පුද්ගල දෙවි වන යෙහෝවාව දැනගන්න
“හෙබ්‍රෙව්වන්ගේ දෙවියෝ වෙනස් ආකාරයේ කෙනෙක්. ඔහු පුද්ගලයෙක්, ඉතිහාසය පුරාම ක්‍රියාශීලියි, ඒ වගේම මේ දියුණු වන ලෝකයේ වෙනස්කම් සහ අවස්ථාවන් ගැන උනන්දුව දක්වන කෙනෙක්. ඔහු අපි සමඟ අදහස් හුවමාරු කරන කෙනෙක්.” වෙනත් ආගමික ක්‍රම සමඟ දෙවි පිළිබඳ හින්දු සංකල්පය සසඳමින් ඉන්දියාවේ සිටින ආචාර්ය රාධක්‍රිෂ්ණන් එසේ නිරීක්ෂණය කරනවා.
බයිබලයේ සඳහන් දෙවි සඳහා හෙබ්‍රෙව් නාමය יהוה වන අතර, පොදුවේ “යෙහෝවා” ලෙස එය පරිවර්තනය කරනවා. ඔහු අන් හැම දෙවිවරුන්ටම වඩා උත්තරීතරයි. ඔහු ගැන අපි දන්නේ මොනවාද? බයිබල් කාලවල සිටි මිනිසුන් සමඟ ඔහු කටයුතු කළේ කෙසේද?
යෙහෝවා සහ මෝසෙස් “මුහුණට මුහුණලා”
වචනානුසාරයෙන්ම මෝසෙස්ට දෙවිව දකින්න නොලැබුණත්, යෙහෝවා හා ඔහුගේ සේවක මෝසෙස් අතර, “මුහුණට මුහුණලා” සමීප මිත්‍රත්වයක් පැවතුණා. (ද්විතීය කථාව 34:12; නික්මයාම 33:20) මෝසෙස්ගේ තරුණ අවදියේදී ඔහුගේ හෘදය, එවකට මිසරයේ වහලුන්ව සිටි ඉශ්රායෙල්වරුන් සමඟ බැඳී පැවතුණා. ඔහු ඵාරාවෝගේ නිවසේ සාමාජිකයෙක්ව විසීම ප්‍රතික්ෂේප කර, ‘දෙවිගේ සෙනඟ සමඟ දුක් විඳීම තෝරාගත්තා.’ (හෙබ්‍රෙව් 11:26) ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා මෝසෙස්ට විශේෂ වරප්‍රසාද බොහොමයක් දානය කළා.
ඵාරාවෝගේ නිවසේ සාමාජිකයෙක් වශයෙන්, “මෝසෙස් තෙම මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු” ලැබුවා. (ක්‍රියා 7:22) එනමුත්, ඉශ්රායෙල් ජාතියට මඟ පෙන්වන්න ඔහුට නිහතමානීකමේ, ඉවසීමේ සහ මෘදුකමේ ගුණාංග වර්ධනය කරගන්නත් අවශ්‍ය වුණා. ඔහු මෙය කළේ, වසර 40ක් පුරා මිදියන්හි එඬේරෙක්ව සිටි සමයේදීයි. (නික්මයාම 2:15-22; ගණන් කථාව 12:3) යෙහෝවා අදෘශ්‍යමානව සිටිමින්ම තමාවත් තමන්ගේ අරමුණත් මෝසෙස්ට එළිදරව් කළා; ඒ වගේම දේවදූතයන් මාර්ගයෙන් දසපනත ඔහුට බාර දුන්නා. (නික්මයාම 3:1-10; 19:3–20:20; ක්‍රියා 7:53; හෙබ්‍රෙව් 11:27) ‘මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයා සමඟ මුහුණට මුහුණලා කතා කරන්නාක් මෙන් යෙහෝවා මෝසෙස් සමඟ කතා කළා’ කියා බයිබලය අපිට කියනවා. (නික්මයාම 33:11) ඇත්තෙන්ම යෙහෝවාම කියා සිටියේ මෙසේයි: ‘මම ඔහු සමඟ මුවෙන් මුව කතා කරමි.’ මෝසෙස් මොනතරම් අනර්ඝ, සමීප සබඳතාවක් භුක්ති වින්දාද ඔහුගේ අදෘශ්‍යමාන මුත්, පුද්ගල දෙවි සමඟ!—ගණන් කථාව 12:8.
