (ලූක් 21:12-15) යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් වගේම අපිත් මිනිස්සුන්ට ඉඩ දෙනවා පණිවිඩේට ඇහුම්කන් දෙනවාද නැද්ද කියලා තීරණේ කරන්න. අපි එයාලත් එක්ක වාද කරන්නේ නැහැ. අපේ සේවෙට තහංචි දාලා තියෙන පැතිවලත් සහෝදරයෝ දිගටම ශුභාරංචිය දේශනා කරනවා. මොකද එයාලා රැඳිලා ඉන්නේ එයාලාගේ ශක්තිය මත නෙවෙයි යෙහෝවා මතයි. දෙවියන් “ඇති” කියලා කියන කල් “දේශනා කිරීමේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” ඔහු අදත් අපිට බලය දෙනවා. (2 තිමෝ. 4:17) ඉතින් ඔයාත් යෙහෝවා මතම රැඳිලා ඉන්නවා නම් ඔයාටත් පුළුවන් දිගටම උද්‍යෝගයෙන් දේශනා කරන්න.
අපේ සේවෙට තහංචි තිබුණත් සහෝදරයෝ ශුභාරංචිය කියන්න විදි හොයාගන්නවා (14 ඡේදය බලන්න)b
ටිකදෙනෙක් හරි පිළිගනියි කියලා ඔහු විශ්වාස කළා
15. දේශනා සේවෙන් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා යේසුස් විශ්වාස කළා කියලා පේන්නේ කොහොමද?
15 යේසුස් හැම වෙලාවෙම සේවේ දිහා බැලුවේ හොඳ විදිහට. ඒක ඔහුට උදව් වුණා දිගටම සතුටින් දේශනා කරන්න. උදාහරණෙකට සේවේ පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ ඔහු දැක්කා හුඟක් අය පණිවිඩේට ඇහුම්කන් දෙනවා කියලා. ඔහු ඒක සමාන කළේ කරල් පැහිලා අස්වැන්න නෙළන්න කිට්ටුව තියෙන කෙතකට. (යොහ. 4:35) ඊට අවුරුද්දකට විතර පස්සේ ඔහු කිව්වා “නෙළන්න ලොකු අස්වැන්නක් තියෙනවා” කියලා. (මතෙ. 9:37, 38) පස්සේ ඔහු ආයේ සැරයක් මෙහෙම කිව්වා. ‘නෙළන්න ලොකු අස්වැන්නක් තියෙනවා. අස්වැන්න නෙළන්න තව වැඩකරුවන්ව එවන්න කියලා අස්වැන්න අයිති ස්වාමියාගෙන් දිගටම ඉල්ලන්න.’ (ලූක් 10:2) ටිකදෙනෙක් හරි ශුභාරංචිය අහයි කියන විශ්වාසේ යේසුස්ගේ හිතෙන් කවදාවත් මැකුණේ නැහැ. ඒකයි මිනිස්සු පණිවිඩේ පිළිගත්තාම ඔහුට ලොකු සතුටක් දැනුණේ.—ලූක් 10:21.
16. සේවේ දිහා හොඳ විදිහට බලන්න යේසුස්ගේ උදාහරණ උදව් වෙන්නේ කොහොමද? (ලූක් 13:18-21) (පින්තූරයත් බලන්න.)
16 යේසුස් ඔහුගේ ඉගැන්වීම්වලින් ගෝලයන්ට උදව් කළා සේවේ දිහා හොඳ විදිහට බලන්න. දිගටම උද්‍යෝගය තියාගන්න ඒක එයාලට උදව් වුණා. ඒකට ඔහු පාවිච්චි කරපු උදාහරණ දෙකක් බලමු. (ලූක් 13:18-21 කියවන්න.) දේවරාජ්‍යය ගැන පණිවිඩේ හිතාගන්න බැරි විදිහට ව්‍යාප්ත වෙනවා කියලත් ඒක නවත්තන්න කාටවත් බැහැ කියලත් පෙන්නන්න ඔහු අබ ඇටයක් ගැන උදාහරණයක් කිව්වා. ඒ පණිවිඩේ ගොඩක් ප්‍රදේශවලට යනවා කියලත් එකපාරටම පේන්නේ නැති වුණත් ඒක මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරනවා කියලත් පෙන්නන්න යේසුස් මුහුන් ගැන උදාහරණයක් කිව්වා. ඒ විදිවලින් යේසුස් ගෝලයන්ට උදව් කළා එයාලා කියන පණිවිඩේ හුඟදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙනවා කියලා තේරුම්ගන්න.
යේසුස්ට වගේ අපිටත් විශ්වාසයි ටිකදෙනෙක් හරි අපේ පණිවිඩේ පිළිගනියි කියලා (16 ඡේදය බලන්න)
17. දේශනා සේවේ දිහා හොඳ විදිහට බලන්න අපිට තියෙන හේතු මොනවාද?
17 ශුභාරංචිය නිසා ලෝකේ පුරාම හුඟදෙනෙක් ප්‍රයෝජන ලබන විදිහ ගැන හිතන එකත් දිගටම උද්‍යෝගයෙන් දේශනා කරන්න අපිට උදව් වෙනවා. හැම අවුරුද්දකම උනන්දුව දක්වන මිලියන ගාණක් සිහි කිරීමට එනවා, අපිත් එක්ක බයිබලේ පාඩම් කරනවා, සියදහස් ගාණක් බව්තීස්ම වෙලා මේ සේවේ කරන්න අපිත් එක්ක එකතු වෙනවා. අපි දන්නේ නැහැ තව කීදෙනෙක් ශුභාරංචියට ඇහුම්කන් දෙයිද කියලා. ඒත් අපි දන්න දෙයක් තියෙනවා. ඒ තමයි මහත් පීඩාවෙන් බේරෙන්න මහත් සමූහයක්ව යෙහෝවා එකතු කරනවා කියලා. (එළි. 7:9, 14) මේ අස්වැන්නේ ස්වාමියා යෙහෝවා. ඔහුට විශ්වාසයි තව හුඟදෙනෙක් මේ පණිවිඩේ අහයි කියලා. අත්හරින්නේ නැතුව දේශනා කරන්න ඒක හොඳ හේතුවක් නෙවෙයිද?
18. අනිත් අය අපෙන් දකින්න ඕන මොකක්ද?
18 යේසුස්ගේ ගෝලයන් කවදත් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන අය. මුල් සියවසේදී නියෝජිතයන් බය නැතුව දේශනා කරනවා දකිද්දී මිනිස්සුන්ට ටක් ගාලා තේරුණා එයාලා “යේසුස් එක්ක හිටපු අය” කියලා. (ක්‍රියා 4:13) අද අපි දේශනා සේවේ යද්දී යේසුස්ට තිබුණ ඒ උද්‍යෝගය අපි ළඟත් තියෙනවා කියලා මිනිස්සු දකින්න ඕනේ.
ගීතිකාව 58 සොයමු සාමයට ළැදි අයව
a පැහැදිලි කිරීමක්: මේ ලිපියේ “උද්‍යෝගය” කියද්දී යෙහෝවාට නමස්කාර කරන්න ඔහුගේ සෙනඟට තියෙන උනන්දුව, කැමැත්ත අදහස් කරනවා.
b පින්තූරේ අදහස: සහෝදරයෙක් ඥානවන්තව පෙට්‍රල් ෂෙඩ් එකකදී සාක්ෂි දරනවා.