ප්‍රශ්න පෙට්ටිය
◼ අපි නොදන්න කෙනෙක් සමඟ අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කරගැනීමේ තිබෙන අනතුරු මොනවාද?
අන්තර්ජාලය හරහා සෙසු අය සමඟ අදහස් හුවමාරු කරගත හැකි වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. තමන් පිළිබඳ තොරතුරු පළ කිරීමේ පහසුකම් එවැනි වෙබ් අඩවි බොහොමයක තිබෙන අතර ඡායාරූප හා පෞද්ගලික විස්තරද එවන් වෙබ් අඩවි හරහා අන් අයට යැවිය හැකියි. මෙවැනි වෙබ් අඩවිවලට පිවිසෙන අයට පුළුවන් ඒ පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කරගන්න. මෙම වෙබ් අඩවි යෞවනයන් අතර ජනප්‍රියයි. සභාවල සිටින ඇතැම් යෞවනයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියා තමන්ව හඳුන්වා දෙන අය සමඟ අදහස් හුවමාරු කරගැනීමට එම වෙබ් අඩවි භාවිත කර තිබෙනවා.
අන්තර්ජාලය හරහා අපිට හමු වන පුද්ගලයෙක් ඉදිරිපත් කරන තොරතුරුවලට අපි පහසුවෙන් රැවටෙන්න පුළුවන්. එවැනි කෙනෙක් ඔහු ගැනත්, දෙවි සමඟ තිබෙන ඔහුගේ මිත්‍රත්වය හා චේතනා ගැනත් වැරදි පින්තූරයක් අපි තුළ ඇති කළ හැකියි. (ගීතා. 26:4) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියා පවසන පුද්ගලයෙක් ඇත්තෙන්ම සාක්ෂිකරුවෙක් නොවෙන්න ඉඩ තිබෙනවා. ඔහු සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙක් හෝ සත්‍යයට විරුද්ධව කැරලිගසමින් සිටින කෙනෙක් පවා විය හැකියි. (ගලා. 2:4) ළමුන්ව ලිංගිකව අපයෝජනයට ලක් කරගන්නාවූ කාමාතුරයන් බොහෝදෙනෙක් වෙබ් අඩවිවල සැරිසරන බව වාර්තා වෙනවා.
අපි අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු කරගන්නේ හොඳ ස්ථාවරයක සිටින සාක්ෂිකරුවන් සමඟ කියා විශ්වාස කළත් එසේ අදහස් හුවමාරු කරගැනීමේදී නුසුදුසු දේවල් කතා බහ කරන්න බොහෝදුරට ඉඩ තිබෙනවා. මීට හේතුව තමන් පෞද්ගලිකව හමු වී කතා බහ නොකරන දේවල් පවා අන්තර්ජාලය හරහා කතා කිරීමට මිනිසුන් පෙලඹීමයි. අන්තර්ජාලය හරහා කතා බහ කිරීම දෙදෙනෙකුට පමණක් සීමා වන දෙයක් ලෙසයි ඔවුන් සලකන්නේ. එමෙන්ම තමන් අනිත් කෙනාට පවසන කිසිවක් දෙමාපියන් හෝ වැඩිමහල්ලන් ඇතුළු කිසිවෙකුට දැනගන්න ලැබෙන්නේ නැහැ කියාත් ඔවුන් සිතනවා. සාක්ෂිකාර දෙමාපියන්ගේ දරුවන් ගණනාවක් මේ උගුලට හසු වී තිබීම කනගාටුවට කරුණක්. ඔවුන් අසභ්‍ය දේවල් ගැන පවා කතා කරනවා. (එෆී. 5:3, 4; කොලො. 3:8) තවත් අය ලිංගික හැඟීම් අවුස්සන තමන්ගේ ඡායාරූප, ගීත හා නොහොබිනා නම් පවා අන්තර් ජාලය හරහා අනිත් අයට යවනවා.
මේ නිසා දෙමාපියන් තම දරුවන් පරිගණකය පාවිච්චි කරන ආකාරය ගැන සුපරීක්ෂාවෙන් සිටිය යුතුයි. (හිතෝ. 29:15) අපි කොහොමටවත් දන්නේ නැති කෙනෙකුට අපේ නිවසට ආරාධනා කිරීම හෝ අපේ දරුවන් සමඟ කාලය ගත කිරීමට ඉඩ දීම අනතුරුදායක විය හැකියි. ඒ හා සමානව, තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියා පැවසුවත් නාඳුනන අය සමඟ අන්තර් ජාලයෙන් මිත්‍ර සම්බන්ධකම් පැවැත්වීමට දරුවන්ට ඉඩහැරීම අනතුරුදායකයි.—හිතෝ. 22:3.