දෙවිට ඕනෑ කරන දේ ඉගෙනීමට අනුන්ට උපකාර කිරීම
“එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.”—1 කොරින්ති 9:16.
1, 2. (අ) යෙහෝවා අප සහභාගි වනවා දකින්න කැමති වන්නේ මොන දෙවැදෑරුම් වැඩයේද? (ආ) දේවරාජ්‍යයේ යටත්වැසියන් බවට පත්වීම සඳහා අවංක හෘද ඇති ජනයා ඉගෙනගත යුත්තේ මොකක්ද?
මනුෂ්‍යවර්ගයා සඳහා ශුභාරංචියක් යෙහෝවා සතුයි. ඔහුට රාජ්‍යයක් තිබෙන අතර, ඒ ගැන සියලු ජනයාට අසන්ට ලැබීම ඔහුගේ ආශාවයි! එම ශුභාරංචිය අප ඉගෙනගත් විට, එය අනුන් සමඟ බෙදාගැනීම දෙවි අපෙන් අපේක්ෂා කරයි. මෙය දෙවැදෑරුම් වැඩක්. මුලින්ම, අප දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කළ යුතුයි. “දේවල පිළිවෙළේ සමාප්තිය” පිළිබඳ තම අනාවැකියෙහි යේසු මෙහෙම කිව්වා: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි දේශනාකරනු ලබන්නේය; තවද එවිට අන්තිමය පැමිණෙනු ඇත.”—මතෙව් 24:3, 14, NW.
2 මෙම වැඩයෙහි දෙවන අංගයට ඇතුළත් වන්නේ, රාජ්‍යය ගැන කරන ප්‍රකාශයට හිතකර ලෙස ප්‍රතිචාරය දක්වන අයට ඉගැන්වීමයි. තම නැවත නැඟිටීමෙන් පස්සේ, තම ගෝලයන්ගෙන් සෑදුණු විශාල කණ්ඩායමකට යේසු මෙසේ පැවසුවා: “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න; පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් ඔබට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. බලව! මමද දේවල පිළිවෙළේ සමාප්තිය දක්වා සෑම කල්හිම ඔබ සමඟ සිටිමි.” (මතෙව් 28:19, 20, NW) ‘ක්‍රිස්තුස් ආඥා කළ දේ’ පිටිපස්සේ සිටියේ ඔහුම නෙවෙයි; ඔහු අනුන්ට පවත්වන්ට ඉගැන්නුවේ දෙවිගේ ආඥා නොහොත් දෙවිට ඕනෑ කරන දේවල්. (යොහන් 14:23, 24; 15:10) එබැවින් ‘ක්‍රිස්තුස් ආඥා කළ දේවල් පැවැත්වීම සඳහා’ අනුන්ට ඉගැන්වීමට ඇතුළත් වන්නේ, දෙවිට ඕනෑ කරන දේ ඉගෙනගැනීමට ඔවුන්ට උපකාර කිරීමයි. දේවරාජ්‍යයේ යටත්වැසියන් බවට පත්වීම සඳහා, අවංක හදවත් ඇති ජනයා ඔහුට ඕනෑ කරන දේට එකඟව ක්‍රියා කළ යුතුයි.
3. දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? එමෙන්ම රාජ්‍යය ගැන පණිවිඩය මෙතරම් ශුභාරංචියක් කිරීමට සලස්වමින්, එය ඉටු කරන්න යන්නේ මොකක්ද?
3 දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? එමෙන්ම රාජ්‍යය ගැන පණිවිඩය මෙතරම් ශුභාරංචියක් කිරීමට සලස්වමින්, එය ඉටු කරන්න යන්නේ මොකක්ද? දේවරාජ්‍යය ස්වර්ගික ආණ්ඩුවක්. එය යෙහෝවාගේ හෘදයට ඉතා අනර්ඝ දෙයක්; මන්ද ඔහු තම නාමය විශුද්ධ කොට, එමත ගෙනැවිත් තිබෙන සෑම නින්දාවක්ම ඉවත් කරන්ට යන මාධ්‍යය එය හෙයිනි. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි තම කැමැත්ත සිදු කිරීමට යෙහෝවා භාවිත කරන්ට යන මෙවලම රාජ්‍යයයි. දේවරාජ්‍යය පැමිණෙන්ට කියා යාච්ඤා කිරීමටත්, එය අපේ ජීවිතයේ පළමු ස්ථානයට දැමීමටත් යේසු අපට ඉගැන්වූයේ එනිසයි. (මතෙව් 6:9, 10, 33) අප අනුන්ට යෙහෝවාගේ රාජ්‍යය ගැන කීම, ඔහුට එතරම් වැදගත් වන්නේ ඇයි කියා ඔබට පේනවාද?