ඉශ්රායෙල් ජාතියේ මුල් ඉතිහාසය ගැන වාර්තා කරනවාට අමතරව, ව්‍යවස්ථා සංග්‍රහයත් ඉන් අත් වන ප්‍රතිවිපාකත් මෝසෙස් වාර්තා කළා. ඔහුට තවත් අමිල වරප්‍රසාදයක් බාර දුන්නා—එනම්, උත්පත්ති පොත ලිවීම. පොතේ අග කොටස ඔහුගේම පවුල තුළින් නිවැරදිව දැන සිටි ඉතිහාසය නිසා එය වාර්තා කරන්න බොහෝදුරට පහසු වුණා. නමුත් මෝසෙස්, මිනිසාගේ මුල්ම ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත්තේ කොහෙන්ද? මූලාශ්‍ර හැටියට පාවිච්චි කරන්න, මෝසෙස් ළඟ ඔහුගේ ආදි පිතෘවරුන් ආරක්ෂා කළ පුරාණ ලිඛිත ලියවිලි තිබුණා වෙන්න ඇති. අනික් අතට, වාචිකව හෝ යෙහෝවා කෙළින්ම දිව්‍ය එළිදරව් කිරීමක් මාර්ගයෙන් ඔහුට තොරතුරු ලබා දුන්නා වෙන්නත් පුළුවන්. පුරාණ කාලවල විසූ ගෞරවාන්විත මිනිසුන්, මෝසෙස් දෙවි සමඟ භුක්ති වින්ද පෞද්ගලික සබඳතාව බොහෝ කලක සිට ඒත්තුගෙන සිටියා.
යෙහෝවා—එලියාගේ පුද්ගල දෙවි
අනාගතවක්තෘ එලියා පවා පුද්ගල දෙවිකෙනෙක් හැටියට යෙහෝවාව දැනගෙන හිටියා. කානානීය දෙවිවරුන්ගේ ප්‍රධාන දෙවියා බාල්. ඔහුට නමස්කාර කරන්නන්ගේ මහත් වෛරය සහ විරෝධතාවල ඉලක්කය වෙමින් සිටීම හමුවේ එලියා නිර්මල නමස්කාරය උදෙසා ජ්වලිතයෙන් යෙහෝවාට සේවය කළා.—1 රාජාවලිය 18:17-40.
ඉශ්රායෙල්හි රජ ආහබ් සහ ඔහුගේ බිරිඳ යෙසෙබෙල් එලියාව මරන්න සෙව්වා. පණ බේරාගන්න එලියා මළ මුහුදට බටහිරින් පිහිටි, බෙයෙර්-ෂෙබා වෙත පලාගියා. එහිදී ඔහු පාළුකරයේ මංමුළා වී මැරෙන ලෙස ඉල්ලා යාච්ඤා කළා. (1 රාජාවලිය 19:1-4) යෙහෝවා ඔහුව අතහැර දැමුවාද? තම විශ්වාසවන්ත සේවකයා ගැන ඔහුට තවදුරටත් උනන්දුවක් තිබුණේ නැද්ද? එලියා එහෙම හිතුවා වෙන්න ඇති; නමුත් ඔහු කොපමණ වැරදි වුණාද! යෙහෝවා පසුව ඔහුට සන්සුන්ව කතා කර මෙසේ ඇසුවා: ‘එලියා, නුඹ මෙහි මක් කරනවාද?’ අධිස්වාභාවික බලය චමත්කාරජනක ලෙස නිරූපණය කිරීමකින් පසුව, “[නැවතත්] හඬක් ඔහු වෙතට පැමිණ: එලියා, නුඹ මෙහි මක්කරනවාද” කියා ඇසුවා. යෙහෝවා තම විශ්වාස කටයුතු සේවක එලියාව දිරිගැන්වීමට ඔහු කෙරෙහි මේ ආකාරයේ පෞද්ගලික උනන්දුවක් පිළිබිඹු කළා. එලියාට කිරීම සඳහා දෙවි ළඟ තව බොහෝ වැඩ තිබුණා. එලෙස එලියා ආරාධනයට ඉතා ඕනෑකමින් ප්‍රතිචාරය දැක්වූවා! එලියා ඔහුගේ පුද්ගල දෙවි යෙහෝවාගේ නාමය විශුද්ධවත් කරමින් ඔහුගේ පැවරුම විශ්වාසවන්තව ඉටු කළා.—1 රාජාවලිය 19:9-18.
