ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 4/15 28-30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තෘප්තියක් ලබමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • ගබ්සාව—පිළිතුර එයද?
    1995 පිබිදෙව්!
  • ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “එකිනෙකා තම තමාට තිබෙන වගකීම් නමැති බර උසුලන්නේය”
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 4/15 28-30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සමහර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ආගමික ගොඩනැඟිලිවල හෝ ඉඩමක රැකියාවක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි වැඩ පිළිබඳව ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිය කුමක්ද?

තම පවුලේ සාමාජිකයන්ට ද්‍රව්‍යමය ලෙස සැපයීමේ වැදගත්කම අවධාරණය කර ඇති 1 තිමෝති 5:8 අදාළ කරගැනීමට අවංකවම වුවමනාවක් දක්වන ක්‍රිස්තියානීන්ට මේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදු විය හැකියි. ඇත්තෙන්ම ක්‍රිස්තියානීන් එම උපදෙස අදාළ කරගත යුතු වුවත්, ඔවුන්ට ඉදිරිපත් කරන සෑම වැඩක්ම කිරීමට කැමති වෙමින් ඕනෑම බාහිර රැකියාවක් පිළිගත යුතු බවක් ඉන් අදහස් වන්නේ නැහැ. ක්‍රිස්තියානීන්, දෙවිගේ කැමැත්ත හා සම්බන්ධ වෙනත් ඇඟවීම්වලට සංවේදී වීමට ඇති අවශ්‍යතාව අගය කරනවා. උදාහරණයක් වශයෙන්, තම පවුලේ අයව නඩත්තු කිරීමට පුරුෂයෙකුට තිබෙන ආශාව හේතුවෙන්, දුරාචාරය හෝ මිනී මැරීම සම්බන්ධයෙන් බයිබලයේ පවසන දේ උල්ලංගනය කිරීම යුක්තිසහගත වන්නේ නැහැ. (සසඳන්න උත්පත්ති 39:4-9; යෙසායා 2:4; යොහන් 17:14, 16.) බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියෙන් ඉවත් වන්න යන ආඥාවට එකඟව ක්‍රිස්තියානීන් ක්‍රියා කිරීමත් වැදගත්.—එළිදරව් 18:4, 5.

ලොව වටා, දෙවිගේ සේවකයන් රැකියාවේදී මතු වන තත්වයන් බොහොමයකට මුහුණ දෙනවා. ඉස්මතු විය හැකි සෑම තත්වයක්ම හා එවන් අවස්ථාවලදී කළ යුතු දේවල් සම්බන්ධයෙන් නියත නීතිනුත් ලැයිස්තුගත කිරීමට අප වෑයම් කිරීම නිෂ්ඵල දෙයක් වේවි; එමෙන්ම එසේ කරන්න අපට අධිකාරියකුත් නැහැ. (2 කොරින්ති 1:24) එහෙත්, රැකියා සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ ගන්නා විට, ක්‍රිස්තියානීන් විසින් සලකා බැලිය යුතු කාරණා සමහරක් සඳහන් කරන්න අපි කැමතියි. දෙවි අපට දී ඇති හෘදය සාක්ෂියෙන් ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් 1983 අප්‍රියෙල් 1 මුරටැඹෙහි පළ වූ ලිපියක, මේ කාරණා කෙටියෙන් සඳහන් කර තිබුණා. එහි කොටුවක ප්‍රධාන ප්‍රශ්න දෙකක් නඟා, අනතුරුව වෙනත් උපකාරවත් කරුණුද සඳහන් කර තිබුණා.

පළමු ප්‍රශ්නය මෙයයි: බයිබලයේ එම බාහිර රැකියාව හෙළා දැක තිබෙනවාද? මේ පිළිබඳව අදහස් දක්වමින්, සොරකම් කිරීම, රුධිරයේ අනිසි භාවිතය හා රූප වන්දනාව බයිබලයේ හෙළා දකින බව මුරටැඹ සඳහන් කළා. සඳහන් කළ මේ දේවල් වැනි දෙවි ප්‍රතික්ෂේප කරන දේවල් කෙළින්ම වැඩිදියුණු කරන බාහිර රැකියාවලින් ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතුයි.

