නිදහස්කමින් යුත් ක්‍රිස්තියානි කැපවීමට එකඟව ජීවත් වීම
“යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස්කම ඇත්තේය.”—2 කොරින්ති 3:17, NW.
1. යෙහෝවාගේ සාක්ෂිකාරයන් කැප වී සිටින්නේ කාටද? එමෙන්ම ඔවුන් නීතික නියෝජ්‍ය ආයතන පාවිච්චි කරන්නේ මන්ද?
තම ආගම හැමදාම පවතින්න යන බව යෙහෝවාගේ සාක්ෂිකාරයන් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් සදාකාලයටම “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” දෙවිට සේවය කිරීමට බලා සිටිනවා. (යොහන් 4:23, 24) නිදහස් සදාචාර නියෝජිතයන් හැටියට, මේ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවි සඳහා ලබන්න නොවටිනා කැපවීමක් කර ඇති අතර, ඊට එකඟව ජීවත් වීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඒ අරමුණ වෙනුවෙන් ඔවුන් දෙවිගේ වචනය සහ ඔහුගේ ශුද්ධාත්මය මත රඳා සිටිනවා. දෙවිගෙන් ලද නිදහස්කම තුළ ක්‍රිස්තියානි කැපවීමේ මඟ ඔවුන් මුළු හෘදයෙන්ම ලුහුබඳිද්දී, සාක්ෂිකාරයන් ආණ්ඩුවල “බලයලත් මුලාදෑනීන්” සතු කාර්යභාරයට නිසි ගෞරවය දක්වනවා වගේම, නීතික මාධ්‍යයන් සහ සැපයුම් සුදුසු ලෙස පාවිච්චි කරනවා. (රෝම 13:1; යාකොබ් 1:25) උදාහරණයක් හැටියට, විශේෂයෙන්ම ආත්මික ආකාරයෙන් සෙසු මිනිසුන්ට උපකාර කිරීමේ ඔවුන්ගේ වැඩය ඉෂ්ට කිරීමට ඔවුන්ට හැකි වන පරිද්දෙන්, නීත්‍යනුකූල මෙවලම් බොහොමයකින් එකක් හැටියට විවිධ දේශවල, සාක්ෂිකාරයන් විසින් වොච් ටවර් සමිතිය පාවිච්චි කරනවා. කෙසේවෙතත්, සාක්ෂිකාරයන් කැපව සිටින්නේ දෙවිට මිස කිසිම නීතික නියෝජ්‍ය ආයතනයකට නොවන අතර, යෙහෝවාට වූ ඔවුන්ගේ කැපවීම සදාකාලයටම පවතින්න යනවා.
2. යෙහෝවාගේ සාක්ෂිකාරයන් විසින්, වොච් ටවර් සමිතිය සහ සමාන නීතික නියෝජ්‍ය ආයතන මහත් සේ අගය කරනු ලබන්නේ මන්ද?
2 දෙවිගේ කැප වූ සේවකයන් හැටියට, යෙහෝවාගේ සාක්ෂිකාරයන් ‘සියලු ජාතීන්ගේ ජනයා ගෝලයන් කරන්න, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. ඔවුන්ට උගන්වන්න’ යන යේසුස්ගේ උපදේශය අනුගමනය කිරීමට බැඳී සිටිනවා. (මතෙව් 28:19, 20) දේවල පිළිවෙළේ අවසානය දක්වා මේ වැඩය ක්‍රියාත්මක වීමට යන අතර, යේසුස් මේ ගැන පැවසුවේත්, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය” කියලයි. (මතෙව් 24:3, 14) හැම අවුරුද්දකම, වොච් ටවර් සමිතියේ මුද්‍රණ යන්ත්‍රෝපකරණ සහ සමාන නීතික සමාගම්, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට බයිබල්, පොත්, විවරණිකා සහ සඟරා මිලියන ගණනින් ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ ක්‍රියාකාරකම්හි පාවිච්චි කිරීම සඳහා සපයනවා. එමනිසා, දෙවිට වූ තම කැපවීමට එකඟව ජීවත් වීම සඳහා, දෙවිගේ කැප වූ සේවකයන්ට උපකාර කිරීමේදී මේ නීතික වස්තූන්ගේ වටිනාකම මිල කළ නොහැකියි.