අභියෝගයක්; නමුත් බරක් නෙවෙයි
4. ශුභාරංචිය දේශනා කිරීමට වූ අපේ වගකීම බරක් නොවන බව නිදර්ශනයකින් දැක්විය හැක්කේ කොහොමද?
4 මෙම ශුභාරංචිය දේශනා කිරීම බරක්ද? කොහෙත්ම නැහැ! අපි ඒක මෙහෙම නිදර්ශනය කරමු: තම පවුලට ද්‍රව්‍යමය අතින් සැපයීමට පියෙකුට වගකීමක් තිබෙනවා. එසේ කිරීමට අසමත් වීම ක්‍රිස්තියානි ඇදහිල්ල ප්‍රතික්ෂේප කිරීමට සමානයි. ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) එහෙත් එම වගකීම ක්‍රිස්තියානි මනුෂ්‍යයෙකුට බරක්ද? ඔහු තම පවුලට ප්‍රේම කරනවා නම් ඒක බරක් නෙවෙයි; මන්ද එවිට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔහුට ඕනෑකමක් තිබෙන නිසයි.
5. දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩය යුතුකමක් වුවත්, එහි සහභාගි වීම ගැන අප සන්තෝෂ විය යුත්තේ ඇයි?
5 ඒ හා සමානව, දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩය වගකීමක්; අපේ ජීවිත පවා රඳා පවතින අවශ්‍යතාවක්. පාවුල් එය මෙසේ පැහැදිලි කළා: “එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.” (1 කොරින්ති 9:16; සසඳන්න එසකියෙල් 33:7-9.) කොහොම වුණත්, දේශනා කිරීම පිටිපස්සේ අපට තියෙන චේතනාව ප්‍රේමයයි; නිකම්ම යුතුකම් ඉෂ්ට කිරීමක් නෙවෙයි. මූලිකව, අපි දෙවිට ප්‍රේම කරනවා; නමුත් අපි අපේ අසල්වාසීන්ටත් ප්‍රේම කරන අතර, ඔවුන්ට ශුභාරංචිය අහන්න ලැබීම කොයිතරම් වැදගත්ද කියල අපි දන්නවා. (මතෙව් 22:37-39) එය අනාගතය සඳහා ඔවුන්ට බලාපොරොත්තුවක් ලබා දෙයි. දේවරාජ්‍යය ළඟදීම සියලුම අසාධාරණකම් නිවැරදි කොට, සෑම තාඩන පීඩනයක්ම ඉවත් කරමින් සාමය හා සමඟිය නැවත පිහිටුවන්නයි යන්නේ. මේ සියල්ල එහි ධර්මිෂ්ඨ පාලනයට යටත් වන සියලුදෙනාගේ සදාකාලික ආශීර්වාදයට දායක වෙනවා. අනුන් සමඟ එවන් ශුභාරංචියක් බෙදාගැනීමට අප සතුටු වන්නේ නැද්ද? ඇත්තෙන්ම අපට ඉමහත් ප්‍රීතියක් දැනෙන්නේ නැද්ද?—ගීතාවලිය 110:3.
6. දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයෙන් සැබෑ අභියෝගයක් මතු වෙන්නේ ඇයි?
6 ඒත් එක්කම, දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ මේ වැඩය සැබෑ අභියෝගයක් වෙයි. මිනිස්සු එකිනෙකාට වෙනස්. සෑම කෙනෙකුටම එකම ආශාවන් හෝ දක්ෂතා නැහැ. සමහරදෙනෙකුට හොඳ අධ්‍යාපනයක් තිබුණත්, වෙනත් අයට තිබෙන්නේ ඉතා අඩු අධ්‍යාපනයක්. වරක් ජනප්‍රිය විනෝදාංශයක් ලෙස සැලකූ කියවීම, දැන් බොහෝදුරට සලකන්නේ යුතුකමක් හැටියටයි. කියවීමේ ඉතා උසස් හැකියාවක් තිබෙන බවට පුරසාරම් දොඩන රටවල පවා අවාක්ෂරතා [aliteracy] වර්ධනය වන ගැටලුවකි. අවාක්ෂරතා යන වචනයේ තේරුම, “කියවීමේ හැකියාව තිබුණත්, එසේ කිරීමට උනන්දුවක් නොදැක්වීමේ තත්වය හෝ ගුණාංගයයි.” එසේනම්, දෙවිට ඕනෑ කරන්නේ මොකක්ද කියා ඉගෙනීම සඳහා මෙතරම් විවිධ පසුබිම් හා ආශාවන් ඇති මිනිසුන්ට උපකාර කිරීමට අපට පුළුවන් වෙන්නේ කොහොමද?—1 කොරින්ති 9:20-23, සසඳන්න.
