ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 8/1 19-24 පි.
  • ‘අපි කළ යුතු වූ දේ අපි කළා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘අපි කළ යුතු වූ දේ අපි කළා’
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබල් සත්‍යය දැනගත් හැටි
  • සත්‍යය තුළ ප්‍රගතිය ලැබූ හැටි
  • පැවරුමෙහි වෙනස් වීම්
  • බෙතෙල්හි ජීවිතය අර්ථවත්
  • පුළුල් කිරීමේ වැඩයට හවුල් වීම වරප්‍රසාදයක්
  • මම ඉගෙනගෙන තියෙන පාඩම්
  • මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • පූර්ණකාලීන සේවයෙන් ලැබුණු ආශීර්වාද
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවියන්වහන්සේගේ ගෘහය” දෙස අගය කිරීමෙන් යුක්තව බැලීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 8/1 19-24 පි.

‘අපි කළ යුතු වූ දේ අපි කළා’

ජෝජ් කඋච් පැවසූ පරිදි

අපි උදේ වරුව ගෙයින් ගෙට සේවයෙහි ගත කළාට පස්සේ, මගේ යාළුවා සැන්ඩ්විචස් දෙකක් එළියට ගත්තා. අපි කාලා ඉවර වුණාට පස්සේ, මම සිගරට් එකක් එළියට ඇදලාගත්තා බොන්න. “ඔයා කොච්චර කාලෙක ඉඳලද සත්‍යයේ ඉන්නේ?” කියලා ඔහු ඇහැව්වා. “ඊයේ තමයි මම මුල් වතාවට රැස්වීමට ගියේ” කියලා මම ඔහුට කිව්වා.

මම ඉපදුණේ 1917 මාර්තු 3වෙනිදා, අ.එ.ජ., පෙන්සිල්වේනියා, නැඟෙනහිර පිට්ස්බර්ග්වලින් කිලෝමීටර් 50ක් පමණ ඈතින් වූ, කුඩා නගරයක් වන ඇවන්මෝර් අසල ගොවිපොළකයි. එහි මගේ දෙමාපියන් මගේ අයියලා තුන්දෙනාවත්, මල්ලිව, අක්කව හා මාවත් ඇති දැඩි කළා.

අපිට ඒ තරම් ආගමික පුහුණුවක් ලැබුණේ නැහැ. එක කාලෙකදී මගේ දෙමාපියන් පල්ලියට ගියත්, අපේ කුඩා කාලයේදීම ඔවුන් පල්ලි යන එක නතර කළා. ඒත්, අපි මැවුම්කරුවෙකු විශ්වාස කළ අතර, අපේ පවුල් ජීවිතය ගෙතුණේ බයිබලයෙහි ඇති මූලික ප්‍රතිපත්ති වටායි.

මගේ දෙමාපියන්ගෙන් මට ලැබුණ හොඳම පුහුණුව තමයි වගකීමක් භාරගෙන ඒක ඉටු කරන එක. ගොවිපොළක ජීවිතය කියන්නේ ඒකයි. නමුත් අපේ ජීවිතය වැඩවලින්ම විතරක් පිරිලා තිබුණේ නැහැ. අපි පැසිපන්දු හා බේස් බෝල ගැසීම, අශ්වයන්ගේ පිටේ යෑම හා පීනීම වැනි සෙල්ලම් කරමින් හිතකර විනෝද වීමකින් ආස්වාදයක් ලැබුවා. ඒ දවස්වල මුදල් හරි හිඟයි; ඒත් ගොවිපොළේ ජීවිතය ප්‍රසන්න එකක් වුණා. ප්‍රාථමික පංතිවල ඉන්න කොට අපි පොඩි ඉස්කෝලෙකට ගියා; ඉහළ පංතිවලට යන්න නගරයේ උසස් පාසැලකට ගියා.

එක රාත්‍රියකදී මගේ යාළුවෙක් එක්ක මම නගරයේ ඇවිදිමින් හිටියා. ලස්සන ගෑනු ළමයෙක් මගේ යාළුවාගෙන් සුව දුක් අහන්න ඇගේ නිවසෙන් එළියට ආවා. ඔහු මට ෆ’න් පෘව හඳුන්වලා දුන්නා. ඇගේ නිවස උසස් පාසැල පිහිටි පැත්තෙම තිබීම වාසියක් වුණා. මම ඇගේ නිවස පහු කරලා යන හුඟක් වෙලාවලදී, ෆ’න් එළියේ වැඩ කර කර හිටියා. ඇත්තෙන්ම ඇය වෙහෙසී වැඩ කරන්නියක් නිසා මගේ සිත ඇදීගියා. අපි දෙදෙනා අතර කිට්ටු මිත්‍රත්වයකුත්, ආදරයකුත් ඇති වුණු අතර, 1936 අප්‍රියෙල්වලදී අපි විවාහ වුණා.

