හරියාකාර දූතයා හඳුනාගැනීම
“මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ට කරන්නාවූ . . . [තැනැත්තාය].”—යෙසායා 44:26.
1. යෙහෝවා හරියාකාර දූතයන්ව හඳුන්වා දෙන්නේ කොහොමද? ඔහු බොරු අයව හෙළි කරන්නේ කොහොමද?
යෙහෝවා දෙවි තම සැබෑ දූතයන් නොහොත් පණිවිඩකාරයන්ව හඳුන්වා දෙන උදාර තැනැත්තායි. ඔවුන් කවුද යන වග ඔහු හඳුන්වා දෙන්නේ ඔවුන් තුළින් ඔහු ඉදිරිපත් කරන පණිවිඩ සැබෑවීමට සැලැස්වීමෙන්. ඒ වගේම යෙහෝවා බොරු දූතයන්ව හෙළි කරන ශ්‍රේෂ්ඨ තැනැත්තායි. ඔහු ඔවුන්ව හෙළි කරන්නේ කොහොමද? ඔහු ඔවුන්ගේ ලකුණු සහ අනාවැකි පළ කිරීම් නිෂ්ඵල කරවනවා. මෙයාකාරයෙන්, ඔවුන් තමුන්ගේම බොරු තර්කවලින්—ඇත්තෙන්ම තමුන්ගේ මෝඩ, මාංසික කල්පනාවෙන් නැඟී එන පණිවිඩ ඉදිරිපත් කරන තමන් විසින්ම පත් කරගෙන සිටින පෙරනිමිති දක්වන්නන් බව ඔහු පෙන්නුම් කරනවා.
2. ඉශ්‍රායෙල්වරුන්ගේ කාලයේ දූතයන් අතර ඇති වුණේ මොන ගැටුමක්ද?
2 යෙසායා සහ එසකියෙල් යන දෙදෙනාම තමුන් යෙහෝවා දෙවිගේ දූතයන් බව කියා සිටියා. ඔවුන් එහෙම වුණාද? අපි බලමු. යෙසායා පො.යු.පෙ. 778 පමණ සිට, පො.යු.පෙ. 732ට පසුව ටික කලක් යන තුරු යෙරුසලමෙහි අනාවැකි කිව්වා. එසකියෙල් පො.යු.පෙ. 617දී වහලෙක් හැටියට බබිලෝනියට ගියා. ඔහු එහි සිටි තම යුදෙව් සහෝදරයන්ට අනාවැකි කිව්වා. යෙරුසලම විනාශ වන බව අනාගතවක්තෲන් දෙදෙනාම නිර්භීතව නිවේදනය කළා. දෙවි මෙහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා වෙනත් අනාගතවක්තෲන් කිව්වා. හරියාකාර දූතයන් බවට ඔප්පු වුණේ කවුද?
යෙහෝවා බොරු අනාගතවක්තෲන්ව හෙළි කරයි
3, 4. (අ) බබිලෝනියේ විසූ ඉශ්‍රායෙල්වරුන්ට ඉදිරිපත් කරනු ලැබුවේ එකිනෙකට විරුද්ධ මොන පණිවිඩ දෙකද? එමෙන්ම යෙහෝවා බොරු දූතයෙක්ව හෙළි කළේ කොහොමද? (ආ) බොරු අනාගතවක්තෲන්ට මොනවා වෙයි කියලද යෙහෝවා කිව්වේ?
