පාඩම් ලිපිය 10
ගීතිකාව 31 දෙවි සමඟ පා නඟන්න
යෙහෝවායි, යේසුයි වගේ හිතන්න පුරුදු වෙන්න
“මිනිසෙක් විදිහට ඉද්දී ක්‍රිස්තුස් දුක් වින්දා. ඉතින් ඔයාලත් ඔහු හිතපු විදිහට හිතන්න දැන්ම සූදානම් වෙන්න.”—1 පේතෘ. 4:1.
ලිපියේ අරමුණ
යේසුස් හිතපු විදිහට හිතන්න පේතෘස් ඉගෙනගත්තේ කොහොමද කියලත් ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් බලමු.
1-2. යෙහෝවාට ආදරේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? යේසුස් හැම සිතුවිල්ලකින්ම යෙහෝවාට ආදරේ කළා කියලා පෙන්නුවේ කොහොමද?
“ඔයාලාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔයාලාගේ මුළු ශක්තියම වැය කරන්න.” (ලූක් 10:27) ඒක තමයි මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ වැදගත්ම ආඥාව කියලා යේසුස් කිව්වා. යෙහෝවාට අපි ආදරේ කරද්දී ඒකට අපේ හදවත ඒ කියන්නේ අපේ හැඟීම්, දැනීම්, ආශාවන් සම්බන්ධයි. ඒ ආදරේ වෙනුවෙන් අපේ මුළු ජීවිතේම, මුළු ශක්තියම වැය කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි යෙහෝවාට ආදරේ කරද්දී අපේ සිතුවිලි, අපි හිතන විදිහත් ඒකට සම්බන්ධයි. ඇත්ත, යෙහෝවා හිතන විදිහ අපිට 100%ක්ම තේරුම්ගන්න බැහැ. ඒත් අපි අධ්‍යයනය කරලා “ක්‍රිස්තුස් හිතන විදිහ” තේරුම්ගත්තොත් අපිට යම් දුරකට යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න පුළුවන්. මොකද යේසුස් හිතන්නේ ඔහුගේ තාත්තා හිතන විදිහටමයි.—1 කොරි. 2:16.
2 යේසුස්ට යෙහෝවා ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා ඔහුගේ හැම සිතුවිල්ලකින්ම පැහැදිලි වුණා. දෙවියන් ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඔහු තේරුම්ගත්තා. ඒ දේ කරද්දී ඔහුට ගොඩක් දුක් විඳින්න වෙනවා කියලා ඔහු දැනන් හිටියත් ඔහු ඒක කළේ කැමැත්තෙන්මයි. යේසුස්ගේ එකම අරමුණ වුණේ ඔහුගේ තාත්තාගේ කැමැත්ත කරන එක. ඒ නිසා ඔහු ඒකට හරස් වෙන්න කිසිම දේකට ඉඩ දුන්නේ නැහැ.
3. පේතෘස් යේසුස්ගෙන් ඉගෙනගත්තේ මොකක්ද? එයා අනිත් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ මොකක් කරන්න කියලද? (1 පේතෘස් 4:1)
3 පේතෘස්ටයි, අනිත් නියෝජිතයන්ටයි යේසුස් එක්ක එකට කාලේ ගත කරන්න පුළුවන් වුණ නිසා යේසුස් හිතන විදිහ තේරුම්ගන්න එයාලට අවස්ථාව හම්බ වුණා. පේතෘස් එයාගේ පළවෙනි ලිපිය ලියද්දී ක්‍රිස්තියානීන්ට උනන්දු කළා ක්‍රිස්තුස් හිතපු විදිහට හිතන්න දැන්ම සූදානම් වෙන්න කියලා. (1 පේතෘස් 4:1 කියවන්න.) එතන “දැන්ම සූදානම් වෙන්න” කියලා පේතෘස් කියද්දී එයා පාවිච්චි කරලා තියෙන්නේ යුද්දෙට යන්න ආයුධ අරගෙන සූදානමින් ඉන්න සෙබළුන්ව විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන යෙදුමක්. යේසුස් හිතන විදිහට හිතන්න අපිත් ඉගෙනගත්තොත් ඒක හරියට වැරදි ආශාවන්වලට, සාතන්ගේ ලෝකයෙන් එන බලපෑම්වලට විරුද්ධව යුද්ධ කරන්න අපි බලවත් ආයුධයක් තියන් සූදානමින් ඉන්නවා වගේ.—2 කොරි. 10:3-5; එෆී. 6:12.