3. යෙහෝවාගේ සාක්ෂිකාරයන්, “සමිතිය” යන යෙදුම කලින් පාවිච්චි කළේ කිනම් අර්ථයෙන්ද?
3 සාක්ෂිකාරයන් වොච් ටවර් සමිතිය ගැන කතා කරන ආකාරය—හෝ බොහෝවිට නිකම්ම එය “සමිතිය” ලෙස අඟවද්දී, ඔවුන් එය නීතික මෙවලමකට වඩා වැඩි යමක් ලෙස සලකනවා කියා කෙනෙක් වාද කරන්න ඉඩ තිබෙනවා. නමස්කාරය පිළිබඳ කාරණාවල අවසාන අධිකාරය ලෙස ඔවුන් එය සලකන්නේ නැද්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දේවරාජ්‍යයේ ප්‍රකාශකයෝ (ඉංග්‍රීසියෙන්) යන පොත හේතු දක්වමින් මේ කාරණය මෙසේ පැහැදිලි කරනවා: “මුරටැඹ (ඉංග්‍රීසියෙන්) [1938 ජූනි 1], ‘සමිතිය’ සඳහා යොමු දක්වද්දී ඉන් අදහස් කළේ, නිකම්ම නීත්‍යනුකූල මෙවලමක් නොව, නමුත් එම නීතික වස්තුව සැකසූ සහ භාවිත කළ ආලේප ලත් ක්‍රිස්තියානි මණ්ඩලයක්.”a ඒ හේතුවෙන්, මේ ප්‍රකාශය “විශ්වාසවූ නුවණ ඇති දාසයා” නියෝජනය කළා. (මතෙව් 24:45) සාක්ෂිකාරයන් සාමාන්‍යයෙන් “සමිතිය” යන යෙදුම පාවිච්චි කළේ එම අර්ථයෙනුයි. ඇත්තෙන්ම, නීත්‍යනුකූල සංස්ථාව සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාරුවෙන් මාරුවට භාවිත කරන යෙදුම් නොවෙයි. වොච් ටවර් සමිතියේ අධ්යක්ෂකයන්ව ඡන්ද බලයෙන් පත් කරනු ලබන අතර, ‘විශ්වාස වූ දාසයාට’ අයත් සාමාජිකයන් වන සාක්ෂිකරුවන් යෙහෝවාගේ ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලබනවා.
4. (අ) වරදවා වටහාගැනීම් වළක්වාගැනීම සඳහා බොහෝ සාක්ෂිකාරයන් තමන්ව හඳුන්වා දෙන්නේ කෙසේද? (ආ) පාරිභාෂික වචන සම්බන්ධයෙන් අපි සමබර විය යුත්තේ මන්ද?
4 වරදවා වටහාගැනීම් වළක්වාගැනීම සඳහා, තමුන් අදහස් පළ කරන ආකාරය ගැන යෙහෝවාගේ සාක්ෂිකාරයන් පරෙස්සම් වීමට උත්සාහ කරනවා. “සමිතිය උගන්වන්නේ” කියා කියනවා වෙනුවට, “බයිබලය පවසන්නේ” හෝ “මගේ වටහාගැනීමේ හැටියට බයිබලය උගන්වන්නේ” ආදි කියමන් පාවිච්චි කිරීමට බොහෝ සාක්ෂිකාරයන් කැමති වනවා. මේ ආකාරයට, බයිබල් ඉගැන්වීම් පිළිගැනීමේදී එක් එක් සාක්ෂිකාරයා ගෙන තිබෙන පෞද්ගලික තීරණය ඔවුන් කාවද්දන අතරම යම් ආගමික නිකායක ඒකාධිකාරයකට සාක්ෂිකාරයන් යම් ආකාරයකින් බැඳී සිටිනවා යන අසත්‍ය හැඟීම දීම වළක්වනවා. ඇත්තවශයෙන්ම, පාරිභාෂික වචනවලට සම්බන්ධ කාරණා කිසිවිටෙකත් මතභේදයට තුඩු දෙන විෂයක් නොවිය යුතුයි. මන්ද, පාරිභාෂික වචන වැදගත් වන්නේ, වරදවා වටහාගැනීමක් වළක්වාගැනීමට පමණයි. ක්‍රිස්තියානි සමබරතාව අවශ්‍යයි. බයිබලය අපට අවවාද කරන්නේ, ‘වචන ගැන තරඟ නොකරන’ හැටියටයි. (2 තිමෝති 2:14, 15) ශුද්ධ ලියවිලි මේ ප්රතිපත්තියත් සඳහන් කරනවා: “නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද?”—1 කොරින්ති 14:9.
