ඔවුන් තමුන්ටම කීර්තිමත් නාමයක් ඇති කරගත්තේ නැහැ
අපකීර්තිමත් බාබෙල් කොත සෑදූ අයගේ නම් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. වාර්තාව මෙසේ පවසයි: “ඔව්හු: එන්න, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට [කීර්තිමත්, NW] නාමයක් සාදාගනිමුයයි කීවෝය.”—උත්පත්ති 11:4.
“ඔව්හු” කිව්වේ කාටද? මෙම සිද්ධිය සිදු වුණේ ජලගැල්මෙන් අවුරුදු 200කට පමණ පසුවයි. ඒ වන විට අවුරුදු 800ක් පමණ වයස්ව සිටි නෝවා තම දහස් සංඛ්‍යාත පැවතෙන්නන් අතරේ ජීවත්ව සිටියා. ඔවුන් සියල්ලන්ම එකම භාෂාව කතා කළ අතර, ජලගැල්මෙන් පසු ඔහු සහ ඔහුගේ පුතුන් පදිංචි වූ සාමාන්‍ය ප්‍රදේශයේ එකට ජීවත් වුණා. (උත්පත්ති 11:1) එම කාලයේදීම පමණ, නැඟෙනහිර දෙසට මෙයින් වැඩි පිරිසක් ගමන් කළ අතර “ෂිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බ [විය].”—උත්පත්ති 11:2.
අසීමිත අසාර්ථකත්වයක්
මෙම සමභූමියේදී තමයි දෙවිට විරුද්ධව කැරලි ගසන්න කණ්ඩායම තීරණය කළේ. ඒ කෙසේද? “බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න” යයි පළමු මිනිස් යුවළට යෙහෝවා අණ කිරීමෙන් යෙහෝවා දෙවි තම අරමුණ ප්‍රකාශ කර තිබුණා. (උත්පත්ති 1:28) මෙය නෝවාටත් ඔහුගේ පුතුන්ටත් ජලගැල්මෙන් පසු නැවත පැවසුවා. දෙවි මෙසේ ඔවුන්ට උපදෙස් දුන්නා: “නුඹලා වනාහි සඵලවෙමින් බෝවෙන්න: පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්න.” (උත්පත්ති 9:7) යෙහෝවාගේ මඟ පෙන්වීමට විරුද්ධව යමින්, “මුළු පොළෝතලයෙහි” ඔවුන් “විසිර නොයන පිණිස” සෙනඟ නුවරක් සෑදුවා.
තමන්ට “[කීර්තිමත්] නාමයක්” ඇති කරගැනීමේ අරමුණින් සෙනඟ කොතක්ද සාදන්න පටන්ගත්තා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුවලට වෙනස්ව, කොත ගොඩනැඟීමේ ව්‍යාපෘතිය ඔවුන් නිම කළේ නැහැ. බයිබල් වාර්තාව පවසන්නේ ඔවුන්ට එකිනෙකාව තේරුම්ගැනීමට නොහැකි වන පිණිස යෙහෝවා ඔවුන්ගේ භාෂාව අවුල් කළ බවයි. “මෙසේ [යෙහෝවා] එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් [විසිරෙව්වේය]. ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය” කියා ආනුභාවය ලත් වාර්තාව පවසයි.—උත්පත්ති 11:7-9.
සාදන්නන්ගේ නම් කවමදාවත් “කීර්තිමත්” හෝ හොඳින් දැනගත් ඒවා බවට පත් නොවීමෙන් මෙම අවදානම් වැඩයේ අසීමිත පරාජය කැපීපේනවා. ඇත්තෙන්ම, ඔවුන්ගේ නම් නොදන්නා අතර මනුෂ්‍ය ඉතිහාසයෙන් ඒවා මකා දමා තිබෙනවා. නමුත් නෝවාගේ පුතෙකුගේ මුනුපුරෙක් වූ නිම්රොද් ගැන කුමක් කිව හැකිද? දෙවිට විරුද්ධව කළ මේ කැරැල්ලේ නායකයා වූයේ ඔහු නෙවෙයිද? ඔහුගේ නම හොඳින් දන්නවා නෙවෙයිද?
නිම්රොද්—නිග්‍රහාත්මක කැරලිගසන්නෙක්
කල්ලියේ නායකයාව සිටියේ නිම්රොද් බව නොඅනුමානයි. උත්පත්ති 10වන පරිච්ඡේදයේ ඔහුව හඳුන්වා දෙන්නේ “[යෙහෝවා] ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක්” හැටියටයි. (උත්පත්ති 10:9) “ඔහු පොළොවෙහි බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය” කියාද ශුද්ධ ලියවිලි පවසනවා. (උත්පත්ති 10:8) නිම්රොද් යුධ දක්ෂයෙක්, ප්රචණ්ඩත්වයේ මිනිසෙක් වුණා. තමාවම රජෙක් හැටියට පත් කරගනිමින්, ඔහු ජලගැල්මෙන් පසු පළමු මිනිස් පාලකයා බවට පත් වුණා. නිම්රොද්ද ගොඩනඟන්නෙක් වුණා. බාබෙල් ඇතුළුව, නගර අටක් ගොඩනැඟීමේ ගෞරවය බයිබලය ඔහුට පිරිනමනවා.—උත්පත්ති 10:10-12.
