අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් යෙහෝවාට ප්‍රශංසා කරන්න
1 යෙහෝවාගේ පක්ෂපාත සේවකයෝ සෑම දවසකම ඔහුව ප්‍රශංසාවට ලක් කළ හැකි ප්‍රස්තා සොයා බලති. (ගීතා. 96:2, 3; හෙබ්‍රෙ. 13:15) අපට මෙය කළ හැකි එක් ආකාරයක් වන්නේ අවිධිමත්ව සාක්ෂි දැරීමයි. යම් කෙනෙකු තමන්ට අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් රාජ්‍යයේ පණිවිඩය පැවසීම ගැන වර්තමානයේ යෙහෝවාට නමස්කාර කරන බොහෝදෙනෙක් ස්තුතිවන්ත වෙති.
2 එක් පුද්ගලයෙකුට අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් වෙනත් අයටද රාජ්‍යයේ පණිවිඩයට සවන් දීමේ ප්‍රස්තාව බොහෝ අවස්ථාවලදී උදා වේ. නිදසුනක් වශයෙන් යේසුස් යාකොබ්ගේ ළිඳ ළඟදී සමරිතානු ස්ත්‍රියක සමඟ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට තව බොහෝදෙනෙක් ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් දැක්වූහ. (යොහ. 4:6-30, 39-42) පාවුල් හා සීලස් පිලිප්පියේ සිරගතව සිටි කාලයේදී සිරගෙදර නිලධාරියෙකුට සාක්ෂි දැරූ අතර, ඒ මිනිසාගේ ගෙදර සිටි සියලුදෙනාම සත්‍යය පිළිගත්හ.—ක්‍රියා 16:25-34.
3 ප්‍රස්තා: අවිධිමත්ව සාක්ෂි දැරීමට ඔබට උදා වන ප්‍රස්තා මොනවාද? සමහරු සාප්පු යන විට, බස් රථයේ හෝ දුම්රියේ ගමන් කරන විට හෝ ප්‍රතිකාර ගැනීම සඳහා බලා සිටින අතරතුරේදී අවිධිමත්ව සාක්ෂි දරති. රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී ලැබෙන විවේක කාලයේදී සාක්ෂි දැරීමට තවත් සමහරුන්ට හැකියි. බයිබලය මත පදනම් අපේ ප්‍රකාශනවලින් එකක් අනිත් අයට දැකිය හැකි වන පරිදි තැබීමෙන් අපේ විශ්වාසයන් විමසා බැලීමට උනන්දුවක් අනිත් අය තුළ ඇති කළ හැකියි.—1 පේතෘ. 3:15.
4 පටන්ගැනීම: සෑම කෙනෙකුටම දේශනා කිරීමේ වැදගත්කම ගැන රැස්වීමකදී පෙන්වා දෙද්දී හත්හැවිරිදි දැරියක් එයට ඇහුම්කන් දීගෙන සිටියාය. ඇය බයාදුගතියක් තිබූ දැරියකි. දවසක් ඇගේ මවත් සමඟ ඇය වෙළඳපොළට යන්න සූදානම් වෙද්දී විවරණිකා දෙකක් ඇගේ බෑගයේ දමාගත්තාය. ඇගේ මව මිල දී ගත් භාණ්ඩවලට මුදල් ගෙවීමට පෝලිමේ සිටින අතරතුරේදී මේ දැරිය කාන්තාවකට විවරණිකාවක් ඉදිරිපත් කළාය. මේ කාන්තාව එය කාරුණිකව පිළිගත්තාය. ඒ කාන්තාව ළඟට ගොස් විවරණිකාවක් ඉදිරිපත් කිරීමට ඇය ධෛර්යය උපදවාගත්තේ කොහොමද කියා ඇගෙන් විමසූ විට ඇය දුන් පිළිතුරු වූයේ මෙයයි. “මම මටම මෙහෙම කියාගත්තා. සැරසෙන්, හෙලවෙන්, යා! ඊට පස්සේ මං හිතාගත්ත විදිහටම කළා.”
5 අවිධිමත්ව සාක්ෂි දැරීමට නම් අප සියලුදෙනාටම එම කුඩා ගැහැනු ළමයාට තිබුණා හා සමාන දැඩි උනන්දුවක් තිබිය යුතුයි. මේ සඳහා අපට උපකාරවත් වන්නේ කුමක්ද? කතා කිරීම සඳහා ධෛර්යය ඉල්ලා යාච්ඤා කරන්න. (1 තෙස. 2:2) සංවාදයක් ආරම්භ කිරීම සඳහා ඔබට යොදාගත හැකි උනන්දුව අවුස්සන මාතෘකාවක් ගැන ප්‍රශ්නයක් ඇසීමට හෝ යම් අදහසක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින්න. ඉන්පසු, ඔබ දරන වෑයම්වලට යෙහෝවා ආශීර්වාද කරන බවට නිසැක වන්න.—ලූක් 12:11, 12.
6 සෑම දවසකම අපට හමු වන අයට අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් යෙහෝවාව මහිමවත් කළ හැකි අතර අපිද ඉන් ප්‍රීතියක් ලබන්නෙමු. එමෙන්ම සදාකාල ජීවනයේ මාර්ගයට පිවිසීමට යමෙකුට එමගින් අවස්ථාවද උදා විය හැකියි.