යෙහෝවාව අනුකරණය කරන්න—යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වන්න
“පොළොවෙහි ප්‍රේමනීය-කරුණාවත්, යුක්තියත් ධර්මිෂ්ඨකමත් පවත්වන තැනැත්තේ යෙහෝවා වන මමය; මක්නිසාද මා ප්‍රිය වන්නේ මේ දේවලටය.”—යෙරෙමියා 9:24, NW.
1. යෙහෝවා ඉදිරිය සඳහා තබා ඇත්තේ මොන පුදුමාකාර අපේක්ෂාවද?
තමාව සියලුමදෙනා දැනගන්න කාලය පැමිණෙනු ඇතැයි යෙහෝවා පොරොන්දු වුණා. තම ප්‍රොපේත යෙසායා තුළින් ඔහු මෙලෙස පැවසුවා: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:9) මොනතරම් පුදුමාකාර අපේක්ෂාවක්ද!
2. යෙහෝවාව දැනගැනීමට අයත් වන්නේ කුමක්ද? ඒ ඇයි?
2 නමුත් යෙහෝවාව දැනගැනීමෙන් අදහස් කරන්නේ කුමක්ද? “මක්නිසාද මා ප්‍රිය වන්නේ මේ දේවලටය” කියා පවසමින්, ‘පොළොවෙහි ප්‍රේමනීය-කරුණාවත් යුක්තියත් ධර්මිෂ්ඨකමත් පවත්වන තැනැත්තේ යෙහෝවා වන මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම් වූ කාරණය’ වඩාත්ම වැදගත් දෙය හැටියට යෙහෝවා යෙරෙමියාට අනාවරණය කළා. (යෙරෙමියා 9:24) එමනිසා, යෙහෝවාව දැනගැනීම යන්නෙන් අදහස් වන්නේ ඔහු යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වන ආකාරය දැනසිටීමයි. එහෙයින් අප එම ගුණාංග ක්‍රියාවට නංවනවා නම්, ඔහු අප ගැන ප්‍රිය වේවි. අපට එසේ කළ හැක්කේ කෙසේද? ගත වූ කාලය පුරා යෙහෝවා මිනිසුන් සමඟ කටයුතු කර ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් ඔහුගේ වචනය වන බයිබලය තුළ ආරක්ෂා කර තිබෙනවා. බයිබලය අධ්‍යයනය කිරීමෙන්, යෙහෝවාගේ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ මාර්ග ගැන අපට දැනගත හැකි අතර, එනයින් ඔහුව අනුකරණය කළ හැකියි.—රෝම 15:4.
යුක්තිසහගතයි එහෙත් දයානුකම්පිතයි
3, 4. සොදොම සහ ගොමොරාව යෙහෝවා විසින් විනාශ කිරීම සාධාරණ දෙයක් වුණේ ඇයි?
3 යෙහෝවාගේ යුක්තියේ පැති කිහිපයක් ආදර්ශ කොට දක්වන කදිම උදාහරණයකි, සොදොම සහ ගොමොරාව පිට ගෙනා දිව්‍ය විනිශ්චය. යෙහෝවා අවශ්‍ය වූ දඬුවම ගෙනාවා පමණක් නෙවෙයි, සුදුසු අයට ගැළවීමත් සපයා දුන්නා. එම නගරවල විනාශය ඇත්තෙන්ම සාධාරණ එකක් වුණාද? පෙනෙන ප්‍රකාරයට, සොදොමේ දුෂ්ටකම ගැන සීමිත දැනුමක් තිබූ ආබ්‍රහම් මුලින්ම සිතුවේ එය අසාධාරණ බවයි. නගරය තුළ ධර්මිෂ්ඨ මිනිසුන් දහදෙනෙක්වත් සොයාගත හැකි වුණොත්, නගරය ආරක්ෂා කරන බවට යෙහෝවා ආබ්‍රහම්ට සහතික වුණා. පැහැදිලිවම, යෙහෝවාගේ යුක්තිය කවමදාකවත් කලබලකාරි හෝ දයාවෙන් තොර එකක් නෙවෙයි.—උත්පත්ති 18:20-32.