3 එසකියෙල් බබිලෝනියේ ඉන්න කොට, යෙරුසලමේ දේවමාළිගාවෙහි සිදු වෙමින් තිබුණු දේවල් ගැන දර්ශනයක් ඔහුට දෙනු ලැබුවා. එහි නැඟෙනහිර දොරකඩ අසල පුරුෂයන් 25දෙනෙක් සිටියා. ඔවුන් අතර යාසනියා හා පෙලතියා යන අධිපතීන් දෙදෙනාත් හිටියා. යෙහෝවා ඔවුන්ව සැලකුවේ කොහොමද? එසකියෙල් 11:2, 3 මෙහෙම පිළිතුරු දෙනවා: “මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර දුෂ්ටකම් යෝජනාකරන්නාවූ, නපුරු මන්ත්‍රණ යොදන්නාවූ මනුෂ්‍යයෝ මොව්හුය. මොව්හු කථාකොට—ගෙවල් ගොඩනගන්ට කාලය ළං [වී නැද්ද?]” සමාදානයේ එම හිතුවක්කාර දූතයන් පවසමින් සිටියේ මෙයයි: ‘යෙරුසලමට අනතුරක් නැහැ. ඇයි, අපි ළඟදීම එහෙ තවත් ගෙවල් ගොඩනඟන්න යනවානේ!’ ඉතින් මෙම බොරුකාර දූතයන්ට විරුද්ධව අනාවැකි කියන්න දෙවි එසකියෙල්ට අණ කළා. ඔවුන්ගෙන් එක් කෙනෙක්ට සිදු වුණ දේ, එසකියෙල් අපිට 11වන පරිච්ඡේදයේ 13වන පදයෙහි කියනවා: “මා විසින් එසේ අනාගතවාක්‍ය කියද්දී බෙනායාගේ පුත්‍රවූ පෙලතියා මළේය.” පෙලතියා වඩාත්ම ප්‍රසිද්ධ මෙන්ම බලපුළුවන්කාරකම් ඇති අධිපතියා වගේම ප්‍රධානම රූප වන්දනාකරුවා වුණ හින්දා මෙහෙම වෙන්න ඇති. ඔහු බොරු අනාගතවක්තෘවරයෙක් කියන එකයි, ඔහුගේ හදිස්සි මරණය ඔප්පු කළේ.
4 යෙහෝවා පෙලතියාව ජීවිතක්ෂයට පත් කිරීම, වෙනත් බොරු අනාගතවක්තෲන් දෙවිගේ නාමයෙන් බොරු කියන එක නතර කළේ නැහැ. මෙම මුළාකරන්නෝ, දෙවිගේ කැමැත්තට විරුද්ධව අනාවැකි කීමේ තම මෝඩ ක්‍රියාමාර්ගයේ දිගටම නිරත වුණා. ඒ හින්දා යෙහෝවා එසකියෙල්ට මෙහෙම කිව්වා: “කිසිවක් නොදැක, තමුන්ගේම ආත්මය පස්සේ යන්නාවූ මෝඩවූ අනාගතවක්තෘවරුන්ට දුක්වේ!” පෙලතියා වගේ, මෙම බොරු අනාගතවක්තෲන් “සමාදානය නැති කල්හි” යෙරුසලම උදෙසා “සමාදාන දර්ශන” මැව්ව හින්දා, ඔවුන් ‘තවත් නැති’ තත්වයකට පත් වෙනවා.—එසකියෙල් 13:3, 15, 16.
5, 6. බොරු දූතයන් රාශියක් සිටියත්, යෙසායාව සැබෑ අනාගතවක්තෘ කෙනෙක් වශයෙන් නිදොස් කරනු ලැබුවේ කොහොමද?
5 යෙසායාව ගත්තොත්, යෙරුසලම ගැන ඔහු පැවසූ හැම දිව්‍ය පණිවිඩයක්ම සැබෑ වුණා. පොදු යුගයට පෙර 607 ගිම්හානයේදී, බබිලෝනිවරුන් නගරය විනාශ කරලා, ඉතුරු වූ යුදෙව්වන් කොටසක් බබිලෝනියට වහලුන් හැටියට ගෙනගියා. (2 ලේකම් 36:15-21; එසකියෙල් 22:28; දානියෙල් 9:2) මෙම විපත්ති සිදු වුණත්, බොරු අනාගතවක්තෲන් දෙවිගේ සෙනඟව හිස් දෙඩවිලි කන්දරාවකට ලක් කිරීමෙන් නැවතුණාද? නැහැ; බොරුකාර වූ එම දූතයන් දිගටම එහෙම කළා!
