‘යටහත් මනසක් පැළඳගෙන සිටින්න’
‘දෙවි උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන්නේය.’—1 පේතෘස් 5:5.
1, 2. මිනිසා හැසිරෙන විලාසයට බෙහෙවින් බලපාන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් කුමන මානසික නැඹුරුවාවන්ද?
දෙවිගේ වචනය අපගේ අවධානයට යොමු කරන මානසික නැඹුරුවාවන් අතුරින්, එකිනෙකට හාත්පසින්ම වෙනස් දෙකක් සඳහන් කළ හැකියි. මෙම නැඹුරුවාවන් දෙකම මිනිසා හැසිරෙන විලාසයට බෙහෙවින් බලපායි. ඉන් එකක් “යටහත් මනසක්” ලෙස විස්තර කර ඇත. (1 පේතෘස් 5:5, NW) ශබ්දකෝෂයක් “යටහත්කම” නිර්වචනය කරන්නේ “අනුන් කෙරෙහි බලපවත්වන උඩඟුකමෙන් තොර නිහතමානී වූ යමක්” හැටියටයි. යටහත් මනසක් නිහතමානීකමට සමාන්තරව දිවයන ගුණාංගයක් වන අතර, දෙවිගේ ඇස් ඉදිරියෙහි එය බෙහෙවින් සිත් ඇදගන්නා ගුණාංගයකි.
2 ප්‍රතිවිරුද්ධ ගුණාංගය නම් උඩඟුකමයි. මෙය “නුවමනා ලෙස තමා ගැන සිතීම” සහ “නිග්‍රහාත්මකව” කටයුතු කිරීම ලෙස නිර්වචනය කර ඇත. එය ආත්මාර්ථකාමී ගුණාංගයකි. අනුන්ට කොයිතරම් අහිතකර බලපෑමක් වුණත්, එහි අභිප්‍රාය ද්‍රව්‍යවාදී, ස්වලාභී හා වෙනත් වාසි ප්‍රයෝජන ලබාගැනීමයි. එයින් ඇති වන එක් ප්‍රතිඵලයක් බයිබලයෙහි මෙලෙස දක්වා ඇත: “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.” “මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යාව විඳින” ආකාරය “හිස්වූ උත්සාහයක්” ලෙස හඳුන්වා ඇත්තේ මරණයේදී “තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත්” නැති නිසයි. එසේ නම්, උඩඟුව කටයුතු කිරීම දෙවිගේ දෘෂ්ටිකෝණයෙන් පිළිකුල්සහගත දෙයක්.—දේශනාකාරයා 4:4; 5:15; 8:9.
ලෝකයෙහි බලපවත්වන ස්වභාවය
3. ලෝකයෙහි බලපවත්වන ස්වභාවය කුමක්ද?
3 මෙම මානසික නැඹුරුවාවන් දෙක අතුරින් අද ලෝකයෙහි බලපවත්වන්නේ කුමන එකද? ලෝකයෙහි රජයන්නේ කවර ස්වභාවයද? ජගත් යුද සහ සමාජ වියදම්—1996 (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කරයි. “ම්ලේච්ඡ . . . සැහැසියාව ගත් කල, 20වන සියවස තරම් දරුණු සියවසක් නැත.” දේශපාලනික සහ ආර්ථික බලය සඳහා තරඟ වැදීම නිසා මෙන්ම ජාතික, ආගමික, ගෝත්‍රික සහ වාර්ගික විරෝධතා හේතුවෙන් මෙම සියවසේදී කෝටි දහයකට අධික ජනකායකට තම ජීවිත අහිමි වී තිබෙනවා. එක එක පුද්ගලයන් අතරද ආත්මාර්ථකාමී හැසිරීම වැඩිවර්ධනය වී ඇත. චිකාගෝ ට්‍රිබියූන් නමැති පුවත්පත මෙසේ සඳහන් කළා: “ඉවක් බවක් නැති ප්‍රචණ්ඩකාරිත්වය, ළමයින්ට අතවර කිරීම, දික්කසාදය, බේබදුකම, ඒඩ්ස්, නහඹරයන් සියදිවි හානි කරගැනීම, මත්ද්‍රව්‍ය, වීථි කල්ලි, ස්ත්‍රී දූෂණ, අවජාතක දරුවන්, ගබ්සාව, කාමුක කෘති, . . . බොරු කීම, වංචාව, දේශපාලනික දූෂණ ආදිය සමාජය පිරිහී ඇති බවට සාක්ෂි වේ. . . . හරි වැරැද්ද පිළිබඳ සදාචාර සංකල්පයන් පසෙක දමා තිබෙනවා.” එමනිසා, UN ක්‍රොනිකල් මෙසේ අනතුරු ඇඟෙව්වා: “සමාජීය ව්‍යූහය පිරිහෙමින් පවතී.”