4 දේවදූතයන්ගේ සෝදිසි කිරීම මගින් සොදොමේ සදාචාරමය බිඳවැටීම ගැන විචිත්‍රවත් සාක්ෂියක් ලබා දුන්නා. ලොත්ගේ නිවසට මිනිසුන් දෙදෙනෙක් පැමිණි බව දැනගත් විට, නගරයේ සිටි පුරුෂයන් වන “තරුණයෝද මහල්ලෝද,” පිරිසක් වශයෙන් පැමිණ බලාත්කාරයෙන් සමලිංගික සේවනයේ යෙදීමේ අදහසින් ඔහුගේ ගෙට කඩා වදින්න උත්සාහ කළා. ඇත්තෙන්ම ඔවුන්ගේ නීචකම ඉහ වහා ගොස් තිබුණා! එසේනම්, එම නගරය මතට යෙහෝවා ගෙනා විනාශය ධර්මිෂ්ඨ එකක් බවට කිසිම සැකයක් නැහැ.—උත්පත්ති 19:1-5, 24, 25.
5. දෙවි, ලොත් සහ ඔහුගේ පවුල සොදොමෙන් ගළවාගත්තේ කොහොමද?
5 අනතුරු ඇඟවීමේ ආදර්ශයක් හැටියට, සොදොම සහ ගොමොරාවේ විනාශය සඳහන් කිරීමෙන් පසු, ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා: “භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ට . . . [යෙහෝවා දන්නේය].” (2 පේතෘස් 2:6-10) සොදොමේ අභක්තික මිනිසුන් සමඟ ධර්මිෂ්ඨ ලොත් සහ ඔහුගේ පවුලේ අයවත් අතුගෑවී ගියා නම් යුක්තිය ඉටු වුණා කියා සෑහීමට පත් වෙන්න බැහැ. එහෙයින්, පැමිණෙන්න යන විනාශය ගැන යෙහෝවාගේ දූතයන් ලොත්ට අනතුරු ඇඟෙව්වා. ලොත් ප්‍රමාද වූ කල, දේවදූතයන් ‘යෙහෝවා ඔහු කෙරෙහි පෙන්වූ දයාව නිසා’ ඔහුවත්, ඔහුගේ භාර්යාව හා දියණියන්වත් අතින් අල්ලාගෙන නගරයෙන් පිටතට ගෙනාවා. (උත්පත්ති 19:12-16, NW) පැමිණෙන්න තිබෙන මෙම දුෂ්ට පිළිවෙළේ විනාශයේදී, ධර්මිෂ්ඨ අය ගැන යෙහෝවා එයාකාර සැලකිල්ලක් දක්වයි කියා අපටත් සහතික වෙන්න පුළුවන්.
6. පැමිණෙන්න තිබෙන මෙම දුෂ්ට දේවල පිළිවෙළේ විනාශය ගැන අප අනවශ්‍ය ලෙස කලබල නොවිය යුත්තේ ඇයි?
6 මෙම දේවල පිළිවෙළේ අවසානය “යුක්තිය ගෙන ඒම” සඳහා කාලයක් වුණත්, ඒ ගැන අනවශ්‍ය ලෙස කලබල වීමට හේතුවක් නැහැ. (ලූක් 21:22, NW) යෙහෝවා අර්මගෙදොන්හි ඉටු කරන්න යන විනිශ්චය “සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨ” බව ඔප්පු වෙන්න යනවා. (ගීතාවලිය 19:9) ආබ්‍රහම් ඉගෙනගත්තාක් මෙන්, අපේ යුක්තියට වඩා බොහෝ උසස් තලයක පිහිටි යෙහෝවාගේ යුක්තිය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්න පුළුවන්. ආබ්‍රහම් මෙසේ ඇසුවා: ‘මුළු පොළොවේ විනිශ්චයකාරයා යුක්තිය [හරි දේ, NW] ඉටු නොකරන්නේද?’ (උත්පත්ති 18:25; සසඳන්න යෝබ් 34:10.) එසේත් නැතිනම්, යෙසායා යෝග්‍ය ලෙස පෙන්නුම් කළ ආකාරයට, ‘යුක්තියේ මාර්ගය යෙහෝවාට උගන්වන්නේ කවුද?’—යෙසායා 40:14.