බයිබල් සත්‍යය දැනගත් හැටි

මම ඉපදෙන්න ඉස්සෙල්ලා, ආගම නිසා නගරයේ සිටි අයගේ හිරිහැරවලට ලක් වුණ වයසක ස්ත්‍රියක් ඉඳලා තියෙනවා. නගරයෙන් බඩු ගන්න යන විට සෙනසුරාදා දවස්වලදී මගේ අම්මා ඇයව හමු වෙන්න ගියා. ස්ත්‍රිය මියයන තුරුම අම්මා ඇගේ නිවස පිරිසිදු කර, අඩු පාඩු බලලා කරලා දුන්නා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූ ආකාරයට බයිබල් ශිෂ්‍යාවක්ව සිටි මේ ස්ත්‍රියට අම්මා හුඟක් කරුණාවන්ත වුණ නිසා අම්මාට යෙහෝවා ආශීර්වාද කළා කියා මම විශ්වාස කරනවා.

ඊට යම් කාලයකට පස්සේ, මගේ ලොකු නැන්දාගේ දුව බාල වයසේදීම හදිසියේම ආන්ත්‍රා වුණා. පල්ලියෙන් මගේ ලොකු නැන්දාට ඒ තරම් සැනසීමක් ලැබුණේ නැතත්, අසල්වැසි බයිබල් ශිෂ්‍යාවක් ඒක කළා. පුද්ගලයෙක් මියයන විට සිද්ධ වෙන දේ ගැන බයිබල් ශිෂ්‍යාව ඇයට පැහැදිලි කළා. (යෝබ් 14:13-15; දේශනාකාරයා 9:5, 10) මේක ඉමහත් සැනසීමේ හේතුකාරකයක් වුණා. ප්‍රතිඵලයක් වශයෙන්, මගේ ලොකු නැන්දා නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අම්මාට කිව්වා. අම්මාගේ දෙමාපියන් ඇගේ කුඩා කාලයේදී මියගිහින් තිබුණ අතර, මරණයේදී පුද්ගලයෙකුට වෙන්නේ මොකක්ද කියා දැනගැනීමට ඇයට බලවත් ඕනෑකමක් තිබුණ නිසා, එය ඇගේ උනන්දුව පිබිදුවා. ඒ අද්දැකීම මගේ සිතට කාවැද්දුවේ, අවිධිමත් ලෙස සාක්ෂිදැරීමට තිබෙන ප්‍රස්තාවලින් සැමවිටම ප්‍රයෝජන ගැනීමේ වැදගත්කමයි.

එක්දාස් නවසිය තිස්ගණන්වලදී, එවකට වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ සභාපති ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ්ගේ ඉරිදා උදෑසන ගුවන්විදුලි ප්‍රචාරයට සවන් දෙන්න අම්මා පටන්ගත්තා. ඒ අවුරුදු ගණනේදී, අපි ජීවත් වුණ ප්‍රදේශයේ ගෙයින්-ගෙට සේවයේ යෙදෙන්නත් සාක්ෂිකරුවන් පටන්ගත්තා. ඔවුන් සෙවණ ඇති ගහක් යට එහා මෙහා ගෙන යා හැකි ශබ්දවාහිනියක් සකස් කරන අතර, සහෝදර රද’ෆ’ඩ්ගේ තැටිගත කළ දේශනා වාදනය කරනවා. ඒ තැටි මෙන්ම මුරටැඹ හා රන්වන් යුගය [ඉංග්‍රීසියෙන්] (දැන් පිබිදෙව්!) සඟරා, අම්මාගේ උනන්දුව දල්වා තැබුවා.

වසර කීපයකට පස්සේ, 1938දී, කිලෝමීටර් 25ක් පමණ ඈතින් පිහිටි පෞද්ගලික නිවසක පවත්වන විශේෂ රැස්වීමකට ආරාධනා කරමින් මුරටැඹ දායකයන්ට තැපැල්පතක් යවනු ලැබුවා. ඒකට යන්න අම්මාට ඕන වුණ නිසා ෆ’නුයි, මමයි, මගේ අයියලා දෙන්නයි ඈ සමඟ ගියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයන් වූ ජොන් බූත් හා චාල්ස් හෙස්ල’, අපි දුසිමකට විතර කතාවල් දුන්නා. ඊට පස්සේ, ඊළඟ දවසේ උදේ දේවසේවයේ හවුල් වෙන්න කණ්ඩායමක් සංවිධානය කරන්න ඔවුන් පටන්ගත්තා. ඔවුන් එක්ක යන්න කිසි කෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නූණ නිසා, සහෝදර හෙස්ල’ මාව තෝරගෙන, “ඔයා එන්නෙ නැත්තේ ඇයි අපිත් එක්ක යන්න” කියලා ඇහැව්වා. ඔවුන් කරන්න යන්නේ මොකක්ද කියලා මම හරියටම දැනගෙන හිටියේ නැති නමුත්, මම ඔවුන්ට උපකාර නොකළ යුතු හේතුවක් ගැන මට හිතාගන්න බැරි වුණා.

