සැබෑ සුරක්ෂිතභාවය—දැනුත් සදහටත්
යෙහෝවඃ දෙවියන්වහන්සේට ස්වකීය ජනයා සඳහා සුරක්ෂිතභාවය සැපයිය හැකි බවට කිසිදු සැකයක් නැත. උන්වහන්සේ “සර්වපරාක්‍රමයාණන්වහන්සේ[ය].” (ගීතාවලිය 68:14) උන්වහන්සේගේ අද්විතීය නාමය, “උන්වහන්සේ සිදුවීමට සලස්වනසේක” යනුවෙන් අර්ථවත් වේ. ස්වකීය පොරොන්දු හා කැමැත්ත ඉටු කරගැනීම සඳහා ඕනෑම බාධාවක් මැඩපැවැත්විය හැකි, විශ්වයේ සිටින එකම තැනැන්වහන්සේ ලෙස මෙය උන්වහන්සේව හඳුන්වයි. දෙවියන්වහන්සේම මෙසේ ප්‍රකාශ කරනසේක: “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.”—යෙසායා 55:11.
උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අය සඳහා දෙවියන්වහන්සේ සුරක්ෂිතභාවය සපයනසේක. උන්වහන්සේගේ වචනය මෙය සහතික කරයි. “ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය” කියා ප්‍රඥාවන්ත සාලමොන් රජ දේවානුභාවයෙන් ප්‍රකාශ කළේය. “ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.” ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: “ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.”—හිතෝපදේශ 18:10; 29:25.
දෙවියන්වහන්සේගේ සේවකයන්ට සුරක්ෂිතභාවය
යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ට, උන්වහන්සේ සුරක්ෂිතභාවය සපයා තිබේ. නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘ යෙරෙමියා දෙවියන්වහන්සේගේ ආරක්ෂාව භුක්තිවින්දේය. බබිලෝනීය යුද හමුදාව විසින් ඇදහිල්ල අත්හැර තිබූ යෙරුසලම වැටලූ විට, මනුෂ්‍යයන්ට “කෑම කිරා [කනස්සල්ලෙන්, NW] පිරිමසාගන [අනුභව කිරීමට]” සිදු විය. (එසකියෙල් 4:17) තත්වය කෙතරම් උග්‍ර වූවාද කිවහොත්, ඇතැම් ස්ත්‍රීහු තම දරුවන් තම්බා අනුභව කළහ. (විලාප ගී 2:20; 4:10) යෙරෙමියාගේ නිර්භීත දේශනා කිරීම හේතුවෙන්, ඔහුව ඒ කාලයේදී අත්අඩංගුවේ තැබුවත්, “රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස්පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ට” යෙහෝවඃවහන්සේ සැලැස්වූසේක.—යෙරෙමියා 37:21.
යෙරුසලම බබිලෝනිවරුන්ට යටත් වූ විට, යෙරෙමියාව මරුමුවට පත් කරනු ලැබුවේවත්, බබිලෝනිය වෙත සිරකරුවෙකු ලෙස බලෙන් ගෙනයනු ලැබුවේවත් නැත. ඒ වෙනුවට, “[බබිලෝනීය] රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තැග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.”—යෙරෙමියා 40:5.
ශතවර්ෂ ගණනාවකට පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ සේවකයන්ට මෙසේ සහතික කළසේක: “එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙල්ලා. මක්නිසාද මේ සියල්ල අන්‍යජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.”—මතෙව් 6:31-33.
සියලු වත්මන් විපත්තිවලින් යෙහෝවඃවහන්සේගේ සේවකයන් දිව්‍ය ආරක්ෂාව භුක්තිවිඳිනු ඇති බව මින් අදහස් කෙරේද? නැත, එය අදහස් නොකෙරේ. ඇදහිලිවන්ත අය හානිවලට ලක්වීමෙන් නිදහස්ව නොසිටිත්. සැබෑ ක්‍රිස්තියානීහු අසනීප වෙති, පීඩා අද්දකිති, අපරාධවලට ගොදුරු වෙති, හදිසි අනතුරුවලදී මියයති, එසේම, වෙනත් ආකාරවලින්ද දුක් විඳිති.
