අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳව ක්‍රිස්තියානි දෘෂ්ටියක්
විශේෂයෙන්ම ප්‍රේමනීය කෙනෙකු හදිසියේම හා අනපේක්ෂිත ලෙස මියයෑම ඛේදජනක සිදුවීමක්. එහි ප්‍රතිඵලයක් හැටියට චිත්තවේගීය ලෙස දැඩි වේදනාවක් සමඟ කම්පනයක් අද්දකිනවා. බොහෝ කලක සිට පැවති වේදනාකාරි අසනීපයකින් ප්‍රේමනීය කෙනෙකු ටිකෙන් ටික මරණයට ළං වෙනවා දැකීම, ඊට වඩා වෙනස් අද්දැකීමක් වුණත්, ශෝකය හා අහිමි වීමේ හැඟීම එසේම පවතිනවා.
ප්‍රේමනීය කෙනෙකුගේ මරණය සිදු වූ ආකාරය කුමක් වුණත්, වියෝ දුකෙන් පෙළෙන්නාට උපකාරය හා සැනසිල්ල අවශ්‍යයි. ශුද්ධ ලියවිල්ලට පටහැනි අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වීමට බල කර සිටින අයගෙන් පැමිණෙන හිංසා පීඩාවලට වියෝ දුකෙන් පෙළෙන ක්‍රිස්තියානියෙකුට මුහුණ දීමට සිදු විය හැකියි. මෙය බොහෝ අප්‍රිකානු රටවල මෙන්ම ලෝකයේ තවත් සමහර රටවලද පොදු දෙයක්.
ශුද්ධ ලියවිල්ලට පටහැනි වන අවමංගල්‍ය චාරිත්‍රවලින් වැළකී සිටීමට වියෝ දුකෙන් පෙළෙන ක්රිස්තියානිවරයෙකුට උපකාරවත් වන්නේ මොනවාද? එවැනි පීඩාකාරි කාලයකදී සෙසු ඇදහිලිවන්තයන්ට පිටුවහලක් විය හැක්කේ කෙසේද? “අපගේ පියවූ [දෙවි] ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්” වන නිසා, යෙහෝවාව සතුටු කරන්න වෑයම් කරන සියලුදෙනාම එම ප්‍රශ්නවලට තිබෙන උත්තර ගැන සැලකිලිමත් විය යුතුයි.—යාකොබ් 1:27.
විශ්වාසයකට සම්බන්ධයි
මුතුන්මිත්තන් වාසය කරන නොපෙනෙන විෂයක මළවුන් ජීවත් වන බවට වූ විශ්වාසය, බොහෝ අවමංගල්‍ය චාරිත්‍රවල පොදුවේ දක්නට ලැබෙන දෙයක්. ඔවුන්ව සංසිඳවීම සඳහා යම් ආගමික චාරිත්‍ර කරන්න තමන් බැඳී සිටිනවා කියා ශෝකයෙන් පෙළෙන බොහෝදෙනෙකුට හැඟෙනවා. එම චාරිත්‍ර සිදු කළේ නැත්නම් තමන් ජීවත් වන ප්‍රදේශයේ සිටින මිනිසුන්ට හානි පැමිණෙනවා කියා විශ්වාස කරන අසල්වාසීන් තමන් සමඟ අමනාප වෙයි කියා ඔවුන් බිය වෙනවා.
සැබෑ ක්‍රිස්තියානියෙක් මිනිසුන්ගේ බියගැන්වීම්වලට යට වී දෙවිව අසතුටට පත් කරවන චාරිත්‍ර නොපැවැත්විය යුතුයි. (හිතෝපදේශ 29:25; මතෙව් 10:28) මළවුන් සිහිසන් නැති තත්වයක සිටින බව බයිබලය පැහැදිලි කරනවා; මන්ද එහි මෙසේ පැවසෙනවා: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, . . . නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:5, 10) එමනිසා, මළවුන්ව සංසිඳවන්න හෝ ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්න හෝ උත්සාහ නොකරන්න කියා යෙහෝවා දෙවි පුරාණයේ විසූ තම සෙනඟට අනතුරු ඇඟෙව්වා. (ද්විතීය කථාව 14:1; 18:10-12; යෙසායා 8:19, 20) බයිබලයේ සඳහන් මේ සත්‍යයන් ජනප්‍රිය අවමංගල්‍ය චාරිත්‍ර බොහොමයක් සමඟ ගැටෙනවා.