යෙහෝවා ඉශ්රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කළාට පසුව, පොළොව මත සිටින ඔහුගේ සේවකයන්ට තවදුරටත් පෞද්ගලිකව කතා කළේ නැහැ. ඔවුන් කෙරෙහි ඇති ඔහුගේ උනන්දුව පිරිහුණා කියා ඉන් අදහස් කළේ නැහැ. ඒ වන විටත් ඔහුගේ ශුද්ධාත්මය මාර්ගයෙන්, ඔහුගේ සේවය තුළ සිටි ඔහුගේ සේවකයන්ට මඟ පෙන්වා ඔවුන්ව දිරිගැන්වූවා. කලින් සාවුල් ලෙස හැඳින්වූ ප්‍රේරිත පාවුල්ව උදාහරණයට ගන්න.
ශුද්ධාත්මය පාවුල්ට මඟ පෙන්වයි
සාවුල් පැමිණියේ කීර්තිමත් නුවරක් වන කිලිකියේ තාර්සස්වලින්. ඔහුගේ දෙමාපියන් හෙබ්‍රෙව්වන් වූවත්, ඔහු උපත ලැබුවේ රෝම පුරවැසියෙක් හැටියටයි. කෙසේවෙතත්, සාවුල්ගේ හැදී වැඩීම සිදු වුණේ ඵරිසිවරුන්ගේ දැඩි විශ්වාසයන්ට අනුකූලවයි. පසුව යෙරුසලමේදී, ප්‍රසිද්ධ ව්යවස්ථාචාර්යෙක් වූ “ගමාලියෙල්ගේ පාදමූලයෙහි” ඉගෙනගන්න ඔහුට ප්‍රස්තාව ලැබුණා.—ක්‍රියා 22:3, 26-28.
යුදෙව් සම්ප්‍රදායන් සඳහා සාවුල්ගේ නොමඟ ගිය ජ්වලිතය සම්බන්ධයෙන් කියනවා නම්, ඔහු යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව දියත් කළ කුරිරු ව්‍යාපාරයට හවුල් වුණා. ඔහු මුල්ම ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයා වන ස්තේපන්ව ඝාතනය කිරීමට පවා අනුමැතිය දුන්නා. (ක්‍රියා 7:58-60; 8:1, 3) කලින් අපහාස කරන්නෙක්ව, පීඩා කරන්නෙක්ව සහ නින්දා කරන්නෙක්ව සිටියත්, ඔහු ‘නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවා’ කියා පසුව ඔහු පිළිගත්තා.—1 තිමෝති 1:13.
