ඔබේ දරුවන් සඳහා ඔබට කුමන අනාගතයක් වුවමනාද?
ඔබේ දරුවන් ඉතා අගනා උරුමයක් ලෙස ඔබ සලකනවාද? (ගීතාවලිය 127:3) එසේ නැත්නම් ඔවුන්ව ඇති දැඩි කිරීම, සාර්ථකත්වයක සහතිකයක් නැති මූල්‍යමය බරක් හැටියටද ඔබ සලකන්නේ? මූල්‍යමය ලාභයක් ගෙන දෙනවා වෙනුවට, දරුවන්ට තමන්වම නඩත්තු කරගැනීමට හැකි වන තුරු ඔවුන්ව ලොකු මහත් කිරීමේදී මුදල් වැය වෙයි. උරුම වූ ධනසම්පතක් පාලනය කිරීමට මනා සැලසුම් කිරීමක් වුවමනා වන්නේ යම් සේද, සාර්ථක දෙමාපියන් වීමටත් එසේමයි.
සැලකිලිමත් දෙමාපියන්ට තම දරුවන් සඳහා ජීවිතයේ හොඳ ආරම්භයක් දීමට වුවමනායි. මේ ලෝකයෙහි නරක හා ඉතා කනගාටුදායක දේවල් සිදු විය හැකි වුණත්, තම ජනිතයන්ව ආරක්ෂා කරගැනීමට මහත් දෙයක් කිරීමට දෙමාපියන්ට හැකියි. කලින් ලිපියේ සඳහන් කළ ව’න’ හා ඊවා ගැන අද්දැකීම සලකා බලන්න.a
දෙමාපියන් ඇත්තෙන්ම සැලකිල්ල දක්වන විට
ඔහේ ඕන දෙයක් වුණාවේ කියා සිටිනවා වෙනුවට, තම දෙමාපියන් පාසැලේ සිදු වෙමින් තිබුණ දේවල් කෙරෙහි අව්‍යාජ උනන්දුවක් පෙන්නුම් කළා කියා ව’න’ වාර්තා කරයි. “මට ඔවුන් දුන්න ප්‍රායෝගික යෝජනා මම හුඟක් අගය කළා; ඔවුන් මා ගැන සැලකිලිමත් වෙලා මට සහාය දුන්න බව මට දැනුණා. දෙමාපියන් වශයෙන් ඔවුන් එතරම් බුරුලක් දුන්නේ නැතත් ඔවුන් මගේ සැබෑ මිතුරන් බව මම දැනගෙන හිටියා.” එමෙන්ම ඊවාට, ඇගේ පාසැල් වැඩ සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව, නිදාගැනීමේ ගැටලු ඇති වූ විට, ඇගේ දෙමාපියන් වූ ෆ්‍රන්සිස්කූ හා ඉනෙස්ද ඇය සමඟ කතා කරමින්, මානසික හා ආත්මික සමබරතාවට යළි පැමිණීමට උපකාර කරමින් සෑහෙන කාලයක් ගත කළා.
තම දරුවන්ව ආරක්ෂා කිරීමට හා ඔවුන්ව වැඩිහිටි ජීවිතය සඳහා සූදානම් කිරීමට ෆ්‍රන්සිස්කූ හා ඉනෙස් මං සෙව්වේ කෙසේද? ඇත්තෙන්ම, දරුවන් බිළින්දන්ව සිටි කාලයේ පටන්, මේ ප්‍රේමනීය දෙමාපියන් හැමවිටම ඔවුන්ව තම දෛනික ක්‍රියාකාරකම්වලට හවුල් කරගත්තා. තමන්ගේ වැඩිහිටි මිත්‍රයන් සමඟම ආශ්‍රය කරමින් සිටිනවා වෙනුවට, ඉනෙස් හා ෆ්‍රන්සිස්කූ ඔවුන් යන සෑම තැනකටම දරුවන්ද කැටුව ගියා. ප්‍රේමනීය දෙමාපියන් හැටියට, ඔවුන් තම පුතාට හා දුවට සුදුසු මඟ පෙන්වීමද ලබා දුන්නා. ඉනෙස් මෙසේ පවසයි: “නිවස ගැන සැලකිල්ල දක්වන්නත්, සැකසුරුවම් වෙන්නත්, ඒ වගේම තමන්ගේම ඇඳුම් ගැන බලාගන්නත් අපි ඔවුන්ට ඉගැන්නුවා. ඒ වගේම ඔවුන් එක් එක්කෙනාට වෘත්තියක් තෝරාගන්න හා ආත්මික කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ වගකීම් සමබර කරගන්න අපි උදව් කළා.”