4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
4 යේසුස් හිතපු විදිහ ගැනයි, ඔහුව අපිට ආදර්ශයට ගන්න පුළුවන් විදිහ ගැනයි අපි මේ ලිපියෙන් බලනවා. ඒක අපිට උදව් වෙයි (1) යෙහෝවා වගේ හිතන්න, (2) නිහතමානී වෙන්න සහ (3) සිහිකල්පනාවෙන් ඉන්න.
යෙහෝවා හිතන විදිහට හිතන්න
5. යෙහෝවා හිතන විදිහට හිතන්න පේතෘස්ට එක අවස්ථාවක බැරි වුණේ කොහොමද?
5 පේතෘස්ට යෙහෝවා හිතපු විදිහට හිතන්න බැරි වුණ අවස්ථාවක් බලමු. යේසුස් එයාගේ නියෝජිතයන්ට කිව්වා ඔහු යෙරුසලමට යන්න ඕනෙ කියලා. එහෙදී නායක පූජකයන් ඔහුව අල්ලගන්නවා කියලත් ඔහුට දුක් විඳින්න වෙනවා කියලත් අන්තිමේදී ඔහුව මරලා දානවා කියලත් ඔහු කිව්වා. (මතෙ. 16:21) ඒ වෙද්දී පේතෘස් දැනන් හිටියා දෙවියන්ගේ සෙනඟව බේරගන්න එනවා කියපු ගැලවුම්කරු යේසුස් කියලා. ඉතින් දෙවියන් යේසුස්ට මැරෙන්න ඉඩහරියි කියලා පිළිගන්න පේතෘස්ට අමාරු වුණා. (මතෙ. 16:16) ඒ නිසා පේතෘස් යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔයාට කවදාවත් වෙන්නේ නැහැ.” (මතෙ. 16:22) මේ වෙලාවේ පේතෘසුයි, යේසුයි හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද පේතෘස්ට බැරි වුණා යෙහෝවා හිතන විදිහට හිතන්න.
6. තමන් හිතුවේ යෙහෝවා හිතන විදිහටයි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?
6 තමන්ගේ තාත්තා හිතන විදිහ ගැන යේසුස් හොඳටම දැනන් හිටියා. ඔහු හිතුවෙත් තාත්තා වගේමයි. ඒකයි යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වේ. “සාතන්, මගෙන් අහකට යන්න! මට බාධා කරන්න එපා. ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහට නෙමෙයි මිනිස්සු හිතන විදිහටයි.” (මතෙ. 16:23) යේසුස් දැනන් හිටියා දෙවියන්ගේ කැමැත්ත කරන්න නම් ඔහු දුක් විඳලා මැරෙන්න ඕනෙ කියලා. ඉතින් යේසුස්ට උදව් කරන අදහසින් පේතෘස් ඒ දේ කිව්වත් යේසුස් ඒක එකපාරටම ප්‍රතික්ෂේප කළා. දෙවියන් හිතන විදිහට හිතන්න එයාත් ඉගෙනගන්න ඕනෙ කියන වැදගත් පාඩම එදා පේතෘස් තේරුම්ගත්තා. ඒක අපිත් හිතට ගන්න ඕනේ.
7. පේතෘස්ටත් ඕනෙ යෙහෝවා හිතන විදිහට හිතන්නයි කියලා එයා පෙන්නුවේ කොහොමද? (පින්තූරය බලන්න.)