දෙවිට සේවය කිරීමේ අව්‍යාජ ආශාවකින් සාවුල්ව පොලඹවනු ලැබුවා. දමස්කයට යන පාරේදී ඔහුගේ හැරීමෙන් පසුව යෙහෝවා ඔහුව අසාමාන්‍ය ලෙස පාවිච්චි කළා. නැවත නැඟුටුණු ක්‍රිස්තුස්, ඔහුට උපකාර කිරීමට මුල් ක්‍රිස්තියානි ගෝලයෙක් වන අනනියස්ට මඟ පෙන්වනු ලැබුවා. එතැන් පටන්, යුරෝපයේ කොටස්වලත්, සුළු ආසියාව පුරාත් දිගු මෙන්ම ඵලබර සේවයක් ඉටු කරන්න යෙහෝවාගේ ශුද්ධාත්මය පාවුල්ට (ක්‍රිස්තියානිවරයෙක් හැටියට ප්‍රසිද්ධ වූ සාවුල්ගේ රෝමානු නාමය) මඟ පෙන්වනු ලැබුවා.—ක්‍රියා 13:2-5; 16:9, 10.
ශුද්ධාත්මය මගින් සපයන එම මඟ පෙන්වීමම අදදිනත් හඳුනාගන්න පුළුවන්ද? ඔව්, පුළුවන්.
යෙහෝවාගේ පෞද්ගලික උනන්දුවට අදේවවාදය බාධාවක් නොවේ
ජෝසෆ් එෆ්. රද’ෆ’ඩ් වොච් ටවර් සමිතියේ දෙවන සභාපතිවරයායි. වර්ෂ 1906දී, එවකට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්වූ ආකාරයට බයිබල් ශිෂ්‍යයෙක් ලෙස ඔහු බව්තීස්මය ලැබුවා. ඊළඟ අවුරුද්දේදී, සමිතියේ නීතික අංශයට පත් කරනු ලැබ, 1917දී සමිතියේ සභාපති බවට පත් වුණා. නමුත්, යම් කාලයක මේ තරුණ නීතිඥයා අදේවවාදියෙක්ව සිටියා. ඔහු යෙහෝවාගේ මෙපමණ පොලඹවනසුලු ක්‍රිස්තියානි සේවකයෙක් වුණේ කොහොමද?
රද’ෆ’ඩ් 1913 ජූලි මාසයේදී අ.එ.ජ. මැසචුසෙට්ස්, ස්ප්රිංෆීල්ඩ්හි පැවැත්වූ ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමයේ සමුළුවක සභාපති හැටියට සේවය කළා. ද හෝම්ස්ටෙඩ් නම් ප්‍රාදේශීය පුවත්පතේ වාර්තාකරුවෙක් රද’ෆ’ඩ් සමඟ පිළිසඳරක යෙදුණු අතර, එම වාර්තාව එම සමුළුවේ අනුස්මරණ විවරණිකාවක් හැටියට යළි මුද්‍රණය කළා.
ඔහු විවාහ වෙන්න සැලසුම් කළ අවදියේ ඔහු බැප්ටිස්ට් නිකායෙත්, ඔහුගේ බිරිඳ වෙන්න සිටි තැනැත්තිය ප්‍රෙස්බිටේරියානු නිකායෙත් ආගමික අදහස් උදහස්වලට සම්බන්ධව සිටියා කියා ඔහු පැහැදිලි කළා. “ඇය බව්තීස්ම ලබා නැති නිසා ඇය නිරාගින්නට යන බවත්, ඔහු බව්තීස්ම ලබා ඇති නිසා කෙළින්ම ස්වර්ගයට යන බවත්” බැප්ටිස්ට් පාස්ටර් ඔහුට කී විට, “ඔහුගේ තර්කානුකූල මනසට බලවත් පිළිකුලක් ඇති වී ඔහු අදේවවාදියෙක් වුණා.”