දෙවිගේ ආත්මය නීතිවල අවශ්‍යතාව අඩු කරයි
5. පළමුවන කොරින්ති 10:23 තේරුම්ගත යුත්තේ කෙසේද?
5 “සියලු දේ [ව්‍යවස්ථාවට එකඟව, NW] තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ” යයි සඳහන් කළ ප්‍රේරිත පාවුල් මෙසේ එකතු කරනවා: “සියල්ල [ව්‍යවස්ථාවට එකඟව, NW] තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ.” (1 කොරින්ති 10:23) දෙවිගේ වචනය නිශ්චිතවම ප්‍රතික්ෂේප කරන දේවල් කිරීම ව්‍යවස්ථාවට එකඟයි කියා පැහැදිලිවම පාවුල් අදහස් කළේ නැහැ. පුරාණ ඉශ්රායෙල්ට දුන් නීති 600 පමණ සමඟ සසඳන විට, ක්‍රිස්තියානි ජීවිතය පාලනය කෙරෙමින් තිබෙන්නේ, සන්සන්දනාත්මකව නිශ්චිත ආඥා කිහිපයක් මගින් පමණයි. මේ අනුව, බොහෝ කාරණා එක් එක්කෙනාගේ හෘදය සාක්ෂියට අනුව කිරීමට ඉඩහැර තිබෙනවා. යෙහෝවාට කැපවීමක් කරනු ලැබ තිබෙන පුද්ගලයෙක් දෙවිගේ ආත්මය මගින් මඟ පෙන්වීම ලැබීමෙන් අත් වන නිදහස භුක්ති විඳිනවා. ක්‍රිස්තියානියෙකු සත්‍යය තමන්ගේම කරගැනීමෙන්, බයිබලය මත පුහුණු කරන ලද තම හෘදය සාක්ෂිය අනුගමනය කරනවා මෙන්ම ශුද්ධාත්මය මගින් සපයන දෙවිගේ මඟ පෙන්වීම මත රඳා සිටිනවා. මෙය තමන්ට මෙන්ම අන්‍යයන්ට, “වර්ධනය” ගෙන දෙන්න යන්නේ කුමක්ද සහ “යෝග්‍ය” කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත වීමට කැප වූ ක්‍රිස්තියානියෙකුට උපකාර කරනවා. ඔහු ගන්නාවූ තීරණ, තමන් කැප වී සිටින දෙවි සමඟ ඇති ඔහුගේ පෞද්ගලික සබඳතාවට බලපාන්න යනවා කියා ඔහු තේරුම්ගන්න යනවා.
6. සත්‍යය අපේම කරගෙන තිබෙනවා කියා ක්‍රිස්තියානි රැස්වීම්වලදී අපට නිරූපණය කළ හැක්කේ කෙසේද?
6 සාක්ෂිකාරයෙක් සත්‍යය තමන්ගේම කරගනු ලැබ තිබෙන බව, ක්‍රිස්තියානි රැස්වීම්වලදී පිළිතුරු දීම මගින් නිරූපණය කරනවා. මුලින්ම, ඔහු පාඩම් කරන ප්රකාශනයේ සඳහන් දේවල් කටපාඩමෙන්ම කියන්න ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, කාලයක් යද්දී, බයිබල් ඉගැන්වීම් ඔහුගේම වචනයෙන් ප්‍රකාශ කිරීමේ තැනට ඒම තෙක් ප්‍රගතියක් ලබන්න යනවා. මේ ආකාරයට, අනිත් අය කී දේවල් නිකම් ඒ විදිහටම කියනවා නොව, ඔහුගේ සිතීමේ හැකියාව ඔහු දියුණු කරගනිමින් සිටිනවා යන්නට සාක්ෂි සපයනවා. ඔහුගේම වචනවලින් සිතුවිලි සකස් කරගැනීම සහ හෘදයාංගම ආකාරයකට සත්‍යතාවේ නිවැරදි වචන ප්‍රකාශ කිරීම, ඔහුට මහත් ප්‍රීතියක් ගෙනෙනවා මෙන්ම, ඔහු තම මනසින්ම ඒත්තුගෙන ඇති බව පෙන්වනවා.—දේශනාකාරයා 12:10; සසඳන්න රෝම 14:5ආ.
