දෙමාපියෙනි—ඔබේ දරුවන්ට යහපත් පුරුදු කාවද්දවන්න
1 යහපත් පුරුදු උරුමයෙන් ලැබෙන දෙයක්වත්, වෑයමක් නොදරා ලබාගන්න පුළුවන් දෙයක්වත් නොවෙයි. දරුවන්ට යහපත් පුරුදු කාවැද්දවීම සඳහා කාලය ගැනීම අවශ්‍යයි. මෙහිදී ද්‍රාවණයක් බිංදුව බිංදුව දමනවා හා සමානව යම් දෙයක් ටිකෙන් ටික දරුවන්ගේ සිත්වලට ඇතුල් කිරීම අවශ්‍යයි. “යෙහෝවාගෙන් ලැබෙන හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද [තම දරුවන්ව] ඇති දැඩි කිරීම” සඳහා දෙමාපියන් අඛණ්ඩව වෑයම් කිරීම අවශ්‍යයි.—එපී. 6:4, NW.
2 ළදරු වියේ සිට පටන්ගන්න: කුඩා ළමුන්ට ඉගෙනගැනීමට හා අලුත් දේවල් කිරීමට පුදුම හැකියාවක් තිබෙනවා. බොහෝවිට අලුත් භාෂාවක් ඉගෙනගැනීම වැඩිහිටියෙකුට අමාරු දෙයක් වුණත්, පාසැල් යන්න තරම්වත් වයස නැති කුඩා දරුවන්ට එකවිට භාෂා දෙකතුනක් ඉගෙනගන්න පුළුවන්. යහපත් පුරුදු උගන්වන්න ඔබේ දරුවා තවම පොඩි වැඩියි කියා කවදාවත් හිතන්න එපා. කුඩා කාලයේ සිටම බයිබලයේ සඳහන් සත්‍යයන් ඉගැන්වීම දිගටම කරගෙන ගියොත්, අවුරුදු කිහිපයකින් දරුවාගේ මනසෙහි ඔහුව “ගැළවීම පිණිස නැණවත්කරන්ට පුළුවන්” දැනුම තැන්පත් වෙයි.—2 තිමෝ. 3:15.
3 ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට පුරුදු කරන්න: දරුවෙකුව හදන්න පුළුවන් කාලයේදී ඔහුට කාවැද්දවිය යුතු යහපත් පුරුද්දක් වන්නේ නිතිපතා දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වීමයි. ළදරු වියේ පසු වුණත් තම දරුවන්ව ගෙයින් ගෙට සේවයේ රැගෙන යෑම මගින් දෙමාපියන් බොහෝදෙනෙක් එම යහපත් පුරුද්ද පටන්ගෙන තිබේ. දෙමාපියන් නිතිපතා සාක්ෂි දැරීමේ වැඩයෙහි හවුල් වෙනවා නම්, දේවසේවය සඳහා අගය කිරීමක් හා ජ්වලිතයක් දරුවන් තුළ ඇති වෙයි. ක්ෂේත්‍ර සේවයේ සෑම අංගයකම හවුල් විය හැකි ආකාරය දරුවන්ට පෙන්වා දෙන්න දෙමාපියන්ට පුළුවන්.
4 දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වීමෙන් දරුවන්ට ප්‍රයෝජන ගත හැකියි. යහපත් අධ්‍යයන පුරුදු හා අවබෝධයෙන් යුතුව කියවන ආකාරය එම පාසැලෙන් දරුවන්ට උගන්වනවා. බයිබල් විෂයක් ගැන සාකච්ඡා කරන ආකාරය, නැවත බැලීම් හා බයිබල් පාඩම් කරන ආකාරය ගැන ඔවුන් මෙම පාසැලෙන් ඉගෙනගනියි. එම පුහුණුව නිසා, පුරෝගාමි සේවය කරන්න හෝ විශේෂ සේවා වරප්‍රසාද සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන් තුළ පෙලඹවීමක් ඇති විය හැකියි. යහපත් පුරුදු වර්ධනය කරගැනීමට දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් තමන්ට ලැබුණු උපකාරය, බෙතෙල් සේවකයන් හා මිෂනාරිවරුන් බොහෝදෙනෙකු සිහිපත් කරන්නේ මහත් සතුටින්.
5 අපි ශ්‍රේෂ්ඨ කුම්භකාරයා වන යෙහෝවාගේ අතේ තිබෙන මැටි හා සමානයි. (යෙසා. 64:8) මැටි අලුත් වන තරමට එයින් යම් දේවල් සෑදීම වඩාත් ලෙහෙසියි. කල් ගිය විට එහි තෙත ගතිය නැතිවීම නිසා එය ඝන වෙයි. මිනිසුන් සම්බන්ධයෙන්ද තත්වය ඒ හා සමානයි. කුඩා කාලයේදී දරුවන්ව හදාගැනීම අමාරු නැහැ. කුඩා වන තරමට දරුවන්ව හදාගැනීම ලෙහෙසියි. දරුවන්ගේ මෙම අවධිය ඔවුන්ගේ යහපතට හෝ අයහපතට බලපෑ හැකියි. දරුවන්ගේ ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වන දෙමාපියන් වශයෙන් කුඩා කාලයේ සිටම ඔබේ දරුවන්ව දේවසේවයේ රැගෙන යමින් යහපත් පුරුදු කාවද්දවන්න.