ක’ලීජියන්ට්වරු බයිබල් අධ්‍යයනය ඔවුන්ව වෙනස් අය බවට පත් කළා
ඔබ ක’ලීජියන්ට්වරු ගැන අසා තිබේද?
දාහත්වන සියවසේ විසූ මේ කුඩා ලන්දේසී ආගමික කණ්ඩායම, එකල පිහිටුවා තිබූ සභාවලට වඩා වෙනස් වූවා. එසේ වුණේ කොහොමද? එමෙන්ම අපට ඔවුන්ගෙන් උගත හැකි පාඩම කුමක්ද? එය දැනගැනීම සඳහා අප අතීතයට ගමන් කරමු.
වර්ෂ 1587දී, යාකෝබ්යූස් ආර්මිනීයස් (නැතිනම් යාකොප් හර්මන්සන්), ඇම්ස්ටඩෑම් නම් නගරයට පැමිණියා. ඔහුගේ සුදුසුකම් පිළිබඳ විස්තරය ඉතා කදිම එකක් වීම හේතුවෙන් ඔහුට රැකියාවක් සොයාගැනීම එතරම් අපහසු වූයේ නැහැ. වයස 21දී ඔහු ඕලන්දයේ ලයිඩන් සරසවියෙන් උපාධි ලැබුවා. අනතුරුව, ඔහු අවුරුදු හයක කාලයක් ස්වීට්සර්ලන්තයේ රෙපරමාදු පුනරුත්ථාපක ජොන් කැල්වින්ගේ තැන ගත් තේඅඩෝර් (ලතින්: තියඩෝරස්) බීස යටතේ දේවධර්මාචාරය ඉගෙනගත්තා. එහෙම නම්, ඇම්ස්ටඩෑම්හි රෙපරමාදුවන් 27 හැවිරිදි ආර්මිනීයස්ව තමන්ගේ දේවගැතිවරයෙක් හැටියට පත් කිරීමට කැමති වීම ගැන පුදුම විය යුතු නැහැ. එහෙත්, වසර කිහිපයකට පසු, පල්ලි සාමාජිකයන් බොහෝදෙනෙක් තමන් ගත් තීරණය ගැන පසුතැවුණා. ඇයි?
දෛවයේ වාද විෂය
ආර්මිනීයස් දේවගැතිවරයෙක් බවට පත්වීමත් සමඟ, දෛවයේ මූලධර්මය සම්බන්ධයෙන් ඇම්ස්ටඩෑම්හි රෙපරමාදූන් අතරේ කැලඹිලිසහගත තත්වයක් ඇති වුණා. මෙම මූලධර්මය කැල්වින්වාදයේ පදනමව තිබූ නමුත්, සමහරෙකුට ගැළවීමත් තවත් අයට ශාපයත් කලින් නියම කර තිබූ දෙවි, ඇත්තෙන්ම කුරිරු අයුක්තිසහගත කෙනෙක් බව පල්ලියේ ඇතැම් සාමාජිකයන් විශ්වාස කළා. බීසගේ සිසුවෙක් හැටියට, ආර්මිනීයස් වෙනස් මත දැරූ අයව නිවැරදි කරාවිය කියා කැල්වින්වාදීන් අපේක්ෂා කළා. කොහොම වුණත්, ආර්මිනීයස් වෙනස් මත දැරූ අයගේ පැත්ත ගත් අතර, මෙය කැල්වින්වාදීන්ගේ පුදුමයට හේතු වුණා. වර්ෂ 1593 වන විට වාදය කොතරම් බරපතළ වීද යත්, නගරයේ සිටි රෙපරමාදුවන්ව කණ්ඩායම් දෙකකට බෙදනු ලැබුවා. එනම්, මූලධර්මයට සහය දුන් කණ්ඩායම හා එය ප්‍රතික්ෂේප කළ කණ්ඩායම වූ මධ්‍යම ප්‍රතිපදාව රැකගත් අයයි.