ඔබේ දරුවන්ව දැනගැනීමත්, දෙමාපිය මඟ පෙන්වීම සැපයීමත් මොනතරම් වැදගත්ද! ඔබට මෙය කළ හැකි පැති තුනක් අපි සෝදිසි කර බලමු: (1 ) සුදුසු විදිහේ බාහිර රැකියාවක් තෝරාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න; (2 ) පාසැලේදී හා රැකියා ස්ථානයේදී ඇති වන චිත්තපීඩාව සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ව සූදානම් කරන්න; (3 ) තම ආත්මික අවශ්‍යතා සපුරාගන්න ආකාරය ඔවුන්ට පෙන්වන්න.
ගැළපෙන රැකියාවක් තෝරාගැනීමට ඔවුන්ට උපකාර කරන්න
පුද්ගලයෙකුගේ බාහිර රැකියාව ඔහුගේ මූල්‍යමය තත්වයට බලපානවා පමණක් නොව, ඔහුගේ කාලයෙන් වැඩිහරියක්ද ඊට වැය වන නිසා, එක් එක් දරුවාගේ හැකියාවන් සහ උනන්දු වන දේවල් ගැන සැලකිලිමත් වීම නිසි දෙමාපියන් වීමට ඇතුළත් වෙයි. යුතුකම් නොපිරිහෙළා ඉටු කරන පුද්ගලයෙකුට අන්‍යයන්ට බරක් වීමට වුවමනා වන්නේ නැති නිසා, තම දරුවාට තමාව හා පවුලක් රැකීමට සූදානම් විය හැකි ආකාරය ගැන දෙමාපියන් බැරෑරුම් ලෙස කල්පනා කර බැලිය යුතුයි. ඔබින ජීවිතයක් ගත කිරීම සඳහා ඔබේ පුතාට හෝ දුවට යම් කර්මාන්තයක් ඉගෙනීමට අවශ්‍ය වේද? සැබවින්ම සැලකිලිමත් දෙමාපියෙකු වශයෙන්, කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට ආශාවක්, ඉගෙනීමට කැමැත්තක් හා අන්‍යයන් සමඟ පෑහී සිටීමට හැකියාව වැනි ගුණාංග වර්ධනය කරගැනීමට ඔබේ දරුවාට උපකාර කිරීමට නිරතුරු වෑයමක් දරන්න.
නිකෝල්ව සලකා බලන්න. ඇය මෙසේ පවසයි: “මගේ දෙමාපියන් ඔවුන්ගේ පිරිසිදු කිරීමේ වැඩවලට මාවත් හවුල් කරගත්තා. මං උපයන දෙයින් අපේ ගෙදර දොරේ වියදම්වලට යම් කොටසක් දෙන්නත්, ඉතිරිය මගේ වියදමට හරි, ඉතුරු කරන්න හරි තියාගන්නත් කියා ඔවුන් යෝජනා කළා. මෙය මට වගකීම සම්බන්ධයෙන් උසස් හැඟීමක් ලබා දුන් අතර, ජීවිතයේ පසු කාලයේදී ඉතා ප්‍රයෝජනවත් බවත් ඔප්පු වුණා.”
පුද්ගලයෙක් තෝරාගත යුත්තේ කුමනාකාරයේ බාහිර වැඩක්ද කියා දෙවිගේ වචනය වන බයිබලයේ විශේෂයෙන් දක්වා නැහැ. නමුත් එය නිසි මාර්ගෝපදේශ සපයයි. නිදසුනක් වශයෙන්, ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා.” තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ට ලියමින් ඔහු මෙසේද පැවසුවා: “නුඹලා අතරෙන් සමහරු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට මැදිවෙමින්, අනියම්ලෙස හැසිරෙන බව අපි ඇසීමුව. ඉඳින් නිශ්චලකමින් වැඩකරමින්, තමුන්ම ලබාගත් කෑම කන හැටියට අපි එබඳු අයට ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ ආඥාකොට අවවාදකරමුව.”—2 තෙසලෝනික 3:10-12.