6 ඒ මදිවට, ඉශ්‍රායෙල් වහලුන් බබිලෝනියේ පුරසාරම් දොඩන ශාස්ත්‍රකාරයන්, පේනකියන්නන් සහ ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයන්ටත් නිරාවරණය වුණා. කොහොම වුණත්, එම බොරු දූතයන් සියලුදෙනාම සිදු වන දේ හරිහැටි නොදන්නා, බලාපොරොත්තු සුන් කරගත් මෝඩයන් බව යෙහෝවා ඔප්පු කර පෙන්නුවා. එසකියෙල් මෙන්ම යෙසායාද තම සැබෑ දූතයන් වූ බව ඔහු නියමිත කාලයේදී පෙන්නුම් කළා. පොරොන්දු වූවාක් මෙන්, ඔවුන් මාර්ගයෙන් දේවානුභාවයෙන් දුන් වදන් සියල්ල යෙහෝවා ඉටු කළා: “මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ [තැනැත්තාය]. මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ට කරන්නාවූ . . . [තැනැත්තාය].”—යෙසායා 44:25, 26.
බබිලෝනිය සහ යෙරුසලම ගැන තැතිගන්වන පණිවිඩ
7, 8. යෙසායාට බබිලෝනිය සඳහා තිබුණේ මොන දේවානුභාවය ලත් පණිවිඩයද? එමෙන්ම ඔහුගේ වචනවලින් අදහස් වුණේ මොකක්ද?
7 යූදා සහ යෙරුසලම අවුරුදු 70කට කිසිම මනුෂ්‍ය වාසයක් නැතුව පාළු වෙන්න තිබුණා. කොහොම වුණත්, එම නුවර නැවත ගොඩනංවන බවත්, පුරෝකථනය කරලා තිබුණු නියමිත කාලයේදීම දේශය ජනාවාස කරනු ලබන බවත්, යෙහෝවා යෙසායා සහ එසකියෙල් තුළින් ප්‍රකාශ කරලා තිබුණා. මෙය පුදුමසහගත අනාවැකි කීමක් වුණා. ඇයි? ඇගේ සිරකරුවන්ට කිසිදාක නිදහස නොදීම ගැන බබිලෝනිය ප්‍රසිද්ධත්වයක් ඉසිලූ හින්දයි. (යෙසායා 14:4, 15-17) ඉතින් මෙම වහලුන්ව ඇත්තටම නිදහස් කළ හැක්කේ කාටද? යෝධ පවුරුවලින් හා ගංගාවක් ආශ්‍රිත ආරක්ෂක පද්ධතියකින් ආරක්ෂා වී සිටි බලසම්පන්න බබිලෝනිය බිඳදමන්න පුළුවන් කාටද? ඒ හැකිකම තිබුණේ සර්ව බලධාරි යෙහෝවාටයි! ඇරත් එහෙම කරනවා කියලා ඔහු පැවසුවා: “ගැඹුරට [එනම් නුවරේ ජලය ආශ්‍රිතව සකස් වූ ආරක්ෂක පද්ධතියට]: හිඳෙන්න කියාද, . . . නුඹේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන [තැනැත්තා මමයි]. කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්—යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන [තැනැත්තාය].”—යෙසායා 44:25, 27, 28.
8 ඒ ගැන හිතලා බලන්න! මිනිසාට දැවැන්ත බාධකයක් වුණ එප්‍රාත් ගඟ, යෙහෝවාට නං හරියට ගිනියම් මතුපිටක් මත වැටෙන දිය බිඳක් හා සමාන වුණා! ප්ස්ස්ස්!, එම බාධකය ක්ෂණිකව වාෂ්ප වී යාවි! බබිලෝනිය වැටී යාවි. ප’සියානු ජාතික කෝරෙෂ්ගේ උපතට අවුරුදු 150කට පමණ කලින් වුණත්, මෙම රජු බබිලෝනිය අල්ලාගන්න බවත්, යෙරුසලම සහ එහි දේවමාළිගාව ආයෙත් ගොඩනඟන්න නැවත යන්න කියලා නියෝග කිරීමෙන් යුදෙව් වහලුන්ට නිදහස දෙන බවත් යෙහෝවා යෙසායා ලවා පුරෝකථනය කළා.
9. බබිලෝනියට දඬුවම් දීම සඳහා තම නියෝජිතයා වශයෙන් යෙහෝවා කාවද නම් කළේ?