“ලිංගිකව පවිත්‍ර වීම” ගැන කුමක් කිව හැකිද?
මධ්‍යම අප්‍රිකාවේ ඇතැම් රටවල, මියගිය තැනැත්තාගේ කිට්ටු ඥාතියෙකු සමඟ ලිංගික සබඳකම් පැවැත්වීම වියෝ දුකෙන් පෙළෙන පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් අපේක්ෂා කරනවා. මෙය සිදු කළේ නැත්නම්, ජීවත්ව සිටින පවුලේ සාමාජිකයන්ට මියගිය තැනැත්තා හානි කරනවා කියා විශ්වාස කරනවා. මේ චාරිත්‍රය “ලිංගිකව පවිත්‍ර වීම” යනුවෙන් හඳුන්වනවා. නමුත් විවාහයෙන් පිටත ඕනෑම ලිංගික සබඳතාවක් බයිබලය “වේශ්‍යාකම” නමැති ගණයට දමනවා. ක්‍රිස්තියානීන් “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” අවශ්‍ය නිසා, ඔවුන් ධෛර්යයෙන් යුක්තව ශුද්ධ ලියවිල්ලට පටහැනි එම චාරිත්‍රයට එරෙහිව සිටිනවා.—1 කොරින්ති 6:18.
ම’සි නම් වැන්දඹුව ගැන සලකා බලන්න.a ඇගේ ස්වාමිපුරුෂයා 1989දී මියගිය විට, ඥාති පුරුෂයෙකු සමඟ එක්ව ලිංගිකව පවිත්‍ර වීම සිදු කරගන්න කියා ඥාතීන් ඇගෙන් ඉල්ලා සිටියා. මේ චාරිත්‍රය දෙවිගේ නීතියට විරුද්ධ දෙයක් කියා පැහැදිලි කරමින් ඈ එය ප්‍රතික්ෂේප කළා. බලාපොරොත්තු සුන් වූ ඥාතීන් ඈට සැර පරුෂ වචනවලින් බැණවැද පිට වී ගියා. මාසයකට පසු, ඔවුන් ඇගේ නිවසට කඩාවැද එය මංකොල්ල කා, වහලේ තහඩු ටික ගළවාගෙන ගියා. “ඔබව රැකබලා ගන්න ඔබේ ආගමට පුළුවන්” කියා ඔවුන් පැවසුවා.
සභාවේ සිටින අය ම’සිව සැනසුවා; ඇයට අලුත් නිවසක් පවා සාදා දුන්නා. මෙය අසල්වාසීන්ගේ සිත්වලට මොනතරම් කාවැදුණාද කිව්වොත් නිවස සෑදීමට හවුල් වන්න සමහරුන් තීරණය කළා; වහල සෙවිලි කරන්න යොදාගන්න තණකොළ ගෙනත් දීමෙන් එයට මුලින්ම හවුල් වුණේ ගම් මුලාදෑනියාගේ කතෝලික බිරිඳයි. ම’සිගේ ඇදහිලිවන්ත හැසිරීම ඇගේ දරුවන්ට දිරිගැන්වීමක් වුණා. ඔවුන්ගෙන් සතරදෙනෙක් යෙහෝවා දෙවිට කැප වුණ අතර, ළඟදි එක්කෙනෙක් උපස්ථායක පුහුණු පාසැලට ගියා.
ලිංගිකව පවිත්‍ර වීමේ චාරිත්‍රය නිසා සමහර ක්‍රිස්තියානීන් නොඇදහිලිවන්තයෙකු සමඟ විවාහ වීමේ බලපෑමට හසු වී තිබෙනවා. උදාහරණයක් හැටියට, හැත්තෑ ගණන්වල පසු වන වැන්දඹු පුරුෂයෙක් මියගිය තම භාර්යාවගේ ඥාතිවරියක් වන තරුණ ගැහැනු ළමයෙකුව විවාහ කරගැනීමට ඉක්මන් වුණා. මෙසේ කිරීමෙන් ඔහු ලිංගිකව පවිත්‍ර වීම සිදු කළා කියා පවසන්න හැකි වුණා. කොහොමවුණත්, එවැනි ක්‍රියාමාර්ගයක්, ක්‍රිස්තියානීන් ‘ස්වාමින් තුළ පමණක්’ විවාහ විය යුතුයි යන බයිබල් උපදේශයට පටහැනියි.—1 කොරින්ති 7:39.
