නව චාරිකා එක්රැස්වීමේ වැඩසටහන
අප ප්‍රේම කළ යුතු හා තනි භක්තිය ලැබීමට වටින එකම තැනැත්තා යෙහෝවා දෙවි බව අපි දන්නවා. ඒ වුණත්, ඔහු සමඟ අපි භුක්ති විඳින සමීප සබඳතාව බිඳහෙළීම සඳහා මේ ලෝකය නිතරම මාන බලමින් සිටිනවා. (යොහන් 17:14) යෙහෝවා කෙරෙහි අපි තුළ තිබෙන ප්‍රේමය තවත් වැඩි කිරීමටත්, අපේ ආත්මිකත්වය විනාශ කර දමන මේ ලෝකයේ දේවලට එරෙහිව සිටීමටත්, 2001 සේවා වසරේ නව චාරිකා එක්රැස්වීමේ වැඩසටහන අපිට ඉමහත් උපකාරයක් සපයන්න යන බව එහි තේමාවෙන් පැහැදිලියි. එහි තේමාව “ලෝකයෙහි තිබෙන දේවලට නොව—දෙවිට ප්‍රේම කරන්න” යන්නයි.—1 යොහන් 2:15-17.
යෙහෝවා කෙරෙහි තිබෙන ගැඹුරු ප්‍රේමය ඔහු ගැන සාක්ෂි දරන්න අපි තුළ පෙලඹවීමක් ඇති කරනවා. ඒත්, දෙවිගේ සෙනඟගෙන් බොහෝදෙනෙකුට ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මෙම වැඩයෙහි පූර්ණ ලෙස හවුල් වීම සඳහා බොහෝදෙනෙක් ලැජ්ජාශීලීභාවය හා වෙනත් බාධක ජයගෙන තිබෙන ආකාරය ගැන, “දෙවි සඳහා ප්‍රේමය දේවසේවයට අපව පොලඹවයි” නැමති තේමාවෙන් යුත් කතාවේදී අපි දැනගන්න යනවා.
මේ ලෝකයේ පිරිහෙමින් පවතින ප්‍රමිති අපිට බලපාන්නේ කෙසේද? කාලයක් නරකයි කියා සැලකූ දේවල් අද සාමාන්‍ය දේවල් බවට පත් වී තිබෙනවා. “යෙහෝවාට ප්‍රේම කරන්නෝ නපුරට වෛර කරති” යන මාතෘකාවෙන් යුත් කතාවෙන් සහ “අප ලෝකයේ දේවල් සලකන්නේ කෙසේද?” යන තේමාවෙන් යුත් කතා මාලාවෙන් වැරදි ආශාවන් නැති කර දැමීමට අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරන්න යනවා.
ආදර්ශ දිව්‍යාණ්ඩු සේවා පාසැලක් හා සේවා රැස්වීමක් මෙන්ම අදාළ සතියට නියමිත මුරටැඹ සඟරාවේ අඩංගු පාඩම් ලිපියේ සාරාංශයක්ද වැඩසටහනට ඇතුළත් වෙනවා. ප්‍රසිද්ධ කථාවේ මාතෘකාව, “ප්‍රේමයෙන් සහ ඇදහිල්ලෙන් ලෝකය ජයගැනීම” යන්නයි. මෙම කතාව මගින් ලෝකයෙන් එල්ල වන පීඩනවලට එරෙහිව සිටීමේදී යේසුස්ව අනුකරණය කිරීමට අපිව දිරිමත් කරන්න යනවා. (යොහන් 16:33) මෙයට පැමිණීම සඳහා ඔබේ බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කරන්න අමතක කරන්න එපා. බව්තීස්ම වීමට කැමැත්තෙන් සිටින අය හැකි විගස මුලසුන භාර අවේක්ෂක සමඟ ඒ ගැන කතා කරන්න. මෙසේ කිරීමෙන් අවශ්‍ය කටයුතු පිළියෙළ කරන්න ඔහුට හැකියි.
යෙහෝවාගේ මහඟු ආශීර්වාද භුක්ති විඳීමට හැකි වන පරිදි අපේ ප්‍රේමය අපි කේන්ද්‍රගත කළ යුතු නිසි තැන මෙම චාරිකා එක්රැස්වීම මගින් අපේ අවධානයට ලක් කරන්න යනවා. මෙම ආශීර්වාදවලින් කිසිවක් අහිමි කරනොගන්න!