අපේ ප්‍රේමනීයයන් වෙනුවෙන් අනාගතයට සැලසුම් කිරීම
ඇනීගේ දුක්ඛදායක කතාව අප්‍රිකානු පුවත්පතක මෑතකදී පළ වුණා. ඇනීගේ ස්වාමිපුරුෂයා ව්‍යාපාරිකයෙක්. ඔහු තමා සතු වාහන 15ද බැංකු ගිණුම් කිහිපයක්ද මුදලින් රුපියල් 2,40,000ක්ද වෙළඳ සැලක්ද මත්පැන් අළෙවි හලක්ද නිදන කාමර තුනකින් සමන්විත නිවසක්ද ඉතුරු කර දමා 1995දී මියගියා. ඔහු ඉතුරු කර දමා නොගිය දෙය වූයේ, අන්තිම කැමති පත්රයයි.
වාර්තාවේ සඳහන් වෙන විදිහට ඇනීගේ මස්සිනා දේපොළ හා මුදල් අත් පත් කරගෙන, ඇයවත් ඇගේ දරුවන් සයදෙනාවත් බලෙන් ඔවුන්ගේ නිවසින් ඉවත් කර දැමුවා. අන්ත දුගීභාවයට පත් ඇය හා ඇගේ දරුවන් දැන් ජීවත් වෙන්නේ ඇගේ සහෝදරයා සමඟයි. අධ්‍යාපන වියදම් සඳහා හෝ පාසැල් නිල ඇඳුම් සඳහා හෝ මුදල් නැති නිසා දරුවන් හතරදෙනෙකුට පාසැල් යෑම අත්හැර දමන්න සිදු වුණා.
ඇනී මහාධිකරණයක නඩු පැවරූ අතර, වාහනයක් ඇතුළුව දේපොළෙන් කොටසක් ඈට ආපසු ලබා දිය යුතු බවට එහිදී තීන්දු කළා. ඒත් ඈට කිසිවක් ආපසු ලැබුණේ නැහැ. මහාධිකරණය දුන් තීන්දුවට අනුකූලව කටයුතු කිරීමට තම මස්සිනාට බල කිරීම සඳහා නියෝගයක් ලබාගැනීමට නැවතත් ඈ අධිකරණයට යා යුතුයි.
මරණය ගැන සිතා බැලිය යුත්තේ ඇයි?
තමාගේ මරණය සිදුවීමට තිබෙන ඉඩ කඩ ගැන සිතා සැලසුම් කිරීමට පවුල් මූලිකයෙක් අසමත් වන විට සිදු විය හැකි දේවල් ඇනීගේ ජීවිත කතාවෙන් පැහැදිලි වෙනවා. මරණයේදී සෑම මිනිසෙක්ම ‘තමාගේ ධනය අනුන්ට තබා යනවා.’ (ගීතාවලිය 49:10) තවදුරටත්, මියගිය අයට තමන්ගේ වස්තුවට සිදු වන දෙය පාලනය කළ නොහැකියි. (දේශනාකාරයා 9:5, 10) තමා සතු දේවලට සිදු විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව යමක් කීමට හැකිවීම සඳහා, පුද්ගලයෙක් මියයෑමට කලින් කටයුතු පිළියෙළ කළ යුතුයි.
අනපේක්ෂිත ලෙස අප මිය යා හැකි බව අපි සියලුදෙනාම දැන සිටියත්, බොහෝදෙනෙකු ජීවතුන් අතර සිටින තමන්ගේ ප්‍රේමනීයයන් වෙනුවෙන් කලින්ම යම් වැඩපිළිවෙළවල් සකස් කිරීමට අසමත් වෙනවා. අපේ සාකච්ඡාව මූලිකවම අප්‍රිකාවේ ඇතැම් සංස්කෘතික කණ්ඩායම් මත කේන්ද්‍රගත වුණත්, මේ හා සමාන ගැටලු ලෝකයේ වෙනත් ප්රදේශවලද දක්නට තිබෙනවා.