පුද්ගල දෙවිකෙනෙකු කෙරෙහි ඔහුගේ ඇදහිල්ල යළි ගොඩනඟාගන්න රද’ෆ’ඩ්ට වසර කිහිපයක් සාවධානී පර්යේෂණවල යෙදෙන්න සිදු වුණා. “මනස තෘප්තිමත් කරන්න හැකියාවක් නැති දේවලට හෘදය තෘප්තිමත් කරන්න අයිතියක් නැත” යන උපකල්පනය මත ඔහු තර්ක කළා කියා ඔහු කිව්වා. රද’ෆ’ඩ් එයට එකතු කරමින් පැහැදිලි කළේ මෙසේයි; ක්‍රිස්තියානීන් “ඔවුන් විශ්වාස කරන ශුද්ධ ලියවිලි සත්‍යය බවට නිසැක විය යුතුයි. ඔවුන් රැඳී සිටින අත්තිවාරම ඔවුන් දැනගෙන සිටිය යුතුයි.”—2 තිමෝති 3:16 බලන්න.
ඔව්, අදදින පවා, අදේවවාදියෙකුට හෝ අඥෙයවාදියෙකුට ශුද්ධ ලියවිලි සෝදිසි කර, ඇදහිල්ල ගොඩනඟාගෙන යෙහෝවා දෙවි සමඟ ශක්තිමත් පෞද්ගලික සබඳතාවක් වර්ධනය කරගන්න පුළුවන්. වොච් ටවර් සමිතියේ ප්රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත ආධාරයෙන් බයිබලය පරෙස්සමින් අධ්‍යයනය කළ පසු එක් තරුණ මිනිසෙක් මෙසේ පිළිගන්නවා: “මේ පොත පාඩම් කරන්න පටන්ගද්දී මම දෙවි කෙරෙහි විශ්වාස කළේ නැහැ. ඒත් බයිබලය ගැන දැනුම, මම හිතන විදිහ සම්පූර්ණයෙන්ම පෙරළලා තියෙන බව මම දැනගත්තා. මම යෙහෝවාව දැනගන්නත් එයා කෙරෙහි විශ්වාස කරන්නත් පටන් අරන් තියෙනවා.”
“අඥානයා” සහ දෙවි
“දෙවිගේ පැවැත්ම ඔප්පු කරන්න හෝ විවාද කරන්න පුගි [හෙබ්‍රෙව් ලියවිල්ල] කිසිදු ලේඛකයෙකුට කිසිදා අවශ්‍ය නොවීය” කියා ආචාර්ය ජේම්ස් හේස්ටිංස් එ ඩික්ෂනරි ඔෆ් ද බයිබල්හි (බයිබලය පිළිබඳ ශබ්දකෝෂයක්) කියා සිටින අතර, තවදුරටත් එහි කියන්නේ මෙසේයි: “දෙවිගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම හෝ එය ඔප්පු කිරීම සමස්තයක් හැටියට පුරාණ ලෝකයේ නැඹුරුවාව නොවේ. එම විශ්වාසය මනුෂ්‍ය මනසට ස්වභාවයෙන් පැමිණෙන සහ සියලුම මිනිසුන්ට පොදු එකක් විය.” ඇත්තවශයෙන්ම, එවකට සිටි හැමදෙනාම දේවභයැති අය කියා මෙයින් අදහස් කරන්නේ නැහැ. නැහැ, එය කොහෙත්ම ඇත්තක් නෙවෙයි. ගීතාවලිය 14:1 සහ 53:1 යන දෙතැනම [NW] සඳහන් කරන්නේ, “සංවේදනයෙන් තොර තැනැත්තා” නැත්නම් 1938 පරණ අනුවාදයේ හැටියට, ‘අඥානයා යෙහෝවා නැතැයි’ තම හෘදයෙන් කියා තිබෙන බවයි.