මනුෂ්‍යවර්ගයා බේරාගැනීමට ධර්මිෂ්ඨ ක්‍රියාවක්
7. දෙවිගේ යුක්තිය හා ඔහුගේ දයාව අතර ඇති සම්බන්ධය කුමක්ද?
7 දෙවිගේ යුක්තිය ඔහු විදහාපා ඇත්තේ වැරදිකරුවන්ට දඬුවම් කරන ආකාරයෙන් පමණක් නෙවෙයි. යෙහෝවා තමාව ‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්, ගැළවුම්කාරයෙක්’ හැටියට විස්තර කරනවා. (යෙසායා 45:21) ඉතින් පෙනෙන අන්දමට, දෙවිගේ ධර්මිෂ්ඨකම නැතිනම් යුක්තිය හා පාපයේ ප්‍රතිඵලවලින් මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීමට ඇති ඔහුගේ ආශාව අතර කිට්ටු සබඳතාවක් තිබෙනවා. මෙම පදය ගැන අදහස් දක්වමින්, ජාත්‍යන්තර සම්මත බයිබල් විශ්වකෝෂයේ [ඉංග්‍රීසියෙන්], 1982 අනුවාදය මෙලෙස පවසයි: “තම දයාව හා තම ගැළවීම ප්‍රායෝගික ක්‍රමවලින් ප්‍රකාශ කිරීමට දෙවිගේ යුක්තිය යත්න දරයි.” දෙවිගේ යුක්තියට දයාව මුසු කළ යුතු බව ඉන් අදහස් වෙනවා නෙවෙයි; ඒ වෙනුවට දයාව කියන්නේ දෙවිගේ යුක්තියේ ප්‍රකාශයක්. දිව්‍ය යුක්තියේ මෙම පැත්ත සම්බන්ධයෙන් ඇති වඩාත්ම කැපීපෙනෙන ආදර්ශය නම්, මනුෂ්‍යවර්ගයාගේ ගැළවීම සඳහා දෙවිගේ මිදීමේ මිල පූජාවේ සැපයුමයි.
8, 9. (අ) “ධර්මිෂ්ඨ ක්‍රියාවක්” යන විස්තර කිරීමට අයත් වුණේ කුමක්ද? එමෙන්ම ඇයි? (ආ) යෙහෝවා අපෙන් ආපසු ඉල්ලන්නේ කුමක්ද?
8 මිදීමේ මිලය එනම් දෙවිගේ ඒකජාතක පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනර්ඝ ජීවිතය, ගෙවීමට සිදු වූ ඉහළ මිලක් වුණා; මන්දයත් දෙවිගේ ප්‍රමිති විශ්වනීය වන අතර, ඔහුද ඒවාට එකඟව කටයුතු කරයි. (මතෙව් 20:28) ආදම්ගේ සම්පූර්ණ ජීවිතය අහිමිව තිබූ හෙයින් ආදම්ගේ පැවතෙන්නන් සඳහා ජීවනය ලබා දීමට සම්පූර්ණ ජීවිතයක් අවශ්‍ය වුණා. (රෝම 5:19-21) මිදීමේ මිලය ගෙවීම ඇතුළුව, යේසුස්ගේ අඛණ්ඩතාවෙන් යුත් මාර්ගය පාවුල් විස්තර කරන්නේ “ධර්මිෂ්ඨ ක්‍රියාවක්” හැටියටයි. (රෝම 5:18) ඒ ඇයි? මන්දයත් තමාට අධික මිලක් ගෙවමින් කරන්න සිදුවුණත්, යෙහෝවාගේ දෘෂ්ටිකෝණයෙන් මනුෂ්‍යයන්ව මිදීම, කිරීමට තිබූ නිවැරදි හා යුක්තිසහගත දෙය වුණ නිසයි. ආදම්ගේ වංශය, දෙවි විසින් පොඩි කිරීමට අකමැති වූ “තැළුණු බටලීයක්” මෙන් වුණා. එසේත් නැතිනම් ඔහු විසින් නිවා දැමීමට අකමැති වූ “දුම්නගින පහන් තිරයක්” මෙන් වුණා. (මතෙව් 12:20) ආදම්ගෙන් පැවතෙන්නන්ගෙන් ඇදහිලිවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් රැසක් මතු වෙයි කියා දෙවිට නිසැකකමක් තිබුණා.—මතෙව් 25:34 සසඳන්න.