4, 5. මෙලොවෙහි දක්නට ලැබෙන ස්වභාවය අපගේ කාලය පිළිබඳ බයිබල් අනාවැකිවල නිවැරදිව විස්තර කර ඇත්තේ කෙසේද?
4 මෙම තත්වයන් ලොව පුරාම පවතී. “අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව . . . සිටින්නෝය” කියා අපගේ කාලය ගැන කළ බයිබල් පුරෝකථනය කොතරම් සැබෑද!—2 තිමෝති 3:1-5.
5 මෙලොවෙහි බලපවත්වන ස්වභාවය ගැන පැහැදිලි පින්තූරයක් ඉහත විස්තරයෙහි අඩංගුය. එය වනාහි මමත්වය පිළිබිඹු කරන, ආත්මාර්ථකාමී ආකල්පයක්. ජාතීන් අතර පවතින තරඟකාරිත්වය පුද්ගලයන් අතර පවතින තරඟකාරිත්වය තුළින් පිළිබිඹු වෙනවා. නිදසුනක් ලෙස, බොහෝ ක්‍රීඩකයන්ගේ අභිප්‍රාය වී ඇත්තේ, ක්‍රීඩා ක්ෂේත්රයෙහි වෙනත් අයට චිත්තවේගීයව හෝ ශාරීරිකව වුණත් හානි පමුණුවා, වැදගත් තැනක මුල් තැන ගෙන කටයුතු කිරීමයි. මෙම ආත්මාර්ථකාමී ස්වභාවය දරුවන් තුළ පෝෂණය වන අතරම, වැඩිහිටියන්ගේ ජීවිතයේ නොයෙකුත් අංගයන්වල දිගටම දක්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, “සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද” දක්නට ලැබෙනවා.—ගලාති 5:19-21.
6. ආත්මාර්ථකාමිත්වයට දිරි දෙන්නේ කවුද? යෙහෝවා මෙම මානසික නැඹුරුවාව සලකන්නේ කෙසේද?
6 මෙලොවෙහි ආත්මාර්ථකාමී ස්වභාවයෙන්, “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයා,” එනම්, “සාතන්යයි කියනලද” තැනැත්තාගේ ස්වභාවය පිළිබිඹු වන බව බයිබලය පෙන්නුම් කරයි. මෙම අන්තරා සහිත අන්තිම දවස්වල ජීවත් වන ජනතාව කෙරෙහි සාතන් බලපෑම් කරන ආකාරය ගැන බයිබලය මෙසේ පුරෝකථනය කරයි: “ගොඩට . . . දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” (එළිදරව් 12:9-12) එමනිසා මිනිස් පවුල තුළ ආත්මාර්ථකාමී නැඹුරුවාවක් ප්‍රවර්ධනය කිරීමේ අටියෙන් ඔහුද, ඔහුගේ භූතයන්ද තම වෑයම වැඩි කර තිබෙනවා. හැබැයි, එවැනි ආකල්පයක් ගැන යෙහෝවාට හැඟෙන්නේ කෙසේද? ඔහුගේ වචනය පවසන්නේ, “උඩඟු සිත් ඇති කවුරු නුමුත් [යෙහෝවාට] පිළිකුලක්” වන බවයි.—හිතෝපදේශ 16:5.