එහෙයින්, දෙවිට එරෙහි වූ තැනැත්තෙක්, බාබෙල්හි රජ හා නගර සාදන්නෙක් වූ නිම්රොද් නිසැකවම බාබෙල් කොත ගොඩනැඟීමේද සහභාගි වුණා. ඔහු තමාටම කීර්තිමත් නාමයක් සාදාගත්තේ නැද්ද? නිම්රොද් යන නම සැලකිල්ලට ගනිද්දී, ප්රාචීනඥයෙකු වන ඊ. එෆ්. සී. රෝසන්ම්යුල’ මෙසේ ලිව්වා: “ ‘ඔහු කැරලි ගැසුවා,’ ‘ඔහු අතහැර ගියා’ යන හෙබ්‍රෙව් අරුත් ඇති [මාරාද්ʹ] යන වචනයෙන් නිම්රොද්ට නම ලැබුණා.” ඊළඟට රෝසන්ම්යුල’ මෙසේ පැහැදිලි කරයි: “තම උදාර පුද්ගලයන්ට, ඔවුන්ගේ මරණින් පසු ලද නමින් ඇමතීමට පුරුදුව සිටීම ප්රාචීනයන් අතර අහඹු දෙයක් නොවෙයි. තවද මෙයින් සමහරක් අවස්ථාවලදී, නාම හා කළ දේවල් අතර පුදුමාකාර එකඟතාවක් ඉස්මතු වෙයි.”
නිම්රොද් යන නම උපතේදී නොලැබුණු එකක්ය යන මතය විශාරදයන් කිහිපදෙනෙක් අතරේ පොදු එකක් වී තියෙනවා. ඒ වෙනුවට, ඔහුගේ කැරලිකාර චරිතය එළිදැකීමට පටන්ගත් පසු ඔහුට දුන් නමක් ලෙසට ඔවුන් එය සලකනවා. උදාහරණයක් හැටියට, සී. එෆ්. කය’ල් මෙසේ ප්‍රකාශ කරනවා: “[මාරාද්ʹ] යන වචනයෙන් පැමිණෙන නිම්රොද්, එනම් ‘අප නැඟී සිටිමුව’ යන නමම, දෙවිට එරෙහිව යම් ප්‍රචණ්ඩකාරි විරෝධතාවකට යොමු දක්වනවා. එය එතරම්ම සුවිශේෂී වන නිසාම එය දීමට හැකිව තිබුණේ ඔහුගේ සමකාලීනයන්ට පමණයි; මෙබැවින් එය පෞද්ගලික නමක් බවට පත් වුණා.” පාදසටහනක, ජේක’බ් පෙරිසෝනියස් විසින් ලිව්වායයි කියන කොටසක් කය’ල් මෙසේ උපුටා දක්වයි: “භයානක දඩයම් කරන්නෙක් හා සහෘදයන් රොත්තකින් වටව සිටි කෙනෙක් හැටියට, අන් සියල්ලන්වම කැරලිගැසීමට පෙලඹවීම සඳහා, ‘නිම්රොද්, නිම්රොද්’ එනම්, ‘අපි කැරලිගසමු! අපි කැරලිගසමු!’ යන වචනය මේ මිනිසා [නිම්රොද්] එයාකාරයෙන් පැවසූ බවත් ඔහුගේ කටේ එය සැමවිටම තිබුණු බවත් මම විශ්වාස කරනවා. ඒ හේතුවෙන්, පසු කාලයකදී, වෙනත් අය විසින්, මෝසෙස් විසින් පවා, පෞද්ගලික නමක් ලෙස එම වචනය යොදාගෙන ඔහුව ඇමතුවා.”
පැහැදිලිවම නිම්රොද් තමාටම කීර්තිමත් නාමයක් සාදාගත්තේ නැති බව පැහැදිලියි. ඔහුට උපතේදී දුන් නම පෙනෙන ප්‍රකාරයට නොදැන සිටියි. ඔහුගේ නායකත්වය අනුගමනය කළ අයගේ නාම මෙන්, එයත් ඉතිහාසයෙන් මකා දමා තිබෙනවා. තම නම ගෙනයෑමට හැකියාව තිබූ කිසිම කෙනෙක්වත් ඔහුට හිටියේ නැහැ. මහිමය හා කීර්තිය ලබනවා වෙනුවට, ඔහුව අපකීර්තියෙන් පළඳවා තිබෙනවා. යෙහෝවා දෙවිට අඥානව අභියෝග කළ නිග්‍රහාත්මක කැරලිගසන්නෙක් හැටියට නිම්රොද් යන නම ඔහුව සදහටම හංවඩු ගසා තිබෙනවා.