අනුන්ට උපකාර කිරීම සඳහා නිසි ලෙස සූදානමින් සිටීම
7. අනුන්ට දෙවිට ඕනෑ කරන දේ ඉගැන්වීමට “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අපව සන්නද්ධ කර ඇත්තේ කොහොමද?
7 භාරදූර කාර්යයක නිරත වීම වඩාත් පහසු වන්නේ ඔබට නිසි මෙවලම් හෝ උපකරණ තිබෙන විටයි. අවශ්‍යතා නිතරම වෙනස් වන නිසා, යම් විශේෂ වැඩක් සඳහා අදට යෝග්‍ය වන මෙවලමක් හෙට දිනදී වෙනස් කරන්න හෝ ඒ වෙනුවට තවෙකක් යොදාගන්න පුළුවන්. දේවරාජ්‍යය ගැන පණිවිඩය ප්‍රකාශ කිරීමට වූ අපේ පැවරීමටද මෙය සමාන ලෙස බලපායි. ගෙවී ගොස් ඇති අවුරුදු ගණනාව පුරා, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අපට කදිම මෙවලම්, එනම් නිවාස බයිබල් පාඩම් පැවැත්වීම සඳහා විශේෂයෙන්ම සැලසුම් කර තිබෙන ප්රකාශනයන් අපට සපයා තිබෙනවා. (මතෙව් 24:45) මෙසේ “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් . . . භාෂාවන්ගෙනුත්” පැමිණ ඇති ජනයාට දෙවිට ඕනෑ කරන දේ ඉගැන්වීමට අපව සන්නද්ධ කර තිබෙනවා. (එළිදරව් 7:9) කලින් කලට, ලෝක ක්ෂේත්රයේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතාවලට අනුව කටයුතු කිරීම සඳහා අමතර මෙවලම් සපයා තිබෙනවා. අපි උදාහරණ කිහිපයක් සලකා බලමු.
8. (අ) බයිබල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට, “ලෙට් ගෝඩ් බී ටෲ” යන පොත දායක වුණේ කොහොමද? (ආ) වර්ෂ 1968දී බයිබල් පාඩම් වැඩයට සපයනු ලැබුවේ කුමන මෙවලමද? එය විශේෂයෙන් පිළියෙළ කරනු ලැබුවේ කොහොමද? (ඇ) සත්‍යය පොත ගෝලයන් සෑදීමේ වැඩයට රුකුලක් වුණේ කොහොමද?
8 වර්ෂ 1946 සිට 1968 දක්වා “ලෙට් ගෝඩ් බී ටෲ” (දෙවි සැබෑ වේවා) යන පොත බයිබල් අධ්‍යාපනය වෙනුවෙන් බලවත් මෙවලමක් හැටියට භාවිත කරනු ලැබුවා; පිටපත් 1,92,46,710ක් භාෂා 54කින් ප්‍රකාශ කරනු ලැබුවා. සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය යන පොත 1968දී මුදාහරිනු ලැබූ අතර, උනන්දුවක් ඇති අය සමඟ බයිබලය පාඩම් කිරීම සඳහා බොහෝ අවුරුදු ගණනක් පුරා ඵලදායීව පාවිච්චි කරනු ලැබුවා. මීට කලින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇතැම් අය වර්ෂයක් වර්ෂයක් පාසා පාඩම් කළත් ඔවුන් බව්තීස්ම වෙන්නේ නැහැ. බව්තීස්ම නොවීම පොදු දෙයක් වුණා. එහෙත් මෙම පොත පිළියෙළ කර තිබුණේ ශිෂ්‍යයාව සම්බන්ධ කරගෙන, තමා ඉගෙනගනිමින් සිටි දේ අදාළ කරගැනීමට දිරිගැන්වීමේ අදහසින්. ප්‍රතිඵලය? ජෙහෝවාස් විට්නසස්—ප්රොක්ලේම’ස් ඔෆ් ගඩ්ස් කිංඩම් යන පොතෙහි මෙසේ සඳහන් වෙනවා: “වර්ෂ 1968 සැප්තැම්බර් 1වනදා පටන් 1971 අගෝස්තු 31වනදා දක්වා සේවා වර්ෂ තුනක් පුරා, පුද්ගලයන් 4,34,906දෙනෙකුව බව්තීස්ම කරනු ලැබුවා. ඒ කියන්නේ ඊට කලින් සේවා වර්ෂ තුනේදී බව්තීස්ම වූ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක්!” සත්‍යය පොත මුදාහැරිය දා පටන්, එය පුදුමාකාර විදිහට බෙදාහැර තිබෙනවා: එනම් භාෂා 117කින් පිටපත් 10,70,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක්.