දවල් වෙනකම් විතර අපි ගෙයින් ගෙට ගිය අතර, ඉන්පසු සහෝදර හෙස්ල’ සැන්ඩ්විචස් දෙකක් එළියට ගත්තා. අපි පල්ලියේ පඩි උඩ වාඩි වෙලා කන්න පටන්ගත්තා. මම එතකොට සිගරට් එක එළියට ගත්තහමයි සහෝදර හෙස්ල’ දැනගත්තේ මම එක රැස්වීමකට විතරයි ගිහිල්ලා තියෙන්නේ කියන එක. රාත්‍රි කෑමට ඒ සැන්දෑවේදීම අපේ නිවසට එන බව පැවසූ ඔහු බයිබල් සාකච්ඡාවක් සඳහා අපේ අසල්වැසියන්ට ආරාධනා කරන්න කියා අපෙන් ඉල්ලා සිටියා. රෑ කෑමෙන් පස්සේ, ඔහු අප සමඟ බයිබල් පාඩමක් පැවැත්වූ අතර, පැමිණ සිටි දහදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට කතාවක් දුන්නා. අපිට හැම සතියකම බයිබල් පාඩමක් පැවැත්විය යුතුයි කියලා ඔහු අපිට කිව්වා. අපේ අසල්වැසියන් මේකට කැමති වුණේ නැතත්, ෆ’න් හා මම සතිපතා නිවාස බයිබල් පාඩමක් පැවැත්වීමට කටයුතු පිළියෙළ කළා.

සත්‍යය තුළ ප්‍රගතිය ලැබූ හැටි

ඊට ටික දවසකට පස්සේ, ෆ’නුයි, මමයි ක්ෂේත්‍ර සේවයේ යෙදුණා. මෝටර් රථයේ පිටුපස ආසනයේ වාඩි වී සිටි අපි සිගරට් පත්තු කරගත්තා; ඒත් එක්කම මගේ අයියා අපේ දිහාට හැරිලා මෙහෙම කිව්වා: “සාක්ෂිකරුවන් දුම්පානය කරන්නේ නැහැ කියලා මට දැනගන්න ලැබුණා.” ඒ මොහොතේදීම, ෆ’න්, ඇගේ සිගරට් එක ජනේලයෙන් එළියට වීසි කළ අතර, මම මගේ එක බීලා ඉවර කළා. අපි දුම්පානයේ රසය විඳ තිබුණත්, අපි යළිත් කවදාවත් සිගරට් එකක් බිව්වේ නැහැ.

අපි 1940දී බව්තීස්ම වුණාට පස්සේ, ෆ’න් සහ මම රැස්වීමකට ගිය අතර, එහිදී අපි පාඩම් කළේ, පූර්ණ-කාලීන දේශනා වැඩය ලෙසින් හැඳින්වූ පුරෝගාමී සේවයට දිරිගැන්වූ ලිපියක්. අපි ආපහු ගෙදර යද්දී, සහෝදරයෙක් මෙහෙම ඇහැව්වා: “ඇයි ඔයයි, ෆ’නුයි පුරෝගාමී සේවය කරන්නේ නැත්තේ? ඕගොල්ලන්ව වළක්වන්න මොකුත් නෑනේ.” ඔහුට එකඟ නොවී ඉන්න අපිට බැරි වුණ නිසා, අපි ඒ සඳහා ඉදිරිපත් වුණා. මගේ රැකියා ස්ථානයට මම දවස් 30කින් අස් වෙන බවට දැනුම් දුන් අතර, පුරෝගාමී සේවයේ යෙදෙන්න අපි විධිවිධාන යෙදුවා.

අපි සේවය කළ යුතු තැන සම්බන්ධයෙන් වොච් ටවර් සමිතියෙන් විමසූ අතර, ඉන්පසු අපි මෙරිලන්ඩ්හි බෝල්ටිමෝවලට පදිංචියට ගියා. එහි පුරෝගාමීන් සඳහා නිවසක් පවත්වාගෙන ගිය අතර ඉඳුම් හිටුම්, කෑම බීම සඳහා මාසෙකට මිල ඩොලර් 10ක් (රු. 600ක්) වුණා. අපි මුදලක් ඉතුරු කරලා තිබුණ නිසා අපිට අර්මගෙදොන් දක්වා පහසුවෙන්ම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. (එළිදරව් 16:14, 16) අනිත් එක, අර්මගෙදොන් අත ළඟයි කියලනේ අපි නිතරම හිතුවේ. ඒ නිසා අපි පුරෝගාමී සේවයේ යෙදෙන්න පටන්ගත් විට, අපි අපේ නිවස අත්හැරිය අතර අනිත් හැම දේම හඹායෑමත් නතර කළා.