9 මෙම ප්‍රේමයේ හා යුක්තියේ උත්තරීතර ක්‍රියාවට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කොහොමද? යෙහෝවා අපෙන් ආපසු ඉල්ලන එක් දෙයක් නම් “යුක්තිය පැවැත්වීමයි.” (මීකා 6:8, NW) අපට මෙය කළ හැක්කේ කොහොමද?
යුක්තිය සොයා ධර්මිෂ්ඨකම ලුහුබඳින්න
10. (අ) අප යුක්තිය පවත්වන එක් ක්‍රමයක් වන්නේ කුමක්ද? (ආ) අපට දෙවිගේ ධර්මිෂ්ඨකම පළමුව සෙවිය හැක්කේ කොහොමද?
10 පළමුවෙන්ම අප දෙවිගේ සදාචාරමය ප්‍රමිතීන්ට අනුකූල විය යුතුයි. දෙවිගේ ප්‍රමිති යුක්තිසහගත හා ධර්මිෂ්ඨ නිසා, අප ඒවාට එකඟව ජීවත් වෙද්දී අප යුක්තිය පවත්වනවා. යෙහෝවා ඔහුගේ සෙනඟගෙන් අපේක්ෂා කරන්නේ එයයි. ‘යහපත්කම් කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයන්න’ කියා යෙහෝවා ඉශ්රායෙල්වරුන්ට පැවසුවා. (යෙසායා 1:17) ‘පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්න’ යයි කීමේදී, යේසුස් කන්ද උඩ දේශනාවේදී ඊට සමාන උපදෙසක් සිය ශ්‍රාවකයන්ට දුන්නා. (මතෙව් 6:33) පාවුල් තිමෝතිට දිරිගැන්වූයේ “ධර්මිෂ්ඨකම . . . ලුහුබඳින්න” කියායි. (1 තිමෝති 6:11, NW) හැසිරීම සම්බන්ධයෙන් වූ දෙවිගේ ප්‍රමිතීන්ට එකඟව අප ජීවත් වී අලුත් පෞද්ගලිකත්වය පැළඳගනිද්දී, අප සැබෑ යුක්තිය හා ධර්මිෂ්ඨකම ලුහුබඳිනවා. (එපීස 4:23, 24) වෙනත් වචනවලින් කියනවා නම්, දෙවිගේ ක්‍රමයට අනුව දේවල් කිරීමෙන් අප යුක්තිය සොයනවා.
11. පාපයේ අධිපතිකමට විරුද්ධව අප සටන් කළ යුත්තේ ඇයි? එමෙන්ම කොහොමද?
11 අපට හොඳින් අවබෝධ වී තිබෙන හැටියට, යුක්තිසහගත වීම හා හරි දේ කිරීම අසම්පූර්ණ මනුෂ්‍යයන්ට හැමවිටම පහසු නැහැ. (රෝම 7:14-20) දෙවිගේ අරමුණ ඉටු කිරීමට දෙවිට මහෝපකාරි වන අපේ කැප වූ ශරීර, දෙවිට “ධර්මිෂ්ඨකමේ ආයුධ” හැටියට ඉදිරිපත් කිරීමට හැකි වන පිණිස, පාපයේ අධිපතිකමට විරුද්ධව සටන් කරන හැටියට පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූවා. (රෝම 6:12-14) එයාකාරයෙන්ම, දෙවිගේ වචනය නිතිපතා අධ්‍යයනය කිරීමෙන් හා අදාළ කරගැනීමෙන්, ‘යෙහෝවාගේ මානසික ශික්ෂණය’ උරාගෙන ‘ධර්මිෂ්ඨකමින් ගුරුකම් ලබන්න’ අපටත් හැකියි.—එපීස 6:4, NW; 2 තිමෝති 3:16.