මරණයේදී ඔබේ දේපොළ පැවරීම සම්බන්ධයෙන් ඔබ යම් ක්‍රියාමාර්ගයන් ගැනීම හෝ නොගැනීම පෞද්ගලික කාරණයක්. (ගලාති 6:5) ඒත් යමෙක් මෙසේ ඇසිය හැකියි: ‘මිනිසෙක් ජීවතුන් අතර සිටියදී තමාගේ භාර්යාව හා දරුවන්ව ආදරයෙන් රැකබලා ගත්තත්, තමාගේ මරණයේදී ඔවුන්ගේ ශුභසාධනය සඳහා යම් වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ ඇයි?’ මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ, අප මියයෑමට තිබෙන ඉඩ කඩ සඳහා සැලසුම් කිරීම කොහොමවුණත්, අපගෙන් වැඩිදෙනෙක් මරණය ගැන කල්පනා කරන්නේ නැතිවීමයි. “හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය” කියා බයිබලය පවසන්නාක් මෙන් ඇත්තෙන්ම අපේ මරණය සිදු වන දවස අපට කලින් කිව නොහැකියි.—යාකොබ් 4:14.
මරණය සිදුවීමට තිබෙන ඉඩ කඩ ගැන සිතා සැලසුම් කිරීම ප්‍රායෝගිකයි. ජීවතුන් අතර සිටින අය සඳහා ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීමද එයින් පෙන්නුම් කෙරෙනවා. අපේ කටයුතු අපි පිළියෙළ කරන්නේ නැත්නම්, වෙනත් අය එසේ කරන්න යනවා. සමහරවිට අපට කවදාවත් හමු වී නැති අය විසින් අප සතු දේවල් හා අපේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීරණ ගත හැකියි. සමහර රටවල එවන් තත්වයන් යටතේදී, අපේ මුදල් සහ දේපොළ සතු විය යුත්තේ කාටද යන්න පිළිබඳව රජය තීරණය කරනවා. වෙනත් දේශවල ඥාතීන් විසින් එය තීරණය කරන අතර, බොහෝවිට මෙම තීරණය සමඟම පවුල් තුළ වෛරය ලියලන දබර ඇති වෙනවා. එමෙන්ම, වෙනත් අය තීරණය කරන දෙය, අප කැමැත්තක් දැක්වීමට ඉඩ තිබූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් විය හැකියි.
දේපොළ පැහැරගැනීම
තම ස්වාමිපුරුෂයා මියයන අවස්ථාවේදී වැඩියෙන්ම වේදනාව අද්දකින්නේ වැන්දඹුවයි. තම කලත්‍රයා අහිමි වීමේ වියෝදුකට අමතරව, බොහෝ අවස්ථාවලදී ඈ දේපොළ පැහැරගැනීමටද ගොදුරු වෙනවා. මෙය කලින් ඇනීගේ සිද්ධියේදී විස්තර වුණා. දේපොළ පැහැරගැනීම සඳහා බලපාන හේතු යම් දුරකට භාර්යාවන්ට සලකන ආකාරය හා සම්බන්ධයි. සමහර සංස්කෘතීන්වල පුරුෂයෙකුගේ භාර්යාවව ඔහුගේ පවුලේ කෙනෙක් හැටියට සලකන්නේ නැහැ. ඇයව බොහෝවිට සලකන්නේ, ඕනෑම වේලාවක නැවත ඇගේ පවුලේ සාමාජිකයන් වෙත යා හැකි නැත්නම් වෙනත් පවුලක සාමාජිකයෙකුව නැවත විවාහ කරගත හැකි පුරුෂයාගේ පවුලට අයිති නැති තැනැත්තියක් ලෙසයි. මීට වෙනස්ව සමහර අය සිතන්නේ පුරුෂයාගේ සහෝදර සහෝදරියන් සහ දෙමාපියන් කවදාවත් ඔහුව අත්හරින්නේ නැති බවයි. ඔහු මියයන විට, ඔහු සතුව තිබූ දේවල් ඔහුගේ භාර්යාවට සහ දරුවන්ට නොව, තමන්ට අයිති විය යුතු බව ඔහුගේ පවුලේ අය විශ්වාස කරනවා.
