ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 11/1 10-15 පි.
  • ‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “අන්තිමය”—කවදාද?
  • “මේ පරම්පරාව”—එය කුමක්ද?
  • “මේ නපුරු පරම්පරාව”
  • “මේ පරම්පරාව” හඳුනාගනු ලැබ
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවදිව සිටීමට කාලයක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 11/1 10-15 පි.

‘දුෂ්ට පරම්පරාවකින්’ ගැළවී

“අහෝ ඇදහිලි නැත්තාවූ හිතුවක්කාර පරම්පරාව, මම කොපමණ කල් නුඹලා සමඟ සිට නුඹලා ගැන ඉවසම්ද?”—ලූක් 9:41.

1. (අ) අප ජීවත්වන අර්බුදකාරි කාලවලින් අඟවන්නේ කුමක්ද? (ආ) බේරී ජීවත්වන්නන් ගැන ශුද්ධ ලියවිලි පවසන්නේ කුමක්ද?

අප ජීවත්වන්නේ අර්බුදකාරි කාලවලය. භූමිකම්පා, ජලගැලීම්, සාගත, රෝග, නොපනත්කම, බෝම්බ දැමීම්, බිහිසුණු යුද්ධ තවත් දේද අපගේ 20වන සියවස තුළදී මිනිස්වර්ගයාව ගිලගෙන තිබේ. කෙසේවෙතත්, කැලඹිලිවල මහත්ම අර්බුදය නුදුරු අනාගතයේ තිබේ. ඒ කුමක්ද? එය වනාහි “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩා[ය].” (මතෙව් 24:21) එහෙත්, අපි බොහෝදෙනෙක් ප්‍රීතිමත් අනාගතයක් දෙස බලා සිටින්නෙමු! ඒ මන්ද? “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” ගැන දෙවියන්වහන්සේගේ වචනය විස්තර කරන බැවිනි. “මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, . . . ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත; . . . දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක.”—එළිදරව් 7:1, 9, 14-17.

2. මතෙව් 24, මාර්ක් 13 සහ ලූක් 21හි ආරම්භක වචනවලට තිබුණේ කුමන මුල් අනාවැකිමය ඉටුවීමක්ද?

2 මතෙව් 24:3-22, මාර්ක් 13:3-20 සහ ලූක් 21:7-24හි ආනුභාව ලත් වාර්තාව, “දේවල පිළිවෙළේ සමාප්තිය” [NW] පිළිබඳව යේසුස්වහන්සේගේ අනාවැකිමය විස්තරය හඳුන්වා දෙයි.a අපගේ පොයු යුගයේ පළමු සියවසේදී දූෂිත යුදෙව් දේවල පිළිවෙළ මත මුල් ඉටුවීමක් තිබූ අතර, යුදෙව්වන් මත පෙර නොවූ විරූ “මහත් පීඩාවක්” තුළින් උච්චාවස්ථාවට පත්විය. යෙරුසලම මත කේන්ද්‍රගතව තිබූ, යුදෙව් පිළිවෙළේ සකල ආගමික සහ දේශපාලන ව්‍යූහය යළිත් කිසිවිටක පිහිටුවනු නොලබන සේ මුලිනුපුටා දමන ලදි.

3. අප අදදින යේසුස්වහන්සේගේ අනාවැකියට අවනත වීම හදිසි දෙයක් වන්නේ මන්ද?

3 යේසුස්වහන්සේගේ අනාවැකියේ පළමු ඉටුවීමට තුඩු දුන් තත්වයන් දැන් අපි සලකා බලමු. අදදින සමාන්තර ඉටුවීම වඩාත් හොඳින් තේරුම්ගැනීමට මෙය අපට උපකාර කරනවා ඇත. සියලු මිනිස්වර්ගයාට තර්ජනය කරන මහත්ම පීඩාවෙන් බේරී ජීවත්වීම පිණිස, දැන් ඒකාන්ත පියවර ගැනීම කොතරම් වැදගත්ද කියා එය අපට පෙන්වනවා ඇත.—රෝම 10:9-13; 15:4; 1 කොරින්ති 10:11; 15:58.

“අන්තිමය”—කවදාද?

4, 5. (අ) පොදු යුගයේ පළමු සියවසේ දේවභයැති යුදෙව්වන් දානියෙල් 9:24-27හි අනාවැකිය කෙරෙහි උනන්දු වූයේ මන්ද? (ආ) මෙම අනාවැකිය ඉටුවූයේ කෙසේද?