9. සදා ජීවනය පොතට තිබෙන විශේෂාංගය මොකක්ද? රාජ්‍ය ප්රකාශකරන්නන්ගේ සංඛ්‍යාවට එය බලපෑවේ කොහොමද?
9 වර්ෂ 1982දී බයිබල් පාඩම් පැවැත්වීමට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්න පටන්ගත්තේ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොතයි. මෙම පොතේ පින්තූරු 150කටත් වැඩිය තිබෙන අතර, සෑම පින්තූරයකටම සිත් ඇදගන්නා මාතෘකාවක් තිබෙනවා; ඒවායින්, පින්තූරුවලින් උගන්වන්න හදන කාරණය කැපීපෙනෙන්ට සලස්වා තිබෙනවා. අපගේ රාජ්‍ය සේවාවේ 1982 ඔක්තෝබර් කලාපය මෙසේ පැවසුවා:“‘ලෙට් ගෝඩ් බී ටෲ’ (දෙවි සැබෑ වේවා) යන පොත අවුරුදු 20කට පමණ (1946-60ගණන්වල මැදභාගය දක්වා) අපගේ සහෝදරයන්ගේ මූලික බයිබල් ආධාරකය වශයෙන් පැවතුණා. . . . මේ නිසා නව රාජ්‍ය ප්‍රචාරකයන් 10,00,000කට වඩා සංඛ්‍යාවක් අපට එකතු වුණා. ඊළඟට, තවත් ප්‍රචාරකයන් 10,00,000ක් පමණ අපේ සංඛ්‍යාවට එකතු වී තිබෙන්නේ, 1968දී ඉදිරිපත් කරනු ලැබූ සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය යන පොත මාර්ගයෙන්. පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන අපේ අලුත් පාඩම් පොත භාවිතයෙන් එවැනිම රාජ්‍ය ප්‍රචාරකයන්ගේ වැඩි සංඛ්‍යාවක් අපට බලාපොරොත්තු විය හැකිද? මෙය යෙහෝවාගේ කැමැත්ත නම්, සහතික වශයෙන්ම බලාපොරොත්තු විය හැකියි!” වර්ෂ 1982 සිට 1995 දක්වා රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවට 27,00,000කට වැඩි සංඛ්‍යාවක් එකතු වූ නිසා, එය යෙහෝවාගේ කැමැත්ත වූ බව හොඳින් පැහැදිලි වුණා.
10. වර්ෂ 1995දී සපයනු ලැබුවේ කුමන අලුත් මෙවලමද? බයිබල් ශිෂ්‍යයන්ට සෑහෙන දුරට ඉක්මන් ආත්මික දියුණුවක් ලබාගන්න එය උපකාරයක් විය යුත්තේ ඇයි?
10 “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය” කියා යේසු පැවසුවා. (මතෙව් 9:37) ඇත්තෙන්ම ගොයම ඉතා විශාලයි. කරන්න තවත් බොහෝ දේවල් තිබෙනවා. ඇතැම් රටවල බයිබල් පාඩම් සඳහා මිනිසුන්ට බලාගෙන ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. එනිසා, දෙවි ගැන දැනුම වඩාත් ඉක්මනින් ප්‍රචලිත කිරීමේ අරමුණෙන්, 1995දී “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අලුත් මෙවලමක් සපයා දුන්නා: එනම් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන මැයින් යුත් පිටු 192ක පොතක්. මෙම අගනා උපකරණය බොරු ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. එය ඒකාන්ත ආකාරයකින් බයිබල් සත්‍යතා ඉදිරිපත් කරයි. සෑහෙන ඉක්මනින් දියුණුවක් ලබන්ට එය බයිබල් ශිෂ්‍යයන්ට උපකාරවත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනුම පොත දැනටමත් ලෝක ක්ෂේත්රය කෙරෙහි බලපාන බවක් පෙනෙයි; දැනට භාෂා 125කින් පිටපත් 4,55,00,000ක් මුද්‍රණය කර තිබෙන අතර, තව භාෂා 21කින් පරිවර්තන කටයුතු කෙරීගෙන යනවා.
11. කියවන්න බැරි හෝ කියවන්න අමාරු අයට ඉගැන්වීම සඳහා සපයනු ලැබුවේ කුමන බලපෑමෙන් යුත් මෙවලමද? එමෙන්ම අපේ සමස්ත ලෝක ඉගැන්වීමේ වැඩ පිළිවෙළට එය බලවත් ආකාරයෙන් බලපා තිබෙන්නේ කොහොමද?
