සෑමවිටම ශුද්ධව සිටින්න
1. අපගේ සියලු හැසිරීමේදී ශුද්ධව සිටීම වැදගත් වෙන්නේ ඇයි?
1 යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට, අප සෑමවිටම ශුද්ධව සිටීමට උත්සාහ කළ යුතුය. (1 පේතෘ. 1:15, 16) මින් අදහස් වන්නේ අපගේ ජීවිතයේ සියලු පැතිවලදී යෙහෝවාගේ ප්‍රමිතිවලට ඇලී සිටීමට අප විසින් උත්සාහ දැරීමයි. මේ වසරේ දිස්ත්‍රික් සමුළුවේදී අපට සෑමවිටම ශුද්ධව සිටීමට විශේෂ ප්‍රස්තාවක් ලැබෙනවා ඇත.
2. අප නවාතැන් ගන්නා ස්ථානවලදී අපට යහපත් හැසිරීම විදහා පෑ හැක්කේ කෙසේද?
2 නවාතැන්: හැකි සෑම කෙනෙකුටම තම තමන්ගේ නවාතැන් පහසුකම් සලසාගැනීමට අපි සියලුදෙනාවම දිරිගන්වන්නෙමු. බොහෝදෙනෙක් තමන්ගේ මිතුරන් සහ නෑදෑයන්ගේ නිවෙස්වල නවාතැන් ගනු ඇත. ඔවුන්ට සාක්ෂියක් දීමටත් සමහරවිට ඔවුන්ට සමුළුවට පැමිණෙන ලෙසට ආරාධනා කිරීමටත් මේ මගින් ප්‍රස්තාවක් උදා වෙනවා ඇත. හෝටලයක හෝ නවාතැන් ගන්නා ස්ථානයක නැවතීමට තවත් අය තීරණය කරන්නට පුළුවන. කෙසේවෙතත්, ගමන් කිරීමේදී හෝ නවාතැන් සොයාගැනීමේදී බොහෝවිට වැඩියෙන් දුෂ්කරතාවලට මුහුණ පාන අයට සමිතිය සහ සමුළු කාමර අංශය තුළින් මීට පෙර වසරවල දෙනු ලැබුවා වැනි සහයක් ලබා දීමට අපි කැමැත්තෙන් සිටිමු. මෙම පහසුකම් දෙනු ලබන්නේ හොඳ ස්ථාවරයක සිටින ප්‍රචාරකයන් හා උනන්දුව දක්වන පුද්ගලයන්ට හා හොඳින් හැසිරෙන දරුවන්ට බැවින් ඔවුන්ට සභාවේ සේවා කමිටුවේ අනුමැතිය ලැබී තිබිය යුතුයි. මේ සඳහා සමුළු ලිපිනය යොදාගනිමින් හැකි තරම් ඉක්මනින් තමන්ගේ අවශ්‍යතා ගැන කාමර අංශයට දැනුම් දිය යුතුය. ඔබට වෙන් කර ඇති කාමර හෝ නවාතැන් ගන්නා නිවෙස් අවලංගු කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඒ බව එම අදාළ හෝටලයට හෝ නවාතැන්පළට හා කාමර අංශයට දැනුම් දෙන්න. තවද ඔබට කාමර අංශයෙන් වෙන් කර ඇති ස්ථානය ඔබ පාවිච්චි කරන්නේ නැත්නම්, එම ප්‍රතිපත්තියම අදාළ වේ. සියලු අවස්ථාවලදී ආත්මයේ පල විදහාපාන්න.—ගලාති 5:22.
3. බාල වියේ පසු වන සාක්ෂිකරුවන්ගේ හැසිරීම වෙනත් අයගේ සිත් ඇදගත හැක්කේ කෙසේද?
3 අපගේ යහපත් සිරිත් විරිත්වලින් ප්‍රබල සාක්ෂියක් දිය හැකියි. පසුගිය වසරේ සමුළුවට පැමිණි අය නවාතැන් ලබාගත් හෝටලයක කළමනාකරුවෙක් මෙසේ පැවසීය. “අපි හරි කැමතියි යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙහෙ නවාතැන් ගන්නවාට. . . . ඔයගොල්ලෝ වගේ අයව තමයි අපට ඕනේ.” පසුගිය වසරේ එක් යෞවන සාක්ෂිකරුවෙක් හෝටලයේ ලිපිකාරියකගෙන් යම් ලිපිද්‍රව්‍යයක් ඉල්ලාගත් අතර ඒ සඳහා ඇයට ස්තුති කළේය. මෙය එම ලිපිකාරියගේ සිතට කාවැදුණු අතර, ඇය මෙසේ කියනවා ඇසිණි. “ඒ වගේ ශීලාචාර තරුණයන්ව නම් ලෙහෙසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ.” කෙසේවෙතත්, අවස්ථා කිහිපයකදී කිසි කෙනෙකුගේ අධීක්ෂණයක් නැති ළමුන් ශබ්දයෙන් කතා කරනවා සහ කොරිඩෝරවල දුවනවා දැක තිබේ. කිසි ඉවක් බවක් නැතිව එහා මෙහා දිවීමට දෙමාපියන් තම දරුවන්ට ඉඩ නොදිය යුතු අතර, ඔවුන්ගේ හැසිරීමෙන් යෙහෝවාට ප්‍රශංසා ගෙන දීමට ඔවුන් සහතික විය යුතුය.—හිතෝ. 29:15.