7 පස්සේ කාලෙක පේතෘස් පෙන්නුවා එයාටත් ඕනෙ යෙහෝවා හිතන විදිහට හිතන්නයි කියලා. වෙනත් ජාතීන්වත් දෙවියන්ගේ සෙනඟට එකතු කරගන්න කාලේ ඇවිල්ලා තිබුණා. ඉතින් කොර්නේලියස්ට දේශනා කරන්න කියලා දෙවියන් පේතෘස්ට පැවරුමක් දුන්නා. කොර්නේලියස් තමයි වෙනත් ජාතීන්ට අයිති අයගෙන් මුලින්ම ක්‍රිස්තියානියෙක් වුණ කෙනා. සාමාන්‍යයෙන් යුදෙව්වන් වෙනත් ජාතීන්ට අයිති අයත් එක්ක එච්චර ඇයි හොඳයියක් නැහැ. ඉතින් මේ පැවරුම හම්බ වුණාම එයා හිතන්න පුරුදු වෙලා හිටපු විදිහ වෙනස් කරගන්න පේතෘස්ට සිද්ධ වුණා. දෙවියන් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා එයා තේරුම්ගත්ත ගමන්ම එයා ඒ වෙනස කළා. ඒකයි කොර්නේලියස් එයාට එන්න කියලා කිව්වාම පේතෘස් “කැමැත්තෙන්” එහෙට ගියේ. (ක්‍රියා 10:28, 29) එයා එහෙට ගිහින් කොර්නේලියස්ටයි, එයාගේ පවුලේ අයටයි දේශනා කළා. එයාලා හැමෝම බව්තීස්ම වුණා.—ක්‍රියා 10:21-23, 34, 35, 44-48.
පේතෘස් කොර්නේලියස්ගේ ගෙදරට යනවා (7 ඡේදය බලන්න)
8. අපි හිතන්නේ යෙහෝවා හිතන විදිහටයි කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? (1 පේතෘස් 3:8 සහ පාදසටහන)
8 ඊට අවුරුදු කීපයකට පස්සේ පේතෘස් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා “එක විදිහට හිතන්න” කියලා. (1 පේතෘස් 3:8 සහ පාදසටහන කියවන්න.) අපිත් බයිබලේ අධ්‍යයනය කරලා යෙහෝවා හිතන විදිහට හිතන්න ඉගෙනගන්නවා නම් අපි හැමෝම හිතන්නේ එක විදිහට. ඒක තේරුම්ගන්න මේ උදාහරණේ බලන්න. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කියලා. (මතෙ. 6:33) හිතන්න, ඔයාගේ සභාවේ ඉන්න කෙනෙක් ඒ මඟ පෙන්වීම හිතට අරන් පූර්ණකාලීන සේවෙට අඩිය තියන්න තීරණේ කරනවා කියලා. අපි එක විදිහට හිතන අය නම් “ඕක ලේසි වෙන්නේ නෑ” කියලා එයාව අධෛර්යය කරනවා වෙනුවට අපි කරන්න ඕනෙ එයාව අගය කරලා එයාගේ උදව්වට අපි ඉන්නවා කියලා කියන එකයි.
නිහතමානී වෙන්න
9-10. යේසුස් ගොඩක් නිහතමානියි කියලා පැහැදිලි වුණේ කොහොමද?
9 යේසුස්ගේ මරණයට කලින් රාත්‍රියේ ඔහු පේතෘස්ටයි, අනිත් නියෝජිතයන්ටයි නිහතමානිකම ගැන වටිනා පාඩමක් කියලා දුන්නා. යේසුස් ඔහුගේ නියෝජිතයන් එක්ක ගන්න අන්තිම කෑමට ඕන කරන දේවල් ලෑස්ති කරන්න පේතෘස්වයි, යොහන්වයි කලින්ම යවලා තිබුණා. එයාලා ඒ දේවල් ලෑස්ති කරද්දී එන අයගේ කකුල් හෝදන්න වතුර බේසමකුයි, පිහදාන්න තුවායි ලෑස්ති කරන්න ඇති. ඒත් ඒ වැඩේ කවුරු කරයිද?
10 යේසුස් දෙපාරක් හිතන්නේ නැතුව ඒක කළා. ඔහු කොච්චර නිහතමානීද කියලා ඒකෙන් පෙනුණා. සාමාන්‍යයෙන් සේවකයෙක් කරන වැඩක් යේසුස් කරන්න යනවා කියලා දැක්කාම නියෝජිතයෝ පුදුම වෙන්න ඇති. යේසුස් පිට වස්ත්‍රය ගලවලා පැත්තකින් තියලා තුවායක් අරන් ඉණ වටේ බැඳගෙන බේසමට වතුර දාලා එයාලාගේ කකුල් හෝදන්න පටන්ගත්තා. (යොහ. 13:4, 5) ඔහු නියෝජිතයන් 12දෙනාගෙම, ඔහුව පාවලා දීපු යූදස්ගේ පවා කකුල් හේදුවා. එයාලා හැමෝගෙම කකුල් හෝදන්න ඔහුට සෑහෙන වෙලාවක් යන්න ඇති. ඒත් ඔහු නිහතමානීව ඒක කළා. ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “මම ඔයාලාගේ කකුල් හේදුවේ ඇයි කියලා ඔයාලට තේරුණාද? ඔයාලා මට ‘ගුරුතුමා, ස්වාමීන්’ කියලා කියනවා. එහෙම කියන එක හරි. මොකද මම ඔයාලාගේ ගුරුතුමා සහ ස්වාමීන්. ඉතින් මම ඔයාලාගේ ස්වාමීන් සහ ගුරුතුමා වෙලත් මං ඔයාලාගේ කකුල් හේදුවා නම් ඔයාලත් එකිනෙකාගේ කකුල් හෝදන්න ඕනේ.”—යොහ. 13:12-14.