7. යෙහෝවාගේ සේවකයන් විසින් නිදහසේ ගෙන ඇති තීරණ මොනවාද?
7 යෙහෝවාගේ සාක්ෂිකාරයන් දෙවි සහ ඔවුන්ගේ සෙසු මනුෂ්‍යවර්ගයා සඳහා ප්‍රේමයෙන් පෙලඹෙනවා. (මතෙව් 22:36-40) ඇත්තයි, සහෝදරයන්ගේ ලෝක ව්‍යාප්ත සමාජයක් හැටියට ක්‍රිස්තු බඳු ප්‍රේමයේ බැම්ම මගින් ඔවුන් කිට්ටුවෙන් එකට ගෙතී සිටිනවා. (කොලොස්සි 3:14; 1 පේතෘස් 5:9) නමුත්, නිදහස් සදාචාර නියෝජිතයෙක් හැටියට, දෙවිගේ රාජ්‍ය ශුභාරංචිය ප්‍රකාශ කරන්නත්, දේශපාලනික ලෙස මධ්‍යස්ථව සිටින්නත්, ලෙයින් වැළකී සිටින්නත්, යම් ආකාරවල විනෝදාස්වාදයෙන් වළකින්න මෙන්ම බයිබල් ප්‍රතිපත්ති මත ජීවත්වන්නත්, එක් එක්කෙනා පෞද්ගලිකව තීරණය කර තිබෙනවා. මේවා ඔවුන්ට ගැනීමට බල කරවා ඇති තීරණ නෙවෙයි. ක්‍රිස්තියානි කැපවීමේ පියවර ගැනීමට පෙර සාක්ෂිකාරයන් වීමට ඉඩ ඇති අය විසින් ස්වකැමැත්තෙන්ම තෝරාගනු ලබන ජීවන මාර්ගයකට මේ තීරණ අයත් වෙනවා.
පාලක මණ්ඩලයකට ගණන් දිය යුතුද?
8. කිනම් ප්රශ්නය පැහැදිලි කරගත යුතුද?
8 සැබෑ ක්‍රිස්තියානීන් බලහත්කාරකම නිසා දෙවිට සේවය කරන්නේ නැති බව බයිබලය පැහැදිලිවම පෙන්වනවා. එය මෙසේ පවසනවා: “යෙහෝවා ආත්මයය; යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස්කම ඇත්තේය.” (2 කොරින්ති 3:17, NW) නමුත් එම කාරණය, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සහ එහි පාලක මණ්ඩලය යන අදහස සමඟ එකඟ විය හැක්කේ කෙසේද?—මතෙව් 24:45-47.
9, 10. (අ) ක්‍රිස්තියානි සභාව තුළ මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය අදාළ වන්නේ කෙසේද? (ආ) පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානි සභාව තුළ මූලිකත්වය සම්බන්ධ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සඳහා අවශ්‍ය වුණේ කුමක්ද?
9 මේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා, මූලිකත්වය පිළිබඳ ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිය අප මනසේ තබාගත යුතුයි. (1 කොරින්ති 11:3) එය “යටත්ව” තිබෙන “සභාවේ හිස” හැටියට එපීස 5:21-24හි ක්‍රිස්තුස්ව හඳුන්වා තිබෙනවා. විශ්වාස වූ නුවණ ඇති දාසයා යේසුස්ගේ ආත්මික සහෝදරයන්ගෙන් සෑදී තිබෙන බව යෙහෝවාගේ සාක්ෂිකාරයන් තේරුම්ගන්නවා. (හෙබ්‍රෙව් 2:10-13) දෙවිගේ සෙනඟට “නියම වේලාවට කෑම” සැපයීමට මේ විශ්වාස වූ දාසයාව පත් කර තිබෙනවා. මේ අවසාන කාලයේ, ක්‍රිස්තුස් මේ දාසයාව “තමා සන්තක සියල්ල” කෙරෙහි පත් කර තිබෙනවා. එමනිසා, ක්රිස්තියානියෙක්යයි කියාගන්නාවූ ඕනෑම කෙනෙක්, එහි තත්වයට ගෞරව කිරීම වටිනවා.