යෙහෝවඃවහන්සේ තවමත් අනතුරුවලින් සම්පූර්ණ සුරක්ෂිතභාවය ලබා නුදුන්නත්, ස්වකීය සේවකයන්ට සැපයීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට උන්වහන්සේ ස්වකීය බලය භාවිත කරන බව වාර්තාවලින් පෙන්නුම් කෙරේ. ක්‍රිස්තියානීන් තම ජීවිතවලට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා බැවින්, බොහෝ ගැටලුවලින්ද ආරක්ෂා වනු ඇත. (හිතෝපදේශ 22:3) තවදුරටත්, අවශ්‍යතා තිබෙන අවස්ථාවලදී එකිනෙකාට උපකාර කරන, ප්‍රේමනීය මෙන්ම ආත්මික සහෝදර සහෝදරියන්ගේ ලෝක ව්‍යාප්ත සංගමයක සුරක්ෂිතභාවයක් ඔවුහු භුක්තිවිඳිති. (යොහන් 13:34, 35; රෝම 8:28) නිදසුනක් වශයෙන්, යුද්ධයෙන් වැනසුණු රුවන්ඩාහි වෙසෙන තම සහෝදරයන්ගේ අසරණ තත්වයට ප්‍රතිචාරය දැක්වීමක් ලෙස, යුරෝපයේ වෙසෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඉතා ඉක්මනින්, ඇඳුම් පැළඳුම් ටොන් 65ක් හා ඩොලර් 16,00,000ක් වටිනා බෙහෙත්, ආහාර හා වෙනත් සැපයුම් පරිත්‍යාග කර යැවූහ.—ක්‍රියා 11:28, 29, සසඳන්න.
සැබෑ ක්‍රිස්තියානීන්ට පරීක්ෂා පැමිණීමට යෙහෝවඃවහන්සේ ඉඩහැරියත්, ඒවා විඳදරාගැනීම සඳහා අවශ්‍ය ශක්තිය, උපකාරය හා ප්‍රඥාව උන්වහන්සේ දෙන බවට සහතිකය ඔවුන්ට තිබේ. සෙසු ඇදහිලිවන්තයන්ට ලිවීමේදී, ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය: “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.”—1 කොරින්ති 10:13.
දෙවියන්වහන්සේ ස්වකීය ජනයා සඳහා කරන දේ
අදදින මිලියන ගණන් අය දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි සතුටින් නියැලෙති. දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔවුන්ට බල කරනු නොලැබේ; ඔවුන් එසේ කරන්නේ උන්වහන්සේව හඳුනන නිසාත්, උන්වහන්සේට ප්‍රේම කරන නිසාත්ය. යෙහෝවඃවහන්සේ ස්වකීය පක්ෂපාත සේවකයන්ට ප්‍රේම කරන බැවින්, කීකරු මනුෂ්‍යවර්ගයාට සාමය, හොඳ සෞඛ්‍ය තත්වය හා සුරක්ෂිතභාවය සදහටම භුක්තිවිඳිය හැකි පාරාදීසයක් බවට පොළොව පරිවර්තනය කිරීමට අරමුණු කරනසේක.—ලූක් 23:43.
දෙවියන්වහන්සේ මෙය ස්වර්ගික ආණ්ඩුවක් මගින් කරනසේක, එහි පාලකයා වශයෙන් උන්වහන්සේ ස්වකීය පත් කරන ලද රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිටීමට සලස්වනසේක. (දානියෙල් 7:13, 14) බයිබලයෙහි, මෙම ආණ්ඩුව “දෙවියන්වහන්සේගේ රාජ්‍යය” ලෙස හා “ස්වර්ගරාජ්‍යය” ලෙස යොමු දක්වා තිබේ. (1 කොරින්ති 15:50; මතෙව් 13:44) සියලුම මනුෂ්‍ය ආණ්ඩු වෙනුවට, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිහිටුවනු ලැබේ. පොළොවෙහි බොහෝ ආණ්ඩු තිබෙනවා වෙනුවට, මෙහි තිබෙනු ඇත්තේ එක් ආණ්ඩුවක් පමණි. එය මුළු පොළොව කෙරෙහි ධර්මිෂ්ඨකමින් පාලනය කරනු ඇත.—ගීතාවලිය 72:7, 8; දානියෙල් 2:44, 45ආ.