9 අපිට මෙම අනාවැකිය යෙසායා 45:1-3හි සොයාගන්න පුළුවන්: “තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් . . . දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ [යෙහෝවා] ඔහුට මෙසේ කිය[න්නේය]: මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි. නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ . . . දෙවිවූ [යෙහෝවා] වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.”
10. කෝරෙෂ් “අභිෂේකලත්” කෙනෙක් වුණේ මොන ආකාරයකින්ද? එමෙන්ම ඔහුගේ උපතට අවුරුදු සීයකට වැඩිය කලින් යෙහෝවාට ඔහුට කතා කරන්න පුළුවන් වුණේ කොහොමද?
10 යෙහෝවා කෝරෙෂ්ට කතා කරන්නේ හරියට ඒ වෙද්දී ජීවත් වෙමින් හිටිය කෙනෙක්ට කතා කරනවා වගෙයි කියන එක සැලකිල්ලට ගන්න. යෙහෝවා “නැති දේ ඇති දේ මෙන් සඳහන්කර[න]” බව කියන පාවුල්ගේ ප්‍රකාශනයට මෙය එකඟ වෙනවා. (රෝම 4:17) ඒ වගේම, දෙවි කෝරෙෂ්ව තම “අභිෂේකලත් තැනැත්තා” හැටියට හඳුන්වනවා. එහෙම කිව්වේ ඇයි? යෙහෝවාගේ උත්තම පූජකයා, කවදාවත් කෝරෙෂ්ගේ හිසට ශුද්ධ අභිෂේක කිරීමේ තෙල් වැගිරෙව්වේ නැහැ. ඇත්තයි; නමුත් මෙය අනාවැකිමය අභිෂේක කිරීමක් වෙනවා. එය යම් විශේෂ කාර්යභාරයකට පත් කිරීම අඟවනවා. එනිසා කෝරෙෂ්ව මෙහෙම පත් කිරීම, අභිෂේක කිරීමක් හැටියට සඳහන් කරන්න දෙවිට පුළුවන් වුණා.—සසඳන්න 1 රාජාවලිය 19:15-17; 2 රාජාවලිය 8:13.
දෙවි තම දූතයන්ගේ වදන් ඉටු කරයි
11. බබිලෝනියේ වැසියන්ට සුරක්ෂිතභාවයක් හැඟුණේ ඇයි?
11 කෝරෙෂ් බබිලෝනියට විරුද්ධව පැමිණි අවස්ථාවේදී, එහි පුරවැසියන්ට ඉමහත් ආරක්ෂාවක් සහ සුරක්ෂිතභාවයක් දැනුණා. ඔවුන්ගේ නගරය එප්‍රාත් ගඟෙන් සැකසුණු ගැඹුරු සහ පළල් දිය අගලකින් වට වෙලා තිබුණා. ගඟ නුවර තුළින් ගලා බැස්ස තැන්වල, නැඟෙනහිර ගං ඉවුරු දිගේ විහිදී ගිය වරාය වේදිකාවක් තිබුණා. එය නුවරින් වෙන් කරන්න, නෙබුකද්නෙශර්ගේ විස්තරයට අනුව, ඔහු “කන්දකට සමාන වූ සෙලවිය නොහැකි මහා ප්‍රාකාරයක්” ගොඩනැඟුවා; “[ඔහු] එහි මුදුන කඳුවල උසට උස් කළා.”a මෙම ප්‍රාකාරයට තඹවලින් සෑදූ විශාල දොරටු තිබුණා. ඒවායින් ඇතුල් වෙන්න නං, යමෙකුට ගං ඉවුරේ බෑවුම දිගේ නඟින්න සිදු වුණා. තමුන්ට කවදා හෝ නිදහස ලැබෙයි කියන බලාපොරොත්තුව බබිලෝනියේ සිරකරුවන් අත්හැරීම පුදුමයක්ද!
12, 13. බබිලෝනිය කෝරෙෂ්ගේ අතට පත් වුණ විට, තම දූතයා වූ යෙසායා තුළින් ප්‍රකාශ වූ යෙහෝවාගේ වදන් සැබෑ වුණේ කොහොමද?