අපි 1942 සිට 1947 දක්වා බෝල්ටිමෝහි පුරෝගාමී සේවයේ යෙදුණා. ඒ අවුරුදුවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩයට දැඩි විරුද්ධත්වයක් තිබුණා. අපේ බයිබල් ශිෂ්‍යයන්ගේ නිවෙස්වලට අපි මෝටර් රථය පදවනවා වෙනුවට, සමහර අවස්ථාවලදී වෙන අයට සිද්ධ වුණා අපිව එහාට ඇරලවන්න. ඒ විදිහට අපේ මෝටර් රථ රෝදවලට සිදු කරන හානිය වළක්වගන්න පුළුවන් වුණා. එවැනි විරුද්ධත්වයකට කිසි කෙනෙක් කැමති වෙන්නේ නැති නමුත් මට කියන්න පුළුවන් අපි හැමවිටම ක්ෂේත්‍ර සේවයෙන් ආස්වාදයක් ලැබුවයි කියලා. ඇත්තවශයෙන්ම, ස්වාමීන්ගේ වැඩය කිරීමේදී සුළු කැලඹීම් ඇති වේය යන අපේක්ෂාවෙන් ආස්වාදයක් ලැබුවා.

වැඩි කල් යන්න මත්තෙන් අපි ඉතුරු කරලා තිබුණ මුදල් සියල්ලම වියදම් කරලා තිබුණා. අපේ මෝටර් රථ රෝදත්, අපේ ඇඳුම් හා සපත්තුත් ගෙවිලා ගියා. අපි දෙතුන් වතාවක් දිගු කාලපරිච්ඡේදයන් තුළ අසනීපව සිටියා. මේ විදිහට දිගටම ජීවත් වෙන එක පහසු දෙයක් නොවුවත්, අපි කවදාවත් අත්හරින්න හිතුවේ නැහැ. අපි කවදාවත් ඒ ගැන කතා කළේවත් නැහැ. අපිට පුරෝගාමී සේවයේ රැඳී ඉන්න පුළුවන් වීම සඳහා, අපි ජීවිතයේ අනිත් දේවල් කපාහැරියා.

පැවරුමෙහි වෙනස් වීම්

අපි 1947දී කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි සමුළුවට ගියා. එහිදී, මගේ විලියම් අයියාටයි, මටයි, සභාවලට ගිහින් උපකාර කිරීමේ සංචාරක වැඩය පැවරූ ලිපි ලැබුණා. එවිට ඒ වැඩය සඳහා අපිට කිසිම විශේෂ පුහුණුවක් ලැබුණේ නැහැ. අපි නිකම්ම ගියා. ඊළඟ අවුරුදු හතේදී, ෆ’නුයි මමයි ඔහයෝ, මිචිගන්, ඉන්ඩියානා, ඉලිනොයිස් හා නියූ යෝක්වල සේවය කළා. වර්ෂ 1954දී මිෂනාරීන් පුහුණු කරන පාසැලක් වූ ගිලියද් පාසැලේ 24වන පංතියට පැමිණෙන්න කියා අපට ආරාධනා කරනු ලැබුවා. එහිදී, ෆ’න්ට පෝලියෝ හැදුණා. ඈ සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සතුටට කරුණක් වූ අතර, අපට නියූ යෝක් හා කනෙක්ටිකට්හි සංචාරක සේවය සඳහා පැවරුම ලැබුණා.

අපි කනෙක්ටිකට්, ස්ටැම්ෆ’ඩ්හි සේවය කරන අතරතුරේදී, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි නේදන් එච්. නෝ’, ඔහු හා ඔහුගේ බිරිඳ වන ඔඩ්‍රි එක්ක සති අන්තය ගත කරන්න එන්න කියලා අපිට කිව්වා. රසට හැදුව මස් පෙති සහ ඒකට හරියන වෙනත් කෑම ජාතිත් ඔවුන් අපිට රාත්‍රි ආහාරය සඳහා දුන්නා. අපි ඔවුන්ව කලින්ම දැනහඳුනා ගෙන සිටිය නිසා අපේ ආශ්‍රය හා රෑ කෑමට අමතරව සහෝදර නෝ’ගේ මනසේ වෙනත් යමක් තිබෙන බව මම දැනගෙන හිටියා. පසුව ඒ හැන්දෑවේ ඔහු මගෙන් මෙහෙම ඇහැව්වා, “ඔයා ආසයිද බෙතෙල් එකට එන්න?”