නිදි වරමින් පවත්වන චාරිත්රවිධි
බොහෝ රටවල, ශෝකවන්නන් මියගිය තැනැත්තාගේ නිවසට එක්රැස් වී මුළු රාත්‍රිය පුරාම නිදි වරනවා. බොහෝ අවස්ථාවලදී නිදි වරමින් පවත්වන මේ චාරිත්රවිධිවලට, මහත් භෝජන සංග්‍රහයන් හා මහත් හඬින් යුත් සංගීතය ඇතුළත් වෙනවා. එමගින් මියගිය තැනැත්තාව සංසිඳවන බවටත් ජීවතුන් අතර සිටින පවුලේ අයව භූතාත්මවලින් ආරක්ෂා කරන බවටත් විශ්වාස කරනු ලබනවා. මියගිය තැනැත්තාගේ අනුග්‍රහය දිනාගැනීමට අධික වර්ණනා කිරීම් ඇතුළත් කතා ඉදිරිපත් කළ හැකියි. එක්කෙනෙක් කතාවක් ඉදිරිපත් කිරීමෙන් පසු, තව කෙනෙක් කතාවක් ඉදිරිපත් කරන්න කලින් ශෝකවන්නන් ආගමික ගීතිකා ගායනා කිරීමෙහි යෙදෙන්න පුළුවන්. මෙය අලුයම දක්වා දිගටම සිදු විය හැකියි.b
ජීවත්ව සිටින අයට පිහිට වෙන්න හෝ හානි කරන්න මළවුන්ට නොහැකි බව බයිබලය පැහැදිලි කරන නිසා, සැබෑ ක්‍රිස්තියානියෙක් මුළු රාත්‍රිය පුරාම නිදි වරමින් පවත්වන චාරිත්රවිධිවලට හවුල් වන්නේ නැහැ. (උත්පත්ති 3:19; ගීතාවලිය 146:3, 4; යොහන් 11:11-14) භූතවාදය හා සම්බන්ධ ව්‍යවහාරයන් ශුද්ධ ලියවිලි හෙළා දකිනවා. (එළිදරව් 9:21; 22:15) ඒ වුණත් භූතවාදය හා සම්බන්ධ ව්‍යවහාරයන් පවත්වන්න උත්සාහ කරන අයව ඒවායින් වැළැක්වීමට ක්‍රිස්තියානි වැන්දඹුවකට අසීරු විය හැකියි. ඇගේ නිවසේ මුළු රාත්‍රිය පුරාම නිදි වරමින් සිදු කෙරෙන චාරිත්රවිධි පවත්වන්න කියා ඔවුන් බල කර සිටිය හැකියි. මේ අමතර පීඩාවට මුහුණ දෙන වියෝ දුකෙන් පෙළෙන ක්‍රිස්තියානීන්ට උපකාර කිරීම සඳහා සෙසු ඇදහිලිවන්තයන්ට කුමක් කළ හැකිද?
ඥාතීන්ට හා අසල්වාසීන්ට කරුණු පහදා දීමෙන් වියෝ දුකෙන් පෙළෙන පවුලකට සහය වන්න බොහෝ අවස්ථාවලදී සභා වැඩිමහල්ලන් සමත් වී තිබෙනවා. එසේ කරුණු පහදා දීමෙන් පසුව, සාමකාමීව නිවසෙන් පිට වී ගොස් අවමංගල්‍ය මෙහෙය පවත්වන දවසේදී නැවතත් එක්රැස් වෙන්න මේ පුද්ගලයන් එකඟ විය හැකියි. නමුත් සමහර අය කලහකාරි ලෙස කටයුතු කරන්න පටන්ගත්තොත් කුමක් කිව හැකිද? කරුණු පහදා දීමට දිගින් දිගටම උත්සාහ කිරීම ප්රචණ්ඩ ක්‍රියාවලට මඟ පෑදිය හැකියි. ‘ස්වාමින්ගේ දාසයා දබර නොකර, ඉවසිලිවන්තව සිටිය යුතුයි.’ (2 තිමෝති 2:24) එනිසා සහයෝගය නොදෙන ඥාතීන් කලහකාරි ලෙස කටයුතු කරමින් ආගමික මෙහෙයන් සිදු කිරීම තමන්ගේ අතට ගන්නවා නම් ක්‍රිස්තියානි වැන්දඹුවකට හා ඇගේ දරුවන්ට එය වළක්වන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ නිවසේ සිදු කරන බොරු ආගමික වතාවත් කිසිවකට ඔවුන් හවුල් නොවිය යුතුයි; ඔවුන් එසේ නොකරන්නේ, “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න” කියා බයිබලයේ සඳහන් ආඥාවට කීකරු වන නිසයි.—2 කොරින්ති 6:14.