12 ඒත් යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තියාගත් යුදෙව් වහලුන්ට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ! ඔවුන්ට දීප්තිමත් බලාපොරොත්තුවක් තිබුණා. දෙවි තම අනාගතවක්තෲන් තුළින් ඔවුන්ව නිදහස් කරන බව පොරොන්දු වෙලා තිබුණා. දෙවි තම පොරොන්දුව ඉටු කළේ කොහොමද? කෝරෙෂ් තම යුද භටයන්ට විධාන කළා, බබිලෝනියට කිලෝමීටර් කිහිපයක් උතුරින් පිහිටි ස්ථානයකදී එප්‍රාත් ගඟ වෙනතකට හරවන්න කියලා. මෙසේ නුවරේ ප්‍රධාන ආරක්ෂක පද්ධතිය බොහෝදුරට, වියළි ගං පත්ලක් බවට පරිවර්තනය වුණා. එම තීරණාත්මක රාත්‍රියේදී, මත්පැන්වලින් වෙරි වී සිටි ඝෝෂාකරන්නෝ, නොසැලකිලිමත්ව එප්‍රාත් ගඟ දිගේ නුවරට ඇතුල් වෙන්න තිබූ දොරවල් විවෘතව තබා ගියා. යෙහෝවා වචනානුසාරයෙන්ම තඹ දොරවල් බිඳ දැමුවේවත්, එම දොරටු වැසීමට පාවිච්චි කළ යකඩ අගුල් කැපුවේවත් නැහැ. නමුත් ඒවා විවෘතව හා අගුල් නොදමා තියෙන්න ඔහු පුදුමාකාර විදිහට කටයුතු හැසිරෙව්ව හින්දා ඇති වුණු ප්‍රතිඵලය එක හා සමානයි. බබිලෝනියේ තාප්පවලින් කිසිම ප්‍රයෝජනයක් තිබුණේ නැහැ. තාප්පවලට නැඟ නුවරට ඇතුල් වෙන්න කෝරෙෂ්ගේ හමුදා පිරිසට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. කෝරෙෂ්ට පෙරටුවෙන් ගමන් කළ යෙහෝවා, “රළු තැන්” සමතලා කළා; ඔව්, හැම බාධකයක්ම ඉවත් කළා. යෙසායා, දෙවිගේ සැබෑ දූතයෙක් බව ඔප්පු කරනු ලැබුවා.
13 නුවර සම්පූර්ණයෙන්ම කෝරෙෂ්ගේ බලය යටතට පැමිණි විට, එහි සියලුම වස්තු, එනම් අන්ධකාර රහස් තැන්වල සඟවා තිබුණු වස්තු පවා ඔහුගේ අතට පත් වුණා. යෙහෝවා දෙවි, කෝරෙෂ් සඳහා මේ සියල්ල කළේ ඇයි? ‘ඔහුගේ නම කියා ඔහුව කැඳවාගත් තැනැත්තා’ වන යෙහෝවා, සැබෑ අනාවැකි පළ කරන දෙවි බවත්, විශ්වනීය පරමාධිපති ස්වාමි බවත් ඔහුට දැනගන්න පුළුවන් වන පිණිසයි. දෙවි ඔහුව බලයට පත් කරන්න සැලැස්සුවේ තම සෙනඟ වූ ඉශ්‍රායෙල්ව නිදහස් කිරීම සඳහා බවත් ඔහුට දැනගන්න පුළුවන් වෙයි.
14, 15. බබිලෝනියට එරෙහිව තමා ලබාගත් ජයග්‍රහණය සඳහා කෝරෙෂ් යෙහෝවාට ණයගැති බව අපි දන්නේ කොහොමද?
14 යෙහෝවා කෝරෙෂ්ට පැවසූ වදන්වලට සවන් දෙන්න: “මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්‍රායෙල් නිසාත් නුඹේ නම කියා කැඳවීමි. නුඹ මා නෑඳින්න නුමුත් නුඹට නමක් තැබීමි. මම [යෙහෝවාය], වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම [යෙහෝවාය], වෙන කෙනෙක් නැත. එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, [ඒ හා සමානව තම වහල් සෙනඟ සඳහා] සමාදානය දෙන්නාවූ, [බබිලෝනිය සඳහා] විපත උපදවන්නාවූ [තැනැත්තා] වෙමි; මම මේ සියල්ල සිදු කරන [යෙහෝවාය].”—යෙසායා 45:4-7.