“මට ස්ථිර වචනයක් දෙන්න බැහැ; බෙතෙල් ජීවිතය ගැන මම මොකුත් දන්නේ නැහැ” කියලා මම පිළිතුරු දුන්නා.

සති කීපයක් මේ ගැන කල්පනා කළාට පස්සේ, ඔහුට වුවමනා නම් අපි එන්න කැමතියි කියලා අපි සහෝදර නෝ’ට කිව්වා. වර්ෂ 1957 අප්‍රියෙල් 27වෙනිදා, අපේ 21වෙනි විවාහ සංවත්සර දිනයේදී බෙතෙල් එකට වාර්තා කරන්න කියලා අපිට ඊළඟ සතියේ ලිපියක් ලැබුණා.

බෙතෙල් එකේ ඒ මුල් දවසේදී, අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් සහෝදර නෝ’ මට පැහැදිලි මඟ පෙන්වීමක් දුන්නා. ඔහු මට මෙහෙම කිව්වා: “ඔයා දැන් චාරිකා සේවකයෙක් නෙවෙයි; ඔයා මෙහේ ඉන්නේ බෙතෙල් එකේ සේවය කරන්න. ඔයාට කරන්න තියෙන වැදගත්ම සේවය මේකයි; ඔයා මෙහෙ බෙතෙල් එකේ ලබාගන්න පුහුණුව අදාළ කරගන්න ඔයාගේ කාලයයි ශක්තියයි යොදවනවා දකින්නයි අපිට ඕනෙ. ඔයා මෙහේ දිගටම ඉන්නවා දකින්නයි අපිට ඕනෙ.”

බෙතෙල්හි ජීවිතය අර්ථවත්

මට තිබුණ මුල් පැවරුම සඟරා හා තැපැල් අංශවල සේවය කිරීමයි. ඉන් පසු, අවුරුදු තුනකට විතර පස්සේ, සහෝදර නෝ’ ඔහුගේ කාර්යාලයට වාර්තා කරන්න කියා මට පණිවිඩයක් එව්වා. මාව බෙතෙල් එකට ගෙනා නියම හේතුව නිවාස කාර්යාලයේ වැඩ කරන්නයි කියා එවිට ඔහු මට දැනුම් දුන්නා. ඔහු ඍජු උපදෙස් දුන්නා, “ඔයා මෙහෙ ඉන්නේ බෙතෙල් නිවස පවත්වාගෙන යන්නයි.”

බෙතෙල් නිවස පරිපාලනය කරද්දී මට මතක් වුණේ, මම ගොවිපොළේ වැඩෙද්දී මගේ දෙමාපියන් මට ඉගැන්නුව පාඩම් ගැනයි. බෙතෙල් නිවසක් හුඟක් දුරට ගෙදර දොරේ සාමාන්‍ය පවුලකට සමානයි. ඇඳුම් හෝදලා පිරිසිදු කිරීම, කෑම පිළියෙළ කිරීම, පිඟන් කෝප්ප සේදීම, ඇඳන් සකස් කිරීම යනාදි දේවල් කරන්න තියෙනවා. තමන්ගේම නිවස කියා කෙනෙකුට හැඳින්විය හැකි, ජීවත් වෙන්න පහසු ස්ථානයක් බවට බෙතෙල් එක පත් කිරීමට නිවාස කාර්යාලය යටතේ තියෙන හැම අංශයක්ම වෑයම් කරනවා.

බෙතෙල් එක ක්‍රියාත්මක වන ආකාරයෙන් පවුල්වලට ඉගෙනගත හැකි හුඟක් පාඩම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි උදේ පාන්දර නැඟිට ආත්මික සිතුවිල්ලකින් අපේ දවස ආරම්භ කරන්නේ දිනපතා බයිබල් පාඨයක් සලකා බලමිනුයි. මහන්සි වී වැඩ කිරීමත්, සමබර නමුත් කාර්යබහුල ජීවිතයක් ගත කිරීමත් අපෙන් අපේක්ෂා කරනවා. සමහරු හිතන විදිහට බෙතෙල් එක තාපසාරාමයක් නෙවෙයි. කාලසටහනකට අනුව අපේ ජීවිත ක්‍රමය සකස් කරගෙන තිබෙන නිසා අපි මහත් දෙයක් ඉටු කරනවා. මෙහිදී ලැබුව පුහුණුව, පසු කාලෙකදී තම පවුල්වල හා ක්‍රිස්තියානි සභාවේ වගකීම් පිළිගැනීමට තමන්ට උපකාරවත් වුණ බව බොහෝදෙනෙක් පවසා තිබෙනවා.