භූමදාන කටයුතුවලදීද මේ ප්‍රතිපත්තිය අදාළ වෙනවා. බොරු ආගමික සංවිධානයක දේවගැතියෙකුගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ගීතිකා ගැයීම්වලට, යාච්ඤාවලට හෝ චාරිත්‍රවලට යෙහෝවාගේ සාක්ෂිකරුවන් හවුල් වන්නේ නැහැ. එවැනි ආගමික මෙහෙයකට යෑම අවශ්‍යයි කියා ක්‍රිස්තියානි භක්තිකයන් වන මියගිය තැනැත්තාගේ පවුලේ කිට්ටු සාමාජිකයන් සිතුවත්, ඔවුන් එයට හවුල් වන්නේ නැහැ.—2 කොරින්ති 6:17; එළිදරව් 18:4.
ගෞරවනීය අවමංගල්‍ය මෙහෙයන්
යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත්වන අවමංගල්‍ය මෙහෙයන්ට මියගිය තැනැත්තාව සංසිඳවීම සඳහා කරන වත්පිළිවෙත් අයත් වන්නේ නැහැ. රාජ්‍ය ශාලාවේදී හෝ අවමංගල්‍ය ශාලාවේදී හෝ මියගිය තැනැත්තාගේ නිවසේදී හෝ සුසාන භූමියේදී හෝ බයිබලය මත පදනම් වූ කතාවක් ඉදිරිපත් කරනවා. මේ කතාවේ අරමුණ වන්නේ මරණය ගැන හා නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන බයිබලය පවසන දෙය පැහැදිලි කිරීමෙන් වියෝ දුකෙන් පෙළෙන අයට සැනසිල්ලක් ලබා දීමයි. (යොහන් 11:25; රෝම 5:12; 2 පේතෘස් 3:13) ශුද්ධ ලියවිලි මත පදනම් වූ ගීතිකාවක් ගායනා කර සැනසිල්ල ගෙන දෙන වදන් ඇතුළත් යාච්ඤාවකින් ආගමික මෙහෙය අවසන් වෙයි.
මෑතකදී, යෙහෝවාගේ සාක්ෂිකාරියකගේ අවමංගල්‍ය උත්සවයේදී එවැනි මෙහෙයක් පැවැත්තුවා; ඇය දකුණු අප්‍රිකාවේ ජනාධිපති නෙල්සන් මැන්ඩේලාගේ බාල සොහොයුරියයි. එම මෙහෙයෙන් පසු, ජනාධිපතිවරයා කථිකයාට ඔහුගේ අවංක ස්තුතිය පුද කළා. රාජ්‍ය නිලධාරීන් හා වෙනත් උසස් නිලධාරීන් බොහෝදෙනෙක් පැමිණ සිටියා. “මම මෙතෙක් ගොස් තිබෙන ඉතාමත් ගෞරවනීය අවමංගල්‍ය උත්සවය මෙයයි” කියා කැබිනට් ඇමතිවරියක් පැවසුවා.
ශෝකය ප්‍රකාශ කරන ඇඳුම් ඇඳීම යෝග්‍යද?
ප්‍රේමනීය අයගේ වියෝව හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශෝක වෙනවා. යේසුගේ මෙන් ඔවුන්ගේ ඇස්වලින්ද කඳුළු ගලන්න පුළුවන්. (යොහන් 11:35, 36) ඒ වුණත් යම් බාහිර සංකේතයක් මගින් තමන්ගේ වියෝ දුක ප්‍රකාශ කිරීම අවශ්‍යයි කියා ඔවුන් සලකන්නේ නැහැ. (මතෙව් 6:16-18 සසඳන්න.) මියගිය තැනැත්තාව සංසිඳවීම සඳහා ශෝකය ප්‍රකාශ කිරීමේ විශේෂ ඇඳුමක් ඇඳීම බොහෝ රටවල වැන්දඹුවන්ගෙන් අපේක්ෂා කෙරෙනවා. මේ ඇඳුම් මාස කිහිපයක් හෝ අවමංගල්‍යයෙන් අවුරුද්දක් ගතවීමෙන් පසුව පවා ඇඳිය යුතු අතර, ඒවා ඉවත් කිරීම තවත් උත්සවයකට අවස්ථාවක් වෙනවා.