යෙහෝවා යටහතුන් සමඟයි
7. යෙහෝවා යටහතුන්ව සලකන්නේ කෙසේද? ඔහු ඔවුන්ට උගන්වන්නේ කුමක්ද?
7 අනික් අතට, යටහත් මනසක් ඇති අයට යෙහෝවාගේ ආශීර්වාද ඇත. යෙහෝවාට ගැයූ ගීයක, දාවිත් රජ මෙසේ පැවසුවා: “ඔබ පීඩිත [යටහත්, NW] සෙනඟ [ගළවන්නෙහිය]. එහෙත් උඩඟුවූවන් පහත්කරන පිණිස ඔබගේ ඇස් ඔවුන් දෙසට යොමා තිබේ.” (2 සාමුවෙල් 22:1, 28) එබැවින් දෙවිගේ වචනයෙහි මෙම උපදෙස අන්තර්ගතයි: “දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, [යෙහෝවාව] සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා [යෙහෝවාගේ] උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.” (ශෙපනියා 2:3) නිහතමානීව යෙහෝවාව සෙවීමට තැත් කරන අය ඔහුගෙන් ඉගෙනුම ලබන්නේ, මෙලොවෙහි පවතින ස්වභාවයට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් වර්ධනය කරගන්නයි. ඔහු ‘යටහතුන්ට තමන්ගේ මාර්ගය උගන්වන්නේය.’ (ගීතාවලිය 25:9; යෙසායා 54:13) ඒ මාර්ගය තමයි ප්‍රේමයේ මාර්ගය. එහි පදනම වන්නේ, දෙවිගේ ප්‍රමිතිවලට එකඟව හරි දේ කිරීමයි. බයිබලයට අනුව, ප්‍රතිපත්ති මත පදනම් වූ මෙම ප්‍රේමය “පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, . . . තමාගේම කාරණා සොයන්නේ නැත.” (1 කොරින්ති 13:1-8) යටහත් මනසක් පිළිබිඹු කිරීමේදීත් එය ප්‍රකාශ වෙනවා.
8, 9. (අ) ප්‍රතිපත්ති මත පදනම් ප්‍රේමයේ උල්පත කුමක්ද? (ආ) යේසුස් විදහාපෙන්වූ ප්‍රේමය සහ නිහතමානීකම අනුකරණය කිරීම කොතරම් වැදගත්ද?
8 පාවුල් සහ මුල් සියවසේ වෙනත් ක්‍රිස්තියානීන් මෙයාකාරයේ ප්‍රේමය ගැන ඉගෙනගත්තේ යේසුස්ගේ ඉගැන්වීම්වලිනුයි. යෙහෝවා ගැන බයිබලය පවසන්නේ ‘දෙවි ප්‍රේමය’ කියායි. එමනිසා යේසුස් ප්‍රේමය ගැන තම පියාගෙන් ඉගෙනගත්තා. (1 යොහන් 4:8) ප්‍රේමය නමැති ව්‍යවස්ථාවට එකඟව ජීවත් වීම තමා සඳහා දෙවිගේ කැමැත්ත බව යේසුස් දැනසිටියා පමණක් නොව, ඔහු එසේ කළා. (යොහන් 6:38) තැළී පොඩි වී සිටි අය, දිළින්දන් සහ පව්කාරයන් සඳහා යේසුස්ට අනුකම්පාවක් තිබුණේ එනිසයි. (මතෙව් 9:36) ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම [මෘදුව, සිතින් යටත්ව] සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න.”—මතෙව් 11:28, 29, ඇල අකුරු අපගේය.