බෙතෙල් එකට එන යෞවන පුරුෂයන් හා ස්ත්‍රීන්ට පිරිසිදු කිරීමට, රෙදි ඇපිල්ලීමට හෝ කර්මාන්ත ශාලාවේ වැඩ කිරීමට පවරනු ලැබිය හැකියි. එවැනි ශාරීරික වැඩ පහත්, අපේ තත්වයට ගැළපෙන්නේ නැති ඒවා බව විශ්වාස කිරීමට ලෝකය අපට සැලැස්විය හැකියි. ඒත්, අපේ පවුලට සුදුසු ලෙස හා සතුටෙන් ක්‍රියාත්මක වීමට එවැනි වැඩ පැවරුම්වල ඇති අත්‍යවශ්‍යතාව ගැන බෙතෙල් එකේ යෞවනයන් අගය කරන්න පටන්ගන්නවා.

ඇත්තෙන්ම සතුටෙන් සිටීමට නම් ඔබට තත්වයත්, කීර්තියත් අවශ්‍යයි යන සිතුවිල්ලටත් ලෝකය අනුබල දිය හැකියි. ඒක වැරදියි. අපට පවරා තියෙන දේ අපි කරන විට, ‘අපි කළ යුතු වූ දේ’ අපි ‘කරන’ අතර අපට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙනවා. (ලූක් 17:10) අපට සැබෑ තෘප්තිය හා සන්තෝෂය තිබිය හැක්කේ අපේ වැඩයෙහි අරමුණ—එනම්, යෙහෝවාගේ කැමැත්ත කිරීම හා රාජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම මතකයේ තබාගන්නවා නම් පමණයි. අපි ඒක මනසේ තබාගන්නවා නම්, ඕනෑම පැවරුමක් ප්‍රීතිමත් හා සෑහීම ගෙන දෙන එකක් වෙන්න පුළුවන්.

පුළුල් කිරීමේ වැඩයට හවුල් වීම වරප්‍රසාදයක්

අපි බෙතෙල් එකට එන්න දශකයකට වැඩි කාලයකට පෙර, 1942දී ක්ලීව්ලන්ඩ්, ඔහයෝවල පැවැත්වූ සමුළුවේදී, සහෝදර නෝ’ “සාමය—එය සදහටම පැවතිය හැකිද?” කියන කතාව දුන්නා. එවකට ඉදිරියට ඇදෙමින් තිබුණ IIවන ලෝක යුද්ධය අවසාන වේවි කියාත්, පුළුල් කරනු ලැබූ දේශනා වැඩක් සඳහා ප්‍රස්තාව සලසනු ඇති සාමකාමී කාලයක් ඇති වේවි කියාත් ඔහු පැහැදිලි කළා. මිෂනාරිවරුන් පුහුණු කිරීමට ගිලියද් පාසැලත්, සහෝදරයන්ගේ ප්‍රසිද්ධියේ කතා දීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමට දිව්‍යාණ්ඩු සේවා පාසැලත් 1943දී පිහිටුවනු ලැබුවා. විශාල සමුළුත් සංවිධානය කරනු ලැබුවා. නියූ යෝක්, යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්වූ ඒවා 1950 ගණන්වලදී විශේෂයෙන්ම කැපීපෙනුණ ඒවායි. එහි 1950දී හා 1953දී පැවැත්වූ සමුළු සම්බන්ධයෙන් බලන කල, දවස් අට ගානේ එම සමුළු හැම එකකදීම දසදහස් ගණනකට නවාතැන් පහසුකම් දීමට, විශාල ට්‍රේලර් රථ, නවාතැන් බවට සකස් කිරීමට උපකාර වීම සඳහා මට ප්‍රස්තාව තිබුණා.

වර්ෂ 1958දී පැවැත්වූ ලොකුම එක ඇතුළු ඒ සමුළුවලින් පස්සේ, රාජ්‍ය ප්‍රචාරකයන්ගේ විශාල වැඩිවීමක් සිදු වුණා. මේක කෙළින්ම බෙතෙල්හි අපේ සේවයට බලපෑවා. එක්දහස් නවසිය හැටගණන්වල අගභාගයේදීත්, 1970 ගණන්වල මුල්භාගයේදීත්, සේවකයන්ට නවාතැන් ගැනීමට තිබුණ ඉඩ කඩ සහ කාමර සම්බන්ධයෙන් අපට සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. අපේ පවුල විශාල වෙද්දී නවාතැන් පහසුකම් සඳහා අපට තව නිදන කාමර, මුළුතැන්ගෙවල් සහ කෑම කාමර තිබීම අවශ්‍ය වුණා.