අවුරුදු කිහිපයක් ඇතුළතදී, මෙම ප්‍රාදේශීය වාදය ජාතික මට්ටමේ රෙපරමාදු බෙදීමකට තුඩු දුන්නා. අන්තිමේදී, 1618 නොවැම්බර් මස වන විට, එය විශාල ගැටුමකට මඟ සැලසුවා. හමුදාවේ හා මහජන මතයේ සහයෝගය ලද කැල්වින්වාදීන්, වෙනස් මත දැරූවන්ව (විරුද්ධවාදීන් හැටියට එකල හැඳින්වූ අයa) ජාතික මන්ත්‍රණ සභාවකට එනම්, ඩෝර්ඩ්රෙක්ට්හි රෙපරමාදු සම්මුතියකට කැඳවනු ලැබුවා. රැස්වීමෙන් පසුව, විරුද්ධවාදී දේවගැතියන් සියලුමදෙනාට තේරීමක් කිරීමට අවස්ථාව දෙනු ලැබුවා. එක්කෝ යළි කිසිදාක දේශනා නොකිරීමට අත්සන් කිරීම, එහෙම නැත්නම් රටෙන් පිටවීම. බොහෝදෙනෙක් පිටුවහල්භාවය පිළිගත්තා. විරුද්ධවාදීන් අතහැර ගිය පදවිවල තැන ගත්තේ දැඩි කැල්වින්වාදීන් විසිනුයි. කැල්වින්වාදය විජයග්රහණයක් ලබා තිබුණ බවයි සිතුවේ.
ක’ලීජියන්ට්වරුන්ගේ උපත හා වර්ධනය
වෙනත් තැන්වල සිදු වූ දෙයට සමානව, ලයිඩන් අසල වොර්මොන්ට් නම් ගම්මානයේ පිහිටි විරුද්ධවාදී සභාවට, එහි සේවය කළ දේවගැතිවරයා අහිමි වුණා. කොහොම වුණත්, වෙනත් ප්‍රදේශවලට වෙනස්ව, දේවගැති සම්මුතිය නිර්දේශ කළ එම තැන ගත් පුද්ගලයාව සභාව පිළිගත්තේ නැහැ. තවදුරටත්, 1620දී විරුද්ධවාදී දේවගැතියෙක් වොර්මොන්ට් වෙතට පැමිණ සේවය කිරීමට තම ජීවිතය පවා පරදුවට තැබූ නමුත්, සභාව ඔහුවත් පිළිගත්තේ නැහැ. කිසිම පූජකයෙකුගේ සහය නැතුව මෙම සාමාජිකයන් තම ආගමික රැස්වීම් හොර රහසේ පවත්වමින් සිටියා. අනතුරුව මෙම රැස්වීම්වලට කොලෙජ් කියා නම් තැබූ අතර, ඊට සහභාගිවූවන්ව ක’ලීජියන්ට්වරුන් කියා හැඳින්වූවා.
ක’ලීජියන්ට්වරු බිහි වූයේ ප්‍රතිපත්තියට වඩා තත්වය හේතුකොටගෙන වුවත්, එම තත්වය ඉක්මනින්ම වෙනස් වූවා. සභා සාමාජිකයෙකු වූ හයිස්බර්ට් වාන් ඩ කෝඩ වාද කළේ, පූජකමය අධීක්ෂණයක් නොමැතිව එක්රැස්වීමෙන් එම කණ්ඩායම, ස්ථාපිත කර තිබූ පල්ලිවලට වෙනස්ව, බයිබලයත් මුල් ක්‍රිස්තියානීන්ගේ මාර්ගයත් වඩාත් කිට්ටුවෙන් අනුකරණය කළ බවයි. පූජක පක්ෂය කියන්නේ, යම් වෘත්තියක් ඉගෙනීමට අකමැති වූ මිනිසුන්ට යම් වැඩක් ලබා දීම සඳහා ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසුව ඇති කළ දෙයක් බව ඔහු තවදුරටත් පැවසුවා.
