“යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න”
“හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න. යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න.”—1 පේතෘ. 4:7.
1, 2. (අ) යාච්ඤාව අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි? (ආ) අපෙන්ම අහගන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද?
“මුළු රෑම නිදි මැරුවත් එළි වෙන්න පැයකට දෙකකට කලින් තමයි ඇහැරගෙන ඉන්න අමාරුම. ඒ වෙලාවට දන්නෙම නැතුව ඇස් දෙක පිය වෙනවා.” රෑ වැඩ කරන හුඟදෙනෙක් කියන්නේ එහෙමයි. අද අපි ඉන්නෙත් ඒ වගේ තත්වයක කියලා ඔබ දන්නවද? සාතන්ගේ අඳුරු පාලනය අවසන් වෙලා දෙවිගේ පාලනයේ අරුණලු වැටෙන්න තියෙන්නේ හරිම ටික කාලයයි. ඒ ටික කාලයේදී නිදිකිරා වැටෙන්නේ නැතුව අවදියෙන් ඉන්න අපිට ලොකු සටනක් කරන්න වෙනවා. (රෝම 13:12) ඒ සටනේදී අපි “හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න” ඕනෙ. ඒ වගේම ‘යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් ඉන්න’ එකත් හරිම වැදගත්.—1 පේතෘ. 4:7.
2 යාච්ඤාවට මගේ ජීවිතයේ තියෙන්නේ මොන වගේ තැනක්ද? මගේ යාච්ඤාවල තියෙන්නේ ඉල්ලීම් විතරද? මම නොකඩවා යාච්ඤා කරනවද? මම අනිත් අය වෙනුවෙනුත් යාච්ඤා කරනවද? ළඟ එන විනාශයෙන් බේරෙන්න යාච්ඤාව කොච්චර වැදගත්ද?
‘සෑම ආකාරයකින්ම යාච්ඤා කරන්න’
3. අපේ යාච්ඤාවට ඇතුළත් කරන්න පුළුවන් දේවල් මොනවද?
3 පාවුල් කිව්වා ‘සෑම ආකාරයකින්ම යාච්ඤා කරන්න’ කියලා. (එෆී. 6:18) ඒ කියන්නේ අපි යාච්ඤා කරද්දී එකම දේකට විතරක් කොටු වෙන්නේ නැතුව විවිධ දේවල් යාච්ඤාවට ඇතුළත් කරන්න ඕනෙ කියන එකයි. යාච්ඤා කරද්දී අපි හුඟක් වෙලාවට කරන්නේ අපි ගැන, අපිට අවශ්‍ය දේවල් ගැන, අපේ ප්‍රශ්න ගැන දෙවිට කියලා උදව් ඉල්ලන එකයි. යෙහෝවා දෙවි “යාච්ඤා අසන තැනැත්තා” නිසත් ඔහු අපිට හුඟක් ආදරය කරන නිසත් අපේ යාච්ඤා අහලා අපිට උදව් කරනවා. (ගීතා. 65:2) ඒත් දෙවිගෙන් දේවල් ඉල්ලන එක යාච්ඤාවට ඇතුළත් කරන්න පුළුවන් එක දෙයක් විතරයි. දෙවිට ප්‍රශංසා කරන එක, ස්තුති කරන එක වගේම ඔහුට කන්නලව් කරන එකත් අපේ යාච්ඤාවට ඇතුළත් කරන්න පුළුවන්.
4. අපි නිතරම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ඕනෙ ඇයි?
4 අපේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න මොන තරම් නම් හේතු තියෙනවද! උදාහරණයකට “ඔහුගේ බලවත් ක්‍රියා ගැන” වගේම “ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය” ගැනත් දින ගාණක් වුණත් කතා කරන්න දේවල් තියෙනවා. (ගීතාවලිය 150:1-6 කියවන්න.) 150වෙනි ගීතිකාව ලියපු ලේඛකයා ඒ ඡේද හයේ විතරක් 13න් වතාවක් දෙවිට ප්‍රශංසා කරන්න කියලා සඳහන් කරනවා. යෙහෝවා දෙවිට තමන්ගේ හිතේ තියෙන ආදරය තවත් ගීතිකාකරුවෙක් වචනවලට පෙරළුවේ මෙහෙමයි. “ඔබේ තීන්දු ධර්මිෂ්ඨ නිසා දවසට සත් වතාවක්ම මම ඔබට ප්‍රශංසා කළෙමි.” (ගීතා. 119:164) “දවසට සත් වතාවක්” ඒ කියන්නේ නිතරම වගේ දෙවිට ප්‍රශංසා කරන්න අපිත් උත්සාහ කරමු.