දෙවන ප්‍රශ්නය මෙයයි: මේ වැඩය කිරීමෙන් කෙනෙක් වැරදි ක්‍රියාවකට හවුල්කරුවෙක් වෙනවාද? පැහැදිලිවම, සූදු තිප්පොළක, ගබ්සා සායනයක හෝ ගණිකා නිවසක රැකියාවක් කරන පුද්ගලයෙක් ශුද්ධ ලියවිලිවලට පටහැනි ක්‍රියාවකට හවුල්කරුවෙක් වනු ඇත. එහිදී ඔහුගේ දෛනික වැඩය බිම අතුගෑම හෝ දූරකථනයට පිළිතුරු දීම වැනි වැඩක් වුවත්, ඔහු දෙවිගේ වචනයෙහි හෙළා දකින ක්‍රියාවකට දායක වනු ඇත.

රැකියා සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදු වී ඇති ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට පෙනී ගොස් තිබෙන්නේ, හුදෙක් එම ප්‍රශ්න විග්‍රහ කර බැලීම තමන්ට පෞද්ගලික තීරණයක් ගැනීමට උපකාරවත් වන බවයි.

උදාහරණයක් වශයෙන්, එම ප්‍රශ්න දෙකෙන්, සැබෑ නමස්කාරකයෙක් පල්ලියකට වැඩ කරමින් හා පල්ලියක වැඩ කරමින් බොරු ආගමික සංවිධානයකට කෙළින්ම සම්බන්ධ වී සිටින සේවකයෙක් නොවනු ඇත්තේ මන්දැයි කෙනෙකුට දැකගත හැකියි. එළිදරව් 18:4හි මෙසේ අණ කරනවා: ‘මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිස . . . ඇගෙන් ඉවත්ව එන්න.’ කෙනෙක්, බොරු නමස්කාරය උගන්වන ආගමක ස්ථාවර සේවකයෙක් වී සිටියහොත්, ඔහු මහා බබිලෝනියේ වැඩවලට හා පාපවලට හවුල් වනු ඇත. සේවකයා උයන්පල්ලෙක්, මුරකාරයෙක්, අලුත්වැඩියා කරන්නෙක් හෝ ගණකාධිකාරයෙක් වුවත්, ඔහුගේ සේවය සැබෑ ආගමට පටහැනි නමස්කාරය වැඩිදියුණු කිරීමට දායක වෙයි. එපමණක්ද නොව, මේ සේවකයා පල්ලිය අලංකාර කිරීමට, එය නඩත්තු කිරීමට හෝ එහි ආගමික කටයුතුවලට අතහිත දීමට තමාගේ සේවය පිරිනමන බව දකින මිනිසුන්, සාධාරණ ලෙස ඔහුව එම ආගමටම සම්බන්ධ කරනු ඇත.

එහෙත්, පල්ලියක හෝ ආගමික සංවිධානයක නොකඩවා සේවය නොකරන්නෙක් ගැන කුමක් කිව හැකිද? සමහරවිට ඔහුව කැඳවන්නේ, පල්ලියේ පතුල් මාලේ කැඩුණු වතුර පයිප්පයක් හදිසියේ අලුත්වැඩියා කිරීමේ සේවයකට පමණයි. පල්ලියේ වහල සෙවිල්ලීම හෝ වෙනයම් වැඩක් කිරීමට කොන්ත්‍රාත්තුවක් භාරගැනීමේදී යම් ගෙවීමක් නියම කරගැනීමට වඩා එය වෙනස් වන්නේ නැද්ද?