රාජ්‍යය යටතේ ජීවත්වීමට යෙහෝවඃවහන්සේ සියලුදෙනාටම ආරාධනා කරනසේක. උන්වහන්සේ මෙය කරන එක් ආකාරයක් නම්, මනුෂ්‍යවර්ගයා සඳහා රාජ්‍යය කරනු ඇති දේ පැහැදිලි කරන ග්‍රන්ථය වන බයිබලය පුළුල් ලෙස බෙදාහැරීමෙන්ය. බයිබලය වනාහි, ලෝකයේ වඩාත් පුළුල් ලෙස බෙදාහැර තිබෙන පොත වන අතර, එය දැන් මුළුමනින්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,000කට වඩා වැඩි සංඛ්‍යාවකින් ලබාගත හැක.
බයිබලයෙහි රාජ්‍යය පිළිබඳව උගන්වන දේ වටහාගැනීමට, යෙහෝවඃ දෙවියන්වහන්සේ ප්‍රේමනීය ආකාරයකින් මනුෂ්‍යයන්ට උපකාර කරනසේක. උන්වහන්සේ එය කරන්නේ, උපදෙස් දීමෙන් හා වෙනත් අයට ශුද්ධ ලියවිලි පැහැදිලි කිරීම සඳහා මනුෂ්‍යයන් යැවීමෙන්ය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් දැන් රටවල් 230කට වඩා වැඩි ගණනක දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිති.
සියල්ලන්ටම සැබෑ සුරක්ෂිතභාවය?
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට යටත්වීමෙන්, උන්වහන්සේගේ රාජ්‍යයේ යටත්වැසියෙකු වීමේ ආරාධනාව සෑමදෙනාම පිළිගනු ඇද්ද? නැත, මන්ද, බොහෝ මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට කිසිදු උනන්දුවක් නොමැති බැවිනි. තම ජීවිත හොඳ අතට හැරවීම සඳහා උපකාර කිරීමට දරන වෑයම් ඔවුහු ප්‍රතික්ෂේප කරති. සැබවින්ම, යේසුස්වහන්සේ පැවසූ ආකාරයේ අය මෙන් ඔවුහු පෙනී සිටිති: “යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, [දෙවියන්වහන්සේ] විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිති.”—මතෙව් 13:15.
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගවලට අනුකූලව ජීවත්වීමට ප්‍රතික්ෂේප කරන අය මධ්‍යයෙහි, පොළොව මත කවදා හෝ සැබෑ සුරක්ෂිතභාවය තිබිය හැක්කේ කෙසේද? එසේ තිබිය නොහැක. අභක්තික මනුෂ්‍යයෝ, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අවශ්‍ය අයගේ සුරක්ෂිතභාවයට තර්ජනයක් එල්ල කරති.
දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට වෙනස්වීමට බල කරන්නේ නැති මුත්, සදාකාලයටම දුෂ්ටකම පැවතීම ඉවසන්නේද නැත. යෙහෝවඃවහන්සේ ස්වකීය මාර්ග හා අරමුණු සම්බන්ධයෙන් මනුෂ්‍යයන්ට ඉගැන්වීමට ඉවසිලිවන්තව දිගටම සාක්ෂිකරුවන්ව යවමින් සිටියත්, උන්වහන්සේ වැඩිකල් එසේ නොකරනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පුරෝකථනය කළසේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.
දෙවියන්වහන්සේගේ ප්‍රමිති ප්‍රතික්ෂේප කරන අයට “අන්තිම[යෙන්]” කුමක් අදහස් කරනු ඇද්ද? එයින් ඔවුන්ගේ අහිතකර විනිශ්චය හා විනාශය අදහස් කරනු ඇත. “දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල [දීම]” ගැන බයිබලය කතා කරයි. “ඒ තැනැත්තෝ . . . සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.”—2 තෙසලෝනික 1:6-10.
අවසානයේදී —සැබෑ සුරක්ෂිතභාවය සදහටම!
යෙහෝවඃවහන්සේගේ සමාදානයේ මාර්ග ප්‍රතික්ෂේප කරන අයගේ විනාශයෙන් අනතුරුව, පොළොව මත වෙසෙන ධර්මිෂ්ඨ අයගේ ප්‍රයෝජනය සඳහා දේවරාජ්‍යය මගින් සුරක්ෂිතභාවයේ ශ්‍රේෂ්ඨ කාලපරිච්ඡේදයක් ගෙනෙනු ඇත. (ගීතාවලිය 37:10, 11) අදදින අප ජීවත් වන ලෝකයට වඩා, ඒ නව ලොව මොනතරම් වෙනස් වනු ඇද්ද!—2 පේතෘස් 3:13.