15 කෝරෙෂ් බබිලෝනිය යටත් කළේ යෙහෝවා හින්දයි; ඇයි කිව්වොත්, එම දුෂ්ට නුවරට විරුද්ධව තම අදහස ඉෂ්ට කරන්නත්, වහල් වූ තම සෙනඟ නිදහස් කරන්නත් ඔහුව ශක්තිමත් කළේ යෙහෝවායි. මෙය කරද්දී, යෙහෝවා තම අහසින් ධර්මිෂ්ඨ බලපෑම් නොහොත් බලයන් වැගිරෙන්න අණ කළා. ඔහු තමා සතු පොළොවට ඇරේවා කියා අණ කර, තම වහල් සෙනඟ සඳහා ධර්මිෂ්ඨ සිද්ධීන් සිදු කරන්නත් ගැළවීම සලසා දෙන්නත් අණ කළා. එමෙන්ම ඔහුගේ උපමාලංකාර අහසත් පොළොවත් මෙම ආඥාවට ප්‍රතිචාරය දැක්වූවා. (යෙසායා 45:8) යෙසායාගේ මරණයෙන් අවුරුදු සීයකටත් වැඩිය ගත වුණායින් පස්සේ, ඔහු යෙහෝවාගේ සැබෑ දූතයා බව පෙන්නුම් කරනු ලැබුවා!
සියොන් සඳහා දූතයාගේ ශුභාරංචිය!
16. බබිලෝනිය පරාජයට ලක් වූ විට, පාළු වූ යෙරුසලම් නගරයේ ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තිබුණේ මොන ශුභාරංචියද?
16 හැබැයි තවත් තියෙනවා. යෙසායා 52:7 යෙරුසලම සඳහා ශුභාරංචියක් ගැන කියනවා: “ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ [දෙවි] රජකම්කර[න්නේයයි] [ඔබේ දෙවි රජ බවට පත්ව ඇතැයි, NW] සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!” කඳුවල සිට යෙරුසලමට ළං වන දූතයෙක් දකින්න ලැබීම මොනතරම් ප්‍රීතියකට හේතු වුණාද කියලා සිතා බලන්න! ඔහුට ආරංචියක් තියෙන්න ඕනෙ. ඒ මොකක්ද? එය සියොන් සඳහා පුදුමාකාර ප්‍රීතියකට හේතු වන ආරංචියක්. සමාදානයේ ආරංචියක්; ඔව්, දෙවිගේ ශුභසිද්ධිය පිළිබඳ ආරංචියක්. යෙරුසලම සහ එහි දේවමාළිගාව නැවත ගොඩනංවන්න යනවා. එමෙන්ම දූතයා ජයග්‍රාහී උද්‍යෝගයකින් මෙහෙම දැනුම් දෙනවා: “ඔබේ දෙවි රජ බවට පත්ව ඇත!”
17, 18. කෝරෙෂ් අතින් බබිලෝනියට ලැබුණු පරාජය යෙහෝවාගේම නමට බලපෑවේ කොහොමද?
17 දාවිත්ගේ පෙළපතේ රජවරුන් ඉඳගත්ත තම නියම සිංහාසනය පෙරළා දමන්න යෙහෝවා බබිලෝනිවරුන්ට ඉඩ දුන් විට, ඔහු තවදුරටත් රජ නොවූ බව පෙනුණා විය හැකියි. බබිලෝනියේ ප්‍රධාන දෙවියා වූ මාර්ඩුක් ඒ වෙනුවට රජ වගේ පෙනී සිටියා. කොහොම නමුත්, සියොන්හි දෙවි බබිලෝනිය පෙරළා දැමූ විට, ඔහු තම විශ්වනීය පරමාධිපත්‍යය—එනම් ඔහු ශ්‍රේෂ්ඨතම රජ වූ බව නිරූපණය කළා. එමෙන්ම මෙම කාරණය කාවද්දන්න, “මහරජහුගේ නුවර” වන යෙරුසලම එහි දේවමාළිගාව සමඟින් නැවත පිහිටුවන්න නියමිතව තිබුණා. (මතෙව් 5:35) එවැනි ශුභාරංචියක් ගෙනාවාවූ දූතයා ගත්තහම, ඔහුගේ පාද බැලූ බැල්මට දූවිල්ලෙන් නැහැවී, කිලිටිව මෙන්ම තුවාල වී තිබුණත්, සියොන්ට ප්‍රේමකරන්නන්ගේ සහ ඇගේ දෙවිගේ ඇස් ඉදිරියෙහි ඒවා කෙතරම් අලංකාරව තිබුණාද!