5. යාච්ඤාවේදී ස්තුති කිරීම අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?
5 අපේ යාච්ඤාවලදී දෙවිට ස්තුති කරන එකත් කොයි තරම් වටිනවද! “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න” කියලා පාවුල් කිව්වා. (ෆිලි. 4:6) අපි අද ජීවත් වෙන්නේ “ස්තුතිවන්ත නොවන” මිනිසුන්ගෙන් පිරුණු සමාජයකයි. (2 තිමෝ. 3:1, 2) ලේසියෙන්ම අපිටත් ඔවුන්ගේ ආකල්ප බෝ වෙන්න පුළුවන්. ඒ නිසා දැනටමත් දෙවි අපිට දීලා තියෙන, අපි වෙනුවෙන් කරලා තියෙන හැම දේකටම මුළු හදවතින්ම ස්තුති කරමු. එහෙම කරද්දී අපිට තියෙන දේවලින් සෑහීමට පත් වෙන්නත් නැති දේවල් ගැන ‘කොඳුරන්නේ’ නැතුව ඉන්නත් අපිට පුළුවන් වෙනවා. (යූද් 16) තාත්තා කෙනෙක් තමන්ගේ දරුවොත් බිරිඳත් ළං කරගෙන දෙවිට ස්තුති කරමින් යාච්ඤා කරද්දී ඒ දරුවොත් බිරිඳත් දෙවිට හදවතින්ම ස්තුති කරන්න පෙලඹෙන්නේ නැද්ද?
6, 7. කන්නලව් කරනවා කියන්නේ මොකක්ද? අපිට කන්නලව් කරන්න පුළුවන් මොනවා ගැනද?
6 දෙවිට කන්නලව් කරනවා කියන්නේ නිකම්ම ඉල්ලීම් කරනවට වඩා වැඩි දෙයක්. කන්නලව්වක් කියන්නේ මහත් ඕනෑකමින් කරන අයැදීමකටයි. අපිට පීඩා එද්දී, බරපතළ අසනීපයක් තියෙද්දී ඒ ගැන දෙවිට මහත් ඕනෑකමින් යාච්ඤා කරනවා නේද? ඒත් දෙවිට කන්නලව් කරන්න ඕනෙ අපිට උදව් අවශ්‍ය වෙලාවලදී විතරද?
7 අපි ටිකක් යේසුස් කියලා දුන්න යාච්ඤාව ගැන හිතමු. ඒ යාච්ඤාවේදී යේසුස් දෙවිගේ නම ගැන, දෙවිගේ රාජ්‍යය ගැන, දෙවිගේ කැමැත්ත ගැන සඳහන් කළා. (මතෙව් 6:9, 10 කියවන්න.) අපේ යාච්ඤාවලදීත් අපි ඒ දේවල් ගැන දෙවිට කන්නලව් කරන්න ඕනෙ. අද ලෝකය පුරාම තියෙන දුෂ්ටකම් නිසා මිනිසුන් දුක් විඳින හැටි බලන්න. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් සපුරන්න ආණ්ඩුවලට බැහැ. ඒ දේවලට හේතු වෙලා තියෙන සාතන්ගේ පාලනය ඉවත් කරන්න කියලත් දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළල ඉවත් කරන්න කියලත් දෙවිගේ කැමැත්ත පොළොව පුරාම ඉටු කරන්න කියලත් දෙවිට කන්නලව් කරන එක කොයි තරම් වැදගත්ද!
‘නොකඩවා යාච්ඤා කරන්න’
8, 9. ගෙත්සෙමන උයනේදී ගෝලයන්ට අවදිව ඉන්න බැරි වෙන්න ඇත්තේ ඇයි?
8 “යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න” කියලා ලිව්වේ පේතෘස් වුණත් එක අවස්ථාවක ඔහුටත් ඒක කරන්න බැරි වුණා. ඒ ගෙත්සෙමන උයනේදී. එදා එතන හිටපු පේතෘස් ඇතුළු කිහිපදෙනාට ‘අවදිව සිට නොකඩවා යාච්ඤා කරන්න’ කියලා යේසුස් කිව්වත් ඔවුන් නින්දට වැටුණා.—මතෙව් 26:40-45 කියවන්න.