වර්ෂ 1621දී වාන් ඩ කෝඩ හා සමාන මතධාරීන් තම රැස්වීම් තවත් කිට්ටු ගමක් වූ රයීන්ස්බහ්b වෙතට මාරු කළා. අවුරුදු කිහිපයකට පසු, ආගමික පීඩාව වෙනුවට ආගමික සාධාරණත්වය එහි තැන ගෙන තිබූ අවධියක, ක’ලීජියන්ට්වරුන්ගේ රැස්වීම් රට පුරා ප්‍රචලිත වූ අතර “විවිධ පසුබිම් තිබූ මිනිසුන්” ඊට ආකර්ෂණය වුණා. එය හරියට “වයිවර්ණ පිහාටුවලින් යුත් කුරුල්ලන්ගේ කැදැල්ලකට එනවා වගෙයි” කියා ඉතිහාසඥ සෙහ්ෆ්රීට් සිල්වබහ් පෙන්නුම් කළා. එහි විරුද්ධවාදීන්, මෙනොනයිට්වරුන්, සසිනීයන්වරු හා දේවධර්මාචාරීන් පවා සිටියා. සමහරුන් ගොවියන්. වෙනත් අය කවියන්, මුද්‍රණ ශිල්පීන්, වෛද්‍යවරුන් හා විවිධ ව්‍යාපාරිකයන් වුණා. දාර්ශනික ස්පිනෝසා (බෙනඩික්ටස් ද ස්පිනෝසා) හා පණ්ඩිත යොහාන් ආමොස් කමිනියස් (හෝ, යාන් කොමෙන්ස්කි) මෙන්ම, සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි රෙම්බ්‍රාන්ට් වාන් රයින් මෙම ව්‍යාපාරයට අනුග්‍රහය දැක්වූවා. මෙම ශ්රද්ධාවත් මිනිසුන් හා ඔවුන්ගේ අදහස් මගින් ක’ලීජියන්ට් විශ්වාසයන් වර්ධනය වූවා.
වර්ෂ 1640න් පසු මෙම අද්විතීය කණ්ඩායම පුදුමාකාර අයුරින් වර්ධනය වූවා. රෝටඩෑම්, ඇම්ස්ටඩෑම් හා ලේවෝඩන් හා වෙනත් නගරවල කොලෙජ් පිහිටුවනු ලැබුවා. වර්ෂ 1650 හා 1700 අතර කාලය තුළ “ක’ලීජියන්ට්වරු . . . දාහත්වන සියවසේ ඕලන්දයේ විසූ වැදගත් හා බලපෑමෙන් යුත් ආගමික කණ්ඩායමක් බවට පත් වූ බව” ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඇන්ඩෘ සී. ෆික්ස් පෙන්නුම් කළා.
ක’ලීජියන්ට්වරුන්ගේ විශ්වාසයන්
හේතුසාධනය, ඉඩහැරීම හා නිදහස් කතාව ක’ලීජියන්ට් ව්‍යාපාරයේ කැපීපෙනෙන්නක් වූ හෙයින්, පෞද්ගලික වශයෙන් කැමති විශ්වාස දැරීමට ක’ලීජියන්ට්වරුන්ට හැකි වුණා. ඒ වුණත්, යම් පොදු විශ්වාසයන් මගින් ඔවුන් එකට බැඳී සිටියා. උදාහරණයක් හැටියට, සෑම ක’ලීජියන්ට්වරයෙක්ම පෞද්ගලික බයිබල් අධ්‍යයනයේ වැදගත්කම දැන සිටියා. එක් ක’ලීජියන්ට්වරයෙකුට අනුව, සෑම සාමාජිකයෙක්ම, “වෙනත් කෙනෙකු මාර්ගයෙන් දෙවි ගැන දැනගන්නේ නැතුව, තනිව පරීක්ෂා කර බැලිය යුතුයි.” ඔවුන් ඇත්තෙන්ම එසේ කළා. දහනවවන සියවසේ විසූ සභා පිළිබඳ ඉතිහාසඥ යාකෝබ්යූස් වාන් ස්ලේට අනුව, එවකට සිටි වෙනත් කිසිම ආගමික කණ්ඩායමකට වඩා ක’ලීජියන්ට්වරුන් අතරේ වැඩි බයිබල් දැනුමක් සොයාගත හැකිව තිබුණා. බයිබලය දක්ෂ අන්දමින් පාවිච්චි කිරීමට ක’ලීජියන්ට්වරුන්ට තිබූ හැකියාව ගැන ඔවුන්ගේ විරුද්ධවාදීන් පවා ප්‍රශංසා කළා.