ශෝකය ප්‍රකාශ කිරීමේ ලකුණු ප්‍රදර්ශනය කිරීමට අසමත් වීම මියගිය තැනැත්තාව අමනාපයට පත් කිරීමක් ලෙස සලකනු ලබනවා. මේ හේතුව නිසා, ස්වාසිලන්තයේ ඇතැම් කොටස්වල වෙසෙන ගෝත්‍රික ප්‍රධානීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඔවුන්ගේම නිවෙස් හා ඉඩකඩම්වලින් පලවාහැර තිබෙනවා. කෙසේවෙතත්, වෙනත් තැන්වල සිටින ඔවුන්ගේ ආත්මික සහෝදරයන් එවැනි ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ව සැමවිටම රැකබලාගෙන තිබෙනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නැවතත් තමන්ගේ නිවෙස් හා ඉඩකඩම්වලට පැමිණෙන්න ඉඩ දිය යුතු බවට ස්වාසිලන්තයේ මහාධිකරණය නියෝග කර තිබෙනවා. තවත් සිද්ධියකදී, තමා ශෝකය ප්‍රකාශ කිරීමේ ඇඳුම් ඇඳිය යුතු නැතැයි සඳහන් කරමින් තමාගේ මියගිය ස්වාමිපුරුෂයා ලියූ ලිපියක් හා පටිගත කළ කැසට් පටයක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇගේ නිවසේ සිටීමට වැන්දඹු ක්‍රිස්තියානි සහෝදරියකට ඉඩ දුන්නා. තමාගේ ස්වාමිපුරුෂයාට තමා ඇත්තෙන්ම ගෞරවයක් දක්වන බව ඔප්පු කරන්න එමගින් ඈට පුළුවන් වුණා.
යමෙකු මියයෑමට කලින් අවමංගල්‍ය කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන උපදෙස් පැහැදිලිව සඳහන් කර තිබීම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා; විශේෂයෙන්ම ශුද්ධ ලියවිල්ලට පටහැනි ව්‍යවහාරයන් බහුලව පවතින ප්‍රදේශවල එය සැබෑවක් වෙනවා. කැමරූන්හි වාසය කරන වික්ටර්ගේ ආදර්ශය සලකා බලන්න. තමාගේ අවමංගල්‍යයේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ගැන ඔහු ලිව්වා. බලපුළුවන්කාර බොහෝදෙනෙක් ඔහුගේ පවුලේ සිටියා; ඔවුන් මිනිස් හිස්කබලට නමස්කාර කිරීම ඇතුළු මළවුන් හා සම්බන්ධ ප්‍රබල සම්ප්‍රදායන් සිදු කරන සංස්කෘතියකට අයත්ව සිටියා. වික්ටර් පවුලේ සාමාජිකයන්ගේ ගෞරවය දිනාගෙන තිබුණු නිසා තමාගේ හිස් කබලට මේ විදිහට සලකන්න යන බව ඔහු දැන සිටියා. එනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමාගේ අවමංගල්‍ය කටයුතු හැසිරවිය යුතු ආකාරය ගැන ඔහු පැහැදිලි උපදෙස් දුන්නා. මෙය ඔහුගේ වැන්දඹුවටත් දරුවන්ටත් කටයුතු පහසු කළා; එමෙන්ම මිනිසුන්ට හොඳ සාක්ෂියක්ද දුන්නා.
ශුද්ධ ලියවිල්ලට පටහැනි චාරිත්‍ර පැවැත්වීමෙන් වළකින්න
බයිබලය පිළිබඳ දැනුමක් තිබෙන ඇතැම් අය, වෙනස් ලෙස කටයුතු කරමින් ස්ථාවරය රැකගැනීමට බිය වී තිබෙනවා. හිංසා පීඩාවලින් වැළකීම සඳහා සම්ප්‍රදායිකව සිදු කරන නිදි වැරීම ඔවුන් පවත්වන බවට පෙනීයෑමට සැලැස්වීමෙන් අසල්වැසියන්ව සතුටු කරන්න උත්සාහ කර තිබෙනවා. පෞද්ගලිකව සැනසිල්ල ලබා දීම සඳහා වියෝ දුකෙන් පෙළෙන අයව බැහැදකින්න යෑම ප්‍රශංසනීය දෙයක් වුණත්, අවමංගල්‍ය උත්සවය සිදු කිරීමට කලින් සෑම රාත්‍රියකම දේහය තැන්පත් කර තිබෙන නිවසේ කුඩා අවමංගල්‍ය මෙහෙයන් පැවැත්වීම අවශ්‍ය නැහැ. එයට සහභාගි වන අය මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් බයිබලය පවසන දෙය ඇත්තෙන්ම විශ්වාස නොකරන බවට යම් හැඟීමක් බලා සිටින්නන් තුළ ඇති විය හැකි නිසා, එසේ කිරීම මගින් ඔවුන් බාධාවට පත් විය හැකියි.—1 කොරින්ති 10:32.