තමන්ගේ භාර්යාවන් කෙරෙහි විශ්වාසය නොතබන ස්වාමිපුරුෂයන් එවැනි අදහස්වලට අනුබල දෙනවා. මයික් තමාගේ ව්‍යාපාරික කටයුතු ගැන සාකච්ඡා කළේ තමාගේ පවුලේ සහෝදරයන් සමඟ විතරයි. ඔහු සතු වූ වත්කම් ගැන ඔවුන් දැන සිටියත්, ඔහුගේ භාර්යාව ඔහුගේ මූල්‍යමය කාරණා දැනගෙන සිටියේ නැති තරම්. ඔහු මියගිය පසු, ඔහුගේ සහෝදරයන් ඈ ළඟට ඇවිත් ඇගේ ස්වාමිපුරුෂයාට ලැබිය යුතු ණයක් තමන්ට ඉල්ලා සිටියා. ඈ ඒ ගැන දැනගෙන හිටියෙවත් නැහැ. ඊළඟට, ඔවුන් ඇගේ ස්වාමිපුරුෂයා ඇයට අරගෙන දුන් ඡායා පිටපත් කිරීමේ යන්ත්‍ර සහ යතුරු ලියන බලෙන් අයිති කරගත්තා. අන්තිමේදී, ඔහුගේ සහෝදරයන් නිවසත් එහි තිබෙන සෑම දෙයක්මත් අයිති කරගත්තා. තමන්ගේ ඇඳුම් පැළඳුම් ටික විතරක් රැගෙන පිට වී යෑමට මේ වැන්දඹුවට හා ඇගේ කුඩා දියණියට බල කළා.
“ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය”
ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන්ට ප්‍රේම කරන අතර, විශ්වාසය තැබීමට වටින අය ලෙස ඔවුන්ව සලකනවා. එවැනි පුරුෂයන් මෙම ශුද්ධ ලියවිලිමය උපදේශය හෘදයට ගන්නවා: “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය.” මෙම පුරුෂයන් මේ දේවානුභාවය ලත් ප්‍රකාශය සමඟද එකඟ වෙනවා: “මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය.”—එපීස 5:28, 31.
දේවභක්තික ස්වාමිපුරුෂයන් මෙම වදන් ලියූ ප්‍රේරිත පාවුල් සමඟද එකඟ වෙනවා: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) මෙම ප්‍රතිපත්තියට එකඟව, ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් දුර ගමනක් යෑමට සැලසුම් කළා නම්, තමා පිටත සිටින කාලයේදී තම පවුලේ අයව රැකබලා ගනු ලැබූ බවට ඔහු සහතික වෙනවා. ඒ හා සමානව, තමාගේ මරණයේදී තම භාර්යාව හා දරුවන් සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කිරීම සාධාරණ නැද්ද? එය ප්‍රායෝගික දෙයක් වෙනවා විතරක් නොව, නමුත් අනපේක්ෂිත ඛේදවාචකයක් වෙනුවෙන් ප්‍රේමනීය ලෙස දේවල් සූදානම් කිරීමක්ද වෙනවා.