4 අවුරුදු ‘සති සැත්තෑවක’ කාලපරිච්ඡේදයක අවසාන “සතිය” අතරතුරේදී සිදුවනු ඇති සිද්ධීන් පිළිබඳව, පො.යු.පෙ. 539දී පමණ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ දානියෙල්හට දර්ශනයක් දෙන ලදි. (දානියෙල් 9:24-27) මෙම “සති” ආරම්භ වූයේ, පර්සියාවේ අර්තක්ෂස්තා විසින් යෙරුසලම නැවත ගොඩනැඟීමට නියෝග කළ පො.යු.පෙ. 455දීය. අවසාන සතිය ආරම්භ වූයේ, මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පො.යු. 29දී බව්තීස්ම වී, ආලේප කරනු ලැබූ විටය.b පොදු යුගයේ පළමු සියවසේ දේවභයැති යුදෙව්වෝ, දානියෙල්ගේ අනාවැකියේ මෙම කාලය ගැන මැනවින් සාවධානව සිටියහ. නිදසුනක් වශයෙන්, පො.යු. 29දී යොහන් බව්තීස්තගේ දේශනා ඇසීමට රොක්වූ සමූහයා සම්බන්ධව, ලූක් 3:15 මෙසේ ප්‍රකාශ කරයි: “සෙනග බලාපොරොත්තුවෙන් සිටි අතරද සියල්ලන් යොහන් ගැන, ඔහු ක්‍රිස්තුස්වහන්සේ දෝහෝයි සිතින් කල්පනා කරමින් සිටි[යෝය].”

5 හැත්තෑවන “සතිය” යුදෙව්වන් සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වනු ලැබූ අවුරුදු හතක් විණ. එය පො.යු. 29දී පටන්ගත් අතර, යේසුස්වහන්සේගේ බව්තීස්මය සහ දේවසේවය, පො.යු. 33දී, එනම් “සතිය මැදදී” උන්වහන්සේගේ යාගික මරණය සහ පො.යු. 36 තෙක් දිවගිය අනික් ‘අර්ධ සතිය’ ඊට ඇතුළත් විය. මෙම “සතිය” අතරතුරේදී, යේසුස්වහන්සේගේ අභිෂේක ලත් ගෝලයන් වීමේ ප්‍රස්තාව මුළුමනින්ම දේවභයැති යුදෙව්වන් හා යුදා ආගමට හැරුණු අයහට විහිදුවන ලදි. අනතුරුව, කලින් නොදැන සිටි දිනයක් වූ පො.යු. 70දී, ටයිටස් යටතේ පැමිණි රෝම සේනාංකය ඇදහිල්ල අත්හළ එම යුදෙව් පිළිවෙළම අතු ගා දැමුවේය.—දානියෙල් 9:26, 27.

6. (අ) පොදු යුගයේ 66දී ආරම්භ වූ “පීඩාව” කොතරම් විනාශකාරි වීද? (ආ) බේරී ජීවත්වූයේ කවුරුන්ද, තවද කිනම් හදිසි ක්‍රියාමාර්ගය ගත් නිසාද?

6 මෙසේ, යෙරුසලම් දේවමාළිගාව අපවිත්‍ර කර තිබූ සහ දෙවියන්වහන්සේගේම පුත්‍රයාණන්ව මැරීමට කුමන්ත්‍රණය කර තිබූ යුදෙව් පූජකතන්ත්‍රය පහ කර දමන ලදි. ජාතික සහ වාර්ගික වාර්තාද විනාශ විය. ඉන්පසුව, පූජක හෝ රාජකීය උරුමයක් ගැන අයිතිවාසිකම් කීමට කිසිම යුදෙව්වෙකුට නොහැකි විය. එහෙත්, අභිෂේක ලත් ආත්මික යුදෙව්වන්ව, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ “උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස” රාජකීය පූජකතන්ත්‍රයක් ලෙස වෙන් කරනු ලැබ තිබීම සන්තෝෂයට කරුණකි. (1 පේතෘස් 2:9) රෝම හමුදාව පළමු වතාවට යෙරුසලම වටලා පො.යු. 66දී දේවමාළිගා පෙදෙස පීඩාවට පත් කළ අවස්ථාවේ, මෙම යුද්ධ හමුදාව වනාහි, “අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුළ ශුද්ධස්ථානයෙහි” තිබීම බව ක්‍රිස්තියානීහු වටහාගත්හ. යේසුස්වහන්සේගේ අනාගතික නියෝගයට කීකරු වෙමින්, යෙරුසලමේ සහ යුදාහි සිටි ක්‍රිස්තියානීහු ආරක්ෂාව සඳහා කඳුකර පෙදෙස්වලට පලා ගියෝය.—මතෙව් 24:15, 16; ලූක් 21:20, 21.