නැවතත්, මතු විය හැකි විවිධ තත්වයන් සිතාගත හැකියි. එබැවින් අපි මුරටැඹෙහි දී තිබෙන තවත් කරුණු පහක් යළි සලකා බලමු:

1. එම වැඩය ශුද්ධ ලියවිල්ලට පටහැනි නොවන නිකම් මානව සේවයක්ද? උදාහරණයකට තැපැල්කරුවෙක් ගැන සලකා බලන්න. ඔහු ලියුම් බෙදන ප්‍රදේශයෙහි තිබෙන පල්ලියකට හෝ ගබ්සා සායනයකට ලියුම් බෙදන්න ඔහුට සිදුවීමෙන්, ඔහු වැරදි ක්‍රියාවකට අතහිත දෙන බවක් අදහස් කරන්නේ නැහැ. දෙවි ආලෝකය සපයන අතර, එය පල්ලියක් හෝ එවැනි සායනයක් ඇතුළු ඕනෑම ගොඩනැඟිල්ලක ජනේල තුළින් විහිදෙනවා. (ක්‍රියා 14:16, 17) දවසක් දවසක් පාසා තමා සියල්ලන්ටම මානව සේවයක් කරන බව තැපැල්කරුවෙක් වන ක්‍රිස්තියානියෙක් නිගමනය කළ හැකියි. පල්ලියක වතුර කාන්දු වීමක් නැවැත්වීමට ජල නළ අලුත්වැඩියා කරන්නෙකු හෝ පල්ලියේ මෙහෙයන් පැවැත්වෙන අතරතුරේදී සිහි මූර්ඡා වූ කෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ගිලන් රථ සේවකයෙකු කැඳවීම වැනි හදිසි අවස්ථාවකදී ක්‍රිස්තියානියෙක් දක්වන ප්‍රතිචාරයත් ඒ හා සමාන කළ හැකියි. මෙය අනියම් ලෙස මානව උපකාරයක් දීමක් පමණක්යයි ඔහු සැලකිය හැකියි.

2. යම් වැඩක් කරන පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් අධිකාරියක් තිබෙන්නේ කොතරම් දුරකටද? වෙළඳ සැලක අයිතිකරුවෙක් වන ක්‍රිස්තියානියෙක්, වන්දනාමාන කරන රූප, ආත්ම බන්ධන යන්තර, දුම්වැටි හෝ රුධිරයෙන් සෑදූ ලිංගුස් ඉල්ලුම් කිරීමට හෝ විකිණීමට කිසිසේත් එකඟ වන්නේ නැහැ. අයිතිකරු හැටියට ඔහුට බලය තිබෙනවා. දුම්වැටි හෝ වන්දනාමාන කරන රූප විකුණා ලාභයක් උපයාගන්න කියා සමහරු ඔහුට උනන්දු කළ හැකි නමුත්, ඔහු තම ශුද්ධ ලියවිලිමය විශ්වාසයන් කෙරෙහි ස්ථිරත්වයකින් ක්‍රියා කරනු ඇත. අනික් අතට, විශාල ආහාර වෙළඳ සැලක අයකැමි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට, බිම ඔප දැමීමට හෝ පොත් තැබීමේ නියැලීමට ක්‍රිස්තියානි සේවකයෙකු යෙදවිය හැකියි. ඉල්ලුම් කරන හෝ අළෙවි කරන නිෂ්පාදනයන් පාලනය කිරීමට ඔහුට හැකිකමක් නැහැ. ඒවායින් කීපයක් දුම්වැටි හෝ ආගමික නිවාඩු දිනයන් සඳහා අවශ්‍ය දේවල් වන විටදී පවා ඔහුට කිසිවක් කළ නොහැකියි.a (සසඳන්න ලූක් 7:8; 17:7, 8.) මෙය ඊළඟ කරුණට සම්බන්ධයි.