දෙවිට නමස්කාර කිරීම ජීවිතයේ මුල් තැනට තබන්න කියාත් තමන්ගේ කාලය නැණවත් ලෙස පාවිච්චි කරන්න කියාත් බයිබලය ක්‍රිස්තියානීන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (මතෙව් 6:33; එපීස 5:15, 16) කොහොමවුණත්, ඇතැම් ප්‍රදේශවල අවමංගල්‍යයක් නිසා සතියක් හෝ ඊට වැඩි කාලයක් සභා කටයුතු ඇණහිට තිබෙනවා. මේ ගැටලුව අප්‍රිකාවට පමණක් සීමා වී නැහැ. එක් අවමංගල්‍යයක් සම්බන්ධයෙන් දකුණු අමෙරිකාවෙන් ලැබුණු වාර්තාවක මෙසේ පැවසෙනවා: “ක්‍රිස්තියානි රැස්වීම් තුනකට ඇවිත් හිටියේ ඉතාමත් අඩු සංඛ්‍යාවක්. දවස් දහයක විතර කාලයක් ක්ෂේත්‍ර සේවයට සහයක් ලැබුණේ නැහැ. අපේ සමහර සහෝදර සහෝදරියන් අවමංගල්‍යයට සහභාගි වුණ විදිහ දැකලා සභාවෙන් පිටත සිටින අය හා බයිබල් ශිෂ්‍යයන් පවා පුදුමයට පත් වෙලා කලකිරුණා.”
ඇතැම් ප්‍රදේශවල, අවමංගල්‍ය උත්සවයෙන් පසු වියෝ දුකෙන් පෙළෙන පවුලේ සාමාජිකයන් සුළු සංග්‍රහයක් භුක්ති විඳීම සඳහා කිට්ටු හිතමිත්‍රයන්ට තමන්ගේ නිවසට ආරාධනා කළ හැකියි. නමුත් අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල, දේහය තැන්පත් කර තිබෙන නිවසට එක්රොක් වෙන අය බොහෝ අවස්ථාවලදී සතුන්ව පූජා කරන භෝජන සංග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. මියගිය තැනැත්තාව සංසිඳවීම සඳහා සම්ප්‍රදායිකව පවත්වන භෝජන සංග්‍රහයක් තමන් පවත්වමින් සිටින බවට හැඟීමක් ඇති වන සේ, ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරන ඇතැම් අය මේ චාරිත්‍රය සිදු කොට තිබෙනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත්වන අවමංගල්‍ය මෙහෙයන් මගින් වියෝ දුකෙන් පෙළෙන පවුලේ අයට අධික වියදම් දැරීමට සැලැස්වීමෙන් බරක් පටවන්නේ නැහැ. එනිසා අධික අවමංගල්‍ය වියදම් පියවාගැනීමට පැමිණ සිටින අයගෙන් මුදල් ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කිරීම අවශ්‍ය දෙයක් නොවෙයි. දුප්පත් වැන්දඹුවන්ට අවශ්‍ය වියදම් දැරීමට නොහැකි අවස්ථාවක, සභාවේ සිටින අනිත් අය උපකාර කරන්න සතුටින් ඉදිරිපත් වන බවට සැකයක් නැහැ. එවැනි උපකාර ප්‍රමාණවත් නොවේ නම්, උපකාරය ලැබීමට සුදුසු අයට ද්‍රව්‍යමය ලෙස උපකාර කිරීම සඳහා කටයුතු පිළියෙළ කරන්න වැඩිමහල්ලන්ට හැකියි.—1 තිමෝති 5:3, 4.