7, 8. ක්‍රිස්තියානීන් නිරීක්ෂණය කළ “ලකුණ” කුමක්ද, නමුත් ඔවුන් දැන නොසිටියේ කුමක්ද?

7 දානියෙල්ගේ අනාවැකියේ ඉටුවීම නිරීක්ෂණය කළ එම විශ්වාසවන්ත යුදෙව් ක්‍රිස්තියානීහු, ‘දේවල පිළිවෙළේ සමාප්තියේ . . . ලකුණේ’ කොටසක් වශයෙන් යේසුස්වහන්සේ පුරෝකථනය කර තිබූ ව්‍යසනකාරි යුද්ධ, සාගත, වසංගත, භූමිකම්පා, සහ නොපනත්කම ඇසින් දුටු සාක්ෂිකරුවෝ වූහ. (මතෙව් 24:3) එහෙත් එම දූෂිත පිළිවෙළ මත යෙහෝවඃවහන්සේ සැබවින්ම විනිශ්චය ඉටු කරනු ඇත්තේ කවදාද කියා යේසුස්වහන්සේ පුරෝකථනය කර තිබිණද? නැත. උන්වහන්සේ තම අනාගත රාජකීය පැමිණ සිටීම ගැන පුරෝකථනය කළ දේ, පළමු සියවසේ ‘මහත් පීඩාවටද’ නිතැතින්ම අදාළ විය: “නුමුත් ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.”—මතෙව් 24:36.

8 මෙසියස් වශයෙන් යේසුස්වහන්සේගේ පෙනීසිටීමේ කාලය දානියෙල්ගේ අනාවැකියෙන් ගණනය කිරීමට යුදෙව්වන්ට හැකිවිණ. (දානියෙල් 9:25) එහෙත්, අන්තිමේදී ඇදහිල්ල අත්හළ යුදෙව් දේවල පිළිවෙළ පාළු කළ “මහත් පීඩාව” සඳහා දිනයක් ඔවුන්හට නොදෙන ලදි. දිනය පො.යු. 70 බව ඔවුන් වටහාගත්තේ, යෙරුසලම හා එහි දේවමාළිගාව විනාශ වීමෙන් පසුව පමණකි. කෙසේවෙතත්, ඔවුහු යේසුස්වහන්සේගේ මෙම අනාවැකිමය වචන ගැන සාවධානව සිට තිබුණාහ: “මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.” (මතෙව් 24:34) පෙනෙන විදිහට, මෙහි “පරම්පරාව” යන්නෙහි අදාළ වීම, දේශනාකාරයා 1:4හි කතා කරන, යම් කාලපරිච්ඡේදයක් පුරා පැමිණෙමින් පහව යන පරම්පරාවන්ට වඩා වෙනස්ය.

“මේ පරම්පරාව”—එය කුමක්ද?

9. ශබ්දකෝෂ ජෙ·නෙ·ආʹ යන ග්‍රීක් වචනය නිර්වචනය කරන්නේ කෙසේද?