12. යෙහෝවා අපට කෙසේ සලකනවාටද අප කැමති, අපත් එයාකාරයෙන්ම අන්‍යයන්ව සැලකීමට නම් අප කුමකින්ද වැළකිය යුත්තේ?
12 දෙවනුව, යෙහෝවා අපට කෙසේ සලකනවාටද අප කැමති, අපත් එයාකාරයෙන්ම අන්‍යයන්ට සලකන විට අප යුක්තිය පවත්වන්න යනවා. අප සඳහා නම්‍යසුලු එකක්ද අන් අයට දැඩි එකක්ද යන දෙබිඩි ප්‍රමිතියක් පවත්වාගැනීම එතරම් අමාරු නැහැ. අපේ අඩුලුහුඬුකම්වලට අප කැමැත්තෙන්ම නිදහසට කරුණු දුන්නත්, අන්‍යයන්ගේ දෝෂ, අපේ ඒවාට සමාන්තරව වැදගත්කමින් බොහෝදුරට අඩු වුණත්, ඒවා විවේචනයට ලක් කරන්න අප ඉක්මන් වෙනවා. ඒ ගැන යේසුස් ඍජුවම මෙලෙස අසයි: “නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?” (මතෙව් 7:1-3) අපේ වැරදි යෙහෝවා සියුම්ව පරීක්ෂා කරන්න ගියොතින් අප කාටවත් සිටිය නොහැකි බව අප අමතක නොකළ යුතුයි. (ගීතාවලිය 130:3, 4) අපේ සහෝදරයන්ගේ දුර්වලකම් නොබැලීමට යෙහෝවාගේ යුක්තිය ඔහුට ඉඩ සලසනවා නම්, ඒවා ඊට වෙනස් ආකාරයකින් විනිශ්චය කිරීමට අප කවුද?—රෝම 14:4, 10.
13. රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට තමා බැඳී ඇති බව ධර්මිෂ්ඨ පුද්ගලයෙක්ට දැනෙන්නේ ඇයි?
13 තෙවනුව, දේශනා කිරීමේ ක්‍රියාකාරකමේ අප කඩිසරව යෙදෙන විට අප දිව්‍ය යුක්තිය විදහාපානවා. “කරුණාව [යහපත, NW] පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න” කියා යෙහෝවා අපට උපදෙස් දෙයි. (හිතෝපදේශ 3:27) දෙවි අපට ත්‍යාගශීලී ලෙස දානය කර ඇති ජීවනය ගෙන දෙන දැනුම අප අපටම තබාගැනීම හරි දෙය වෙන්න යන්නේ නැහැ. මිනිසුන් බොහෝදෙනෙක් අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කළ හැකි බව ඇත්තයි; එහෙත් දෙවි ඔවුන්ට දිගටම දයාව පෙන්වන තාක් කල්, ‘පසුතැවිලි වීමට’ අප ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුයි. (2 පේතෘස් 3:9) තවද යුක්තිය හා ධර්මිෂ්ඨකම වෙතට හැරීමට කෙනෙකුට උපකාර කිරීමට අපට හැකි වන විට යේසුස්ට මෙන් අපටත් ප්‍රීති ප්රමෝදයක් දැනෙනවා. (ලූක් 15:7) එසේනම්, ‘ධර්මිෂ්ඨකමේ බීජ වැපිරීමට’ හොඳම කාලය දැනුයි.—හොෂෙයා 10:12.
‘යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අධිපතීන්’
14. යුක්තිය සම්බන්ධයෙන් ගත් කල වැඩිමහල්ලන්ට තිබෙන්නේ කුමන කාර්යභාරයක්ද?