කුමන ආකාරයේ කෙනෙක්ද මේ, දෙවිගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අඥාන පුද්ගලයා? ඔහු බුද්ධිය අතින් නූගතෙක් නෙවෙයි. ඒ වෙනුවට නා·වල්ʹ යන හෙබ්‍රෙව් වචනය යොමු දක්වන්නේ, සදාචාර ඌනතාවකටයි. මොහුගේ ඇති වරද “ඔහු සතු තර්ක කිරීමේ දුර්වලකමක් නෙවෙයි; නමුත් සදාචාර සහ ආගමික වශයෙන් අසංවේදීතාවක්, සිහිය හෝ අවබෝධය ඌනවීමේ අන්තයටම යෑමක්” කියා ද පැරලල් සෝල්ට’ (සමාන ගීතිකා පොතක්) සඳහා කරුණු දක්වමින් මහාචාර්ය එස්. ආර්. ඩ්‍රයිව’ පවසනවා.
එවැනි ආකල්පයක ප්‍රතිඵලයක් වන සදාචාර බිඳවැටීමක් ගැන ගීතිකාකරු මෙහෙම පැහැදිලි කරනවා: “ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.” (ගීතාවලිය 14:1) ආචාර්ය හේස්ටිංස් මෙය මෙසේ සාරංශ කරනවා: “දෙවි මෙලොව නොසිටීම සහ දඬුවම නොතිබීම මත පදනම්ව මනුෂ්‍යයෝ දූෂිත වී සිටිත්; එමෙන්ම පිළිකුල් ක්‍රියා කරත්.” ඔවුන් ප්‍රසිද්ධියේ අදේව ප්‍රතිපත්ති වැලඳගන්නා අතර, ඔවුන් විසින් වගකියන්න කොහෙත්ම කැමැත්තක් නැති පුද්ගල දෙවිකෙනෙකුව සලකන්නේ නැහැ. ගීතිකාකරු ඔහුගේ වචන දැනට වසර 3,000කට කලින් ලියනු ලැබුවත්, ඒ ආකාර සිතුවිල්ලේ යෙදීම අදදින පවා අඥාන මෙන්ම සංවේදනයෙන් තොරකමකි.
අපේ පුද්ගල දෙවිගෙන් අනතුරු ඇඟවීමක්
අපේ ආරම්භක ලිපිවල මතු කළ ප්‍රශ්නවලට අපි දැන් නැවත යමු. බොහෝ මිනිසුන්ට පුද්ගල දෙවිකෙනෙකු සහ අදදින ලොව හාත්පස පැතිර ඇති දුක් වේදනා අතර එකඟත්වයකට පැමිණීමට නොහැකි වී තිබෙන්නේ ඇයි?
‘ශුද්ධාත්මය විසින් පොලඹවනු ලැබ, දෙවිගෙන් ලැබූ ලෙස කතා කළ’ මිනිසුන්ගේ ලිඛිත තොරතුරු බයිබලයේ අඩංගුයි. (2 පේතෘස් 1:21) එම කාරණය පමණක්ම පුද්ගල දෙවි යෙහෝවාව අපිට හෙළි කරනවා. මිනිසුන්ට නොපෙනෙන, මනුෂ්‍ය සිතුවිලි පාලනය කරන සහ මෙහෙයවන බලවත්, නපුරු පෞද්ගලිකත්වයක් ගැනත් එය අපිට හෙළි කරනවා—ඒ තමයි සාතන් නමැති යක්ෂයා. පුද්ගල දෙවිකෙනෙකු කෙරෙහි අපිට විශ්වාසයක් නැත්නම්, පුද්ගල යක්ෂයෙකුත් නැත්නම් සාතන් කෙනෙක් සිටිනවා කියා අපි තර්කානුකූලව විශ්වාස කරන්නේ කොහොමද?
“මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්ය” කියා දේවානුභාවයෙන් ප්‍රේරිත යොහන් ලිව්වා. (එළිදරව් 12:9) පසුව යොහන් මෙසේ කියා සිටියා: “අපි [දෙවිගෙන්] වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමුව.” (1 යොහන් 5:19) යොහන් ඔහුගේම සුවිශේෂයේ වාර්තා කරද්දී මේ කියමන් යේසුස්ගේ වචනවලින්ම පිළිබිඹු වෙනවා: “ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත.”—යොහන් 14:30.