9 යේසුස්වහන්සේ සමඟ ඔලීව කන්ද මත වාඩි වී සිටි ප්‍රේරිතයන් හතරදෙනා “දේවල පිළිවෙළේ සමාප්තිය” පිළිබඳව උන්වහන්සේගේ අනාවැකිය ඇසූ අවස්ථාවේ, “මේ පරම්පරාව” යන ප්‍රකාශය ඔවුන් විසින් තේරුම්ගනු ඇත්තේ කෙසේද? සුවිශේෂවල සඳහන් “පරම්පරාව” යන වචනය පරිවර්තනය කර ඇත්තේ ජෙ·නෙ·ආʹ යන ග්‍රීක් වචනයෙන් වන අතර, වත්මන් ශබ්දකෝෂ එය මෙම යෙදුම්වලින් නිර්වචනය කරයි: “පද[ගතාර්ථයෙන්ම] පොදු මුතුන්මිත්තෙකුගෙන් පැවතෙන අය.” (වෝල්ටර් බාවුර්ගේ ග්‍රීක්-ඉංග්ලිෂ් ලෙක්සිකන් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්) “ජනිත වූ යමක්, පවුලක්; . . . ජන්ම පෙළපතක අනුක්‍රමික සාමාජිකයෝ . . . නැතහොත් ජාතියක් . . . හෝ එකම වකවානුවක ජීවත්වන පුරුෂ සමූහයක්, මතෙ. 24:34; මාර්ක් 13:30; ලූක් 1:48; 21:32; පිලි. 2:15; සහ විශේෂයෙන්ම එකම කාලපරිච්ඡේදය තුළ ජීවත්වන යුදෙව් ජාතියට අයත් අය.” (ඩබ්. ඊ. වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස්) “ජනිත වූ යමක්, එකම පෙළැන්තියක පුරුෂයන්, පවුලක්; . . . එකම කාලය තුළ ජීවත්වන සකල පුරුෂ සමූහය: මතෙ. xxiv. 34; මාක්. xiii. 30; ලූ. ලූක් i. 48 . . . විශේෂයෙන්ම භාවිත කරන ලද්දේ එකම කාලපරිච්ඡේදය තුළ ජීවත්වූ යුදෙව් ජාතිය හා සම්බන්ධයෙනි.”—ජේ. එච්. තායර්ගේ ග්‍රීක්-ඉංග්ලිෂ් ලෙක්සිකන් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්.

10. (අ) මතෙව් 24:34 සඳහන් කිරීමේදී මූලාශ්‍ර දෙකක් දෙන එක සමාන නිර්වචනය කුමක්ද? (ආ) දේවධර්මීය ශබ්දකෝෂයක් සහ ඇතැම් බයිබල් පරිවර්තන මෙම නිර්වචනයට එකඟ වන්නේ කෙසේද?

10 මෙසේ වයින් සහ තායර් යන දෙදෙනාම “මේ පරම්පරාව” (හෙ ජෙ·නෙ·ආʹ හව්ʹටෙ) නිර්වචනය කරද්දී මතෙව් 24:34 සඳහන් කරන්නේ, “එකම කාලපරිච්ඡේදය තුළ ජීවත්වන සකල පුරුෂ සමූහය” වශයෙනි. තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් (1964) මෙම නිර්වචනයට අනුබල දෙමින් මෙසේ ප්‍රකාශ කරයි: “ ‘පරම්පරාව’ යනුවෙන් යේසුස්වහන්සේ භාවිත කිරීම උන්වහන්සේගේ පෘථුල අරමුණ ප්‍රකාශයට පත් කරයි: උන්වහන්සේ මෙහිදී සකල ජනයාව ඉලක්ක කරන අතර, පාපය තුළ ඔවුන් පොදුවේ ගිලී සිටින අන්දම ගැන සාවධානව සිටිනසේක.” සැබවින්ම, යේසුස්වහන්සේ පොළොව මත සිටි විට, යුදෙව් ජාතිය සම්බන්ධයෙන්, “පාපය තුළ ඔවුන් පොදුවේ ගිලී සිටින අන්දම,” දක්නට ලැබූ අතර, අදදින එම අංග ලක්ෂණය ලෝක පිළිවෙළ තුළ දක්නට ලැබේ.c

11. (අ) හෙ ජෙ·නෙ·ආʹ හව්ʹටෙ අදාළ කරන ආකාරය නිර්ණය කිරීමේදී මූලිකවම අපට මඟ පෙන්විය යුත්තේ කිනම් අධිකාරයක්ද? (ආ) එම අධිකාරය මෙම යෙදුම භාවිත කළේ කෙසේද?

11 ඇත්තවශයෙන්ම, මෙම කාරණය අධ්‍යයනය කරන ක්‍රිස්තියානීන්, මූලික වශයෙන් තම සිතිවිලි හසුරුවන්නේ, දේවානුභාවය ලද සුවිශේෂ ලේඛකයන් යේසුස්වහන්සේගේ වදන් වාර්තා කරද්දී, හෙ ජෙ·නෙ·ආʹ හව්ʹටෙ යන ග්‍රීක් ප්‍රකාශය හෙවත් “මේ පරම්පරාව” යන්න යොදාගත් ආකාරය මගිනි. මෙම යෙදුම අඛණ්ඩව භාවිත කරන ලද්දේ නිෂේධාත්මක අන්දමකින්ය. මෙසේ, යුදෙව් ආගමික නායකයන්ව “සර්පයෙනි, පොළොංවංශයෙනි” කියා හැඳින්වූ යේසුස්වහන්සේ, ගෙහෙන්නාවේ විනිශ්චය “මේ පරම්පරාව” මත ඉෂ්ට කරනු ඇති බවද පැවසූසේක. (මතෙව් 23:33, 36) කෙසේවෙතත්, මෙම විනිශ්චය කුහක පූජකයන් මතට පමණක් සීමාවීද? කොහෙත්ම නැත. යේසුස්වහන්සේ “මේ පරම්පරාව” යන යෙදුම මීටත් වඩා මහත් පුළුල් අර්ථයකින් අදාළ කර කතා කරනවා අවස්ථා ගණනාවකදී උන්වහන්සේගේ ගෝලයන්ට ඇසිණ. ඒ කුමක්වීද?