9 ඒත් හදිසි වෙලා ඔවුන් ගැන තීරණයකට එන්න කලින් එදා ඔවුන් හිටපු තත්වය අපි ටිකක් තේරුම්ගමු. එදා ඔවුන්ට හරිම වෙහෙසකර දවසක්. පාස්කු උත්සවය සමරන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරන්න ඔවුන් හුඟක් මහන්සි වුණා. පාස්කුව පැවැත්තුවට පස්සේ යේසුස් තම මරණය සිහි කිරීම ගැන මඟ පෙන්වීම් දෙද්දී ඒවාට හොඳින් ඇහුම්කන් දුන්නා. (1 කොරි. 11:23-25) ඊටපස්සේ ‘ඔවුන් ප්‍රශංසා ගී ගයලා ඔලීව කන්දට පිටත්ව ගියා.’ ඒ ගමනත් ලේසි එකක් වුණේ නැහැ. යෙරුසලමේ මංමාවත් දිගේ යම් දුරක් ඔවුන්ට ඇවිදින්න සිද්ධ වුණා. (මතෙ. 26:30, 36) ඔවුන් ඔලීව කන්දට එද්දී මධ්‍යම රාත්‍රිය පහු වෙලා අඩු තරමේ හෝරා දෙක තුනක්වත් ගත වෙලා තියෙන්න ඇති. හිතන්න ඒ වගේ වෙහෙසකර දවසක් ගෙවලා ඔබත් එතැන හිටියා කියලා. සමහරවිට ඔබටත් නින්ද යයි. යේසුස් ඔවුන්ගේ තත්වය තේරුම්ගත්තා. “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ” කියලා ඔහු කිව්වේ ඒ නිසයි.
‘යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටීමේ’ වැදගත්කම වේදනාකාරී අද්දැකීමකින් පේතෘස් ඉගෙනගත්තා (10 සහ 11 ඡේද බලන්න)
10, 11. (අ) ගෙත්සෙමන උයනේදී සිදු වුණ දෙයින් පේතෘස් ඉගෙනගත්ත පාඩම මොකක්ද? (ආ) පේතෘස්ගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවද?
10 පේතෘස්ට එදා නින්ද ගියේ ඔහුට තිබුණ මහන්සිය නිසාම විතරක් නෙවෙයි. අවදිව ඉඳලා යාච්ඤා කරමින් දෙවි මත රඳා සිටීමේ වටිනාකම තේරුම්ගත්තේ නැති එකත් ඒකට එක හේතුවක්. ඔහු තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කළා. ඊට ටික වෙලාවකට කලින් “අද රාත්‍රියේ මට සිදු වන දේ නිසා ඔබ සැමදෙනාම මාව අත්හැර යනවා” කියලා යේසුස් කිව්වම ‘අන් සියලුදෙනාම ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ’ කියලා පේතෘස් කිව්වා. පේතෘස් තමන්ව හඳුනන්නේ නැහැ කියලා තුන් වතාවක්ම කියනවා කියලා යේසුස් කිව්වම ඒක පිළිගන්නේ නැතුව “මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත් ඔබව හඳුනන්නේ නැති බව නම් කොහොමටවත් කියන්නේ නැහැ” කියලා ඔහු කිව්වා. (මතෙ. 26:31-35) ඒත් පේතෘස් තුන් වතාවක්ම යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා කිව්වා. පස්සේ තමන් කළ දේ තේරුම්ගත්ත පේතෘස් ‘මහත් ශෝකයකින් ඇඬුවා.’—ලූක් 22:60-62.
11 අවදිව ඉඳලා යාච්ඤා කරනවා වෙනුවට තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කිරීම කොයි තරම් භයානකද කියලා පේතෘස් ඉගෙනගත්තේ වේදනාකාරී අද්දැකීමක් විඳලයි. ඊටපස්සේ දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න යාච්ඤාව ඔහුට හුඟක් උදව් වුණා. “යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. අපිත් ඒ උපදෙස පිළිපදිනවද? එහෙම කරලා අපි ගැන ඕනෑවට වඩා විශ්වාස කරන්නේ නැතුව දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා කියලා අපි පෙන්වනවද? (ගීතා. 85:8) “කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ. එමනිසා ඔහු සෝදිසියෙන් සිටිය යුතුයි” කියන උපදෙසත් අපි නිතරම මතක තියාගමු.—1 කොරි. 10:12.
නොකඩවා යාච්ඤා කළ නෙහෙමියා
12. නෙහෙමියා අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?