11 කලින් කලට යම් සුවිශේෂී හෝ සීමා සහිත පිරිසකගේ ප්‍රයෝජනය සඳහා ‘විශ්වාසවන්ත දාසයා’ මෙවලම් සපයා තිබෙනවා. උදාහරණයක් වශයෙන්, තම සංස්කෘතික හෝ ආගමික පසුබිම නිසා විශේෂ උපකාරයක් අවශ්‍ය ජනකාය ගැන කුමක් කියන්න පුළුවන්ද? දෙවිට ඕනෑ කරන්නේ මොකක්ද කියා ඉගෙනගැනීමට අපට ඔවුන්ට උපකාර කළ හැක්කේ කොහොමද? වර්ෂ 1982දී අපට අවශ්‍යම වූ දෙය අප අතට පත් වුණා: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! යන පිටු 32කින් යුත් විවරණිකාවක්! අකුරු දන්නේ නැති අයට හෝ කියවීමෙහි දක්ෂතාවක් නැති අයට ඉගැන්වීම සඳහා පින්තූරු රාශියකින් යුත් මෙම ප්රකාශනය ඵලදායී මෙවලමක් වී තිබෙනවා. එය ශුද්ධ ලියවිල්ලේ මූලික ඉගැන්වීම් ඉතා සරල, තේරුම්ගැනීමට පහසු ආකාරයකින් ඉදිරිපත් කරයි. පොළොව මත ජීවිතය විවරණිකාව මුදාහැරිය දවසේ පටන්, එය අපේ සමස්ත ලෝක ඉගැන්වීමේ වැඩසටහනට බෙහෙවින් බලපා තියෙනවා. භාෂා 239කින් පිටපත් 10,51,00,000කට වැඩි සංඛ්‍යාවක් මුද්‍රණය කර තිබෙනවා; මේ දක්වා වොච් ටවර් සමිතිය නිෂ්පාදනය කර තිබෙන ප්‍රකාශන අතුරින්, වැඩියෙන්ම පරිවර්තනය කර තිබෙන්නේ මේ විවරණිකාවයි.
12, 13. (අ) වර්ෂ 1990 පටන්, වඩාත් විශාල පිරිසක් වෙත ළඟාවීම සඳහා ‘විශ්වාසවන්ත දාසයා’ සපයා දුන්නේ කුමන අලුත් මාධ්‍යයද? (ආ) අපේ ක්ෂේත්‍ර සේවයෙහි, සමිතියේ වීඩියෝ දර්ශන පාවිච්චි කිරීමට අපට පුළුවන් වෙන්නේ කොහොමද? (ඇ) අපේ ගෝලයන් සෑදීමේ කටයුත්තට උපකාරයක් වශයෙන්, මෑතකදී සපයනු ලැබුවේ කුමන අලුත් මෙවලමද?
12 මුද්‍රිත ප්රකාශනවලට අමතරව, ‘විශ්වාසවන්ත දාසයා’ 1990 පටන්, වඩාත් විශාල පිරිසක් කරා ළඟාවීමට නැවුම් මඟක් උදා කර දෙන ඉගැන්වීමේ මාධ්‍යයක් සපයා තිබෙනවා: එනම් වීඩියෝ කැසට්පට. එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී, ජෙහෝවාස් විට්නසස්—දි ඕර්ගනයිසේෂන් බිහයින්ඩ් ද නේම් (යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඒ නම පිටුපස ඇති සංවිධානය) යන විනාඩි 55කට දිවයන වීඩියෝ දර්ශනය මුදාහරිනු ලැබුවා; වොච් ටවර් සමිතිය මුලින්ම නිෂ්පාදනය කළ විඩියෝ දර්ශනය එයයි. අලංකාර මෙන්ම තොරතුරුවලින් පිරුණු මෙම ඉදිරිපත් කිරීම, භාෂා 35කට ආසන්න ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්; යෙහෝවාගේ භක්තිවන්ත ජනයාගේ ලෝක ව්‍යාප්ත සංවිධානය, පොළොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වූ යේසුගේ ආඥාව ඉටු කරන විදිහ එයින් පෙන්නුම් කරනවා. අපේ ගෝලයන් සෑදීමේ වැඩයට සහාය දීම සඳහා මෙම වීඩියෝ දර්ශනය විශේෂයෙන්ම සැලසුම් කර තිබෙනවා. මෙම අලුත් මෙවලම ක්ෂේත්‍ර සේවයෙහි පාවිච්චි කිරීමට රාජ්‍ය ප්‍රචාරකයන් පසුබට වුණේ නැහැ. උනන්දුව ඇති අයට පෙන්වීමේ හෝ දීමේ අරමුණින්, සමහරු එය තම පොත් බෑග්වල ගෙනගියා. එය මුදාහැරීමෙන් ටික කාලයකට පසු, සංචාරක අවේක්ෂකයෙක් මෙහෙම ලිව්වා: “මිනිසුන් මිලියන ගණනකගේ මනස් හා හදවත් කරා ළඟාවීමට, වීඩියෝ දර්ශන 21වන සියවසේ මාධ්‍යය බවට පත් වී තිබෙනවා; එනිසා