3. පුද්ගලයෙක් කෙතරම් දුරකට සම්බන්ධ වෙයිද? වෙළඳ සැලක උදාහරණය වෙත අපි යළිත් යමු. අයකැමි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හෝ තට්ටුවල බඩු ඇහිරීමට නියම කරනු ලැබූ සේවකයාට දුම්වැටි හෝ ආගමික භාණ්ඩ සම්බන්ධයෙන් කටයුතු කරන්න සිදු වන්නේ සමහරවිට කලාතුරකින් පමණක් විය හැකියි; එය ඔහුගේ මුළු සේවයෙන් ඉතා සුළු කොටසක් පමණයි. එහෙත්, ඔහුගේ සේවය එම වෙළඳ සැලේම දුම්වැටි විකුණන කවුන්ටරයේ වැඩ කරන සේවකයෙකුගේ සේවයට වඩා හාත්පසින්ම වෙනස්! මොහුගේ මුළු වැඩයම, හැමවිටම, ක්‍රිස්තියානි විශ්වාසයන්ට පටහැනි යමක් වෙතටයි යොමු වී තිබෙන්නේ. (2 කොරින්ති 7:1) රැකියා සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව තීරණ ගන්නා විට, කොයි තරම් ප්‍රමාණයකට සහභාගිත්වයක් තිබෙනවාද හෝ සම්බන්ධ වීමට සිදු වෙනවාද යන්න තක්සේරු කර බැලිය යුතු බව මෙයින් පෙනී යනවා.

4. පඩි ගෙවන්නේ කොතැනින්ද? වැඩ කරන ස්ථානය කුමක්ද? මේ තත්වයන් දෙක සලකා බලන්න. මහජන පැසසුම ලබාගැනීම සඳහා, ගබ්සා සායනයක් මගින් එහි අවට වීදි පිරිසිදු කිරීමට මිනිසෙකුට පඩියක් ගෙවීමට තීරණය කරයි. ඔහුගේ පඩිය ගෙවන්නේ ගබ්සා සායනයෙන් වන නමුත්, ඔහු එහි වැඩ කරන්නේවත්, කිසිවෙකු ඔහුව මුළු දවසේම එම සායනය තුළ දකින්නේවත් නැහැ. ඒ වෙනුවට, ඔහුට කවුරු ගෙව්වත්, ශුද්ධ ලියවිලිවලට පටහැනි නොවන මහජන සේවයක් ඔහු කරන බවයි අන්‍යයන්ට පෙනෙන්නේ. දැන් ඊට පටහැනි දෙයක්. වේශ්‍යාකම නීත්‍යනුකූල කර තිබෙන රටක, ලිංගිකව පැතිරුණු රෝග ව්‍යාප්ත වීම අඩු කිරීමේ අභිප්‍රායෙන් සෞඛ්‍ය පරීක්ෂණ පවත්වමින්, ගණිකා මඩම්වල වැඩ කිරීම සඳහා, මහජන සෞඛ්‍ය සේවය මගින් හෙදියකට පඩි ගෙවනු ලබයි. ඇයට පඩි ගෙවන්නේ මහජන සෞඛ්‍ය සේවයෙන් වුවත්, ඇගේ වැඩය සම්පූර්ණයෙන්ම සිදු කෙරෙන්නේ දුරාචාරය වඩාත් ආරක්ෂා සහිත එකක්, වඩාත් පිළිගත හැකි එකක් කරවන වේශ්‍යාකමෙන් පිරි නිවෙස්වලයි. මේ උදාහරණවලින් කෙනෙකුට පඩි ගෙවන්නේ කොතැනින්ද හා වැඩ කරන ස්ථානය කුමක්ද යනාදිය සලකා බැලිය යුතු හේතුව දක්වනවා.