නමුත්, ක’ලීජියන්ට්වරුන් බයිබලය වැඩියෙන් පාඩම් කරන්න කරන්න, පිහිටුවා තිබූ පල්ලිවලින් වෙනස් වූ විශ්වාසයන් වර්ධනය කරගත්තා. දාහත්වන සියවසේ සිට 20වන සියවස දක්වා පවතින මූලාශ්‍රවලින් ඔවුන්ගේ විශ්වාසයන් මෙසේ විස්තර කරයි:
මුල් පල්ලිය. ක’ලීජියන්ට්වරයෙක් මෙන්ම දේවධර්මාචාර්යවරයෙක් වූ අඩාම් බොරේල් 1644දී මෙවන් දෙයක් ලීවා. කොන්ස්ටන්ටයින්ගේ කාලයේදී මුල් පල්ලිය දේශපාලනයේ හවුල් වූ අවස්ථාවේදී, ක්‍රිස්තුස් සමඟ ඇති ආත්මික ගිවිසුම උල්ලංගනය කරමින්, ශුද්ධාත්මයේ ආනුභාවය එයට අහිමිව ගියා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොරු ඉගැන්වීම් වර්ධනය වූ අතර, ඔහුගේ දවස දක්වා ඒවා පැවති බවත් ඔහු පෙන්නුම් කළා.
පුනරුත්ථාපනය. ලූතර්, කැල්වින් හා වෙනත් අය විසින් 16වන සියවසේ කරගෙන ගිය පුනරුත්ථාපන ව්‍යාපාරය, පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීමට තරම් බලගතු වූයේ නැහැ. ඒ වෙනුවට, මුල් පෙළේ ක’ලීජියන්ට්වරයෙක් මෙන්ම වෛද්‍ය හේලේනස් ආබ්රාහාම්සෝන්ට (1622-1706) අනුව, පුනරුත්ථාපනය ආගමික වාතාවරණය තවත් නරක් කරමින්, ඝට්ටන හා වෛරයට හේතු වුණා. සැබෑ පුනරුත්ථානය හදවත් වෙනස් කළ යුතු වූ නමුත්, පුනරුත්ථානයට එසේ කළ නොහැකි වුණා.
පල්ලිය හා පූජක පක්ෂය. පිහිටුවා තිබෙන පල්ලි දූෂණය වී, ලෝකාකාර හා දිව්‍ය අධිකාරියෙන් බැහැරව පවතී. ආගම බැරෑරුම්ව සැලකූ කෙනෙකුට, තමා අයත්ව සිටින පල්ලියේ පාපවලට හවුල් නොවී සිටීම සඳහා ගත හැකිව තිබූ හොඳම තීරණය වූයේ පල්ලිය අත්හැර යෑමයි. පූජකයන්ට තිබූ නිලය ශුද්ධ ලියවිලිවලට පටහැනි දෙයක් බවත්, එය “ක්‍රිස්තියානි සභාවේ ආත්මික ශුභසිද්ධියට අවදානමක් බවත්” ක’ලීජියන්ට්වරුන් පැවසුවා.
රාජ්‍යය හා පාරාදීසය. ඇම්ස්ටඩෑම් කොලෙජ් පිහිටෙවූ තැනැත්තෙකු වන ඩානීයෙල් ද බ්‍රේන් (1594-1664) ලිවූ ආකාරයට, ක්‍රිස්තුස්ගේ රාජ්‍ය කෙනෙකුගේ හෘදයේ පැවති ආත්මික රාජ්‍යයක් නොවෙයි. රෝටඩෑම්හි ක’ලීජියන්ට්වරයෙක් වන යාකොබ් ඔස්ටන්ස් නම් ගුරුවරයා පැවසූ ආකාරයට, “ආදිපිතෲන් භූමික පොරොන්දු කෙරෙහි බලා සිටියා.” එයාකාරයටම, පොළොව පාරාදීසයක් බවට පත් කරන කාලය එන තුරු ක’ලීජියන්ට්වරුන් බලා සිටියා.
