වචනය පිළිපැදීමෙන් සතුට ලබන්න
1 තමාගේ පැමිණ සිටීම සිදු වන කාලයේද බොහෝදෙනෙක් නෝවාගේ කාලයේදී මෙන් ‘සැලකිල්ලක් නොදක්වන [NW]’ බව යේසුස් පැවසුවා. (මතෙ. 24:37-39) මේ නිසා රාජ්‍යයේ ශුභාරංචියට හුඟදෙනෙක් සවන් දෙයි කියා අපට බලාපොරොත්තු විය නොහැකියි. කොහොම වුණත් දිගටම සතුටින් දේවසේවයේ හවුල් වීම සඳහා අපට උපකාරවත් වන්නේ මොනවාද?—ගීතා. 100:2.
2 මුලින්ම, අපි මේ දෙය මතක තබාගත යුතුයි. එනම් අපේ පණිවිඩයත් අපේ පැවරුමත් ලැබී තිබෙන්නේ දෙවිගෙන් බව. අපි දේවසේවය සඳහා මොනතරම් වෑයමක් දැරුවත් මිනිසුන් යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම්, එයින් අදහස් කරන්නේ ඔවුන් යෙහෝවාව ප්‍රතික්ෂේප කරන බවයි. අපි ඇදහිලිවන්තව දේශනා සේවයෙහි හවුල් වන විට, යෙහෝවාගේ ආශීර්වාද අපට ලැබෙන බව නිතර සිහිපත් කරන්න. එය දෙවිගේ වචනය පිළිපදින්නන් වශයෙන් අපේ සතුට දිගටම භුක්ති විඳීමට උපකාරවත් වෙයි.—යාකො. 1:25.
3 දෙවනුව, මනුෂ්‍යවර්ගයාගේ ගැළවීම සඳහා යෙහෝවා පිළියෙළ කර තිබෙන සැපයුම පිළිගන්න මිනිසුන් තවත් සිටිනවා කියා අප සිතිය යුතුයි. වැඩිදෙනෙක් උදාසීන විය හැකි වුණත්, මේ අන්තිම දවස්වල අවසාන කෙළවරේදී පවා එකතු කිරීමට බැටළුගුණැති අය සිටිනවා. අපි ‘සුදුස්සාව විභාග කිරීමට’ ‘නුවරවල් හා ගම්වලට’ යමින් අත් නෑර දේශනා කළ යුතුයි.—මතෙ. 10:11-13.
4 ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්න: බොරු ආගම්වල සිදු කෙරෙන වැරදිවලින් සමහරුන් තවදුරටත් මුළා වෙන්නේ නැහැ. නමුත් තවත් අය අද පවතින ක්‍රමය තුළ සිදු වන දේවල් නිසා ‘හිරිහැර විඳිමින් විසිර ගොස්’ සිටිනවා. (මතෙ. 9:36) රැකියා හිඟකම, සෞඛ්‍ය පහසුකම් නොතිබීම හා බිය යනාදිය නිසා බොහෝදෙනෙක් පීඩා විඳිමින් සිටිනවා වෙන්න පුළුවන්. මිනිසුන් මුහුණ දෙන මේ තත්වය තේරුම්ගැනීම, අපේ සේවය දිගටම කරගෙන යෑමට රැකුලක් වෙයි. අපේ බලප්‍රදේශයේ සිටින මිනිසුන්ගේ සැලකිල්ලට ලක් වී තිබෙන ගැටලුවලට අවධානය යොමු කරන විෂයන් ඔස්සේ සාකච්ඡා ආරම්භ කිරීමට වෑයම් කරන්න. මේ ගැටලුවලට එකම විසඳුම දෙවිගේ රාජ්‍යය බව තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. ශුභාරංචිය ඔවුන්ගේ හදවත්වලට කාවදින ආකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා ශුද්ධ ලියවිල්ල හා අපේ ප්රකාශනවල සඳහන් ඔබේ සාකච්ඡාවට අදාළ කරුණු යොදාගන්න.—හෙබ්‍රෙ. 4:12.
5 ‘යෙහෝවා කෙරෙහි ප්‍රීතිවීම අපේ ශක්තිය’ බව දෙවිගේ වචනය සතුටින් පිළිපදින අය නිතරම මතක තබාගනියි. (නෙහෙ. 8:10) අපේ ප්‍රීතිය නැති කරගැනීමට අවශ්‍ය නැහැ. “ගෙයි වැසියන් සුදුසු නම්, නුඹලාගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා.” (මතෙ. 10:13) අපි විඳදරාගැනීමෙන් යුක්තව යෙහෝවාට සේවය කරන විට ඔහු අපේ ප්‍රීතිය හා ශක්තිය දිගටම පවත්වාගැනීමට උපකාර කරනවා. ඒ වගේම අපේ ඇදහිලිවන්තකමට ආශීර්වාද කරනවා.