9 “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි” පැවසූ විට, තම ප්‍රේමය සහ නිහතමානීකම අනුකරණය කිරීමේ වැදගත්කම යේසුස් තම ගෝලයන්ට කාවැද්දුවා. (යොහන් 13:35) එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ආත්මාර්ථකාමී ලොවෙහි වෙනස් අය වශයෙන් ඔවුන් කැපීපෙනෙනවා. ‘ඔවුනුත් ලෝකයාට අයිති නැත’ යනුවෙන් යේසුස්ට තම අනුගාමිකයන් ගැන පැවසිය හැකි වූයේ එමනිසයි. (යොහන් 17:14) ඔව්, ඔවුන් සාතන්ගේ ලෝකයෙහි රජයන උඩඟු, ආත්මාර්ථකාමී ස්වභාවය අනුකරණය කරන්න ගියේ නැහැ. ඒ වෙනුවට යේසුස් විදහාපෙන්වූ ප්‍රේමයේ සහ නිහතමානීකමේ ස්වභාවයම ඔවුන් අනුකරණය කළා.
10. අපගේ කාලයේ සිටින යටහතුන් සමඟ යෙහෝවා කටයුතු කරන්නේ කෙසේද?
10 මෙම අන්තිම දවස්වල, ප්‍රේමය සහ නිහතමානීකම මත පදනම් වූ ලෝක ව්‍යාප්ත සමාජයක් තුළට නිහතමානී අයව එක්රැස් කරනු ලබන බව දෙවිගේ වචනය පුරෝකථනය කළා. මේ අනුව, අහංකාරයට වැඩි වැඩියෙන් නැඹුරු වන ලොවක, යෙහෝවාගේ සෙනඟ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකල්පය වන යටහත් මනසක් විදහාපෙන්වනවා. එවන් අයගේ අදහස මෙසේ දැක්විය හැකියි: ‘යෙහෝවාගේ කන්දට [ඔහුගේ උත්කෘෂ්ට වූ සැබෑ නමස්කාරය වෙතට] යමු. ඔහු තමන්ගේ මාර්ග අපට උගන්වයි, අපිද ඔහුගේ මාවත්වල යන්නෙමු.’ (යෙසායා 2:2, 3) දෙවිගේ මාවත්වල ගමන් කරන මෙම සමස්ත ලෝක සමාජය සෑදී ඇත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙනි. “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි [ගණනින් වැඩි වන] මහත් සමූහයක්” මීට ඇතුළත් වෙනවා. (එළිදරව් 7:9) දැන් මෙම මහත් සමූහය දශලක්ෂ ගණන් ජනකායකගෙන් සමන්විතයි. නිහතමානීකම විදහාපෙන්වීමට යෙහෝවා ඔවුන්ව පුහුණු කරන්නේ කෙසේද?
යටහත් මනසක් ඇති කරගැනීමට ඉගෙනගැනීම
11, 12. දෙවිගේ සේවකයන් යටහත් මනසක් විදහාපෙන්වන්නේ කෙසේද?
11 දෙවිට අවනත වන්න කැමති ඔහුගේ සෙනඟ මත ශුද්ධාත්මය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙලොවෙහි නපුරු ස්වභාවය ජයගැනීමටත්, දෙවිගේ ශුද්ධාත්මයේ ඵල වර්ධනය කරගැනීමටත් ඔවුන් ඉගෙනගන්නවා. ‘ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ-ඉවසිලිවන්තකම, කරුණාව, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම සහ ආත්ම-දමනය’ නමැති ගුණාංග තුළින් මෙය ප්රත්යක්ෂ වෙනවා. (ගලාති 5:22, 23) මෙම ගුණාංග වර්ධනය කරගැනීමට උපකාරයක් ලෙස දෙවිගේ සේවකයන්ට මෙසේ පවසා තිබෙනවා: “නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.” (ගලාති 5:25ආ) ඊට සමාන අදහසක් ප්‍රේරිත පාවුල් මෙලෙස පළ කළා: “නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, . . . පමණදැන සිතන හැටියට, . . . නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.”—රෝම 12:3.
12 “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා [දෙවිගේ සේවකයන් වන] වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න” කියා දෙවිගේ වචනය සැබෑ ක්‍රිස්තියානීන්ට අවවාද කරයි. (පිලිප්පි 2:3, 4) “කිසිවෙක් තමාගේම කාරණ නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.” (1 කොරින්ති 10:24) ඔව්, පරාර්ථකාමී අදහස් සහ ක්‍රියාවන් සමඟින් “ප්‍රේමය ගොඩනංවයි.” (1 කොරින්ති 8:1, NW) තරඟයකට නොව සහයෝගයට එය දිරිගන්වයි. යෙහෝවාගේ සේවකයන් අතර ආත්මාර්ථකාමී ස්වභාවයකට කිසිදු තැනක් නැහැ.