නිහතමානිකමට අපි අපි ගැනත් අනිත් අය ගැනත් හිතන විදිහ ඇතුළත්
11. නිහතමානී වෙන්න ඉගෙනගත්තා කියලා පේතෘස් පෙන්නුවේ කොහොමද? (1 පේතෘස් 5:5) (පින්තූරයත් බලන්න.)
11 යේසුස්ගේ නිහතමානිකමින් පේතෘස් ඉගෙනගත්තා. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ පේතෘස් උපතින්ම කොර වෙලා හිටපු මනුස්සයෙක්ව ආශ්චර්යවත් විදිහට සුව කළා. (ක්‍රියා 1:8, 9; 3:2, 6-8) ඒක දැක්කාම සෙනඟ පේතෘස්ව වට කරගත්තා. (ක්‍රියා 3:11) අනිත් අයගේ ගෞරවේ, පිළිගැනීම ලබන්න කැමති මිනිස්සු හිටපු සංස්කෘතියකින් පේතෘස් ආවත් මේ වෙලාවේ එයා ගෞරවේ එයාට ගත්තේ නැහැ. පේතෘස් නිහතමානීව හැම ප්‍රශංසාවක්ම යෙහෝවාටයි, යේසුස්ටයි දුන්නා. එයා මෙහෙම කිව්වා. ‘යේසුස්ගේ නමින් තමයි අපි මේ මිනිසාව සුව කළේ. ඔහුගේ නම ගැන අපි විශ්වාසය තිබ්බ නිසයි අපිට එහෙම කරන්න පුළුවන් වුණේ.’ (ක්‍රියා 3:12-16) පස්සේ කාලෙක පේතෘස් ලියපු ලියුමක ක්‍රිස්තියානීන්ට උනන්දු කළා නිහතමානී වෙන්න කියලා. මුල් භාෂාවේ එයා පාවිච්චි කරලා තියෙන වචනවලින් ‘නිහතමානිකම ඇඳුමක් වගේ ඇඳගන්න’ කියන අදහස ගන්න පුළුවන්. ඒක කියද්දී අපිට මතක් වෙන්නේ යේසුස් තුවාය ඉණ වටේ බැඳගෙන නියෝජිතයන්ගේ කකුල් හෝදපු අවස්ථාවයි.—1 පේතෘස් 5:5 සහ පාදසටහන කියවන්න.
පේතෘස් ආශ්චර්යයක් කළාට පස්සේ කිව්වා ඒකේ ප්‍රශංසාව ලැබෙන්න ඕන එයාට නෙවෙයි යෙහෝවාටයි, යේසුස්ටයි කියලා. අපිත් නිහතමානියි නම් අපි අනිත් අය වෙනුවෙන් දේවල් කරන්නේ එයාලාගේ ප්‍රශංසාව බලාගෙන නෙවෙයි (11-12 ඡේද බලන්න)
12. නිහතමානී වෙන්න දිගටම උත්සාහ කරන්න පේතෘස් වගේ අපිටත් පුළුවන් කොහොමද?