14 අප සියලුදෙනාම ධර්මිෂ්ඨකමේ මාවතේ ගමන් කළ යුතු නමුත්, ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ට මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තිබෙනවා. යේසුස්ගේ රාජකීය පාලනය ‘යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිර කර පිහිටුවා’ තිබෙනවා. මේ අනුව වැඩිමහල්ලන් සඳහා ප්‍රමිතිය දිව්‍ය යුක්තිය වෙයි. (යෙසායා 9:7) යෙසායා 32:1හි අනාවැකිමය ලෙස සඳහන් වන දෙය ඔවුන් මනසේ තබාගනියි: “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද දැහැමින් [යුක්තිය වෙනුවෙන්, NW] අධිපතිකම් කරන්නෝය.” ආත්මයෙන් පත් කරනු ලැබූ අවේක්ෂකයන් හැටියට, එසේත් නැතිනම් ‘දෙවිගේ ගබඩාකාරයන්’ හැටියට, වැඩිමහල්ලන් දෙවිගේ ක්‍රමයට දේවල් කළ යුතුයි.—තීතස් 1:7.
15, 16. (අ) යේසුස්ගේ උපහැරණයේ එන ඇදහිලිවන්ත එඬේරාව වැඩිමහල්ලන් අනුකරණය කරන්නේ කොහොමද? (ආ) ආත්මිකව නැති වූ අය ගැන වැඩිමහල්ලන්ට හැඟෙන්නේ කොහොමද?
15 යෙහෝවාගේ යුක්තිය දයානුකම්පිත, දයාවෙන් පිරි, සාධාරණ එකක් බව යේසුස් පෙන්නුම් කළා. සියල්ලටම වැඩියෙන්, ගැටලු තිබූ අයට උපකාර කිරීමට හා “නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද” ඔහු උත්සාහ කළා. (ලූක් 19:10) වෙහෙස මහන්සිය නොතකා, නැති වූ බැටළුවා සෙවූ යේසුස්ගේ උපහැරණයේ සිටි එඬේරා මෙන්, ආත්මිකව වෙනතකට ගිය අයව වැඩිමහල්ලන් සොයා බලන අතර, නැවත රැළට ඔවුන්ව යොමු කිරීමටද ඔවුන් යත්න දරනවා.—මතෙව් 18:12, 13.
16 බරපතළ පාපයක් කර ඇති අයව හෙළා දකිනවා වෙනුවට, හැකිනම් ඔවුන්ව සුව කර පසුතැවිලි වීම දක්වා ගෙනයෑමට වැඩිමහල්ලන් උත්සාහ කරනවා. ඉවතට ගිය කෙනෙක්ට උපකාරය පිරිනැමීමට අවස්ථාවක් ලද විට ඔවුන් ප්‍රීති වෙනවා. කොහොම වුණත්, වැරදි කරන්නෙක් පසුතැවිලි වීමට අසමත් වූ විට එය ඔවුන්ට කනගාටුව ඇති කරයි. එවිට එම පසුතැවිලි නොවූ තැනැත්තාව සභා ඇසුරෙන් කපාහැරීමට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලින් ඉල්ලා සිටියි. එවිට පවා, අකීකරු පුත්‍රයාගේ උපහැරණයේ එන පියා මෙන්, වැරදි කළ තැනැත්තා ‘හොඳ සිහියට’ පැමිණෙයි කියා ඔවුන් බලාපොරොත්තු වෙනවා. (ලූක් 15:17, 18) ඒ හේතුවෙන්, සභා ඇසුරෙන් කපාහැර දමනු ලැබූ පුද්ගලයාට යෙහෝවාගේ සංවිධානයට නැවත පැමිණෙන ආකාරය මතක් කර දීම සඳහා ඔවුන්ව බැහැදැකීමට වැඩිමහල්ලන් මුල් පියවර ගන්නවා.a
17. වැරදි කිරීම සම්බන්ධ කාරණයක් ගැන කටයුතු කරද්දී වැඩිමහල්ලන්ගේ ඉලක්කය වන්නේ කුමක්ද? එමෙන්ම එම ඉලක්කය ඉටු කරගැනීමට කුමන ගුණාංගයද ඔවුන්ට උපකාරවත් වන්නේ?