13. යටහත් මනසක් පැළඳගැනීම ඉගෙනගත යුතු දෙයක් වන්නේ මන්ද? තවද කෙනෙක් එය ඉගෙනගන්නේ කෙසේද?
13 කොහොම නමුත්, අසම්පූර්ණත්වය උරුම කරගැනීම හේතුවෙන්, අප යටහත් මනසක් ඇතුව ඉපදෙන්නේ නැහැ. (ගීතාවලිය 51:5) මෙම ගුණාංගය ඉගෙනගත යුතුයි. තවද ළදරු වියේ සිට දෙවිගේ මාර්ගයන් ගැන ඉගෙනීමක් ලබා නැති, ජීවිතයේ පසු අවදියක එම මාර්ගයන් අනුව ගමන් කිරීමට උත්සාහ කරන අයට මෙය දුෂ්කර විය හැකියි. මේ වන විටත්, පරණ ලොවෙහි ආකල්ප මත පදනම් වූ පෞද්ගලිකත්වයක් ඔවුන් ගොඩනඟා ඇත. එමනිසා, “[ඔවුන්ගේ] ජීවිතයේ පළමු හැසිරීම ලෙස . . . [අඹනු ලැබූ] පරණ මනුෂ්‍යයා පහකරදමා, සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [දෙවිට] සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පැළඳගැනීමට]” ඉගෙනගන්න ඔවුන්ට සිදු වෙනවා. (එපීස 4:22, 24) දෙවි ඉල්ලා සිටින්නේ, “[ඔහුගේ] ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද [යටහත් මනසක්ද, NW] මෘදුකමද ඉවසිලිවන්තකමද [පැළඳගැනීමටයි].” (කොලොස්සි 3:12) දෙවිගේ උපකාරය ඇතුව මෙම අවශ්‍යතා ඉටු කිරීමට අවංක අයට හැකි වෙයි.
14. උසස් තනතුරු හිමි කරගැනීමේ අභිලාෂයට එරෙහිව යේසුස් කතා කළේ කෙසේද?
14 යේසුගේ ගෝලයන්ට එය ඉගෙනගැනීමට සිදු වුණා. ඔවුන් යේසුස්ගේ ගෝලයන් බවට පත් වූ විට, ඔවුන් වැඩිහිටි වයසේ පසු වූ නිසා, ඔවුන් අතර යම් දුරකට තරඟකාරි ස්වභාවයක් පැවතුණා. ඔවුන් දෙදෙනෙකුගේ මවක් ඇගේ පුත්‍රයන් සඳහා උසස් තැනක් ලබා දෙන්න සෙවූ විට, යේසුස් මෙසේ පැවසුවා: “අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයින් [ජනතාව] කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. එසේම මනුෂ්‍ය පුත්‍රයා [යේසුස්] සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.” (මතෙව් 20:20-28) උසස් තනතුරු ලබාගැනීමේ අභිප්‍රායෙන් පදවි නාම භාවිත නොකිරීමට යේසුස් තම ගෝලයන්ට පැවසූ විට, “නුඹලා සියල්ලෝම සහෝදරයෝය” කියා ඔහු එකතු කළා.—මතෙව් 23:8.
15. අවේක්ෂකයෙකු ලෙස මෙහෙ කිරීමට කැමති අය කුමන ආකල්පයක් විදහාපෙන්විය යුතුද?