අවමංගල්‍ය චාරිත්‍ර
මේ කාරණයේදී ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් විසින් සලකා බැලිය යුතු තවත් පැත්තක් තිබෙනවා. තම කලත්‍රයාද තමන්ට අයිති දේවල්ද ඇතැම්විට තම දරුවන් පවා අහිමි වීම ගැන වැන්දඹුවක් අද්දකින ශෝකයට තවත් දේවල් එක් කරමින්, ඇතැම් සමාජ ක්‍රම මගින් ශෝකය පළ කිරීමේ සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කිරීම සඳහා ඈට බල කරනවා. මියගිය තම ස්වාමිපුරුෂයාගේ මිනිය තබා තිබෙන අඳුරු කුටියේම නිදාගැනීමට සමහර ප්‍රදේශවල තිබෙන සම්ප්‍රදායන් මගින් වැන්දඹුවකගෙන් ඉල්ලා සිටීම ගැන නයිජීරියාවේ පළ වෙන ද ගාඩියන් නමැති පුවත්පත දැඩි කනගාටුව පළ කරනවා. වෙනත් ප්‍රදේශවල, මාස හයකට ආසන්න වන ශෝකවීමේ කාලපරිච්ඡේදය තුළ වැන්දඹුවන්ට නිවසින් බැහැරව යෑමට ඉඩ දෙන්නේ නැහැ. එම කාලයේදී, ඔවුන්ට ස්නානය කරන්න බැහැ; ඒ වගේම කෑමට පෙර හා පසුව අත් සේදීම පවා තහනම් කර තිබෙනවා.
එවැනි චාරිත්‍ර වාරිත්‍ර, විශේෂයෙන්ම ක්‍රිස්තියානි වැන්දඹුවන්ට ගැටලු ඇති කරවනවා. දෙවිව සතුටු කිරීමට තිබෙන ඔවුන්ගේ ආශාව, බයිබල් ඉගැන්වීම්වලට එකඟ නැති චාරිත්‍ර වාරිත්‍රවලින් වැළකී සිටීමට ඔවුන්ව පොලඹවනවා. (2 කොරින්ති 6:14, 17) කොහොම වුණත්, මේ චාරිත්‍ර වාරිත්‍රවලට එකඟ නොවීම නිසා වැන්දඹුවකට පීඩාවලට මුහුණ දීමට සිදු විය හැකියි. සමහර අවස්ථාවලදී ඇයට තම ජීවිතය රැකගැනීම සඳහා පලායෑමට පවා සිදු විය හැකියි.
නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
බයිබලය නැණවත් ලෙස මෙසේ පවසනවා: “කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ.” (හිතෝපදේශ 21:5) පවුල් මූලිකයෙකුට මොන වගේ සැලසුම් පිළියෙළ කළ හැකිද? අන්තිම කැමති පත්‍රයක් හෝ තම මරණයේදී තමාගේ දේපොළ බෙදී යා යුතු ආකාරය සඳහන් කරන යම් ලියවිල්ලක් හෝ සකස් කරන්න බොහෝ සමාජ ක්‍රමවල ඉඩ කඩ සැලසෙනවා. අවමංගල්‍ය කටයුතු ගැන විස්තරද ඊට ඇතුළත් කළ හැකියි. අවමංගල්‍ය කටයුතු හා ශෝකය පළ කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙන් කලත්‍රයෙකු කළ යුතු දේවල්ද (හෝ නොකළ යුතු දේවල්ද) ලියවිල්ලෙහි විශේෂ දේවල් ලෙස සඳහන් කළ හැකියි.
ලියා නම් ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා 1992දී මියගියා. ඈ මෙසේ පවසනවා: “මට දරුවන් පස්දෙනෙක්—ගැහැනු ළමයින් හතරදෙනෙක් හා පිරිමි ළමයෙක්—ඉන්නවා. මගේ ස්වාමිපුරුෂයා මියයන්න කලින් ටික කාලයක් අසනීපයෙන් සිටියා. ඒ වුණත්, ඔහු අසනීප වෙන්න කලින්ම ඔහු සතු මුළු දේපොළම මටත් අපේ දරුවන්ටත් අයිති වෙනවා දැකීම ඔහුගේ කැමැත්ත බව සඳහන් කරමින් අන්තිම කැමති පත්‍රයක් පිළියෙළ කළා. රක්ෂණ මුදල්ද, ගොවිපොළ හා එහි සතුන්ද, නිවසද මෙයට ඇතුළත් කළා. ඔහු මේ අන්තිම කැමති පත්‍රයට අත්සන් කර, මට දුන්නා. . . . මගේ ස්වාමිපුරුෂයාගේ මරණෙන් පස්සේ, ඔහුගේ උරුමයෙන් කොටසක් නෑදෑයන්ට වුවමනා වුණා. මගේ ස්වාමිපුරුෂයා ගොවිපොළ මිල දී ගෙන තිබුණේ ඔහුගේම සල්ලිවලින් බවත් කිසිම දෙයකට අයිතිවාසිකම් කියන්න ඔවුන්ට අයිතියක් නැති බවත් මම ඔවුන්ට පෙන්වා දුන්නා. ලිඛිත ලියවිල්ල දැක්කාම ඔවුන් ඒක පිළිගත්තා.”