“මේ නපුරු පරම්පරාව”

12. සිය ගෝලයන් සවන් දෙමින් සිටි විට, යේසුස්වහන්සේ ‘සමූහයාව’ “මේ පරම්පරාව” සමඟ සම්බන්ධ කළේ කෙසේද?

12 පොදු යුගයේ 31දී, යේසුස්වහන්සේ මහත් ගලීල දේශයේ සේවයේ සහ පාස්කු මංගල්‍යයට මඳ කලකට පසුව, උන්වහන්සේ “සමූහයන්ට” මෙසේ කියනවා උන්වහන්සේගේ ගෝලයන්ට ඇසිණ: “නුමුත් මේ පරම්පරාව කුමකට සමානකරම්ද? අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාපකීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළඳාම්පළවල හිඳ තමුන්ගේ යහළුවන්ට හඬගසා කියන්නාවූ ළමයින්ට සමානය. මක්නිසාද යොහන් කමින් බොමින් නාවේය, එබැවින් ඔහු යක්ෂාවේශවූ කෙනෙකැයි ඔව්හු කියති. මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් ආවේය, බලව, කෑදර මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය. සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි ඔව්හු කියති.” එම ප්‍රතිපත්තියක් නැති ‘සමූහයන්ව’ සතුටු කිරීම අසීරු යමක් විය.—මතෙව් 11:7, 16-19.

13. “මේ නපුරු පරම්පරාව” කියා සිය ගෝලයන් ඉදිරියේදී යේසුස්වහන්සේ හඳුන්වා දුන්නෙත්, හෙළා දුටුවෙත් කාවද?

13 පසුව පො.යු. 31දී, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් දෙවන වරට ගලීලයේ කළ දේශනා සේවයේදී, “ලියන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද සමහරෙක්” යේසුස්වහන්සේගෙන් ලකුණක් ඉල්ලුවෝය. එතැන සිටි ඔවුන්ටත් ‘සමූහයාටත්’ උන්වහන්සේ මෙසේ පැවසූසේක: “නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය. මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය. . . . මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේය.” (මතෙව් 12:38-46) පෙනෙන විදිහට, යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම තුළ ඉටුවූ ලකුණ අගය කිරීමට කිසිවිටකත් නොහැකි වූ ආගමික නායකයන්ද, ‘සමූහයාද’, “මේ නපුරු පරම්පරාවට” ඇතුළත් විය.d

14. සද්දුසිවරුන් සහ ඵරිසිවරුන් ගැන යේසුස්වහන්සේ කිනම් හෙළාදැකීමක් කරනවා උන්වහන්සේගේ ගෝලයෝ ඇසුවෝද?

14 පොදු යුගයේ 32 පාස්කුවට පසුව, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් මගදන් නමැති ගලීල ප්‍රදේශයට පැමිණි කල, සද්දුසිවරු සහ ඵරිසිවරු නැවතත් යේසුස්වහන්සේගෙන් ලකුණක් ඉල්ලූහ. උන්වහන්සේ ඔවුන්ට නැවතත් මෙසේ කීසේක: “නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේය.” “උන්වහන්සේ ඔවුන් අතහැර පිටත්ව ගියසේක.” (මතෙව් 16:1-4) ඇත්තවශයෙන්ම, එම ආගමික කුහකයෝ වනාහි, “මේ නපුරු පරම්පරාව” ලෙස යේසුස්වහන්සේ හෙළා දුටු නොඇදහිලිකාර ‘සමූහයා’ අතර, නායකයන් වශයෙන් බෙහෙවින් ගර්හා කළ යුතු අය වූහ.