15 යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් කියන්නේ සේවකයෙක්, ඔව් සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන දාසයෙක්. (ගලාති 5:13) සභාවෙහි අවේක්ෂණය කිරීමේ වගකීම දැරීමට සුදුසුකම් ලබන අය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සැබෑවක් වෙනවා. ප්‍රසිද්ධිය හෝ බලය ලැබීමට ඔවුන් කිසිවිටකත් තරඟ නොකළ යුතුයි. ‘ඔවුන්ගේ භාරයට දෙන ලද අය කෙරෙහි අධිපතිකම් කරන්නාක් මෙන් නොව රැළට ආදර්ශව සිටීම’ ඔවුන්ගෙන් අපේක්ෂා කෙරේ. (1 පේතෘස් 5:3) ඇත්තෙන්ම, පුරුෂයෙකු අභිලාෂකාමී ස්වභාවයක් විදහාපෙන්වනවා නම්, අවේක්ෂකයෙකු වීමට ඔහු නුසුදුසු තත්වයක සිටිනවා. එවැනි පුද්ගලයෙකු සභාවට හානිකර විය හැකියි. “අවේක්ෂකයෙකු ලෙස මෙහෙ කිරීමට වෙර දැරීම” [NW] උචිත දෙයක් වුණත්, එය ජනිත විය යුත්තේ සෙසු ක්‍රිස්තියානීන්ට සේවය කිරීමේ ආශාවකිනුයි. මෙම මෙහෙය ප්‍රසිද්ධිය සහ බලය ලබන තනතුරක් නොවෙයි. ඇත්තෙන්ම සභාව තුළ වඩාත්ම යටහත් මනසක් තිබිය යුත්තේ අවේක්ෂකයන් ලෙස කටයුතු කරන අයටයි.—1 තිමෝති 3:1, 6.
16. දියොත්රෙපස්ව දෙවිගේ වචනයෙහි හෙළා දැක ඇත්තේ මන්ද?
16 ප්‍රේරිත යොහන් වැරදි ආකල්පයක් තිබුණු පුද්ගලයෙකුව අපගේ අවධානයට ලක් කරමින් මෙසේ පවසනවා: “මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප්‍රධානකමට කැමති දියොත්‍රෙපස් අප පිළිගන්නේ නැත.” මෙම පුරුෂයා තමාගේ තත්වය උසස් කරගැනීමේ අභිලාෂය ඇතුව අනුන් සමඟ අගෞරවනීය ආකාරයකින් කටයුතු කළා. එමනිසා, දියොත්‍රෙපස් දැක්වූ ආත්මාර්ථකාමී ආකල්පය හේතුවෙන්, ඔහුව හෙළා දැකීමටත් එම හෙළා දැකීම බයිබල් වාර්තාවට ඇතුළත් කිරීමටත් දෙවිගේ ආත්මය යොහන්ව පෙලඹුවා.—3 යොහන් 9, 10.
නිසි ආකල්පය
17. පේතෘස්, පාවුල් සහ බාර්ණබස් යටහත් මනසක් විදහාපෙන්වූයේ කෙසේද?
17 යටහත් මනසක් ඇතුව සිටීමේ නිසි ආකල්පය ගැන බයිබලයෙහි ආදර්ශ බොහොමයක් ඇත. පේතෘස් කොර්නේලියස්ගේ නිවසට ඇතුල් වූ විට, එම පුරුෂයා “[පේතෘස්] ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාරකෙළේය.” කෙසේවෙතත්, එම ගරු බුහුමන භාරගන්නවා වෙනුවට, “පේතෘස්: නැගිටින්න, මමත් මනුෂ්‍යයෙකැයි කියා ඔහු නැගිටෙව්වේය.” (ක්‍රියා 10:25, 26) පාවුල් සහ බාර්ණබස් ලුස්ත්‍රාවෙහි සිටි විට, පාවුල් උපතින්ම අන්ධ වූ පුරුෂයෙකුව සුව කළා. ඒ හේතුවෙන්, මෙම ප්‍රේරිතයන් දෙවිවරුන් බව ජනතාව කියන්න පටන්ගත්තා. කෙසේවෙතත්, පාවුල් සහ බාර්ණබස් “තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා: මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය.” (ක්‍රියා 14:8-15) නිහතමානී වූ මෙම ක්‍රිස්තියානීන් මනුෂ්‍යයන්ගේ ගෞරවය භාරගන්න කැමති වුණේ නැහැ.