දැන් මිනිසුන් විශ්වාස කරන දෙයට වඩා, මේ ශුද්ධ ලියවිලි ඉගැන්වීම කොතරම් වෙනස්ද! “යක්ෂයා ගැන කතා කිරීම අද සම්පූර්ණයෙන්ම පරණ තාලෙ දෙයක්. අපේ සැකයට බර වූ විද්‍යාත්මක යුගය සාතන්ට විශ්‍රාම දී ඇත” කියා කැතලික් හෙරල්ඩ් කියා සිටිනවා. එහෙත් තමා සම්බන්ධයෙන් මිනිමරු අභිප්‍රායෙන් සිටි මිනිසුන්ට යේසුස් ප්‍රබල ලෙස මෙසේ කියා සිටියා: “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය.”—යොහන් 8:44.
සාතන්ගේ බලය පිළිබඳ බයිබල් විස්තරය තේරුම්ගත හැකි එකක්. මිනිසුන්ගෙන් බහුතරයක් සාමකාමීව සහ එකඟව වාසය කරන්න ආශා කළත්, වෛරයෙන්, යුද්ධයෙන් සහ ඩ’න්බ්ලේන්හි (3 සහ 4 පිටුවල සඳහන්) සිදු වුණා වගේ අරමුණක් නැති සැහැසියාවෙන් ලොව පීඩා විඳින්නේ ඇයි කියා එය පැහැදිලි කරනවා. එපමණක්ද නොවෙයි; සාතන් කියන්නේ අප විසින් සටන් කළ යුතු තනියෙන් සිටින සතුරෙක් නෙවෙයි. යක්ෂයන් හෝ භූතයන්—එනම් බොහෝ කාලයකට ප්‍රථම මනුෂ්‍යවර්ගයාව රවටන්න සහ අයුතු ලෙස යොදවන්න, සාතන් හා අත්වැල් බැඳගත් දුෂ්ට ආත්ම මැවිලි ගැන බයිබලය අමතර අනතුරු ඇඟවීම් සපයනවා. (යූද් 6) බොහෝ අවස්ථාවල මේ ආත්ම යේසුස් ක්‍රිස්තුස්ට මුණගැසුණත්, ඔවුන්ව යටත් කරන්න ඔහුට හැකි වුණා.—මතෙව් 12:22-24; ලූක් 9:37-43.
දුෂ්ටකමෙන් මේ පොළොව පිරිසිදු කරන්නත්, අවසානයේදී සාතන්ගේ සහ ඔහුගේ භූතයන්ගේ ක්‍රියාකාරකම් මුලිනුපුටා දමන්නත් සැබෑ දෙවි යෙහෝවා අරමුණු කර තිබෙනවා. යෙහෝවා පිළිබඳ අපේ දැනුම මත පදනම්ව, ඔහුගේ පොරොන්දු කෙරෙහි දැඩි ඇදහිල්ලක් සහ විශ්වාසයක් ඇති කරගන්න අපිට හැකියි. ඔහු මෙසේ කියනවා: “මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත. මම, මමම, [යෙහෝවාය]; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.” යෙහෝවාව දන්න, ඔහුට නමස්කාර කරන සහ සේවය කරන සියලුදෙනාටම ඔහු සැබෑවටම පුද්ගල දෙවිකෙනෙක්. අපේ ගැළවීම සඳහා ඔහු දෙස පමණක් බලන්න අපිට හැකියි.—යෙසායා 43:10, 11.
[7වන පිටුවේ පින්තූරය]
මෝසෙස් උත්පත්ති 1:1 දේවානුභාවයෙන් ලිවීම දක්වන 18වන සියවසේ කැටයම් චිත්‍රයක්
[හිමිකම් විස්තර]
From The Holy Bible by J. Baskett, Oxford
[8වන පිටුවේ පින්තූරය]
යේසුස් ක්‍රිස්තුස් බොහෝ අවස්ථාවල භූතයන්ව යටත් කරගත්තා