රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
‘ලෝකයේ ප්‍රදීප මෙන් බැබළීම’
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ අද්විතීය පුද්ගලයන් ලෙස කැපීපෙනෙන අතර, බොහෝවිට රුධිර ප්‍රවේශන නොපිළිගැනීම නිසා නරක ප්‍රචාරයක් ලබති. කෙසේවෙතත්, මෙම ස්ථාවරය ස්ථිර වශයෙන්ම බයිබලය මත පදනම්ව තිබේ. දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ රුධිරය අනර්ඝව තිබෙන බැවින්, රුධිරයේ අනිසි භාවිතය උන්වහන්සේ හෙළා දකින බව එය පෙන්නුම් කරයි. (උත්පත්ති 9:3, 4; ලෙවී කථාව 17:14) මෙම විෂය සම්බන්ධව ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ‘රුධිරයෙන් වැළකී සිටින්න’ යන බයිබල් නියෝගයට, පැහැදිලිවම අදදින පිළිවෙත වන රුධිරය ප්‍රවේශනය කිරීමද ඇතුළත් වන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ නිගමනය කරති.—ක්‍රියා 15:19, 20, 28, 29.
මෑත වසරවලදී, වෛද්‍ය ප්‍රජාවේ සාමාජිකයන් ඇතුළු ඇතැම් රටවල අධිකරණ, මෙම කාරණය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට සහයෝගය දී තිබේ. නිදසුනක් වශයෙන්, රුධිරය සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය දැන සිටි ඩෙන්මාර්කයේ යෞවන මවක් මෝටර් රථ අනතුරකින් මිය ගියාය. ඇය රුධිර ප්‍රවේශනයක් ලබාගැනීමට ප්‍රතික්ෂේප කළ බැවින්, ඇයගේ වෛද්‍යවරු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව මාසයක් පැවති විරෝධතා ව්‍යාපාරයක් ගෙන යෑමට ජනසන්නිවේදන මාධ්‍යයන්ට අනුබල දුන්නෝය.
එම යෞවන ස්ත්‍රියගේ දෙමාපියන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉල්ලා සිටි අතර, 1994 අප්‍රියෙල් මාසයේදී ඩෙන්මාර්කයේ රෝගීන්ගේ පැමිණිලි කොමිසම විසින් තීරණයක් නිවේදනය කරන ලදි. රෝගියා මිය ගියේ ඇය රුධිරය ලබාගැනීමට ප්‍රතික්ෂේප කළ නිසා නොව, නමුත් වෛද්‍ය අවකල් ක්‍රියාවක් නිසා බව එහි සඳහන් විය. අධිකරණ වෛද්‍ය විද්‍යා මණ්ඩලය සහ සෞඛ්‍ය අධිකාරීන්ගේ පරීක්ෂණ මත එම තීරණය පදනම් වී තිබිණ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් රුධිරය ලබාගැනීමට ප්‍රතික්ෂේප කරන බව සැලකිල්ලට ගෙන, ඔවුන්ට දැනට පවතින හොඳම විකල්ප ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන්ට යුතුකමක් තිබෙන බව, ජාතික සෞඛ්‍ය මණ්ඩලය චක්රලේඛනයකින් ඩෙන්මාර්කයේ සියලුම සෞඛ්‍ය සේවා පහසුකම්වලට දැනුම් දුන්නේය.
ලිව්කීමියාවෙන් මිය ගිය අවුරුදු 15ක් වයසැති සාක්ෂිකරුවෙකු වූ ඩැන් හා සම්බන්ධ තවත් නඩුවක් විය. මේ අවස්ථාවේදී, රුධිර ප්‍රවේශනයක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඩැන්ගේ නිර්භීත තීරණයට වෛද්‍යවරු ගෞරවය කළෝය. මෙය පුවත්පත්වල පුළුල් ලෙස පළ වූ අතර, ජනසන්නිවේදන මාධ්‍යයන් ඩැන්ගේ මරණයට වෛද්‍යවරුන්ට දොස් පැවරීය. කෙසේවුවත් බොහෝදෙනෙක් මෙම නිෂේධාත්මක ප්රචාරයට එකඟ නොවූහ.
නිදසුනක් වශයෙන්, ඩැන් ගිය පාසැලේ විදුහල්පතිවරයා අවමංගල්‍යය උත්සවය සඳහා රාජ්‍ය ශාලාවට පැමිණ සිටියේය. ඩැන්ගේ මරණය සම්බන්ධයෙන් කර තිබුණා වූ අසාධාරණ ප්රවෘත්ති ප්‍රචාරය පිළිබඳව ඔහු සිය පුදුමය පළ කළේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් සාක්ෂිකාර හවුල් සේවකයෙකුගෙන් විමසීමෙන් පසුව, ජෙහෝවා’ස් විට්නසස්—දි ඕර්ගනයිසේෂන් බිහයින්ඩ් ද නේම් නමැති වීඩියෝ පටයේ පිටපතක් ඔහු පිළිගත්තේය. එම වීඩියෝ පටය ඔහුගේ සිතට කෙතරම් කාවැදුණාද කිවහොත්, පාසැලේ සිටින සියලුම ගුරුවරුන්ට එය නැරඹීම සඳහා ඔහු කටයුතු සූදානම් කළේය. ඉන්පසු එක අවස්ථාවක එක පංතිය බැගින්, එම වීඩියෝ පටය ශිෂ්‍යයන් සියලුදෙනාටම පෙන්වනු ලැබීය.
ඩැන්ගේ වෛද්‍යවරුන්ට ලැබුණා වූ නරක ප්‍රචාරය සම්බන්ධයෙන්, ඩෙන්මාර්කයේ සෞඛ්‍ය ඇමතිවරයාද එකඟ වූයේ නැත. ඩැන්ගේ මේරූ තීරණය සහ හොඳ පදනමක් මත තිබූ විශ්වාසයට ගෞරවය කිරීම තුළින් වෛද්‍යවරුන් නිවැරදි දේ කර තිබූ බව ඔහු ප්‍රකාශ කළේය.
දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුකම දක්වන රාජ්‍ය ප්‍රචාරකයෝ මිලියන සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ කීකරුකම නිසා ඔවුහු ‘ලෝකයේ ප්‍රදීප මෙන් බැබළෙමින්’ [NW] කැපීපෙනෙමින් සිටිති.—පිලිප්පි 2:12, 14, 15.