15. අන්‍යරූප විලාස වීමට මඳකට පෙර සහ ඉන්පසු විගසින්ම, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන්ට ‘මේ පරම්පරාව’ සමඟ කුමන මුහුණ දීමකට නතුවීමට සිදුවීද?

15 තම ගලීල දේවසේවය එහි නිමාව කරා ළඟාවෙද්දී, සමූහයා සහ තම ගෝලයන්ව කැඳවූ යේසුස්වහන්සේ ඔවුන්ට මෙසේ කීසේක: “මේ කාමමිථ්‍යාචාරිකවූ පාපිෂ්ඨවූ පරම්පරාවේදී යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා . . . ඔහු ගැනත් ලජ්ජාවෙනවා ඇත.” (මාර්ක් 8:34, 38) එබැවින්, එම වකවානුවේ විසූ පසුතැවිලි නොවන යුදෙව්වන්ගෙන් බහුතරයක් මගින්, ‘මෙම කාමමිථ්‍යාචාර නපුරු පරම්පරාව’ සෑදී තිබූ බවක් පෙනී යයි. දවස් කිහිපයකට පසුව, යේසුස්වහන්සේගේ අන්‍යරූප විලාස වීමෙන් පසු, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් “සමූහයා ළඟට ආ කල” මිනිසෙක් තම පුත්‍රයාව සුව කරන ලෙස ඉල්ලා සිටියේය. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද?”—මතෙව් 17:14-17; ලූක් 9:37-41.

16. (අ) යුදාහි විසූ “සමූහයා” ගැන යේසුස්වහන්සේ නැවත කළ හෙළාදැකීම කුමක්ද? (ආ) “මේ පරම්පරාව” වඩාත්ම නපුරු වූ අපරාධය සඳහා වගකිව යුතු වූයේ කෙසේද?

16 පෙනෙන විදිහට, යුදාහි, පො.යු. 32දී කූඩාරම් මංගල්‍යයට පසු “සමූහයන් උන්වහන්සේ වෙත රැස්ව එන කල්හි” උන්වහන්සේ ඔවුන්ව යළිත් වරක් හෙළාදැක්කේ මෙසේ පවසමිනි: “මේ පරම්පරාව නපුරු පරම්පරාවක්ය. ඔව්හු ලකුණක් සොයති; නුමුත් යෝනාගේ ලකුණ මිස වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය.” (ලූක් 11:29) අන්තිමේදී, ආගමික නායකයන් යේසුස්වහන්සේව නඩු විභාගයට ගෙනා විට, පිලාත් උන්වහන්සේව නිදහස් කරන්නදැයි ඇසීය. වාර්තාව මෙසේ කියයි: “එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය. . . . එසේවී නම් ක්‍රිස්තුස් කියන යේසුස්ට මා විසින් කුමක් කරන්ටදැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු . . . ඇණගසනු ලබාවයි සියල්ලෝම කීවෝය. එවිට ඔහු: මන්ද, මොහු මොන නපුරක් කෙළේදැයි ඇසුවේය. නුමුත්: ඔහු . . . ඇණගසනු ලබාවයි ඔව්හු අතිශයෙන් මොරගැසුවෝය.” එම “නපුරු පරම්පරාව” කෑගසමින් සිටියේ යේසුස්වහන්සේගේ රුධිරය ඉල්ලමින්ය!—මතෙව් 27:20-25.

17. ‘මේ හිතුවක්කාර පරම්පරාවේ’ සමහරෙකු පෙන්තකොස්තයේදී පේතෘස්ගේ දේශනාවට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

17 මෙසේ තම ආගමික නායකයන් විසින් පොලඹවනු ලැබූ “ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව[ක්],” ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිදු කිරීමෙහිලා ප්‍රධාන භූමිකාවක් රඟපෑහ. දවස් පනහකට පසුව, එනම් පො.යු. 33 පෙන්තකොස්ත දවසේ, ගෝලයන්ට ශුද්ධාත්මය ලැබුණු අතර, ඔවුහු විවිධ භාෂාවලින් කතා කරන්ට පටන්ගත්හ. මෙම ශබ්දය ඇසීමෙන් “සමූහයා එකතුව ඇවිත්” තිබූ අතර, ප්‍රේරිත පේතෘස් ඔවුන්ව “යුදයේ මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වසන සියල්ලෙනි” යයි අමතා මෙසේ පැවසීය: “මනුෂ්‍යයෙක්වූ එම යේසුස්වහන්සේ . . . නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා . . . ඇණගස්වා මැරවුවහුය.” අසා සිටි සමහරෙක් ප්‍රතික්‍රියා කළේ කෙසේද? “ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව [සිටියහ].” අනතුරුව පේතෘස් ඔවුන්ගෙන් පසුතැවිලි වන ලෙස ඉල්ලා සිටියේය. ඔහු “වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවියල්ලාය කියමින් අවවාදකෙළේය.” මීට ප්‍රතිචාරයක් වශයෙන්, තුන්දාහක් පමණ “ඔහුගේ වචනය පිළි[ගෙන] . . . බව්තීස්මකරනු ලැබුවෝය.”—ක්‍රියා 2:6, 14, 22, 23, 37, 40, 41.