එහෙත්, ජීවිතය කියන්නේ රැකියාවක් ලබාගැනීම සහ මුදල් හම්බ කිරීම පමණක්ම නොවෙයි. ඉමහත් අපේක්ෂාවක් තබාගෙන සිටින අය පසු කාලයකදී නොසෑහීමට පත් වන්න ඉඩ තිබෙන අතර, තමන් ‘හිස් වූ උත්සාහයක’ යෙදී සිටින බව සොයාගත හැකියි. (දේශනාකාරයා 1:14) පිළිගැනීම හා සමෘද්ධිය හඹායෑමට තම දරුවන්ගෙන් බලවත් ලෙස ඉල්ලා සිටිනවාට වඩා, දෙමාපියන්ට සුදුසු වන්නේ, ප්‍රේරිත යොහන්ගේ මෙම දිව්‍යමය ආනුභාව ලත් වචනවල ප්‍රඥාව දැකීමට ඔවුන්ට උපකාර කිරීමයි: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, [පියා] කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [පියාගෙන්] නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:15-17.
ඔවුන්ගේ චිත්තවේගීය අවශ්‍යතා සපුරාලන්න ඔබට හැක්කේ කෙසේද?
දෙමාපියෙකු වශයෙන් ඔබ, ඇයි මලල ක්‍රීඩකයන් පුහුණු කරන්නෙකු මෙන් නොවන්නේ? තමන්ගේ භාරයේ සිටින මලල ක්‍රීඩකයන්ට, වැඩි වේගයකින් දිවීමට හෝ දුර පැනීම තවත් වැඩි කරගැනීමට ඇති ශාරීරික හැකියාව වර්ධනය කිරීම කෙරෙහි පමණක් නොවෙයි ඔහු යොමු වී සිටින්නේ. ඕනෑම නිෂේධාත්මක ආකල්පයකින් ජයගැනීමට ඔවුන්ට උපකාර කිරීමටත් ඔහු පරිශ්‍රමයක් දැරිය හැකියි; මෙලෙස ඔවුන්ගේ චිත්තවේගීය ශක්තිය යළි ශක්තිමත් කරයි. ඔබ සම්බන්ධයෙන් බලද්දී, ඔබේ දරුවන්ව දිරිගැන්වීමට, ගොඩනැංවීමට හා පෙලඹවීමට ඔබට හැක්කේ කෙසේද?
දහතුන්-හැවිරිදි යෞවන රෝසේර්යෝව සලකා බලන්න. ශාරීරික වෙනස්වීම්වල ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ අභ්‍යන්තර වියවුලට අමතරව, දෙමාපිය අසමඟිය හා අඩු අවධානය හේතුවෙන් ඔහු චිත්තපීඩාව අද්දැක්කා. ඔහු වන් යෞවනයන් සඳහා කළ හැකි වන්නේ කුමක්ද? ඔබේ දරුවන්ව සියලුම කාන්සාවන්ගෙන් හා නරක බලපෑම්වලින් ආරක්ෂා කිරීමට නොහැකි වුණත්, දෙමාපියෙකු වශයෙන් ඔබේ කාර්යභාරය කවදාවත් අත්හරින්න එපා. වුවමනාවට වඩා ආරක්ෂා කිරීමට යෑමෙන් වැළකී, හැම දරුවෙකුම අද්විතීය බව සැමවිටම මතකයේ තබාගනිමින් ඔබ බිහි කළ දරුවාව අවබෝධයෙන් යුතුව හික්මවන්න. කරුණාවන්තකම හා ප්‍රේමය පෙන්වීම මගින්, යෞවනයෙකුට ආරක්ෂාවේ හැඟීමක් ලබා දීමට ඔබට මහත් දෙයක් කළ හැකියි. මෙය ඔහු තුළ නිසැකකමේ හා ආත්ම-ගෞරවයේ අඩුකමක් වර්ධනය වීමද වළක්වයි.
ඔබේ චිත්තවේගීය අවශ්‍යතා සැපිරීමේදී ඔබේ දෙමාපියන් කොයිතරම් සාර්ථක වුණාද යන්න නොසලකා, සැබවින්ම උපකාරවත් දෙමාපියෙකු වශයෙන් සාර්ථක වීමට ඔබට සහය වීමට දේවල් තුනකට හැකියි: (1 ) ඔබේ දරුවන්ගේ කුඩායයි පෙනෙන ගැටලු නොසලකා හරින තරමටම ඔබේ අමාරුකම්වල ගිලී සිටීමෙන් වළකින්න; (2 ) ඔවුන් සමඟ ප්‍රසන්න, අර්ථවත් දෛනික අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට වෑයම් කරන්න; (3 ) ගැටලු විසඳන ආකාරය හා මනුෂ්‍යයන් සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඒකාන්ත ආකල්පයක් වර්ධනය කරගන්න.