අවමංගල්‍ය චාරිත්‍ර සෑමවිටම බයිබල් ප්‍රතිපත්ති සමඟ ගැටෙන්නේ නැහැ. ගැටෙන විට ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිලිවලට එකඟව කටයුතු කිරීමට අදිටන් කරගන්නවා.c (ක්‍රියා 5:29) මෙය අමතර හිංසා පීඩාවලට මඟ පෑදිය හැකි වුණත්, තමුන් එවන් පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දී ඇති බව ප්‍රකාශ කිරීමට දෙවිගේ සේවකයන් බොහෝදෙනෙකුට පුළුවන්. “සෑම සැනසිල්ලේ දෙවිවූ” යෙහෝවාගෙන් ලැබෙන ශක්තිය හා ඔවුන්ගේ පීඩාවලදී ඔවුන්ව සනසවා තිබෙන සෙසු ඇදහිලිවන්තයන්ගේ ප්‍රේමනීය උපකාරය ඇතුව ඔවුන් එසේ කර තිබෙනවා.—2 කොරින්ති 1:3, 4.
[පාදසටහන්වල]
a මේ ලිපියේ සඳහන් කර තිබෙන නම් සැබෑ නම් නොවෙයි.
b සමහර භාෂා කතා කරන කණ්ඩායම්වල හා සංස්කෘතීන්වල “නිදි වැරීම” යන යෙදුම, වියෝ දුකෙන් පෙළෙන අයව සැනසීමේ අරමුණින් කෙරෙන කෙටි බැහැදැකීමක් ආකාරයෙන් සිදු කරනවා. ශුද්ධ ලියවිල්ලට පටහැනි කිසිවක් ඊට සම්බන්ධ නොවෙන්න පුළුවන්. 1979 මැයි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 27-8 දක්වා පිටු බලන්න.
c අවමංගල්‍ය චාරිත්‍ර ක්‍රිස්තියානියෙකුව පරීක්ෂණයට ලක් කරන බව පෙනෙන්න තිබෙන ප්‍රදේශවලදී, ඉදිරියේදී පැනනැඟිය හැකි තත්වයන් සම්බන්ධයෙන් බව්තීස්ම අපේක්ෂකයන්ව සූදානම් කරන්න වැඩිමහල්ලන්ට හැකියි. අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම නමැති පොතේ සඳහන් ප්‍රශ්න මේ නවකයන් සමඟ සාකච්ඡා කරන විට, “ආත්මය (ප්‍රාණය), පාපය හා මරණය” සහ “අන්තර් ඇදහිලි” යන කොටස්වලට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. සාකච්ඡා කිරීම සඳහා විකල්ප ප්‍රශ්න මේ කොටස් දෙකෙහිම තිබෙනවා. ශුද්ධ ලියවිල්ලට පටහැනි චාරිත්‍ර ගැන තොරතුරු සැපයීමට වැඩිමහල්ලන්ට මෙය හොඳ අවස්ථාවක් වෙනවා. මේ අනුව, එවැනි අවස්ථාවලට ඔහු මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් දේවවචනය මගින් ඉල්ලා සිටින දේවල් බව්තීස්ම අපේක්ෂකයා දැනගන්නවා.
[23වන පිටුවේ කොටුව]
තමන්ගේ දැඩි ස්ථාවරය සඳහා ආශීර්වාද ලැබූවන්
ස්වාසිලන්තයේ ජීවත් වන සිබෝන්ගිලි ධෛර්යවත් ක්‍රිස්තියානි වැන්දඹුවක්. මෑතකදී ඇගේ ස්වාමිපුරුෂයා මියගිය පසු, මළවුන්ව සංසිඳවනවා කියා බොහෝදෙනෙක් සිතන චාරිත්‍ර පිළිපැදීම ඈ ප්‍රතික්ෂේප කළා. උදාහරණයක් හැටියට, ඈ තමාගේ හිස බූගෑවේ නැහැ. (ද්විතීය කථාව 14:1) පවුලේ සාමාජිකයන් අටදෙනෙක් කෝපයට පත් වී බලෙන්ම ඇගේ හිස බූගෑවා. සිබෝන්ගිලිව සැනසීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇගේ නිවසට පැමිණීමත් ඔවුන් වැළැක්වුවා. කොහොමවුණත්, රාජ්‍ය පණිවිඩය ගැන උනන්දුව දක්වන වෙනත් අය වැඩිමහල්ලන් ලියූ දිරිගන්වනසුලු ලිපි රැගෙන ඇයව සතුටින් බැහැදකින්න ගියා. ශෝකය ප්‍රකාශ කරන විශේෂ ඇඳුම් ඇඳීම සිබෝන්ගිලිගෙන් අපේක්ෂා කළ දවසේදී පුදුම දෙයක් සිදු වුණා. ශෝකය ප්‍රකාශ කිරීමේ සම්ප්‍රදායික චාරිත්‍ර පිළිපැදීම ඇය ප්‍රතික්ෂේප කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා පවුලේ බලපුළුවන්කාර සාමාජිකයෙක් රැස්වීමක් කැඳෙව්වා.