“මේ පරම්පරාව” හඳුනාගනු ලැබ

18. “මේ පරම්පරාව” යනුවෙන් යේසුස්වහන්සේ භාවිත කළ යෙදුම අඛණ්ඩවම යොමු දැක්වෙන්නේ කුමකටද?

18 එසේනම්, තම ගෝලයන් ඉදිරියේදී යේසුස්වහන්සේ නිතර නිතර යොමු දැක්වූ මෙම “පරම්පරාව” කුමක්ද? “මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය” යන උන්වහන්සේගේ වචන ඔවුන් අවබෝධ කරගත්තේ කෙසේද? ‘අන්ධ මඟ පෙන්වන්නන්ගේ’ හා එවකට විසූ සමූහයන්ගෙන් සමන්විත යුදෙව් ජාතියට, උන්වහන්සේ අඛණ්ඩව අදාළ කළ “මෙම පරම්පරාව” යන යෙදුමේ සිය ස්ථාපිත භාවිතයෙන් උන්වහන්සේ බැහැර වෙමින් සිටියා නොවේ. (මතෙව් 15:14) “මේ පරම්පරාව” යේසුස්වහන්සේ පුරෝකථනය කළ වේදනා සියල්ලම අද්දුටුවායින් අනතුරුව, යෙරුසලම මතට ආ අසමසම ‘මහත් පීඩාවෙන්’ පහවී ගියහ.—මතෙව් 24:21, 34.

19. යුදෙව් පිළිවෙළේ “අහසත් පොළොවත්” පහව ගියේ කවදාද සහ කෙසේද?

19 පළමු සියවසේදී, යෙහෝවඃවහන්සේ යුදෙව් ජනයාව විනිශ්චය කරමින් සිටිසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළින් කළ යෙහෝවඃවහන්සේගේ දයාන්විත සැපයුම කෙරෙහි ඇදහිල්ල පවත්වන්ට යෙදුණ පසුතැවිලි වූවෝ එම ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත්වූවෝය. යේසුස්වහන්සේගේ වචන සැබෑ කරවමින් පුරෝකථනය කළ සියල්ල සිදුවූ අතර, දේවල යුදා පිළිවෙළේ “අහසත් පොළොවත්”—එනම් ආගමික නායකයන් සහ දුෂ්ට සමාජය ඇතුළත් සකල ජාතියම—පහව ගියේය. යෙහෝවඃවහන්සේ විනිශ්චය ඉටු කොට තිබිණ!—මතෙව් 24:35; සසඳන්න 2 පේතෘස් 3:7.

20. සියලු ක්‍රිස්තියානීන් උදෙසා හදිසිතාවකින් යුතුව අදාළ වන කාලෝචිත අවවාදය කුමක්ද?

20 යේසුස්වහන්සේගේ එම අනාවැකිමය වචනවලට අවධානය යොමු කොට තිබූ එම යුදෙව්වන් වටහාගත් දෙයක් නම්, තම ගැළවීම රඳා පැවතුණේ ‘පරම්පරාවක’ දිග හෝ යම් දින සහිත “කාල හෝ ඍතු” ගණනය කිරීමට උත්සාහ කිරීම හෝ මත නොව, නමුත් එම නපුරු සමකාලීන පරම්පරාවෙන් වෙන්ව සිටීමත්, ජ්වලිතව දේවකැමැත්ත කිරීමත් මත බවය. යේසුස්වහන්සේගේ අනාවැකියේ අවසාන වදන් අපගේ දවසේ විශාල ඉටුවීමට අදාළ වුවත්, පළමු සියවසේ යුදෙව් ක්‍රිස්තියානීන්ටද මෙම අවවාදයට අවනත වීමට තිබිණ: “එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සෑම කාලයේදීම අවදිව හිඳිල්ලා.”—ලූක් 21:32-36; ක්‍රියා 1:6-8.