පවුලේ සාමාජිකයන් සමඟ කාරණා සාකච්ඡා කිරීම
යමෙක් තම විශ්වාසයන් හා අභිමතයන් ගැන තමාගේ පවුලේ සාමාජිකයන් සමඟ කතා නොකරනවා නම්, ගැටලු පැනනැඟිය හැකියි. ඔහුගේ භූමදාන කටයුතු ප්‍රදේශයේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සිදු කළ යුතු බවට නෑදෑයන් විසින් තරයේම කියා සිටි මිනිසෙකු සම්බන්ධ සිද්ධියේදී සිදු වූ දෙය සලකා බලන්න. ඔහුගේ වැන්දඹුවගේ හා ඇගේ දරුවන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වූ විට, අකමැත්තෙන් වුණත් ඔහුගේ දේහය නෑදෑයන්ට භාර දෙන්න ඔවුන්ට සිදු වුණා. ඈ ශෝකයෙන් මෙසේ පවසනවා: “තමාගේ භූමදාන කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන මගේ ස්වාමිපුරුෂයා ඔහුගේ මාමලාගෙන් කෙනෙකුට හරි නෑදෑයන්ට හරි කියල තිබුණා නම්, ඔවුන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර කරන්න කියල පවුලේ අය බල නොකරන්න ඉඩ තිබුණා.”
සමහර සමාජ ක්‍රමවල වාචික ගිවිසුමක, ලිඛිත ලියවිල්ලක තිබෙන බැඳීමම තිබෙනවා. සම්ප්‍රදායික අවමංගල්‍ය කටයුතු හා ශෝකය පළ කිරීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීමට දිරිගැන්වෙන විශ්වාසයන් බොහෝදෙනෙකු තුළ දක්නට ලැබෙන ස්වාසිලන්තයේ ඇතැම් ප්‍රදේශවල තත්වය මෙයයි. මේ තත්වය දැනගෙන, ඊසාක් නම් ක්‍රිස්තියානි පුරුෂයා සාක්ෂිකරුවන් නොවන තමන්ගේ නෑදෑයන්ව එක්රැස් කර තමාගේ මරණයෙන් පසුව, තම කැමැත්තට අනුව කළ යුතු දේවල් ගැන සාකච්ඡා කළා. වෙන් වෙන් වශයෙන් සඳහන් කළ තමාගේ දේපොළ ලැබෙන්න ඕනෑ කාටද කියා ඔහු ඔවුන්ට පැවසූ අතර, තමාගේ අවමංගල්‍ය කටයුතු සිදු විය යුතු ආකාරය ගැන පැහැදිලි ලෙස කාරණා පහදා දුන්නා. ඔහු මියගිය පසු, ඔහු බලාපොරොත්තු වූ විදිහටම කටයුතු සිදු වුණා. ඊසාක්ගේ අවමංගල්‍ය කටයුතු ක්‍රිස්තියානි ක්‍රමයට සිදු කළ අතර, සියලුම කටයුතු හොඳින් කිරීමට ඔහුගේ භාර්යාවට උපකාරය ලැබුණා.