සිබෝන්ගිලි මෙසේ වාර්තා කරනවා: “කළු පාට දිග ඇඳුමක් ඇඳීමෙන් ශෝකය ප්‍රකාශ කරන්න මගේ ආගමික විශ්වාසයන් ඉඩ සලසනවාද කියා ඔවුන් ඇහුවා. මගේ ස්ථාවරය ගැන ඔවුන්ට පැහැදිලි කර දුන්නාට පස්සේ, මට බල කරන්න යන්නේ නැහැයි කියලා ඔවුන් මට කිව්වා. මාව පුදුමයට පත් කරමින් ඔවුන් මට වධ හිංසා කරපු විදිහ ගැනත් මගේ කැමැත්තට විරුද්ධව මගේ හිස බූගෑම ගැනත් මගෙන් සමාව ඉල්ලුවා. ඔවුන් හැම කෙනෙක්ම මගෙන් සමාව ඉල්ලුවා.” පසුව, සිබෝන්ගිලිගේ බාල සහෝදරිය යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ඈ තුළ ඇති වුණු පැහැදීම ප්‍රකාශ කර බයිබල් පාඩමක් ඉල්ලා සිටියා.
තවත් උදාහරණයක් සලකා බලන්න: දකුණු අප්‍රිකාවේ ජීවත් වන බෙන්ජමින්ට තම පියාගේ හදිසි මරණය ගැන දැනගන්න ලැබුණු විට ඔහුගේ වයස අවුරුදු 29යි. ඒ කාලයේදී, ඔහුගේ පවුලේ සිටි එකම සාක්ෂිකරුවා ඔහු විතරයි. භූමදානය කරන අතරතුරේදී මිනිවළ වටේ පේළියට ගමන් කරමින් මිනිපෙට්ටියට පස් මිටක් විසි කිරීම සෑම කෙනෙකුගෙන්ම අපේක්ෂා කළා.d භූමදානයෙන් පසුව පවුලේ කිට්ටුම සාමාජිකයන් සියල්ලන්ම තමන්ගේ හිස් බූගාගත්තා. බෙන්ජමින් මේ කිසිම චාරිත්‍රයකට හවුල් වුණේ නැති නිසා ඔහුගේ මියගිය පියාගේ ආත්මය ඔහුට දඬුවම් කරයි කියා අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් පැවසුවා.
“මම යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තැබූ නිසා මට කිසි දෙයක් වුණේ නැහැ” කියා බෙන්ජමින් පවසනවා. ඔහුට කිසිම දෙයක් සිදු වුණේ නැති එක පවුලේ සාමාජිකයන්ගේ සැලකිල්ලට යොමු වුණා. කාලයක් ගතවීමෙන් පසුව ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගෙන දෙවිට තම කැපවීම සංකේතවත් කිරීම සඳහා බව්තීස්ම වුණා. බෙන්ජමින් ගැන කියන්න පුළුවන් මොනවාද? ඔහු පූර්ණ-කාලීන එවැන්ජලිස්ත සේවයට ඇතුල් වුණා. පසුගිය අවුරුදු කිහිපය තුළ සංචාරක අවේක්ෂකයෙක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සේවය කිරීමේ කදිම වරප්‍රසාදය ඔහු භුක්ති විඳ තිබෙනවා.
[පාදසටහන]
d මිනිවළට මල් හෝ පස් මිටක් විසි කිරීම වරදක් නොවන බව සමහරුන්ට පෙනී යන්න පුළුවන්. කොහොමවුණත් එසේ කිරීම මියගිය තැනැත්තාව සතුටු කිරීමේ එක් විදිහක් ලෙස ප්‍රදේශයේ සිටින මිනිසුන් සිතනවා නම් හෝ එය බොරු ආගමක දේවගැතියෙක් මුලසුන දරන උත්සවයක කොටසක් නම් ක්‍රිස්තියානියෙක් එයින් වැළකී සිටිනවා.—1977 මාර්තු 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 15වන පිටුව බලන්න.