සැබෑ සුරක්ෂිතභාවය—දුෂ්කර ඉලක්කයක්
ආර්නල්ඩ්, තමාගේ පුළුන් පුරවන ලද කොටියාට ප්‍රිය කළ දරුවෙක් වූයේය. ඔහු යන සෑම තැනකටම, එනම් සෙල්ලම් කිරීමට, ආහාර මේසයට හා නිදා ගැනීමට යන විට, එය තමා සමඟ රැගෙන ගියේය. එම කොටියා ඔහුට සහනය හා සුරක්ෂිතභාවය සැපයුවේය. එක් දිනක්, දුක්ඛදායක දෙයක් සිදු විය. කොටියා නැති වී තිබුණේය!
ආර්නල්ඩ් ඇඬූ විට, ඔහුගේ මව, පියා හා වැඩිමහල් සහෝදරයන් තිදෙනා, තම විශාල ගෙය පුරා කොටියාව සෙවූහ. ඔවුන්ගෙන් එක්කෙනෙක් අවසානයේදී එය ලාච්චුවක තිබී සොයාගත්තේය. පෙනෙන අන්දමට ආර්නල්ඩ් එය එතැන දමාගොස් තිබූ අතර, පසුව එය කොතැන දැමුවාද කියා ඉක්මනින්ම අමතක කර තිබිණ. ආර්නල්ඩ්ට නැවතත් කොටියාව ලැබුණු අතර, ඔහු තම කඳුළු පිසදමා ගත්තේය. ඔහුට නැවතත් සතුටක් හා සුරක්ෂිතභාවයක් හැඟිණ.
සෑම ගැටලුවක්ම, ලාච්චුවක් තුළ සෙල්ලම් කොටියෙක් සොයාගැනීම තරම්ම සරල ආකාරයකින්, ඉතා පහසුවෙන්ම විසඳාගත හැකි වේ නම් කෙතරම් කදිමද! කෙසේවෙතත්, බොහෝදෙනෙකුට සුරක්ෂිතභාවය හා බැඳි ප්‍රශ්න ඊට වඩා බොහෝ සෙයින් බරපතළ හා සංකීර්ණ වේ. සෑම තැනකම වෙසෙන මනුෂ්‍යයන්හට මෙසේ හැඟේ, එනම් ‘මා අපරාධයේ හෝ සාහසිකකමේ ගොදුරක් වනු ඇද්ද? රැකියාව අහිමි වීම සම්බන්ධයෙන් මා අන්තරාදායක තත්වයක සිටිනවාද? මගේ පවුලේ අයට ප්‍රමාණවත් ආහාර තිබෙනු ඇද්ද? මගේ ආගම හෝ ජාතික පසුබිම නිසා වෙනත් අය මගෙන් ඈත් වී සිටිනු ඇද්ද?’
සුරක්ෂිතභාවය ඌනව සිටින මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. එක්සත් ජාතීන්ට අනුව, බිලියන තුනකට ආසන්න සංඛ්‍යාවකට පොදු රෝගවලට ප්‍රතිකාර ලබාගැනීමේ ඌනතාව පමණක් නොව, නමුත් අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමටද නොහැකි වී තිබේ. මනුෂ්‍යයන් බිලියනයකට වැඩි සංඛ්‍යාවක් අන්ත දුගී තත්වයක සිටිති. බිලියනයකට ආසන්න සංඛ්‍යාවකට වැඩ කිරීමට හැකියාව තිබුණත්, ඔවුන් ඵලදායී රැකියාවල නිරත වී නැත. සරණාගත සංඛ්‍යාව ඉහළ යමින් පවතී. වර්ෂ 1994 අවසානය වන විට, පොළොවේ වෙසෙන සෑම මනුෂ්‍යයන් 115දෙනෙකුගෙන් එක්කෙනෙකුට පමණ, තම නිවසින් පලායෑමට සිදු වී තිබිණ. අපරාධ හා සාහසික ක්‍රියා අසංඛ්යාතයකට හේතු වන, සෑම වර්ෂයකටම ඩොලර් බිලියන 500ක් උපයන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය හේතුකොටගෙන ජීවිත මිලියන සංඛ්‍යාවක් විනාශ වේ. යුද්ධයෙන් මිලියන සංඛ්‍යාවකගේ ජීවිත වැනසෙයි. වර්ෂ 1993දී පමණක්, රටවල් 42ක් විශාල සටන්වල නියැලුණු අතර, තවත් 37ක් දේශපාලන සාහසිකකම් අද්දැක්කේය.
යුද්ධ, දිළිඳුකම, අපරාධ හා මනුෂ්‍ය සුරක්ෂිතභාවයට බලපාන වෙනත් තර්ජන එකිනෙකට බැඳී පවතී, එමෙන්ම ඒවා සංඛ්‍යාවෙන් වැඩි වෙමින් පවතී. එවැනි ගැටලුවලට ලාච්චුවක තිබී සම්බ වන කොටියාට සමාන පහසු විසඳුම් නොමැත. ඇත්තවශයෙන්ම, මනුෂ්‍යයන්ට මේවා කිසිසේත් විසඳිය නොහැක.
“අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්,” යනුවෙන් දේවවචනය වන බයිබලය අනතුරු අඟවයි. එසේනම්, අපට විශ්වාසය තැබිය හැක්කේ කවුරුන් කෙරෙහිද? එම පදය තවදුරටත් මෙසේ පවසයි: “යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය. උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූසේක.”—ගීතාවලිය 146:3-6.
මෙම පොළොවට සුරක්ෂිතභාවය ගෙන ඒම සඳහා අපට යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ මන්ද? සුරක්ෂිත, සන්තෝෂවත් ජීවිත දැන් භුක්තිවිඳිය හැකිද? දෙවියන්වහන්සේ මනුෂ්‍ය සුරක්ෂිතභාවයට ඇති බාධාවන් ඉවත් කරනු ඇත්තේ කෙසේද?