ත්‍රිත්වය. සමහරක් මුල් පෙළේ ක’ලීජියන්ට්වරුන්, සසිනීයන්වරුන් මගින් බලපෑම් ලැබ ත්‍රිත්වය ප්‍රතික්ෂේප කළා.c උදාහරණයක් හැටියට, ඩානීයෙල් ස්විකර් (1621-78) හේතුසාධනයට විරුද්ධව යන ත්‍රිත්වය වැනි ඕනෑම මූලධර්මයක්, “විශ්වාස කළ නොහැක්කක් වූ අතර මිථ්‍යාවක්” වූ බව ලීවා. ක’ලීජියන්ට්වරයෙකු වූ රේනීර් රෝලේඕ විසින් පරිවර්තනය කරන ලද බයිබල් පරිවර්තනයක් 1694දී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එහි යොහන් 1:1හි අවසාන කොටස මෙසේ දක්නට ලැබෙයි: “වාක්‍යය දෙවිකෙනෙක්ව සිටියේය.” එය ‘වාක්‍යය දෙවිව සිටියේය’ යන ස්ථාපිත යොමු දැක්වීමට වඩා වෙනස් වෙයි.d
සතිපතා රැස්වීම්
ඔවුන්ගේ විශ්වාසයන් ගත් කල, සෑම ක’ලීජියන්ට්වරයෙක්ම ඒවා සම්බන්ධයෙන් එකඟ වූයේ නැති වුණත්, විවිධ නගරවල පිහිටා තිබූ කොලෙජ් ක්‍රියාත්මක වූයේ බොහෝදුරට එකම ක්රමයකටයි. ක’ලීජියන්ට් ව්‍යාපාරයේ මුල් කාලයේ, රැස්වීම්වල ඉදිරිපත් කරන කොටස් කලින් සූදානම් වූයේ නැති තරම්ය කියා ඉතිහාසඥ වාන් ස්ලේ වාර්තා කළා. “අනාවැකි” කීම සම්බන්ධ අවශ්‍යතාව ගැන පාවුල් සඳහන් කළ වචන මත පදනම්ව, සියලුම පිරිමි සාමාජිකයන්ට කොලෙජය නිදහසේ ඇමතිය හැකි වූ බව ක’ලීජියන්ට්වරු විශ්වාස කළා. (1 කොරින්ති 14:1, 3, 26, NW) මෙහි ප්‍රතිඵලයක් හැටියට, මහ රෑ වන තුරු රැස්වීම් පැවැත්වූ අතර, පැමිණි අයගෙන් සමහරෙකුට “හොඳට නින්ද ගියා.”
පසු කලෙක, රැස්වීම් වඩා සංවිධාත්මක මුහුණුවරක් ගත්තා. ක’ලීජියන්ට්වරුන් රැස්වූයේ ඉරිදා දවස්වල පමණක් නොව සතියේ දවස්වල සන්ධ්යාවන්වලත් එසේ කළා. එම අවුරුද්දේ පවත්වන රැස්වීම්වලට කල්තියාම කථිකයා හා සභාව සූදානම් වන පිණිස, සලකා බැලීමට යන බයිබල් පාඨ හා කථිකයාගේ නමේ මුල් අකුරු ඇතුළත් මුද්‍රිත වැඩසටහනක් ලබා දුන්නා. රැස්වීම ගීතිකාවකින් හා යාච්ඤාවකින් ආරම්භ වීමෙන් පසු, කථිකයා බයිබල් පාඨ පැහැදිලි කළා. අවසන් වූ පසු, සාකච්ඡා කළ විෂය ගැන අදහස් දක්වන හැටියට පුරුෂයන්ගෙන් ඔහු ඉල්ලා සිටියා. ඊළඟට දෙවන කථිකයෙක් එම පාඨවලම අදාළ වීම පෙන්නුම් කළා. යාච්ඤාවකින් හා ගීතිකාවකින් රැස්වීම අවසන් වූවා.