4. අපට අන්‍යයන් කෙරෙහි සැලකිල්ල පෙන්විය හැක්කේ කෙසේද?
4 පසුගිය වසරේ සමුළුවක් පැවති ස්ථානයකට යාබදව පිහිටි ආපන ශාලාවක වේටර්වරයෙක් මෙසේ පැවසීය. “සාක්ෂිකරුවෝ වෙනස් අය. ඔවුන් අනුන්ට ගෞරව දක්වනවා.” අනුන්ව බාධාවට ලක් වෙන අන්දමට කතා කිරීමෙන් හා ශබ්ද නඟා සිනාසීමෙන් වැළකී සිටීමද යහපත් හැසිරීමට ඇතුළත්ය. කන බොන විටදීද අප දෙවිගේ මහිමය සඳහා සියල්ල කළ යුතුය.—1 කොරි. 10:31.
5. සමුළු භූමියේදී අප දක්වන යහපත් හැසිරීමට කුමක් ඇතුළත් වේද?
5 සමුළුවේදී: විශේෂයෙන්ම සමුළු භූමියේදී අපගේ යහපත් හැසිරීම පැහැදිලිව පෙනී යා යුතුයි. වාහන ගාල් කරන ස්ථානයේදී මෙන්ම අසුන්ගන්නා ස්ථානවලදී කරුණාකර පරිවාරකයන්ගේ මඟ පෙන්වීමට අවනත වන්න. (හෙබ්‍රෙ. 13:17) නහඹරයන් ඇතුළු ළමුන්ට කණ්ඩායම් වශයෙන් එකට වාඩිවීමට ඉඩහරිනවා වෙනුවට ඔවුන් තම පවුලේ අය සමඟ එකට අසුන්ගත යුතුයි. කිසිම පටිගත කරන යන්ත්‍රයක් සමුළුවේ විදුලි හෝ ශබ්ද විකාශන පද්ධතියට සම්බන්ධ නොකළ යුතු අතර, වෙනත් අයට බාධා නොවන ලෙසට පමණක් ඒවා භාවිත කළ හැකියි. සැසිවාර අතරේදී ඡායාරූප ගැනීමට ඔබ අදහස් කරනවා නම් කැමරාවේ විදුලි ආලෝක දැල්වීමෙන් තොරව එසේ කළ යුතුයි. බාධාවන් ඇති වෙන විදිහට පේජර් යන්ත්‍ර සහ ජංගම දූරකථන භාවිත නොකළ යුතුයි. සමුළු භූමිය තුළ යමෙකුට අනතුරක් සිදු වී තිබෙන බව ඔබ දකින්නේ නම්, කරුණාකර පරිවාරකයෙකුට හෝ ප්‍රථමාධාර අංශයට ඒ බව දැනුම් දෙන්න. සමුළු භූමිය තුළ සුදුසුකම් ලත් අයගේ වෛද්‍යමය උපකාර ඔබට ලබාගත හැකියි.
6. අපගේ හැසිරීමෙන් සමුළුවලදී දෙවිව මහිමවත් කළ හැක්කේ කෙසේද?
6 අපගේ හැසිරීම වෙනත් අයගෙන් අපව වෙන් කොට තබන අතර, එය අපගේ දෙවිව මහිමවත් කරයි. (1 පේතෘ. 2:12) සමුළුවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාවන් පැහැදිලිව පෙනෙනවා ඇත. එම නිසා, ඔබ සෑමවිටම ශුද්ධව සිටීමට අදිටන් කරගන්න.
[Box on page 5]
ශුද්ධව සිටින්න
◼ හෝටල්වල සියලුම නීති පිළිපදින්න
◼ දරුවන්ව ඉතා හොඳින් අධීක්ෂණය කරන්න
◼ අනුන් කෙරෙහි සැලකිලිමත් වන්න