10 මූලිකත්වයේ අරමුණ, එක්සත්කම රැකගැනීම සහ “සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද” කිරීමයි. (1 කොරින්ති 14:40) පළමු ශතවර්ෂයේදී, මෙය ඉටු කරගැනීම සඳහා, මුළු කණ්ඩායම නියෝජනය කිරීමට විශ්වාස වූ නුවණැති දාස පංතියෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුව තෝරාගත්තා. මේ පළමු ශතවර්ෂයේ පාලක මණ්ඩලය මගින් ක්‍රියාත්මක කළ අධීක්ෂණයට යෙහෝවාගේ අනුමැතිය සහ ආශීර්වාදය තිබූ බව පසුව සිදු වූ සිදුවීම් ඔප්පු කළා. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් සන්තෝෂයෙන් විධිවිධානය පිළිගත්තා. ඔව්, ඇත්තෙන්ම එමගින් නිපදවූ යහපත් ප්‍රතිඵල සඳහා ඔවුන් කෘතඥපූර්වක වූ අතර, එය ආදරයෙන් පිළිගත්තා.—ක්‍රියා 15:1-32.
11. වර්තමාන-දින පාලක මණ්ඩලය සැලකිය යුත්තේ කෙසේද?
11 එවැනි විධිවිධානයක වටිනාකම තවමත් පවතිනවා. වර්තමානයේ, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ පාලක මණ්ඩලය සෑදී තිබෙන්නේ, සියලුදෙනාටම දශක ගණනාවක ක්‍රිස්තියානි අද්දැකීම් තමන් පසුපස ඇති ආලේප ලත් ක්‍රිස්තියානීන් දසදෙනෙකුගෙන්. පළමු ශතවර්ෂයේ පාලක මණ්ඩලය මෙන්, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට ඔවුන් විසින් ආත්මික මඟ පෙන්වීම සපයනවා. (ක්‍රියා 16:4) මුල් ක්‍රිස්තියානීන් මෙන්, සාක්ෂිකාරයන් නමස්කාරය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් බයිබලය මත පදනම් උපදෙස් සහ මඟ පෙන්වීම සඳහා සතුටින්, පාලක මණ්ඩලයේ සිටින මේරූ සහෝදරයන්ගේ උපකාරය පතනවා. පාලක මණ්ඩලයේ සාමාජිකයන් යෙහෝවාගෙත් ක්‍රිස්තුස්ගෙත් දාසයන් වුවත්, ඔවුන්ගේ සෙසු ක්‍රිස්තියානීන් හැටියට බයිබලය අපට මෙසේ උපදෙස් දෙනවා: “නුඹලාගේ [පෙරමුණ ගන්නෝ, NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ [ප්‍රාණ] ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.”—හෙබ්‍රෙව් 13:17.
12. එක් එක් ක්‍රිස්තියානියා ගණන් දීමක් කළ යුත්තේ කාටද?
12 පාලක මණ්ඩලයට ශුද්ධ ලියවිලි පවරා තිබෙන අවේක්ෂණය නිසා, එක් එක් යෙහෝවාගේ සාක්ෂිකාරයා විසින් තම තමන්ගේ වැඩ සඳහා එයට ගණන් දිය යුතු බව මින් අදහස් කරනවාද? රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ පාවුල්ගේ වචනවලට එකඟව නම් එය එසේ නෙවෙයි: “එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම [දෙවිගේ] විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව. . . . අප එක් එක්කෙනා තම තමා ගැන [දෙවිට] ගණන්දෙනවා ඇත.”—රෝම 14:10-12.
13. යෙහෝවාගේ සාක්ෂිකාරයන් ඔවුන්ගේ දේශනා ක්‍රියාකාරකම් වාර්තා කරන්නේ මන්ද?