12 මුළු හදවතින්ම යාච්ඤා කළ නෙහෙමියා අපිට ආදර්ශයක්. ඔහු පර්සියාව් රජ ළඟ ලොකු තනතුරක් දැරුවත් යෙරුසලමේ යුදෙව්වන් අමාරු තත්වයක ඉන්නවා කියලා දැනගත්තම දවස් ගාණක් නිරාහාරව ඉඳලා දෙවිට යාච්ඤා කළා. (නෙහෙ. 1:4) ඒ ගැන විස්තර රජුට කියන්න ඉස්සෙල්ලත් ඔහු ‘දෙවිට යාච්ඤා කළා.’ (නෙහෙ. 2:2-4) ඒ යාච්ඤාවට ලැබුණ ප්‍රතිඵලය ඔබ දන්නවා. (නෙහෙ. 2:5, 6) සිද්ධ වුණ දෙයින් දෙවි ගැන නෙහෙමියාට තිබුණ විශ්වාසය කොයි තරම් ශක්තිමත් වෙන්න ඇද්ද!
13, 14. විශ්වාසය ශක්තිමත්ව තියාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?
13 අපිත් නෙහෙමියා වගේ නොකඩවාම යාච්ඤා කරනවා නම් අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. සාතන් හැම වෙලාවෙම බලන් ඉන්නේ අපේ විශ්වාසය ටිකක් දුර්වල වෙනකල්. එතකොට අපිට පහර දෙන්න ඔහුට ලේසියි. හිතන්න ඔබට බරපතළ අසනීපයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් නිසා ලොකු මානසික පීඩනයකින් ඉන්නවා කියලා. ඒ වගේ වෙලාවලදී ‘මං දේශනා කරලා දාන පැය ටික දෙවිට වටින්නේ නැතුව ඇති’ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. සමහරවිට අතීතයේදී විඳපු කටුක අද්දැකීමක් නිසා ඔබ අදත් හිතේ කරදරෙන් ඉන්නවා ඇති. සාතන්ට ඕනෙ ‘මගෙන් නම් කිසිම වැඩක් නැහැ’ කියලා අපි හිතනවටයි. ඒ වගේ සිතුවිලි අපි තුළ ඇති කරලා අපේ විශ්වාසය දුර්වල කරන්නයි සාතන්ට ඕනෙ. ඒත් ‘යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් ඉන්නවා’ නම් අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන්. ඒ වගේ විශ්වාසයක් තිබුණොත් විතරයි ‘දුෂ්ටයා අපි දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට අපිට හැකි වෙන්නේ.’—එෆී. 6:16.
‘යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් ඉන්නවා’ නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් (13 සහ 14 ඡේද බලන්න)
14 ‘යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් හිටියොත්’ සාතන් අපි නොසිතන වෙලාවක පරීක්ෂාවන් ගෙනාවත් ඒවාට හසු නොවී ඉන්න අපිට පුළුවන්. පීඩා පරීක්ෂා එද්දී නෙහෙමියා වගේ අපිත් ඉක්මනින්ම දෙවිට යාච්ඤා කරලා උදව් ඉල්ලමු. අපේ හිතට වැරදි ආශාවල් එද්දී ඒවා සමඟ සටන් කරලා ජය ගන්න පුළුවන් වෙන්නේ දෙවිගේ උදව් තිබුණොත් විතරයි.
අන් අය වෙනුවෙන් යාච්ඤා කරන්න
15. අපෙන්ම අහගන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද?
15 අපි අන් අය වෙනුවෙනුත් යාච්ඤා කරන්න ඕනෙ. පේතෘස්ගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් කරන්න කියලා යේසුස් ඕනෑකමින් යාච්ඤා කළා. (ලූක් 22:32) එපෆ්‍රස් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඔහු කොලොස්සියේ හිටපු තමන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මහත් උනන්දුවෙන් යාච්ඤා කළා. ඒ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “ඔහු නිතරම ඔබ වෙනුවෙන් මහත් උනන්දුවකින් යාච්ඤා කරයි. ඔහුගේ ආශාව වන්නේ ඔබ අවසානය දක්වා අවබෝධයෙන් ක්‍රියා කරන අය ලෙසත් දෙවිගේ කැමැත්ත ගැන ස්ථිර විශ්වාසයකින් සිටින අය ලෙසත් නොසැලී සිටිනවා දැකීමය.” (කොලො. 4:12) ඔබේ හිතෙනුත් මේ ප්‍රශ්න ටික අහලා බලන්න. ‘මමත් ලෝකය පුරාම ඉන්න මගේ සහෝදරයෝ ගැන මගේ යාච්ඤාවෙදී මතක් කරනවද? ස්වාභාවික විපත් නිසා දුක් විඳින සහෝදරයෝ ගැන කී වතාවක් මම යාච්ඤා කරලා තියෙනවද? දෙවිගේ සංවිධානයේ වගකීම් කරට අරන් වැඩ කරන සහෝදරයන් ගැන මං අන්තිම වතාවට යාච්ඤා කළේ කවදද? මං ළඟදී මගේ සභාවේ ඉන්න ප්‍රශ්න ගැටලු තියෙන අය වෙනුවෙන් යාච්ඤා කළාද?’