21. නුදුරු අනාගතයේදී අපට කිනම් සිදුවීම බලාපොරොත්තු විය හැකිද?

21 අදදින, “ස්වාමීන්වහන්සේගේ මහත් දවස ළංව තිබේ, ඒක, . . . ළංව ඉතා ඉක්මනට එන්නේය.” (ශෙපනියා 1:14-18; යෙසායා 13:9, 13) හදිසියේම, යෙහෝවඃවහන්සේ විසින් කලින් නිර්ණය කර ඇති ‘දවස සහ පැයේදී,’ මෙම කාලයේ “නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාව” සාදන හිතුවක්කාර ජනයාද ඇතුල්ව ලෝකයේ ආගමික, දේශපාලනික සහ වාණිජ්‍ය කොටස් මත ස්වකීය උදහස වගුරුවනසේක. (මතෙව් 12:39; 24:36; එළිදරව් 7:1-3, 9, 14) ඔබට මෙම ‘මහත් පීඩාවෙන්’ ගැළවිය හැක්කේ කෙසේද? අපගේ ඊළඟ ලිපිය මීට පිළිතුරු දෙමින්, අනාගතය උදෙසා උදාර බලාපොරොත්තුව ගැන පවසනවා ඇත.

[පාදසටහන්වල]

a මෙම අනාවැකියේ පූර්ණ විස්තරයක් සඳහා, කරුණාකර, 1994 පෙබරවාරි 15, මුරටැඹ පිටු 14 සහ 15හි වගුව බලන්න.

b අවුරුදු “සති” පිළිබඳව තවදුරටත් තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත ද බයිබල්—ගෝඩ්’ස් වර්ඩ් ඕර් මෑන්ස් පොතේ පිටු 130-2 බලන්න.

c ඇතැම් බයිබල් මතෙව් 24:34හි සඳහන් හෙ ජෙ·නෙ·ආʹ හව්ʹටෙ මෙසේ පරිවර්තනය කරයි: “මෙම මිනිසුන්” (ද හෝලි බයිබල් ඉන් ද ලැංවෙජ් ඔෆ් ටුඩේ [1976], ඩබ්. එෆ්. බෙක් විසින්); “මේ ජාතිය” (ද නිව් ටෙස්ටමන්ට්—ඇන් එක්ස්පෑන්ඩඩ් ට්‍රාන්ස්ලේෂන් [1961], කේ. එස්. වුඑස්ට් විසින්); “මේ ජනයා” (ජුවිෂ් නිව් ටෙස්ටමන්ට් [1979], ඩී. එච්. ස්ටර්න් විසින්).

d ʽඅම්-හා·’ආʹරෙට්ස් හෙවත් දේශයේ ජනයා එනම් අහංකාර ආගමික නායකයන් විසින් ආශ්‍රය කිරීමට ප්‍රතික්ෂේප කරනු ලැබූ, නමුත් යේසුස්වහන්සේගේ ‘අනුකම්පාව’ ලද ජනයාට, මෙම අවිශ්වාසවන්ත “සමූහයා” සමාන නොකළ යුතුය.—මතෙව් 9:36; යොහන් 7:49.

ඔබ කෙසේ පිළිතුරු දෙනු ඇද්ද?

◻ දානියෙල් 9:24-27හි ඉටුවීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

◻ “මේ පරම්පරාව” යන්න බයිබලයේ භාවිත කර ඇති ආකාරය සම්බන්ධයෙන්, වත්මන් ශබ්දකෝෂ එය නිර්වචනය කරන්නේ කෙසේද?

◻ යේසුස්වහන්සේ “පරම්පරාව” යන යෙදුම අඛණ්ඩව භාවිත කළේ කෙසේද?

◻ පළමු සියවසේදී මතෙව් 24:34, 35 ඉෂ්ට වූයේ කෙසේද?

[12වන පිටුවේ පින්තූරය]

යේසුස්වහන්සේ “මේ පරම්පරාව” නොහික්මුණු ළමුන්ගෙන් යුත් සමූහයකට සැසඳූසේක

[15වන පිටුවේ පින්තූරය]

යුදෙව් දුෂ්ට පිළිවෙළ මත විනිශ්චය ඉටු කිරීම සඳහා වූ පැය කලින් දැන සිටියේ යෙහෝවඃවහන්සේ පමණි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න