13 කෙසේවෙතත්, තමන්ගේ දේශනා කිරීමේ ක්‍රියාකාරකම් වාර්තා කිරීම අපේක්ෂා කිරීම ඇත්තක් නෙවෙයිද? ඔව්, නමුත් එහි අරමුණ සාක්ෂිකාරයන්ගේ එක් අත්පොතක පැහැදිලි ලෙස පවසා තිබෙන්නේ මෙසේයි: “යේසුස් [ක්‍රිස්තුස්ගේ] මුල් අනුගාමිකයෝ දේශනා වැඩයේ වර්ධනය පිළිබඳ වාර්තාවන් ගැන උනන්දුවක් දැක්වූහ. (මාර්ක් 6:30) වැඩය වර්ධනය වී යනවාත් සමඟ ම, ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වන අයගේ කැපී පෙනෙන අත්දැකීම්වල වාර්තාවන් සමඟ සංඛ්‍යා ලේඛන වාර්තාවන් සකස් කරන ලදි. . . . (ක්‍රියා 2:5-11, 41, 47; 6:7; 1:15; 4:4) . . . ඉටු කරනු ලබමින් තිබූ දේවල් ගැන වාර්තාවන් ඇසීමට ලැබීම එම ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් හට මොනතරම් දිරිගැන්වීමක් වූවා ද! . . . මේ අන්දමින්, [යෙහෝවාගේ] නවීන දින සංවිධානය මතෙව් 24:14 හි [සඳහන] . . . ඉටු කිරීමේ ලා නිවැරදි වාර්තාවන් තබා ගැනීමට බලවත් ප්රයත්නයක් දරයි.”
14, 15. (අ) දෙවන කොරින්ති 1:24 පාලක මණ්ඩලයට අදාළ වන්නේ කෙසේද? (ආ) එක් එක් ක්‍රිස්තියානිවරයා පෞද්ගලික තීරණ ගත යුත්තේ කිනම් පදනමක් මතද? එමෙන්ම ඒවා ගත යුත්තේ කිනම් සත්‍ය කාරණා පිළිගනිමින්ද?
14 පාලක මණ්ඩලය ප්‍රේමනීය සැපයුමක් මෙන්ම, අනුගමනය කිරීමට වටින ඇදහිල්ලේ ආදර්ශයක්. (පිලිප්පි 3:17; හෙබ්‍රෙව් 13:7) ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් සහ එයට ඇලී සිටීමෙන්, ඔවුන්ට පාවුල්ගේ වචන ප්රතිනාද කළ හැකියි: “නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ [ප්‍රීතියේ හවුල් වැඩකාරයන්ව, NW] සිටිමුව, මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය.” (2 කොරින්ති 1:24) පාලක මණ්ඩලය පවතින ප්රවණතා නිරීක්ෂණය කරමින්, බයිබල් උපදෙස්වලට අවනත වීමේ ප්‍රයෝජන වෙත අවධානය යොමු කරවනවා, බයිබල් නීති ප්‍රතිපත්ති අදාළ කරගැනීම ගැන යෝජනා ඉදිරිපත් කරනවා, සැඟවුණු අනතුරු ගැන අනතුරු අඟවනවා, එමෙන්ම “හවුල් වැඩකාරයන්” සඳහා අවශ්‍ය දිරිගැන්වීම සපයනවා. මෙය තවදුරටත්, ක්‍රිස්තියානි ගබඩාකාරකම ක්රියාවේ යොදවන අතර, ඔවුන්ගේ ප්‍රීතිය පවත්වාගැනීමට උපකාර කරනවා මෙන්ම ස්ථිරසාරව සිටීම සඳහා ඇදහිල්ල තුළ ඔවුන්ව ගොඩනඟනවා.—1 කොරින්ති 4:1, 2; තීතස් 1:7-9.
15 බයිබලය පිළිබඳ ඔහුගේම අධ්‍යයනය මගින් සුදුසු මාර්ගය මෙයයයි තමා විසින්ම ඒත්තුගනු ලැබ තිබීම නිසා, සාක්ෂිකාරයෙක් පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති බයිබල් උපදෙස් මත පදනම් තීරණ ගන්නවා නම්, එසේ කරන්නේ ඔහුගේම තේරීමෙන්. පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කරන සුවදායක බයිබල් උපදෙස් අදාළ කරගැනීම මගින් සෑම සාක්ෂිකාරයෙක්ම දෙවිගේම වචනයෙන් බලපෑම් ලබා තිබෙන අතර, ඔහු ගන්න තීරණ ඔහුත්, තම කැපවීම කර ඇති දෙවිත් අතර ඇති ඔහුගේ පෞද්ගලික සම්බන්ධයට බලපාන්න යන බව ඔහු පූර්ණ ලෙස හඳුනාගන්න යනවා.—1 තෙසලෝනික 2:13.
ශිෂ්‍යයන් සහ භටයන්
16. හැසිරීම සම්බන්ධයෙන් ගන්නා තීරණ පෞද්ගලික ඒවා වුණත්, සමහරෙකුව සභා ඇසුරෙන් කපාහරින්නේ ඇයි?