16. අන් අය වෙනුවෙන් යාච්ඤා කරන එක වැදගත්ද? පැහැදිලි කරන්න.
16 අපි අන් අය වෙනුවෙන් යාච්ඤා කරද්දී ඒකෙන් ඔවුන්ට ප්‍රයෝජන ලැබෙනවා. (2 කොරින්ති 1:11 කියවන්න.) යම් කාරණයක් ගැන හුඟදෙනෙක් හුඟක් වතාවක් යාච්ඤා කළා කියලා ඒ දේ ඉටු කරන්න දෙවි බැඳිලා නැහැ. ඒත් අපි අන් අය වෙනුවෙන් යාච්ඤා කරද්දී අපි ඔවුන් ගැන කොයි තරම් සැලකිල්ලක් දක්වනවද කියලා දෙවි දකිනවා. ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවා. ඒ නිසා අන් අය වෙනුවෙන් යාච්ඤා කරන එක අපේ වගකීමක් කියලා අපි හිතමු. එපෆ්‍රස් වගේ අපිත් අන් අය වෙනුවෙන් මහත් උනන්දුවෙන් යාච්ඤා කරමු. එහෙම කරනවා නම් “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියන දේ අද්දකින්න අපිට පුළුවන් වෙනවා.—ක්‍රියා 20:35.
‘අලුත් දිනක් අත ළඟයි’
17, 18. ‘යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටියොත්’ අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?
17 “අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි. මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු. රාත්‍රිය බොහෝදුරට ගෙවී ගොස් ඇත. අලුත් දිනක් අත ළඟය.” (රෝම 13:11, 12) අඳුරු රාත්‍රියක් හා සමාන සාතන්ගේ පාලනය අවසන් වෙලා දෙවිගේ රාජ්‍යයේ අරුණලු වැටෙන මොහොත අපි හිතනවටත් වඩා කිට්ටුයි. ඒ නිසා නිදිබර වෙන්න කාලය මේක නෙවෙයි. දෙවිත් එක්ක යාච්ඤාවෙන් කතා කරන්න ඔබට තියෙන කාලය සොරාගන්න මේ ලෝකයේ තියෙන කිසිම දේකට කවදාවත් ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට “යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න.” එහෙම කරනවා නම් දෙවිගේ මහත් දවස එනකල් “ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි” කියන උපදෙසට අනුව ජීවත් වෙන්න අපිට පුළුවන් වෙනවා. (2 පේතෘ. 3:11, 12) අපි ජීවත් වෙන විදිහෙන් අපි නිදිබරව ඉන්නවද කියලත් සාතන්ගේ දුෂ්ට සමාජයේ විනාශය අත ළඟයි කියලා අපි ඇත්තටම විශ්වාස කරනවද කියලත් පැහැදිලි වෙනවා. යේසුස් වගේ නිස්කලංක තැනක් තෝරගෙන දෙවි එක්ක නිතරම කතා කරන්න. අපි ‘නොකඩවා යාච්ඤා කරනවා’ නම් දෙවිට තව තවත් ළං වෙන්න අපිට පුළුවන්. (1 තෙස. 5:17; යාකො. 4:7, 8) ඒක මොන තරම් ආශීර්වාදයක්ද!
18 “ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී තමාව මරණයෙන් ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළේය. ඔහු දේවගරුබියෙන් කටයුතු කළ නිසා දෙවි ඔහුට සවන් දුන්නේය.” (හෙබ්‍රෙ. 5:7) යේසුස් නිතරම යාච්ඤා කරමින් දෙවිගේ උපකාර පැතුව නිසා මරණය දක්වාම විශ්වාසවන්තව ඉන්න ඔහුට පුළුවන් වුණා. තම ආදරණීය පුත්‍රයා අවසාන මොහොත දක්වාම විශ්වාසවන්තව හිටපු නිසා යෙහෝවා දෙවි ඔහුව නැවත නැඟිටුවා අමරණීය ජීවිතයක් ලබා දුන්නා. මොන තරම් පීඩා ආවත් මොන තරම් වැරදි ආශාවන් ඇති වුණත් යේසුස් වගේ අවසානය දක්වාම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිටත් පුළුවන්. ‘යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් ඉන්නවා’ නම් සදාකාල ජීවනය නමැති තෑග්ග අපිටත් ලැබෙනවා නිසැකයි.