12 පේතෘස් වගේ අපිටත් දිගටම නිහතමානී වෙන්න උත්සාහ කරන්න පුළුවන්. නිහතමානිකම කෙනෙක්ගේ වචනවලින් විතරක් පේන දෙයක් නෙවෙයි. නිහතමානිකම කියලා පේතෘස් පාවිච්චි කරලා තියෙන යෙදුමෙන් තේරෙනවා ඒකට අපි ගැනයි, අනිත් අය ගැනයි අපි හිතන විදිහ ඇතුළත් කියලා. අපි අනිත් අය වෙනුවෙන් හොඳ දේවල් කරන්නේ යෙහෝවාටයි, එයාලටයි ආදරේ නිසයි. නැතුව ප්‍රශංසාව ඕන නිසා නෙවෙයි. අපි කරන දේවල් අනිත් අය දැක්කත් නැතත් අපි යෙහෝවා වෙනුවෙනුයි, සහෝදරයන් වෙනුවෙනුයි සතුටින්, පුළුවන් හැම විදිහකින්ම සේවේ කරනවා නම් අපි නිහතමානී අය කියලා කියන්න පුළුවන්.—මතෙ. 6:1-4.
“සිහිකල්පනාවෙන් ඉන්න”
13. “සිහිකල්පනාවෙන් ඉන්නවා” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
13 “සිහිකල්පනාවෙන් ඉන්න” කෙනෙක් කොයි වගේද? (1 පේතෘ. 4:7) ඒ වගේ කෙනෙක් තීරණ ගන්න වෙද්දී ඒ ගැන යෙහෝවා හිතන්නේ මොකක්ද කියලා නිතරම හිතනවා. එයාට එයාගේ ජීවිතේ තියෙන වටිනාම දේ යෙහෝවාත් එක්ක තියෙන බැඳීමයි. එයා එයා ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. එයා තේරුම්ගන්නවා හැම දේම එයා දන්නේ නැහැ කියලා. එයා නිතරම යාච්ඤා කරලා යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලනවා. ඒකෙන් පේනවා එයා රැඳිලා ඉන්නේ යෙහෝවා මත කියලා.a
14. එක අවස්ථාවක යෙහෝවා මත රැඳිලා ඉන්න පේතෘස්ට බැරි වුණේ කොහොමද?
14 මරණයට කලින් රාත්‍රියේදී යේසුස් ගෝලයන්ට කිව්වා “මට වෙන්න යන දේ නිසා ඔයාලා හැමෝම අද රෑ මාව අතහැරලා යනවා” කියලා. තමන් ගැන මහ ඉහළින් හිතපු පේතෘස් ඒ වෙලාවේ කිව්වේ “ඔයාට වෙන දේ නිසා අනිත් හැමෝම ඔයාව අතහැරලා ගියත් මම නම් කවදාවත් ඔයාව අතහැරලා යන්නේ නැහැ” කියලයි. එදා රෑ යේසුස් ගෝලයන්ගෙන් කීපදෙනෙක්ට කිව්වා “දිගටම අවදියෙන් ඉන්න. අත්හරින්නේ නැතුව යාච්ඤා කරන්න” කියලා. (මතෙ. 26:31, 33, 41) පේතෘස් ඒ දේ කළා නම් එයා යේසුස්ගේ ගෝලයෙක් කියන දේ පිළිගන්න තරම් නිර්භීතකමක් එයාට තියෙයි. ඒත් එයා යේසුස්ව අඳුරන්නේ නැහැ කිව්වා. ඒ ගැන එයා පස්සේ ගොඩක් දුක් වුණා.—මතෙ. 26:69-75.
15. මනුෂ්‍යයෙක් විදිහට හිටපු අන්තිම රාත්‍රියේ යේසුස් සිහිකල්පනාවෙන් වැඩ කළේ කොහොමද?
15 යේසුස් සම්පූර්ණයෙන්ම රැඳිලා හිටියේ යෙහෝවා මතයි. ඔහු පරිපූර්ණ කෙනෙක් වුණත් මරණයට කලින් රාත්‍රියේ ආයේ ආයේ යෙහෝවාට යාච්ඤා කළා. යෙහෝවා ඔහුගෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න අවශ්‍ය නිර්භීතකම ඔහුට ලැබුණේ ඒකෙන්. (මතෙ. 26:39, 42, 44; යොහ. 18:4, 5) එදා යේසුස් කොච්චර යාච්ඤා කළාද කියන දේ පේතෘස්ට කවදාවත් අමතක වෙන්න නැතුව ඇති.