18. නිහතමානීව කටයුතු කළ බලගතු දේවදූතයෙක් යොහන්ට පැවසුවේ කුමක්ද?
18 ප්‍රේරිත යොහන්ට ‘යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් කිරීමක්’ දෙනු ලැබූ විට, එය ලබා දුන්නේ දේවදූතයෙකු මාර්ගයෙනි. (එළිදරව් 1:1) දේවදූතයෙකු සතු බලය සැලකිල්ලට ගත් කල, යොහන් භය වුණේ ඇයි කියා අපට තේරුම්ගත හැකියි. වරක් එක දේවදූතයෙක් එක රැයකින් අෂූරිවරුන් 1,85,000දෙනෙක්ව විනාශ කළේ නැද්ද? (2 රාජාවලිය 19:35) යොහන්ගේ විස්තරය සලකා බලන්න: “මම ඇසූ දුටු කල මේ දේ මට පෙන්වූ දේවදූතයාට නමස්කාරකරන්ට ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහු මට කථාකොට: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ [සහෝදරයන්ගේද] . . . හවුල් මෙහෙකරුවෙක්ය. [දෙවිට] නමස්කාරකරන්නැයි කීවේය.” (එළිදරව් 22:8, 9) එතරම් බලගතු දේවදූතයෙක් කොතරම් යටහත් මනසක් විදහාපෙන්නුවාද?
19, 20. යේසුස්ගේ යටහත් මනස සහ විජයග්‍රාහී රෝම සේනාධිපතීන්ගේ අහංකාරය අතර වෙනස දක්වන්න.
19 යටහත් මනසක් දැක්වූ ශ්‍රේෂ්ඨතම ආදර්ශය, යේසුස්. ඔහු දෙවිගේ ඒකජාතක පුත්‍රයායි. දෙවිගේ ස්වර්ගික රාජ්‍යයෙහි අනාගත රජුයි. ඔහු එවන් තත්වයන් ඇතුව ජනතාව ඉදිරියෙහි පෙනී සිටි විට, රෝම ලෝකයේ විජයග්‍රාහී සේනාධිපතීන් මෙන් ඔහු කටයුතු කළේ නැහැ. ඔවුන් විශාල පෙරහැරවල ගමන් කළ අතර, සුදු අශ්වයන් හෝ ඇතුන්, සිංහයන් හෝ කොටීන් පවා ඇදගෙන ගිය රනින් හා ඇත් දළවලින් සැරසූ රථවල නැඟී ගියා. එම පෙරහැරවල විජයග්‍රාහී ගී ගැයූ ගායකයන්, කොල්ලය පැටවූ කරත්ත, යුද්ධයේ අවස්ථාවන් රඟ දැක්වූ ප්‍රදර්ශන රථ දක්නට ලැබුණා. අල්ලාගත් රජුන්, කුමාරයන් සහ සේනාධිපතීන් මෙන්ම ඔවුන්ගේ පවුල්ද එම පෙරහැරවලදී ප්‍රදර්ශනය කළා. බොහෝදුරට ඔවුන්ට අවමන් කිරීමට ඔවුන්ව ගෙන ගියේ නිරුවතින්. මෙවැනි අවස්ථාවන්වල බලපැවැත්වූයේ, උඩඟුකමයි අහංකාරයයි.
20 මීට වෙනස්ව, යේසුස් තමාවම ඉදිරිපත් කළ ආකාරය සලකා බලන්න. තමා ගැන පැවසූ අනාවැකිය ඉටු කිරීමට නිහතමානීව යටත් වන්න ඔහු කැමති වුණා. එහි මෙසේ පැවසුවා: ‘බලව, නුඹේ රජ නුඹ වෙතට එන්නේය. ඔහු ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; ඔහු යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එන්නේය.’ අලංකාරයෙන් යුත් පෙරහැරක සතුන් ඇදගෙන ගිය රථයක නොව, සාමාන්‍යයෙන් බර ඉසිලීමට යොදාගන්නා සත්වයෙකු පිටයි ඔහු නිහතමානීව ගමන් කළේ. (සෙකරියා 9:9; මතෙව් 21:4, 5) සැබවින්ම යටහත් මනසක් ඇති, නිහතමානී, ප්‍රේමනීය, අනුකම්පාසහගත සහ දයාන්විත කෙනෙකු වන යේසුස්, නව ලොවේදී මුළු පොළොවෙහිම යෙහෝවාගේ පත් කරන ලද රජ වශයෙන් සිටීම නිහතමානී පුද්ගලයන්ට මොනතරම් සන්තෝෂයක්ද!—යෙසායා 9:6, 7; පිලිප්පි 2:5-8, NW.