ෆ්රයිස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇති හාර්ලයිනන් නම් ගම්මානයේ, රැස්වීම් කලට වේලාවට පැවැත්වීම සඳහා අලුත් ක්‍රමයක් යොදාගත්තා. තමාගේ නියමිත වේලාවට වඩා කතා කළ කථිකයෙකුට කුඩා දඩයක් ගෙවිය යුතුව තිබුණා.
ජාතික එක්රැස්වීම්
විශාල එකතු වීම්වල අවශ්‍යතාවද ක’ලීජියන්ට්වරුන්ට දැනුණා. එහෙයින්, 1640 සිට අවුරුද්දට දෙවතාවක් (වසන්තයේ හා ගිම්හානයේ) රටේ සතර දිගින්ම රයීන්ස්බහ් වෙතට මොවුන් පැමිණෙන්න පටන්ගත්තා. ඉතිහාසඥ ෆික්ස්ට අනුව, “ඈත ප්‍රදේශවලින් පැමිණි තම සහෝදරයන්ගේ අදහස්, හැඟීම්, විශ්වාසයන් හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට” මෙම එකතු වීම් අවස්ථාව සලසා දුන්නා.
ආගන්තුක ක’ලීජියන්ට්වරුන් සමහරක් කාමර කුලියට ගත් අතර, වෙනත් අය ක්රෝට් හෝස් නැතිනම් විශාල නිවස කියා හඳුන්වන කාමර 30කින් යුත් ක’ලීජියන්ට්වරුන්ට අයිති මන්දිරයක නවාතැන් ගත්තා. එහිදී මිනිසුන් 60කට 70කට පොදු කෑමක් ලබා දුන්නා. රෑ කෑමෙන් පසු, මන්දිරයේ ඇති විශාල වත්තේ ඇවිදීමට හැකි වූ අතර, එය ‘දෙවිගේ කර්මාන්තයන්’ භුක්ති විඳීමට, ‘සංවාදයක නියැලීමට හෝ කල්පනා කිරීමට කාලය ගැනීම සඳහා’ ප්‍රස්තාව සැලසුවා.
බව්තීස්මය අවශ්‍යයි කියා සියලුම ක’ලීජියන්ට්වරුන්ට හැඟුණේ නැතත් බොහෝදෙනෙක් බව්තීස්ම වුණා. එහෙයින්, බව්තීස්මය විශාල එකතුවක අංගයක් වුණා. ඉතිහාසඥ වාන් ස්ලේ පවසන ආකාරයට මෙම මංගල්‍යයන් බොහෝදුරට සිදු වූයේ සෙනසුරාදා උදෑසනකයි. ගිල්වීමේ ඇති අවශ්‍යතාව පිළිබඳ කතාවකට පසු ගීතිකාවක් හා යාච්ඤාවක් කරනු ලැබුවා. ඉන්පසුව බව්තීස්ම වීමට කැමැත්තෙන් සිටි වැඩිහිටියන්ට මෙයාකාරයේ ඇදහිල්ලේ ප්‍රකාශයක් කිරීමට කථිකයා ඇරයුම් කළා: “යේසුස් ක්‍රිස්තුස් ජීවමාන දෙවිගේ පුත්‍රයා බව මම විශ්වාස කරමි.” කතාව යාච්ඤාවකින් අවසන් වීමෙන් පසු, පැමිණි සිටි සියලුමදෙනා බව්තීස්ම තටාකයට ගිය අතර, වතුර උරහිස්වලට ගෑවෙන තරමට ස්ත්‍රී පුරුෂයන් තටාකය තුළ දණ නමා සිටිනවා දුටුවා. අනතුරුව බව්තීස්ම කරන්නා හෙමිහිට නව ඇදහිලිවන්තයාගේ හිස වතුර යටට ගිල්ලුවා. මංගල්‍යයෙන් පසු, සියලුමදෙනා තවත් කතාවක් සඳහා තම ආසනවලට ගියා.