17 වැරදිකරන්නන් හා සම්බන්ධ කාරණා සලකා බලන විට, වැඩිමහල්ලන් විශේෂයෙන්ම යෙහෝවාගේ යුක්තිය අනුකරණය කරන්න අවශ්‍යයි. යේසුස් ඔවුන්ව තේරුම්ගෙන ඔවුන්ට උපකාර කරයි කියා හැඟුණ නිසා පව්කාරයන් යේසුස්ට “ළංවෙවී ආවෝය.” (ලූක් 15:1; මතෙව් 9:12, 13) ඇත්තෙන්ම යේසුස් ඔවුන්ගේ පාපවලට ඉඩ දුන්නා නෙවෙයි. යේසුස් ආහාර ගැනීමට ඉඳගත් එක් අවස්ථාවකදී, අයුතු ලෙස මුදල් පැහැරගැනීම සම්බන්ධයෙන් අපකීර්තියක් ඉසිලූ සාකෙවුස්ව පසුතැවිලි වී අන් අය කෙරෙහි ගෙනා වේදනාවට වන්දි ගෙවන්නත් පෙලඹෙව්වා. (ලූක් 19:8-10) විනිශ්චමය විමසුම්වලදී වැඩිමහල්ලන්ට ඇත්තේද එම ඉලක්කයමයි. එනම් වැරදි කළ තැනැත්තාව පසුතැවිලි වීම කරා ගෙන ඒමයි. යේසුස් වෙතට මෙන් ඔවුන් වෙතටත් එළඹිය හැකි නම්, ඔවුන්ගෙන් උපකාරය පැතීම වඩා පහසු බව බොහෝ වැරදිකරන්නන්ට පෙනී යයි.
18. “සුළඟෙන් මුවාවෙන ඉඩමක්” වීමට වැඩිමහල්ලන්ට හැකි කරවන්නේ කුමක්ද?
18 දැඩිබවක් හෝ හැඟීමකින් තොර බවක් නොගන්නා දිව්‍ය යුක්තිය ක්‍රියාවට නැංවීමට, සංවේදී හදවතක් වැඩිමහල්ලන්ට උපකාර වෙයි. ඉශ්රායෙල් ජාතියට යුක්තිය කියා දීම සඳහා එස්රා තම මනස පමණක් නොව, තම හදවතද සූදානම් කරගැනීම උනන්දුවකට කරුණකි. (එස්රා 7:10) තේරුම්ගන්නාසුලු හදවතක්, සුදුසු ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගැනීමටත් එක් එක් පුද්ගලයාගේ තත්වය සලකා බැලීමටත් වැඩිමහල්ලන්ට හැකි කරවන්න යනවා. ලේ ගැලීමකින් පෙළුණු ස්ත්‍රියකව යේසුස් සුව කළ විට, ව්‍යවස්ථාවේ නිශ්චිතවම පවසා ඇති දෙය මෙන්ම එහි නියම සාරයද තේරුම්ගැනීම යෙහෝවාගේ යුක්තියට අයත් වන බව ඔහු පෙන්නුම් කළා. (ලූක් 8:43-48) තම දුර්වලතා හෝ අප ජීවත් වන මෙම දුෂ්ට පිළිවෙළ නිසා හෝ පහර ලැබ ඇති අයට, දයානුකම්පිතව යුක්තිය ක්‍රියාවට නංවන වැඩිමහල්ලන්ව හරියට ‘සුළඟෙන් මුවා වෙන ඉඩමකට’ සමාන කරන්න පුළුවන්.—යෙසායා 32:2.
19. දිව්‍ය යුක්තිය අදාළ කිරීමේදී එක් සහෝදරියක් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?