නහඹරියක් හැටියට සිටි තම වසර කීපය දෙස හැරී බලමින්, බ’ගිට් මෙසේ පවසයි: “මට ඕන විදිහට අනිත් අයව වෙනස් කරන්න බැරි බව මට ඉගෙනගන්න සිද්ධ වුණා. මම කැමති නැති දෙයක් අනිත් අය තුළ මම දැක්කොත් ඔවුන් වගේ වෙන්න එපා කියා මගේ අම්මා මට කරුණු පැහැදිලි කළා. මගේම විධි වෙනස් කරන්න හොඳම කාලය මගේ තරුණ කාලයමයි කියාත් ඇය පැවසුවා.”
එහෙත්, ඔබේ දරුවන්ට රැකියාවකට හා චිත්තවේගීය ස්ථාවරත්වයකට වඩා වැඩි දෙයක් අවශ්‍යයි. ඔබෙන්ම මෙසේ අසන්න; ‘දෙමාපියෙක් වීම දෙවි-දුන් වගකීමක් හැටියට මම සලකනවාද?’ ඔබ එසේ කරනවා නම්, ඔබේ දරුවන්ගේ ආත්මික අවශ්‍යතා සොයා බැලීමට ඔබට වුවමනා වෙයි.
ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාගැනීමට ක්‍රම
කන්ද උඩ දේශනාව දෙන විට යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා: “තම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්හුය, මන්දයත් ස්වර්ග රාජ්‍යය ඔවුන්ට අයත් වන බැවිනි.” (මතෙව් 5:3, NW) ආත්මික අවශ්‍යතා සපුරාලීමට ඇතුළත්ව තිබෙන්නේ කුමක්ද? යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල පෙන්වීමේදී දෙමාපියන් කදිම ආදර්ශයක් තබන විට දරුවන් ඉමහත් සේ ප්‍රයෝජන ලබනවා. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘ඇදහිල්ල නැතුව දෙවිව ප්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන බවත්, ඔහුව සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය.’ (හෙබ්‍රෙව් 11:6) කෙසේවුවත්, ඇදහිල්ලට සැබෑ අර්ථයක් දීමට නම්, යාච්ඤාව අවශ්‍යයි. (රෝම 12:12) ඔබ ඔබේම ආත්මික අවශ්‍යතා ඒත්තුගන්නවා නම්, ඉශ්රායෙල්හි ප්‍රසිද්ධ විනිශ්චයකාර සම්සොන් බවට පත් වූ දරුවාගේ පියා කළාක් මෙන්, ඔබ දිව්‍ය මඟ පෙන්වීම සොයනු ඇත. (විනිශ්චයකාරයන් 13:8) උපකාරය සඳහා ඔබ යාච්ඤා කිරීම පමණක් නොව, නමුත් දෙවිගේ වචනය වන බයිබලය වෙතත් යනු ඇත.—2 තිමෝති 3:16.b
නිසි මඟ පෙන්වීම, චිත්තවේගීය සහාය හා ආත්මික උපකාරය සැපයීමේදී සියලු අසීරු වැඩ ඇතුළත්ව තිබුණත්, දෙමාපියන් වීම විපාකදායක විය හැකියි. බ්‍රසීලයේ දෙදෙනෙකුගේ පියෙක් මෙසේ අදහස් ප්‍රකාශ කරයි: “මගේ දරුවන් ළඟ නැතිවීම ගැන මට හිතාගන්නවත් බැහැ. ඒගොල්ලෝ එක්ක බෙදාගන්න හොඳ දේවල් ඕනතරම් අපිට තියෙනවා.” දරුවන් හොඳින් සිටීමට හේතුව පැහැදිලි කිරීමේදී, මව මෙසේ ඊට එකතු කරයි: “අපි හැම වෙලාවෙම එකටයි ඉන්නේ; දේවල් හොඳ විදිහකින් හා සතුටුදායක ආකාරයකින් තියාගන්න අපි වෑයම් කරනවා. ඒ වගේම, සියල්ලටමත් වඩා වැදගත්ව, අපි හැමවිටම දරුවන් සඳහා යාච්ඤා කරනවා.”