5. වැඩය කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය කුමක්ද? එය තමාගේම හෘදය සාක්ෂියට වද දෙන දෙයක් වෙයිද? නැතහොත් අන්‍යයන්ව පැකිලීමට සලස්වයිද? අපේම හා අන්‍යයන්ගේ හෘදය සාක්ෂිය සම්බන්ධයෙන් සලකා බැලිය යුතුයි. එක්තරා වැඩක් (එය කරන ස්ථානය කුමක්ද හා පඩි ගෙවන්නේ කොතැනින්ද යන්න ඇතුළුව) පිළිගත හැකි බව බොහෝ ක්‍රිස්තියානීන්ට පෙනෙන විට පවා, එය තමාගේ හෘදය සාක්ෂියට වද දෙන බව ඔහුට හැඟෙන්න ඉඩ තිබෙනවා. කදිම ආදර්ශයක් තැබූ ප්‍රේරිත පාවුල් මෙසේ ප්‍රකාශ කළා: “අපි සියල්ලේදී යහපත්ලෙස [අවංකව, NW] හැසිරෙන්ට ආශාවෙන්, යහපත් [අවංක, NW] හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමු.” (හෙබ්‍රෙව් 13:18) අපවම බාධාවට පත් කරවන වැඩ කිරීමෙන් අප වැළකිය යුතුයි; ඒ වගේම, වෙනස් හෘදය සාක්ෂීන් ඇති අන් අයව විවේචනයට ලක් කිරීමෙනුත් අප වැළකිය යුතුයි. අනික් අතට, එක්තරා වැඩක් කිරීම බයිබලයට පටහැනි නැති බව ක්‍රිස්තියානියෙකුට පෙනිය හැකි නමුත්, එය සභාවේ හා සමාජයේ සිටින බොහෝදෙනෙකුව සෑහෙන බාධාවකට පත් කරවයි කියා ඔහුට වැටහිය හැකියි. පාවුල් ඔහුගේ වචනවල මෙම හරි ආකල්පය පිළිබිඹු කළා: “අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී, . . . මේ සියල්ලෙන් අපි [දෙවිගේ] සේවකයන් මෙන් අපම පිළිගන්වමු.”—2 කොරින්ති 6:3, 10ආ.

පල්ලියක අලුත් ජනේල සවි කිරීම, බුමුතුරුණු පිරිසිදු කිරීම හෝ උදුන අලුත්වැඩියා කිරීම වැනි වැඩක යෙදීම පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නය වෙත දැන් අපි යළිත් යමු. ඉහත කරුණු ඊට සම්බන්ධ විය හැක්කේ කෙසේද?

අධිකාරිත්වය පිළිබඳ කාරණය යළි සිහි කරන්න. ක්‍රිස්තියානි පුද්ගලයා, පල්ලියක එවැනි වැඩක් භාරගැනීමට තීරණය කළ හැකි අයිතිකරුද නැතහොත් කළමනාකරුද? වැඩක් කිරීමට ගෙවීමක් නියම කරගැනීමෙන් හෝ බොරු නමස්කාරය වැඩිදියුණු කරන යම් ආගමකට උපකාර කිරීමට කොන්තරාත්තුවක් භාරගැනීමෙන්, එම අධිකාරිත්වය තිබෙන ක්‍රිස්තියානියාට මහා බබිලෝනියේ හවුල්කරුවෙක් වීමට වුවමනා වේවිද? එය කෙනෙකු තමාගේම වෙළඳ සැලේ දුම්වැටි හෝ වන්දනාමාන කරන රූප විකිණීමට තීරණය කිරීම හා සමාන නොවනු ඇද්ද?—2 කොරින්ති 6:14-16.

ක්‍රිස්තියානියා, කුමන වැඩද පිළිගන්නේ හෝ නොගන්නේ කියා තීරණය කිරීමට බලයක් නැති සේවකයෙකු නම්, ස්ථානය හා කොතරම් දුරකට සහභාගි වීමක් සිදු වෙනවාද වැනි වෙනත් කරුණු සලකා බැලිය යුතුයි. පල්ලියක ගින්න පැතිර යෑමට පෙර ගිනි නිවන භටයෙක් ගින්න නිවා දමනවා වැනි යම් මානව සේවාවක් කිරීමට හෝ විශේෂ අවස්ථාවකදී අලුත් පුටු ගෙන ඒම හෝ පුටු සකස් කිරීම වැනි දෙයක් කිරීමට සේවකයාගෙන් ඉල්ලා සිටියොත් කුමක්ද? පල්ලියට තීන්ත ගෑම හෝ එය සිත්ගන්නාසුලු තැනක් කිරීම සඳහා නිතිපතා වත්ත සුද්ද කිරීම වැනි බොහෝ කාලයක් ගත කරමින් කරන රැකියාවකට වඩා එය වෙනස් බව බොහෝදෙනෙක් දකිනු ඇත. නිතිපතා හෝ දිගු කාලයක් පුරා එහි වැඩ කරන විට තමන් අනුමත නොකරනවායයි කියන ආගමකට එම ක්‍රිස්තියානියාව සම්බන්ධ කිරීමට තිබෙන ඉඩ කඩ වැඩියි; එමෙන්ම අන්‍යයන්ව පැකිලවීමට තිබෙන ඉඩ කඩත් වැඩියි.—මතෙව් 13:41; 18:6, 7.