16. සිහිකල්පනාවෙන් ඉන්න ඉගෙනගත්තා කියලා පේතෘස් පෙන්නුවේ කොහොමද? (1 පේතෘස් 4:7)
16 කාලයත් එක්ක පේතෘස් යාච්ඤා කරලා යෙහෝවා මත තව වැඩියෙන් රැඳිලා ඉන්න ඉගෙනගත්තා. නැවත නැඟිට්ට යේසුස් පේතෘස්ටයි, අනිත් නියෝජිතයන්ටයි කිව්වා එයාලට දෙවියන්ගේ බලය ලැබෙන නිසා භාර දීපු වැඩේ හොඳින් කරන්න එයාලට පුළුවන් වෙනවා කියලා. හැබැයි දෙවියන්ගේ බලය ලැබෙන කල් එයාලට යෙරුසලමට වෙලා ඉන්න කියලා යේසුස් කිව්වා. (ලූක් 24:49; ක්‍රියා 1:4, 5) ඒ බලාගෙන ඉන්න කාලේ පේතෘස් මොනවාද කළේ? පේතෘසුයි, අනිත් ක්‍රිස්තියානීනුයි “ලොකු ඕනෑකමකින් එක දිගටම යාච්ඤා කළා.” (ක්‍රියා 1:13, 14) පස්සේ කාලෙක පේතෘස් එයාගේ මුල් ලිපිය ලියද්දී සිහිකල්පනාවෙන් ඉන්න කියලත් යාච්ඤා කරලා යෙහෝවා මත රැඳිලා ඉන්න කියලත් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. (1 පේතෘස් 4:7 කියවන්න.) යෙහෝවා මත රැඳිලා ඉන්න පේතෘස් ඉගෙනගත්තා. එයා සහෝදර සහෝදරියන්ට ලොකු ශක්තියක් වුණා.—ගලා. 2:9.
17. අපි දිගටම කරන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
17 සිහිකල්පනාවෙන් ඉන්න නම් අපි නිතරම යෙහෝවාට යාච්ඤා කරන්න ඕනේ. සමහර දේවල් අපිට හරිම ලේසියෙන් කරගන්න පුළුවන් කියලා හිතුණත් අපි දිගටම යෙහෝවාට යාච්ඤා කරලා ඔහු මත රැඳිලා ඉන්න ඕනේ. විශේෂයෙන්ම අපිට වැදගත් තීරණ ගන්න වෙද්දී අපි ඔහුට යාච්ඤා කරලා ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න ඕනේ. මොකද අපිට හොඳම දේ දන්නේ යෙහෝවා කියලා අපිට විශ්වාසයි.
යාච්ඤා කරලා යෙහෝවා මත රැඳිලා ඉන්න පේතෘස් ඉගෙනගත්තා. විශේෂයෙන්ම වැදගත් තීරණ ගන්න වෙද්දී අපිත් යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා නම් අපිට සිහිකල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් (17 ඡේදය බලන්න)b
18. තව වැඩියෙන් යෙහෝවා වගේ හිතන්න අපි කරන්න ඕනෙ මොනවාද?
18 යෙහෝවා ඔහුගේ ගුණාංග ආදර්ශයට ගන්න පුළුවන් විදිහට අපිව නිර්මාණය කරපු එක ගැන අපි ඔහුට කොච්චර ස්තුති කරන්න ඕනෙද! (උත්. 1:26) ඇත්ත, අපිට යෙහෝවාව 100%ක් ආදර්ශයට ගන්න බැහැ. (යෙසා. 55:9) හැබැයි පේතෘස් වගේ අපිටත් ඕනෙ යෙහෝවා හිතන විදිහට හිතන්න දිගටම ඉගෙනගන්නයි. දිගටම නිහතමානීව වැඩ කරන්නයි. ඒ වගේම දිගටම සිහිකල්පනාවෙන් දේවල් කරන්නයි.
ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි
a සිහිකල්පනාවෙන් ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා තව විස්තර දැනගන්න jw.org එකේ හරි ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ හරි “බයිබල් පද පැහැදිලි කිරීමක්” යටතේ “2 තිමෝති 1:7 – ‘දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේ ආත්මයක්ය’” කියන ලිපියේ “සිහිකල්පනාව” යටතේ බලන්න.
b පින්තූරේ අදහස: සම්මුඛ පරීක්ෂණයකට ගිහින් ඉන්න සහෝදරියක් හිතින් යාච්ඤාවක් කරනවා.