මේ වීඩියෝ දර්ශනය, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවය වැඩිදියුණු කිරීමේ අරමුණින් සමිතිය පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන වීඩියෝ දර්ශන රාශියක කුලුඳුල් එක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.” ඇත්තෙන්ම, ද බයිබල්—ඒ බුක් ඔෆ් ෆැක්ට් ඇන්ඩ් ප්රොෆසි (බයිබලය—සැබෑ තතු හා අනාවැකි ඇති පොතක්) යන කොටස් තුනකින් යුත් මාලාව හා ජෙහෝවාස් විට්නසස් ස්ටෑන්ඩ් ෆ’ම් අගේන්ස්ට් නාට්සි අසෝල්ට් (යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නාට්සි ප්රහාරයන්ට ස්ථිරවම එරෙහි වී) ඇතුළුව තවත් වීඩියෝ දර්ශන බොහොමයක් සපයා තිබෙනවා. සමිතියේ වීඩියෝ දර්ශන ඔබේ භාෂාවෙන් තියෙනවාද? එහෙම නං, ඔබ ඒවා ක්ෂේත්‍ර සේවයෙදී යොදාගෙන තියෙනවාද?a
13 මෑතකදී අපේ ගෝලයන් සෑදීමේ වැඩයට උපකාරයක් වශයෙන් අලුත් මෙවලමක්—දෙවියන්වහන්සේට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව—සපයා දෙනු ලැබුවා. එය පළ කළේ ඇයි? එය පාවිච්චි කරන්නේ කොහොමද?
අලුත් මෙවලමක් පරීක්ෂා කිරීම
14, 15. ඕනෑ විවරණිකාව සැලසුම් කර තිබෙන්නේ කාටද? එහි අඩංගු වී තිබෙන්නේ මොකක්ද?
14 දෙවියන්වහන්සේට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන අලුත් ප්රකාශනය පිළියෙළ කරල තිබෙන්නේ දෙවි ගැන දැනටමත් විශ්වාස කරන බයිබලය කෙරෙහි ගෞරවයක් තිබෙන ජනයා වෙනුවෙනුයි. මෙම විවරණිකාව පිළියෙළ කිරීමට සහාය දුන්නේ, සංචාරක අවේක්ෂකයන් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින අවුරුදු ගණනාවක පලපුරුද්දක් තිබෙන ගිලියඩ් පුහුණුවක් ලැබූ මිෂනාරිවරුන්. බයිබලයේ මූලික ඉගැන්වීම් පියවමින්, වුවමනා සියලු දේ අඩංගු පාඩම් මාලාවක් එහි තිබෙනවා. එය ලියා තිබෙන ශෛලිය උණුසුම්, සරල හා ඍජු ස්වරූපයක් ගන්නවා. ඒත් එක්කම තොරතුරු ඕනෑවට වඩා සරලත් නැහැ. එහි “කිරි” පමණක් නොව, නමුත් බොහෝදෙනෙකුට තේරුම්ගැනීමට පහසු අන්දමකින් දේවවචනය මත පදනම් “දැඩි ආහාර[ද]” ඉදිරිපත් කරයි.—හෙබ්‍රෙව් 5:12-14.
15 මෑත වර්ෂවලදී, බොහෝ රටවල රාජ්‍ය ප්‍රචාරකයන් ඉල්ලා තිබෙන්නේ ඒ හා සමාන ප්රකාශනයක්. උදාහරණයක් වශයෙන්, පැපුවා නිව් ගිනිහි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය මෙහෙම ලිව්වා: “එකිනෙකට පටහැනිව ගමන් කරන ආගමික ඉගැන්වීම් නිසා ජනයා ව්‍යාකූලව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ සත්‍යය පිළිබඳ සංක්ෂිප්ත ප්‍රකාශයන්; ඒවාට අනුබල දීම සඳහා බයිබල් පද කිහිපයකුත් අවශ්‍යයි; එතකොට ඒවා ඔවුන්ගේම බයිබල්වලින් පරීක්ෂා කර බලන්න පුළුවන්. දෙවිට සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් ඕනෑ කරන්නේ මොකක්ද යන්න ගැනත් ඔහුගේ අප්‍රසාදයට හේතු වන චාරිත්‍ර හා ක්‍රියා මොනවාද යන්න ගැනත් ඔවුන්ට පැහැදිලි, සුවිශේෂී ඉදිරිපත් කිරීමක් අවශ්‍යයි.” දෙවිට ඕනෑ කරන්නේ මොකක්ද කියා ඉගෙනගැනීමට එවැනි අයට උපකාර කිරීම සඳහා ඕනෑ විවරණිකාව කදිමයි.