රැකියාව සම්බන්ධයෙන් වැදගත් දේවල් ගණනාවක්ම අපි සලකා බැලුවා. මේවා ඉදිරිපත් කළේ බොරු ආගම පිළිබඳ විශේෂ ප්‍රශ්නයකට සම්බන්ධ කාරණා හැටියටයි. එහෙත්, ඒ හා සමානවම වෙනත් ආකාරයේ රැකියාවල් සම්බන්ධයෙන්ද එම කරුණු සලකා බැලිය හැකියි. සෑම අවස්ථාවකදීම, අදාළ තත්වය සම්බන්ධයෙන් විශේෂ මෙන්ම සමහරවිට ඊටම අසහාය වූ පැති සලකා බලමින් යාච්ඤාපූර්වක විග්‍රහයක යෙදිය යුතුයි. ඉහත ඉදිරිපත් කළ කරුණු දැනටමත් බොහෝ අවංක ක්‍රිස්තියානීන්ට යෙහෝවා ඉදිරියේ ඍජුව හා අවංකව ඇවිදීමට ඇති තමන්ගේ ආශාව පිළිබිඹු කරමින් හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීමට උපකාරවත් වී තිබෙනවා.—හිතෝපදේශ 3:5, 6; යෙසායා 2:3; හෙබ්‍රෙව් 12:12-14.

[පාදසටහන]

a රෝහල්වල සේවය කරන සමහර ක්‍රිස්තියානීන්ට අධිකාරිත්වය සම්බන්ධ මේ කාරණය සලකා බලන්න සිදු වී තිබෙනවා. රෝගියෙකුට ප්‍රතිකාර හෝ ගත යුතු වෛද්‍ය ක්‍රියාමාර්ගයන් නියම කිරීමට වෛද්‍යවරයෙකුට අධිකාරියක් තිබිය හැකියි. රෝගියෙක් කැමති වුණත්, රුධිර ප්‍රවේශනය හෝ ගබ්සාවක් සිදු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් බයිබලයේ පවසන දෑ දන්නා අධිකාරිත්වයක් ඇති ක්‍රිස්තියානි වෛද්‍යවරයෙකු කෙසේ එවැන්නක් නිර්දේශ කරන්නද? ඊට වෙනස්ව, රෝහලේ සේවය කරන හෙදියකට එවැනි අධිකාරියක් නොතිබිය හැකියි. ඈ තමාගේ සුපුරුදු සේවාවන් ඉටු කරන විට, යම් අරමුණක් සඳහා රුධිර පරීක්ෂණයක් කිරීමට හෝ ගබ්සාවක් කරගැනීමට පැමිණ ඇති කෙනෙකුව බලාගන්න කියා වෛද්‍යවරයෙක් ඇයට නියෝග කළ හැකියි. දෙවන රාජාවලිය 5:17-19හි වාර්තා කර ඇති ආදර්ශයට එකඟව, ප්‍රවේශනයක් නියම කරන හෝ ගබ්සාවක් සිදු කරන අධිකාරියක් ඇති තැනැත්තා ඇය නොවන නිසා, එය රෝගියෙකු සඳහා කරන මානව සේවාවක් පමණයි කියා ඇය නිගමනය කළ හැකියි. එහෙත්, ඇත්තවශයෙන්ම, ‘දෙවි ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීම’ සඳහා තවදුරටත් ඇගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වීමට ඇයට සිදු වෙනවා.—ක්‍රියා 23:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න