21. යටහත් මනසක් තිබීමෙන් කුමක්ද අදහස් නොකරන්නේ?
21 යේසුස්, පේතෘස්, පාවුල් සහ බයිබල් කාලවල විසූ වෙනත් ඇදහිලිවන්ත ස්ත්‍රීන් සහ පුරුෂයන් යටහත් මනසකින් සැරසී සිටි බවට වූ කාරණයෙන් නිහතමානීකම දුර්වලකමක් යන අදහස දුරු වෙයි. ඒ වෙනුවට, එයින් ශක්තිමත් චරිතයක් පිළිබිඹු වෙයි. මන්දයත් එවැන්නන් එඩිතරව සහ ජ්වලිතව කටයුතු කළ බැවිනි. ඉමහත් මානසික මෙන්ම සදාචාරමය ශක්තියක් ඇතුව, ඔවුන් දැඩි පීඩා හමුවේ විඳදරාගෙන සිටියා. (හෙබ්‍රෙව්, 11වන පරිච්ඡේදය) තවද අදදින, යෙහෝවාගේ සේවකයන් යටහත් මනසකින් කටයුතු කරන විට, දෙවි යටහතුන්ව තම ප්‍රබල ශුද්ධාත්මයෙන් බලවත් කරන බැවින්, ඔවුන්ට ඒ හා සමාන ශක්තියත් ඇත. එබැවින්, අපට මෙසේ උනන්දු කර ඇත: ‘නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටත්කම [යටහත් මනසක්, NW] පැළඳගන්න. මක්නිසාද දෙවි උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන්නේය. එබැවින් දෙවි සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස ඔහුගේ බලවත් හස්තයට යටත් වෙන්න.’—1 පේතෘස් 5:5, 6; 2 කොරින්ති 4:7, NW.
22. මීළඟ ලිපියෙහි සාකච්ඡා කරන්නේ කුමක්ද?
22 යටහත් මනසක් තිබීමට ඇතුළත් වන, දෙවිගේ සේවකයන් වර්ධනය කරගත යුතු තවත් ඒකාන්ත අංගයක් තිබෙනවා. සභාවන් තුළ ප්‍රේමයේ සහ සහයෝගයේ ස්වභාවය වැඩිවර්ධනය කිරීමට බෙහෙවින් දායක වන පැත්තක් ලෙස එය සැලකිය හැකියි. ඇත්තෙන්ම, එය යටහත් මනසකට ඇතුළත් වන අත්‍යවශ්‍ය අංගයක්. මෙය මීළඟ ලිපියෙහි සලකා බලනු ලැබේ.
පුනරීක්ෂණය
◻ ලෝකයෙහි බලපවත්වන ස්වභාවය විස්තර කරන්න.
◻ යෙහෝවා යටහත් මනසක් ඇති අයට අනුග්‍රහය දක්වන්නේ කෙසේද?
◻ යටහත් මනසක් පැළඳගන්න ඉගෙනගත යුත්තේ මන්ද?
◻ යටහත් මනසක් විදහාපෙන්වූ පුද්ගලයන් පිළිබඳව බයිබලයේ සඳහන් ආදර්ශ කිහිපයක් නම් කරන්න.
[15වන පිටුවේ පින්තූරය]
දේවදූතයා යොහන්ට මෙසේ පැවසුවා: “එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේ . . . හවුල් මෙහෙකරුවෙක්ය”