16. (අ) අලුත් විවරණිකාවේ අඩංගු සරල පහදා දීම්වලින් විශේෂයෙන්ම ප්‍රයෝජනයක් ලැබිය හැක්කේ කාටද? (ආ) ඔබේ ක්ෂේත්රයේ සිටින අයට ඕනෑ විවරණිකාවෙන් ප්‍රයෝජනයක් ලැබිය හැක්කේ කොහොමද?
16 ඔබට මෙම අලුත් මෙවලම පාවිච්චි කළ හැක්කේ කොහොමද? පළමුව, කියවීමේ දුර්වලකමක් තිබෙන හෝ කියවීමට එතරම් කැමැත්තක් නොදක්වන අය සමඟ පාඩම් කිරීමට එය පාවිච්චි කරන්න පුළුවන.b මෙම විවරණිකාවේ සරල පැහැදිලි කිරීම්වලින් එවැනි අයට ප්‍රයෝජන ලබාගැනීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. මෙම ප්රකාශනයේ පිටපතක් කලින්ම ලබාගෙන සලකා බැලීමෙන් පසුව, වොච් ටවර් ශාඛා කාර්යාල මෙහෙම ලිව්වා: “හොඳින් කියවීමට එතරම් නැඹුරුවාවක් නැති පුද්ගලයන් සිටින රටවල ප්‍රදේශ බොහොමයක මෙම විවරණිකාව ප්‍රයෝජනවත් වෙනවාට සැකයක් නැත.” (බ්‍රසීලය) “තමාගේ ස්වදේශීය භාෂාව කියවන්නවත් බැරි, තවමත් ප්රංස භාෂාව කියවන්න අමාරු සංක්‍රමණය කරන්නන් සෑහෙන සංඛ්‍යාවක් සිටිනවා. එවැනි අය සමඟ පාඩම් කිරීමට ආධාරකයක් වශයෙන් මෙම විවරණිකාව යොදාගන්න පුළුවන්.” (ප්‍රංශය) ඕනෑ විවරණිකාවෙන් ප්‍රයෝජනයක් ලැබිය හැකි ඔබේ ප්‍රදේශයේ මිනිසුන් කවුද කියා ඔබට සිතන්න පුළුවන්ද?
17. අලුත් විවරණිකාව බොහෝ රටවල ප්‍රයෝජනවත් විය හැක්කේ කුමන ආකාරයකින්ද? ඒ ඇයි?
17 දෙවනුව, බොහෝ රටවල දේවභයැති ජනයාගේ අධ්‍යාපන මට්ටම කුමක් වුණත්, ඔවුන් සමඟ බයිබල් පාඩම් ආරම්භ කිරීමට මෙම විවරණිකාව ප්‍රයෝජනවත් විය හැකියි. ඇත්තෙන්ම සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතෙන් පාඩමක් ආරම්භ කිරීමට සම්පූර්ණ ප්රයත්නයක් දරන්න ඕනෑ කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙත් ඇතැම් අවස්ථාවලදී, විවරණිකාව භාවිත කරමින් පාඩමක් ආරම්භ කිරීම වඩාත් පහසු වෙන්න පුළුවන්. ඊට පස්සේ, යෝග්‍ය අවස්ථාවකදී පාඩම අපේ ප්‍රධාන මෙන්ම වඩාත් කැමති පාඩම් ආධාරකය වන දැනුම පොතට මාරු කළ යුතුයි. ඕනෑ විවරණිකාව මෙයාකාරයෙන් පාවිච්චි කිරීම සම්බන්ධයෙන්, වොච් ටවර් ශාඛා කාර්යාල මෙසේ ලිව්වා: “බයිබල් පාඩම් පටන්ගන්න එක අමාරුයි; එනිසා, ප්‍රචාරකයන් විවරණිකාවකින් පටන්ගන්න කොට, පාඩම් පටන්ගැනීමට තිබෙන ඉඩ කඩ වඩාත් හොඳයි කියලා කියන්න පුළුවන්.” (ජර්මනිය) “අලුත් බයිබල් පාඩම් ආරම්භ කිරීමට නම් මෙයාකාරයේ විවරණිකාවක් ඉතා ඵලදායී වෙයි කියලා කියන්න පුළුවන්; එතකොට පාඩම දිගටම දැනුම පොතෙන් කරන්න පුළුවන්.” (ඉතාලිය) “ජපන් ජාතිකයන්ට ඉහළ අධ්‍යාපන මට්ටමක් තිබුණත්, බයිබලය ගැනත් එහි මූලික ඉගැන්වීම් ගැනත් බොහෝදෙනෙකුට තිබෙන්නේ ඉතා සීමිත දැනුමක්. මෙම විවරණිකාව, දැනුම පොතෙන් පාඩම කිරීමට මාර්ගය පිළියෙළ කරන කදිම මෙවලමක් කියලා කියන්න පුළුවන්.”—ජපානය.