19 බරපතළ පාපයක් කළ එක් සහෝදරියක් තම අද්දැකීමෙන්ම දිව්‍ය යුක්තිය අගය කරන්න පෙලඹුණා. “ඇත්තෙන්ම කියනවා නම්, මම වැඩිමහල්ලන් ළඟට යන්න භය වුණා” යයි ඇය පිළිගන්නවා. “හැබැයි ඒගොල්ලන් මට දයානුකම්පිතව සැලකුවා. ඒ වගේම මට ගෞරවයත් දුන්නා. වැඩිමහල්ලන් අනුකම්පාවක් නැති විනිශ්චකාරයෝ වෙනවා වෙනුවට මට පියවරු වගේ වුණා. මගේ මාර්ග නිවැරදි කරගන්න මම තීරණය කළොත් යෙහෝවා මාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැයි කියලා තේරුම්ගන්න ඒගොල්ලන් මට උපකාර කළා. ප්‍රේමනීය පියෙක් හැටියට ඔහු අපව හික්මවන ආකාරය මම මගේ අද්දැකීමෙන්ම ඉගෙනගත්තා. මගේ කන්නලව්ව යෙහෝවා අහයි කියන විශ්වාසය උඩ මට පුළුවන් වුණා ඔහුට මගේ හදවත විවෘත කරන්න. ආපස්ස හැරිලා බලද්දී, මට ඇත්තෙන්ම කියන්න පුළුවන් එදා අවුරුදු හතකට ඉස්සෙල්ලා වැඩිමහල්ලන් එක්ක කරපු ඒ සාකච්ඡාවල් යෙහෝවගෙන් ආපු ආශීර්වාදයක් කියලා. එදා ඉඳන් ඔහුත් එක්ක තියෙන මගේ සම්බන්ධය වඩාත් ශක්තිමත් එකක්.”
යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න
20. යුක්තිය හා ධර්මිෂ්ඨකම තේරුම්ගෙන පැවැත්වීමේ ඇති ප්‍රයෝජන මොනවාද?
20 සෑම මිනිසෙකුටම ලැබීමට වටින දේ දෙනවාට වඩා වැඩි යමක් දිව්‍ය යුක්තියෙන් අදහස් වීම ගැන අපි ස්තුතිපූර්වක විය යුතුයි. ඇදහිල්ල පවත්වන අයට සදාකාල ජීවනය දානය කිරීමට යෙහෝවාගේ යුක්තිය ඔහුව පොලඹවා තිබෙනවා. (ගීතාවලිය 103:10; රෝම 5:15, 18) දෙවිගේ යුක්තිය අපගේ තත්වයන් සැලකිල්ලට ගන්නා නිසාත්, හෙළා දකිනවා වෙනුවට බේරාගැනීමට උත්සාහ කරන නිසාත්, ඔහු මේ ආකාරයටයි අප සමඟ කටයුතු කරන්නේ. ඇත්තෙන්ම යෙහෝවාගේ යුක්තියට අයත් වන පරාසය දැනගැනීමෙන් අපව ඔහු වෙතට වඩාත් සමීප කරවනවා. තවද අප ඔහුගේ පෞද්ගලිකත්වයේ මෙම මුහුණත අනුකරණය කරන්න වෙර දරත්ම, අපේ හා අන්‍යයන්ගේ ජීවිතවලට මහඟු ලෙස ආශීර්වාද ලැබෙන්න යනවා. යුක්තිය සඳහා අප කරන ලුහුබැඳීම අපේ ස්වර්ගීය පියාට නොපෙනී යන්නේ නැහැ. යෙහෝවා අපට මෙසේ පොරොන්දු වෙයි: “නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය. මෙය කරන මනුෂ්‍යයා . . . සන්තෝෂවත්ය.”—යෙසායා 56:1, 2, NW.
[පාදසටහන]
a මුරටැඹ 1991 ජූලි 1, 22-3 පිටු බලන්න.
ඔබට මතකද?
◻ සොදොම සහ ගොමොරාවේ විනාශයෙන් අපට යෙහෝවාගේ යුක්තිය ගැන කියා දෙන්නේ කුමක්ද?
◻ මිදීමේ මිලය දෙවිගේ යුක්තිය හා ප්‍රේමය පිළිබඳ මනා ප්‍රකාශයක් වන්නේ ඇයි?
◻ අපට යුක්තිය පැවැත්විය හැකි ක්‍රම තුන නම් කරන්න.
◻ වැඩිමහල්ලන්ට දිව්‍ය යුක්තිය අනුකරණය කළ හැකි විශේෂ ක්‍රමය කුමක්ද?
[15වන පිටුවේ පින්තූර]
අපේ දේශනා කිරීමේ ක්‍රියාකාරකමෙන් අප දිව්‍ය යුක්තිය විදහාපෙන්වනවා
[16වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලන් දිව්‍ය යුක්තිය විදහාපෙන්වද්දී, ගැටලු ඇති අයට ඔවුන්ගෙන් උපකාරය පැතීම පහසු බව දැනෙනවා