ගැටලුවක් තිබූ ඕනෑම අවස්ථාවකදී ඇය වෙත ඇගේ දෙමාපියන් විදහාපෑ ප්‍රේමය හා ඉවසිලිවන්තකම ගැන ප්‍රිසිලා සිහි කරයි. “ඔවුන් මගේ සැබෑ මිතුරන් වූ අතර, හැම දෙයකදීම මට උපකාර කළා” කියා ඇය පවසයි. “දරුවෙක් වශයෙන්, මාව ‘යෙහෝවාගෙන් ලැබුණු උරුමයක්’ හැටියට සැලකුව බව මට ඇත්තෙන්ම හැඟුණා.” (ගීතාවලිය 127:3) වෙනත් බොහෝ දෙමාපියන් මෙන්, බයිබලය හා ක්‍රිස්තියානි ප්‍රකාශන එකට කියවීමට හැකි වන පිණිස ඔබේ දරුවන් එක්ක සිටීමට කාලය වෙන් කර නොගන්නේ මන්ද? ඒකාන්ත වාතාවරණයකදී බයිබල් වාර්තා හා ප්‍රතිපත්ති සලකා බැලීමෙන්, අනාගතය පිළිබඳව නිසැක වීමට හා සැබෑ බලාපොරොත්තුවක් ඇතුව සිටීමට ඔබේ දරුවන්ට උපකාර කළ හැකියි.
සියලු දරුවන් සුරක්ෂිතව සිටින කාලයක්
අදදින බොහෝ දරුවන්ට අනාගතය අඳුරු එකක් මෙන් පෙනෙන්න තිබුණත්, වැඩි කල් නොගොස් පොළොව මනුෂ්‍යවර්ගයා සඳහා සුරක්ෂිත නිවසක් වන බවට දේවවචනය සහතික කරයි. තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කනගාටු වීමට දෙමාපියන්ට සිදු නොවන, දෙවි පොරොන්දු වූ නව ලෝකයේ ගත කරන කාලය ගැන සිතා බලන්න! (2 පේතෘස් 3:13) මේ අනාවැකියේ උදාර ඉටුවීම නුවණින් දැකීමට වෑයම් කරන්න: “වෘකයා බැටළුපැටවා සමග වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමග ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.” (යෙසායා 11:6) අදදින පවා, මේ වචනවල විස්තර කර ඇති ආත්මික සුරක්ෂිතභාවයට, යෙහෝවාට සේවය කරන අය අතර උපමාලංකාර ඉටුවීමක් තිබෙනවා. ඔවුන් අතරේදී ඔබට දෙවිගේ ප්‍රේමනීය සැලකිල්ල දැනේවි. ඔබ දෙවිට ප්‍රේමය පිළිබිඹු කරනවා නම්, දෙමාපියෙකු වශයෙන් ඔබේ හැඟීම් ඔහුට තේරෙන බවටත්, ඔබ ඉදිරියේ තිබිය හැකි කාන්සාවන් හා පරීක්ෂා සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔහු ඔබට උපකාර කරන බවටත් ඔබට සහතික කරගත හැකි වෙයි. ඔහුගේ වචනය පාඩම් කර, ඔහුගේ රාජ්‍යය කෙරෙහි ඔබේ බලාපොරොත්තුව තබන්න.
කදිම ආදර්ශයක් තබමින් සදාකාල ජීවනයට යන මාර්ගයෙහි ගමන් කිරීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. ඔබ යෙහෝවා දෙවිගේ සරණෙහි සිටිනවා නම්, ඔබේ අනාගතය හා ඔබේ දරුවන්ගේ අනාගතය, ඔබේ සියලු අපේක්ෂාවන්ට වඩා විශිෂ්ට වෙනවා. ගීතිකාකරු ගැයූ ආකාරයටම නිසැක වීමට ඔබට හැකියි: ‘යෙහෝවා කෙරෙහි ප්‍රීතිමත් වෙව; ඔහුද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරයි.’—ගීතාවලිය 37:4.
[පාදසටහන්වල]
a මේ ලිපියේ යොදා තිබෙන්නේ ආදේශක නම්.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත පවුලේ සන්තෝෂයට රහස පොතේ 5 සිට 7 පරිච්ඡේද බලන්න.