සාගත හා කුසගින්න මින්මතු නොතිබෙනු ඇත. සෑමදෙනාටම ආහාර බහුලව තිබෙනු ඇත. ‘සියලු ජනයා සාර වූ දෙයින් මංගල්‍යයක් භුක්තිවිඳින,’ බව බයිබලය ප්‍රකාශ කරයි. (යෙසායා 25:6) ආහාරවල කිසිදු හිඟයක් නොතිබෙනු ඇත, මන්ද, “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය [වන]” බැවිනි.—ගීතාවලිය 72:16.
මනුෂ්‍යයන් මින්පසු පැල්පත්වල හා මුඩුක්කු ප්‍රදේශවල ජීවත් නොවනු ඇත. දේවරාජ්‍යය යටතේදී, සෑම කෙනෙකුටම කදිම නිවෙස් තිබෙනු ඇති අතර, ඔවුන්ගේම බිමෙහි වගා කළ බෝග අනුභව කරනු ඇත. බයිබලය මෙසේ පොරොන්දු වෙයි: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය.”—යෙසායා 65:21.
හාත්පස පැතිරී පවතින විරැකියාව වෙනුවට, ඵලදායී වැඩ තිබෙනු ඇති අතර, මනුෂ්‍යයන් එයින් යහපත් ප්‍රතිඵල අද්දකිනු ඇත. දේවවචනය මෙසේ සඳහන් කරයි: “මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේ [නැත].”—යෙසායා 65:22, 23.
රාජ්‍යය පාලනය යටතේ, මනුෂ්‍යයන් පීඩා විඳ රෝගවලින් මිය නොයනු ඇත. දේවවචනය අපට මෙසේ සහතික කරයි: “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.”—යෙසායා 33:24.
ඉතා ඉක්මනින්ම යථාර්ථයක් බවට පත්වීමට තිබෙන භූමික පාරාදීසය තුළ, දුක් විඳීම හා වේදනාවද, ශෝකය හා මරණයද ඉවත් කරනු ලබනවා ඇත. එසේය, මරණය පවා ඉවත් වේ! මනුෂ්‍යයන් සදාකාලයටම පාරාදීසයක ජීවත් වනු ඇත. දෙවියන්වහන්සේ “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය” කියා බයිබලය අපට පවසයි.—එළිදරව් 21:4.
“සමාදානයේ කුමාරයා” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පාලනය යටතේ, පොළොව මත ජීවිතය අවසානයේදී සැබවින්ම සුරක්ෂිත එකක් වනු ඇත. ඇත්තෙන්ම, ලෝක ව්‍යාප්ත සුරක්ෂිතභාවය, ධර්මිෂ්ඨ, ප්‍රේමනීය එකම ආණ්ඩුව වන දේවරාජ්‍යයේ පාලනය යටතේ පවතිනු ඇත.—යෙසායා 9:6, 7; එළිදරව් 7:9, 17.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“මිනිස් සුරක්ෂිතභාවයේ හෙට දිනය කෙරෙහි විශ්වාසය . . . දේශපාලනික හා ආර්ථික තත්වයේ ස්ථාවරත්වය කෙරෙහි [විශ්වාසය] අඟවයි.”—ආසියාවේ වෙසෙන ස්ත්‍රියක්
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“මේ සෑම දෙයකින්ම ඔබට සුරක්ෂිත නැති තත්වයක් හැඟෙන්ට සලස්වන්නේ, සාහසිකකම හා අපචාරිකමය.”—දකුණු අමෙරිකාවේ වෙසෙන පුරුෂයෙක්
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ආක්‍රමණයේදී . . . මට සුරක්ෂිතභාවයක් හැඟුණේ නැත. රටක් යුද්ධයට සම්බන්ධ නම්, එහි වෙසෙන ජනයාට සුරක්ෂිතභාවයක් හැඟෙන්නේ කෙසේද?”—මැද පෙරදිග වෙසෙන ප්‍රාථමික පාසැල් ශිෂ්‍යයෙක්
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“රාත්‍රි කාලයේදී දූෂණය කරනු ලැබීමකින් තොරව මට වීදියේ ඇවිදීමට හැකි බව දන්නා විට, මට සුරක්ෂිතභාවයක් හැඟෙනු ඇත.”—අප්‍රිකාවේ පාසැල් දැරියක්