පුළුල් කිරීම සඳහා සුදුසු ඉඩමක් බලන්න කියලා සහෝදර නෝ’ කර්මාන්ත ශාලා අවේක්ෂක සහෝදර මැක්ස් ලාසන්ටයි මටයි කිව්වා. වර්ෂ 1957දී, මම බෙතෙල් එකට එනකොට 500දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අපේ පවුල නවාතැන් පහසුකම් ලබාගෙන හිටියේ විශාල නේවාසික ගොඩනැඟිල්ලකයි. නමුත් ගත වූ වසර ගණන තුළ සමිතිය ළඟපාත පිහිටි ටවර්ස්, ස්ටෑන්ඩිෂ් හා බෝසට් නම් විශාල හෝටල් තුනක් මෙන්ම කුඩා නේවාසික ගොඩනැඟිලි බොහෝමයක්ද මිල දී ගෙන, අලුත්වැඩියා කළා. සමිතිය 1986දී මාගරට් හෝටලය තිබී ඇති ඉඩම මිල දී ගත් අතර, අලුත් අලංකාර ගොඩනැඟිල්ල 250දෙනෙකුගේ විතර නිවසක් බවට පත් කළා. ඉන්පසු, 1990 ගණන්වල මුල් කාලයේදී, අමතර සේවකයන් 1,000කට නවාතැන් සඳහා තට්ටු 30ක නේවාසික ගොඩනැඟිල්ලක් තැනුවා. බෘක්ලින් බෙතෙල් එකට දැන් අපේ පවුලේ සාමාජිකයන් 3,300කට වැඩිදෙනෙකුට නවාතැන් පහසුකම් හා කෑම දෙන්න පුළුවන්.

බෘක්ලින් බෙතෙල් එකෙන් කිලෝමීටර් 160ක් පමණ ඈතින් නියූ යෝක්, වෝල්කිල්හි ඉඩමක්ද මිලයට ගනු ලැබුවා. වර්ෂ ගණනාව පුරා, 1960 ගණන්වල අගභාගය පටන්ගන්නවාත් එක්කම නේවාසික ගොඩනැඟිලි හා විශාල මුද්‍රණාලයක් එහි ගොඩනඟනු ලැබුවා. දැන්, අපේ බෙතෙල් පවුලෙන් සාමාජිකයන් 1,200ක් පමණ එහි ජීවත් වෙමින් වැඩ කරනවා. වර්ෂ 1980දී, නියූ යෝක් නගරයට ආසන්නව පිහිටි, පහසුවෙන් මහා මාර්ගයට පිවිසිය හැකි හෙක්ටෙයාර් 250ක පමණ ඉඩමක් සොයන්න පටන්ගත්තා. ඉඩ කඩම් සොයා දෙන නියෝජිතයෙක් හිනා වෙලා මෙහෙම කිව්වා: “ඒ වගේ ඉඩමක් ඔබ කොහෙන්ද හොයන්න යන්නේ? ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.” නමුත් පහුවෙනිදා උදේ ඔහු නැවතත් අමතලා මෙහෙම කිව්වා: “මට ඔබේ ඉඩම හම්බ වුණා.” අදදින, එය ප්‍රසිද්ධ නියූ යෝක්, පැටසන්හි වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය හැටියටයි. එහි පාසැල් පැවැත්වෙන අතර දේවසේවකයන් 1,300දෙනෙකුට වැඩි පවුලක් එහි සිටිනවා.

මම ඉගෙනගෙන තියෙන පාඩම්

හොඳ අවේක්ෂකයෙක්, අනිත් අයගෙන් වටිනා තොරතුරු ලබාගත හැකි කෙනෙක් බව මම දැනගත්තා. බෙතෙල් අවේක්ෂකයෙකු හැටියට ක්‍රියාත්මක කිරීමට මම වරප්‍රසාද ලබාගෙන තියෙන අදහස්වලින් වැඩිහරියක් අනිත් අයගෙන් ලබාගත් ඒවායි.

මම බෙතෙල් එකට එනකොට, අද මම ඉන්නවා වගේම හුඟදෙනෙක් වයසට ගිහින් හිටියා. දැන් ඒ අයගෙන් වැඩිදෙනෙක් ජීවතුන් අතර නැහැ. මහලු වී මියයන අයගේ තැන ගන්නේ කවුද? හැමවිටම උපරිම හැකියාවක් තියෙන අය නෙවෙයි. මෙහෙ ඉන්න, තමන්වම ඉදිරිපත් කරමින් විශ්වාසවන්තව වැඩයේ යෙදෙමින් සිටින අයයි.