18 අනාවැකිමය අර්ථයකින්, බබිලෝනියේ වැටීමෙන් අදහස් කළේ දේවරාජ්‍යය පිහිටුවා තිබුණු බව හා ශුභාරංචිය ගෙනෙන්නා එම සිද්ධිය ප්‍රකාශ කළ කෙනෙකු බවයි. එපමණක් නොව, යෙසායා තුළින් පුරෝකථනය කළ මෙම පුරාණ පණිවිඩ ගෙනෙන්නා, වඩාත් උදාර ශුභාරංචියක දූතයෙක්ව පූර්වාදර්ශනය කළා. එය වඩාත් උදාර වුණේ එයට ඇතුළත් වූ අතිඋදාර දේත්, එහි රාජ්‍ය තේමාවත් නිසයි; ඒ වගේම ඇදහිල්ලේ හැම පුද්ගලයෙකුටම එයින් මහිමාන්විත දේවල් අදහස් වෙනවා.
19. යෙහෝවා එසකියෙල් තුළින් ඉශ්‍රායෙල් දේශය ගැන දුන්නේ මොන පණිවිඩයද?
19 එසකියෙල්ටත් නැවත පිහිටුවීම ගැන උත්කර්ෂවත් අනාවැකි දෙනු ලැබුවා. ඔහු මෙහෙම අනාවැකි පළ කළා: පරමාධිපති ස්වාමි වූ යෙහෝවා මෙසේ කියයි: “නුඹලාගේ සියලු අපරාධවලින් මා විසින් නුඹලා පිරිසිදුකරන දවසේදී මම නුවරවල මිනිසුන් වාසයකරවන්නෙමි, පාළු ඉඩම්ද ගොඩනගනු ලබන්නේය. මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී . . . තිබේයයි කියන්නෝය.”—එසකියෙල් 36:33, 35.
20. යෙසායා අනාවැකිමය ආකාරයකින් යෙරුසලමට දුන්නේ මොන ප්‍රියමනාප අවවාදයද?
20 බබිලෝනියේ වහල් වී ඉන්න කොට, දෙවිගේ සෙනඟ සියොන් ගැන සුසුම්ලමින් ඉඳලා තිබුණා. (ගීතාවලිය 137:1) දැන් ප්‍රීති වෙන්න ඔවුන්ට පුළුවන් වුණා. යෙසායා මෙහෙම දිරිගැන්වූවා: “යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද [යෙහෝවා] තමන්ගේ සෙනග සනසා, යෙරුසලම මුදාගන තිබේ. [යෙහෝවා] තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන පිණිස] නග්නක[ළේය]; පොළොවේ සියලු සීමාවෝද අපේ [දෙවිගේ] ගැළවීම දකින්නෝය.”—යෙසායා 52:9, 10.
21. බබිලෝනියේ පරාජයෙන් පස්සේ, යෙසායා 52:9, 10හි වදන් ඉටු වුණේ කොහොමද?