ඔබේ පවුලට ආරක්ෂාව සපයන්න
ඔබේ මරණයේදී ඔබේ පවුලට ආරක්ෂාව සැපයීම සඳහා ඔබ කරන්න යන දෙය පෞද්ගලික කාරණයක් වුණත්, ක්‍රිස්තියානියෙකු වන එඩ්වඩ් මෙසේ පවසනවා: “මගේ පවුලේ සාමාජිකයන් අටදෙනාට ප්රතිලාභ අත් වන විදිහට මම ජීවිත රක්ෂණයක් ලබාගෙන තියෙනවා. මගේ බැංකු ගිණුම සඳහා මා වෙනුවෙන් මාගේ භාර්යාවට අත්සන් කරන්න පුළුවන්. එනිසා මම මැරුණොත්, ඈට පුළුවන් ගිණුමේ මුදල් ආපසු ගන්න. . . . මගේ පවුලේ අයට ප්‍රයෝජනවත් වෙන විදිහට මං අන්තිම කැමති පත්‍රයක් පිළියෙළ කරලා තියෙනවා. මම මැරුණොත්, මට අයිති හැම දෙයක්ම ලැබෙන්නේ මගේ භාර්යාවටයි දරුවන්ටයි. මම අන්තිම කැමති පත්‍රයක් ලිව්වේ, අවුරුදු පහකට කලිනුයි. ඒක පිළියෙළ කළේ නීතිඥයෙක්; ඒ වගේම මගේ භාර්යාව හා පුතා ළඟ ඒකේ පිටපතක් තියෙනවා. මගේ නැදෑයන් කිසිම ආකාරයකින් මගේ අවමංගල්‍ය කටයුතුවලට ඇඟිලි නොගැසිය යුතුයි කියා මගේ අන්තිම කැමති පත්‍රයේ විශේෂයෙන් සඳහන් කළා. මා අයත් වන්නේ යෙහෝවාගේ සංවිධානයටයි. ඒ හින්දා මගේ අවමංගල්‍ය කටයුතු මෙහෙයවීමට සාක්ෂිකරුවන් එක් කෙනෙක් දෙන්නෙක් විතරක් ආවත්, ඒ ඇති. මම මේ ගැන මගේ නෑදෑයන් එක්ක සාකච්ඡා කර තියෙනවා.”
එක් අතකින් බලන කල, එවැනි විධිවිධානයන් පිළියෙළ කිරීම, ඔබේ පවුලේ අයට දෙන ත්‍යාගයක් වෙනවා. මියයෑමට තිබෙන ඉඩ කඩ සඳහා සැලසුම් කිරීම, චොකලට් එකක් හෝ මල් කලඹක් වගේ ත්‍යාගයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත් එයින් ඔබේ ප්‍රේමය පෙන්නුම් කෙරෙනවා. ඔබ තවදුරටත් ඔබේ පවුලේ අය සමඟ නොසිටින විට පවා ‘ඔවුන්ව රක්ෂා කරන්න’ ඔබට වුවමනා බව එයින් පැහැදිලි වෙනවා.
[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]
යේසු තම මවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩපිළිවෙළක් ඇති කළා
‘යේසුගේ මවද මවගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියාද මග්දලායේ මරියාද ඔහුගේ වධ කණුව ළඟ සිටියෝය. එකල යේසු තමන්ගේ මව ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේම කළාවූ ගෝලයා දැක: ස්ත්‍රිය, මෙන්න, ඔබේ පුත්‍රයා! යයි තම මවට කීවේය. එවිට ඔහු ගෝලයාට කතාකොට: මෙන්න, ඔබේ මව! යයි කීවේය. ඒ පැයේ පටන් ඒ ගෝලයා [යොහන්] තමාගේ ගෙදරට ඇයව පිළිගත්තේය.’—යොහන් 19:25-27.
[22වන පිටුවේ පින්තූරය]
බොහෝ ක්‍රිස්තියානීන් තම පවුල්වලට ආරක්ෂාව සලසා දීම සඳහා හොඳින් සිතාබලා නීතිමය පියවර ගන්නවා