18. දෙවිට ඕනෑ කරන දේට එකඟව කටයුතු කිරීම ගැන අප මතක තබාගත යුත්තේ මොකක්ද?
18 ලොව පුරා තිබෙන සමිතියේ ශාඛා කාර්යාල මෙම විවරණිකාව ඉල්ලුම් කළ අතර, එය භාෂා 221කින් පරිවර්තනය කිරීමට අනුමැතිය දී තිබෙනවා. යෙහෝවා දෙවිට ඔවුන්ගෙන් ඕනෑ කරන්නේ කුමක්දැයි දැනගැනීමට අනුන්ට උපකාර කිරීම සඳහා මෙම නව ප්රකාශනය අපට අනර්ඝ ආධාරකයක් වේවා! දේශනා කිරීමට හා ගෝලයන් සෑදීමට වූ ආඥාව ඇතුළුව, දෙවිට ඕනෑ කරන දෙයට අනුකූල වීම, අප යෙහෝවාට කෙතරම් ප්‍රේම කරනවාද කියා පෙන්වීමට ප්‍රස්තාවක් සලසා දෙන බව අපි මතක තබාගනිමු. ඔව්, දෙවිට අපෙන් ඕනෑ කරන දේ බරක් නෙවෙයි. එය ජීවත් විය හැකි හොඳම මාර්ගයයි!—ගීතාවලිය 19:7-11.
[පාදසටහන්වල]
a ජෙහෝවාස් විට්නසස්—ප්රොක්ලේම’ස් ඔෆ් ගෝඩ්ස් කිංඩම් යන පොත මෙහෙම කියනවා: “වීඩියෝ කැසට්පට මුද්‍රිත පිටුවේ හෝ පෞද්ගලිකව සාක්ෂිදැරීමේ තැන ගන්නවා කියලා හිතන්නවත් එපා. ශුභාරංචිය ප්‍රචලිත කිරීමෙහි ඉතා වැදගත් වැඩකොටසක් සමිතියේ ප්‍රකාශන මගින් දිගටම ඉටු වෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගෙයින් ගෙට සේවය, ස්ථිර ශුද්ධ ලියවිලිමය පදනමක් තිබෙන අංගයක් වශයෙන් දිගටම පවතී. කොහොම වුණත්, වීඩියෝ කැසට් දර්ශන අගනා මෙවලම් වශයෙන්, යෙහෝවාගේ අගනා පොරොන්දු කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරන්නත්, ඔහු අපේ කාලයේදී පොළොව මත කිරීමට සලස්වන දේවල් කෙරෙහි අගය පුබුදුවාලන්නත් ආධාර වෙනවා කියලා සලකන්න පුළුවන්.”
b ඕනෑ විවරණිකාව යොදා බයිබල් පාඩමක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකට, 16-17 දක්වා පිටුවල තිබෙන “දෙවිට ඕනෑ කරන දේ ඉගෙනීමට ජනයාට උපකාර වන අලුත් මෙවලමක්” යන ලිපිය බලන්න.
ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?
◻ යෙහෝවා තම සේවකයන්ගෙන් අපේක්ෂා කරන්නේ මොන දෙවැදෑරුම් වැඩයේ සහභාගි වීමද?
◻ දේශනා කිරීමට හා ගෝලයන් සෑදීමට වූ අපේ යුතුකම අපට බරක් නොවන්නේ ඇයි?
◻ දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ අපේ වැඩයෙහි පාවිච්චිය සඳහා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයා තිබෙන්නේ මොන මෙවලම්ද?
◻ ඕනෑ විවරණිකාව සැලසුම් කර තිබෙන්නේ කාටද? එමෙන්ම එය අපේ සේවයෙහි පාවිච්චි කිරීමට අපට හැකි වන්නේ කොහොමද?
[24වන පිටුවේ පින්තූරය]
අපේ දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩය බරක් නොවෙයි
[26වන පිටුවේ පින්තූර]
“ලෙට් ගෝඩ් බී ටෲ” (1946, සංශෝධිත සංස්කරණය 1952): 1,92,50,000ක් භාෂා 54කින්
“සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය” (1968): 10,70,00,000ක් භාෂා 117කින් (ප්‍රංශ භාෂාවෙන්)
“පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක” (1982): 8,09,00,000ක් භාෂා 130කින් (රුසියන් භාෂාවෙන්)
“සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම” (1995): 4,55,00,000ක් භාෂා 125කින් (ජර්මන් භාෂාවෙන්)