16 නමුත් හැසිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම පෞද්ගලික කාරණාවක් නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සමහරෙකුව සභා ඇසුරෙන් කපාහරින්නේ ඇයි? යම් විශේෂ පාපයක පුරුද්දක් ලෙස නියැලීම නිසා සභා ඇසුරින් කපාහැරීම අවශ්‍ය කරනවාය කියා කිසිවෙක් අත්තනෝමතිකව නිශ්චය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, සභාවේ සාමාජිකයෙක් පසුතැවිලි වීමකින් තොරව, පළවන කොරින්ති 5වන පරිච්ඡේදයේ ලැයිස්තුගත කොට ඇති ආකාරයේ බරපතළ පාපවල නියැලුණොත් පමණක් සභා ඇසුරෙන් කපාහැරීම ශුද්ධ ලියවිලිමයව අවශ්‍ය කරනවා. මේ හේතුවෙන්, කාමමිථ්‍යාචාරයේ පුරුද්දක් හැටියට නියැලීම නිසා ක්‍රිස්තියානියෙකුව සභා ඇසුරෙන් කපාහැරිය හැකි වුවත්, මෙය සිදු වන්නේ එම පුද්ගලයා ප්‍රේමනීය එඬේරුන්ගේ ආත්මික සහය භාරගැනීමට අකමැති වනවා නම් පමණි. මේ ක්‍රිස්තියානි පිළිවෙත අනුගමනය කිරීමේදී යෙහෝවාගේ සාක්ෂිකාරයන් විතරක් තනි වී නැහැ. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් (ආගම පිළිබඳ විශ්වකෝෂය) මෙසේ සඳහන් කරනවා: “පොදු ජන ශුභසාධනයට තර්ජන එල්ල කළ හැකි එකඟ නොවන සාමාජිකයන්ගෙන් ඕනෑම ප්‍රජාවක් ආරක්ෂා කරගන්න ඊට අයිතියක් තිබෙනවා. ආගමික වාතාවරණයක් තුළ පවා, ආගමික දූෂණයකට දක්වන ප්‍රතිචාරය [ඇසුරෙන් කපාහැරීම], දෙවි ඉදිරියේ කෙනෙකුගේ ස්ථාවරයට බලපානවා යන විශ්වාසය මගින් බොහෝවිට මේ අයිතිය පනවනු ලැබ තිබෙනවා.”
17, 18. සභා ඇසුරෙන් කපාහැරීමේ යෝග්‍යතාව නිදර්ශනය කළ හැක්කේ කෙසේද?
17 යෙහෝවාගේ සාක්ෂිකාරයන් බයිබලයේ ශිෂ්‍යයන්. (යෝෂුවා 1:8; ගීතාවලිය 1:2; ක්‍රියා 17:11) පාලක මණ්ඩලය මගින් සපයන බයිබල් අධ්‍යාපන වැඩසටහන, අධ්‍යාපන මණ්ඩලයක් මගින් සකස් කරන පාසැල් ක්‍රියාකාරකම්වලට සමාන කරන්න පුළුවන්. මණ්ඩලය, උගන්වන කාරණාවල උල්පත නොවුණත්, ක්‍රියාකාරකම් සකස් කරන්නේ, උපදෙස් දෙන ක්‍රමය තීරණය කරන්නේ සහ අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්නේ එය මගින්. යමෙක් ආයතනයේ අවශ්‍යතාවලට එකඟව ජීවත් වීම බියසැකයකින් තොරව ප්‍රතික්ෂේප කළොත්, සෙසු ශිෂ්‍යයන්ට කරදර ඇති කළොත් හෝ පාසැලට අපකීර්තියක් ගෙනාවොත්, ඔහුව පාසැලෙන් නෙරපා දැමිය හැකියි. සමස්තයක් හැටියට ශිෂ්‍යයන්ගේ පොදු ප්‍රයෝජනය සඳහා ක්‍රියා කරන්න පාසැල් අධිකාරීන්ට පූර්ණ අයිතිවාසිකම් තිබෙනවා.