සෙනසුරාදා සවස 5:00ට, රැස්වීම ආරම්භ වූයේ කෙටි බයිබල් කියවීමකින්, ගීතිකාවකින් හා යාච්ඤාවකින්. කථිකයන්ගේ අඩුවක් නොතිබීම සඳහා, රෝටඩෑම්, ලයිඩන්, ඇම්ස්ටඩෑම් හා උතුරු නෙදර්ලන්තය කොලෙජ් රැස්වීමට කථිකයන් සැපයීමේ වාර ගත්තා. ඉරිදා උදෑසන වෙන් කොට තිබුණේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සඳහායි. කතාව, යාච්ඤාව හා ගීතිකාවකින් පසු, පුරුෂයන්ද අනතුරුව ස්ත්‍රීන්ද රොටි හා මුද්‍රිකපානය ගැනීමේ පංගුකාරයන් වුණා. තවත් කතාවන් ඉරිදා සවස පැවති අතර, සඳුදා උදෑසන සියලුමදෙනා අවසාන කතාව සඳහා පැමිණියා. මෙම සමුළුවලදී දුන් කතා වැඩි හරියක් ප්‍රායෝගික වටිනාකමක් ගත් අතර, පැහැදිලි කිරීමට වඩා අදාළ කිරීමට අවධානය දුන් බවට වාන් ස්ලේ අදහස් දක්වයි.
රයීන්ස්බහ් ගම්මානය මෙවැනි එක්රැස්වීම් පැවැත්වීම ගැන සතුටු වුණා. දහඅටවන සියවසේ විසූ එක් නිරීක්ෂකයෙක් ලිවූ ආකාරයට, මෙතරම් ආගන්තුකයන් පිරිසක් පැමිණීම හේතුවෙන් සිදු වූ වෙළඳාමෙන් ගම්මානයට හොඳ ආදායමක් ලැබුණා. මීට අමතරව, සමුළුවේ අවසානයෙන් පසුව, ක’ලීජියන්ට්වරුන් රයීන්ස්බහ්හි දුප්පතුන්ට යමක් ප්රදානය කළා. වර්ෂ 1787දී මෙම රැස්වීම් අවසානයකට පැමිණෙද්දී එයින් අත් වූ පාඩුව එම ගම්මානයට දැනීම පුදුමයක් නොවෙයි. ඉන්පසුව ක’ලීජියන්ට් ව්‍යාපාරය බිඳ වැටුණා. ඇයි?
ඔවුන් බිඳ වැටුණේ ඇයි?
දාහත්වන සියවසේ අවසානයත් සමඟ, ආගමේ හේතුසාධනයට හිමි වැදගත්කම සම්බන්ධයෙන් විවාදයක් හටගැනී තිබුණා. දිව්‍ය එළිදරව් කිරීමට ඉහළින් මනුෂ්‍ය හේතුසාධනය තැබිය යුතු බව ක’ලීජියන්ට්වරුන් සමහරකට හැඟුණ නමුත්, තවත් අය ඊට විරුද්ධ වුණා. අන්තිමේදී, වාදය මුළු ක’ලීජියන්ට් ව්‍යාපාරයම දෙකට බෙදුවා. දෙපැත්තේ සිටි විවාදකරුවන් නැසී ගිය පසුවයි නැවත ක’ලීජියන්ට්වරු එකමුතු වූයේ. කොහොම වුණත් මෙම බෙදීමෙන් පසුව, ව්‍යාපාරය “යථා තත්වයටම පැමිණියේ නැති” බව ඉතිහාසඥ ෆික්ස් පෙන්නුම් කරයි.
දහඅටවන සියවසේ රෙපරමාදු පල්ලි තුළ වැඩි වූ සාධාරණ ප්‍රතිපත්තිය ක’ලීජියන්ට්වරුන්ගේ අභාවයට හේතු වුණා. ක’ලීජියන්ට්වරුන්ගේ හේතුසාධනයේ ප්‍රතිපත්ති පිළිගැනීම නිසාත් සාධාරණය සමාජයේ වැඩි වශයෙන් පිළිගැනුණ නිසාත්, “ක’ලීජියන්ට්වාදයේ තනි පහන, ඥානාලෝකයේ අරුණලු සමඟ මුසු විය.” දහඅටවන සියවසේ අවසානයත් සමඟ, මෙනොනයිට්වරුන් හා වෙනත් ආගමික කණ්ඩායම් ක’ලීජියන්ට්වරුන්ව ඔවුන්ට ඈඳාගෙන තිබුණා.