හොඳ භාර්යාවකගේ අගය, මතකයේ තියාගන්න තවත් වැදගත් කාරණාවක්. මගේ දිව්‍යාණ්ඩු පැවරුම් ඉටු කිරීමේදී මගේ දයාබර භාර්යාව, ෆ’න්ගේ සහාය මට විශාල උපකාරයක් වෙලා තියෙනවා. තමන්ගේ භාර්යාවන් ඔවුන්ගේ පැවරුම් ප්‍රීතියෙන් කරනවාද කියා සහතික කරගැනීමට ස්වාමිපුරුෂයන්ට වගකීමක් තියෙනවා. ෆ’න් සහ මම කැමති දෙයක් කිරීමට සැලසුම් කරන්න මම වෑයම් කරනවා. ඒක ලොකු මුදලක් වැය කරන දෙයක් වෙන්න අවශ්‍ය නැහැ; සාමාන්‍ය දිනචර්යාවට වඩා වෙනසක් කිරීමම ඇති. තම භාර්යාව සතුටු කිරීමට දේවල් කිරීම ස්වාමිපුරුෂයෙකුගේ වගකීමයි. ඇය සමඟ ඔහු ගත කරන කාලය අනර්ඝ එකක් වන අතර, ඉක්මනින්ම ගෙවී යන නිසා ඔහු එයින් උපරිමය ගත යුතුයි.

යේසු කතා කළ අවසාන දවස්වල ජීවත් වෙන්න ලැබීම මට සතුටක්. මුළු මිනිස් ඉතිහාසයේම මේක ඉතාමත්ම පුදුම එළවන කාලයයි. පොරොන්දු වූ නව ලෝකයේ පැමිණීම සඳහා සූදානම් වීමේදී ස්වාමීන් ඔහුගේ සංවිධානය ගොඩනඟන ආකාරය අපේ ඇදහිල්ලේ දෙනෙතින් නරඹන්නත්, දකින්නත් අපිට හැකියාව තිබෙනවා. යෙහෝවාගේ සේවයෙහි මගේ ජීවිත කාලය දිහා මම හැරිලා බලද්දී, මේ සංවිධානය පවත්වාගෙන යන්නේ මිනිස්සු නෙවෙයි නමුත් යෙහෝවා බව මට දැකගන්න පුළුවන්. අපි නිකම්ම ඔහුගේ සේවකයන් විතරයි. ඒ නිසා, අපි හැමවිටම මඟ පෙන්වීම සඳහා ඔහු දෙස බැලිය යුතුයි. අපි කළ යුතු දේ කුමක්ද කියා ඔහු පෙන්වා දුන් විට, අපි වහාම එක් වී ඒක කළ යුතුයි.

සංවිධානය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන්න; එවිට ඔබට පූර්ණ, සන්තෝෂවත් ජීවිතයක් සහතික ලෙස ලැබෙනවා. ඔබ කුමක් කළත්, එනම් පුරෝගාමී සේවය, චාරිකා සේවය, ප්‍රචාරකයෙක් හැටියට සභාවක සේවය කිරීම, බෙතෙල් සේවය හෝ මිෂනාරි සේවය යන ඕනෑම එකකදී, දී තිබෙන උපදෙස් අනුගමනය කරන්න; ඒ වගේම, ඔබේ පැවරුම අගය කොට සලකන්න. සෑම පැවරුමක්ම හා යෙහෝවාගේ සේවයෙහි හැම දවසකම හැම වැඩක්ම ප්‍රීතියෙන් කිරීමට ඔබේ උපරිමය කරන්න. සමහර අවස්ථාවලදී ඔබව වෙහෙසට පත් වෙයි; වැඩියෙන් වැඩ කරන්නත්, අධෛර්යයට පත් වෙන එකත් සිද්ධ වෙයි. යෙහෝවාට ඔබේ ජීවිතය කැප කිරීමේ අරමුණ ඔබට මතක් කරගන්න වෙන්නේ එවිටයි. ඒ ඔබේම නොව, ඔහුගේ කැමැත්ත කිරීමටයි.

මම වැඩ කරන්න ඇවිත් මම කළ දෙයින් ප්‍රීතියක් නොලැබුව එක දවසක්වත් නැහැ. ඇයි? මොකද යෙහෝවාට අපව මුළුමනින්ම දෙන විට, ‘අපි කළ යුතු වූ දේ අපි කළ’ බව දැන සිටීමේ තෘප්තිය අපිට තිබෙන නිසායි.

[19වන පිටුවේ පින්තූරය]

සඟරා අංශය

[19වන පිටුවේ පින්තූරය]

1950, ට්‍රේලර් රථ නවාතැන්පොළ

[19වන පිටුවේ පින්තූරය]

1946දී, බෝල්ටිමෝවල පුරෝගාමී සේවය

[19වන පිටුවේ පින්තූරය]

1950දී ෆ’න් එක්ක ට්‍රේලර් රථ නවාතැන්පොළේදී

[22වන පිටුවේ පින්තූරය]

ඔඩ්‍රි හා නේදන් නෝ’ සමඟ

[23වන පිටුවේ පින්තූරය]

නියූ යෝක්, පැටසන්හි වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය

[24වන පිටුවේ පින්තූරය]

අදදින, ෆ’න් එක්ක

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න