21 ඔව්, ප්‍රීතිය සඳහා යෙහෝවාගේ තෝරාගත් ජනයාට මහත් හේතුවක් තිබුණා. වරක් පාළු වෙලා තිබුණු ඒ ප්‍රදේශ ජනාවාස කරලා, ඒදන් උයනට සමාන තත්වයකට ගෙනෙන්නයි ඔවුන් හිටියේ. යෙහෝවා ඔවුන් වෙනුවෙන් ‘තම ශුද්ධ හස්තය නග්න කර’ තිබුණා. ඔවුන්ව තම ප්‍රිය මව්බිම කරා ගෙනයෑමට දැරූ වෑයමේදී, ඔහු උපමාලංකාරව තම හස්තය නග්න කළා. මෙය ඉතිහාසයේ යම් සුළු පටු, අප්‍රකට සිද්ධියක් නෙවෙයි. ඒ වෙනුවට, ජාතියකට පුදුමාකාර ගැළවීමක් දෙන්න, මිනිස් කටයුතුවලදී බලපෑම් කළ දෙවිගේ ‘නග්න කළ හස්තය’ ඒ කාලයේ විසූ හැම කෙනෙක්ම දුටුවා. යෙසායා සහ එසකියෙල් යෙහෝවාගේ සැබෑ දූතයන් බව ඔවුන්ට නොසැලෙන සාක්ෂි දෙනු ලැබුවා. සියොන්හි දෙවි මුළු පොළොවෙහි එකම ජීවමාන හා සැබෑ දෙවි බව කිසිම කෙනෙක්ට සැක කරන්න හැකිකමක් තිබුණේ නැහැ. යෙසායා 35:2හි අපිට මෙහෙම කියවන්න තියෙනවා: “[යෙහෝවාගේ] තේජසද අපේ [දෙවිගේ] අලංකාරකමද දකි[න]” අය සිටීවි. යෙහෝවාගේ දේවත්වයේ මෙම සාක්ෂිය පිළිගත් අය, ඔහුට නමස්කාර කරන්න යොමු වුණා.
22. (අ) අදදින අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙන්නේ මොකකටද? (ආ) යෙහෝවා බොරු දූතයන්ව හෙළි කිරීම ගැන අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුත්තේ ඇයි?
22 යෙහෝවා තම සැබෑ දූතයන්ව හඳුන්වා දෙන එක ගැන අපි මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! ඇත්තවශයෙන්ම ඔහු “තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ට කරන්නාවූ . . . [තැනැත්තාය].” (යෙසායා 44:26) ඔහු යෙසායාට සහ එසකියෙල්ට දුන් නැවත පිහිටුවීමේ අනාවැකි, තම සේවකයන් කෙරෙහි තියෙන ඔහුගේ මහත් ප්‍රේමය, ලබන්න නොවටිනා තරම් වූ කරුණාව සහ දයාව මහිමවත් කරවනවා. මේ සඳහා යෙහෝවා අපේ ප්‍රශංසාව ලබන්න වටින බවට කිසිම සැකයක් නැහැ! එමෙන්ම ඔහු බොරු දූතයන්ව හෙළි කරන හින්දා, අදදින අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. මෙයට හේතුව ලෝක දර්ශනයේ දැන් ඔවුන්ගෙන් බොහෝදෙනෙක්ම ඉන්න හින්දයි. පුහු ආටෝපයෙන් යුත් ඔවුන්ගේ පණිඩිඩ යෙහෝවාගේ ප්‍රකාශිත අරමුණු නොසලකා හරිනවා. එම බොරු දූතයන්ව හඳුනාගන්න ඊළඟ ලිපිය අපිට උපකාරවත් වේවි.
[පාදසටහන]
a ද මොනියූමන්ට්ස් ඇන්ඩ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් (ස්මාරක සහ පරණ ගිවිසුම), අයිරා මොරිස් ප්‍රයිස් විසිනි, 1925.
පැහැදිලි කරන්න පුළුවන්ද?
◻ යෙහෝවා තම සැබෑ දූතයන්ව හඳුන්වා දෙන්නේ කොහොමද?
◻ බබිලෝනිය පරාජය කිරීම සඳහා තම නියෝජිතයා වශයෙන්, යෙසායා තුළින් යෙහෝවා නම් කළේ කාවද?
◻ බබිලෝනියේ පරාජය විස්තර කරන යෙසායාගේ අනාවැකි ඉටු වුණේ කොහොමද?
◻ බබිලෝනිය පරාජයට පත් කිරීමෙන් යෙහෝවාගේ නමට ඇති වුණේ මොන යහපත් ප්‍රතිඵලයද?
[9වන පිටුවේ පින්තූරය]
එසකියෙල්ගේ දවසේ ජාතීන්ට බබිලෝනිය පරාජය කළ නොහැකි යමක් මෙන් පෙනුණා