ක’ලීජියන්ට්වරුන් සිතීමේ එකඟතාව අත් කරගන්න ඉලක්ක කර නොගත් හෙයින්, හැම ක’ලීජියන්ට්වරයෙක්ම පාහේ එකිනෙකට වෙනස් මත දැරුවා. ඔවුන්ට මෙය වැටහුණු අතර, එමනිසා, පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූ ආකාරයෙන් “එක සිතින් හා එක කල්පනාවෙන් එකඟ” වූ පිරිසක්ය කියා තමන්වම හඳුන්වා දුන්නේ නැහැ. (1 කොරින්ති 1:10) කොහොම වුණත්, ඒ අතරවාරයේම, කල්පනාවෙන් එකඟ බව වැනි මූලික ක්‍රිස්තියානි ඉගැන්වීම් යථාර්ථයක් වන කාලය දෙස ක’ලීජියන්ට්වරු ඉතා ඕනෑකමින් බලා සිටියා.
ක’ලීජියන්ට්වරුන්ගේ දවස්වල සැබෑ දැනුම එතරම් පුළුල්ව නොතිබුණද, ඔවුන් නූතන දින ආගම්වලට සැලකිල්ලට ගත හැකි කදිම ආදර්ශයක් තබා ගියා. (දානියෙල් 12:4 සසඳන්න.) බයිබලය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් කළ අවධාරණය ප්‍රේරිත පාවුල්ගේ අවවාදයට එකඟව දිව ගියා: ‘සියල්ල සෝදිසි කර බලන්න.’ (1 තෙසලෝනික 5:21) පෞද්ගලික බයිබල් පාඩම, යාකෝබ්යුස් ආර්මිනීයස් හා වෙනත් අයට ඉගැන්වූ කාරණයක් වන්නේ, දිගු කලක් පුරා පැවති ආගමික මූලධර්මයන් හා වත්පිළිවෙත් බයිබලය මත කිසිසේත් පදනම් ඒවා නොවූ බවයි. මෙය ඔවුන් වටහාගැනීමෙන්, ස්ථාපිත ආගමෙන් වෙනස් වීමට ඔවුන්ට ධෛර්යය ලැබුණා. ඔබ එදා සිටියා නම්, ඔබත් එයම කරනු ඇද්ද?
[පාදසටහන්වල]
a වර්ෂ 1610දී එකඟ නොවූවන්, නිල ලත් විරුද්ධ ප්‍රකාශයක් (විරුද්ධ වීමට හේතු පෙන්වන ලියවිල්ලක්) ලන්දේසි පාලකයන්ට යවා තිබුණා. එම ක්‍රියාවෙන් පසුව ඔවුන්ව විරුද්ධවාදීන් හැටියට හඳුන්වනු ලැබුවා.
b මෙම පිහිටීම හේතුවෙන්, ක’ලීජියන්ට්වරුන්ව රයීන්ස්බහ්වරුන් ලෙසින්ද හැඳින්වූවා.
c 1988 නොවැම්බර් 22 (ඉංග්‍රීසියෙන්) පිබිදෙව්! කලාපයේ, 19වන පිටුවේ ඇති “සසිනීයන්වරු—ඔවුන් ත්‍රිත්වය ප්‍රතික්ෂේප කළේ ඇයි?” යන ලිපිය බලන්න.
d Het Nieuwe Testament van onze Heer Jezus Christus, uit het Grieksch vertaald door Reijnier Rooleeuw, M.D. (රේනීර් රෝලේඕ එම්. ඩී. විසින් ග්‍රීක් බසින් පරිවර්තනය කරන ලද අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ නව ගිවිසුම)
[24වන පිටුවේ පින්තූරය]
රෙම්බ්‍රාන්ට් වාන් රයින්
[26වන පිටුවේ පින්තූර]
ක’ලීජියන්ට්වරුන්ගේ ආරම්භය සිදු වූ මුලින් ආරම්භ කළ වොර්මොන්ට් ගම්මානය හා බව්තීස්මය සිදු කළ ද ව්ලීට් නදිය
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පසුබිම: American Bible Society Library, New York අනුග්‍රහයෙන්