18 ශිෂ්‍යයන් වෙනවාට අමතරව, යෙහෝවාගේ සාක්ෂිකාරයන් ‘ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන් කිරීමට’ උගන්වා තිබෙන යේසුස් ක්‍රිස්තුස්ගේ භටයන් වෙනවා. (1 තිමෝති 6:12; 2 තිමෝති 2:3) ක්‍රිස්තියානි භටයෙකුට නුසුදුසු වන හැසිරීමෙහි දිගටම නියැලීමෙන් දිව්‍යමය අප්‍රසාදය අත් විය හැකියි. නිදහස් කැමැත්ත ලබා දී ඇති පුද්ගලයෙකු වශයෙන්, ක්‍රිස්තියානි භටයෙකුට ඔහු කැමති ආකාරයකට තීරණය ගන්න පුළුවන් වුණත්, ඔහු ඔහුගේ තීරණයේ විපාක දැරිය යුතුයි. පාවුල් මෙසේ හේතු සාධක දක්වනවා: “හේවාකම් කරන්නාවූ කිසිවෙක්, ඔහු හේවායෙකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස, මේ ජීවිතයේ [වාණිජ, NW] කාරණාවලට පටලැවෙන්නේ නැත. තවද යමෙක් ක්‍රීඩාවන්හි පොරට යන්නේද, ඔහු [නීති ප්‍රකාර, NW] නොයන්නේ නම් ඔටුන්න පැළඳගන්ට ලැබෙන්නේ නැත.” (2 තිමෝති 2:4, 5) පාලක මණ්ඩලයේ සිටින අය ඇතුළු මේරූ ක්‍රිස්තියානීන්, සදාකාල ජීවනයේ ත්‍යාගය ලබාගන්නා පිණිස “නීති” රැකීමෙන් ඔවුන්ගේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස් ඉදිරියේ සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටිනවා.—යොහන් 17:3; එළිදරව් 2:10.
19. ක්‍රිස්තියානි කැපවීම ගැන කාරණා පරීක්ෂා කළාට පසු, අප ස්ථිර වන්නේ කුමක් ගැනද?
19 යෙහෝවාගේ සාක්ෂිකාරයන් දෙවිගේ සේවකයන් මිස මිනිසුන්ගේ දාසයන් නොවන බව මේ කාරණා පැහැදිලි කරන්නේ නැද්ද? දෙවිගේ සභාවේ සිටින තම සහෝදරයන් සමඟ ඔවුන් එක්සත්ව සේවය කරද්දී, ක්‍රිස්තුස් ඔවුන්ව නිදහස් කිරීම හේතුවෙන් නිදහස භුක්ති විඳින කැප වූ ක්‍රිස්තියානීන් හැටියට, ඔවුන් දෙවිගේ ආත්මයට සහ ඔහුගේ වචනයට තම ජීවිත පාලනය කිරීමට ඉඩහරිනවා. (ගීතාවලිය 133:1) තම ශක්තියේ උල්පත පිළිබඳ ඕනෑම සැකයක් මේ සාක්ෂි මකා දැමිය යුතුයි. ගීතිකාකරු සමඟ ඔවුන්ට මෙසේ ගයන්න හැකියි: “[යෙහෝවා] මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත [ඔහු] කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් [ඔහුට] ප්‍රශංසා කරන්නෙමි.”—ගීතාවලිය 28:7.
[පාදසටහන]
a The Watchtower Bible and Tract Society of New York, Inc., මගින් 1993දී ප්‍රකාශයට පත් කරන ලදි.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ වොච් ටවර් සමිතිය සහ සමාන නීතික නියෝජ්‍ය ආයතන යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට උපකාර කරන්නේ කෙසේද?
◻ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ පාලක මණ්ඩලයේ කාර්යභාරයෙන් ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
◻ යෙහෝවාගේ සෙනඟ ඔවුන්ගේ දේශනා ක්‍රියාකාරකම් වාර්තා කරන්නේ මන්ද?
◻ කැප වූ ක්‍රිස්තියානියෙකුව සභා ඇසුරෙන් කපාහැරීම යෝග්‍ය වන්නේ කිනම් තත්වයන් යටතේද?
[19වන පිටුවේ පින්තූරය]
පළමු ශතවර්ෂයේ පාලක මණ්ඩලය මූලධර්මවල ඒකීයභාවය රැකගත්තා
[23වන පිටුවේ පින්තූරය]
ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ක්‍රිස්තුස් ඔවුන්ව නිදහස් කිරීම හේතුවෙන් නිදහස භුක්ති විඳිනවා